විදුලි බිල වැඩි නොකර විදුලි අර්බූදයට ඇති උත්තරය මෙන්න … – උදය ගම්මන්පිල

විදුලි බිල වැඩි නොකර විදුලි අර්බූදයට ඇති උත්තරය මෙන්න … – උදය ගම්මන්පිල


විදුලි බිල වැඩි නොකර විදුලි අර්බූදයට ඇති උත්තරය මෙන්න … – උදය ගම්මන්පිල

(13.12.2022 – 00:02 +0530 – lankacnews.com)

පොලී රහිත ණය ලබාදීම වැනි දිරි ගැන්වීම් හරහා ජනතාව අතර සූර්ය පැනල භාවිතය ප්‍රචලිත කරන්නේ නම් විදුලි බිල වැඩි නොකර මෙම විදුලි අර්බූදය විසඳා ගත හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ උත්තර ලංකා සභාගයේ කෑගලු දිසා සමුළුව අමතමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායක වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය :

“වසර 28,000 ක ට පමණ පෙර අතීතයේ හෝමෝසේපියන් මිනිසා වාන‍රයාගෙන් වෙන් වීමට වෙර දරන සමයේ අළුලෙන, බෙලිලෙන අස්මඩල වැනි ලෙන් ආශ්‍රිතව දැවැන්ත ශිෂ්ටාචාරයක් ගොඩනැගුණේ කෑගලු දිස්ත්‍රික්කයෙන්. සුද්දොත් එක්ක සටන් කරලා සටන් කරලා හති වැටිලා සුද්දත් එක්ක සටන් කරන එක අතෑරලා දාලා තිබුණු යුගයක සුද්දත් එක්ක සටන් කරලා ජයග්‍රහණය කිරීම හැර වෙනත් විකල්පයක් නෑ කියන එක රටටම කියා දෙමින් සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් අරඹපු ‘උතුවන්කන්දේ සරදියෙල්’ හිටියේ කෑගලු දිස්ත්‍රික්කයේ. ඒ වගේම සමාජ සාධාරණත්වය පිළිබඳ සමසමාජ බීජය ලංකාව පුරාම වැපුරවත් එය හොඳින් වැඩුණේ කෑගලු දිස්ත්‍රික්කයේ. දේශීය ආර්ථිකයක් ගොඩනැගීම තම දර්ශනය කරගෙන අඛණ්ඩව අයවැය පහක් (5) ඉදිරිපත් කල, අද මේ රටේ මේ උවදුරට ගොදුරු වන බව දූරදර්ශීව දැක්ක ඒ මහා ප්‍රාඥයා – ආචාර්ය එන් එම් පෙරේරා ට දේශපාලන ජීවය ලැබුණේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන්. ඒ අභිමානවත් කෑගල්ල දිස්ත්‍රික්කයට අපි ආවේ ලක් මව මුහුණ දීලා තියෙන දැවැන්ත අර්බුදයට උත්තර හොයාගන්න. ආණ්ඩුවට දැක්මක් නෑ. ආණ්ඩුවට වගේම සජබටත්, සජබට වගේම ජවිපෙටත්, මේ අර්බුදයට උත්තර නෑ. උත්තර සොයන්නේ ‘උත්තර ලංකා සභාගය’ පමණයි කියන පණිවිඩය ඔබට ලබාදෙන්න.

ලාභ පාඩු කතා දෙකක්

මිත්‍රවරුනි ඔන්න ආපහු විදුලි බිල වැඩි කරන්න කතා කරනවා. එසේ මෙසේ ගානකින් නෙවෙයි 70% කින්. එතකොට හිටපු විදුලිබල ඇමතිතුමා කියනවා ‘විදුලි බිල වැඩි කිරීම වැරදියි; ඔක්තෝම්බර් මාසයේ විතරක් රුපියල් මිලියන 2000 ක් විදුලිබල මණ්ඩලය ලාභ ලැබූවා’ කියලා. විදුලිබලඇමති තුමා කියනවා ‘නෑ නෑ 70% කින් විදුලි බිල වැඩි කරේ නැත්තං මණ්ඩලයට පාඩුයි’ කියල. මේ කතා දෙකම ඇත්ත. හැබැයි ‘දොම්පෙට යන පාර හොයාගෙන යන හතර බීරි කතාව’ වගේ දෙන්න කියන්නේ කතා දෙකක්.

ඔක්තෝම්බර් මාසයේ විදුබල මණ්ඩලය මිලියන දෙදහක් (2000) ලාභ ලැබූ කතාවත් ඇත්ත. සාමාන්‍යයෙන් අපේ තෙත් කලාපයේ විශේෂයෙන්ම ජලාශ ආශ්‍රිත ප්‍රදේශ වල හොඳටම වහින්නෙ මැයි, සැප්තැම්බර්, ඔක්තෝම්බර්, නොවැම්බර්. ඉතින් සෑම වසරකම ඔක්තෝම්බර් මාසයේ විදුලිය නිෂ්පාදනයෙන් 70% කට වඩා වැඩියෙන් කරන්නේ ජල විදුලියෙන්. ජල විදුලිය ලාභ විදුලිය නිසා ඕන අවුරුද්දක ඔක්තෝම්බර් මාසයේ ගත්තොත් විදුලි බල මන්ඩලය ලාබයි. ඒ අතර ජනවාරි, පෙබරවාරි, මාර්තු තමයි අපේ තෙත් කලාපයේ වියලි කාලය. ජලාශ හිඳෙන කාලේ. ඒ කාලෙට විදුලි නිෂ්පාදනය කරන්න වැඩි වැඩියෙන් රැඳෙන්න වෙන්නේ පිටරටින් ගේන තෙල් මත. මේ කාලෙම තමයි මිත්‍රවරුනි ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වෙන්නේ. දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි තමයි යුරෝපයේ සීත සෘතුව. සීතල උනාම රත්කර ගන්න වැඩි වැඩියෙන් විදුලිය නිෂ්පාදනය කර ගන්න තෙල් පාවිච්චි කරනෙ මේ කාලේ. මේ කාලේ තෙල් මිල ඉහළ යනව. ඒ නිසා මේ කාලේ විදුලිය ඒකකයක් නිෂ්පාදනය කරන්න යන පිරිවැය වැඩි වෙනවා. විදුලි බල මණ්ඩලය පාඩු ලබනවා. එහෙම බලද්දී 70% කින් විදුලි බිල වැඩි නොකලොත් විදුලිබල මණ්ඩලයට පාඩුයි කියලා කාංචන ඇමතිතුමා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ලෝක වෙළෙඳපොළේ මිල වැඩි වෙනකොට ඒ ඇතිවෙන පීඩනයෙන් දැනටමත් ජීවන වියදමින් මිරිකිලා ඉන්න ජනතාව මත බදු බර පටවන්න ආණ්ඩුවක් ඕන නැහැ. අපිට ආණ්ඩුවක් ඕනෙ අපි මිරිකෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න. විදුලි බිල වැඩි නොකර ජනතාවට පීඩනයක් ඇති නොකර මේ අර්බුදයට උත්තරයක් තියෙනවා. උත්තරය දන්නවා. උත්තරය ක්‍රියාත්මක නොකිරීමයි ප්‍රශ්නෙ. ඇත්තෙන්ම මේ යන විදියට ගියොත් මාර්තු මස පැය 8 කට වඩා විදුලි කප්පාදුවක් කරන්න වෙනවා. ඒක දැන් ඇමතිතුමාත් කියනවා. ඇමතිතුමා කියන්න කලින් මම දෙසැම්බර් පළමුවෙනිදා (01) මාධ්‍ය හමුවක් තියලා රටට කිව්වා. දැන් ඒක ඇමතිතුමා පිළිගෙන තියෙනවා. අඩු ගානේ ඒක කලින් පිළිගත්ත එක ලොකු දෙයක්. කලින් ලොක්කන්ට මේවා කිව්වම ඒව පිළිගත්තෙ නෑ මිත්‍රවරුනි.

හිටපු ජනපති ඉගෙන නොගත් කසකස්ථාන පාඩම

මේ අවුරුද්දේ ජනවාරි මාසේ 10 වෙනිදා ජනාධිපතිතුමා රැස්වීමක් කැඳෙව්වා. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මැතිතුමා , විදුලි බල ඇමැති ගාමිණී ලොකුගේ මැතිතුමා, මම හිටියා. නිලධාරීන් රොත්තක් හිටියා. මොකක්ද ප්‍රශ්නෙ. ජලාශ හිඳිමින් පවතිනවා. දැන් විදුලිය අඛණ්ඩව දෙන්න නම් අඛණ්ඩව ඉන්ධන සැපයුම සිදු කරන්න වෙනවා මේක කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්නයි කැඳවලා තියෙන්නේ. මම මේ සාකච්ඡාවේදී කිව්වා මිත්‍රවරුනි අපිට ජලයත් සීමිතයි. තෙල් ගේන්න තියෙන ඩොලරුත් සීමිතයි. පැය 24 ම විදුලිය දෙන්න ගියොත් අපි අර්බුදයකට යනවා. දැන් ඉඳන්ම අපි පැය දෙක-තුනක් (2-3) විදුලිය කපා ගෙන ගියොත් මේ වියළි කාලේ මාර්තු අගින් අවසන් වෙලා සිංහල අවුරුද්දට වහින්න පටන් ගන්න තුරුම අපිට පැය දෙක-තුනක් විදුලිය කපා ගෙන ඉන්න පුළුවන්. දැන් අපි පැය විසිහතරම (24) විදුලිය දෙන්න ගියොත් මාර්තු මාසේ අග වන විට පැය දොළහකට (12) වඩා විදුලිය කපන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි වාහන වලට තෙල් ගේන්න ඩොලර් නැති වෙනවා. වාහන වලට ඉන්ධන ටික දෙන්න බැරිව දවස් ගණන් පෝලිමේ හිටියොත් ජනතාව පාරට බැහැලා ආණ්ඩුවට ගෙදර යන්න සිද්ධ වෙනවා. කවදද මේ කියන්නේ ? ජනවාරි මාසේ 10 වැනිදා. මම එදා පෙන්නුවා කසකස්තානය. ඊට සති දෙකකට (2) කලින් ඒ රටේ ජනතාව පාරට බැහැලා තෙල් පෝලිම් වල දවස් ගණන් ඉන්නවා. රජයේ ලොකු ලොක්කෝ වාහනවලින් යනවා. මේවා දැකලා කසකස්ථානය ජනතාව පාරට බැහැලා ආණ්ඩුවේ ගොඩනැගිලි වාහන ගිනි තියන්න පටන් ගත්තා. මම කසකස්තානයේ වෙච්ච දේ ලංකාවේ වේවි කියලා ජනවාරි 10 කිව්වා. නමුත් ජනාධිපතිතුමා ඇහුම්කන් දුන්නේ අපේ මේ තාර්කික ව ඉදිරිපත් කරන කරුණු වලට නෙවෙයි. තමන්ගේ ‘ආදරණීය මල්ලි පොඩ්ඩා’ බැසිල් රාජපක්ෂය ඇමතිතුමා කිව්ව දේට. අඛණ්ඩව විදුලිය ලබා දෙන්න තීරණය කරනවා. එහි ප්‍රතිඵලය තමයි මාර්තු මාසේ අග වන විට පැය 12 ක් නෙවෙයි 13 ක් 14 ක් විදුලිය කපලා, සංචාරක ව්‍යාපාරය බින්දුවට වැටිලා, කර්මාන්ත කඩන් වැටිලා, අන්තිමට ආණ්ඩුවට ගෙදර යන්න උනේ.

එදා ඇතුළෙ කිව්වම ඇහුවේ නැති හින්දා, ජනතාව මේ ගැන දැනගන්න ඕන හින්දා ජනවාරි මාසේ 21 වෙනිදා තිබ්බ රැස්වීමකදී මම ඒක ප්‍රසිද්ධියේ කිව්වා. අන්න යූටියුබ් එකේ කතාව තියෙනවා. මාධ්‍ය වලාත් ගිහින් තිබ්බා. දැන් අපි ආයෙත් කියනවා. මිත්‍රවරුනි පැය 12 ක් විදුලිය දෙන්න පුළුවන් වුණේ ගල් අඟුරු බලාගාරය අඛණ්ඩ වැඩ කර නිසයි. ඒක කොයි වෙලාවේ වත් වැහුවේ නෑ. හැබැයි මේ වන විට ගල් අඟුරු සමාගම කියනවා අපිට තව තොග තියෙන්නෙ මාසෙකට – එකහමාරකට (1 – 1½) විතරයි කියලා. ඒ ගල් අඟුරු තොග සපයන්න බැරි උනොතින්, තෙල් මිල ඉහළ යන විට – ඩොලර් සීමිත වන විට ජලාශ හිඳුනම මේ වසරට වඩා වැඩි අර්බුදයකට ආණ්ඩුවට යන්න වෙනව දැන්ම ඉඳන්ම උත්තර ගෙව්වෙ නැත්තම්.

මිල වැඩි නොකර විදුලි අර්බූදය විසදන්නේ කොහොම ද?

මොකක්ද උත්තරේ. ඇමතිතුමා කියන්නෙ ‘තෙල් වලින් විදුලිය ඒකකයක් හදන්න රුපියල් අනූ පහක් (95) යනවා; ඒක හින්දා එකේ බර ජනතාවට පටවනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ’ කියලා. ‘70% කින් විදුලි බිල වැඩි කරන්න වෙනවා’ කියලා. නමුත් මිත්‍රවරුනි අපිට සූර්ය පැනල භාවිතා කළ හැකියි. හැමෝටම නෙවෙයි. විදුලි ඒකක විශාල ප්‍රමාණයක් භාවිතා කරන විශාල නිවාස, කාර්යාල, කර්මාන්ත, හෝටල් මේ අයට අපි දෙනවා තමන්ට අවශ්‍ය විදුලිය තමන්ටම නිෂ්පාදනය කරන්න. මහන්සි වෙන්න දෙයක් නෑ වහල උඩ සූර්ය පැනලය හයිකරගත්තම ඉබේ ඒක වෙනවා.

බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ‘යථාවාදී තථාකාරී තථාවාදී යථාකාරී’ කියලා. ‘කියන දේ කරන්න කරන කරන දේ කියන්න’ කියලා. අපි මුලින්ම පටන් ගත්තා. අපේ පක්ෂ කාර්යාලයේ සූර්ය පැනල අපි හයි කරා. හොඳටම වැස්ස ඔක්තෝම්බර් මාසයේත් අපේ සියලුම විදුලි අවශ්‍යතා සම්පූර්ණ කරලා විදුලිබල මණ්ඩලයට අතිරික්තයක් විකුණලා තියෙනවා. දැන් පක්ෂට ආදායමක් එන වැඩක් විදියට එක පත් වෙලා තියෙනවා. දැන් මේ අය කියනවා ‘සූර්ය පැනල හයිකරාම අපේ පද්ධතියට හැකියාවක් නෑ විදුලිය අරගෙන අවශ්‍ය තැනට ගෙනියන්න’කියලා. ආයතන, හෝටල්, කාර්යාල, දැවැන්ත නිවාස වලට තමන්ට අවශ්‍ය විදුලිය තමන්ට ගන්න බැටරිය සහිත සූර්ය පැනල පද්ධතියක් අවුරුදු 20 ක වගකීමක් එක්ක ගත හැකියි රුපියල් ලක්ෂ තිහකට (30,00,000). හැමෝම නෙවෙයි කරන්න පුළුවන් මනුස්සයා ඒක අරගෙන තමන්ට අවශ්‍ය විදුලිය තමන් නිපදවා ගත්තම විදුලි පද්ධතියේ තිබෙන ඉල්ලුම අඩු වෙනවා. තියෙන ජලයෙන් ගල් අඟුරු වලින් අඩු වියදමෙන් ඉතුරුවෙලා තියෙන අයට විදුලිය සපයන්න විදුලි බල මණ්ඩලයට පුළුවන් වෙනවා. ඇයි මේ විසඳුම ක්‍රියාත්මක කරන්න නැත්තෙ. මහ දෙයක් නෙවෙයි කරන්න තියෙන්නේ. තමන්ට අවශ්‍ය දේ තමන්ටම නිපදව ගන්න තියෙන්නෙ. සූර්ය පැනල ගන්න පොලිය නැති ණයක් ලබා දෙන එකනේ කරන්න තියෙන්නේ. ඒක කරන්න සල්ලි අච්චු ගැහුවත් කමක් නෑ. රටෙන් එළියට ඇදෙන ඩොලර් කන්දරාව දිහා බලද්දි. පැය ගණන් විදුලිය කපල සංචාරක ව්‍යාපාරය, කර්මාන්ත කඩා වැටෙණ දිහා බලද්දි; පුංචි දරුවෙකුට පොතක් පතක් කියව ගන්න අවස්ථාව අහිමි වීමේ අභාග්‍යය දිහා බලද්දි. සල්ලි අච්චු ගහලා හරි මේ සල්ලි ටික දුන්නට කිසිම පවක් නෑ.

ආණ්ඩුව ඇතුළේ මාෆියාවක්

නමුත් ආණ්ඩුව එහෙම කරන්නේ නෑ. කරන්නෙ නෑ නෙවෙයි කරන්න බෑ. හේතුව තමයි ආණ්ඩුව ඇතුළේ ක්‍රියාත්මක වෙනවා මාෆියාවල් දෙකක් (2). එකක් තමයි ‘විදුලි මාෆියා’ව. අනෙක් එක තමයි ‘තෙල් මාෆියා’ව. මොකක්ද මේ 2. මිත්‍රවරුනි මේ අවුරුද්දේ මුල් මාස වල අපි තෙල් ගෙනාවෙ ණයට. ‘මාස තුනේ (3) ණය, මාස හයේ (6) ණය, මාස නවයෙ (9) ණය’ යනාදී වශයෙන් අපි තෙල් ගෙනාවේ. ණයට දීමේ ආදීනව තිබිලත් අපි තෙල් බැරලයක් ගෙනත් තියෙන්නේ ‘ප්‍රිමියම්’ එකක් නැත්නම් ‘අධි මිල’ක් ගෙවලා තියෙන්නේ ඩොලර් 5 යි එක බැරල් එකට. අද තෙල් වලට සල්ලි ගෙවලා ගන්නේ. කවුරුවත් ණයට දෙන්නේ නෑ. අද ‘ප්‍රිමියම්’ එක ගෙවනවා ඩොලර් 25 ක්. ‘ප්‍රිමියම්’ එක නැත්නම් අධිමිල පස් ගුණයකින් (5) වැඩි වෙලා තිබෙනවා. ‘අධිමිල’ කියන්නේ මිත්‍රවරුනි තෙල් බැරලයක් ගේන්න නැව් ගාස්තුවයි , රක්ෂණයයි, සැපයුම්කරුගේ ලාභයයි. මේක පස් ගුණයකින් (5) වැඩි වෙලා තියෙනවා. අපිට බිල් වැඩි කර කර අපෙන් හූරගෙන කන ඒ මුදල් සම්භාරය කාගේ සාක්කුවටද යන්නේ කියන එක සොයා බැලීමේ අයිතිය අපි හැමෝටම තියෙනවා. මේ හොරකම් කරන්නේ අපි බොහෝ මාරුවෙන් හම්බකරගන්න සල්ලි. ඔය තමයි ‘තෙල් මාෆියා’ව.

ඊළඟට තියෙනවා ‘විදුලි මාෆියා’ව. ඒ කියන්නේ මිත්‍රවරුනි පායන කාලයේදී පුංචි පුංචි බලාගාරය තියෙනවා ඉන්ධන වලින් දුවන. මේ අය ඇවිල්ල කියනවා අපෙන් විදුලිය ගන්නවනම් ඒකකයක් ගන්න මෙච්චර ගානකට නැත්තං අපි දෙන්නෙ නෑ. ආණ්ඩුව – විදුලි බල මණ්ඩලය දණගහලා ඇත්ත වියදම වගේ දෙතුන් ගුණයක් ගෙවලා මේ ‘විදුලි මාෆියා’වෙන් පායන කාලෙට විදුලිය ලබා ගන්නවා. මහා දැවැන්ත මුදලක් ගෙවලා. ඒවා නතර කරන්න කාටවත් බැරි වෙලා තියෙනවා. මෙන්න මේ මාෆියා දෙකේ (2) බර තමයි අද අපේ සාක්කු වලින්වි දුලි බිල විදිහට එළියට ඇදෙමින් පවතින්නේ.

ටයිටැනික් ආණ්ඩුව

ප්‍රශ්නය අපි දන්නවා; උත්තරයත් දන්නවා. අවාසනාවකට උත්තරේ ක්‍රියාත්මක කිරීමේ කැපවීම – හැකියාව මෙය ආණ්ඩුව පෙන්නලා නෑ. මිත්‍රවරුනි මේ ආණ්ඩුවට දර්ශනයක් නෑ; දැක්මක් නෑ; වැඩපිළිවෙළක් නෑ. ගිලෙන නැවක් වගේ තමයි මුහුදෙ තියෙන. ටයිටැනික් නෞකාව ගිලෙද්දි ‘නෞකාව බේර ගන්නේ කොහොමද’ කියන එකට වඩා නැවේ කපිතාන් කිව්වේ ‘අපිට වෙන විකල්පයක් නැහැ; නැව ගිලෙනකන් අපි විනෝදයෙන් ඉමු’ කියලා. ‘සියලු කෑම දෙන්න’ කියලා කෝකියන්ට කිව්වා. ‘සියලු සංගීතයන් වාදනය කරන්න’ කිව්වා. ‘අපි සින්දු කියමින් මරණය වැළඳ ගමු මහ සයුරේ පතුලේ දී’ කියලා තමයි කපිතාන් කිව්වේ. හරියට ‘ගිලෙමින් පවතින ටයිටනික් නෑවයි මේ ආණ්ඩුවයි අතර කිසිම කිසි වෙනසක් නෑ’ කියලා අපි දකිනවා මිත්‍රවරුනි.

ආණ්ඩුවට දැක්මක් නෑ. ඒ විතරක් නෙවෙයි විපක්ෂයටත් දැක්මක් – වැඩපිළිවෙළක් නෑ. මේ අය කරන්නේ ආණ්ඩුව විවේචනය කර කර ඉන්න එක විතරයි. දැන් මේ පාර්ලිමේන්තුවේ තිබ්බා අයවැය විවාදය කියලා එකක්. තමුන්නාන්සේලාගේ බදු මුදල් කෝටි ගණනින් නාස්ති කරමින් අන්තිමට එතැන සිද්ධ වුණේ ‘රට ගඳ ගසමින් ගලි බවුසර් හැප්පෙන එක’ විතරයි. කිසිම හරවත් සංවාදයක් පාර්ලිමේන්තුව තුළ වුණේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේ සිදුවිය යුතු ඒ හරවත් සංවාදය මහ පොළවට අරගෙන ඇවිත් රටේ ප්‍රශ්න වලට උත්තර සොයන්න තමුන්නාන්සේලාට ආරාධනා කරනවා.

+


ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය බර රුපියල් ලක්ෂ 11 ක්

(13.12.2022 – 20:05 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඒක පුද්ගල ණය බර රුපියල් ලක්ෂ 11 ක් ඉක්මවා ගොස් තිබෙනවා.

2021 වසර අවසානයේදී එය දැක්වුණේ රුපියල් 793,888 ක් ලෙසයි.

ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශකය අනුව 2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය වටිනාකම රුපියල් බිලියන 24.69 ක් හෙවත් රුපියල් ටි්‍රලියන 24.69 ක්.

ඊට දේශීය ණය රුපියල් බිලියන 13,119.4 ක් සහ විදේශීය ණය රුපියල් බිලියන 11,574.6 ක් අයත්.

ඒක පුද්ගල ණය බර ගණනය කිරීම වාර්ෂික සමස්ත ණය මධ්‍යම වාර්ෂික ජනගහනයේ බෙදීමෙන් සිදුවන අතර ඒ අනුව මෙරට ඒක පුද්ගල ණය බර රුපියල් 1,114,551 ක්.

මේ අතර රජයේ බදු සංශෝධනවලට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13) දීප ව්‍යාප්ත සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කළා.

ඊට සමගාමීව දිවයින පුරා ස්ථාන කිහිපයක විරෝධතා ද පැවැත්වුණා.

එසේම අපනයන ආදායම ගෙන ඒම සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් දෙන ලෙස ඉල්ලමින් ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංසදය මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

+


හය (6) හැවිරිදි දරුවා ඝාතනය කළ සැකකරු රිමාන්ඩ්

(13.12.2022 – 19:55 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ – පහලගම ප්‍රදේශයේදී 06 හැවිරිදි කුඩා පිරිමි දරුවෙකුට පහර දී ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ ඔහු අද (13) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

මිය ගිය දරුවාගේ මවගේ අනියම් සැමියා විසින් මෙම පහර දීම සිදු කර තිබූ අතර ලද තොරතුරකට අනුව ගම්පහ පොලිසියේ නිලධාරින් එම නිවසට ගොස්, දරුවා ගම්පහ රෝහළ වෙත ඊයේ (12) රාත්‍රියේ ඇතුලත් කර තිබුණා.

කෙසේ වෙතත් අද (13) අලුයම දරුවා මිය ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දරුවාගේ මව සහ පහර දුන් පුද්ගලයා වසර තුනක (3) පමණ කාලයක් තිස්සේ ගම්පහ – පහලගම ප්‍රදේශයේ නිවසක වාසය කළ යුවලක්.

සැකකරුට දාව උපන් දරුවන් දෙදෙනෙකු (2) එහි සිටින අතර ඔවුන්ගේ වයස අවුරුදු 03 ක් සහ 04 ක් වනවා.

පහරකෑමට ලක්වූ දරුවාට සැකකරු විසින් කලක් තිස්සේ වෙනස්කම් කර ඇති අතර ඇතැම් අවස්ථාවල ආහාර පවා ලබා දී නැහැ.

රෝහලට ඇතුළත් කිරීමේදී දරුවා ආහාර නොමැතිවීම හේතුවෙන් ශරීරය දුර්වල වී සිටි බව නිරීක්ෂණය වී තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ ෴


10 වැනි දා රාත්‍රියේ සිදුවීම පිළිබඳ පේරාදෙණි මහා ශිෂ්‍ය සංගමයෙන් පැහැදිලි කිරීමක්

(13.12.2022 – 19:47 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් 10 වැනි දා රාත්‍රියේ පේරාදෙණි විශ්වවිද්‍යාලයයේ ගැටුමක් හටගෙන තිබුණු අතර, එම ගැටුමෙන් විශ්වවිද්‍යාලයයේ හිටපු උපකුලපතිවරයකු වන මහාචාර්‍ය අතුල සේනාරත්න හා ඔහුගේ පුත්‍රයා තුවාල ලැබූ බව වාර්තා වුණා.

මෙම සමස්ත සිදුවීම පිළිබඳ දැඩි ලෙස කනගාටු වන බව විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අවධාරණය කරනවා.

මෙම සිදුවීමට අදාළ ව ශිෂ්‍යයන් 10 දෙනෙකු අත් අඩංගුවට ගැනුණු අතර, අද (13) උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ඔවුන් ලබන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යි අධිකරණය නියෝග කර ඇත්තේ.

මේ අතර, අදාළ ශිෂ්‍යයන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට ද විශ්වවිද්‍යාලයීය පරිපාලනය තීරණය කර තිබෙනවා.

අදාළ දින රාත්‍රියේ විශ්වවිද්‍යාලයීය සරච්චන්ද්‍ර එළිමහන් රඟමඬල අසලින් උපකුලපතිවරයාගේ පුත්‍රයා සිය මෝටර් රථය පදවාගෙන ගොස් ඇති බව සඳහන්.

ඒ අවස්ථාවේ ඔහු මත්පැන් ද පානය කළ සිටි බව යි විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ.

මෙම අවස්ථාවේ දී එළිමහන් රඟමඬල අසල යතුරුපැදි දෙකක් නවතා තිබී ඇති අතර, උපකුලපතිවරයාගේ පුත්‍රයා සිය මෝටර් නවතා ඉන් බැස, නවතා තිබුණු යතුරු පැදි දෙකට (2) පයින් පහර දී ඇති බව සඳහන්.

මෙය දුටු විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් කිහිප දෙනෙකු, අදාළ පුද්ගලයා ව ලුහු බැඳ ගොස් ඔහු ව නවතාගෙන තිබෙනවා.

පසුව අදාළ යතුරුපැදි දෙක (2) සඳහා අලාභහානිය ගෙවන ලෙස අදාළ ශිෂ්‍යයන් උපකුලපතිවරයාගේ පුත්‍රයාට පවසා ඇති බව යි වාර්තා වන්නේ.

නමුත් එම අවස්ථාවේ දී හිටපු උපකුලපති අතුල සේනාරත්නගේ පුත්‍රයා පවසා ඇත්තේ, “මේක අපෙ තාත්තගෙ කැම්පස් එක, මූණු මතක යි, පස්සෙ බලා ගමු” යනුවෙන් බව ශිෂ්‍යයන් පවසනවා.

පසුව මෙම දෙපාර්ශවය අතර තවදුරටත් බහින්බස් වීම් සිදු වී අතර, සිද්ධිය සමථයකට පත් කිරීම සඳහා විනය පාලකවරුන්, නියෝජ්‍ය උපකුලපතිවරයා හා පොලිසිය ද පැමිණ ඇති බව යි සඳහන් වන්නේ.

එම අවස්ථාවේ දී හිටපු උපකුලපතිවරයාගේ පුත්‍රයා සිද්ධියට අදාළ ව ශිෂ්‍යයන්ගෙන් සමාව ඉල්ලා, යතුරුපැදි සඳහා අලාභහානි ගෙවීමට ද පොරොන්දු වී තිබෙනවා.

පසු ව පොලිසිය විසින් ඔහු ව මාංචු දමා පොලිසියට රැගෙන ගොස් ඇති අතර, එහි දී පොලිසිය මඟින් ඔහු ව පේරාදෙණි රෝහලට ඇතුළු කර තිබෙනවා.

මෙම යතුරු පැදිවලට පහර දීම හා බීමත් ව රිය පැදවීමට අදාළ ව උපකුලපති පුත්‍රයාට එරෙහි ව සිසුන් විසින් පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති අතර, එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ගිය ශිෂ්‍යයන්ගේ බීමත්භාවය පරික්ෂා කිරීමට පොලිසිය කටයුතු කළත් උපකුලපති පුත්‍රයාගේ බීමත්භාවය පොලිසිය විසින් පරීක්ෂා නොකළ බව යි පේරාදෙණි මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ.

මෙම සිදුවීම පිළිබඳ ඕනෑ ම විමර්ශනයකට විශ්වවිද්‍යාලයය වශයෙන් මහා ශිෂ්‍ය සංගමයේ පූර්ණ සහයෝගය දෙන බවත් අදාළ පරීක්ෂණය කඩිනම් හා නිවැරැදි මෙන් ම අපක්ෂපාති එකක් ද විය යුතු බවත් මහා ශිෂ්‍ය සංගමය අවසාන වශයෙන් අවධාරණය කරනවා.

+++++++++++

පේරාදෙණිය හිටපු උපකුලපතිට පහරදුන් සරසවි සිසුන් රක්ෂිත බන්ධනාගාරයට

(13.12.2022 – 17:01 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි සරසවි සිසුන් 10 දෙනා මේ මස 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් අද (13) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිද්ධියට සම්බන්ධ සිසුන් 4 දෙනෙකු අද (13) උදෑසන අත්අඩංගුවට ගත් අතර, ඊයේ (12) රාත්‍රීයේ සිසුන් 6 දෙනෙකු පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම සිද්ධියට අදාළව තවත් සිසුන් දෙදෙනෙකු (2) පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර ඔවුන්ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පසුගිය 10 වැනිදා මහාචාර්ය අතුල සේනාරත්නගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදි කිහිපයක ගැටී ඇති අතර එහිදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සිසුන් පිරිසක් පැමිණ හිටපු උප කුලපතිවරයාගේ නිල නිවසේ දේපලවලටද අලාභ හානි සිදු කරමින් මෙම පහර දීම සිදු කර තිබුණා.

එම අවස්ථාවේ දී පහරකෑමට ලක්වූ මහාචාර්යවරයා සහ ඔහුගේ පුත්‍රයා ප්‍රතිකාර සඳහා ඇතුලත් කෙරුණේ පේරාදෙණිය රෝහලටයි ෴


කොල්ලුපිටියේ අනතුර සිදුකර ඩුබායි වෙත පලාගිය තරුණයා රිමාන්ඩ්

(13.12.2022 – 17:19 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය ප්‍රදේශයේ දී මාරක රිය අනතුරක් සිදු කොට ඩුබායි වෙත පළාගොස් යළි දිවයිනට පැමිණීමේ දී අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා මේ මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔහු අද (13) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන අලුත්කඩේ අංක හත මහේස්ත්‍රාත් ටී.ජේ. ප්‍රභාකරන් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය 10 වැනිදා උදෑසන 06:30 ට පමණ බම්බලපිටියේ සිට ගාලුමුවදොර දෙසට සැකකරු ධාවනය කළ මෝටර් රථය, ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක පිටුපස ගැටී සිදුවූ අනතුරෙන් එහි රියදුරු මියගොස් තිබුණා.

එහිදී මෝටර් රථය පැදවූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි ‘මොහොමඩ් රසුල් මොහොමඩ් රිෂාක්’ අනතුරින් පසු එදිනම උදෑසන 09:55 ට පමණ මෙරටින් ඩුබායි බලා පිටත්ව ගොස් තිබූ බවයි පසුව අනාවරණ වුණේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *