වසන්ත මුදලිගේ සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ සම්පූර්ණ නියෝගය

වසන්ත මුදලිගේ සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ සම්පූර්ණ නියෝගය


වසන්ත මුදලිගේ සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ සම්පූර්ණ නියෝගය

(01.02.2023 – 11:18 +0530 – hirunews.lk/sinhala)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ඊයේ (31) ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබූ චෝදනාවලින් නිදහස් කෙරුණා.

ඒ, අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවුණු අවස්ථාවේ දී.

එහි දී මහේස්ත්‍රාත්වරයා කරුණු පැහැදිලි කරමින් නියෝග කළේ, වසන්ත මුදලිගේ ව ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රඳවා තැබීම සඳහා කිසිදු සාක්ෂියක් නොමැති බව යි.

වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් පැවසුවේ ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වසන්ත මුදලිගේට එරෙහි ව සාක්ෂි නොමැති හෙයින් ඔහු ව නිදහස් කරන ලෙස යි.

එම කරුණු සැලකිල්ලට ගැනීමෙන් හා පවතින සාක්ෂි පදනම් කරගෙන මහේස්ත්‍රාත්වරයා වසන්ත මුදලිගේ ව නිදහස් කරන ලෙස දැනුම් දුන්නා.

සැකකාර වසන්ත මුදලිගේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ බවක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවූ බවක් හෝ ඒ සඳහා උපදෙස් දුන් බවක් ද අනාවරණය වී නැති බව යි මහේස්ත්‍රාත්වයා අවධාරණය කර ඇත්තේ.

වසන්ත මුදලිගේ විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සමඟ මුදල් හුවමාරු කරගත් බවට ගැමුණු විජේරත්න කළ ප්‍රකාශය ද සාක්ෂි නොමැති අනාවරණය නො වූ කරුණක් බවත් එය හුදු ප්‍රකාශයක් බවත් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයේ සඳහන්.

එමෙන් ම වසන්ත මුදලිගේ විසින් ජාතිවාදය හෝ ආගම්වාදය මතු වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවට ද සාක්ෂි ඉදිරිපත් වී නැති බවත් අධිකරණයේ දී තහවුරු වුණා.

‘මෝටිවේෂන් අප්පච්චී’ නම් පුද්ගලයා විසින්, අරගළය තුළට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පැමිණ සිදු කළ ක්‍රියාවන් පිළිබඳ කළ විවේචනාත්මක ප්‍රකාශය ද හුදු ප්‍රකාශයන් පමණක් බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

වසන්ත මුදලිගේ ව දිගින් දිගට ම රඳවා තැබීම සඳහා ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරමින් ඇතැම් කරුණු නිර්මාණය කළ ඒවා බව ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබෙනවා.

මෙම කරුණු සැලකිල්ලට ගැනීමේ දී වසන්ත මුදලිගේ ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තමන්ට නීතිමය හැකියාවක් නොමැති බව යි මහේස්ත්‍රාත්වරයා අවධාරණය කර ඇත්තේ.

+


මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කිරිපිටි තොගයක් සත්ත්ව ආහාර සඳහා අලෙවි කිරීම ගැන විමර්ශනයක්

(01.02.2023 – 11:15 +0530 – hirunews.lk/sinhala)

මිල්කෝ සමාගම මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු මෙට්‍රික් ටොන් 635 ක කිරිපිටි තොගයක් සත්ත්ව ආහාර සඳහා එක් සමාගමකට අනුමැතියකින් තොරව අලෙවි කිරීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස අලෙවි නොකරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා නියෝග කර තිබිය දී එය මිල්කෝ සමාගමේ ඉහළ බලධාරින් විසින් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් මත අදාළ කිරිපිටි තොගය ඔවුන් තීරණය කළ සමාගමකට විකුණා ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් වහාම නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා මිල්කෝ සභාපතිවරයාට ලිපියකින් දැනුම් දී තිබෙනවා ෴


පාරිභෝගික අධිකාරියේ වැටලීම්වලින් රුපියල් මිලියන 111 ක දඩ මුදලක් ලැබෙයි

(01.02.2023 – 09:27 +0530 – hirunews.lk/sinhala)

2022 වසරේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකරන ලද වෙළඳපොල වැටලීම්වල දී පවරනු ලැබූ නඩු සඳහා අධිකරණය මගින් දඩ මුදල් ලෙස රුපියල් මිලියන 111 ක් නියම කර තිබෙනවා.

පසුගිය වසරේ වැටලීම් 13,980 ක් එම අධිකාරිය සිදුකර ඇති අතර, ඉන් අධිකරණ කටයුතු අවසන් වූ නඩු 13,389 ක් සඳහායි මෙම දඩ මුදල නියම කර ඇත්තේ.

බිස්කට්, ඖෂධ, ළදරු නිෂ්පාදන, ශරීරාලේපන, විදුලි උපකරණ වැනි දෑ සම්බන්ධයෙන් පසුගිය වසරේ වැටලීම්වලින් වැඩි සංඛ්‍යාවක් සිදුකළ බවයි පාරිභෝගික අධිකාරිය නිවේදනය කළේ.

2005 වසරේ සිට අධිකාරිය මේ දක්වා වෙළඳපොල වැටලීම් 290,000 ක් පමණ සිදුකර ඇති අතර, ඒ සඳහා අධිකරණය මගින් රුපියල් මිලියන දහසක (1000) පමණ දඩ මුදල් නියම කර ඇති බව ද එහි සඳහන් ෴


පාස්පෝට් කන්තෝරුව ළඟ ව්‍යාජ රැකියා බලපත්‍ර සකසා දුන් දෙදෙනෙකු (2) අත් අඩංගුවට

(01.02.2023 – 11:37 +0530 – hirunews.lk/sinhala)

ආගමන විගමන දෙපාර්තුමේන්තුවට පැමිණෙන පුද්ගලයන්ගෙන් මුදල් සහ ජාතික හැදුනුම්පත් බලෙන් ලබා ගැනීම හා ව්‍යාජ ලිපි ලේඛණ සැකසීම යන චෝදනා යටතේ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඊයේ (31) පොලිසියට ලැබුණු තොරතුරකට අනුව යි.

බත්තරමුල්ල සුහුරුපාය ආගමන විගමන දෙපාර්තුමේන්තුව වෙත විදේශ ගමන් බලපත්‍ර සකස්කර ගැනීමට පැමිනෙණ පුද්ගලයින් හට ව්‍යාජ රැකියා බලපත්‍ර සකස්කර දී ‘එක්දින සේවාව’ මගින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර සකස්කර දෙන පවසා මුදල් වංචා කළ සැකකරුවන් දෙදෙනෙකු (2) යි මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ.

එහි දී සැකකරුවන් විසින් විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් දහසේ (1000) සිට විසිදහස (20,000) දක්වා අය කරගෙන ඇති බව සඳහන්.

තවද එම අයදුම්කරුවන්ගේ ජාතින හැදුනුම්පත් බලෙන් ලබාගෙන ලඟතබා ගැනීම සම්බන්ධයෙන් පොලිසියට ලැබුණ පැමිණිලි අනුව කරන ලද විමර්ශණයේ දී එම සිද්ධින් වලව සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු (2) ඔවුන් සතුව තිබු අයදුම්කරුවන්ගෙන් බලෙන් ලබාගත් මුදල් සහ ජාතික හැදුනුම්පත් ද සමගින් අද දින (2023.01.31) අත් අඩංගුවට ගෙන ඇත.

තලංගම පොලිසිය මඟින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයව යි.

+


කතෝලික සභාව, නිදහස් සැමරුම වර්ජනය කරයි

(01.02.2023 – 13:19 +0530 – hirunews.lk/sinhala)

කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික සභාව නිදහස් දින සැමරුම් උළෙල වර්ජනය කිරීමට තීරණය කර ඇති බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය සිරිල් ගාමිණී පියතුමා ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, රටේ වත්මන් තත්ත්වය පිලිබඳ අදහස් දැක්වීම සඳහා කොළඹ අද (01) සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙහි දී ආචාර්ය සිරිල් ගාමිණි පියතුමා වැඩිදුරටත් සඳහන් කළේ, රටේ පවතින ආර්ථික තත්ත්වය මත නිදහස් උළෙලට විශාල පිරිවැයක් දැරීම අනුමත කළ නොහැකි බවයි.

පාස්කු ප්‍රහාරයට අදාළව සමාව ඉල්ලන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදු කළ ප්‍රකාශය පිලිබඳ ද සිරිල් ගාමිණී පියතුමා මෙහිදී අදහස් පළ කළා.

පියතුමා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ පැහැදිලිව සඳහන් වන බවයි.

මේ අතර, උතුරු නැගෙනහිර පළාත් සඳහා වෙනම අගරදගුරු පදවියක් පත් කරන්නැයි යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

යාපනය ප්‍රදේශය නියෝජනය කරමින් ජෝශප්දාස් ජෙබරත්නම් පියතුමා සඳහන් කර ඇත්තේ, මේ සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු පදවිය සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

උතුරු නැගෙනහිර කතෝලික ජනතාවගේ ගැටලු පහසුවෙන් විසඳා ගැනීම සඳහා ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම මෙම යෝජනාවේ අරමුණයි.

ඉදිරියේ දී මෙම ඉල්ලීම වතිකානුව වෙත ඉදිරිපත් කිරීමට අදහස් කරන බව ද උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.

+

+


රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීම ගැන අමාත්‍ය මණ්ඩල තීරණයට එරෙහි තහනම් නියෝගය දීර්ඝ කෙරේ

(01.02.2023 – 14:09 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරු සඳහා පමණක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය මාර්තු 29 වැනිදා දක්වා දීර්ඝ කිරීමට නියෝග කළා.

ඒ, අදාළ පෙත්සම අභියාචනාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.

රාජ්‍ය සේවකයින් අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණේ පසුගිය වසරේ ඔක්තෝබර් මස 17 වැනිදායි.

කෙසේවෙතත්, වයස අවුරුදු 60 දී තමන්ව විශ්‍රාම ගැන්වීමට එරෙහිව විශේෂඥ වෛද්‍යවරු 176 දෙනෙක් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබුණා.

පෙත්සම මගින් ඔවුන් පෙන්වා දී තිබුණේ, විශේෂඥ වෛද්‍යවරුන්ට සාමාන්‍යයෙන් වයස අවුරුදු 63 දක්වා සේවයේ නිරතවීමට හැකියාව පවතින අතර අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට ගත් තීරණය නිතියට පටහැනි බවයි.

+


වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති 30 ක එකමුතුවක් ජනපතිවරයාගෙන් හදිසි සාකච්ඡාවක් ඉල්ලයි

(01.02.2023 – 14:22 +0530 – hirunews.lk/sinhala)

වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සන්ධානය නව දේශීය බදු පනතේ අහිතකර බලපෑම් පිළිබඳ ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබෙනවා.

ඒ සඳහා වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සන්ධානයට අනියුක්ත වෘත්තීය සමිති 27 ක නියෝජිතයින් අස්සන් තබා තිබෙනවා.

මෙම ලිපිය හරහා වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සන්ධානය, නව දේශීය ආදායම් පනතේ අහිතකර බලපෑම් පිළිබඳ දැඩි අවධානයක් යොමු කරමින් පෙන්වා දෙන්නේ, මෙම බදු ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කළ හොත් එය තිරසාර නො වන අතරම එය බුද්ධිගලනය වැඩි කිරීමට සහ කඩා වැටී ඇති ආර්ථිකය තවදුරටත් හැකිලීමට හේතු වන බව යි.

මේ වන විට රට තුළ පවතින ඉතා ඉහළ උද්ධමනය, අඩු මිල දී ගැනීමේ හැකියාව සහ ඉහළ පොලී අනුපාත හමුවේ, අසාධාරණ සහ පෙර නො වූ විරූ අනුපාතයකට බදු වැඩි කිරීම හරහා වෘත්තිකයන්ගේ මූල්‍ය ස්ථාවරත්වය අවිනිශ්චිත තත්ත්වයකට පත් වී ඇති අතර, එය ඔවුන් රට තුළ රඳවා ගැනීමේ හැකියාවට ද අහිතකර ලෙස බලපෑම් සිදු කරන බව මෙම ලිපිය හරහා පෙන්වා දෙනවා.

ජනාධිපතිවරයාට යොමු කර ඇති මෙම ලිපියට අනුව නව දේශීය ආදායම් පනත පිළිබඳ සංගමයේ ප්‍රධාන අවධානය යොමු වී ඇති අංශ තුනක් (3) ඔවුන් ඉස්මතු කරනවා.

ඒ අනුව බදු පැනවීමේ සීමාව ඉතා පහළ මට්ටමක තිබීම, අඩු බදු ඒකක අගයන් සහිත ඉහළ බදු ප්‍රතිශත මත බදු පැනවීම, සහ රැකියාවෙන් ලැබෙන වැටුප සහ ව්‍යාපාරයෙන් ලැබෙන ලාභය අතර වෙනසක් නොමැති වීම යනාදී කරුණු සම්බන්ධයෙන් නැවත අවධානය යොමු කළ යුතු බවට යි වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙන්නේ.

තවද, පරිත්‍යාගශීලී ආයතන විසින් ද පෙන්වා දී ඇති පරිදි බදු ආදායම උපයෝගී කර ගැනීමේදී දූෂණය හා නාස්තිය බැහැර කරන අතරම විනිවිදභාවය, මූල්‍ය විචක්ෂණභාවය සහ කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා තිබිය යුතු යාන්ත්‍රණයක අවශ්‍යතාව ද මෙම ලිපියෙන් පෙන්වා දෙනවා.

රට බරපතළ ආර්ථික සහ සමාජීය ඇදවැටීමකට පත් වී ඇති අවස්ථාවක වුවද රට තුළ රැඳී සිටිමින් තවදුරටත් මාතෘ භූමියට සේවය කිරීමට තීරණය කළ වෘත්තිකයින් වශයෙන් තිරසාර, ඵලදායි සහ සාධාරණ බදු ප්‍රතිපත්තියක් සඳහා වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඉදිරිපත් කළ යෝජනා අදාල බලධාරීන්ගේ කිසිදු සැලකිල්ලකට ලක් වී නොමැති බවත් ඔවුන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

එබැවින්, ක්ෂේත්‍ර බහුතරයක් නියෝජනය කරන වෘත්තිකයන් වශයෙන්, වෘත්තිකයන් අතර නොසන්සුන්තාව වර්ධනය වීම වළක්වා රාජ්‍ය ආදායම සුරක්ෂිත කරන, ඉතා ලාභදායී විභව යෝජනා මාලාවක් සිය සංගමය විසින් සකසා ඇති බවත්, පවතින අර්බුදකාරී තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රතිපත්ති සැකසීමේදී වෘත්තිකයන්ගේ දායකත්වය ධනාත්මකව සලකා බැලිය යුතු බවත් පෙන්වා දෙන වෘත්තිකයන් ගේ වෘත්තීය සමිති එකමුතුව ඒ සඳහා සාකච්ඡාවකට ජනාධිපතිවරයාගෙන් මෙම සතිය තුළ දී කාල වේලාවක් ඉල්ලා තිබෙනවා ෴


කිඹුල් කටට අත දමා, ගිල්ල ඇම ගැලවූ හැටි

(01.02.2023 – 18:26 +0530 – hirunews.lk/sinhala)

කේබල් භාවිත කර සකස්කර තිබූ ඇමක් ගිළදමා සිටි කිඹුලෙකු බේරාගැනීමට වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශවාසීන් පිරිසක් සමත්ව තිබෙනවා.

කවටයාගොඩ ප්‍රදේශයේ බොල්ගොඩ ගඟේ අතු ඔයක සිටියදී මෙලෙස බේරාගෙන ඇත්තේ අඩි 23 ක පමණ දැවැන්ත කිඹුලෙක්.

කිඹුලා ගොඩට ගැනීමෙන් අනතුරුව උදාර සංජීව නමැති තරුණයෙක් ඉදිරිපත්ව කිඹුලාගේ මුව තුළට තම අත දමා කේබල් යොදාගෙන සකස්කර තිබූ ඇම පිටතට ගෙන තිබෙනවා.

එහිදී ආරක්‍ෂිත ලෙස කිඹුලා ලී ආධාරයෙන් බැඳ රැස්ව සිටි පිරිසගේ සහායෙන් ඔහුට එම ඇම කොටස ඉවත්කිරීමට මිනිත්තු 30 ක පමණ කාලයක් ගතවී තිබෙනවා.

අනතුරුව මෙලෙස බේරාගත් කිඹුලා වනජීවී නිලධාරීන් පැමිණෙන තෙක් අසල පිහිටි කුඩා පොකුණකට දමා තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *