හිඳගල විහාරයේ හිමිනමට වස පෙවූ පාපතරයා

හිඳගල විහාරයේ හිමිනමට වස පෙවූ පාපතරයා


හිඳගල විහාරයේ හිමිනමට වස පෙවූ පාපතරයා

(19.12.2022 – 13:52 +0530 – hirunews.lk/sinhala)

කිසියම් පුද්ගලයෙකු විසින් බලහත්කාරයෙන් වස පානය කරවීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වු භික්ෂූන් වහන්සේ නමක් ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඓතිහාසික හිඳගල රජමහා විහාරස්ථානයේ වැඩවාසය කළ 17 හැවිරිදි භික්ෂූන් වහන්සේ නමක් මෙම සිදුවීමට මුහුණ දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

ඓතිහාසික හිඳගල රජමහා විහාරස්ථානයේ වැඩවාසය කළ 17 හැවිරිදි වියේ පසුවූ භික්ෂුන් වහන්සේ නමක් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබුණේ ඊයේ (18) පෙරවරුවේදියි.

විහාර භූමියට පහළින් වූ ප්‍රදේශයේ කිසියම් පුද්ගලයෙකු රැඳි සිටින අයුරු දැක ඒ බව විහාරාධිකාරී හිමියන් වෙත දැන්වීමට 17 හැවිරිදි භික්ෂුන් වහන්සේ කටයුතු කර තිබුණා.

පසුව තරුණ හිමිනම සැකකාර පුද්ගලයා රැඳි සිටි ස්ථානය වෙත ගොස් තිබුණා.

වස පෙවීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටි හිමිනම ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිමිනම මේ වනවිට සාමාන්‍ය රෝගී වාට්ටුවක් වෙත යොමු කර ප්‍රතිකාර සිදු කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විමර්ශන සිදුකරනවා.

+


මසුන් ඇල්ලූ වරදට රතුගල ආදීවාසී නායකයා ඇතුළු 4 කට නඩු

(19.12.2022 – 08:02 +0530 – hirunews.lk/sinhala)

මසුන් ඇල්ලීමට සේනානායක සමූද්‍රයට ගිය රතුගල ආදිවාසී නායක ‘සුදා වන්නිල ඇත්තන්’ ඇතුළු සිව්දෙනෙකු (4) ගල්ඔය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.

රට තුළ පවතින ආර්ථික අර්බුදයේ බලපෑම මේ වන විට ආදිවාසී ජනතාවට ද බාධා මතු වී ඇති බවයි වාර්තාවන්නේ.

එම තත්වය හමුවේ ඔවුන් මසුන් ඇල්ලීම සඳහා සේනානායක සමුද්‍රයට ගොස් ඇති බව සඳහන්.

එහි දී වනජීවී නිලධාරීන්ගේ භාරයට ගත් රතුගල ආදිවාසී නායකයා ඇතුළු සිවු දෙනාට (4) එරෙහිව බිබිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමටයි පියවර ගෙන තිබෙනවා ෴


හංවැල්ලේ වෙඩි තැබීමකින් ආපණශාලා හිමිකරුවෙකු මරුට

(19.12.2022 – 07:57 +0530 – hirunews.lk/sinhala)

හංවැල්ල – ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි ආපණශාලා හිමිකරුවෙක්.

ඊයේ (18) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු (2) මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ආපණශාලා හිමිකරු පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගියා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, පලාගිය සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

එමෙන්ම කළුතර බස් නැවතුම්පල අසළ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට 36 හැවිරිදි දොඩන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (18) පස්වරුවේ සිදු වූ මෙම පහරදීමෙන් අවුරුදු 30 ක් වයසැති කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගියා.

පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතු වී තිබෙනවා.

මේ අතර කොහුවල ප්‍රදේශයේ අවන්හලක් අසළදී තියුණු ආයුධයකින් පහරදී එහි හිමිකරුට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර කෙරුණා.

ඒ නුගේගොඩ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

= පහත විඩියෝව සංවේදී පුද්ගලයින් නරඹන්න එපා ! =

++++++++++

හංවැල්ලේ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි යතුරුපැදිය සොයා ගැනේ

(20.12.2022 – 08:23 +0530 – hirunews.lk/sinhala)

හංවැල්ල ප්‍රදේශයේ ආපනශාලා හිමිකරුවෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් පැමිණි යතුරුපැදිය පොලීසිය සොයාගෙන තිබෙනවා.

හංවැල්ල – පහත්ගම ප්‍රදේශයේ අතුරුමාර්ගයක මෙම යතුරුපැදිය දමා ගොස් තිබිය දීයි මෙලෙස සොයාගෙන ඇත්තේ.

එහි චැසි අංක සහ එන්ජින් අංක ද මකා දමා ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මේ අතර ඝාතනයට ලක්වූ පුද්ගලයා ‘හංවැල්ල පොලිස් ස්ථානයේ සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයෙකු’ ද වනවා ෴

++++++++++

හංවැල්ලේ ආපන ශාලා හිමිකරු ඝාතනය ඩුබායි කොන්ත්‍රාත්තුවක් – වෙඩික්කරු පැමිණි යතුරු පැදිය මඟ දමා ගිහින්

(20.12.2022 – dinamina.lk)

හංවැල්ලේ හරස් පාර ප්‍රදේශයේ ආපන ශාලාවකට පෙරේදා (18) රාත්‍රී කාලයේ කඩාවැදී එහි හිමිකරුට වෙඩි පිට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඩුබායි සිටින පාතාල කල්ලියක ප්‍රබලයකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව බව මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මොහොමඩ් ෆාර්ෂාන් (46) නමැති තිදරු පියෙක් වන ව්‍යාපාරිකයා සිය ආපන ශාලාව වසා අයකැමි කවුන්ටරයේ සිට දෛනික ගනු-දෙනු මුදල් පරීක්ෂා කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

හංවැල්ල හරස් පාරේ පිහිටි මෙම ආපන ශාලාව ඉදිරිපිට පෙරේදා රාත්‍රී 10:00 ට පමණ යතුරුපැදියක් නතර කර ඇති බවත් එහි දෙදෙනෙකු (2) සිට ඇති බවත් පොලිසිය කියයි. ආපන ශාලා සේවකයන් එම අවස්ථාවේදී රැඳී සිට ඇත්තේ ආපණශාලාව ඉදිරිපිටය. යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයන් යතුරුපැදියේම රැඳී සිටිමින් දුම්වැටි 04 ක් එම ආපනශාලා සේවකයාගෙන් ඉල්ලා ඇත. ආපනශාලා සේවකයා අඩවල්කර තිබුණු දොරෙන් රිංගා ව්‍යාපාරිකයාගෙන් දුම්වැටි 04 ක් රැගෙන ඔවුන් දෙදෙනා වෙත ගොස් දුම්වැටි දීමට පෙර මුදල් ඉල්ලා ඇති බව පොලිසිය කියයි. එහිදී ඔවුන් මුදල් නැතැයි පැවසීම හේතුවෙන් සේවකයා එම දුම්වැටි 04 රැගෙන නැවත ආපන ශාලාව තුළට ගොස් ව්‍යාපාරිකයා අතට එම දුම්වැටි 04 දෙන අවස්ථාවේදී යතුරුපැදියේ පිටුපස අසුන්ගෙන සිටි පුද්ගලයා එකවරම ආපන ශාලාවට කඩාවැදී අයකැමි කවුන්ටරයේ රැඳී සිටි ව්‍යාපාරිකයා දෙසට වෙඩි හතරක් (4) තබා ඇති බව පොලිසිය කියයි.

මෙම සිදුවීම ආපණ ශාලාවේ ඇති ආරක්ෂක කැමරාවේ පැහැදිලිවම සටහන්ව තිබී ඇත. හෙල්මටයක් සහ මුව ආවරණයක් පැලඳ සිටීම හේතුවෙන් වෙඩික්කරු පැහැදිලිවම හඳුනා ගැනීමට නොහැකි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

පපු ප්‍රදේශයට වෙඩි වැදුණු ආපන ශාලා හිමිකරු වෙළෙඳසල් සේවකයන් විසින් පාදුක්ක රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඔහු මිය ගොසිනි.

වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ හංවැල්ලේ පාතාල බලය ඇල්ලීමට උත්සාහයක් දරමින් සිටින ඩුබායි හි රැඳී සිටින ‘චමියා’ සහ ‘ලලිත්’ නමැති පාතාල අපරාධකරුවන් දෙදෙනාගේ (2) ගෝලයන් විසින් බවට මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විශේෂ පොලිස් කණ්ඩායමකට තොරතුරු ලැබී ඇත. හංවැල්ලේ වෙළෙඳ ව්‍යාපාරික ආයතනවලින් කප්පම් ගැනීමට පාතාල අපරාධකරුවන්ට දැන් ඉඩක් නොමැති බැවින් සහ එම පාතාලයේ ප්‍රබලයන් දෙදෙනාගේ (2) ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු (2) මෙම ව්‍යාපාරිකයා විසින් පොලිසියට අල්ලා දීම මෙම වෙඩි තැබීමට මුල්වී ඇති බවට විමර්ශන කණ්ඩායම් වෙත තොරතුරු ලැබී තිබේ.

මෙම ව්‍යාපාරිකයාගේ නිවස මාස එකහමාරකට (1½) පමණ පෙර සොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවත් නිවසට ඇතුළුවී සිටි සොරුන් දෙදෙනකුව (2) මෙම ව්‍යාපාරිකයා ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් පහරදී අල්ලාගෙන ඇති බව කියයි. පොලිසියට මේ ගැන දැනුම් දී ඔවුන්ව රැගෙන යාමට එම නිවසට පොලිසිය එන විට එම සොරුන් දෙදෙනා (2) පලා ගොස් සිට ඇති බවත් පසුව විමර්ශන පවත්වා අත්අඩංගුවට ගත් එම සොරුන් දෙදෙනා (2) සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේ බවත් පොලිසිය කියයි.

එම සිදුවීමෙන් පසු ඩුබායිහි රැඳී සිටින පාතාලයේ ප්‍රබලයන් දෙදෙනාගේ (2) බලය ගිලිහීයාම නිසාත් ව්‍යාපාරිකයන්ගෙන් ඔවුන්ට කප්පම් නොලැබීම නිසාත් මෙම ඝාතනය ඔවුන් විසින් සැලසුම් සහගතව කර ඇති බවට තොරතුරු ලැබෙමින් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ව්‍යාපාරිකයාට වෙඩි තැබීමෙන් පසු “බලපන් වෙලා තියෙන දේ” යැයි කියා යම් පුද්ගලයෙක් විසින් ඝාතනය වූ ව්‍යාපාරිකයාගේ සහෝදරයාට දුරකතන ඇමතුමක් දී පවසා ඇති බවත් එම ඇමතුම ඔස්සේ ද විමර්ශන ක්‍රියාත්මක බවත් එම නිලධාරියා කීය.

ව්‍යාරිකයාට වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරු රැගත් යතුරු පැදිය හයිලෙවල් මාර්ගයට පිවිස අවිස්සාවේල්ල දෙසට පළාගොස් ඇති බව පොලිසිය කියයි.

ආරක්ෂක කැමරා දත්ත පරීක්ෂාකරමින් යතුරු පැදිය පලාගිය මඟ පරීක්ෂා කිරීමේදී එම යතුරුපැදිය හංවැල්ලේ දසවේල්ල ප්‍රදේශයේ අතහැර ගොස් තිබියදී සොයාගෙන තිබේ. එහි අංක තහඩුව පැහැදිලි නැති බවත් එන්ජින් අංකය සූරා තිබෙන බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.

ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු ඔහුගේ සහෝදරයකුට ලැබුණු ඇමතුම ඩුබායි සිට ලැබී ඇති බවද අනාවරණය වී තිබේ.

(ගයාන් කුමාර වීරසිංහ, මීගොඩ බී. කේ. කත්‍රිආරච්චි සහ අවිස්සාවෙල්ල විශේෂ)


අපරාධ කල්ලි සාමාජිකයින් 09 ක් ඉන්දියාවේ දී අත්අඩංගුවට

(20.12.2022 – 08:10 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 09 දෙනෙකු ඉන්දියාවේ තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස අතර සී. ගුණසේකරන් හෙවත් ගුණා, පුෂ්පරාජා හෙවත් පූකුඩුකන්නා, මොහොමඩ් අස්මින්, අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා, ස්ටැන්ලි කෙනඩ් ප්‍රනාන්දු, ලඩියා, ධනුක රොෂාන්, වැල්ලේ සුරංග හෙවත් ගමගේ සුරංග ප්‍රදීප්, තිලීපන් යන අය සිටින බවයි අයි.ඒ.එන්.එස්. ඉන්දීය පුවත් සේවය සඳහන් කළේ ෴

+++++++++

+


දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයට ඔහුගේ බිරිඳගෙනුත් ප්‍රකාශ ගනියි

(20.12.2022 – 07:59 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඊයේ (19) පස්වරුවේ පැය 4 කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් දැනට 15 දෙනෙකු පිළිබඳව සැක මතු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම මේ වන විට පුද්ගලයන් 30 කට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති අතර ඝාතනය සම්බන්ධ විමර්ශනයේ දී ෂාෆ්ටර්ගේ සමීපතමයින් කිහිපදෙනෙකු ද පිළිබඳ දැඩි අවධානයක් යොමුව ඇති බවයි වාර්තා වන්නේ ෴

++++++++++

දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සමීපතමයෙකුගේ වැඩක් – තමන්ගේ ගෙල සිර කළ තැනට දිනේෂ් කිහිප වතාවක්ම ගිහින්! – බිරියගෙනුත් පැය දෙකහමාරක (2½) ප්‍රකාශයක් ගනී

(20.12.2022 – dinamina.lk)

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාව බොරැල්ල සුසාන භූමියට ගෙන්වා ඝාතනය කර ඇත්තේ ඔහු ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ සමීපතමයකුගේ සැලසුමකට අනුව බවට බලවත් සැකයක් මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයන්ට මතුවී තිබේ. බොරැල්ලට යනවා යැයි කියා දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ 07, මල් පාරේ නිවසින් හදිසියේම පිටත්වයාම සහ ඔහුගේ මෝටර් රථය කෙළින්ම බොරැල්ල කනත්තට පැමිණීම කෙරෙහි මෙන්ම දුරකතන විශ්ලේෂණවලින් මතුවී ඇති කරුණු මෙම සැකයට මුල්වී ඇත.

පුද්ගලයන් කිහිපදෙනකු සම්බන්ධයෙන් මෙහිදී විමර්ශකයන්ගේ සැකයට භාජනය වී ඇති අතර, ඔවුන්ගේ පෙර සහ පසු හැසිරීම් දැඩි නිරීක්ෂණයට ලක් කරමින් ඒ අයගේ ද ජංගම දුරකතන ජාල පරීක්ෂාවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට යොමුකර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

බොරැල්ල පොදු සුසාන භූමියට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෝටර් රථය ඇතුළු කර එම මෝටර් රථය නතර කර තිබුණු ස්ථානය ගැන විමසිලිමත්වීමේදී මෝටර් රථය පදවාගෙන පැමිණි අය බොරැල්ල පොදු සුසාන භූමියේ ඇතුළත ඇති මාර්ග ගැන හොඳ අවබෝධයකින් සිටින අයෙක් බව ද එම නිලධාරියා කීය. එවන් අවබෝධයක් ලැබීමට නම් සුසාන භූමියට අවස්ථා කිහිපයක පැමිණ තිබිය යුතු බවත් දිනේෂ් ෂාෆ්ටර් මහතා විසින් සිය මෝටර් රථය නිවසේ සිට දිගටම සුසාන භූමිය වෙත පදවාගෙන පැමිණ තිබේ නම් ඔහු බොරැල්ල සුසාන භූමියට පැමිණි පළමු අවස්ථාව වන්නේ මෙය නොවන බව ද එම නිලධාරියා කීය.

“දිනේෂ් ෂාෆ්ටර් වැනි සමාජයේ ඉහළ ව්‍යාපාරිකයකු යම් පුද්ගලයකු මුණගැසීමට සුසාන භූමියකට පැමිණෙනවා යැයි කියන්නේ අසාමාන්‍ය සිදුවීමක්. අනික ඔහු නිවසින් එන්නේ තනියම. රියැදුරෙක් එක්ක ඔහුට එන්න තිබුණා. එහෙම ආවේ නැහැ. ඒ නිසා පෙනී යනවා ඔහු මේ ගමන ඇවිත් තියෙන්නේ අතිශය පුද්ගලික කරුණක් වෙනුවෙන් බව. මෙවැනි ගමනක් පවා ඇවිත් ඇත්තේ ඉතාමත් විශ්වාසවන්තයෙක් මුණ ගැසෙන්න වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි රැවටීමකට ලක් කරල ගෙන්වා ගන්නත් පුළුවන්කමක් තියෙනවා. අතර මඟදී ඔහුගේ වාහනයට යම් පුද්ගලයෙක් ගොඩවී ඔහු විසින් සුසාන භූමියට දිනේෂ් ෂාෆ්ටර් මහතාව රැගෙන එන්නටත් පුළුවන්කමත් තියෙනවා. මෙතෙක් කර ඇති විමර්ශනවලින් එවැනි දෙයක් තවමත් අනාවරණය වෙලා නැහැ. තවදුරටත් විමර්ශකයන් ඒ ගැන සොයා බලනවා. මෝටර් රථයට අතර මඟින් අයෙක් ගොඩවුණේ නැති නම් සුසාන භූමිය තුළ ඔහු මුණ ගැහෙන්න සූදානමින් යම් අයෙක් රැඳී ඉඳල තියෙනවා. ඔහු තමයි දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතකයා” යැයි ද එම නිලධාරියා කීය.

සුසාන භූමියට දිනේෂ් ෂාෆ්ටර් මහතාව ගෙන්වාගත් පුද්ගලයා ඔහුව එහි ගෙන්වාගෙන ඇත්තේම ඔහුව මරා දැමීමේ සැලසුම ඇතිව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට පෙනී ගොස් ඇත. මෙම ඝාතනය ක්ෂණික කෝපය හෝ ක්ෂණිකව ඇති වූ යම් සිදුවීමක් මත වූවක් නොවන බව ද විමර්ශකයන්ට පෙනී ගොස් තිබේ.

“දිනේෂ් ෂාෆ්ටර් මහතාට මෙම අපරාධය සිදු වෙලා තියෙන්නේ රියැදුරු අසුනේ සිටියදීයි. ඔහුව හමුවන විට සිට ඇත්තේ රියැදුරු අසුනේ. ඒ බව ඔහුගේ ව්‍යාපාරික සගයා මෙන්ම සුසාන භූමියේ සේවකයෙකු ලබාදීල තියෙන ප්‍රකාශවලින් ද පෙනී යනවා. ඒ අනුව තවදුරටත් පැහැදිලියි දිනේෂ් ෂාෆ්ටර් මහතා තමයි මෝටර් රථය පදවා තිබෙන්නේ කියල. දිනේෂ් ෂාෆ්ටර් මහතාව සුසාන භූමියේ මෝටර් රථය තුළදී අපරාධයට ලක්ව සිටියදී සොයා ගන්නා විට ඔහුගේ දෑත් තිබිල තියෙන්නේ ගැටගහලයි. ඒ සුසාන භූමියේ අවටින් සොයා ගැනීමට හැකි ලණු පොටවල් වැනි දේකින් නෙමෙයි. ප්ලාස්ටික් ‘කේබල් ටයි’වලින්. ලණු පොටවල්වලින් ගැට ගසනවාට වඩා වේගවත් මෙන්ම පහසුවෙන් ‘කේබල් ටයි’වලින් ගැට ගැසීම් කරන්න පුළුවන්. අනික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ගෙල සිර කරල තිබුණේ වයරයකින්. බැලූ බැල්මට එම වයරය බිම තිබිල අහුල ගත්තු එකක් හැටියට පේන්නේ නැහැ. ඒක අලුත් එකක්. වයරයෙන් බෙල්ල සිර කරල රියැදුරු අසුනට හිර කරල ගැට ගහලයි තිබිල තියෙන්නේ. ‘කේබල් ටයි’ සහ වයර් සුසාන භූමියේ තිබෙන දේවල් නෙමෙයි. මේවා අරගෙනම ඇවිල්ල තියෙනවා කියන්නේ සැලසුම් සහගතවම දිනේෂ් ෂාෆ්ටර් මහතාව මරා දැමීමටමයි. ඒ අනුව පෙනී යනවා සුසාන භූමියට දිනේෂ් ෂාෆ්ටර් මහතාව ගෙන්වාගෙන තියෙන්නෙම ඝාතනය කිරීම සඳහාම බව” යැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරු ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන පවත්වන අතර, වැඩි කල් නොගොස් මෙම ඝාතන අබිරහස විසඳාලමින් ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

දිනේෂ් ෂාෆ්ටර් නිවෙසේ සිට ගමන් ගත් මාර්ගය ආරක්ෂක කැමරා මඟින් නිරීක්ෂණය කරන විට ඔහුගේ වාහනය සමඟම පිටුපසින් ගමන් ගත් වාහන කිහිපයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරීන්ගේ අවධානයට ලක්ව තිබේ.

එම වාහනවල අංක ඔස්සේ එහි හිමිකරුවන් සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

ෂාෆ්ටර් මහතා ගමන් කළ මෝටර් රථයේ තිබූ සොයා ගත් ඇඟිලි සලකුණු වාර්තාව අද (20) ලැබීමට නියමිත බැවින් එම ඇඟිලි සලකුණු අපරාධකරුවන් හා සසැඳෙන්නේ දැයි සොයා බලන බවද එම නිලධාරියා කීවේය. මේ අතර දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනයට අදාළව ඔහුගේ බිරිඳ ටානි ෂාෆ්ටර් මහත්මියගෙන් පළමු වරට ඊයේ (19) පැය දෙකහමාරකට (2½) ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු පැවසීය.

(ගයාන් කුමාර වීරසිංහ සහ බණ්ඩාරගම බිමල් ජයසිංහ)


වාද්දුව කර්මාන්ත ශාලා ප්‍රදර්ශනාගාරයක ගින්නක්

(20.12.2022 – 13:46 +0530 – dinamina.lk)

වාද්දුව ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක ප්‍රදර්ශනාගාරයක අද (20) ගින්නක් හටගෙන ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.

ගින්නෙන් රුපියල් කෝටියකට අධික දේපල හානියක් සිදුව ඇතැයි සදහන් වේ.

මහල් තුනකින් (3) යුත් එහි දෙවන (2) මහලේ ගින්න හටගෙන තුන්වන (3) මහලට සහ පළමු (1) මහළට ගින්න පැතිරී එහි විදුලි උපකරණ සහ රෙදිපිළි මුළුමනින්ම විනාශ වී තිබුණි.

කළුතර නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් (2) යොදා ගින්න පාලනය කිරීමට මේ වන විට කටයුතු යොදා තිබේ.

ගින්න ඇතිවිමත් සමගින් එහි තිබූ රෙදිපිලි විශාල ප්‍රමාණයක් එහි සේවකයින් පිටතට රැගෙන ගොස් තිබුණි.

විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි සැකකරන අතර වාද්දුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි ෴

+++++++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *