මහනුවර – අකුරණ – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී එක ම පවුලේ දෙදෙනෙක් (2) ජීවිතක්ෂයට

මහනුවර – අකුරණ – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී එක ම පවුලේ දෙදෙනෙක් (2) ජීවිතක්ෂයට


මහනුවර – අකුරණ – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී එක ම පවුලේ දෙදෙනෙක් (2) ජීවිතක්ෂයට

(25.12.2022 – 10:37 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – අකුරණ – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එකම පවුලේ සහෝදර සහෝදරියන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවතින අධික වර්ෂාවත් සමඟ එම නිවස ආසන්නයේ පිහිටි පස් කන්ද නායයෑමෙන් සිදුවූ අනතුරෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 18 සහ 19 හැවිරිදි වයස්වල පසුවන දෙදෙනෙකු (2) බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ පස්දෙනෙකු (5) සිට ඇති අතර, ඒ මියගියදෙදෙනා (2) සහ ඔවුන්ගේ මව, පියා සහ අනෙක් සහෝදරයායි.

සහෝදරයා පස් කන්දට යටවීමෙන් බරපතල තුවාල ලබා මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. කෙසේ වෙතත් මවට සහ පියාට අනතුරෙන් කිසිදු හානියක් සිදුව නැහැ ෴

+++++++++

මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යට වෙයි – දුම්රිය ධාවනයට බාධා

(25.12.2022 – 09:53 +0530 – hirunews.lk/sinhala)

මහනුවර දුම්රිය අංගනය ජලයෙන් යටවීම සහ පිළිමතලාව සහ පේරාදෙණිය දුම්රිය ස්ථාන අතර පිහිටි නානුඔය දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා මතුවී තිබෙනවා.

ඒ අනුව කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය පිළිමතලාව දක්වා පමණක් සීමා කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ අතර මහනුවර, නුවරඑළිය, මාතලේ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට නාය යෑමේ අවදානම් නිවේදනය කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ සංවිධානය පවසනවා.

++++++++++

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 6 ක් ඇරේ

(25.12.2022 – 10:08 +0530 – hirunews.lk/sinhala)

දැදුරුඔයේ වාන් දොරටු හයක් (6) විවෘත කර ඇති බැවින් පුත්තලම සහ හලාවත ප්‍රදේශවල ඒ ආශ්‍රිතව ජීවත්වන දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

දැදුරු ඔයේ ඉහළ ප්‍රදේශවලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ලැබීම හේතුවෙන් එමඟින් නිකුත් කෙරෙන ජලධාරිතාව තවදුරටත් ඉහළ යනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම රාජාංගණය ජලාශයේද වාන් දොරටු දෙකක් (2) විවෘත කර ඇති අතර, යාන් ඔය සුළු වශයෙන් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ අංශයේ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන කියා සිටියා ෴

++++++++++

++++++++++

+++++++++

+


දින කීපයකට කලින් මියගිය ගවයින් අධික සීතලෙන් මැරුණා නෙමෙයි.. ගවයින්ව යොදාගෙන අත්හදා බැලීමක් කලේ .. (24.12.2022)

+


එතෙරින් එවූ ‘කුෂ්’ මත්ද්‍රව්‍ය අඩංගු සෙල්ලම් බඩු පාර්සලය ගන්න ආ සැකකරු අල්ලයි

(25.12.2022 – 14:09 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකාවේ සිට ගුවන් තැපෑලෙන් එවූ ‘කුෂ්’ මත්ද්‍රව්‍ය සූක්ෂමව ඇසුරූ සෙල්ලම් බඩු සහිත පාර්සල් රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී ඊයේ (24) සිදුකළ පරීක්ෂාවේදී ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝ 1.367 ක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබූ පාර්සල් කිහිපයක තිබී රුපියල් කෝටි 16 ක් වටිනා මත් පෙති සහ ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් ද පසුගිය 22 වනදා සොයා ගැනුනා.

ඇමරිකා එක්සත් ජනපදය, ස්පාඤ්ඤය, කැනඩාව, ජර්මනිය සහ නෙදර්ලන්තය යන රටවලින් ලැබී තිබූ පාර්සල් කිහිපයක් පරීක්ෂා කිරීමේදියි අදාළ මත්ද්‍රව්‍ය හමු වී තිබුණේ.

+


වැඩිම වර්ෂාපතනය පාසිකුඩාවට

(25.12.2022 – 14:12 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හමුවේ ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසිකුඩා ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

ඒ මිලිමීටර 132.0 ක් ලෙසයි.

මීට අමතරව වාකනේරි ප්‍රදේශයේ මිලිමීටර 130.5 ක වර්ෂාපතනයක් සහ බතලගොඩ ප්‍රදේශයට මිලි මීටර 116.5 ක වාර්ෂාපතනයක් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මීට අමතර මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට ප්‍රදේශයට මිලි මීටර 106.5 ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

+++++++++++


දිනෙන් දින තරුණ පරපුර බිලිගන්නා ‘අයිස්’ ව්‍යසනය

(25.12.2022 – 14:41 +0530 – hirunews.lk/sinhala)

‘අයිස්’ ව්‍යසනය මෙරට තරුණ පරපුර වසාගෙන පැතිර ඇති ආකාරය පිළිබඳව, පසුගිය දින කිහිපයේදී අප ඔබට තොරතුරු ගෙන ආවා.

ඒ, දැවැන්ත ආර්ථික අර්බුදයකින් පීඩා විඳින ශ්‍රී ලංකාව වැනි රටක ශ්‍රම බලකාය ‘අයිස්’ මත දියැවී යෑමට පෙර සමාජයේ දෙනෙත් විවර කරවීම සඳහායි.

‘අයිස්’ රකුසාගෙන් තම මනස විකල් කරගත් තවත් තරුණ ජීවිත දෙකක් (2) ගැනයි අද (25) විමසා බැලෙන්නේ.

මේ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා ප්‍රතිකාර කරන විශේෂ ඒකකයයි.

මෙහි ප්‍රතිකාර පතා බහුලව පැමිණෙන්නේ, අවුරුදු 16 ත් 30 ත් අතර පසුවන තරුණ තරුණියන්.

ඔවුන්ගෙන් බොහෝ පිරිසක් ‘අයිස්’ මත්ද්‍රව්‍ය භාවිත කිරිමට පෙළඹී ඇත්තේ, ඉන් ලිංගික උත්තේජනය ඇති කරන බවට වූ දුර්මතය හේතුවෙන්.

මෙම ඒකකයේ ප්‍රතිකාර සඳහා පැමි‍ණෙන රෝගීන් පැය 24 පුරාම නිරීක්ෂණය කරනු ලබන අතර, අනෙකුත් රෝගීන්ගෙන් වෙන් කර ප්‍රතිකාර ලබා දීම විශේෂත්වයක්.

වෛද්‍ය ජනනි ගෝවින්න මහත්මිය ප්‍රකාශ කළේ සාමාන්‍ය මානසික රෝගියෙකුට සාපේක්ෂව, ‘අයිස්’ හෝ ‘හෙරොයින්’ නිසා මානසික රෝගවලට ගොදුරු වූවන් ඉතා ඉක්මණින් සුවය ලබන බවයි.

මේ අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ ඔවුන්ගේ ඥාතීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කිරුළපන සහ නාරාහේන්පිට ප්‍රදේශවල අද (25) පැවැත්වුණේ බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන්.

+


කච්චුවත්තේ විහාරස්ථානයේ පෞරාණික භාණ්ඩ සොරාගත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(25.12.2022 – 15:12 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ තිබූ මිලකල නොහැකි පිළිම, සළඹ 52 ක්, සීනු 32 ක් සහ පහන් 08 ක් සොරකම් කිරීමේ සිද්ධියට දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අක්මීමන පදිංචි 39 හැවිරිදි අයෙකු සහ පානදුර පදිංචි සාමිවරයෙකු අද (25) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ තිබූ පෞරාණික භාණ්ඩ මෙලෙස සොරාගෙන ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබුණේ පසුගිය 19 වනදායි.

එහිදී අනාවරණය වූයේ විහාරස්ථානයේ දේවාලයේ තිබූ පිත්තල පිළිමයක්, සරස්වතී සහ විශ්ණු දෙවියන්ගේ පිළිම, සලඹ 52 ක් , සීනු 32 ක් සහ පිත්තල පහන් 08 ක් සොරාගෙන ගොස් ඇති බවටයි.

අවස්ථා තුනකදී (3) මෙම පිළිම ඇතුළු අනෙකුත් මිලකළ නොහැකි භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා ෴


බල්ලෙකු සපා කෑමෙන් බරපතළ තුවාල ලැබූ තිදෙනෙකු (3) රෝහල්ගත කෙරේ

(25.12.2022 – 16:36 +0530 – hirunews.lk/sinhala)

බෙන්තොට සංචාරක නිකේතනයක පදිංචිව සිටින ප්‍රංශ ජාතික විදේශිකයෙකුට අයත් සුරතල් බලු පැටියා අද (25) දහවල් බැඳ තිබූ දම්වැල කඩාගෙන කළුවාමෝදර ප්‍රදේශයට පලා ඇවිත්, එහි සිටි පුද්ගලයින් තිදෙනකු (3) සපා කෑමෙන් ඔවුන්ට බරපතළ තුවාල සිදු වීමේ පුවතක් වාර්තා වනවා.

වයස අවුරුදු තුනහමාරක් (3½) වයසැති ‘ග්‍රේඩන්’ වර්ගයේ ‘ලකී’නමැති බැල්ලියක් විසිනුයි මෙලෙස දම්වැල කඩා පලා ගොස් ඇත්තේ.

බැල්ලියගේ සපාකෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා (3) මේ වනවිට කළුතර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අලුත්ගම පොලිසිය සඳහන් කළේ, බැල්ලිය සපා කෑ එක් (1) පුද්ගලයෙකු ශල්‍යකර්මයකට ද භාජනය කර ඇති බවයි.

සිදු වූ ශාරීරික හිංසනය වෙනුවෙන් ලබා ගන්නා වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය සියලුම මූල්‍ය පහසුකම් සැලසීමට විදේශිකයා එකඟ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය විමර්ශන ක්‍රියාත්මකයි ෴


‘හිරු සෙනෙහසේ නත්තල’ දිඹුලාගල පුරවරයට

(25.12.2022 – 19:41 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික දුෂ්කරතා සහිත දරු දැරියන්ට අවශ්‍ය පාසල් පොත්, ලිපිද්‍රව්‍ය, සපත්තු, රසවත් ආහාරපාන රැගෙන ‘හිරු සෙනෙහසේ නත්තල’ දිඹුලාගල අධ්‍යාපන කලාපය කේන්ද්‍ර කරගනිමින් අද (25) පැවැත්වුණා.

ඉගෙනීමට ආශා කළත්, ආර්ථික දුෂ්කරතා හේතුවෙන් එම බලාපොරොත්තු ඉටුකරගැනීමට නොහැකිව සිටින අපේම දරුවන් වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ පූර්ණ ආශිර්වාදයෙන් සහ මග පෙන්වීම යටතේයි හිරු සෙනෙහසේ නත්තල මෙවර ක්‍රියාත්මක වුණේ.

ඒ යටතේ මෙවර පොලොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් පාසල් 05 ක දරු දැරියන් 650 කට ඔවුන්ගේ අධ්‍යාපනයට අත්‍යවශ්‍ය කරන භාණ්ඩ ත්‍යාග ලෙස ලබාදීම සිදුකෙරුණා.

රුපියල් ලක්ෂ 75 ක වටිනාකමකින් යුතු මෙම ත්‍යාගවලට අමතරව දිඹුලාගල අධ්‍යාපන කලාපයේ මලියදේව ප්‍රාථමික විද්‍යාලය, නිශ්ශංකමල්ලපුර විද්‍යාලය, මනම්පිටිය සිංහල මහා විද්‍යාලය, ගල්තලාව ප්‍රාථමික විද්‍යාලය සහ කුඩා වැව ප්‍රාථමික විද්‍යාලය යන පාසල් පහ සඳහා රුපියල් ලක්ෂය (01) බැගින් රුපියල් ලක්ෂ 05 ක් ලබාදුන්නා.

ඒ, හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ තීරණයකට අනුවයි.

එහිදී පාසල් උපකරණ පරිත්‍යාග ලෙස ලද දරු දැරියන් සිය සතුට වචනවලට පෙරලු අතර දරුදැරියන්ගේ දෙමාපියන් ද එහිදී හිරු මාධ්‍ය ජාලයට ස්තුතිය පළ කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *