වරාය නගරය Online

වරාය නගරය Online


වරාය නගරය Online

(22.01.2023 – 02:12 +0530 – lankacnews.com)

2023.01.05 වන දින පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට ලබා දුන් නිර්දේශ සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව ගත් කඩිනම් පියවර පිළිබදව මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය ප්‍රශංසාව පළ කළේය. වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව මාර්ගගත ක්‍රමවේදයන්ට (Online) අනුගතවන ලෙසට සහ 2021 වර්ෂය සදහා විගණනය කරන ලද ගිණුම් ඉදිරිපත් කරන ලෙසට ලබා දුන් නිර්දේශවලට එම කොමිෂන් සභාව කඩිනමින් මෙලෙස ප්‍රතිචාර දක්වා තිබීම ඊට හේතුවයි.

රජයේ මුදල් පිළිබද කාරක සභාව පසුගිය 19 වැනිදා හමුවූ අවස්ථාවේදී කමිටු සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

අදාළ පනතට අනුව, වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සම්පූර්ණයෙන්ම රජයට අයත් නිසි නෛතික ක්‍රමවේදයක් යටතේ පිහිටුවන ලද ආයතනයක් බව කොමිෂන් සභාවේ නිලධාරීහු පෙන්වා දුන්හ.

බලපත්‍රවලට අදාළ ඉල්ලුම්පත්‍රවල සපයා ඇති තොරතුරුවල වලංගුභාවය පරීක්ෂා කිරීමට ඇති හැකියාව පිළිබඳව විමසූ විට කොමිෂන් සභාව පවසා සිටියේ අයදුම්පත්‍රයේ සදහන් තොරතුරුවල වගකීම අයදුම්කරු වෙත පැවරෙන බවයි. එසේම වරාය නගර භූමිය තුළ සියලුම සමාගම්වල ලේඛනයක් ඉලෙක්ට්‍රොනිකව සාමාන්‍ය ජනතාවට අදාළ තොරතුරු දැනගත හැකිවන පරිදි පවත්වාගෙන යනු ලබන බව ද මෙහිදී තහවුරු විය.

බදු ප්‍රතිපත්ති අනුව කොළඹ වරාය නගරයෙන් පිටත ව්‍යාපාර කිරීමට තෝරා ගැනීමේ නිදහස ඇති අයදුම්කරුවන්ගේ වරප්‍රසාද පිළිබඳව කමිටුවේදී අවධානය යොමු විය. වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ වැටුප් ව්‍යුහයන් සහ මානව සම්පත් ප්‍රතිපත්ති සැකසීමේ බලය එම ආයතනවලට ලබා දෙන බවයි. එහිදී මෙය දැඩි ලෙස නිරීක්ෂණය කළ යුතු බවත්, අක්‍රමිකතා සඳහා ඉඩ කඩ ඇති බැවින් නැවත සලකා බැලිය යුතු බවත් මුදල් කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය. මීට අමතරව, අන්තර්කාලීන පදනමක් මත, විෂයභාර අමාත්‍යවරයා විසින් අනුමත කරන්නේ නම්, සමාගම්වලට, වසර 05 කට නොවැඩි කාලයක් සඳහා, වරාය නගරයෙන් පිටත ව්‍යාපාරයක් විවෘත කිරීමේ හැකියාව පවතී.

අධිභාර සහ දඩ මුදල් පිළිබඳ කමිටුව විසින් විමසූ විට, වරාය නගර ආර්ථික කොමිෂන් සභාව, දඬුවම්වල පරාමිතීන් තහවුරු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සහ අදාළ නියාමකයින් සමඟ කටයුතු කරන බව සදහන් කළේය. කොළඹ වරාය නගරය පාලනය කිරීමේදී බහුවිධ නියාමකයන්ගේ කාර්යය වරාය නගර ආර්ථික කොමිසමට සිදුකළ නොහැකි බව ගරු ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කළේය. 2023 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව සඳහා කැසිනෝ නියාමනය සදහා ආයතනයක් ස්ථාපිත කිරීම සදහා මුදල් කාරක සභාවේ උපදෙස් පරිදි දැනටමත් කටයුතු කරන මුදල් අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරන ලෙස කමිටු සභාපතිවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.

ආරවුල් විසඳීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන ලද අතර, පනතට අනුව, වරාය නගරය තුළ ඇති ආයතනය ගැටුම් නිරාකරණය සඳහා ඉඩක් පමණක් ලබා දෙන බව අනාවරණය විය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ මායිම් තුළ ඇති මහේස්ත්‍රාත් සහ සිවිල් අධිකරණවල ප්‍රමුඛතා පදනම මත සියලුම අධිකරණ කටයුතු සිදු කරනු ලැබේ. ඉදිරියේදී මෙම කටයුතු සමාලෝචනය කරන බව නීතිපති දෙපාර්තමේන්තුව තහවුරු කළේය.

මේ අනුව බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලියට වඩාත් පැහැදිලි බවක් ලබා දීම , විගණන වාර්තා නිසිපරිදි ඉදිරිපත් කිරීම සහ අනෙකුත් නෛතික ප්‍රශ්නවලදී සිදු වන ප්‍රමාදයන් වළක්වා ගැනීම සහතික කිරීම සඳහා වරාය නගර ආර්ථික කොමිෂන් සභාව නිරන්තරයෙන් රැස් වන බවට ලබාදුන් සහතිකය සමග සමාලෝචනය සඳහා ඉදිරිපත් කරන ලද සියලුම ගැසට් පත්‍ර කොන්දේසි සහිතව අනුමත කරන ලදී.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු. (ආචාර්ය) සුරේන් රාඝවන්, ගරු අනූප පැස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගරු චන්දිම වීරක්කොඩි, ගරු මයන්ත දිසානායක, ගරු. (මහාචාර්ය) රංජිත් බණ්ඩාර, ගරු. (ආචාර්ය) නාලක ගොඩහේවා, ගරු. ප්‍රේම්නාත් සී. දොලවත්ත, ගරු. මධුර විතානගේ යන මහත්වරු ද වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද මෙම කමිටු රැස්වීමට එක්ව සිටියහ ෴


ප්‍රවීන සිනමාවේදිනී සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව

(21.01.2023 – 19:40 +0530 – hirunews.lk/sinhala)

අභාවප්‍රාප්ත ප්‍රවීන සිනමාවේදිනී ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව අද (21) පස්වරුවේ සිදු කෙරුණා.

ඒ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදීයි.

නිවසේ සිට ජාතික චිත්‍රපට සංස්ථාවට රැගෙන ඒමෙන් අනතුරුවයි අවසන් කටයුතු සඳහා නිදහස් චතුරස්‍රය වෙත දේහය රැගෙන එනු ලැබූවේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අවමංගල්‍ය උත්සවය ආමන්ත්‍රණය කළ අතර සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රවීන රංගන ශිල්පිණි වසන්ති චතුරානී ද අවමංගල්‍ය උත්සව සභාවේ දී අදහස් පළ කළා.

+++++++++

+


මාර්තු 09 පළාත් පාලන ඡන්දයට දින නියම කෙරේ

(21.01.2023 – 19:47 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන මාර්තු මස 09 වන දා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

පළාත් පාලන ආයතන 339 කට අදාළව නාමයෝජනා භාර ගැනීම අද (21) දහවල් 12 න් අවසන් කෙරුණු අතර, ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී නාමයෝජනා භාර ගැනීම සිදුකෙරුණා.

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර අනෙකුත් ප්‍රාදේශීය සභා සඳහා නාමයෝජනා භාර ගැනීම ආරම්භ කෙරුණත්, කල්මුණේ නගර සභාවේ නාමයෝජනා භාර ගැනීම තාවකාලිකව අත්හිටවනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුවයි.

නියමිත පරිදි අද (21) දිනයේදීත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නාමයෝජනා භාර දුන්නා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා නාමයෝජනා භාරදීම ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (21) සිදුකළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කොළඹ දිස්ත්‍රික්කයේ නාමයෝජනා භාරදීම සඳහා එක්ව සිටියා.

කළුතර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා භාරදුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

එසේම, අමාත්‍ය බන්දුල ගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයකට නාමයෝජනා භාරදෙනු ලැබුවා.

මේ අතර, කොළඹ මහ නගර සභාවේ පුරපති ධූර අපේක්ෂක රෝසි සේනානායක නාමයෝජනා භාර දෙනු ලැබුවා.

එසේම, එක්සත් ජාතික පක්ෂය සහ ලංකා වතු කම්කරු කොංග්‍රසය සන්ධානගත වී නුවරඑලිය දිස්ත්‍රික්කයට නාමයෝජනා භාර දුන් බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක කියා සිටියා.

පොලොන්නරුව මහ නගර සභාව සඳහා නව ලංකා නිදහස් පක්ෂයේ උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න නාමයෝජනා භාර දුන්නා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන්ද පොලොන්නරුවේ පළාත් පාලන ආයතන 08 සඳහාම නාමයෝජනා භාරදුන් අතර, මේ ඉන් අනතුරුව අදහස් දැක්වූ පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන.

මේ අතර, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල ප්‍රාදේශීය සභාවට ස්වාධීන කණ්ඩායමක් විසින් ඉදිරිපත් කළ නාමයෝජනාවක් ප්‍රතික්ෂේප වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වූ බව අප වාර්තාකරු සඳහන් කළා.

+


වැටුප් නැති නිසා ජාතික දැලුපන්දු පුහුණුකාරිය ඉවත්වෙයි

(21.01.2023 – 20:39 +0530 – hirunews.lk/sinhala)

තමන් ශ්‍රී ලංකා දැල් පන්දු පුහුණුකාර ධුරයේ තවදුරටත් කටයුතු නොකරන බව ජාතික පුහුණුකාරිනි ‘හයිසින්ත් විජේසිංහ’ පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සමග අදහස් දක්වමින් ඇය කියා සිටියේ ශ්‍රී ලංකා දැල් පන්දු සම්මේලනයේ අසාධාරණ ක්‍රියා හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බවයි.

+


දෙවියන් බලා සිටියදී කල සොරකම

(21.01.2023 – 21:50 +0530 – hirunews.lk/sinhala)

කොම්පඤ්ඤ වීදියේ පිහිටි ශිව සුබ්‍රමණියම් ස්වාමි කෝවිලට අද (21) අලුයම ඇතුළු වූ පුද්ගලයෙකු එහි තුබූ රුපියල් ලක්ෂ 3 කට අධික පඬුරු සහ ආධාර මුදල් සොරකම් කර තිබෙනවා.

මෙම සොරකම කෝවිලේ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.

අද (21) උදෑසන ශිව සුබ්‍රමණියම් ස්වාමි කෝවිලේ ආරක්ෂක නිලධාරියා විසින් කෝවිල පරීක්ෂා කිරීමේදී කිසියම් පුද්ගයෙකු විසින් කෝවිලේ දොරගුලු කඩා විවෘත කර ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ පිළිබදව කෝවිලේ පූජකවරයා ඇතුළු නිළධාරීන් දැනුවත් කිරීමෙන් පසු පොලිසියට ද දැනුම් දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

+


නොරොච්චෝලේ සම්පූර්ණයෙන් වැඩ – කැළණිතිස්ස නවතී

(22.01.2023 – 07:39 +0530 – hirunews.lk/sinhala)

සුළු නඩත්තුවක් සඳහා අක්‍රීය කර තිබූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය මේ වනවිට (22) යළිත් පූර්ණ ධාරිතාවයෙන් යළිත් ජාතික පද්ධතියට එක් කර තිබෙනවා.

කෙසේ වෙතත්, කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අද (22) අලුයම සිට අක්‍රීය කර තිබෙනවා.

ඒ, විදුලිබල මණ්ඩලය සතුව ප්‍රමාණවත් තරම් නැප්තා සංචිත නොමැතිවීම හේතුවෙන්.

ඒ සමඟ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165 ක ධාරිතාවක් අහිමිව ගොස් තිබෙනවා ෴


AL විභාගය කාලෙත් විදුලිය කපනවා..- CEB

(22.01.2023 – 08:40 +0530 – lankacnews.com)

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාවේදී ද දෛනික විදුලි කප්පාදුව සිදු කළ යුතු යැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

එම විභාගය පවතින කාල සීමාවේ දී රාත්‍රී කාලයේ විදුලි කප්පාදු නොකරන ලෙසට මහජන උපයෝගිතා කොමිසම විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මණ්ඩලය විසින් මේ බව දන්වා ඇත.

තාප විදුලි නිෂ්පාදනයට අධික පිරිවැයක් දරන්නට සිදුවීමත් ඊට ප්‍රමාණවත් මුදල් නොමැති වීමත් මත මෙම පියවර ගත යුතු බවද පවසන මණ්ඩලය විදුලි නිෂ්පාදයට අවශ්‍ය මුදල් ලබාදෙන්නේ නම් විදුලි කප්පාදුව සිදු නොකිරීමට හැකි බවද කියා සිටී ෴


+ https://www.youtube.com/watch?v=c4pf9VyAuhM


කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ධුරයෙන් නෙරපයි

(22.01.2023 – 09:11 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල නගරාධිපති ‘තුෂාර සංජීව විතාරණ’ ධුරයෙන් නෙරපා හරිමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ විසින්.

එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ කුරුණෑගල නගරාධිපතිවරයා විසින් මෙම වර්ෂයට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය සම්මත නොකිරීම සහ 2020 වසරේ මහනගර සභා අයවැය සම්පාදනය හා බලාත්මක කිරීමේ නියෝග ප්‍රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් මෙලෙස ධුරයෙන් ඉවත් කරන බවයි.

පසුගිය දෙසැම්බර් 31 සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු ධුරයෙන් ඉල්ලා අස්වූවා සේ ලෙස සළකන බව ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම නගරාධිපති ධුරය පුරප්පාඩු වූවා සේ සළකා එහි රාජකාරි ආවරණය කිරීමේ වගකීම නියෝජ්‍ය නගරාධිපතිවරයා වෙත පවරා තිබෙනවා ෴


වැලිගම දී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටෙයි

(22.01.2023 – 10:04 +0530 – hirunews.lk/sinhala)

මාතර – වැලිගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක්, ගාලු කුමාරි දුම්රියේ ගැටී තිබෙනවා.

අද (22) උදෑසන 06:45 ට පමණ සිදු වූ මෙම අනතුරින් ත්‍රිරෝද රථ රියදුරා මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දුම්රිය සංඥා දැල්වෙමින් තිබියදී ත්‍රිරෝද රථය අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගය හරහා ගමන් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මියගිය පුද්ගලයා 50 හැවිරිදි තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *