මොහාන් හා උදේනි මහජන උපයෝගීතා කොමිසමෙන් එළියට බහියි

මොහාන් හා උදේනි මහජන උපයෝගීතා කොමිසමෙන් එළියට බහියි


මොහාන් හා උදේනි මහජන උපයෝගීතා කොමිසමෙන් එළියට බහියි

(03.02.2023 – 16:49 +0530 – hirunews.lk/sinhala)

මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් ලෙස කටයුතු කළ දෙදෙනකු (2) ඉල්ලා අස්වී තිබෙනවා.

අද (03) පස්වරුවේ සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට අදාළ ලිපි යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස තම ධුරවලින් ඉල්ලා අස් වී ඇත්තේ මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යි.

මහජන උපයෝගීතා කොමිසම තුළ තවදුරටත් සිය සේවය සැපයීමට නොහැකි වාතාවරණයක් උද්ගත වී ඇති බව එම කොමිසමේ සාමාජික මොහාන් සමරනායක පවසනවා.

සිය ඉල්ලා අස්වීම ලිපියේ ඔහු සඳහන් කර ඇත්තේ මේ වනවිට මහජන උපයෝගිතා කොමිසම තුළ වෘත්තීමය නොවන අසහනකාරී, දරාගත නොහැකි සේවා පසුබිමක් උද්ගත වී ඇති බවයි.

එම තත්ත්වය පසුගිය ජනවාරි 20 වැනි දින හටගත් සිද්ධියෙන් කූටප්‍රාප්තියට පත් වූ බවත්, කොමිෂන් සභා කාර්‍යාලය තුළට අනවසරයෙන් ඇතුළු වූ මැර පිරිස් තමාට හා කොමිසමේ අනිත් සාමාජිකයාට සිදු කළ තර්ජන කොමිෂමේ සභාපතිවරයා විසින් නොසලකා හැරි බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා එම කොමිසම් පනතේ 9(5) වගන්තිය උල්ලංඝනය වන අයුරින් අත්තනෝමතික ලෙස කටයුතු කරන බවත් ඒ හරහා අනෙකුත් සාමාජිකයින්ගේ බලය සහ අවශ්‍යතාව ශුන්‍ය වී ඇති බවත්, මොහාන් සමරනායක මුදල් අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් ෴


මානව හිමිකම් කොමිෂන් සභාව අධිකරණයෙන් ඉල්ලූ ඉල්ලීම ඉවතට

(03.02.2023 – 17:03 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අතරතුර ලංකා විදුලි බල මණ්ඩලයට විදුලිය විසන්ධි කිරීම වළක්වමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

නමුත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීරණය කළේ ෴

+


අතිරික්ත ජලය නොමැති බවට මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්

(03.02.2023 – 11:42 +0530 – hirunews.lk/sinhala)

මහ කන්නය සහ ඉදිරි යල කන්නයේ අවශ්‍යතා සළකමින් සාමාන්‍ය පරිදි ජල විදුලිය නිෂ්පාදනය සදහා ජලය නිකුත් කිරීමට තීරණය කළ බව මහවැලි අධිකාරිය දැනුම් දී තිබෙනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී.එම්.එන්.ජේ. ධනපාල මේ බව සදහන් කර ඇත්තේ, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අද (03) ලිපියක් යොමුකරමින්.

පසුගිය මස 30 සහ 31 යන දෙදින තුළ විදුලිබල නිෂ්පාදනය සඳහා අමතර ජලය නිකුත් කිරීමට පියවර ගනු ලැබුවේ 31 වනදා සිට ඊයේ (02) දිනය දක්වා සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ අනාවැකියට අනුව බවයි එහි දැක්වෙන්නේ.

එහෙත් එම දිනවල සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම නිසා අතිරික්ත ජලය නොමැති බැවින් මහ කන්නය, යළ කන්නය සඳහා අවශ්‍ය වාරි ජලය, පානීය ජලය, මෙන්ම ගොවිපලවලට අවශ්‍ය ජලයද සළකා සාමාන්‍ය පරිදි ජල විදුලි නිෂ්පාදනය සඳහා ජලය නිකුත් කිරීමට තීරණය කළ බවයි අදාළ ලිපියෙන් මහවැලි අධිකාරිය දැනුම්දී ඇත්තේ.

මේ වනවිට මහවැලි ගඟ හා සම්බන්ධ ජල විදුලිය නිෂ්පාදනය සදහා යොදා ගනු ලබන ජලාශවල සියයට 73 ක් පමණ ජලය පවතින නමුත් ජල විදුලි නිෂ්පාදනයට ගත හැකි ජල ප්‍රමාණය සියයට 50 ක් බව සදහන්.

මහවැලි ජල පාලන ලේකම් කාර්යාලය මගින් කළමනාකරණය කරනු ලබන මහවැලි අධිකාරියට සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවල සහ වැව් වල සියයට 73 ක පමණ ජලය මේ වනවිට පවතින අතර ඉන් සියයට 64 ක් පමණ ප්‍රයෝජනයට ගත හැකි බවයි මහවැලි අධිකාරිය ප්‍රකාශ කළේ.

මෙවර යල කන්නය මාර්තු 15 වනදා වනවිට ආරම්භ කිරීමට සැලසුම් කරමින් ඇති අතර, මේ වනවිට පවතින සියයට 75 ක් පමණ සමස්ත ජල ධාරිතාව මෙවර යල කන්නය ආරම්භ කරන විට සියයට 85 ක් පමණ ප්‍රමාණයක් පවත්වා ගත යුතුවා.

ඒ අනුව, යල කන්නයේ වාරි ජලාශ යටතේ ඇති වගා බිම් ප්‍රමාණය සම්පූර්ණය වගා කිරීමට නොහැකි වන බවයි මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී.එම්.එන්.ජේ. ධනපාල සදහන් කළේ.

එමෙන්ම, මෙවර මහ කන්නයේ වර්ෂාපතනය පෙර කන්නය හා සැසදීමේ දී අඩුවීමක් පෙන්නුම් කරන බවයි මහවැලි අධිකාරිය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් ‘හිරු ප්‍රවෘත්ති අංශය’ සමඟ සංවාදයකට එක්වෙමින් බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව කියා සිටියේ, උසස් පෙළ නිම වන තුරු විදුලි කප්පාදුව සිදු නොකිරීම සඳහා ජලය ප්‍රමාණවත් පරිදි පවතින බව යි.

මේ අතර, ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඊයේ (02) රාත්‍රියේ සිට අක්‍රිය කිරීමේ අවදානමක පැවති කැළණිතිස්ස සංයුක්ත චක්‍රිය විදුලි බලාගාරයට නැප්තා ලීටර් මිලියන 1.3 ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාදී තිබෙනවා.

එය අද (03) දිනයට ප්‍රමාණවත් බවයි එම බලාගාරය භාර උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

කැළණිතිස්ස සංයුක්ත චක්‍රිය විදුලි බලාගාරය මගින් උත්පාදනය කෙරෙන විදුලි ධාරිතාව මෙගාවොට් 165 ක් ෴


ජාතික කොඩි අලවිය අඩු වෙයි

(03.02.2023 – 12:50 +0530 – hirunews.lk/sinhala)

හෙට (04) පැවැත්වෙන නිදහස් දිනයට සමඟාමීව සිදු කරන පෙරහුරු අද (03) දිනයේත් සිදු කෙරෙනවා.

ඒ හේතුවෙන් අද (03) උදෑසන 5 සිට දහවල් දක්වා පෙරහුරුව සිදු කෙරෙන කාලය තුළ ගාලු මුවදොර හා කොළඹ මාර්ග රැසක විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කෙරුණා.

හෙටට (04) යෙදී ඇති 75 වන නිදහස් සැමරුම් උත්සවය ආරම්භවීමට නියමිතව ඇත්තේ පෙරවරු 8 යි.

ඊට සහභාගිවීම සඳහා විදේශීය රාජතාන්ත්‍රිකයින් මේ වන විටත් දිවයිනට පැමිණ තිබෙනවා.

රට මුහුණදී ඇති තත්වය හමුවේ 75 වන නිදහස් සැමරුම වර්ජනය කරන බව කතෝලික සභාව පසුගියදා ප්‍රකාශ කළා.

එසේම දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන හවුල්කාර පක්ෂයක් වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය හෙට (04) දිනයේ දී නිදහස් දින සැමරුම වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද නිදහස් දින උත්සවය වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා.

ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක අධික මුදලක් වැය කෙරෙන නිදහස් උළෙළට සහභාගි නොවීමට සමගි ජන බලවේගය පක්ෂ තීරණය කිරීම හේතුවෙන් විපක්ෂ නායකවරයා මෙම උළෙලට එක් නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කළේ.

මේ අතර 75 වන නිදහස් දිනයට සමගාමීව හෙට (04) දිනයේදී උතුර නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.

උතුරේ දෙමළ ජනතාවගේ ගැටළු විසඳීමට රජය මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය දක්වමිනුයි යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය මෙම හර්තාල් ව්‍යාපාරය දියත් කිරීමට සැළසුම් කර ඇත්තේ.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හෙට (04) දිනයේදී කොළඹදී විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.

ජීවන බර ඉහළ යාම, ත්‍රස්ත පනත අහෝසි කිරිම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි මෙම විරෝධතාව සංවිධාන කර ඇත්තේ.

නිදහස් දින උළෙල පැවැත්වීම හේතුවෙන් අද (03) දිනයේ කොළඹ ආරක්ෂාව තර කර තිබෙනවා. පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ද ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් පිරිසකට පොදු සමාවක් ප්‍රදානය කර තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි 04 වනදාට බන්ධනාගාර ගතව වසරක් ගතවන්නේ නම් දින 21 ක සමාවක් හිමිවන අතර, දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින සිරකරුවන්ගේ ගෙවමින් පවතින ඉතිරි දඬුවම් කාලය අහෝසි කිරීම වනවා.

ඊට අමතරව වසර 40 ක් හෝ ඊට වැඩි සිර දඬුවමක් නියම කර හෙට (04) දිනය වනවිට එම දඬුවමින් වසර විස්සක (20) කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉතිරි කාලය අහෝසි කිරීමද සිදු කෙරෙනු ඇති.

එලෙස පොදු සමාවට සුදුසුකම් ලබන සියලු සිරකරුවන් හෙට (04) දිනයේදී බන්ධනාගාරවලින් නිදහස් කිරීමට කටයුතු කෙරෙන බවයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් සහ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ප්‍රකාශ කළේ.

එසේම ජාතික කොඩි අලෙවිවීමේ අඩුවක් මෙවර දක්නට ලැබෙන බව වාර්තා වනවා.

දිවයිනේ නගර රැසක ජාතික කොඩි අලෙවි කිරීම් සිදු කරන අතර, එහි වෙළඳාම් කටයුතු පසුගිය වසරට සාපේක්ෂ ව පහළ මට්ටමක පවතින බවයි ජාතික කොඩි අලෙවි කරන්නන් සඳහන් කරන්නේ ෴


කතරගම එක ම පවුලේ තුන් (3) දෙනෙකුට නිල් මැණික්ගල් 5 ක්

(03.02.2023 – 13:06 +0530 – hirunews.lk/sinhala)

කතරගම – කොච්ච්පතාන ප්‍රදේශයේ එකම පවුලේ තුන්දෙනෙකුට (3) නිල් මැණික්ගල් 5 ක් හමුවීමේ පුවතක් වාර්තා වනවා.

කතරගම වන්දනාවේ පැමිණෙන පිරිස් වෙනුවෙන් පූජා භාණ්ඩ අලෙවිකරන වෙළෙන්දන් තුන්දෙනෙකුටයි (3) මෙලෙස නිල් මැණික් ගල් හමු වී ඇත්තේ.

මීට වසර ගණනාවකට පෙර කතරගම – කොච්ච්පතාන ප්‍රදේශයේ මැණික් ඉල්ලම් තිබූ ස්ථානයක් වන අතර මෑතක සිට ජනතාව නැවතත් එම ප්‍රදේශයේ මැණික් ගැරීමට පුරුදු ව සිට තිබෙනවා.

මෙලෙස මැණික් ගල් හමුවීමත් සමඟ එම ස්ථානයට පැමිණෙන පිරිස වැඩි වී ඇති බව යි අප වාර්තාකරු කියා සිටියේ.

අදාළ ස්ථානයේ ඉල්ලම් හාරමින් සිටිය දී විශාල පාෂාණ කුට්ටියක් මතු ව ඇති අතර අදාළ පුද්ගලයින් තුන්දෙනා (3) එය තවදුරටත් පරීක්ෂා කිරීමේ දී යි මෙලෙස නිල් මැණික් ගල් 5 හමු වී ඇත්තේ.

මෙලෙස හමු වූ මැණික් ඇලහැර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට රුපියල් කෝටි පහක (5,00,00,000) මුදලකට අලෙවි කර ඇති බව ද වාර්තා වනවා ෴


බස් ගැමුණුගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්

(03.02.2023 – 13:10 +0530 – hirunews.lk/sinhala)

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ‘ගැමුණු විජේරත්න’ අද (03) පෙරවරුවේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනුකළා.

ඒ, අරගලයේ නීතීඥවරයෙකු වන ‘මනෝජ් නානායක්කාර’ විසින් තමන්ට මරණ තර්ජන එල්ල කළ බව පවසමින්.

පසුගියදා ඇප මත නිදහස් වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ‘වසන්ත මුදලිගේ’ සිරගත කිරීමට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, ‘වසන්ත මුදලිගේ’ සිරගත කිරීමට තමාගේ ද සම්බන්ධයක් නොමැති බව ‘සංජු සමරසිංහ’ හෙවත් ‘මෝටිවේෂන් අප්පච්චි’ පවසනවා.

ඔහු ඊයේ (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා ෴


ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවකයන් සභාපතිවරයා සිර කරගෙන විරෝධතාවක

(03.02.2023 – 13:13 +0530 – hirunews.lk/sinhala)

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවකයන් එහි සභාපතිවරයාව අද (03) උදෑසන කාර්යාල අඩස්සියේ තබාගෙන විරෝධතාවක නිරත වුණා.

ඒ, ආයතනයෙන් සේවා ලබාගැනීමට පැමිණෙන පිරිස සහ ආයතනයේ සේවකයන් අපහසුතාවට පත්වන ආකාරයට සභාපතිවරයා හැසිරෙන බවට චෝදනා කරමිනු යි ෴


නිදහස් උළෙලට බාධා වන අයුරින් විරෝධතාකරුවන්ට ගාලුමුවදොරට ඇතුලුවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්

(03.02.2023 – 15:31 +0530 – hirunews.lk/sinhala)

හෙට (04) පැවැත්වෙන 75 වන නිදහස් උත්සවයට බාධා වන පරිදි ගාලුමුවදොර භූමියට උද්ඝෝෂණකරුවන්ට ඇතුළු වීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (03) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

නිදහස් උත්සවයට බාධා කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ බහුජන සංවිධාන ඇතුලු විපක්ෂ ක්‍රියාකාරින් උද්ඝෝෂණයක් සංවිධාන කර ඇති අතර එම උද්ඝෝෂණය තහනම් කරන ලෙස කොටුව, කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය පොලිස් ස්ථාන විසින් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.

ගාලුමුවදොර භූමියට ඇතුළු වන නිදහස් වටරවුම, අලියා නාන වටරවුම, මාකර් මාවත, මුහුදු මාවත ඇතුළු මාර්ගවලට ඇතුළු වීම වළක්වාලමිනුයි මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

කෙසේ වෙතත්, සාමකාමීව උද්ඝෝෂණය කිරීමට හැකි බවත්, මහේස්ත්‍රාත්වරයා පොලීසියට දැනුම් දී තිබෙනවා.


නිදහස් චතුරස්‍රය ආශ්‍රිත මාර්ග කිහිපයක් අද (03) පස්වරු 3 සිට වැසේ

(03.02.2023 – 15:35 +0530 – hirunews.lk/sinhala)

75 වන නිදහස් උළෙල නිමිත්තෙන් අද (03) පස්වරු 3 සිට කොළඹ නිදහස් චතුරස්‍රය අවට මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ එම පරිශ්‍රයේ සංස්කෘතික ප්‍රසංගයක් පැවැත්වීම හේතුවෙන් මෙලෙස මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කර ඇති බවයි.

ඒ අනුව, නිදහස් මාවත, නිදහස් වටරවුමෙන් නිදහස් චතුරස්‍රයට ඇතුළුවෙන මාර්ගය, පදනම් මාර්ගය, ස්ටැන්ලි විජේසුන්දර මාවත ප්‍රදේශයෙන් පදනම් ආයතනයට ඇතුළු වන මාර්ගය, ප්‍රේමකීර්ති ද අල්විස් මාවත සහ රූපවාහිනි සංස්ථාව දෙසින් නිදහස් චතුරස්‍රයට ඇතුළු වන මාර්ග මෙම සංස්කෘතික ප්‍රසංගය අවසන් වන තෙක් වසා තැබෙනවා ෴


2023 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්පත් කැඳවෙයි

(03.02.2023 – 15:49 +0530 – hirunews.lk/sinhala)

දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවා තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි මස 13 වැනි දින සිට පෙබරවාරි මස 22 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) සිදු කිරීමට හැකියි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන http://www.slbfe.lk යන වෙබ් අඩවිය මගින් විභාගය සඳහා අවශ්‍ය කරන අයදුම්පත් ලබාගැනීම සඳහා ලියාපදිංචිය ලබාගත හැකි වනවා.

මේ සඳහා අවුරුදු 18-39 ත් අතර පුද්ගලයින්ට (1983.02.14 සිට 2005.02.13 උපන් අයට) අයදුම් කළ හැකි අතර, වර්ණ අන්ධතාව නොමැති, සිරගතවීමක් හෝ බරපතළ වැරදිවලට වැරදිකරුවෙකු වී නොමැති, කොඳු ඇට පෙලේ ආබාධ සහිත හෝ ඇඟිලි අඩු හෝ ඇඟිලි ඉවත් කර හෝ නොමැති පුද්ගලයින් හා දකුණු කොරියාව මගින් පිටුවහල් කළ බවට පෙර වාර්තා නොමැති හා E-9 සහ E-10 වීසා කාණ්ඩ යටතේ වූ සේවා කාලය ද ඇතුළුව වසර 5 ට අධික කාලයක් දකුණු කොරියාවේ සේවය කර නොමැති පුද්ගලයින් විය යුතු බවයි එම රෙගුලාසි යටතේ දැක්වෙන්නේ.

විභාග ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සඳහා අයදුම්පත්‍රය, විදේශ ගමන් බලපත්‍රයේ ස්කෑන් පිටපතක්, මාස 3 ක් ඇතුළත ලබාගත් 3.5 cm × 4.5 cm ප්‍රමාණයේ සුදු පැහැති පසුබිම සහිත ඡායාරූපයක ස්කෑන් කළ පිටපතක් අවශ්‍ය වනවා.

විභාග ගාස්තුව රු.10,140 ක් වන අතර, ලංකා බැංකුව, මහජන බැංකුව හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට මුදල් ගෙවු රිසිට්පත අවශ්‍ය වනු ඇති. (මුදල් ගෙවිය යුතු බැංකු ගිණුම් අංක http://www.slbfe.lk වෙබ් අඩවිය මගින් ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.)

නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා ප්‍රවිණතා විභාගය 2023 මාර්තු 13 දින සිට අගෝස්තු 30 දක්වා පැවැත්වෙන අතර, ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා අවශ්‍ය භාෂා ප්‍රවීණතා විභාගය 2023 සැප්තැම්බර් 01 දින සිට නොවැම්බර් 30 දින දක්වා පරිගණක ආශ්‍රිතව, පන්නිපිටිය කොරියානු පරිගණක ආශ්‍රිත විභාග මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම විභාගය හා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන http://www.slbfe.lk වෙබ් අඩවිය හරහා ලබාගත හැකියි ෴


නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 588 කට සහ රැඳවියන් 31 කට ජනපති සමාව

(03.02.2023 – 16:10 +0530 – hirunews.lk/sinhala)

75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් සිරකරුවන් 588 දෙනෙකුට සහ රැඳවියන් 31 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ ඔවුන් හෙට (04) දිනයේදී බන්ධනාගාරය තුළින් නිදහස් කරන බවයි.

ඊට අදාළ චක්‍රලේඛය අද (03) දින නිකුත් කළ බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා ෴


රාජ්‍ය වියදම් පාලනය නිසි ලෙස සිදු කරන්න – මුදල් අමාත්‍යාංශය

(03.02.2023 – 16:29 +0530 – hirunews.lk/sinhala)

අයවැය චක්‍රලේඛනයට අදාළව රාජ්‍ය වියදම් පාලනය කිරීම සම්බන්ධයෙන් වන විශේෂ නිවේදනයක් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

පවතින අයහපත් හා අනපේක්ෂිත ආර්ථික තත්ත්වය තුළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් මතුව ඇති දුෂ්කරතා පිළිබඳ මේ දක්වා නිකුත් කරන ලද අයවැය චක්‍රලේඛ මගින් දැනුම්දී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

මෑතකදී සිදු කරන ලද බදු සංශෝධන තුළින් අපේක්ෂිත ඉලක්ක සපුරාගන්නා තෙක් අත්‍යවශ්‍ය ම රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පමණක් අක්මුදල් නිදහස් කිරීමට ජනවාරි මස 30 වැනි දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් උපදෙස් ලැබී තිබෙනවා.

ඒ අනුව වැටුප්, විශ්‍රාම වැටුප්, සුබ සාධන වියදම්, වෛද්‍ය සැපයීම්, ණය සේවාකරණය සහ ඉහත අයවැය චක්‍රලේඛන මගින් ප්‍රමුඛතාගත කර ඇති අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්ගේ නිල බැංකු ගිණුම මත පවතින ද්‍රවශීලතාවය සලකා බැලීමෙන් පසු අක්මුදල් නිදහස් කිරීමට භාණ්ඩාගාරය විසින් කටයුතු කරනු ලැබූ බවයි මුදල් අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ.

මෙම ඉහත කොන්දේසිවලට පටහැනිව යම් බැඳීමක් නිලධාරින් විසින් ඇති කර නොගත යුතු අතර එවැනි නියමයන් කඩකරන නිලධාරින් පුද්ගලිකව ම ඒ සඳහා වගකිව යුතු බව ද අදාළ අමාත්‍ය මණ්ඩල තීරණයේ සඳහන්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *