වසර දෙකක් (2) සඳහා ණය ගෙවන්න එපා – චීන අපනයන-ආනයන බැංකුව

වසර දෙකක් (2) සඳහා ණය ගෙවන්න එපා – චීන අපනයන-ආනයන බැංකුව


වසර දෙකක් (2) සඳහා ණය ගෙවන්න එපා – චීන අපනයන-ආනයන බැංකුව

(24.01.2023 – 15:52 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට ණය ගෙවීම සඳහා සහනයක් ලබාදෙන බවට චීන අපනයන-ආනයන බැංකුව ලිපියකින් දැනුම් දී තිබේ.

එහි දැක්වෙන්නේ වසර දෙකක් (2) සඳහා ණය නොගෙවා සිටීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලබාදෙන බවයි.

එසේම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ මූල්‍ය සහනය ලබාගැනීමට ද ඔවුන් මෙරටට අවශ්‍ය සහාය ලබාදෙන බව පවසා තිබෙනවා ෴


ජපානය සහ යුනිසෙෆ් සංවිධානයෙන් වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට

(24.01.2023 – 14:14 +0530 – hirunews.lk/sinhala)

මෙරට ළමයින් සඳහා ප්‍රතිශක්තිකරණ සහ පෝෂණ සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් ජපන් රජය විසින් යුනිසෙෆ් සංවිධානය හා එක්ව ලබාදුන් එන්නත් බහලුම් ශීත කාමර හා පෝෂණ සැපයුම් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාර දී තිබෙනවා.

2021 වසරේ දී එන්නත් බහාලුම් ශීත පෙට්ටි සහ උෂ්ණත්ව මාපකයන් බෙදා දීමේ වැඩපිළිවෙළෙහි තවත් එක් පියවරක් මෙය වන අතර ඒ සඳහා වැය කෙරෙන මුදල ඩොලර් මිලියන 03 ක්.

මේ යටතේ අධික උෂ්ණත්වයට සංවේදී එන්නත් විශාල ප්‍රමාණයක් එකවර ගබඩා කිරීමේ පහසුකම් සහිත ශීත කාමර 13 ක් පවතිනවා.

එම අවස්ථාවට එක් ව සිටි එක්සත් ජාතින්ගේ ළමා අරමුදලේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් කූග් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ දරු දැරියන්ගේ කෙටි කාලීන සහ දිගුකාලීන සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ජපන් රජය සහ යුනිසෙෆ් සංවිධානය සෞඛ්‍ය අමාත්‍යංශය හා ඒකාබද්ධ ව කටයුතු කරන බව යි ෴


විදුලි ගාස්තු වැඩි කිරීමේ කැබිනට් නියෝග බලරහිත කරන්නැ යි ඉල්ලා පෙස්සමක්

(24.01.2023 – 15:17 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලිබල මණ්ඩලය සමඟ එක් ව විදුලි ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත කර ඇති නියෝග බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙස්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින්.

එහි වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාත්‍යවරයා, මහජන උපයෝගීතා කොමිසම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

+


නව අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි – අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

(24.01.2023 – 16:34 +0530 – hirunews.lk/sinhala)

ප්‍රාථමික හා පූර්ව ළමා විය අධ්‍යාපනය තුළ දරුවන්ගේ ඉදිරි සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන අධ්‍යාපන නිපුණතා 10 ක් පිළිබඳව සඳහන් වන නමුත් 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය වන විට එම නිපුණතා 10 අතරින් 3 ක් පමණක් ඉතිරි වන තරම් තරගකාරී අධ්‍යාපන ක්‍රමයක අද දරුවන් සිර වී සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

සංගීතය වැනි සෞන්දර්යාත්මක විෂය අන්තර්ගත නිපුණතා මෙම කාලය තුළ විෂය මාලාවෙන් කෙමෙන් ක්ෂය වෙමින් යාම නිසා දරුවන්ගේ මොළයේ නිර්මාණාත්මක කොටස්වල වර්ධනය බාල වී එම විෂයන්ට පවතින අවධානය හීන වීමේ ප්‍රවණතාවක් පෙන්වන බැවින් දරුවන් රෝගීන් කරවන මෙම පවත්නා අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එමෙන් ම ලොව වෙනත් කිසිඳු දියුණු රටක උපාධියක් ලබා ගැනීමෙන් පසු අදාළ විෂයට උපාධිධාරීන් පුහුණු නොකරන අතර මෙරට උපාධිධාරී ගුරුවරුන් පුහුණු කිරීමට සිදු ව තිබීමෙන් ම මෙම අභියෝග ජයගැනීම උදෙසා පවත්නා අධ්‍යාපන ක්‍රමයෙහි පරිවර්තනීය වෙනසක අවශ්‍යතාව වඩාත් ඉස්මතු ව පෙනෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

පන්ති කාමරය තුළ මනා වූ සිසු-ගුරු සබඳතාවක් ගොඩනැගෙන සාධනීය ආකල්පමය වෙනස්කම් සහිත නව අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැංවීමට සමාජීය වශයෙන් ද ආකල්පමය වෙනස්කම් ඇති කළ යුතු බවත් මේ දිනවල සමාජ කතාබහට ලක් වී ඇති පාසල් පරිශ්‍රයන්හි පවත්නා මත්ද්‍රව්‍ය භාවිත ගැටලුව ජයගැනීමට අදාළ බොහෝ පියවර මේ වන විට ගෙන ඇති බවත්, තවදුරටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසුවා.

පන්ති කව වැනි විෂය බාහිර ක්‍රියාකාරකම්වල අවශ්‍යතාව ඉස්මතු කළ අමාත්‍යවරයා මෙහි දී තවදුරටත් පෙන්වා දුන්නේ, මිනිත්තු 10 ක කාලයකින් ආරම්භය ගෙන දැනට පාසල්වල සාර්ථක ව ක්‍රියාත්මක කෙරෙන සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමී ව ශරීර සුවතා සහ ක්‍රීඩා කටයුතු ද එක් කාල පරිච්ඡේදයක් හෝ අඛණ්ඩ ව නිතිපතා සිදු කරමින් එම ක්‍රියාකාරකම් අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාවලිය හා සමාන්තර ව පවත්වාගෙන යා යුතු බවයි ෴


විදුලි වැටලීම්වලින් රුපියල් හත්කෝටියකට වැඩි මුදලක් අයකර ගැනේ

(24.01.2023 – 16:56 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේදී ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය දිවයින පුරා සිදුකළ නීතිවිරෝධී විදුලිය ලබාගැනීම්වලට අදාළ වැටලීම්වලදී සිදුකළ පාඩුවට අදාළව සහ උසාවි ගාස්තු ලෙස රුපියල් හත්කෝටි පනස් ලක්ෂ අසූ දහස් හයසිය පනස් දෙකක (7,50,80,652) මුදලක් අය කරගෙන තිබෙනවා.

ඒ අනුව විදුලි මීටර ආශ්‍රිතව සිදුකළ වැටලීම් 1,114 කදී රුපියල් හත්කෝටි විසි තුන්ලක්ෂ අනූ තුන්දහස් හාරසිය හැත්තෑ හතරක (7,23,93,474) මුදලක් අයකරගත් බවයි විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ.

එසේම විදුලි රැහැන්වලට කොකු ගසා විදුලිය ලබාගැනීමේ සිද්ධීන් 188 කදී රුපියල් විසි හයලක්ෂ අසූ හත්දහස් එකසිය හැත්තෑ හතක (26,87,177) මුදලක් මණ්ඩලය අයකරගෙන තිබෙනවා ෴


රියදුරු මිතුරාගේ බෝතල් පහරෙන් කොන්දොස්තර මරුට

(24.01.2023 – 19:25 +0530 – hirunews.lk/sinhala)

දීර්ඝ කාලයක සිට මිතුරෙකු ලෙස ඇසුරු කළ රියදුරාගේ බෝතල් ප්‍රහාරයකට ලක්ව එම බස් රථයේම කොන්දොස්තරවරයා ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් තිබුණේ මොණරාගල සිට කටුනායක බලා ධාවනය වන ශ්‍රී ලංගම බස් රථයේ කොන්දොස්තරවරයායි.

ඊයේ (23) රාත්‍රී 07:30 ට පමණ මොවුන් දෙදෙනා ආහාර ගැනීමට සූදානම් වී මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් රියදුරා විසින් කොන්දොස්තරවරයාට වීදුරු බෝතලයකින් පහරදී ඇති අතර, එහිදී ඔහුගේ ගෙළට තුවාල සිදුව තිබෙනවා.

තුවාල ලැබූ කොන්දොස්තරවරයා ඒ සම්බන්ධයෙන් කටුනායක පොලීසියට පැමිණ පැමිණිල්ලක්ද සිදුකර මීගමුව මහ රෝහලට ඇතුළත් වී තිබුණා.

කෙසේ වෙතත් අද (24) අලුයම ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මියගිය කොන්දොස්තරවරයා 38 හැවිරිදි වියේ පසුවන අතර, 40 හැවිරිදි සැකකාර රියදුරා පොලීසිය අත්අඩංගුවට ගත්තා.

ඔවුන් මොණරාගල – මාගන්දරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, දීර්ඝ කාලයක සිට මිතුරන් ලෙස ඇසුරු කර එක්ව සේවය කළ පුද්ගලයන් දෙදෙනෙකු වීමද විශේෂත්වයක්.

+

මේ අතර, මහනුවර – ගුරුදෙණිය මාලිගාවත්ත ප්‍රදේශයේ අසල්වැසි පුද්ගලයින් දෙදෙනෙකු (2) අතර සිදුවූ බහින් බස්වීමක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින්ද 75 හැවිරිදි අයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඝාතනය සිදුකළ පුද්ගලයා විසින් මියගිය පුද්ගලයාගේ ඉඩමට හිස් කිරි හට්ටියක් දමා ඇති අතර එවැනි දේ නොකරන ලෙසට අවවාද කිරීමේ ඇතිවූ බහින් බස්වීමක් ගැටුමට මුල්වී තිබුණා.

+

මේ අතර, දිවුලපිටිය – හුනුමුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උපකාරක පන්තියකට සහභාගි වී නිවෙස් බලා යමින් සිටි පාසල් සිසුන් 6 දෙනෙකු කැලෑපිටිමුල්ල ප්‍රදේශයේදී ලොරියකින් ඇද වැටී අද (24) දහවල් තුවාල ලැබුවා.

පොලීසිය සඳහන් කළේ ඔවුන් දිවුලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

සිද්ධියෙන් පසුව අදාළ ලොරි රථය නොනවත්වා ධාවනය කර තිබුණා.

+

එමෙන්ම, අනුරාධපුර – පරසන්ගස්වැව ප්‍රදේශයේදී බස් රථයකින් බිමට බැසීමේදී ඉන් ඇද වැටී එම බස් රථයේම පසුපස රෝදයට යටවී හය (6) හැවිරිදි පාසල් දැරියක ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


බිංගිරිය ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය රැගත් ලොරි රථයක් සමඟ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(24.01.2023 – 19:35 +0530 – hirunews.lk/sinhala)

පුපුරන ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් බිංගිරිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විලත්තව ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරීයේ යේදී සිටි පොලිස් නිළධාරීන් අදාළ ලොරි රථය පරීක්ෂාවට ලක්කර ඇති අතර මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ ඒ අනුවයි.

ලොරි රථයේ සූක්ෂම ලෙස සඟවා තිබු පුපුරන ද්‍රව්‍ය අඩංගු බට 89 ක් අඩි 80 ක දිගින් යුතු සේවා නූල් 21 ක්,ඩෙන්ටර් 100 ය බැගින් අසුරන ලද පෙට්ටි 9 ක් සොයා ගත් භාණ්ඩ අතරට අයත් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33 ක් සහ 44 යන වයස්වල පසුවනන් ෴

බිංගිරිය – විලත්තව ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරිය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඊයේ (24) මෙම විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බව යි.

සැකකරුවන් විසින් මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය කුරුණෑගල ප්‍රදේශයේ සිට ධීවර කටයුත්තක් සඳහා රැගෙන ආ බවටත්, කොළඹ ප්‍රදේශයට ලොරි රථයෙන් ප්‍රවාහනය කරමින් සිටි බවටත් ප්‍රකාශ කර තිබුණා ෴ (25.01.2023)


උසස් පෙළ සිසුන්ව මුලා කළ විදුලිබල ලේකම් සහ උපයෝගීතා කොමිසමේ සභාපති

(24.01.2023 – 20:38 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විභාගය හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව පැය දෙකකට (2) අඩු කරන බවට ප්‍රකාශ කෙරුණත්, මහජන උපයෝගීතා කොමිසම අද (24) පස්වරුවේ යළිත් වරක් දෛනික විදුලි කප්පාදුව පැය දෙකයි (2) මිනිත්තු විස්සක (20) කාලසීමාවේම පවතින බව නිවේදනය කළා.

එහෙත් හෙට (25) සහ අනිද්දා (26) දිනවලදී නැවතත් පෙර පරිදිම පැය 02 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිත කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව හෙට (25) සහ අනිද්දා (26) දෙදින තුළ දහවල් කාලයේ පැයකුත් (1), රාත්‍රි කාලයේ පැයයි (1) මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක සිදුකිරීමට නියමිතයි.

මෙලෙස විදුලි කප්පාදු කාලසීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති, ජනක රත්නායකගෙන් අප විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය මුදල් සහ ඉන්ධන දීමට රජය මැදිහත් විය යුතු බවයි.

උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් අපහසුතාවට පත්නොවෙන ආකාරයෙන් කටයුතු කිරීම රජයේ වගකීමක් බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂමේ සභාපතිවරයා හෙට (25) දිනයේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබෙනවා.

ඒ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී විදුලි විසන්ධි කිරීම වළක්වා ලීමට අවශ්‍ය සුදුසු පියවරක් නොගැනීම හේතුවෙනුයි.

එමෙන්ම රාත්‍රි කාලයේ සිදුකරන විදුලි කප්පාදුව හේතුවෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට සිදුව ඇති අසීරුතාව පිළිබඳ දැනුවත් කිරීමට අනුරාධපුරයේ උසස් පෙළ සිසුන්ගේ දෙමාපියන් පිරිසක් අද (24) අනුරාධපුර මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය සමඟ එක්ව විදුලි ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත කර ඇති නියෝග බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින්.

මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුට (2) තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික අනිද්දා (26) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට අද (24) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

තමන්ට මරණ තර්ජන එල්ල කළ බවට මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් වන උදේනි වික්‍රමසිංහ සහ ආචාර්ය මොහාන් සමරනායක කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබුණා ෴


කළුතර විද්‍යාලයේ සිසුවෙකු පහරකෑමට ලක්ව රෝහලේ

(24.01.2023 – 20:59 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ හැදෑරීම සඳහා කළුතර විද්‍යාලයට ඇතුළත් කළ සිසුවෙකු එම පාසලේ වෙනත් සිසුන් පිරිසකගේ පහරකෑමකට ලක්ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින පුවතක් හිරු ප්‍රවෘත්ති වෙත වාර්තා වුණා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ ‘නිම්න රන්මාල් ජයරත්න’ නම් සිසුවෙකු වන අතර ඔහු කළුතර විද්‍යාලයට ඇතුළත් වූ පසුගිය 16 වනදා මෙම පහරදීම සිදුව තිබුණා.

පන්තියේ සිටි සිසුන් කිහිපදෙනෙකු මෙම සිසුවාගෙන් රුපියල් විස්සක් ඉල්ලා ඇති අතර තමා සතුව මුදල් නොමැති බව පැවසීමෙන් පසු ඔහුට පහරදී ඇති බවයි කළුතර – දකුණ පොලිසිය සඳහන් කළේ.

පළමුවෙන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ ඔහු නිවසට පැමිණි පසු නාසයෙන් රුධිරය වාහනය වීම නිසා ශ්‍රී ජයවර්ධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම සිසුවා දැනට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි සිසුවාගේ දෙමාපියන් සඳහන් කළේ.

පහරදීම සිදුකළ සිසුන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර තිබෙනවා ෴


ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ක්‍රියාවලිය මාස 6 ක් තුළ සම්පූර්ණ කරනවා – මහ බැංකු අධිපති

(24.01.2023 – 22:50 +0530 – hirunews.lk/sinhala)

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ක්‍රියාවලිය මාස 6 ක් තුළ සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

2023 ආර්ථික විමසුම මැයෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මහ බැංකු අධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය හිමි සියලු පාර්ශ්වයන් සමඟ ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කැපවීමෙන් කටයුතු කරන බවයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාර්ථක සාකච්ඡා මාලාවක් පැවැත්වූ බවත්, චීනය සහ ජපානයෙන්ද එවැනිම සහයෝගයක් බලාපොරොත්තු වන බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ :

“මේ වෙනකොට අපි 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් තියෙනවා. මේ 17 වැනි වතාව. මම හිතන්නේ නැහැ මේ වෙලාවේ අපිට ආපසු හැරිලා එන්න අවස්ථාවක් තියෙනවා කියලා. එහෙම කළොත් එය තමයි අපි කරන ලොකුම වරද. අන්න ඒ නිසා තමයි අපි සතුව තියෙන්න ඕනේ අඛණ්ඩ, පුරෝකථනය කළ හැකි, ස්ථායී ප්‍රතිපත්ති සහ ස්වාධීන ආයතන යාන්ත්‍රණ ආයතනයක් වගේම පරිපාලනයෙන් බැහැර කළ නොහැකි ක්‍රමවේදයක්. මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියවලියේ මුඛ්‍ය අරමුණ තමයි ස්වාධීන ආයතන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ ශක්තිමත් ප්‍රතිපත්ති ඇති කිරීම. එය අපිව දිගු කාලීනව රැකගනීවි.

ඒ වගේම මහ බැංකුවත් ශක්තිමත් කළ යුතුයි. මෙම ප්‍රතිපත්ති දෙක අඛණ්ඩව ඉදිරියට යා යුතුයි. මුල්‍ය ප්‍රතිපත්ති හරහා මූල්‍ය රාමුව ස්ථාවරව පවත්වාගෙන යා යුතුයි. එය වෙනස් වුණොත් අපිට ශක්තිමත් ප්‍රතිපත්ති සහ සම්පාදිත නීති නොමැති වෙනවා අපිට මෙය ඉදිරියට පවත්වාගෙන යන්න. මේ වෙලාවේ රජය සතු ආයතන ප්‍රතිසංස්කරණය විය යුතුයි. අර්බුදය නිමා කරගන්න නම් මේ සියල්ල කළ යුතුයි කියලා හැමෝම පිළිගන්නවා. මෙය වෙනස් නොකර අපි අඛණ්ඩව ඉදිරියට රැගෙන යා යුතුයි.

උත්පාදන ආර්ථිකයක්, විදේශ ප්‍රේෂණ මත යැපෙන ආර්ථිකයකට වඩා ශක්තිමත්. නමුත් විදේශ ණය හොඳ නැහැ කියලා නෙමෙයි කියන්නේ. ආයෝජන හරහා ඵලදායී ක්‍රියාවලීන් නඩත්තු කෙරෙන තාක් එය වඩාත් උචිතයි. ඒ හරහා අපිට ස්ථාවරත්වය වර්ධනය කරගැනීමට තිබෙන අවස්ථා පුළුල් වෙනවා. ස්ථායීව රට ඉදිරියට යන්න නම් මෙවැනි ප්‍රතිපත්ති අනිවාර්යයෙන්ම උපකාරී වෙනවා.”

මේ අතර, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සහය දෙන බවට ඉන්දියාව නිල වශයෙන් දැනුම් දී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තහවුරු කළා.

හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය ප්‍රකාශිකා ටිංග් යැංග් මහත්මිය සඳහන් කළේ ඉන්දියාවේ මෙම තීරණය අගය කරන බවයි.

මේ වනවිටත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සෙසු පාර්ශ්ව සමඟ සාකච්ඡා ක්‍රියත්මක බවද ඇය සඳහන් කළා.

එම මූල්‍ය සහතික ලැබුණු පසු ඊට අදාළ සෙසු කරුණු සම්පූර්ණ කර යෝජිත විස්තීරණ ණය පහසුකම් වැඩසටහන එහි විධායක කමිටුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට සූදානම් බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *