අභිමානවත් නිදහස සමරන්න රු. 1,42,00,000 ක ජංගම වැසිකිලි – අකුණු සන්නායක පද්ධතියටත් රු. 3,60,000 ක් – මුලු වියදම රු. කෝටි 17 ට වැඩියි

අභිමානවත් නිදහස සමරන්න රු. 1,42,00,000 ක ජංගම වැසිකිලි – අකුණු සන්නායක පද්ධතියටත් රු. 3,60,000 ක් – මුලු වියදම රු. කෝටි 17 ට වැඩියි


අභිමානවත් නිදහස සමරන්න රු. 1,42,00,000 ක ජංගම වැසිකිලි – අකුණු සන්නායක පද්ධතියටත් රු. 3,60,000 ක් – මුලු වියදම රු. කෝටි 17 ට වැඩියි

(03.02.2023 – 17:33 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහනයෙන් මිදීම සැමරෙන අභිමානවත් 75 වැනි නිදහස් දින උලෙළ සඳහා සහභාගි වන විශේෂ අමුත්තන් සහ අනෙකුත් අය වෙනුවෙන් ජංගම වැසිකිලි පහසුකම් සැපයීම සඳහා පමනක් රුපියල් එක්කෝටි හතළිස් දෙලක්ෂ පනස් අට දහස් අටසිය පනහක (14,258,850.00) මුදලක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ 2023.01.02 දිනට දරා ඇති බව වාර්තා වනවා.

‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ නැමති සංවිධානය නියෝජනය කරමින් ‘ජාමුනි කමන්ත තුෂාර’ නැමැති අයෙකු විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙතින් 2023 නිදහස් දින සමරු උලෙළ සඳහා වන වියදම් ඇස්තමේන්තුව තමා වෙත ලබා දෙන ලෙස ඉල්ලමින් 2023.01.26 දින ඉදිරිපත් කරන ලද HA/RTI/05/11tem යන තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් අදාල අමාත්‍යංශය විසින් ලබා දුන් තොරතුරුවලයි ඉහත දත්ත සඳහන් වන්නේ.

එම තොරතුරු පත්‍රිකාව හරහා අනාවරණය කර ඇති තොරතුරුවලට අනුව අදාල අමාත්‍යංශය විසින් 2023.01.02 වැනි දිනට දරා ඇති දළ වියදම් හෙළිදරව් කර ඇති අතර ජාතික නිදහස් දින උලෙළ සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති සමස්ත මුදළ රුපියල් මිලියන 55 ක්.

මේ අතර අදාල අමාත්‍යංශය යටතේ ඉහත සඳහන් කළ දින වන විට සිදු කොට ඇති වියදම් අතර ‘අකුණු සන්නායක පද්ධතියක්’ සවි කිරීම සඳහා රුපියල් 345,000 ක මුදලක් සහ ඊට අදාල උපදෙස් ලබා ගැනීම සඳහා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයට රුපියල් 20,000 ක මුදලක් ද වියදම් කොට තිබෙනවා.

අදාල උත්සවය සඳහා අවශ්‍ය රූපවාහිනී යන්ත්‍ර, විදුලි පංකා, කාර්මික පංකා ඇතුළු සිසිලන යන්ත්‍ර සැපයීම සඳහා රුපියල් 519,225 ක් ද විද්‍යුත් තිර සඳහා රුපියල් විසිහත් ලක්ෂ අනූතුන් දහස් හත්සිය පනහක (2,793,750.00) මුදලක් ද ශබ්ද විකාශන පද්ධතිය සඳහා රුපියල් තිස් දෙලක්ෂ හත් දහස් අටසියයක (3,207,800.00) මුදලක් ද අදාල අමාත්‍යංශය යටතේ වෙන් කොට තිබෙනවා.

මේ අතර ආරාධිතයින් සඳහා පුටු මිලදී ගැනීමට රුපියල් 955,650 ක් ද පුෂ්පෝපහාර දැක්වීම වෙනුවෙන් මල් බඳුන් ලබා ගැනීම සඳහා රුපියල් 40,000 ක් ද අදාල අමාත්‍යංශය විසින් ඉහත සඳහන් කළ දිනය වන විට වියදම් කර ඇති බවයි වාර්තා වන්නේ.

එසේ ම නිදහස් උලෙළට අදාල ආරාධනා පත්‍ර තැපැල් කිරීම හා අදාළ අනෙකුත් රාජකාරි කටයුතු වෙනුවෙන් රුපියල් 100,000 ක මුදලක් දරා ඇති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය එහි ලිපි ද්‍රව්‍ය ඇතුළු කාර්‍යාලීය උපකරණ මිල දී ගැනීම සඳහා රුපියල් 600,000 ක මුදලක් වැය කොට තිබෙනවා.

එපමණක් නොව අදාල උත්සවයේ කොඩි මිල දී ගැනීම සඳහා රුපියල් දහතුන් ලක්ෂ අසූ දහසක් (1,380,000.00) වෙන් කොට ඇති එම අමාත්‍යංශය සියලු ම ආරාධිතයින් සංවිධාන කටයුතු ඇතුළු සහාය කාර්ය මණ්ඩලයේ සංග්‍රහ කටයුතු වෙනුවෙන් රුපියල් දහ අට ලක්ෂ හතලිස් නව දහස් දෙසිය පනහක් (1,849,250.00) වැය කොට තිබෙන බවයි අදාල අමාත්‍යංශය අනාවරණය කරන තොරතුරුවල දැක්වෙන්නේ.

නිදහස් දින සැමරුම් සංස්කෘතික ප්‍රසංගය වෙනුවෙන් නිදහස් චතුරස්‍රය ප්‍රතිසංකරණය කටයුතු සඳහා නාවික හමුදාව වෙත රුපියල් 330,000 ක් ද නිදහස් දින සමරු උලෙළේ රාජකාරි කටයුතු පැවැත්වෙන සියලු ම කාල සීමාවට අදාල ප්‍රවාහන ගාස්තු ලෙස රුපියල් මිලියනයක (1,000,000) මුදලක් වෙන් කර තිබෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අදාල තොරතුරු පත්‍රිකාවේ සඳහන් කරනවා.

මේ සා වියදමක් දරමින්, දැඩි ආර්ථික අර්බුදයකින් මිරිකී සිටින ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සමරුව වෙනුවෙන් උළෙලක් පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුව ඇති පසුබිමක රජය විසින් ඒ සඳහා රාජ්‍ය ආයතන හා අමාත්‍යංශ 6 ක් අතරේ රුපියල් කෝටි 17 ට (රු. මිලියන 162.8) ආසන්න මුදලක් වෙන් කිරීම සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින්නේ සුබවාදී අදහසක් නම් නොවේ.

කෙසේ නමුත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් අනාවරණය කර ඇති මෙම වියදම් 2023.01.02 වැනි දින දක්වා ඒවා වන අතර අභිමානවත් 75 වැනි නිදහස් සමරුව පැවැත්වෙන්නේ ඊට දින 32 කට පසුව යි.

මෙම අතරමැදි කාල සීමාවේ අභිමානවත් නිදහස් සැමරුමේ විය හියදම් පිළිබඳ තොරතුරු ඉදිරියේ දී අනාවරණය වනු ඇති.

කෙසේ වෙතත් ආර්ථික පීඩනයෙන් පතුළට ම මිරිකී සිටින ඉන්දීය සාගරයේ මුතු ඇටයේ වෙසෙන ජනතාවගේ බදු මුදලින් සිදු කෙරුණු එම වියදම් පිළිබඳව තොරතුරු හෙළි වුව ද ඉන් පළක් නොවන්නේ අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමෙන් කිසිදු පළක් නොවන නිසාවෙන් ෴

+++++++++

+


එක් (1) ක්‍රීඩාවක් හෝ සිදු කිරීම පාසල් ළමුන්ට අනිවාර්යය වෙයි ?

(03.02.2023 – 16:38 +0530 – hirunews.lk/sinhala)

සිය පාසල් ජීවිතය තුළ එක් (1) ක්‍රීඩාවක් හෝ සිදු කිරීම දරුවන්ට අනිවාර්‍යය කළ යුතු බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කර යුතු බවත් පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් පවසනවා.

ඊයේ (02) පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ අතර පැවැති හමුවේදියි ඇය මේ බව සඳහන් කළේ.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී පැවති මෙම හමුවේදී වැඩිදුරටත් අදහස් පළ කරමින් ස්කොට්ලන්ඩ් මහලේකම්වරිය පෙන්වාදුන්නේ පාසල් ළමුන් අතර බෝ නොවන රෝග පාලනය කිරීම උදෙසා පාසල් කාල සීමාව තුළ හෝ ඉන් පසුව ක්‍රීඩා හෝ ශාරීරික සුවතා ව්‍යායාම සඳහා යොමු කිරීමට අවධානය යොමු කළ යුතු බවයි.

එමෙන්ම 2023 වර්ෂය උදෙසා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය හා ඒ හා සම්බන්ධ අනෙකුත් ආයතනවල සැලැස්ම හා එම කටයුතු අධීක්ෂණය කර පොදු රාජ්‍ය මණ්ඩලයේ අනෙකුත් රටවල් සමග එම වැඩපිළිවෙළ හුවමාරු කර ගැනීමට ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

ආසියා හා පැසිපික් කලාපයේ යොවුන් පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා මූලිකත්වය ගැනීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයට අවස්ථාව ලබාදීම පිළිබඳවත් පැවති සාකච්ඡාවේ දී දෙපිරිස අතර අදහස් හුවමාරු වීම සිදු වුණා ෴


ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට දින නියම වෙයි

(03.02.2023 – 17:19 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය ලබන 09 සහ 10 දෙදින තුළ පැවැත්වීමට පාර්ලිමේන්තුවේ දී පැවති පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලබන 08 වැනිදා ඉදිරිපත් කරනු ලබන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 09 වැනි බ්‍රහස්පතින්දා සහ 10 වැනි සිකුරාදා දෙදින (2) පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පවසන්නේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් අද (03) පස්වරුවේ පැවතී පක්ෂ නායක රැස්වීමේදී මේ බව තීරණය වී තිබෙනවා.

මේ අනුව ලබන 09 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 09:30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ නියෝග සහ විවිධ රජයේ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව පසුගිය සභාවාරයේ දී පාර්ලිමේන්තුවට යථාපරිදි ඉදිරිපත්කර තිබූ යෝජනා 51 ක් අනුමතිය සඳහා ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය වුණා.

අනතුරුව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරණු ලබන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ප.ව. 05:00 දක්වා පැවැත්වෙනු ඇති.

ඉන්පසු පෙබරවාරි 10 වැනි සිකුරාදා පෙ.ව. 09:30 සිට ප.ව 05:00 දක්වා ද ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය දෙවැනි (2) දිනටත් පැවැත්වීමට නියමිතයි.

මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් එක්ව සිටියා ෴


මියගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර හඳුනාගැනීමට ඥාතීන්ට නොහැකි වෙයි

(03.02.2023 – 21:14 +0530 – hirunews.lk/sinhala)

බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක පිහිනුම් තටාකයේ තිබිය දී සොයාගත් කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ යැයි සැකකෙරුණු මළසිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) සිදුකිරීමට නියමිතව තිබුණ ද පවුලේ ඥාතීන්ට සිරුර හඳුනාගත නොහැකි බව ප්‍රකාශ කිරීම හේතුවෙන් එය ලබන සඳුදා (06) දක්වා කල් දැමුණා.

කොළඹ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී මෙම දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමටයි නියමිතව තිබුණේ.

අතුරුදන් වූ ව්‍යාපාරිකයාගේ පවුලේ ඥාතීන් ද එම ස්ථානයට පැමිණ සිටි අතර ඔවුන් එහිදී පවසා ඇත්තේ අදාළ සිරුර කෝටිපති ව්‍යාපාරිකයාගේ නොවන බවයි.

ඒ අනුව සිරුරේ අනන්‍යතාව සම්බන්ධයෙන් මතු වූ ගැටලුකාරී තත්ත්වය හමුවේ පශ්චාත් මරණ පරීක්ෂණය කල් දැමීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම, පසුගිය 30 වැනිදා සිට තම සොහොයුරා නිවසට නොපැමිණි බව සඳහන් කරමින් අදාළ ව්‍යාපාරිකයාගේ සොහොයුරිය වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ අදාළ මරණය ඝාතනයක් බවට සැකකරන බවයි.

මෙලෙස අතුරුදන්ව තිබුණේ වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි රොෂාන් වන්නිනායක නැමැති අවිවාහක පුද්ගලයෙක්.

ඔහු මෙරට ප්‍රසිද්ධ නිමි ඇඳුම් වෙළෙඳසල් ජාලයක හිමිකරුවෙකුද වෙනවා.

අදාළ ව්‍යාපාරිකයා අවසන්වරට සිය ව්‍යාපාරික ස්ථානයක් වෙත මෝටර් රථයෙන් ගොස් බත්තරමුල්ල – පැලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේ යතුර රැගෙන පැමිණ ඇති බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

ඔහු සමග තවත් පුද්ගලයෙකු අදාළ නිවසට ඇතුළු වන ආකාරය දැනට පරීක්ෂාකල සීසිටීවී දර්ශනවල සටහන් වී ඇති නමුත් මෝටර් රථයේ නැගී නිවසින් පිටව ගොස් ඇත්තේ එක් (1) පුද්ගලයෙකු පමණක් බවයි වාර්තා වන්නේ.

කොළඹ අපරාධ කොට්ඨාසය සැක කරන්නේ ව්‍යාපාරිකයා ඝාතනය කොට අදාළ පුද්ගලයා එලෙස පිටව ගොස් ඇති බවටයි.

සිදුකළ පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ ඔවුන් පැමිණි මෝටර් රථය එම නිවස අසල තිබී නොමැති බවයි.

එමෙන්ම එම ව්‍යාපාරිකයාගේ ජංගම දුරකතනය සහ මුදල් පසුම්බියද අස්ථානගත වී තිබෙනවා.

දැනට සිදුකරන ලද විමර්ශනවලින් හෙළි වී ඇත්තේ ඔහුගේ බැංකු කාඩ් පත් භාවිත කර ගුවන් ටිකට් පත් 2 ක්ද මිලදී ගෙන ඇති බවයි.

ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ වූවන් විදෙස්ගතවී ඇත්ද යන්න සම්බන්ධයෙන්ද සැකයක් මතුව ඇති අතර ඒ සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළා.

කෙසේ වුවත් ව්‍යාපාරිකයාගේ මෝටර් රථය අද (03) පෙරවරුවේ මීගමුව ප්‍රදේශයේ ගරාජයක තිබී සොයාගෙන තිබෙනවා.

පසුගිය 31 වැනිදා රාත්‍රියේ ආපදා රථයකින් එම මෝටර් රථය අදාළ ස්ථානයට රැගෙනවිත් ඇති බවයි පොලිසිය සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

කටුනායක අධිකවේගි මාර්ගයේ ජා ඇල පිටවුමේ දී එම මොටර් රථය කාර්මික දෝෂයකට ලක්ව ආපදා රථයකින් රැගෙන එන ආකාරය දැනට පරීක්ෂා කළ සී.සී.ටී.වී. දර්ශනවල සටහන්වී තිබෙනවා.

දින කිහිපයක සිට තම ගරාජය ඉදිරිපිය මාර්ගයේ හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් සැකකටයුතු ලෙස නවතා තිබෙන බවටයි ගරාජයේ හිමිකරු මීගමුව පොලිසියට දැනුම් දී තිබෙන්නේ.

දැනට පරීක්ෂා කළ සී.සී.ටී.වී. දර්ශනවලට අනුව ආපදා රථය සමග කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු එම ස්ථානයට පැමිණෙන ආකාරයත් මෝටර් රථය අදාළ ස්ථානයේ තබා ඔවුන් එම ආපදා රථයේම නැගී පිටව යන ආකාරයක් සටහන් වී තිබෙනවා.

මේ වනවිට අදාළ ආපදා රථයේ රියදුරු කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට ගෙන මෝටර් රථය සමග පැමිණි යුවළ සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරෙන බවයි වාර්තා වන්නේ.

සිද්ධියේ විමර්ශන පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමු කර ඇති අතර ඒ අනුව පොලිස් කණ්ඩායම් 3 ක් විමර්ශන සඳහා මේ වනවිට යොදවා තිබෙනවා.

+


ගල්කිස්ස – ගාලු පාරේ මෝටර් රථයක් හදිසියේ ගිනි ගනියි

(03.02.2023 – 21:56 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – ගාලු පාරේ ගල්කිස්ස ප්‍රදේශයේ දී මෝටර් රථයක් හදිසියේ ගිනිගෙන තිබෙනවා.

අද (03) රාත්‍රියේ දී මෙම අනතුර සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෝටර් රියෙහි ගමන් කරමින් සිට ඇත්තේ එකම පවුලේ සාමාජිකයින් පිරිසක් වන අතර ඔවුන් ඉන් ඉවතට පැන ඇති බවටත් හිරු ප්‍රවෘත්ති වෙත තොරතුරු වාර්තා වී තිබෙනවා.

මෙම ගිනි ගැනීමෙන් මෝටර් රථය සම්පූර්ණයෙන් ම ගිනිගෙන දැවී විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවීම් රථ යොදා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විමර්ශන ක්‍රියාත්මකයි ෴


එල්ෆින්ස්ටන් රඟහල අසල සිටි විරෝධතාකරුවන් විසුරුවා හැරීමට ජල ප්‍රහාරයක්

(03.02.2023 – 23:29 +0530 – hirunews.lk/sinhala)

මරදාන – එල්ෆින්ස්ටන් රඟහල අසල රැඳී සිටි විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ගාලුමුවදොර අරගලකරුවන් පිරිසක් ඇතුළුව සිවිල් ක්‍රියාකාරීන් සහ පොදුජන සංවිධාන නියෝජිතයින්ගේ එකමුතුවෙන් අද (03) දහවල් සත්‍යග්‍රහයක් ආරම්භ කළේ, මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටයි.

මෙම සත්‍යග්‍රහය පැය 24 ක් අඛණ්ඩව සිදු කිරීමටයි ඔවුන් සැලසුම්කර ඇත්තේ.

එම විරෝධතාවටයි පොලිසියෙන් ජල ප්‍රහාර එල්ල වුණේ.

+++++++++

+ [Video 1][Video 2][Video 3][Video 4][Video 5]

+


Do you think you can trust what your eyes see?

Take the test, take a ruler, a pencil or something that is straight and put it right on top of this GIF.

As you can see, actually the circles don’t move at all, they seem to move and increase in size, but as you just realized, it’s just an optical illusion.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *