පාසල් ළමයින් අතර මත්ද්‍රව්‍ය පාලනයට පොලිසියෙත් සහාය

පාසල් ළමයින් අතර මත්ද්‍රව්‍ය පාලනයට පොලිසියෙත් සහාය


පාසල් ළමයින් අතර මත්ද්‍රව්‍ය පාලනයට පොලිසියෙත් සහාය

(16.12.2022 – 12:39 +0530 – hirunews.lk/sinhala)

පාසල් ළමයින් අතර මත්කුඩු සහ මත්ද්‍රව්‍ය භාවිතය නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ගන්නා ඕනෑම වැඩපිළිවෙලකට පොලිසියේ උපරිම සහයෝගය ලබාදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා.

මේ අතර මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය මැඩලීමේ අරමුණින් කළුතර – උතුර පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ප්‍රදේශයේ පාසල් සහ ඒ අවට වෙළඳසැල් ඊයේ (15) පරීක්ෂා කරනු ලැබුවා.

ඒ නිල පොලිස් සුනඛයෙක්ද යොදාගනිමින්.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ඊයේ පැවති මාධ්‍ය හමුවක දී අනාවරණය කළේ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් 81 දෙනෙකු පමණ මේ වන විට පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති බවයි.

+


කිලෝ ග්‍රෑම් 200 කට අධික නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ධීවර යාත්‍රා 2ක් නාවික හමුදා භාරයට

(16.12.2022 – 12:33 +0530 – hirunews.lk/sinhala)

කිලෝ ග්‍රෑම් 200 කට අධික ‘අයිස්’ මත්ද්‍රව්‍ය සහ ‘හෙරොයින්’ තොගයක් සමග ධීවර යාත්‍රා 2 ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව පවසන්නේ දකුණු මුහුදු තීරයේ දී මෙම යාත්‍රා 2 සිය භාරයට ගත් බවයි.

එහිදී අදාළ යාත්‍රා දෙකෙහි (2) සිටි සැකකරුවන් පිරිසක් ද නාවික හමුදාව සිය භාරගෙන තිබුණා.

නාවික හමුදාව, බුද්ධි අංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය එක්වයි මෙම මෙහෙයුම සිදුකර තිබුණේ ෴

+++++++++++

අයිස් සහ හෙරොයින් පිරවූ ධීවර යාත්‍රාව ගැන තවත් තොරතුරු

(16.12.2022 – 15:32 +0530 – sinhala.adaderana.lk)

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් දකුණු මුහුදේදී ඊයේ (14) නාවික හමුදා භාරයට ගැනුණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව එම වැටලීම සිදුකර තිබුණි.

ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹුරු මුහුදේ සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සහ අයිස් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රා දෙකක් (2) සමග ශ්‍රී ලාංකික සැකකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට පත්විය.

ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදේ දින ගණනාවක් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී මේ පිළිබඳව තොරතුරු ලැබී තිබුණි.

ඒ අනුව, දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර තිබේ.

පසුව එම යාත්‍රාව පරීක්‍ෂාවට ලක් කිරීමෙන් අනතුරුව එම බහුදින ධීවර යාත්‍රාවේ සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200 කට අධික තොගයක් සමග සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
 
තවද, සමුදුර නෞකාව මගින් අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවට ඉන්ධන ලබාදීමට පැමිණි තවත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමග සැකකරුවන් 06 ක් ද නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.


කුඩා දියණිය ට මරු කැඳවූ ගින්න

(17.12.2022 – 09:11 +0530 – sinhala.adaderana.lk)

අංගොඩ, අඹතලේ නිවසක ඇතිවූ ගින්නකින් මාස තුන හමාරක (3) දරුවෙක් පිළිස්සී මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

හීටරයක් පුපුරා යෑමෙන් මෙම නිවස තුළ ගිනි ගැනීමක් ඇති වී තිබුණි.

නිවසේ සිටි වෙනත් දරුවෙකු විසින් හීටරය භාවිත කර ඇති අතර හීටරය පුපුරා යන විට මව නිවසේ සිට නොමැති බව සඳහන් වෙයි.

බිළිඳිය සිටි ඇඳට ගිනි ඇවිලී කාමරය තුළ ගින්න පැතිර ගොස් තිබේ.

මුල්ලේරියාව පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කරයි ෴


රටම සලිත කළ ෂාෆ්ටර් ඝාතනය – CCTV වීඩියෝවකුත් එළියට

(16.12.2022 – 19:20 +0530 – sinhala.adaderana.lk)

මෝටර් රථයක් තුළ දෑත් සහ ගෙල සිරකර සිටියදි සොයාගත්, ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්විය.

බොරැල්ල සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ සිහිසුන්ව සිටියදි ඔහුව සොයාගත්තේ ඊයේ (15) පස්වරුවේදිය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර දි ඇති අතර මේවන විට බොරැල්ල සුසාන භූමියේ සේවකයින් ඇතුළු පුද්ගලයන් 15 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා විය.

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වන 51 හැවිරිදි දිනේෂ් ෂාෆ්ටර් මහතා ඊයේ (15) දහවල් 02:05 ට පමණ සිය කොළඹ 07 මල් පාරේ නිවසින් පිටත්ව ගොස් තිබුණි.

එලෙස පිටත්ව යාමට පෙර ෂාෆ්ටර් මහතා ඔහු කළමනාකාරීත්වය දරන සමාගමක විධායක නිලධාරියෙකුට දන්වා ඇත්තේ තමාට ‘BT’ සමග සාකච්ඡාවක් සඳහා පිටත්ව යා යුතු බවය.

එලෙස BT ලෙස හඳුන්වා ඇත්තේ ඔහු සමග ගනුදෙනු කළ ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු ෂාෆ්ටර් මහතාට රුපියල් කෝටි 160 ක පමණ ණය මුදලක් පියවීමට ඇති බවද පොලිසිය සඳහන් කළේය.

ඒ අනුව විධායක නිලධාරියා ෂාෆ්ටර් මහතාට පවසා ඇත්තේ “සර් මට සර්ගේ LIVE LOCATION එවන්න” යනුවෙනි.

කෙසේ වෙතත් BT නමින් හඳුන්වන ව්‍යාපාරිකයා හමුවීමට යායුතු බවට එදින පෙරවරුවේ ෂාෆ්ටර් මහතා පෙරවරුවේදි පවසා තිබුණ ද පස්වරුවේදි නිවසින් පිටව ගියේ BT නමැති ව්‍යාපාරිකයා හමුවීමටම ද යන්න පිළිබඳ නිෂ්චිත තොරතුරක් අනාවරණ වි නැහැ.

අනතුරුව ශාෆ්ටර් මහතා දහවල් 02:05 ට පමණ නිවසින් පිටත්ව ගිය බව ඒ මහතාගේ බිරිඳ අදාළ විධායක නිලධාරියාට දැනුම් දි තිබුණි.

දහවල් 02:48 ට පමණ ෂාෆ්ටර් මහතා විසින් බිරිඳට හා විධායක නිලධාරියාට ඔහු සිටින ස්ථානය සඳහන් වන LIVE LOCATION හුවමාරු කර තිබුණි.

අදාළ LIVE LOCATION හි සඳහන්ව ඇත්තේ ෂාෆ්ටර් මහතා බොරැල්ල සුසාන භූමියේ රැඳී සිටින බවය.

කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ, ඊට විනාඩි දෙක තුනකට (2-3) පසු අදාළ සංඥා බිඳ වැටි ඇති බවය.

ඒ අනුව ක්‍රියාත්මක වු විධායක නිලධාරියා බොරැල්ල සුසාන භූමිය අසලින් ඇති කිතුල්වත්ත පාර ඔස්සේ රාජගිරිය දෙසට පයින් ගමන් කරමින් සිදුකළ සෝදිසියේදි ෂාෆ්ටර් මහතාගේ රථය බොරැල්ල සුසාන භූමිය තුළ නවතා ඇති ආකාරය දැක තිබේ.

ඔහු රථය අසලට ගමන් කිරිමේදි ෂාෆ්ටර් මහතා වාහනයේ රියදුරු අසුනේ සිටින අයුරු දැක එහි දොර විවෘත කර තිබුණි.

එහිදී ඔහු දැක ඇත්තේ, ෂාෆ්ටර් මහතාගේ දෙඅත් ප්ලාස්ටික් වයරයකින් බැඳ ඇති අයුරුය.

එමෙන්ම ෂාෆ්ටර් මහතාගේ ගෙල වයරයකින් සිරකර ගැටගසා පපු ප්‍රදේශයද සිරවන ආකාරයෙන් ගැට ගසා ඇති අයුරු ද නිරීක්ෂණව වි තිබුණි.

වහාම ක්‍රියාත්මක වු විධායක නිලධාරියා ෂාෆ්ටර් මහතාගේ දෙඅත් හා ගෙල සිරකර තිබු වයර් ගලවා ඔහුගේ මුහුණට මෝටර් රථයේ තිබූ වතුර බෝතලයකින් වතුර ඉස තිබුණි.

එහිදි සිහිසුන්ව සිටි ෂාෆ්ටර් මහතාට කැස්සක් ඇති වි තිබේ.

එහිදී අදාළ නිලධාරියා කෑගසා සහාය ඉල්ලා ඇති අතර එම අවස්ථාවේදී සුසාන භූමියේ වළවල් කපමින් සිටි පුද්ගලයින් දෙදෙනකුගේ (2) සහාය ඇතිව ෂාෆ්ටර් මහතාව ඉදිරිපෙළ අනෙක් පස මගී අසුනේ හිඳුවා ඇති බව සඳහන් ය.

ඒ වනවිට වේලාව පස්වරු 03:08 ට පමණ වී ඇති අතර සුසාන භූමියේ වළවල් හාරමින් සිට සහායට පැමිණි පුද්ගලයෙකු සමග එම රථයෙන්ම විධායක නිලධාරියා සහ ෂාෆ්ටර් මහතාව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත රැගෙනවිත් තිබුණි.

“මම ඔතන ඉඳලා ආවා. එද්දි වාහනයක් නවත්තලා තිබුණා. එයාගේ යාළුවෙක් ද කොහෙද. එක්කෙනෙක් කෑ ගහද්දි මම ගිහින් දොර ඇරියා. බලද්දි එයාගේ ඇඟේ වයර් එකක් දාලා තිබ්බේ. දකින කොට සිහිය නෑ. ඔළුව පහත් කරගෙන හිටියේ. අත්දෙක ටේප් එකක් දාලා තිබුණා. එහා පැත්තේ සීට් එකට දාලා එයාව එක්කන් ගියා. කතා කළේ නෑ. වතුරත් දුන්නා අපි.. පොඩ්ඩක් ළා හුස්ම තිබුණා වගේ. යද්දි ඔළුව පහත් කරගෙන හිටියේ” යනුවෙන් එම සේවකයෙක් පැවසීය.

පස්වරු 03:15 ට පමණ ජාතික රෝහල වෙත රැනෙවිත් ඇති ෂාෆ්ටර් මහතා අනතුරුව හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා ඇතුළත් කර ප්‍රතිකාර ආරම්භ කළේය.

ඊයේ (15) රාත්‍රියේ ෂාෆ්ටර් මහතාගේ ඥාතීන් ජාතික රෝහල වෙත පැමිණි අතර ඔවුන්ගේ පවුලේ හිතවෙතු බව කියන ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ද එහි පැමිණ සිටිනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත් දිනේෂ් ෂාෆ්ටර් මහතා ඊයේ (15) රාත්‍රී 10:30 ට පමණ ප්‍රතිකාර ලබමින් සිටියිදි මියගියේය.

පොලිසිය සඳහන් කළේ දිනේෂ් ෂාෆ්ටර් මහතා සිය මෝටර් රථය තුළදී යම් ශාරීරික හිරිහැරවලට ලක්ව ඇති බවට බොරැල්ල පොලිසිය සිදුකළ මූලික විමර්ශනයේදි අනාවරණ වු බවය.

අද (16) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් බොරැල්ල සුසාන භූමිය වෙත පැමිණ එහි සේවකයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය.

එමෙන්ම ‘සොකෝ’ නිලධාරීන් ද පැමිණ බොරැල්ල සුසාන භූමියේ පරීක්ෂණ සිදු කළේය.

මේ අතර ෂාෆ්ටර් මහතාව සිරකර තිබු ඔහුගේ මෝටර් රථය නවතා තිබු ස්ථානය අසලම ඊයේ (15) දිනයේදි මෘත දේහයක අවසන් කටයුතු සිදු කර තිබුණි.

ඒ අනුව අදාළ අවමංගල්‍ය උත්සවයට සහභාගි වන මුවාවෙන් එම මහතාගේ රථය සුසාන භූමිය තුළට පැමිණෙන්නට ඇතැයි සැක කෙරේ.

මේ අතර අද (16) දහවල් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කළේය.

එහිදී පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ ගෙල සිරවීමකින් මරණය සිදුව ඇති බවය.

එමෙන්ම අද (16) පස්වරුවේදි අලුත්කඩේ වැඩබලන මහේස්ත්‍රාත් සම්පත් ජයවර්ධන මහතා බොරැල්ල සුසාන භූමිය වෙත පැමිණ ස්ථානීය පරික්ෂාව සිදුකළේය.

මේ අතර ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෝටර් රථය බොරැල්ල කනත්ත ඉදිරියෙන් ගමන් කරන අවස්ථාව දැක්වෙන CCTV දර්ශන ‘අද දෙරණ’ ට ලැබුණි.

++++++++++++

මියගිය දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකථනය සී.අයි.ඩී. භාරයට

(17.12.2022 – 13:10 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල පොදු සුසාන භූමියේ දී අත් පා ගැට ගසා බරපතල තුවාල සහිතව මෝටර් රථයක් තුළ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකථනය විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

බොරැල්ල පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ පොලිස් භාරයට ගත් මෙම ජංගම දුරකථනය ඊයේ (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 23 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. විමර්ශන සිදු කරන උසස් නිලධාරියෙකු සඳහන් කළේ, බොරැල්ල පොදු සුසාන භූමියේ සේවකයින් කිහිපදෙනෙකුද ඒ අතර සිටින බවයි.

මේ අතර දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථයේ ඇති සාක්ෂි සහ අදාළ ස්ථානීය පරීක්ෂණ අනුව සැකකරුවන් හදුනා ගැනීමේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

මේ අතර මියගිය දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය අද උදෑසන කොළඹ හත – මල් පාරේ පිහිටි නිවස ඔහුගේ නිවස වෙත රැගෙන විත් තිබෙනවා.

+++++++++

ෂාෆ්ටර්ගේ වාහනය කනත්තට ඇතුළු කරන්න දුන්නාට ‘රක්නාලංකා’ට නිදහසට කරුණු කියන්න වෙයි

(17.12.2022 – 20:06 +0530 – hirunews.lk/sinhala)

ඝාතනය කෙරුණු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථය බොරැල්ල පොදු සුසාන භූමියේ අභ්‍යන්තරයට ඇතුළු කිරීමට ඉඩ ලබා දුන්නේ කෙසේ ද යන්න පිළිබදව කොළඹ මහනගර සභාව ‘රක්නාලංකා ආරක්ෂක සමාගමෙන්’ නිදහසට කරුණු විමසීමට කටයුතු කර ඇති බව එහි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි රුවන් විජේමුනි පවසනවා.

ඔහු කියා සිටියේ සුසාන භූමිය අභ්‍යන්තරයට අවමංගල්‍ය රථය පමණක් ඇතුළු කරන ලෙසට කොළඹ මහනගර සභාව විසින් ලබාදී ඇති උපදෙස්වලට පටහැනිව රක්නාලංකා සමාගම අදාළ සිද්ධියේදී කටයුතු කර ඇති බවයි.

බොරැල්ල පොදු සුසාන භූමියට ඇතුළු වීම සඳහා පිවිසුම් 5 ක් පැවතියත්, එහි ආරක්ෂක කටයුතු භාරව සිටි රක්නාලංකා සමාගම ආරක්ෂාව සඳහා මුරකරුවන් 4 දෙනෙකු පමණක් පිවිසුම් 4 කට යොදවා තිබූ බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව, මුරකරුවෙකු යොදවා නොමැති පිවිසුම ඔවුන් වසා දැමීමටයි කටයුතු කර තිබුණේ.

බොරැල්ල පොදු සුසාන භූමියේ අවමංගල්‍ය උත්සව සඳහා පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා නැවතුම්පොලවල් දෙකක් (2) පවතින අතර, එවන් පසුබිමක ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ මෝටර් රථය සුසාන භූමියේ අභ්‍යන්තරය තුලට ඇතුළු කිරීමට ඉඩ ලබාදුන්නේ කෙසේ ද යන්න පිළිබඳවයි මෙලෙස කරුණු විමසා ඇත්තේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සිදුකර ඇති මූලික විමර්ශන අනුව හෙළිවී ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර්ගේ රථය බොරැල්ල සුසාන භූමිය වෙත ඇතුල්වී ඇත්තේ කාසල් වීථිය ආසන්නයේ ෆාම් පාර පෙදෙසේ ඇති ගේට්ටුවෙන් බවයි.

එසේ ඇතුලු වූ රථය ආදාහානාගාර දෙක (2) සහ තුන (3) යන ස්ථාන අතර, ඇති පාලු ප්‍රදේශයක් වන ගුවන් හමුදා ස්මාරකයක් අසළ නවතා ඇති බවයි වාර්තා වන්නේ.

එසේම, පෙරේදා බොරැල්ල පොදු සුසාන භූමියේදී මරණ 6 ක අවමංගල්‍ය කටයුතු සිදු කර ඇති අතර ඒ හේතුවෙන් වාහන විශාල සංඛ්‍යාවක් සහ වැඩි පිරිසක් සුසාන භූමියට ප්‍රවේශ වී ඇති බව හිරු ප්‍රවෘත්ති අංශය සිදු කළ සොයා බැලීමේ දී අනාවරණ වුණා ෴

+++++++++++

+++++++++++

17.12.2022

+


මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලින් 90,000 ක් අත්අඩංගුවට

(17.12.2022 – 16:39 +0530 – sinhala.adaderana.lk)

මෙම වසර මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලදී පුද්ගලයින් අනූදහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 1,441 ක් සහ ඊට අදාළ සැකකරුවන් 45,801 ක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

මෙම වසර තුළදී ගංජා කිලෝග්‍රෑම් 11,881 ක් සහ ඊට අදාළ සැකකරුවන් 34,062 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 109 ක් සහ ඊට අදාළ සැකකරුවන් 10,532 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ ෴


ව්‍යාජ අංක තහඩු සැකසූ ස්ථානයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

(17.12.2022 – 17:12 +0530 – hirunews.lk/sinhala)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලියාපදිංචි අංක තහඩුවට සමාන ව්‍යාජ වාහන අංක තහඩු සකස් කරන ස්ථානයක් බණ්ඩාරගම – රයිගම ප්‍රදේශයේදී වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරින්ට ලද තොරතුරක් මත බණ්ඩාරගම පොලීසිය විසින් මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.

අදාළ ස්ථානයේ තිබී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යනුවෙන් ඉංග්‍රීසි අක්ෂර සඳහන් ස්ටිකර්, ව්‍යාජ ලෙස සැකසූ අංක තහඩු සහ එම ව්‍යාජ අංක තහඩු සකස් කිරීමට යොදා ගන්නා යන්ත්‍ර හා උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී ඇත්තේ මොහු විසින් ව්‍යාජ අංක තහඩුවක් සැකසීම සඳහා රුපියල් 1800 ක් වැනි මුදලක් ලබාගෙන ඇති බවයි ෴


දෙහිවල දී දුම්රියේ ගැටී තරුණයෙකු සහ තරුණියක් මරුට

(17.12.2022 – 15:59 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල දුම්රිය ස්ථානයේදී දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ තරුණයෙකු සහ තරුණියක් දුම්රියේ ගැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මොවුන් සමග සිටි තවත් තරුණයෙකු ද දුම්රියේ ගැටී තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අද (17) උදෑසන 10 ට පමණ මරදානේ සිට කළුතර බලා ධාවනය වූ දුම්රියේ මොවුන් ගැටී ඇති අතර, රෝහල්ගත කිරීමෙන් අනතුරුව අදාළ තරුණයා සහ තරුණිය ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුන් කාර්මික විද්‍යාලයක ඉගෙනුම ලබන අතරතුර දෙහිවල සත්ත්වෝද්‍යානය නැරඹීම සඳහා පැමිණි අවස්ථාවේදීයි මෙම අනතුරට මුහුණදී ඇත්තේ ෴


ආබාධිතයින්ගේ උපකරණවල මිල යළිත් ඉහළට

(17.12.2022 – 13:29 +0530 – hirunews.lk/sinhala)

ආබාධිත පුද්ගලයින් භාවිත කරන කෘතිම පාද, රෝද පුටු, සැරයටි කිහිලිකරු ඇතුළු උපකරණ රැසක මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් ඇති බව ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ පවසනවා.

එහි සහකාර ලේකම් ප්‍රසන්න වික්‍රමසිංහ කියා සිටියේ රජය පැනවූ බදු හේතුවෙන් මෙලෙස මෙම උපකරණවල මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර ආබාධිතයින්ගේ උපකරණ අතර විදුලි රෝද පුටු සදඟා භාවිත කරන බැටරි, ජෙල් මෙට්ට, ජල මෙට්ට, ශ්‍රවණාධාර උපකරණ, බ්‍රේල් ලිවීමේ උපකරණ, බ්‍රේල් යතුරු ලියන උපකරණ වල මිල ඉහළ ගොස් තිබෙනවා.

ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සහකාර ලේකම් ප්‍රසන්න වික්‍රමසිංහ බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ ආබාධිතයින් භාවිත කරන උපරණ මිල අඩු කර යම් සහනයක් ලබාදෙන ලෙසයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *