වතුර කැපු නිවසකට වතුර බිල දුන් නිලධාරියාට පහරදෙයි

වතුර කැපු නිවසකට වතුර බිල දුන් නිලධාරියාට පහරදෙයි


වතුර කැපු නිවසකට වතුර බිල දුන් නිලධාරියාට පහරදෙයි

(30.01.2023 – 13:09 +0530 – ada.lk)

ඇරැව්වල මාලිගාවත්ත පාරේ නිවසකට ජල බිල්පත ලබාදීම සඳහා ගිය අවස්ථාවේදී “උඹලා වතුර කැපුවා මදිවට, බිලක් දෙන්නත් එනවද යකෝ?” යැයි ආවේගශීලීව කෑගැසූ නිවෙස් හිමියා ආදායම් සහකාරවරයාට පා පහරක් එල්ල කර අත දරා සිටි ජල බිල්පත් තොගය උදුරාගෙන වතුර බැරලයකට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව මහරගම පොලිසිය පවසයි.

ජල බිල්පත් තොගය බැරලයට දැමීමට පෙර එයින් කීපයක් ඉරා විසි කර දමා ඇතැයි ද පොලිසිය කියයි.

සිද්ධියට මුහුණ දී ඇත්තේ ජාතික ජලසම්පාදන මණ්ඩලයේ කැස්බෑව ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ ආදායම් සහකාරවරයෙකි.

ආදායම් සහකාරවරයා අද (30) පෙරවරුවේ ඇරැව්වල ප්‍රදේශයේ ජල බිල්පත් හිමි නිවාස වලට මෙම මාසයට අදාල බිල්පත් ලබාදීමේ රාජකාරියේ යෙදී සිටියදී පහරදුන් පුද්ගලයාගේ නිවස කරා ගිය අවස්ථාවේ දී “උඹලා වතුර කැපුවා මදිවට බිලක් දෙන්නත් එනවද යකෝ?” යනුවෙන් ආවේගශීලීව කෑගසමින් පා පහරක් ආදායම් සහකාරවරයාට එල්ල කර ඔහු අත දරා සිටි ජල බිල්පත් තොගය අඩංගු ෆයිල් එක උදුරාගෙන, බිල්පත් කීපයක් ඉරා විසිකර ජල බිල්පත් තොගයම නිවස ඉදිරිපිට තබා තිබූ වතුර පිරවූ ප්ලාස්ටික් බැරලයකට ඔබා බිල්පත් අඩංගු ෆයිල් එකෙන් ද නැවතත් පහර දී තිබූ බව පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.

2021 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා එම නිවෙස් හිමියා ජල බිල්පත නොගෙවා තිබූ අතර ඒ හේතුවෙන් ඉකුත් මාසයේදී ඔහුගේ ජල සැපයුම විසන්ධි කර තිබූ බව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කැස්බෑව ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ ඉංජිනේරු සහකාර දිලිනි අයේශා මහත්මිය පැවසුවාය.

එම නිවෙස් හිමියා මේ දක්වා ජාතික ජල සම්පාදන මණ්ඩලයට රුපියල් 14,000 ඉක්මවන මුදලක් ගෙවිය යුතු බවද එහි නිලධාරියෙක් කීය.

ජල සැපයුම විසන්ධි කර තිබුණද එම පුද්ගලයා අයථා මාර්ගයකින් මේ දක්වා ජලය ලබාගෙන තිබෙන බවට මෙම සිද්ධියත් සමඟම එම ස්ථානයට පැමිණි ඉංජිනේරු සහකාරවරයා ඇතුළු නිලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් අනතුරුව කාර්මික නිලධාරීන් ලවා එයද විසන්ධි කිරීමට එම අවස්ථාවේදීම පියවර ගත් බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.


JCBයට යටවී කම්කරුවා මරුට

(30.01.2023 – 10:54 +0530 – ada.lk)

අනුරාධපුර-යාපනය අලුතින් ඉදිවන දුම්රිය මාර්ගයෙ ඉදිකිරීම් වල නිරත වු කම්කරුවෙකු JCB (බැකෝ) යන්ත්‍රයකට යටවීමෙන් බරපතළ තුවාල ලබා මැදවච්චිය රෝහලට රැගෙන යන අතරතුරදී ඊයේ (29 දා) සවස මියගොස් ඇතැයි මැදවච්චිය පොලිසිය පවසයි.

ඊයේ (29 දා) සවස පහයි තිහට (05:30) පමණ සිදුව ඇති මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ පෞද්ගලික සමාගමක කම්කරුවෙකු ලෙස සේවය කළ වන්දාරමුල්ල, මඩකලපුව පදිංචි කනපතිපුල්ලේ මෝහන් නැමැති හතලිස් හත් (47) හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

විරාල්මුරුප්පුව දුම්රිය ස්ථානයේ සිට මීටර් 200 ක් පමණ මැදවච්චිය දුම්රිය ස්ථානය දෙසට වන්නට මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.‍

මියගිය පුද්ගලයා අලුතින් ඉදිකරන දුම්රිය මාර්ගයේ ‘මෙටල්’ (කුඩා කළුගල්) තුනී කරමින් සිට ඇති බවත් ඒ මොහොතේ එම ස්ථානයේ වැඩ කරමින් තිබූ JCB යන්ත්‍රයක් පිටුපසට පැමිණ ඔහු යට කරගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි. පොලිසිය වැඩිදුරටත් පවසන්නේ JCB යන්ත්‍රයේ පිටුපස වම් රෝදයට මියගිය පුද්ගලයා යට වී ඇති බව ය.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ මරණකරු මැදවච්චිය රෝහලට රැගෙන යන අතරතුරදී මියගොස් ඇති බව පොලිසිය කියයි.

සිරුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබුණ අතර ස්ථානීය මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් JCB යන්ත්‍රය රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (29) මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.විමලසිරි මහතාගේ උපදෙස් මත ඉදිරි පරීක්ෂණ සිදුකරනු ලබයි ෴


අධික බීමතින් මහනුවර සැරිසැරූ ශිෂ්‍ය ‘සාදු බල්ලන්’ 6 ක් අත්අඩංගුවට

(30.01.2023 – 09:12 +0530 – ada.lk ඇසුරෙන්)

විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ ‘සාදු බල්ලන්’ බවට සැක සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු තරුණයන් හයදෙනකු (6) අධික බීමතින් මහනුවර නගරයේ සිටියදී අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි.

මහනුවර මූලස්ථාන පොලිසිය භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් අද (30) අළුයම 01:00 පමණ නගරයේ සිදුකළ සිදු කළ සෝදිසියකදී මහනුවර ඔරලෝසු කණුව අසල සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටි මෙම පිරිස පරික්ෂා කිරීමේදී ඔවුන් සතුව හැඳුනුම්පත් නොමැතිවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී ඔවුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ ‘සාදු බල්ලන්’ පිරිසක් බවට අනාවරණය වී තිබේ.

එම පිරිසෙන් 05 දෙනෙකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ ‘සාදු බල්ලන්’ බවටත් එක් (01) අයෙකු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ ‘සාදු බල්ලෙකු’ බවටත් අනාවරණය වී තිබේ. ඔවුන් තංගල්ල, ගාල්ල, පිළිමතලාව සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට ද අනාවරණය වී තිබේ.

ඔවුන් මහනුවර නගරයේ මත්පැන් ශාලාවකින් මත්පැන් පානය කොට ඇති බව ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඔවුන්ගේ හැඳුනුම්පත් පොලිසියට ඉදිරිපත් කරණ තෙක් රඳවා තබා ගෙන සිටින අතර එය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතය.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතාගේ උපදෙස් පරිදි මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් ඉදිරි විමර්ශන සිදු කෙරේ ෴


පාස්කු ප්‍රහාරයේ ඝාතකයින් එළියට ගේන්න – සජබෙන් පැමිණිල්ලක්

(30.01.2023 – 14:05 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබඳව තොරතුරු දැන සිටියදී ඒවා වසන් කළ පුද්ගලයින් මෙන්ම ප්‍රහාරයේ මහ මොළකරුවන් ඇතුළු සියලු දෙනාට එරෙහිව වහා දඬුවම් ලබා දෙන ලෙස සමගි ජන බලවේගයේ නීතිඥ මණ්ඩලය නීතිපතිවරයාගෙන් අද (30) ඉල්ලීමක් කළා.

ඔවුන් සඳහන් කළේ මේ වනවිටත් ප්‍රහාරයේ මහ මොලකරුවන් කිසියම් පිරිසක් විසින් සඟවාගෙන ඇති බවයි.

+


මැදිරිගිරියේ රුපියල් ලක්ෂ 167 සුදු අලි ව්‍යාපෘතිය

(30.01.2023 – 14:07 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් ජනතා බදු මුදල් වැයකරමින් නව ව්‍යාපෘති අරඹන්නේ එහි අපේක්ෂිත ප්‍රතිඵල ජනතාවටම ලබාදීම ප්‍රමුඛ අරමුණ කරගනිමින්.

නමුත් බලධාරීන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් එවැනි ව්‍යාපෘති සුදු අලින් බවට පත්වන අවස්ථා ද බොහෝ විට දැකිය හැකියි.

මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තා වන මෙම තොරතුරත් එවැනි සුදු අලියෙකු පිළිබඳවයි.

සංචාරක ආකාර්ශනය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඓතිහාසික මැදිරිගිරිය වටදාගෙය අසළ ඉදිකළ ශරීර සුවතා මංතීරුව සහ දියපොකුණ මෙන්ම ඒ ආශ්‍රිතව ඉදිකළ සූර්ය පැනල විදුලි ආලෝක පද්ධතිය මේ වනවිට විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා.

2016 වසරේදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන්නේ උතුරුමැද පළාත් සභාවේ රුපියල් ලක්ෂ 167 ක ප්‍රතිපාදන මතයි.

අදියර 3 ක් යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු ඇරඹුනත් බලධාරීන් විසින් එය අතරමග නවතා දමා ඇත්තේ වැය කළ මුදලට කිසිදු ප්‍රයෝජනයක් ලබා ගැනීමට නොහැකි වන ලෙසින්.

ව්‍යාපෘතිය සියයට 100 ක්ම වැඩ අවසන් කෙරුණද එය ජනතා අයිතියට පත්කිරීමට බලධාරීන් පියවර නොගත්තේ මන්දැයි ප්‍රදේශවාසීන් ප්‍රශ්න කරනවා.

පවතින තත්ත්වය හමුවේ සුර්ය පැනල මෙන්ම මාර්ගය සැකසීමට ඇල්ලූ ගල් ද ඇතැම් පිරිස් විසින් ගලවාගෙන ගොස් තිබෙනවා.

රුපියල් ලක්ෂ 167 ක වියදමින් අවසන් කෙරුණු ව්‍යාපෘතියෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගත්තද, නැවතත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක සඳහා රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවට වෙන්කර ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

මීට අමතරව සංචාරකයින්ගේ පහසුව වෙනුවෙන් ඉදිකළ ගොඩනැගිල්ල ද බලධාරීන්ගේ අවධානය යොමු නොවීමෙන් මේ වනවිට විනාශ වීමේ අවදානමකට ලක්ව තිබෙනවා.

ජනතා මුදල් වැය කරමින් මෙවැනි ව්‍යාපෘති ආරම්භ කෙරෙන්නේ, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වුව ද ඒ හරහා තමන්ගේ අභිවෘද්ධිය සලසා ගැනීමට කටයුතු කරන ඇතැම් බලධාරීන් හේතුවෙන් මෙවැනි තත්ත්වයන් උද්ගත වන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

+


විශාලතම කාබනික කැට පොහොර නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත වෙයි

(30.01.2023 – 14:11 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් මිලියන 5 ක වියදමින් ඉදි කෙරුණු මෙරට කාබනික කැට පොහොර නිෂ්පාදනය කෙරෙන විශාලතම කර්මාන්තශාලාව පන්නල – එලිබ්ච්චිය ප්‍රදේශයේදී අද (30) විවෘත කෙරුණා.

දකුණු කොරියානු රජයට අයත් සමාගමක් විසින් සියයට සියයක් පරිසර හිතකාමී කාබනික කැට පොහොර නිෂ්පාදනය මෙමඟින් සිදු කෙරෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

එය විවෘත කිරීමේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ මෙරට දකුණු කොරියානු තානාපති වූන්ජින් ජියොන්ග් සහභාගි වී තිබෙනවා.

මෙරට වැවිලි කර්මාන්තයට අවශ්‍ය ගුණාත්මක භාවයෙන් ඉහළ කාබනික කැට පොහොර වාර්ෂිකව මෙට්‍රික් ටොන් 1,800 ක් මෙම කර්මාන්තශාලාව මගින් නිෂ්පාදනය කිරීමට නියමිත අතර ඒ සඳහා රොබෝ තාක්ෂණය යොදාගැනීමට නියමිතයි ෴


විදුලි කප්පාදුව ගැන ගත් අලුත්ම තීරණය

(30.01.2023 – 16:45 +0530 – hirunews.lk/sinhala)

අද (30) සහ හෙට (31) විදුලි කප්පාදුව සිදුනොකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ ජල පෝෂක ප්‍රදේශවලට පවතින අධික වැසි සමඟ ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය ඉහළ දැමීමට හැකියාව ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි ෴

විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදුලිබල මණ්ඩලයේ සභාපති සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වග උත්තකරකරුවන් ලෙස නම්කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා ෴


නිදහස් දිනය වර්ජනය කරණ ලෙස ඉල්ලා යාපනයේ පෝස්ටර් අලවයි

(30.01.2023 – 16:49 +0530 – hirunews.lk/sinhala)

ජාතික නිදහස් දිනය වර්ජනය කරන ලෙස ඉල්ලා යාපනය නගරය පුරා පෝස්ටර් අලවා තිබෙනවා.

එම පෝස්ටර්වල සඳහන් වන්නේ දූෂණය නැතිවන තුරු රට තුළ කිසිදු ජාතියකට නිදහසක් නොමැති බවත්, නිදහස් දිනය වර්ජනය කොට එදිනට කළු කොඩි ඔසවා තබන ලෙසයි.

නිදහස් දිනයේදී උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වෙන විරෝධතා සඳහා ජනතාව සහභාගී විය යුතු බවත්, මෙම විරෝධතා යාපනය හා නැගෙනහිර විශ්වවිද්‍යාල ඒකාබද්ධව පවත්වන බවත් පෝස්ටර්වල සඳහන් වනවා ෴


ඇමතිගේ ප්‍රකාශයට ගුවන් ගමන් පාලකවරු කැලඹෙයි

(30.01.2023 – 07:46 +0530 – sinhala.adaderana.lk)

ගුවන් ගමන් පාලකවරුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා උසස් පෙළ ප්‍රතිඵල මත පුද්ගලයින් බඳවා ගැනීමට යෑමේ ක්‍රියාපටිපාටියට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට පියවර ගන්නා බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය පවසයි.

මෙරට පවතින තත්ත්වය හමුවේ ගුවන් ගමන් පාලකවරුන් සීඝ්‍රයෙන් රට හැරයාමට පටන්ගෙන ඇති අතර එලෙස රට හැරයනු ලබන්නේ ඉතාම පළපුරුදු දක්ෂ ගුවන් ගමන් පාලකවරුන් බව එම සංගමයේ සභාපති සභාපති තිසර අමරනන්ද මහතා සඳහන් කළේය.

එහෙත් පවතින පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් බඳවා නොගෙන වෙනත් පාර්ශව ඊට අනුයුක්ත කිරීමට සුදානම් වන්නේ නම් එය බරපතළ ගැටලුවක් බවද ඔහු සඳහන් කළේය.

උසස් පෙළ ප්‍රතිඵල මත ගුවන් ගමන් පාලකවරුන් ලෙස විවිධ පුද්ගලයින් බඳවාගැනීමට කටයුතු කරන බවට විෂය භාර අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයකට ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමයේ සභාපති තිසර අමරනන්ද මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නේය ෴


29-01-2023

+


රනිල් රාජපක්ෂගේ නම වෙනස් කරා. අලුත් නම රනිල් දිසානායක – ත්‍රෛනිකායික භික්ෂු සංසදය මාධ්‍ය හමුව (30.01.2023)

+


PDF ජාවාරම්කාරයන්ගේ හොට පැටලෙන ලකුණු! ලේඛිකාවෝ, ලේඛකයෝ පෝලිම් ගැහී CID යයි (30.01.2023)

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *