රුපියල් කෝටි 450 ක් වටිනා රතු මැණිකක් හොරෙන් ඉන්දියාවට පන්නන්න හදලා

රුපියල් කෝටි 450 ක් වටිනා රතු මැණිකක් හොරෙන් ඉන්දියාවට පන්නන්න හදලා


රුපියල් කෝටි 450 ක් වටිනා රතු මැණිකක් හොරෙන් ඉන්දියාවට පන්නන්න හදලා

(11.01.2023 – 11:27 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 450 ක් වටිනා, පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බවට සැක කෙරෙන රතු මැණිකක් ශ්‍රී ලංකාවේ සිට නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) පොලිස් විශේෂ කාර්‍ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ කැබිතිගොල්ලෑව කඳවුරට ලැබුණු තොරතුරක් අනුව උප පොලිස් පරීක්ෂක ආර්.එච්.ආර්.එස්. රංගන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය දා මැදවච්චිය පොලිස් වසමේ ගුරුකන්දේගම ප්‍රදේශයේ දී සිදුකළ වැටලීමකදීයි අදාල පුද්ගලයින් දෙදෙනාව (2) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බිංගිරිය, මූකලන්හේන, ප්‍රදේශයේ පදිංචි සමරසිංහ ආරච්චිගේ චමීන් කුමාර නමැති 41 ක් හැවිරිදි පුද්ගලයෙකු සහ මණ්ඩාපොල, මඩිගපඩාව, ප්‍රදේශයේ පදිංචි 53 න් හැවිරිදි දොරලියගොඩ කංකානම්ගේ සුසන්ත නැමැති පුද්ගලයෙක්.

මීට අමතරව සැකකරුවන් ගමන් ගත් කැබි රථයද (NW LK 2888) විශේෂ කාර්‍ය බළකා භාරයට ගෙන තිබෙනවා.

පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට සැක කෙරෙන මෙම රතු මැණිකේ වටිනාකම රුපියල් කෝටි 450 ක් ලෙස ගණන් බලා ඇති අතර එය නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවෙන් පිටමං කර ඉන්දියාවේ දී අලෙවි කිරීමටයි මෙම පුද්ගලයින් සැලසුම් කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ ඔවුන් ගමන් ගත් මෝටර් රථය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මැදවච්චිය පොලිසියට භාරදී තිබෙනවා ෴


ගංජා හේන ගැන නියෝජ්‍ය කතානායකගෙන් ප්‍රකාශයක් – පොලීසියටත් චෝදනා

(11.01.2023 – 12:39 +0530 – hirunews.lk/sinhala)

මත්තල ප්‍රදේශයේ කුලී පදනම මත ලබාදුන් තමන්ට අයත් ඉඩමක ගංජා හේනක් පවත්වාගෙන ගොස් ඇති බවට පලවන වාර්තා වල කිසිදු සත්‍යතාවක් නොමැති බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසිමකදි ඔහු සදහන් කළේ මෙම සිද්ධිය සිය දේශපාලන ප්‍රතිරූපයට මඩගැසීම සදහා ගත් උත්සහයක් බවයි.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂට අයත් ඉඩමක් කුලී පදනම මත ලබාගෙන ගංජා හේනක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පලව තිබුනා.

එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුනේ සුරියවැව ප්‍රදේශයේ පදිංචි සැකකරු එළවළු සහ පළතුරු වගාකරන බව පවසමින් මත්තල ප්‍රදේශයේ පිහිටි අදාල ඉඩම කුලි පදනම මත නියෝජ්‍ය කථානායකවරයාගෙන් ලබා ගෙන ඇති බවයි.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව ඊයේ (10) මෙම වැටලීම සිදුකළ අතර, අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කතගරම පොලිසියට භාරදි තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ ඉඩමේ අයිතිය පිළිබඳව අප කතරගම පොලීසියෙන් විමසීමක් කළ අතර, දුරකථනට ප්‍රතිචාර දැක්වූ නිලධාරියා සඳහන් කළේ ස්ථානාධිපතිවරයා නඩු කටයුත්තක් සඳහා පොලීසියෙන් බැහැරට ගොස් ඇති බැවින් ඊට අදාළ තොරතුරු ලබාදිය නොහැකි බවයි ෴


පළාත් පාලන ඡන්ද විමසීමට බාධාවක් නැහැ – මැතිවරණ කොමිසම

(11.01.2023 – 12:53 +0530 – hirunews.lk/sinhala)

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට නීතිමය බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසම අද (11) දේශපාලන පක්ෂ නියෝජිතයන්ට දැනුම්දී තිබෙනවා. ඒ මැතිවරණ කොමිසමේ දැන් පැවැත්වෙන සාකච්ඡාවට එක්වෙමින්.

දේශපාලන පක්ෂවල මහලේකම්වරුන් සමග පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ සියලු කටයුතු අඛන්ඩව සිදුවන බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම, පළාත් පාලන ඡන්ද විමසීම සාර්ථක කර ගැනීම සඳහා පනතින් පනවා ඇති නීතිරෙගුලාසි පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මෙහිදී සඳහන් කර ඇත්තේ ඡන්දය පැවැත්වෙන කාලසීමාව තුල ප්‍රචන්ඩකාරි ලෙස හැසිරීමෙන් වළකින ලෙසයි.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ අද (11) පෙරවරුවේ කළුතර දිස්ත්‍රික්කය සඳහා ඇප මුදල් භාර දුන්නා.

තවත් දේශපාලන පක්ෂ කිහිපයක් අද (11) දිනය තුල නාම යෝජනා භාරදීමට නියමිත බවයි එම පක්ෂවල ආරංචි මාර්ග හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ.

මේ අතර හිටපු අමාත්‍ය එම්.ඒ.එල්. හිස්බුල්ලා යළි මුස්ලිම් කොංග්‍රසය සමග එක්වීමට කැමැත්ත පළ කර තිබෙනවා.

මඩකලපුවේදී ඔහු ඊයේ (10) මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මුණ ගැසී මේ සම්බන්ධයෙන් එකඟතාවයට පැමිණ ඇති බවයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ ෴


තිලිණි ප්‍රියමාලි යලි අධිකරණයට

(11.01.2023 – 13:25 +0530 – hirunews.lk/sinhala)

විවිධ උපක්‍රම හරහා ව්‍යාපාරිකයන්ගෙන් ලබා ගත් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ බව කියන සිද්ධියේ ඇප මත මුදා හැර ඇති තිළිණි ප්‍රියමාලි, ඉසුරු පෙරේරා, කසුන් පෙරේරා සහ සෙල්ලයියා ජයමෝහන් යන අය අද (11) අධිකරණය ඉදිරියේ පෙනී සිටියා.

මෙහිදී තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර ට අයත් අධිකරණය භාරයේ ඇති රථය මුදා හරින ලෙස තිලිණි ප්‍රියමාලිගේ පාර්ශවයේ නීතිඥයින් කළ ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධ වුනා.

එම ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ප්‍රතික්ෂේප කළා.

මේ අතර මෙම නඩුකරය ට අදාළව අද (11) දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කර සිටී බොරැල්ලේ සිරිසුමන හිමියන් අද (11) දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා එම හිමියන්ට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලෙසටත් කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

බොරැල්ලේ සිරිසුමන හිමියන් ට මෙලෙස නඩු දෙකකට (2) අදාලව වරෙන්තු නිකුත් කෙරුනා ෴


විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන චෝදනාවක්

(11.01.2023 – 14:19 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීම හෝ ඒ සඳහා මිල සූත්‍රයක් පැනවීම මගින් සිය කර්මාන්ත විනාශවන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංවිධානය පෙන්වා දෙනවා.

මේ අතර ඇතැම් දේශපාලනඥයින් විදුලි බිල ඉහල දැමීම ඔස්සේ මෙරට සමාගම් බංකොලොත් කර විදෙස් සමාගම්වලින් කොමිස් ලබා ගැනීමට කටයුතු කරමින් පවතින බවට ශ්‍රි ලංකා ජාතික ඉදිකිරීම් සංගමය චෝදනා කරනවා.

+


දුම්රිය ගමන්වාර විශාල ප්‍රමාණයක් අවලංගු නොවූ බව බන්දුල පවසයි

(11.01.2023 – 14:47 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය සේවකයින් විශ්‍රාම යාම හේතුවෙන් දුම්රිය ගමන්වාර විශාල ප්‍රමාණයක් අවලංගු නොවූ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ, ප්‍රවාහන අමාත්‍යාංශයීය උපදේශන කාරක සභාව රැස් වූ අවස්ථාවේ දීයි.

++++++++

(11.01.2023 – 17:44 +0530 – hirunews.lk/sinhala)

හෙට (12) සිට නැවත දැනුම් දෙන තුරු දුම්රිය ගමන්වාර 42 ක් අවලංගු කර තිබෙනවා.

කාර්‍යාල දුම්රිය හා සාමාන්‍ය ගමන්වාර මෙලෙස අවලංගුකර ඇත්තේ කාර්යමණ්ඩල නොමැති වීම හේතුවෙන් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගමන් වාර 20 ක්, මුහුදු බඩ මාර්ගයේ ගමන්වාර 16 ක්, පුත්තලම මාර්ගයේ ගමන්වාර 4 ක් සහ, කැළණි වැලි මාර්ගයේ ගමන් වාර 2 ක් මෙලෙස දිනකට අවලංගු වනවා ෴

++++++++

(12.01.2023 – 06:34 +0530 – hirunews.lk/sinhala)

අද (12) සිට දුම්රිය ගමන් වාර 42 ක් අවලංගු කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනවිරත්න ප්‍රකාශ කළා.

මීට පෙර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැවත දැනුම් දෙනතුරු දුම්රිය ගමන්වාර 42ක් අද (12) සිට අවලංගු කරන බවයි.

එම තීරණයට හේතුව ප්‍රමාණවත් පරිදි සේවකයින් නොමැතිවීම යි.

කෙසේ වෙතත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනවිරත්න කියා සිටියේ මෙම අවලංගු කිරීම් සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කිරීම සඳහා අදාළ තීරණය අත්හිටවූ බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් 500 කට වැඩි පිරිසක් එකවර විශ්‍රාම ගැන්වීම හේතුවෙන් දෙපාර්තමේන්තුව තුළ දැඩි සේවක හිඟයක් ඇති වී තිබෙනවා.

ඒ අනුව පසුගිය කාලය පුරා දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වූ අතර ඒ හේතුවෙන් මඟීන් අපහසුතා රැසකට මුහුණ දුන් අතර පසුව දැනට විශ්‍රාම ගොස් සිටින අත්‍යවශ්‍ය සේවකයින් පමණක් සේවයට බදවා ගැනීමට අවසර ලබා දී තිබෙනවා ෴


ජාතික විදුලි පද්ධතියට තවත් මෙගාවොට් 165ක් අහිමිවන ලකුණු

(11.01.2023 – 16:15 +0530 – hirunews.lk/sinhala)

ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 165 ක් එක් කරන කැලණිතිස්ස ඩීසල් විදුලි බලාගාරය හෙට (12) රාත්‍රියේ සිට ක්‍රියා විරහිත කිරීමට සිදුවන බව කැලණිතිස්ස විදුලි අධිකාරීය පවසනවා.

මීට හේතු වී ඇත්තේ බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන නැප්තා ඉන්ධන නොමැතිවීමයි.

කැලණිතිස්ස විදුලි බලාගාරය දිනක් ක්‍රියාත්මක කිරීම සඳහා නැප්තා ලීටර ලක්ෂ 9 ක් පමණ අවශ්‍ය වනවා.

මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට ජල විදුලිය ඒකකයකට පසු අඩු ම පිරිවැයකින් විදුලි ඒකකයක් නිෂ්පාදනය කරනු ලබන්නේ නැප්තා ඉන්ධනයෙන් ක්‍රියාත්මක වන කැලණිතිස්ස චක්‍රීය විදුලි බලාගාරය විසින්.

කැලණිතිස්ස බලාගාරයේ ඒකකයක් නිෂ්පාදනය සඳහා යන වියදම රුපියල් 40-45 ත් අතර පවතිනවා.

මේ වන විට ගල් අඟුරු බලාගාර හරහා නිෂ්පාදනය කෙරෙන ඒකකයක් සඳහා සාමාන්‍ය වශයෙන් රුපියල් 60-65 ත් අතර මුදලක් වැය වන බවයි වාර්තා වන්නේ.

මෙහි දී අප සමග අදහස් දැක්වූ විදුලිබල මණ්ඩල ප්‍රකාශකයෙකු සඳහන් කළේ රට තුළ නැප්තා තොග පවතින අවස්ථාවක කැලණිතිස්ස විදුලි බලාගාරය ක්‍රියාවිරහිත කිරීමට සිදුවන්නේ නම් එය ඉතා අවාසනාවන්ත කරුණක් බවයි.

එමෙන් ම මෙවැනි දැවැන්ත විදුලිබලාගාරයක් ක්‍රියා විරහිත කොට නැවත ක්‍රියාත්මක කරන අවස්ථාවේ දී ඒ සඳහා අති විශාල ඉන්ධන දහනයක් සහ මුදල් ප්‍රමාණයක් වැය කිරීමට සිදුවන බවත් ඒ පිරිවැය ද දැරීමට සිදු වන්නේ මෙරට මහජනතාවට බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මෙහි දී අප සමග අදහස් දැක්වූ විදුලිබල මණ්ඩල ප්‍රකාශකයා පවසා සිටියේ, මේ වනවිටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව නැප්තා ලීටර මිලියන 6.5 ක තොගයක් ඇති බවයි.

කෙසේ වෙතත් මේ වන විට ඛනිජ තෙල් සංස්ථාව මුදල් ගෙවීමේ පදනම මත පමණක් විදුලිබල මණ්ඩලයට ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් අදාළ නැප්තා තොගය ලබාගැනීමට හැකියාවක් නොමැති බවත් මෙම වැඩපිළිවෙළ හරහා නැප්තා මිල වැඩි කිරීමේ උත්සාහයක් ගන්නේ දැයි යන සැකය තමන්ට ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ වනවිට විදුලි බල මණ්ඩලය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නැප්තා ලීටරයක් මිලට ගනු ලබන්නේ රුපියල් 164 ක මිලකටයි.

එය රුපියල් 220 ක් දක්වා ඉහළ දැමීමේ උත්සාහයක් ඇති බවත් තමන්ට දැන ගන්නට ලැබුණු බව ඔහු පැවසුවා.

මෙහි දී හිරු ප්‍රවෘත්ති සමග වැඩිදුරටත් අදහස් දැක්වූ අදාල ප්‍රකාශකයා, කියා සිටියේ ඛනිජ තෙල් සංස්ථාව රුපියල් 164 ට විදුලිබල මණ්ඩලයට නැප්තා අලෙවි කරද්දී එම ඉන්ධනය පිටරටින් ආනයනය කරන්නේ නම් ඊටත් වඩා තුනෙන් දෙකකට පමණ අඩු මිලකට ලබාගත හැකි බවත් පවසා සිටියා.

මේ වන විට නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියා විරහිත කර තිබීම හේතුවෙන් ජාතික පද්ධතියට මෙගා වොට් 300 ක විදුලි ධාරිතාවක් දෛනිකව අහිමි වන අතර එම විදුලි ධාරිතාවයෙන් කොටසක් සපුරා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිත කරනු ලැබුවේ කැලණිතිස්ස චක්‍රීය විදුලිබලාගාරයේ විදුලි උත්පාදනයයි.

කෙසේ වෙතත් මෙම විදුලි බලාගාරය නැප්තා ඉන්ධන නොමැති වීම හේතුවෙන් ක්‍රියාවිරහිත කිරීමට සිදුවුවහොත් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 465 ක ධාරිතාවක් දෛනිකව අහිමි වීමේ අවදානමක් ද මතුවනවා ෴


රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මැතිවරණ කොමිසමට කැඳවයි

(11.01.2023 – 17:00 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් නීල් හපුහින්න මැතිවරණ කොමිසම හමුවට කැඳවා කරුණු විමසීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පවසනවා.

‘පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂක ඇප තැන්පත් මුදල් භාර ගැනීමෙන් වළකින’ ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමුකර තිබූ ලිපිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියා.

කෙසේ වෙතත්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාම, තමන් ඊයේ (10) නිකුත් කළ ලිපිය අවලංගු කරන බව දන්වමින් සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අද (11) දිනයේදී ලිපියක් යොමුකර තිබුණා.

මේ අතර, මැතිවරණ කොමිසම විසින්ද නිකුත් කළ ලිපියක දැක්වුණේ අදාළ ඇප මුදල් භාරගැනීම සහකාර තේරීම්භාර නිලධාරීන්ගේ වගකීම බවයි.

එවන් තත්ත්වයක් තුල රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් තේරීම්භාර නිලධාරීන් වෙත නිකුත් කරන ලද අදාළ ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජලබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළා.

මේ අතර, දේශපාලන පක්ෂ නියෝජිතයින් අද (11) පෙරවරුවේ මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබුණේ විශේෂ සාකච්ඡාවක් සඳහායි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *