08 වනදා විදුලි ඉංජිනේරුවන් ලෙඩ වෙයි

08 වනදා විදුලි ඉංජිනේරුවන් ලෙඩ වෙයි


08 වනදා විදුලි ඉංජිනේරුවන් ලෙඩ වෙයි

(31.01.2023 – 19:50 +0530 – hirunews.lk/sinhala)

නව බදු ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් ලබන 08 වනදා තම සේවකයින් ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීප ව්‍යාප්තව උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරන බව ‘ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය’ පවසනවා.

එහි සභාපති නිහාල් වීරරත්න කොළඹ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

මේ අතර විදුලි උත්පාදනය සඳහා ජලය මුදා හැරීමට මහජන උපයෝගිතා කොමිසම කළ ඉල්ලීමකට ජල කළමනාකරණ කමිටුව එකඟත්වය පළ කිරීමත් සමග ඊයේ (30) සහ අද (31) දිනයේදී කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමටයි විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබුණේ.

ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය අනුව ජල කළමනාකරණ කමිටුව සිදුකරන දැනුවත් කිරීම මත හෙට (01) දිනයේදී විදුලි කප්පාදුව සම්බන්ධයෙන් තීරණය කෙරෙනු ඇති ෴

අතීතයේ සිට බලපැවැත්වෙන පරිදි විදුලි ගාස්තුවල අතුරු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් ඒකමතිකව තීරණය කර තිබෙන බව එහි සභාපති ජනක රත්නායක පවසනවා ෴

+


ත්‍රස්ත පනතේ චෝදනාවෙන් වසන්ත මුදලිගේ නිදහස් – නඩු 3 කට තවමත් රිමාන්ඩ් භාරයේ

(31.01.2023 – 19:03 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද (31) නියෝග කළා.

ඒ, ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති හෙයින් තම සේවාදායකයා නිදහස් කරන ලෙසට ඔහුගේ නීතීඥයින් මීට පෙර පැවති නඩු වාරයේදී අධිකරණය හමුවේ සිදුකළ ඉල්ලීමකට අනුවයි.

එම ඉල්ලීමට අනුව අදාළ නියෝගය ප්‍රකාශ කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් සඳහන් කළේ සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව අනුව ඔහු ස්ථාන ගණනාවක විරෝධතාවල නිරතවී ප්‍රචන්ඩ ක්‍රියා සිදුකර ඇති බවයි.

එමෙන්ම සැකකරු අධික මුදල් පරිහරණයක නිරතවී තිබෙන බව අදාළ වාර්තාවේ සඳහන් වන්නේ යැයි මහේස්ත්‍රාත්වරයා කියා සිටියා.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්තනෝමතික ලෙස භාවිත කළ අවස්ථා අතීතය පිරික්සීමේදී පෙනී යන අතර, ඇතැම් අවස්ථාවල පොලිසිය, දීර්ඝ කාලයක් පුද්ගලයන් බන්ධනාගාර ගත කිරීමේ චේතනාවෙන් මෙම පනත භාවිත කර ඇති බවද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

සැකකරු මාස ගණනාවක් රඳවාගෙන විමර්ශනය කළද ඔහු විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සමඟ මුදල් හුවමාරු කරගත් බවටද අනාවරණ වී නොමැති බව මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයේ සඳහන්.

සැකකරුට එරෙහිව එල්ලවන චෝදනා සනාථ කිරීමට සාක්ෂිකරුවන්ගෙන් ලබාගත් සාක්ෂි ප්‍රමාණවත් නොවන බවද මහේස්ත්‍රාත්වරයා එහිදී අධිකරණයට දැනුම් දුන්නා.

එසේම සැකකාර වසන්ත මුදලිගේ රාජ්‍ය දේපළවලට පහරදී අලාභහානි සිදුකිරීම පිළිබඳව සාක්ෂි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කළ සාක්ෂි සම්පිණ්ඩනය තුළින් අනාවරණ නොවන බවයි මහේස්ත්‍රාත්වරයා පැවසුවේ.

සැකකරු ජාතිවාදය හෝ ආගම්වාදය මතුවන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවටද සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවයි මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ.

ඒ අනුව වසන්ත මුදලිගේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නීතිමය හැකියාවක් නොමැති බැවින් ඔහු නිදහස් කරන බවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කළේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකාර වසන්ත මුදලිගේ දින 89 ක් රඳවාගෙන ප්‍රශ්න කළ අතර, පසුගිය නොවැම්බර් 21 වනදා සිට දින 70 ක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව පසුවුණා.

කෙසේ වෙතත් මෙම නඩුවට අදාළව ඔහු නිදහස් කිරීමට අධිකරණය නියෝග කළත් තවදුරටත් වසන්ත මුදලිගේ නඩු 3 කට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

ඒ, පසුගිය වසරේ මැයි 19 වනදා කොටුව දුම්රියපල ඉදිරිපිට සිදුකළ විරෝධතාවකට සහ ගාලු මුවදොර පැවති අරගලභූමියට දින 50 ක් පිරීම නිමිත්තෙන් පසුගිය ජූනි 20 වනදා සිදුකළ විරෝධතාවකට මෙන්ම පොලිස් මූලස්ථානයට ඉදිරිපිට සිදුකළ විරෝධතාවකට අදාළ චෝදනා මතයි.

මේ අතර අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ නියෝජිතයන් පිරිසක් අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසළ සිදුකිරීමට නියමිතව තිබූ නිහඬ විරෝධයක් වළක්වන නියෝගයක් ඉල්ලා කෙසෙල්වත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් අද ප්‍රතික්ෂේප කළා ෴

+


උතුර, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලට තද වැසි

(31.01.2023 – 19:17 +0530 – hirunews.lk/sinhala)

බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින පීඩන අවපාතය මේ වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර 290 ක් නැගෙනහිරින් ස්ථානගතව පවතින අතර, එය අද (31) දිනයේ මඩකලපුව සහ පොතුවිල් අතරින් මෙරටට ඇතුලුවීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි බලපෑමෙන් උතුර, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර 150 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා ආචාර්ය ශිරෝමණී ජයවර්ධන සඳහන් කළේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලටද මිලිමීටර 100 ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි ෴


ග්‍රෑන්ඩ්පාස් අවට මත්කුඩු බෙදූ ‘නින්ජා’ අත්අඩංගුවට

(31.01.2023 – 19:45 +0530 – hirunews.lk/sinhala)

මත්කුඩු ජාවාරමේ නිරත වෙමින් සිටියදී ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ‘නිරෝෂා නිරංජලා’ හෙවත් ‘නින්ජා’ නැමති කාන්තාව ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද අධිකරණය අද (31) නියෝග කළා.

ඊයේ (30) රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙම කාන්තාව සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 30 යි මිලිග්‍රෑම් 160 ක් සොයාගත් අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ හත හමාරක් (7½).

එමෙන්ම ඇය සතුව මුදලින් රුපියල් 5,60,000 ක් ද වැටලීම සිදුකළ කොට්ඨාශභාර අපරාධ විමර්ශන ඒකකය සොයා ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ‘නින්ජා’ නැමති මෙම කාන්තාව මෝදර – පඤ්ඤානන්ද මාවත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 32 හැවිරිදි තැනැත්තියක් ෴


සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත්‍ භාර ගැනීම හෙට (01) සිට

(31.01.2023 – 21:21 +0530 – hirunews.lk/sinhala)

2022 සාමාන්‍ය පෙළ විභාගය සඳහා වන අයදුම්පත්‍ර හෙට (01) සිට එළඹෙන 28 වැනි දා දක්වා ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ පමණක් නිකුත් කිරීම් සහ භාර ගැනීම් සිදු කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, කිසිදු හේතුවක් මත එම කාලය දීර්ඝ නොකරන බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *