මිහින්තලේ ප්‍රතිසංස්කරණවලින් රජයේ හමුදා පැය 24 න් ඉවත් කරලා – ධාතූන්වහන්සේට හානියක් වුණොත් රජය වගකිවයුතුයි

මිහින්තලේ ප්‍රතිසංස්කරණවලින් රජයේ හමුදා පැය 24 න් ඉවත් කරලා – ධාතූන්වහන්සේට හානියක් වුණොත් රජය වගකිවයුතුයි


මිහින්තලේ ප්‍රතිසංස්කරණවලින් රජයේ හමුදා පැය 24 න් ඉවත් කරලා – ධාතූන්වහන්සේට හානියක් වුණොත් රජය වගකිවයුතුයි

(04.02.2023 – divaina.lk)

දේශපාලකයන්ගේ පැත්තේ නොසිට, ජනතාවගේ පැත්තේ සිට කතා කරනවා කියලා, මිහින්තලා රජමහා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය ඇතුළු ආරක්ෂක අංශ පැය 24 ක් ඇතුළත ඉවත් කරන ලෙස රජය විසින් නියෝග ලබාදී ඇති බව, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණෝ පැවසූහ.

ඊයේ (03 දා) මිහින්තලා රජමහා විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කීහ :

“මේ වන විට ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් විහාරස්ථානයේ ධාතු මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනවා. මේ වන විට ධාතු මන්දිරයේ ප්‍රධාන දොරවල් ගලවා තිබෙනවා. මෙහි සර්වඥ ධාතුන්, මිහිඳු මහරහතන් මහ රහතන් වහන්සේගේ ධාතුන්, රත්තරන් කරඬු, වටිනා පිළිම රැසක් තැන්පත් කර තිබෙනවා. පැය විසි හතරක් (24) තුළ ආරක්ෂක අංශ ඉවත් කරලා එම වස්තුන්වලට යම්කිසි හානියක් සිදු වුවහොත් රජය එහි වගකීම භාර ගත යුතු වනවා.

මේ පූජා භූමියේ මේ වන විට මිහිඳු මහා සෑය යළි ඉදි වෙමින් පවතිනවා. එහි ශ්‍රම දායකත්වය නාවික හමුදාව, සිවිල් ආරක්ෂක බළකාය විසින් සිදු කරනවා.

අෂ්ඨඵල බෝධීන් වහන්සේගේ බෝධි ප්‍රාකාරය හැදෙමින් පවතිනවා, ධර්ම ශාලාවේ ප්‍රාකාරය, යුද්ධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් විසින් සිදු කරගෙන යනු ලබනවා. මේවට මුදල් ලැබෙන්නේ, ලෝකයේම සිටින බෞද්ධ, ක්‍රිස්තියානි හින්දු, ඉස්ලාම් ජනතාවගෙන්. ඕනෙ නම් බුද්ධි අංශවලට හොයා බලන්න පුළුවන්.

මේ ආරක්ෂක අංශ ඉවත් කිරීම සම්බන්ධයෙන් මට දැනුම් දීමක් කරලා නැහැ. ඒ වුණාට නියෝග නිකුත් කරලා මැසේජ් යවලා තිබෙනවා.

විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන්, ආචාර්යවරුන් සමග පෙරේදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බා. මේ අසීමාන්තික බදු පැනවීම සම්බන්ධයෙන්, එම පුවත ප්‍රචාරය වෙලා පැය කිහිපයක් යන කොට ආරක්ෂක අංශ ඉවත් කරන්න නියෝග ලබාදී තිබෙනවා.”

~ මිහින්තලේ – රංග චතූ

+++++

+++++

+


කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයේ සැකකරුවන් හඳුනාගනී

(03.02.2023 – 20:23 +0530 – sinhala.adaderana.lk)

තලංගම ප්‍රදේශයේ නිවසක් තුළ අබිරහස් ලෙස මියගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථය රැගෙන පළාගිය යුවළ ඉන්දුනීසියාවට පැන ගොස් ඇති බවට පොලීසිය සැක පළ කරයි.

ඔවුන් දෙදෙනා (2) මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලීසිය පැවසීය.

තලංගම, පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක ඉහළ මාලයේ නාන තටාකය තුළ පුද්ගල මළසිරුරක් ඇති බවට තලංගම පොලීසියට ඊයේ (02) පස්වරුවේ තොරතුරක් ලැබී තිබුණි.

මිය ගොස් ඇත්තේ වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ පදිංචිව සිටි රොෂාන් වන්නිනායක නම් 49 හැවිරිදි අයෙකි.

ඔහු මෙරට ප්‍රසිද්ධ, ශේඩ්ස් නිමි ඇඳුම් අලෙවිසැල් ජාලයේ හිමිකරු බව පොලීසිය පවසයි.

ව්‍යාපාරිකයාගේ හිසට පහරදී ඔහු ඇදගෙන විත් නාන තටාකයට දමා ඇතැයි සැකකරන බවද පොලීසිය ප්‍රකාශ කළේය.

එම නිවස ඇතුළත කෙරුණු පරීක්ෂාවේදී එහි තිබී, රුධිරයට සමාන පැල්ලම් කිහිපයක්, භාවිත කරන ලද උපත් පාලන කොපුවක් සහ භාවිත නොකරන ලද උපත් පාලන කොපු දෙකක් (2) ද පොලීසිය සොයා ගෙන තිබේ.

එහිදී සොයාගත් බිල්පතක සඳහන්ව තිබී ඇත්තේ උපත් පාලන කොපු කළුබෝවිල රෝහල අසල ඖෂධ සැලකින් මිලදී ගෙන ඇති බවය.

ඒ අනුව විමර්ශන සිදුකළ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය එම ඖෂධ සැලේ සීසීටීවී දර්ශන පරීක්ෂා කර තිබුණි.

එහි සටහන්ව තිබී ඇත්තේ එම පුද්ගලයා පසුගිය 30 වනදා පස්වරු 03:22 ට පමණ උපත් පාලන කොපු මිලදී ගෙන ඇති බවය.

එමෙන්ම ව්‍යාපාරිකයා තවත් පුද්ගලයෙකු සමග එම නිවසට සුදු පැහැති මෙම මෝටර් රථයෙන් ගොස් ඇති බව ද පොලීසිය හෙළි කරගෙන තිබේ.

විමර්ශනවලදී පොලීසියට හෙළි වූයේ මියගිය පුද්ගලයාගේ මෝටර් රථය, ජංගම දුරකථනය හා ක්‍රෙඩ්ට් කාඩ් පත් කිහිපය ද අතුරුදන්වී ඇති බවය.

ඒ අනුව මෝටර් රථය ගමන්ගත් මාර්ගයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කළ පොලීසියට හෙළිවී ඇත්තේ, මෝටර් රථයෙන් යළි නිවසෙන් පිටවී ගොස් ඇත්තේ එක් (1) පුද්ගලයෙකු පමණක් බවය.

එම පුද්ගලයා මෝටර් රථයට තවත් කාන්තාවක් නංවාගෙන ඇති බවත් පසුව ඔවුන් දෙදෙනා (2) කටුනායක කොළඹ අධිවේගී මාර්ගයට එය ඇතුළු කර ඇති බවත් පොලීසිය පවසයි.

අධිවේගී මාර්ගයේ ජා-ඇළ 18 කණුව ප්‍රදේශයේදී මෝටර් රථය කාර්මික දෝෂයකට ලක්වී නතරවී ඇති අතර අධිවේගී මාර්ගයේ අනතුරට පත් වාහන ඇදගෙන යාමට භාවිත කරන රථයකට ඇමතුමක් ලබාගත් රිය පැදවූ තැනැත්තා එම රථයක් එහි ගෙන්වා ගෙන ඇති බවත් හෙළි වී ඇත.

ඔහු එම ඇමතුම ලබාගෙන ඇත්තේ මියගිය ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයෙනි.

පසුව එය ජා-ඇළින් පිටතට දමා, ඇදගෙන යාමට පැමිණි රථයේ පුද්ගලයෙකුගෙන් ගරාජයක දුරකථන අංකයක් ඉල්ලා එම අංකය අමතා, වාහන ඇදගෙන යාමට භාවිත කරන තවත් රථයක් ගෙන්වා ගෙන ඇති බව පොලීසිය පැවසීය.

ඒ අනුව එහි පැමිණි පුද්ගලයා මීගමුව ශාන්ත ජෝසප් ප්‍රදේශයේ පිහිටි ගරාජයක් වෙත එම මෝටර් රථය ඇදගෙන ගොස් ඇති බවත් රථයේ සිටි යුවළ ඔහු සමග ගමන් කර ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

ඒ වනවිට වේලාව අලුයම 3 පමණ වූ බැවින් ගරාජය වසා දමා තිබීම නිසා ඔවුන් මෝටර් රථය ඒ අසල නවතා දමා තිබේ.

පසුව මෙම යුවළ මෝටර් රථය ඇදගෙන යාමට පැමිණි රථයේ රියදුරුට පවසා ඇත්තේ තමන් කටුනායක ගුවන්තොටුපොළ අසලට රැගෙන යන ලෙසය.

ඒ අනුව ඔවුන් ඒ අසලින් බැස ඇති අතර එහිදී රුපියල් 15,000 ක මුදලක් එම රථයේ රියදුරුට ලබාදී තිබේ.

ඔවුන් මියගිය ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩ්ටි කාඩ් පතෙන් භාණ්ඩ කිහිපයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි වූ සුපිරි වෙළෙඳසැලකින් මිලදී ගෙන ඇති බව පොලීසිය පැවසීය.

පසුව මොවුන් ව්‍යාපාරිකයාගේ ක්‍රෙඩිට් කාඩ් පතකින් රුපියල් ලක්ෂ 5 කට අධික මුදලක් ගෙවා, ඉන්දුනීසියාව බලා යාමට ගුවන් ගමන් බලපත්‍ර දෙකක් (2) වෙන්කර ගෙන ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව පොලීසිය සැක කරන්නේ ඔවුන් දෙදෙනා (2) ඉන්දුනීසියාව බලා ගොස් ඇති බවටය.

මේ අතර අදාළ මෝටර් රථය පෙර සඳහන් කළ ගරාජය අසල තිබියදී පොලීසිය අද (03) අලුයම සොයාගෙන තිබුණි.

මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) සිදුකිරීමට නියමිතව තිබුණ ද එය සිදුකිරීමට හැකිවී නොමැත.

ඒ ඔහුගේ සිරුර අධික ලෙස ඉදිමී තිබීම හේතුවෙන් ඥාතීන්ට හඳුනාගැනීමට නොහැකිවීම නිසා බව අප වාර්තාකරු පැවසීය.

ඒ අනුව දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය එළඹෙන සඳුදා (06) සිදුකරන බවත් මෘත දේහය අදාළ පුද්ගලයාගේම ද යන්න තහවුරු කරගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදුකරන බවත් වාර්තා වෙයි.

+


බොනට් එක මතට වැටුණු ත්‍රිවිල් රියැදුරුත් එක්කම මෝටර් රථය පලායයි; ගිහින් හඹාගොස් අල්ලයි

(04.02.2023 – dinamina.lk)

හෝමාගම, හබරකඩ මංසන්ධියට කසළ බෑගයක් දමා යෑමට පැමිණි මෝටර් රථයකට එම කුණු තොගය නැවත රැගෙන යන ලෙස දැනුම්දීම කළ ත්‍රිරෝද රථ රියැදුරකුව එම මෝටර් රථයේ බොනට්ටුව මත තබාගෙන කිලෝ මීටරයකට වැඩි දුරක් රැගෙන යෑම සම්බන්ධයෙන් මෝටර් රථ රියැදුරු සහ එම මෝටර් රථය ඊයේ (03) අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.

අදාළ මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයා හබරකඩ මංසන්ධියේ සුසාන භූමිය අසල කසළ පාර්සලයක් විසිකර නැවත යෑමට සැරසීමේදී ඒ අසල ත්‍රිරෝද රථ ගාලේ සිටි රියැදුරන් කීපදෙනෙකු පැමිණ විසි කරන ලද කසළ බෑගය නැවත රැගෙන යන ලෙස මෝටර් රථයේ රියදුරුට දැනුම් දී ඇති බවත් එම අවස්ථාවේදී මෝටර් රථය පණ ගන්වා ත්‍රිරෝද රථ රියැදුරන් දෙදෙනකු (2) ද හප්පා පලා යෑමට සැරසීමේදී එක් ත්‍රිරෝද රියැදුරෙකු මෝටර් රථයේ බොනට්ටුව මතට ඇද වැටී ඇති බවත් එලෙස බොනට්ටුව මත වැටුණු පුද්ගලයා ද සමඟ මෝටර් රථය වේගයෙන් පලා ගොස් ඇති බවත් පොලිසිය පවසයි. එලෙස පලා යන අතරතුර පනාගොඩ මංසන්ධියේදී යතුරු පැදියක ගැටීමෙන් මෝටර් රථය නැවතී ඇති බවත් එහිදී හබරකඩ සිට පනාගොඩ මංසන්ධිය දක්වා කිලෝමීටරයක් පමණ දුරක් මෝටර් රථය පසුපස හඹාගිය ත්‍රිරෝද රථ රියැදුරන් සැකකරු අල්ලා අතුරුගිරිය පොලිසියට භාරදීමට කටයුතු කළ බවත් පොලිසිය පවසයි.

බොනට්ටුව මත කිලෝමීටරයක පමණ දුරක් ගිය ත්‍රිරෝද රථ රියැදුරු ඔරුවල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවක් සුළු සීරීම් තුවාල පමණක් සිදුව ඇති බවත් එම රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු අද (04) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අතුරුගිරිය පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිංහපුර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

++++++

https://www.youtube.com/watch?v=m7b-nNdIpWg

+


03-02-2023

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *