උසස් පෙළ සිසුන්ට තවම සහනයක් නැහැ – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක

උසස් පෙළ සිසුන්ට තවම සහනයක් නැහැ – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක


උසස් පෙළ සිසුන්ට තවම සහනයක් නැහැ – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක

(28.01.2023 – 16:30 +0530 – hirunews.lk/sinhala)

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන්ට දේශපාලන බලපෑම් එල්ල වී ඇති බව, එම කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.

ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

උසස් පෙළ විභාගය පැවැත්වෙන පෙබරවාරි 17 වනදා තෙක් විදුලි කප්පාදු කිරීමෙන් ළමයින්ගේ අධ්‍යාපන අයිතිය උල්ලංඝනය වන බවයි එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

තම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඔහු එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියා.

කුමන තත්ත්වයක් යටතේ වුව ද මෙතෙක් දෛනිකව සිදුවන විදුලි කප්පාදුවෙන් උසස් පෙළ සිසුන්ට සහනයක් ලැබී නැහැ.

විදුලි ඉල්ලුම් කළමනාකරණ ක්‍රමවේදය වෙනස් නොකරන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරන අතර ඔවුන්ට උසස් පෙළ විභාගය නිමවන පෙබරවරි 17 වනදා දක්වා විදුලිය විසන්ධි කිරීමට අවසර නොමැති බවයි මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ.

එසේම, මානව හිමිකම් කොමිසමේදී පැමිණි එකඟතා කඩ කිරීමට අදාළව විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුලු 3 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට ද එම කොමිසම කටයුතු කර තිබුණා.

+


මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙකුට පොලිස් ආරක්ෂාව

(28.01.2023 – 15:23 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වන එම්.එම්. මොහොමඩ්ගේ නිවසටත් පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී ඔහු සඳහන් කළේ කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත්වන ලෙස පවසමින් ඊයේ (27) රාත්‍රියේ තමන්ට ලැබුණු තර්ජනාත්මක ඇමතුමකින් පසු තමන් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි කළ බවයි.

ඒ හේතුවෙන් මෙලෙස පොලිස් ආරක්ෂාව ලබා දී ඇති බව ඔහු ප්‍රකාශ කළා.

මීට පෙර පසුගිය 19 වනදා සිට එම කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකු වන එස්.බී. දිවාරත්නට සහ කේ.පී.පී. පතිරණට ද මරණ තර්ජන එල්ල වීම හේතුවෙන් පොලිස් ආරක්ෂාව ලබාදීමටයි පියවර ගැනුණේ.

ඊයේ (27) රාත්‍රියේ ද ඔවුන් දෙදෙනා (2) ට ‘වට්ස්ඇප්’ හරහා කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වන ලෙසට බලපෑම් කරමින් පණිවුඩ යොමුකර ඇති අතර එසේ නොමැතිනම් ඝාතනය කරන බව එහි සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

එකම දුරකථන අංකයකින් බොහෝවිට මෙම තර්ජනාත්මක ඇමතුම් සහ පණිවුඩ ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මැතිවරණ කොමිසම සැක පළ කරන්නේ ඩුබායි රාජ්‍යයේ සිට මෙම ඇමතුම් ලබා දී ඇති බවටයි.

ඒ අනුව, මේ වනවිට සාමාජිකයන් 5 දෙනෙකුගෙන් යුතු මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තුන් දෙනෙකු (3) ටම දුරකථනයෙන් තර්ජන එල්ල වී ඇති අතර, එහි සභාපති නිමල් පුංචිහේවා කියා සිටියේ විමර්ශන සිදුකෙරුණත්, ඉන් මෙතෙක් ප්‍රතිඵලයක් නොමැති බවයි.

මේ අතර, පසුගියදා මැතිවරණ කොමිෂන් සභාවේ රාජකාරිවලින් ඉල්ලා අස්වන බව පවසමින් එහි සාමාජිකාවක වන පී.එස්.එම්. චාල්ස් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වුණා.

කෙසේ වෙතත්, එම ලිපිය ජනාධිපතිවරයා විසින් මෙතෙක් පිලිගෙන ඇති බව වාර්තා වන්නේ නැහැ.

මේ අතර, කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවක දී පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ට එල්ල වන මරණ තර්ජන සම්බන්ධයෙන් අදහස් පළ කළා ෴


නීතිවිරෝධී ලෙස ඉන්ධන අලෙවි කළ වෙළඳසැල් හිමිකරුවෙකු අත්අඩංගුවට

(28.01.2023 – 15:27 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් අලෙවි කළ වෙළඳසැල් හිමිකරුවෙකු අනුරාධපුර – ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු සතුව තිබී ලීටර් 700 කට අධික පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් තොගයක් සොයා ගෙන ඇති බව සඳහන්.

කිව්.ආර්. කේතය ඉක්මවා එම සැකකරු විසින් මෙම ඉන්ධන, පිරවුම්හලකින් ලබාගෙන ඇති බවටයි පාරිභෝගික අධිකාරිය සිදුකළ විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

සැකකරු අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ රුපියල් 5000 ක දඩයක් නියම කර, අදාළ ඉන්ධන තොගය රාජසන්තක කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා ෴


සූර්ය බලයෙන් විදුලිය දුන් අයට රුපියල් බිලියන 40 ක හිඟ මුදලක්

(28.01.2023 – 19:31 +0530 – hirunews.lk/sinhala)

සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමය ද කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී කියා සිටියේ මෙරට දෛනික විදුලි සැපයුමෙන් සියයට 8 ක් සූර්ය බලයෙන් ලබා දෙන ලබාදෙන බවයි.

ගත වූ මාස 13 ක කාලයකට අදාළව තමන්ට රුපියල් බිලියන 40 ක හිඟ මුදලක් ගෙවීමට ඇති අතර, ඉන් අඩක් හෝ ගෙවීමට කටයුතු කරන ලෙස එම සංගමයේ උප සභාපති කුෂාන් ජයසූරිය රජයෙන් ඉල්ලීමක් කළා ෴


රසායනාගාර පරීක්ෂණ ප්‍රමාදයෙන් අවයව බද්ද කිරීමත් අඩාලයි

(28.01.2023 – 19:36 +0530 – hirunews.lk/sinhala)

අත්‍යාවශ්‍ය රසායනාගාර පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය පහසුකම් නොමැතිවීමෙන්, මේ වනවිට අවයව බද්ධ කිරීම් අඩාල වී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ මෙන්ම, මාලිගාවත්ත වකුගඩු රෝහලේ රෝගීන් රැසක් දුෂ්කරතාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.

අදාළ රෝහල්වල ඇතැම් රසායනාගාර පරීක්ෂණ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් සහ නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයෙන් සිදුකෙරෙන අතර, මේ වනවිට ඒවායේ බොහෝ රසායනාගාර සේවා අඩපණ වී ඇති බවයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පෙන්වා දෙන්නේ ෴


යූරියා පොහොරවල ඉන්න පණුවා ගැන සොයයි

(28.01.2023 – 19:53 +0530 – sinhala.adaderana.lk)

පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට ලබාදුන් යූරියා පොහොරවල පණුවන් වාර්තාවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර වාර්තාවක් ලබාදෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇත.

රජයේ පොහොර සහනාධාරය යටතේ හිමිවන යූරියා පොහොර තුළ පණුවන් සිටින බවට මහවැලි B කලාපයේ දිඹුලාගල මනම්පිටිය ප්‍රදේශයේ ගොවීන් කිහිපදෙනෙකුම පෙන්වා දී තිබුණි.

ඒ අනුව, මනම්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් ද මේ පිළිබඳව පරීක්ෂා කිරීමට පැමිණ තිබේ.

පසුව එම පොහොර සාම්පල වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් ඇත.

කෙසේවෙතත් යූරියා යනු ඇමෝනියා බහුල රසායනික පොහොරක් බවත්, ඒ තුළ කිසිදු ජීවියෙකුට පැවතිය නොහැකි බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

+


සුක්කානම පෙන්වා බැටළු ගොවිපලක සිර වූ ලාංකිකයා

(28.01.2023 – 21:27 +0530 – hirunews.lk/sinhala)

රියදුරු රැකියා ලබාදෙන බව පවසා කුවේට් රාජ්‍යට ගෙන ගොස් එරට සත්ව ගොවිපලවල රැකියා සඳහා යෙදවීමේ ජාවාරමක් පිළිබද තොරතුරක් අපට අනාවරණය වුණා.

එම ජාවාරමට හසු වු පුද්ගලයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පවසා සිටියේ තමන් මාස 7 ක සිට මෙලෙස සත්ව ගොවිපලක කොටු වී සිටි බවයි.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා මීට මාස 7 කට පෙර කුවේට් රාජ්‍යයේ සේවය සඳහා ගොස් තිබුනේ නිවසක රියදුරු රැකියාවක් සඳහායි.

එහෙත් තමා වංචාවකට හසුව ඇති බව වැටහෙන විටත් ඔහු ඉරාක දේශ සීමාව ආසන්නයේ අබ්දිලියා නම් කාන්තාර ප්‍රදේශයක සත්ව ගොවිපලක සිර වී අවසන්.

+


‘ලයිසියම් ජාත්‍යන්තර පාසල’ ඉදිරිපිට උද්ඝෝෂණයක්

(28.01.2023 – 21:53 +0530 – hirunews.lk/sinhala)

ලයිසියම් ජාත්‍යන්තර පාසල ඉදිරිපිට අද (28) දහවල් විරෝධතාවක් පවත්වා තිබෙනවා.

මෙම විරෝධතාව නුගේගොඩ සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් ඉදිරිපිට පවත්වා ඇත්තේ ‘කේම්බ්‍රිජ් / සාපෙළ සහ උසස් පෙළ විභාග’ සඳහා පෙනී සිටින දරුවන්ගේ දෙමාපියන් විසිනුයි.

විරෝධතාවයට හේතු වී ඇත්තේ ‘කේම්බ්‍රිජ් සා/පෙළ සහ උ/පෙළ විභාග’ සඳහා පෙනී සිටින ළමුන් සඳහා අයදුම් කිරීමට පහසුකම් සැලසීමට කටයුතු කළ නොහැකි බවට පාසල් බලධාරීන් දැනුම්දීමට එරෙහිවයි.

එම ගැටලුවට හේතුවක් පාසල් බලධාරීන් විසින් ඉදිරිපත් කර නැති බවටයි විරෝධතාකරුවන් සඳහන් කළේ ෴

+

+


නගරාධිපති සර්ගේ ටයරය හිල් කළ සේවකයා

(28.01.2023 – 23:09 +0530 – hirunews.lk/sinhala)

මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන්ගේ නිල රථයේ ටයර්වලට තියුණු ආයුධයකින් ඇන බරපතළ අලාභ හානි සිදු කළ බවට එම නගර සභාවේම සුළු පරිපාලකවරයා මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු, නගරාධිපතිවරයා සමග පවතින මතභේදාත්මක තත්ත්වයක් මුල්කරගෙන මෙය සිදු කර ඇති බවටයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

නගරාධිපතිවරයාගේ කැබ් රථය මහරගම නගර සභා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට නවතා තිබියදී අදාළ පුද්ගලයා එයට අලාභහානි සිදු කරන ආකාරය සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණා.

කැබ් රථ රියැදුරා ද ඒ තුළ සිට ඇති අතර ඔහුට නින්ද ගොස් තිබූ බව ද වාර්තා වනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *