13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළොත් රට බෙදෙනවා! – නීතිඥ කල්‍යානන්ද තිරාණගම

13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළොත් රට බෙදෙනවා! – නීතිඥ කල්‍යානන්ද තිරාණගම


13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළොත් රට බෙදෙනවා! – නීතිඥ කල්‍යානන්ද තිරාණගම

(22.01.2023 – divaina.lk)

පසුගිය 15 වනදාට යෙදී තිබුණු තෛයිපොංගල් උත්සවය සැමරීම සඳහා යාපනය ප්‍රදේශයේ සංවිධානය කර තිබූ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. එම උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ ඉදිරි වසර දෙක (2) තුළදී 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවය. එම ප්‍රකාශය පිළිබඳව මානව හිමිකම් කටයුතු පිළිබඳ නීතිඥ කල්‍යනන්ද තිරණාගම මහතා පළ කළ අදහස් මෙසේය :

ප්‍රශ්නය – යාපනය ප්‍රදේශයේදී පැවැති තෛයිපොංගල් උත්සවයට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව. ජනාධිපතිවරයාට එම සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබෙනවාද?

පිළිතුර – 13 වන සංශෝධනය ඉදිරිපත් වූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඒ සම්බන්ධයෙන් නඩුවක් විභාග වූවා. එම නඩුව විභාග කිරීම සඳහා විනිසුරුවන් 9 දෙනකු සහභාගි වූවා. එම විනිසුරුවන් 9 දෙනාගෙන් 4 දෙනකු, 13 වන සංශෝධනය නිසා රටේ ඒකීයභාවය අහෝසි වන බවත්, රට ෆෙඩරල් රාජ්‍යයක් බවට පත්වන බවත්, රට බෙදෙන බවත් සඳහන් කළා. එම නිසා එම විනිසුරුවන් ප්‍රකාශ කර සිටියා ජනමත විචාරණයකින් තොරව එම සංශෝධනය සම්මත කළ නොහැකි බව. නමුත් අනෙක් විනිසුරුවන් 5 දෙනා සඳහන් කළා 13 වන සංශෝධනය නිසා රට නොබෙදෙන නමුත් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් ඇති නොවන බව. ඔවුන් ඒ සඳහා දැක්වූ හේතුව තමයි ජනාධිපතිවරයා සතු බලතල. එම සංශෝධනය යටතේ ඉඩම් පිළිබඳ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට. ඒ වගේම පොලිස් බලතල තිබෙන්නෙත් ජනාධිපතිවරයා සතුව. ඒ වගේම මුදල් බලතල තිබෙන්නෙත් ජනාධිපතිවරයා සතුව. ඊට අමතරව පළාත් සභා විසුරුවාහැරීමේ බලයත් ජනාධිපතිවරයා සතු වෙනවා. එම හේතු සාධකයන් ඉදිරිපත් කරමින් විනිසුරුවන් 5 දෙනකු පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් ඇති නොවන බවත් රට නොබෙදෙන බවත් එම නිසා ජනමත විචාරණයක් අනවශ්‍ය බවත් සඳහන් කළා.

එම අවස්ථාව වනවිට අග්‍රවිනිශ්චයකාරතුමා ලෙස කටයුතු කළෙත් දෙමළ ජාතිකයෙක්. ඔහු ඇතුළු 5 දෙනකු විසින් තමයි 13 වන සංශෝධනය සම්මත කිරීමට ජනමත විචාරණයක් අනවශ්‍ය බව සඳහන් කළේ. නමුත් වනසුන්දර, එල්. එච්. ද අල්විස් ඇතුළු 4 දෙනකු 13 වන සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව සඳහන් කළා. ඒ අනුව බහුතරයේ තීන්දුව අනුව ජනමත විචාරණයකින් තොරව 13 වන සංශෝධනය සම්මත කළා.

බහුතරයේ විනිසුරුවන් සඳහන් කළ දේ තමයි ජනාධිපතිවරයා සතු බලතල නිසා රට නොබෙදෙන බව සහ පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් ඇති නොවන බව. ඒ සඳහා මම ඉහතින් සඳහන් කළ කරුණු 4 තිරිංග සේ ක්‍රියාකරන බව තමයි එම විනිසුරුවන් සඳහන් කළේ. දැන් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා කියන්නේ කුමක්ද? ඒ සඳහා අවශය වන්නේ මම ඉහතින් සඳහන් කළ පළාත් සභාව සම්බන්ධ ජනාධිපතිවරයා සතු බලතල ඉවත්කිරීම පමණයි. එම තිරිංග ඉවත්කළ විට රට සම්පූර්ණයෙන්ම ෆෙඩරල් කරණය වනවා. රට බෙදෙනවා.

ප්‍රශ්නය – ජනාධිපතිවරයාගේ තනි මතයට එම බලතල පළාත් සභාවට ලබාදීමේ හැකියාව පවතිනවාද?

පිළිතුර – දැන් එම බලතල තිබෙන්නේ ජනාධිපතිවරයා සතුව තමයි. අවශ්‍ය වන්නේ ආණ්ඩුකාරවරයා ලෙස තමන්ට හිතවත් පුද්ගලයකු පත්කර ගැනීම පමණයි. මෙතෙක් සිද්ධ වූයේ තිබෙන බලතල ලබා නොදීම පමණයි. මෙතෙක් බලයේ සිටි ජනාධිපතිවරු රට කැඩෙන නිසා එම බලතල ලබාදුන්නේ නැහැ. නමුත් මෙම ජනාධිපතිවරයා එම බලතල ලබාදෙනවාට එකඟයි. 2002 බලයට පත් වූ අවස්ථාවේදීත් එම බලතල ලබාදීමට උත්සාහ කළා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩුවෙන් ලබාදීමට සූදානම් වූ සුනාමි සහන මණ්ඩලයටත් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂව කටයුතු කළා.

ප්‍රශ්නය – 13 සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට අවශ්‍ය වන්නේ නැද්ද?

පිළිතුර – ඒ සඳහා ව්‍යවස්ථාව වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. ආර්. සම්බන්ධන් පැහැදිලිවම ප්‍රකාශ කරනවා ඒකීය රටක් තුළ පූර්ණ බලය බෙදීමකට ඔවුන් කැමැති බව. දැන් ව්‍යවස්ථාවේ ඒකීය බව සඳහන් වනවා. දැන් මේ සූදානම් වන්නේ ව්‍යවස්ථාවෙන් ඒකීය පාලනයෙන් ෆෙඩරල් රාජ්‍යයක් ඇති කරන්න. සම්බන්ධන්ලාට අවශ්‍ය වී තිබෙන්නේ උතුර සහ නැගෙනහිර ඔවුන්ගේ ප්‍රදේශ ලෙස වෙන්කර ගන්න. එම ප්‍රදේශයේ පාලනයට වෙන අයට සම්බන්ධ වෙන්න බැහැ.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පළමුව සඳහන් කළේ 75 වන නිදහස් දිනය යෙදෙන පෙබරවාරි 04 වනදාට පෙර එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව තමයි. නමුත් පසුගිය තෛයිපොංගල් උත්සවය අමතමින් ප්‍රකාශ කළේ ඉදිරි වසර දෙක (2) තුළදී 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බවයි. ජනාධිපතිවරයා පළමුවෙන් සැලසුම් කළ කාලය වෙනස් කිරීමෙන් පැහැදිලි වනවා නේද මෙය පහසුවෙන් කළ නොහැකි කටයුත්තක් බව.

පිළිතුර – ඒ සඳහන් කරන්නේ 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳව පමණක් නොවෙයි. මුස්ලිම් ජනතාවට මුස්ලිම් කලාපයක් ලබාදීමේ සැලසුම් තිබෙනවා. වතුකරයේ දෙමළ නායකයනුත් විවිධ ඉල්ලීම් කරනවා. 2004 දී රනිල් වික්‍රමසිංහ මහතා එම නායකයන්ගේ ඉල්ලීම් පිළිගනිමින් යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. එම යෝජනා මාලාවේ සඳහන් වූවා දෙමළ නායකයන්ගෙන් අහන්නේ නැතිව වතුකරයේ ඉඩම් බෙදන්නේ නැති බව. ආරුමුගම් තොණ්ඩමන් ඉන්න කාලයේදී තමයි එම ඉල්ලීම් ඉදිරිපත් කළේ. එම ඉල්ලීම් පිළිගෙන තිබෙනවා. එම ඉල්ලීම පමණක් නොවෙයි ඉල්ලීම් 19 ක් ඉදිරිපත් කළා. උඩරට පළාත්වල සිංහලයන් පදිංචි කළ නොහැකි බව එම ඉල්ලීම්වල සඳහන් වනවා. ඒ වගේම එම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙමළ භාෂාවෙන් කටයුතු කළ යුතු බවත් එම කාර්යාලවලට දෙමළ නිලධාරීන් පත් කළ යුතු බවත් එම ඉල්ලීම්වල සඳහන් වනවා. එම සියලු ඉල්ලීම් ඉදිරි වසර දෙකක (2) කාලය තුළ ලබාදෙන බව තමයි තෛයිපොංගල් දිනයේදී ප්‍රකාශ කරලා තිබෙන්නේ.

ඉදිරියේදී වතුකරයේ දෙමළ නායකයන් ස්වයං පාලනයක් ඉල්ලා සිටියොත් එකත් ලබා දේවි. නුවරඑළිය, මස්කෙලිය ප්‍රදේශයේ දැනටමත් ඔවුන් ඡන්දය ප්‍රකාශ කරන්නේ ඒ විදියට තමයි. ආණ්ඩුවට ඕනෑම අවස්ථාවක දිස්ත්‍රික් මායිම් වෙනස්කිරීමට පුළුවන්. එම බලතල යොදාගෙන වතුකරයේ දෙමළ නායකයන්ගේ ඉල්ලීම් ලබාදීමට කටයුතු කරන්න පුළුවන්.

සාකච්ඡා කළේ : එරික් ගාමිණී ජිනප්‍රිය


මාස එකහමාරක් (1½) වසා තිබූ නිවසින් හොරු ඇද්ද විශාල බඩු

(23.01.2023 – gossiplankanews.com)

සාමාන්‍යයෙන් නිවසකට පනින හොරු රැගෙන යන්නේ ඉක්මනින් මුදල් කරගත හැකි හෝ අතේ ගෙනයාහැකි දේවල්ය. රන් භාණ්ඩ, ජංගම දුරකථන ආදිය බහුලව සොරකම් කෙරේ.

මුල්ලේරියාව ප්‍රදේශයේ ගෙවල් බිඳුමකට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙන අතර ඔවුන් සොරකම් කරන ලද දේවල් ඊට වෙනස්ය. විශාල ප්‍රමාණයේ ශීතකරණ, ඇඳන්, මෙට්ට ආදී කීපදෙනෙකු එක්වී උස්සාගෙන යායුතු බඩු ඔවුන් සොරකම් කර තිබුණි.

පසුගිය 19 වන දින මුල්ලේරියාව පොලිස් වසමේ උඩුමුල්ල ප්‍රදේශයේ නිවසක් බිඳ මෙලෙස සොරාගත් භාන්ඩ වල වටිනාකමව රුපියල් ලක්ෂ 35 කට අධික බව මුල්ලේරියාව පොලිසිය සඳහන් කරයි.

මාස එකහාමාරක (1½) පමණ කාලයක් නිවසේ අයිතිකරු විසින් නිවස වසා දමා තිබි ඇති අතර එම කාලය තුළ සැකකරුවන් විසින් වරින් වර මෙම දේපළ සොරකම් කර ඇති බවට පොලිසිය විසින් සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඒ අනුව මෙම සොරකමට සම්බන්ධ සැකකරුවන් 03 දෙනෙකු හා සොරබඩු ලඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) මුල්ලේරියාව පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සොරකම් කරන ලද දේපල ද සමඟ ඊයේ (22) දහවල් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සොරබඩු ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 600 ක්ද සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 ත් 50 ත් අතර වයස් වල පසුවන උඩුමුල්ල, මුල්ලේරියාව, හා බත්තරමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සොයා ගත් දේපල මෙසේ :

  1. විදුලි පංකාවක්
  2. ශීතකරනයක්
  3. රෙදි සෝදන යන්ත්‍රයක්
  4. ස්ප්‍රින් මෙට්ට 03 ක්
  5. රයිස් කුකර් එකක්
  6. ප්ලාස්ටික් මේසයක්
  7. ප්ලාස්ටික් පුටු 10 ක්
  8. ඇඳන් 03 ක්
  9. කර්ට්න් රෙදි 06 ක් හා කර්ට්න් රදවන පොලු 03 ක්

සැකකරුවන් අද (23) දින අළුත් කඩේ අංක 08 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මුල්ලේරියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


ප්‍රමිතියක් නැති කාබනික පොහොර නිසා අක්කර දහස් ගණනක කුඹුරු වැනසෙයි

(23.01.2023 – 10:38 +0530 – lankaleadnews.com)

නෙමටාඩෝ වටපණු රෝගය වැළඳීමෙන් මේ වන විට දිවයින පුරා අක්කර දහස් ගණනක කුඹුරු විනාශ වීයාමේ අවදානමකට ලක්ව තිබේ.

ගොවීහු චෝදනා කරන්නේ පසුගිය කන්නයේ ලබාදුන් කාබනික පොහොර සහ කාබනික දියර පොහොර ප්‍රමිතියෙන් තොර යැයි ද එමගින් මෙම සශ්‍රීක කුඹුරුවල ලවණතාව වැඩි වී වටපණු රෝගයෙන් මෙලෙස කුඹුරු විනාශ වී යන බවය.

තිස්ස, ලුණුගම්වෙහෙර ව්‍යාපාරයේ වගා කරන ලද කුඹුරු අක්කර 25,000 න් 11,000 කට පමණ නෙමටාඩෝ වටපණු රෝගය වැළඳී ඇතැයි බතලේගොඩ වී පර්යේෂණ ආයතනය තමන්ට දැන් වූ බව ලුණුගම්වෙහෙර ගොවි සංවිධාන පවසයි.

භයානක වටපණු රෝගයක් වන නෙමටාඩෝගෙන් ගොයම බේරාගත නොහැකි බැවින් තමන්ට උපදෙස් ලැබුණේ වගාව අත්හැර දමන ලෙසට යැයි ද එම ගොවි නියෝජිතයෝ පවසයි.

ලුණුගම්වෙහෙර ව්‍යාපාරයේ වම් ඉවුරේ මාස දෙකකට ආසන්න වූ පැළ ගොයම වටපණු රෝගයකින් විනාශ වීමට පටන්ගැනීම නිසා බතලේගොඩ වී පර්යේෂණ ආයතනය දැනුවත් කිරීමෙන් පසු එහි නියෝජිත පිරිසක් පැමිණ ගොයම පරීක්ෂා කොට මෙසේ උපදෙස් දුන්නේ යැයි කිරිඳිවල ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්. ජාලියගොඩ සදහන් කරයි.

ලුණුගම්වෙහෙර ව්‍යාපාරය මෙවර කරන ලද කුඹුරු අක්කර 25,000 න් දැනට රෝගය වැළඳුණු අක්කර 11,000 මෙසේ අත්හැර දැමුව ද ලබන කන්නය වන විට අක්කර 25,000 ම රෝගය පැතිර යාමේ අවදානමක් ඇති බව බතලේගොඩ වී පර්යේෂකයන් සඳහන් කළේ යැයි ‘ලුණුගම්වෙහෙර ඩී.සී. එක දෙක’ ගොවි සංවිධානයේ සභාපති සාමිත චතුරංග පවසයි.

රජයෙන් ලබා දුන් කාබනික පොහොර සහ දියර පොහොර භාවිත නොකළ ගොවීන්ගේ කුඹුරුවලට කිසිදු හානියක් වී නැතැයි ද ගොවීහු පෙන්වා දෙති.

බලධාරීන් මැදිහත්ව වහා පියවරක් ගෙන ගොවීන්ගේ මෙම ගැටලුවට විසඳුමක් ලෙසත්, වගා තක්සේරුවක් කොට සහනයක් ලබා දෙන ලෙසත් ගොවීහු රජයෙන් ඉල්ලා සිටිති ෴

++++++++

+


පුංචි ඡන්දයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ සතියේ

(23.01.2023 – 12:42 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය මෙම සතියේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

සියලු දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරුන්ට තම දිස්ත්‍රික්කයේ අනුමත වූ නාම යෝජනා පිළිබඳ තොරතුරු කඩිනමින් යොමුකරන ලෙස දැනුම් දී ඇති බවයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

මේ අතර, මැතිවරණ වියදම් පාලන පනතට කතානායක මහින්ද යාපා අබේවර්ධන පසුගිය සෙනෙසුරාදා අත්සන් තබා තිබෙනවා.

+


මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකුට (2) මරණ තර්ජන

(23.01.2023 – 12:53 +0530 – hirunews.lk/sinhala)

තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බවට මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් දෙදෙනෙකු (2) කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ පසුගිය 20 වැනිදා ඔවුන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි.

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් වන උදේනි වික්‍රමසිංහ සහ ආචාර්ය මොහාන් සමරනායක යන දෙදෙනා (2) විසිනුයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.

මේ අතර, ජනාධිපතිවරයා විසින් පසුගිය 19 වැනිදා තමා හැර මහජන උපයෝගීතා කොමිසමේ සෙසු සාමාජිකයන් කැඳවා සිදු කළ සාකච්ඡාවෙන් අනතුරුව විදුලිබිල වැඩි කිරීම සම්බන්ධයෙන් අනෙකුත් සාමාජිකයන්ගේ ස්ථාවරයේ වෙනසක් සිදු වූ බවට කොමිසමේ සභාපති ජනක රත්නායක කොළඹ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී චෝදනා කළා.

විදුලිබිල වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය කළ ඉල්ලීම ඉවත දමා ලංකා විදුලිබල මණ්ඩලය විසින් යොමුකර ඇති යෝජනාව සලකා බැලීමට පසුගිය 12 වැනිදා උපයෝගීතා කොමිසම එළඹි තීරණයට පටහැනි තීරණයක් එහි ඉතිරි සාමාජිකයන් ගනු ලැබුවේ එම සාකච්ඡාවෙන් අනතුරුව බවයි ඔහු එහිදි සඳහන් කළේ ෴


විදෙස් රැකියා ආයතනයක හිමිකරුවෙකු කටුනායක දී අත්අඩංගුවට

(23.01.2023 – 13:01 +0530 – hirunews.lk/sinhala)

සංචාරක වීසා මත නීතිවිරෝධීව විදෙස් රැකියා සඳහා පුද්ගලයන් යැවූ මරදානේ පිහිටි විදේශ රැකියා ආයතනයක හිමිකරුවෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (23) පෙරවරුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින් සහ පොලීසිය එක්ව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මතයි.

ඕමානයට සංචාරක වීසා මත පුද්ගලයන් යැවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිදුකළ විමර්ශනවලට අදාළ ඕමානයේ රැඳී සිටි කාන්තාවක් හමුව තිබෙනවා.

ඇය, කොලොන්නාවේ පදිංචි උප ඒජන්තවරයෙකු මාර්ගයෙන් මරදානේ පිහිටි විදේශ රැකියා ආයතනයක් හරහා ඕමානයට ගිය බවටයි විමර්ශන නිලධාරින් සඳහන් කළේ.

පසුව මෙම උප ඒජන්තවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ විදේශ රැකියා ආයතනයේ හිමිකරුට එරෙහිව අධිකරණය විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

ඒ අනුව, අද පෙරවරුවේ ඔහු දිවයිනට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව සඳහන් ෴


+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ 13 amendment. The fake President is the biggest traitor of Sinhala people and of Sri Lanka. What he failed to do with his Norwegian conspiracy, he is now trying to do it this time. It could be a different agenda as well to wind up the sinhala people to vote for the rogues Rajapassas, that means fake President Ranila is this time conspiring with Rajapassas for his useless survival. Sri lankans are unfortunately remain cursed while this lot of so called power grabbing rogues remains in power. That means lying to Tamil people and betraying them too. Tamil and Sinhala people, do not trust this fake President, all of them, Kick them out, now!

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *