වනඅලි ප්‍රහාරයකින් දෙදරු මවක් මරුට – ඇකයේ සිටි කුඩා දරුවා රෝහලේ – නිවාස 03 ක් අලියා කඩා දමලා

වනඅලි ප්‍රහාරයකින් දෙදරු මවක් මරුට – ඇකයේ සිටි කුඩා දරුවා රෝහලේ – නිවාස 03 ක් අලියා කඩා දමලා


වනඅලි ප්‍රහාරයකින් දෙදරු මවක් මරුට – ඇකයේ සිටි කුඩා දරුවා රෝහලේ – නිවාස 03 ක් අලියා කඩා දමලා

(31.01.2023 – divaina.lk)

මහියංගණ දෙහිගොල්ල ග්‍රාමයේ ඊයේ (30 දා) අලුයම නිවසකට වනඅලි ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ නිවැසියන් ජීවිත ආරක්ෂාව පතා නිවසින් බැහැරව අසල නිවසකට දිව යද්දී ඔවුන් පසුපස හඹාගොස්, පෙරපාසල් වයසේ දරුවෙකු අතැතිව දිව ගිය කාන්තාවට පහරදී පෑගීමෙන් බරපතළ තුවාල ලබා, ප්‍රතිකාර සඳහා මහියංගණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වයස අවුරුදු 35 ක් පමණ වන එම කාන්තාව මියගොස් ඇති බවට මහියංගණ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මහියංගණ, දෙහිගොල්ල, සොරබොර වැව පාර, අංක 01 /299 යන ලිපිනයේ පදිංචිව සිටි වයස අවුරුදු 35 ක් පමණ වූ ඩී. එම්. සුනීතා දිසානායක නමැති දෙදරු (2) මවකි.

වනඅලියාගෙන් පහරකෑමට ලක්ව තුවාල ලැබූ කාන්තාව රෝහල් ගත කිරීම සඳහා, ඇය අසල රැඳී සිටි වනඅලියා පන්නා දැමීමට ගම්වාසීන් හට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත. ඒ සඳහ ගිනිමැල ගසා ටයර් පුච්චා දැඩි වෙහෙසක් ගෙන වනඅලියා පන්නා දැමීමට ගම්වාසීන් කටයුතු කර ඇත. ඇය බිම ඇදවැටී සිටි ස්ථානයට ළඟාවන විටත්, කුඩා දරුවා සුරක්ෂිතව ඇයගේ ඇකයේ දැඩිව අල්ලාගෙන සිට ඇත. මව සමඟ, බිම ඇදවැටීමෙන් දරුවාගේ හිසටද තුවාල සිදුව ඇත.

පසුව ගම්වාසීන් විසින් කඩිනමින් ප්‍රතිකාර සඳහා දරුවා හා මව මහියංගණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මව මියගොස් ඇත. වනඅලි ප්‍රහාරයෙන් දෙහිගොල්ල ගම්මානයේ සිදු වූ දෙවන (2) මරණය මෙය වේ.

කාලයක් තිස්සේ බලධාරීන් හට වනඅලි ගැටලුව පිළිබඳ කොතෙකුත් දැනුම් දී තිබියදීත්, අවස්ථා රැසකදී වනඅලි ගැටලුව පිළිබඳ විරෝධතා දක්වමින් බලධාරීන් දැනුවත් කළද මෙතෙක් එයට විසඳුම් නොදීම හේතුවෙන් අවාසනාවන්ත ලෙස මිනිස් ජීවිත වලින් වන්දි ගෙවීමට තමන් හට සිදුව ඇති බවට ගම්වාසීන් ආවේගයෙන් ප්‍රකාශ කරති.

මියගිය කාන්තාවගේ නිවසට අමතරව එම ගම්මානයේම තවත් නිවාස දෙකකට (2) ද එදින රාත්‍රි වනඅලි හානි සිදු කර ඇත. ඉන් එක් නිවසක බිත්තිවලට බරපතළ ලෙසට හානි සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ පොලිසිය යටතේ රාජකාරි කටයුතු සිදු කරමින් ඇත ෴


උතුරේ ඉඩම් රැසක් කොටි හිතවාදීන් අතේ

(31.01.2023 – divaina.lk)

උතුරේ ඉඩම් හිමි ද්‍රවිඩ ජාතිකයන් විශාල පිරිසක් කැනඩාව, ජර්මනිය, බ්‍රිතාන්‍යය, ස්විට්සර්ලන්තය, නෝර්වේ සහ ප්‍රංශය යන රටවල ජීවත්වන අතර, එම ඉඩම් කොටි හිතවාදීන් විසින් අල්ලාගෙන ඇතැයි අනාවරණය වේ. ද්‍රවිඩ පොලිස් නිලධාරියකුට හිමි යාපනයේ ඉඩමක් ද ව්‍යාජ ලියවිලි මත කොටි හිතවාදියකු විසින් තමන්සතු කරගෙන ඇත. මේ හැර රජය සතු ඉඩම් රැසක් ‘කොටි මහාවිරු පවුල්’ තමන්සතු කරගෙන ඇති අතර එම ඉඩම්වල ඔප්පු ගැන මෙතෙක් විමර්ශනයක් සිදුවී නැත.

පසුගිය දිනෙක නෝර්වේ සිට පැමිණි ද්‍රවිඩ ජාතිකයකු පැවසුවේ වලිකාමන් ප්‍රදේශයේ පිහිටි තම පියා සතු ඉඩමක කොටි හිතවාදී පවුලක් සිටින බවයි.

උතුරේ ඉඩම් කච්චේරිවල තිබූ ඔප්පු විශාල සංඛ්‍යාවක් කොටි සංවිධානය විසින් වනසා ඇති අතර විශාල පිරිසක් අනවසර පදිංචිකරුවන් බව හෙළිවී ඇත.

~ කීර්ති වර්ණකුලසූරිය


රනිල් නටන්න යන අලුත්ම නාටකය පිටුපස කතාව මෙන්න – ජී එල් සියල්ල හෙළිකරයි (30.01.2023)

+


වයෝවෘද්ධ අයට ATM කාඩ්වලින් සල්ලි ගන්න උදවු කරන මුවාවෙන් කාඩ්වලින් මුදල් ගත් තරුණයා අල්ලයි

(31.01.2023 – dinamina.lk)

වයෝවෘද්ධ පුද්ගලයන් සිය බැංකු කාඩ්පත් මඟින් මුදල් ලබා ගන්නා අවස්ථාවලදී ඒ අයට උදවු කරන මුවාවෙන් ඒ.ටී.එම්. කාඩ්පත් සොරාගෙන එම කාඩ්පත්වලින් මුදල් ලබා ගැනීම්වල නිරතව සිටි 23 හැවිරිදි තරුණයකු කුරුණෑගල පොලිසියේ නිලධාරිනියක් විසින් පෙරේදා (29) අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල පොලිසියේ සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරියක් පෙරේදා (29) දහවල් බැංකු කාඩ්පතින් මුදල් ගැනීමට කුරුණෑගල නගරයේ පිහිටි බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයක් වෙත ගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඒ අවස්ථාවේදී වයස්ගත කාන්තාවකට උදවු කරන මුවාවෙන් ඇගේ බැංකු කාඩ්පත අරගෙන වෙනත් කාඩ්පතක් ඇයට දෙනු දැක පොලිස් කොස්තාපල්වරිය නගරයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ගේද සහාය ඇතිව මේ සැකකරු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවද නිලධාරියා පැවසීය.

මාවතගම කොටිකාපල පදිංචිකරුවෙක් වන මේ සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වී ඇත්තේ වයස්ගත කාන්තාවන්ට ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ගැනීමට උදවු කරමින් ඔවුන්ගේ බැංකු කාඩ්පත් සූක්ෂ්ම ලෙස සඟවාගෙන ඔහු සතුව ඇති වෙනත් කාඩ්පතක් දෙමින් මේ වංචාව සිදු කරන බවයි. කාඩ්පතේ රහස් අංකය මතකයේ තබාගෙන ඔහු අනතුරුව එම බැංකු ගිණුමේ ඇති සියලු මුදල් ගන්නා බව පොලිසිය කියයි. මෙසේ ඔහු බොහෝ පිරිසකගේ බැංකු කාඩ්පත් සොරාගෙන ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. මේ තරුණයා පුරුද්දක් ලෙස බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍ර ඇති කුටි අසල රැඳී සිටින බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. ඔහු එහි රැඳී සිටින්නේද කාඩ්පතින් මුදල් ලබා ගැනීමේ සූදානමින් සිටින අයෙක් ලෙස බවද පොලිසිය කියයි. වයස්ගත පුද්ගලයෙක් කාඩ්පතින් මුදල් ලබා ගැනීමට යෑමේදී උදවු කිරීමට ඉදිරිපත් වෙමින් ඔහු මේ වංචාව සිදුකරන බව පොලිසිය කියයි.

මේ සැකකාර තරුණයා අපොස සාමාන්‍ය පෙළ දක්වා උගත් අයෙකි. පියා කුඩා කල මිය ගොස් ඇති බවත් පාසල් යන නැඟණියක්ද ඔහුට සිටින බවත් පොලිසිය කියයි. මාර්ග ඉදි කිරීමේ කොන්ත්‍රාත් සමාගමක කම්කරුවෙක් ලෙස සේවය කර ඇති අයෙක් වන මේ සැකකරු කාලයක් මත්කුඩු භාවිතයට ද ඇබ්බැහි වී සිට ඇත.

මාර්ග ඉදි කිරීම් දැන් සිදු නොවන බැවින් රැකියාව අහිමි වූ බව ද සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත. මුදල් නැතිව දිනක් තමා බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයක් ආසන්නයේ රැඳී සිටියදී වයස්ගත පුද්ගලයෙක් තමාගෙන් ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් මුදල් ගැනීමට උදවු ඉල්ලා සිටි බව ඔහු පොලිසියට කියා ඇත. එහිදී තමා එම වයස්ගත පුද්ගලයාගේ බැංකු කාඩ්පත යන්ත්‍රයට ඇතුළු කර රහස් අංකය සටහන් කරන ලෙස පැවසූ බවත් ඔහු එය සටහන් කරන විට එය මතකයේ තබාගත් බවත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් කාඩ්පත පිටතට දෙන විට තමා එම කාඩ්පත තමාට අයත් කාඩ්පතක් සමඟ මාරු කර වයස්ගත පුද්ගලයාට දී එම පුද්ගලයා කාඩ්පත සහ මුදල් රැගෙන ඒ.ටී.එම්. යන්ත්‍ර කුටියෙන් පිටව ගිය පසු ඔහුගේ කාඩ්පත යන්ත්‍රයට ඇතුළු කර එහි ඇති මුදල් ලබා ගත් බවත් සැකකරු පොලිසියට පවසා ඇත ෴


පාර්ලිමේන්තුව ඡායාරූපගත කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් දෙදෙනා (2) රිමාඩ්

(31.01.2023 – 09:16 +0530 – hirunews.lk/sinhala)

සැක කටයුතු ලෙස හැසිරෙමින් පාර්ලිමේන්තු පරිශ්‍රය ජංගම දුරකථනයකින් වීඩියෝගත කළ තරුණයින් දෙදෙනා (2) ලබන මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (30) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මෙම තරුණයන් දෙදෙනා (2) පෙරේදා පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ පිහිටි රණවිරු ස්මාරකය අසළින් පාර්ලිමේන්තු අධිආරක්ෂිත කලාපයට අනවසරෙන් ඇතුළු වී තිබුණා.

පසු ව ඔවුන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය හරහා ඇති දියවන්නා ඔයේ ඉවුරු ප්‍රදේශයට පැමිණ පාර්ලිමේන්තුවේ ඡායාරූප සහ දර්ශන ලබාගෙන ඇති බවයි විමර්ශනවලදී හෙළිවුණේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු තරුණයින් 22 සහ 31 යන වයස්වල පසු වන යාපනය සහ කොළඹ – කුරුදුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා ෴


බොරැල්ලේ වකුගඩු ජාවාරමට තවත් අයෙක් අත් අඩංගුවට

(31.01.2023 – 08:28 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක පසුගිය දා සිදු වූ බව කියන වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි මෙම පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඊයේ (30) ජංගම දුරකතන දෙකක් (2) සමඟ අත්අඩංගුවට ගෙන තිබුණේ වැල්ලමිපිටිය ප්‍රදේශයේ දී යි.

දිලිදු පවුල්වල පුද්ගලයින් රවටා ඔවුන්ට මුදල් ලබාදෙන බව පවසා වකුගඩු ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පිරිමි පුද්ගලයින් හතරදෙනෙකු (4) සහ කාන්තාවක් (1) බොරැල්ල පොලිසියට පසුගියදා පැමිණිලි කර තිබුණා.

එම පුද්ගල අවයව ලබාදුන් අය හඳුන්වාදෙමින් තැරැව්කරුවෙකු ලෙස මොහු කටයුතු කර ඇති බවයි පොලිස් පරික්ෂණවල දී අනාවරණය වී ඇත්තේ ෴


රාජ්‍ය ආයතනවල සේවක කප්පාදුව ඇරඹෙයි

(31.01.2023 – 13:25 +0530 – hirunews.lk/sinhala)

ණය පදනම මත රාජ්‍ය ආයතනවලට භාණ්ඩ හා සේවා ලබාගැනීමෙන් වළකින ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

ඒ පිළිබඳ සියලු රාජ්‍ය නිලධාරින්ටද උපදෙස් ලබාදෙන ලෙසයි එමඟින් ඔහු සඳහන් කර ඇත්තේ.

එය කඩකරමින් කටයුතු කරන රාජ්‍ය නිලධාරින් අදාළ වියදම් පෞද්ගලිකව ගෙවිය යුතු බවටද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, ජනවාරි මාසයට අදාල රාජ්‍ය අදායම් සහ වියදම් ඇස්තමේන්තුවක් ජනාධිපතිවරයා ඊයේ (30) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (31) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධණ කියා සිටියේ.

නිෂ්පාදන බද්දට යටත්වන මෝටර් රථ සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් භාවිත කරන උපකරණ සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා කියා සිටියා.

පවතින ආර්ථික අර්බුධය හමුවේ සෑම රාජ්‍ය ආයතනයකම සේවක සංඛ්‍යාව අඩුකිරීම මේ දිනවල සිදු කෙරෙමින් පවතින බවද එහිදි අමාත්‍යවරයා කියා සිටියා ෴


මත්පැන් බී වෙරි වුණු බදුල්ලේ පුද්ගලයෙක්, මත්පැන් බී වෙරි වුණු මිතුරාගේ ලිංගේන්ද්‍රිය කපා දමයි

(31.01.2023 – 11:55 +0530 – hirunews.lk/sinhala)

ලිංගික අවයවය තියුණූ ආයුධයකින් කැපීමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු අද (31) දහවල් මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත යවා තිබෙනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ වියළුව තල්දෙන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55 ක පුද්ගලයෙක්.

ඔහු ඊයේ (30) රාත්‍රියේ අධීක ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් සිහි විකල්ව සිටිය දී ඔහු සමග එකට මත් පැන් පානය කළ තවත් මිතුරෙකු විසින්ම විහිළුවකට මෙන් මෙලෙස අත තිබූ පිහියකින් ලිංගික අවයවය කපා දමා ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

ලිංගික අවයවය කැපීම නිසා බරපතළ තුවාල සහිතව වැටී සිටි මෙම පුද්ගලයාව ඔහුගේ තවත් මිතුරන් පිරිසක් එක්ව පසුව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා ෴


නිදහස් දින උළෙලේ පිඨිකාව අසළ දී කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(31.01.2023 – 13:29 +0530 – hirunews.lk/sinhala)

ගාලුමුවදොර නිදහස් උළෙල පැවැත්වීමට සූදානම් කර ඇති පීඨිකාව ආසන්නයේ කලහකාරි ලෙස හැසිරුණු කාන්තාවක් සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (30) රාත්‍රියේ එම ස්ථානයේ ඡායාරූප ගැනීමට ඔවුන් සූදානම් වූ අවස්ථාවේ එහි සිටි පුද්ගලයින් ඊට විරුද්ධ වීමත් සමඟ ඇති වූ කලහකාරි තත්ත්වය මත මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

36 හැවිරිදි එම කාන්තාව සහ 30 හැවිරිදි සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴


ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝගයට හේතුව පොහොර නොලැබීම?

(31.01.2023 – 13:58 +0530 – hirunews.lk/sinhala)

බොහෝ ප්‍රදේශවලින් වාර්තාවන ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝගය හේතුවෙන් වී ගොවීන් මුහුණ දී සිටින බරපතළ ගැටලුවට තවමත් නිසි විසඳුම් ලැබී නැහැ.

ගොවීන් පවසන්නේ, වගාවට අවශ්‍ය බන්ඩි පොහොර නොලැබීමෙන් මෙම තත්ත්වය උග්‍රවී ඇති බවයි.

+


රබර් ආනයනය කිරීමෙන් රබර් ගොවියන් දැඩි අපහසුතාවක

(31.01.2023 – 14:11 +0530 – hirunews.lk/sinhala)

රබර් ආනයනය කිරීම හේතුවෙන් රබර්වල පවතින මිල අඩු වී මෙරට රබර් ගොවියා කලක සිට දැඩි අපහසුතාවයට පත්වී තිබෙනවා.

රබර් ආනයනය සීමා කිරීම සදහා, රජය මැදිහත් වී රබර් ආනයනය නීතිමය පාලනයක් යටතට ගැනීමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියබලාපිටිය මහතා පවසන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *