දුප්ප­තුන්ගේ වකු­ගඩු ගලවා පොහො­ස­තුන්ට විකු­ණන ජාවා­රමේ මෙතෙක් හෙළි නොවූ රහස්

දුප්ප­තුන්ගේ වකු­ගඩු ගලවා පොහො­ස­තුන්ට විකු­ණන ජාවා­රමේ මෙතෙක් හෙළි නොවූ රහස්


දුප්ප­තුන්ගේ වකු­ගඩු ගලවා පොහො­ස­තුන්ට විකු­ණන ජාවා­රමේ මෙතෙක් හෙළි නොවූ රහස්

(10.12.2022 – silumina.lk)

වෛද්‍ය විද්‍යාවේ මහා පෙරළියක් කළ ලොව පළමු වකුගඩු සැත්කම වන්නේ 1950 වසරේ ජූනි 17 වෙනිදා ශල්‍ය වෛද්‍ය රිචඩ් එච්. ලෝලර් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසින් චිකාගෝවල ජීවත් වූ 49 වියැති කාන්තාවකට කළ වකුගඩු බද්ධ කිරීමය. මියගිය පුද්ගලයකුගේ වකුගඩුවක් ඇයට බද්ධ කරමින් කළ එම සැත්කම සැලකෙන්නේ වෛද්‍ය විද්‍යාවේ සිදු වුණු ඉදිරි පිම්මක් ලෙසිනි. අනතුරුව 1954 වසරේදී ශල්‍ය වෛද්‍ය ජෝසප් මරේ ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසින් බොන්ස්ටන් හි බ්‍රිග්හැම් රෝහලේදී සිදු කළ වකුගඩු සැත්කම සැලකෙන්නේ ජීවත්ව සිටින පුද්ගලයකුගෙන් ලබා ගත් වකුගඩුවක් තවත් අයකුට බද්ධ කළ ප්‍රථම සාර්ථක වකුගඩු බද්ධ කිරීම ලෙසිනි. ලෝකයේ අද බහුල වශයෙන් සිදුවන්නේ මෙවැනි වකුගඩු බද්ධ කිරීම්ය.

දස දහස් ගණනක් වූ වකුගඩු රෝගීන්ට සිය ජීවිතය පිළිබඳ අද යම් බලාපොරොත්තුවක් දල්වා ගෙන සිටීමට හැකියාවක් ලැබී ඇත්තේ නම් ඒ එදා රිචඩ් එච්. ලෝලර් සහ ජෝසප් මරේ ප්‍රමුඛ වෛද්‍යවරු විසින් කළ වෛද්‍ය විද්‍යාත්මක හාස්කමට පින්සිදු වන්නටය.

වෛද්‍ය විද්‍යාවේ නව පිඹිදීමක් ඇති කළ වකුගඩු බද්ධ කිරීමක් මෙරට තුළ ප්‍රථම වරට සිදුවන්නේ 1985 වසරේ ඔක්තෝබර් මාසයේදීය. ඒ එකල ජනප්‍රිය පුද්ගලික රෝහලක්ව පැවති කොළඹ රත්නම් රෝහලේදීය. එහිදී සාර්ථක වකුගඩු බද්ධයක් සිදුවන්නේ මහර කඩවත කිරිමැටියාගාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ තිස්පස් වියැති දෙදරු පියෙක් වූ ලීටස් තිරිමාන්නටය. එදා ඔහුට බද්ධ කෙරෙන්නේ සිය පියාගේ වකුගඩුවකි.

ලොව පළමු වකුගඩු බද්ධයෙන් 45 වසරකට පසුව ශ්‍රී ලංකාවේ පළමු වකුගඩු බද්ධය සිදුවන්නේ රිස්වි සෙරීෆ් සහ ෂෙරීෆ් ඩීන් යන වෛද්‍ය විශේෂඥයන්ගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් විසිනි.

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග හා වකුගඩු බද්ධ කිරීමේ ක්ෂේත්‍රයේ පුරෝගාමියා ලෙස අදටත් සැලකෙන්නේ මේ අතර සිටින මහාචාර්ය මොහොඩ් හුසේන් රිස්වි ෂෙරීෆ් ය. ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට වකුගඩු බද්ධ කිරීම් හඳුන්වා දුන් පියා ලෙස සැලකෙන රිස්වි ෂෙරීෆ් විසින් වකුගඩු රෝගීන්ට ඩයලීසස් කිරීම් ඇතුළු සත්කාර සැපයීම මුල් කරගෙන 1984 වසරේදී ලංකා මෙඩිකෙයා සමාගම නමින් ඇරඹි ශ්‍රී ලංකාවේ පළමු වකුගඩු රෝගී ප්‍රතිකාර රෝහල වන බොරැල්ල කොටා පාරේ පිහිටි ‘වෙස්ටන් රෝහල’ට අද එල්ලවී ඇත්තේ බරපතළ චෝදනාවකි. ඒ මුදලට වකුගඩු අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙනි.

කොළඹ සහිරා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්ව වෛද්‍ය උපාධිය මෙන්ම ශල්‍ය වෛද්‍ය උපාධිය ද ලබාගෙන මහා බ්‍රිතාන්‍යයෙන් ද විශේෂ පුහුණුවක් ලබා ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට දැක්වූ විශිෂ්ට දායකත්වයට ඉහළම ජාතික ගෞරවය වන ‘විද්‍යාජෝති’ ගෞරව නාමයෙන් ද පිදුම් ලබා සිටින රිස්වි ෂෙරීෆ්ගේ වෙස්ටන් රෝහලට එල්ලවී ඇති චෝදනාව සුළුවෙන් තැකිය නොහැකි බරපතළ වූවකි.

මෙම චෝදනාව ගැන රිස්වි ෂෙරීෆ්ගේ වෙස්ටන් රෝහල් පරිපාලනය අවධාරණය කර ඇත්තේ මෙම චෝදනාව ද්වේශ සහගත මඩක් බවය. ඉන්ද්‍රියන් ජාවාරම හෝ අභ්‍යන්තර අවයව ජාවාරම සම්බන්ධයෙන් කෙරෙන්නා වූ ඕනෑම විමර්ශනයකට පූර්ණ සහය දෙන බව දැනටමත් එම රෝහල් පරිපාලනය ප්‍රකාශ කර අවසන්ය.

වෙස්ටන් රෝහලේ පරිපාලනයට සිය පාරිශුද්ධභාවය වෙනුවෙන් මෙවැනි ප්‍රකාශයක් නිකුත් කරන්නට සිදු වන්නේ මෙම රෝහල ආශ්‍රිතව සිදුවී ඇතැයි කියනු ලබන වකුගඩු ජාවාරමක් ගැන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් යම් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති පසුබිමකය. නීතිපති දෙපාර්තමේන්තුවේ නිරන්තර උපදෙස් ඇතිව මෙම විමර්ශනය සිදු වන්නේ මෙහි ඇති සංවේදීභාවය නිසාමය.

අද වන විට ලෝකයේ අවයව ජාවාරම දෙවැනි වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමට පමණි. මෙය ලොව පුරා පැතිරුණු මාෆියාවකි. ඒ නිසාම ශරීර ඉන්ද්‍රියන් ලබා ගැනීමට පුද්ගලයන් පැහැර ගැනීම් පවා ලෝක ව්‍යාප්ත ජාවාරමක් බවට පත්ව හමාරය. මෙහි ගොදුරු බවට වැඩි වශයෙන් පත්වන්නේ දුගී දිළිඳු ජනතාවය. ලෝකයේ ලොකුම වකුගඩු වංචාව ගැන මෑතකදී අපට අසන්නට ලැබුණේ ද අසල්වැසි ඉන්දියාවෙනි. ඒ 2008 වසරේදීය. ‘ගුර්ගෝන් වකුගඩු වංචාව’ ලෙසින් හඳුන්වන්නේ එම වකුගඩු ජාවාරමය. දුගී දුප්පත් ජනතාවගේ වකුගඩු ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව, සවුදි අරාබිය, ග්‍රීසිය වැනි රටවල ධන කුවේරයන්ට බද්ධ කිරීම සඳහා විකුණූ එම ජාවාරමේ මහ මොළකරු ලෙස හඳුනා ගත්තේ අමිත් කුමාර නැමැති වෛද්‍යවරයෙකි. පහළ උසාවියෙන් ඔහුට සිර දඬුවම් නියම වන විට ඉහළ උසාවියෙන් ඔහු නිදොස් වූයේ වකුගඩු ජාවාරමේ බලවත්කම ලොවට කියාපාමිනි.

ඊට හරියටම පස් වසරකට පසු තමිල්නාඩු පොලිසිය හෙළි කර ගන්නේ ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් ඉන්දියාව තුළ ක්‍රියාත්මක වන වකුගඩු ජාවාරමකි. ඒ බව හෙළි වන්නේ සුරේෂ් ප්‍රජාපතී නැමැති වකුගඩු ජාවාරමේ ඉන්දියානු තැරැව්කරුවකු කොටු කර ගැනීමෙන් පසු කළ ප්‍රශ්න කිරීම් හමුවේය. ඉන්දියානුවන් මෙරටට රැගෙන විත් මෙරට රෝහල් කිහිපයක සිදු වූ මහා පරිමාණයේ වකුගඩු ජාවාරමක් ගැන එදා ඉන්දියාව හෙළි කළා පමණක් නොව, ඒ ගැන මෙරට බලධාරීන්ව ද දැනුවත් කරනු ලැබීය. එහිදී ප්‍රශ්නගත වකුගඩු බද්ධ කිරීම් 60 ක තොරතුරු ද ඉන්දියානු බලධාරීන් හෙළි කර තිබුණේය. ඒ අනුව අපේ රටේ සෞඛ්‍ය අංශ මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද කළ විමර්ශනයකදී පැහැදිලිවම හෙළි වී තිබුණේ මෙම වකුගඩු ජාවාරමට මෙරට වෛද්‍ය වෘත්තියේ නිරතව සිටින 06 දෙනකුගේ සම්බන්ධයක් ඇති බවකි. මෙම වකුගඩු ජාවාමට සම්බන්ධ මෙරට පුද්ගලික රෝහල් කිහිපයක්ම එදා හඳුනා ගනු ලැබීය. ඒ අතරට ‘වෙස්ටන් රෝහල’ ඇතුළත්ව නොතිබීම විශේෂත්වයකි.

එදා මාධ්‍ය ඉදිරියේ පොරවල් වෙමින් සෞඛ්‍ය බලධාරීන් විසින් එම වකුගඩු ජාවාරම ගැන ලොකු විමර්ශනයක් ආරම්භ කරන බව කීවත්, අඩුම තරමින් ඒ විමර්ශන ගොනුවට සිදුවූ දෙයක් ගැන අදටත් සොයා ගන්නට නැති තරම්ය. වකුගඩු ජාවාරමට සම්බන්ධ ඉන්දියානුවන් 07 දෙනෙක් එදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය විමර්ශන ඔස්සේ හඳුනා ගෙන අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත මිරිහානේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටියත්, ඒ අයට කුමක් සිදු වූයේ දැයි අදටත් අභිරහසකි. ඒ ඔවුන් පැදුරටත් නොකියා රැඳවුම් මධ්‍යස්ථානයෙන් පන්නා ගැනීමට ජාවාරම්කරුවන් සමත්කම් දැක්වූ බැවිනි. කියැවෙන්නට වූයේ මන්නාරමෙන් බෝට්ටුවක නංවා ඒ අයව ඉන්දියාවට පන්නා ගත් බවය.

නැවතත් මෙරටින් ආන්දෝලනාත්මක වකුගඩු ජාවාරමක් ගැන තොරතුරු කියැවෙන්නේ ‘වෙස්ටන් රෝහල’ කේන්ද්‍ර කර ගනිමින් සිදු වූ බව කියැවෙන මෙම වකුගඩු ජාවාරමය. මෙම වකුගඩු ජාවාරම ගැන තොරතුරු එළියට එන්නේ ද දරිද්‍රතාව මුල් කරගෙන මෙරට දුගී ජනතාව විසින් සිය සිරුරේ අවයව පවා දැන් අලෙවි කිරීමේ තැනට පත්ව ඇති බවට වූ සමාජ ඛේදවාචකයක මෙතෙක් හෙළි නොවූ පැතිකඩක් සමාජය හමුවේ විවර කරවමිනි.

මෙම ජාවාරමට ‘වෙස්ටන් රෝහලේ’ ඝෘජු සම්බන්ධයක් ගැන නීතිය හමුවේ මේ මොහොත වන තෙක්ම තහවුරු වී නැතත්, ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට ලක් වූවන්ගේ වකුගඩු ගලවා ඒවා වෙනත් පුද්ගලයන්ට බද්ධ කර ඇතැයි පැහැදිලිවම අනාවරණය වී ඇත්තේ ‘වෙස්ටන් රෝහල’ තුළදී බවය. ඒ සියල්ලක්ම සිදුව ඇත්තේ තැරැව්කරුවන් මඟිනි. මෙම මහා පරිමාණයේ ජාවාරම ගැන තොරතුරු එළියට එන්නේ වකුගඩු ගලවා ගත් අහිංසක දුප්පතුන්ට ඒ වෙනුවෙන් පොරොන්දු වූ මුදල් නිසි ලෙස නොලැබීම නිසාය. ඒ අය තමන්ගේ වකුගඩුව වෙනුවෙන් ලැබිය යුතු මුදල වෙනුවෙන් සටන් නොකරන්නට මෙම වකුගඩු ජාවාරම අදටත් රහසකි.

මෙම වකුගඩු ජාවාරම හා බැඳුණු තැරැව්කරුවෝ බොහෝය. දරිද්‍රතාවෙන් පෙළෙන දුප්පතුන් සොයා ගොස් වකුගඩුවක් කීයකට හරි විකුණා ජීවිතය ගොඩ ගන්නා හැටි කියා දෙන්නේ ඔවුන්ය. සුරංගනා කතා කියමින් ඒ අයව මුලා කර වකුගඩුව පරිත්‍යාගයක් ලෙස විකිණීමට බ්‍රෝකර් වැඩේ කරන්නේත් ඔවුන්මය. වැඩේ හමාර වූ පසු දෙපැත්තෙන්ම ඔහු ගාන කඩා ගන්නේ වකුගඩුව ලබාදුන් පුද්ගලයාගේ අතට ලැබෙන ගාණට වඩා ලොකු ගාණක් සාක්කුවේ දමා ගනිමිනි.

‘වෙස්ටන් රෝහල’ කේන්ද්‍ර කරගත් වකුගඩු ජාවාරමේ යථාර්ථයේ ද ඊට වඩා ලොකු වෙනසක් නැති තරම්ය. විවිධාකාර තැරැව්කරුවන් අතර ප්‍රධාන තැරැව්කරුවෙක් වන්නේ මෑතකදී ගිනි ගැනීමට ලක්වූ කොළඹ ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්තේ නිවාසයක පදිංචිකරුවෙක් වන ‘මොහොමඩ් බසීර් රජාබ්දීන්’ නොහොත් ‘බායි’ ය. කොළඹ 13 බ්ලූමැන්ඩල් පාරේ පිහිටි සිරිසඳ සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින ‘සුපුන් සංජීව’ නොහොත් ‘සඳුන්’ මෙම ජාවාරමේ අතරමැදි තැරැව්කරුවෙකි.

‘සඳුන්’ විසින් සොයා දුන් පුද්ගලයන් 05 දෙනෙකුගේම වකුගඩු ගැලවී එම වකුගඩු රෝගීන්ට බද්ධ වන්නේ වෙස්ටන් රෝහලේදීය. ඒ පසුගිය අගොස්තු 03 වෙනිදාත් නොවැම්බර් 03 වෙනිදාත් අතර කාල සීමාව තුළදීය. මේ පස් දෙනාටම (5) වකුගඩුව ගලවා ගත් පසුව රෝහලෙන් පිටව යන විට දෙන්නම් යැයි කියා තැරැව්කරුවන් පොරොන්දු වන මුදල රුපියල් ලක්ෂ 50 ත් 60 ත් අතර මුදලකි. අන්තිමට මේ අයට රෝහලෙන් පිටව යන්නට සිදුවන්නේ අතේ සතේ පමණක් නොව, වකුගඩුවක්ද අහිමි කරගෙනය.

මෙසේ වකුගඩු අහිමි කර ගත් අය අතර, මීගමුව කොච්චි කඩේ මයිකල් මාවතේ පදිංචිකරුවෙක් වන 26 හැවිරිදි වෑල්ඩින්කරුවෙක්ද, කොළඹ 15 ශ්‍රී පඤ්ඤානන්ද මාවතේ සත්හිරු සෙවණ තට්ටු නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙක් වන 42 හැවිරිදි මාර්ග පිරිසිදු කිරීමේ ආයතනයක සේවය කරන්නෙක් ද, කොළඹ 13 බ්ලූමැන්ඩල් පාරේ පිහිටි සිරිසඳ සෙවණ තට්ටු නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙක් වන 33 හැවිරිදි වෑල්ඩින්කරුවෙක් ද, කොළඹ 13 මිරානියා වීදියේ පදිංචිකරුවෙක් වන 41 වියැති කුලී කම්කරුවෙක් ද සිටිති. ඊට අමතරව කොළඹ 15 ශ්‍රී පඤ්ඤානන්ද මාවතේ සත්හිරු සෙවණ තට්ටු නිවාස සංකීර්ණයේ පදිංචිකාරිනියක් ද මේ අතර සිටියාය. ඇය වයස අවුරුදු 34 ක් වන දෙදරු මවක් වූවාය. ඇය සිය වකුගඩුව විකුණන්නට පෙලඹෙන්නේ මාස පහක් (5) වන කිරි දෙන බිලිඳාගෙත් අවුරුදු එකහමාරක් (1½) වන දරුවාගෙත් අනාගතයට යමක් ඉතිරි කරන්නට සිතා ගෙනය. අවසානයේදී ඇයට ඒ හැමදෙයක්ම පත්වන්නේ සිතුවිල්ලක් බවට පමණි.

සිය වකුගඩුව ලබාදී ලොකු ගාණක් අතට ගන්නට බලා සිටි මේ හැමෝගේම හිතේ මෙවැනි බලාපොරොත්තු ගොන්නක්ම ලියැවී තිබුණේය. මුදල් නොලැබීමෙන් ඒ හැමදෙයක්ම හුදෙක් බලාපොරොත්තු බවට පත්වන පෙරනිමිති දකින විට ඔවුන් සොයා යන්නේ තමන්ගේ වකුගඩුවක් ගලවා දෙනකම් පස්සෙන්ම සිටි ‘සඳුන්’ නැමැති තැරැව්කරුවා සොයා ගෙනය. ඒ වන විට ඔහු ද සිටියේ පොරොන්දු වූ කොමිස් මුදලක් නොලැබීම නිසා ප්‍රධාන තැරැව්කරු ‘බායි’ සමඟ සිත් අමනාපයෙනි. එබැවින් ඔහු කිහිප විටකදීම ‘වෙස්ටන් රෝහල’ වෙත ගොස් මුදල් ඉල්ලමින් රෝහල් බලධාරීන් හමුවේ ඇවිටිලි ද කර තිබුණේය. තමා හරහා වකුගඩු විකුණු පස්දෙනාව (5) ඔවුන්ගේ ඥාතීන් දෙතුන් දෙනෙකුත් සමග ඔහු එතැනට යන්නේ ඊට යහපත් ප්‍රතිචාරයක් නොවූ තැනය.

එහි ගොස් ඔවුන් නිකම්ම සිටියේ නැත. ගෝරනාඩුවක් දමන්නේ ‘මුදල් නොලැබුණහොත් රෝහල ගිනි තබන බවට’ තර්ජනයක් ද කරමිනි. ඒ ඔවුන්ට මුදල් දෙනවා යැයි තැරැව්කරුවන් පවසා තිබුණේ රෝහල මඟින් වූ බැවිනි. රෝහලෙන් මුදල් ඉල්ලා ඒ අය කලහ කරන්නට ගත්තේ එබැවිනි. එමගින් ද කිසිදු සහනයක් නොවූ තැන ‘සඳුන්’ කල්පනා කරන්නේ මේ ගැන රූපවාහිනී නාළිකාවකට කියන්නටය. ‘සඳුන්’ ඒ ගැන රූපවාහිනී නාළිකාව දැනුවත් කරන්නේ ද වකුගඩු ජාවාරමක් සිදුවන බවට ජනමාධ්‍යට ගොස් කියන බවට වෙස්ටන් රෝහල් බලධාරීන් හමුවේ ගෝරනාඩුවක් ද දැමීමෙන් අනතුරුවය.

ඒ අනුව රූපවාහිනී නාළිකාවේ ප්‍රවෘත්ති වැඩසටහනකට සම්බන්ධ මාධ්‍ය කණ්ඩායමක් පෙරටු කරගනිමින් පසුගිය නොවැම්බර් 18 වෙනිදා ‘සඳුන්’ ‘වෙස්ටන් රෝහල’ වෙත ගමන් කරමින් සිටියේ වකුගඩු ලබා දුන් පිරිස ද රැගෙනය. ඒ ‘වෙස්ටන් රෝහල’ වෙත ගොස් රහසිගත පටිගත කිරීමකට සූදානමිනි. ‘වෙස්ටන් රෝහලේ’ සේවකයකු යැයි කියන අයකුගෙන් ‘සඳුන්’ගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලැබෙන්නේ ඔය අතරතුරදීය. එහිදී ‘සඳුන්’ට දැනුම් දීමක් ලැබෙන්නේ පොරොන්දු වූ මුදල ලබා ගැනීමට සියලු දෙනාව රැගෙන බොරැල්ල සියලු ශාන්ත­වරුන්ගේ දේවස්ථානය අසල පිහිටි රථගාලට පැමිණෙන ලෙසය.

එම ඇමතුමට අනුව රූපවාහිනී නාළිකාවේ මාධ්‍යවේදීන් සමඟ ‘සඳුන්’ ඇතුළු කණ්ඩායම සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානය අසලට රථාගාලට යන විට නිල ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරියෙක් එහි රැඳී සිටින්නේ තවත් දෙදෙනෙකු (2) සමඟිනි. සොයා බැලීමේදී අනාවරණය වන්නේ එම පොලිස් නිලධාරියා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ සේවයේ නිතරව සිටින ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් බවය. ඔහු ඇවිත් ඇත්තේ රාජකාරිමය වැඩකට නොව මගෝඩි වැඩකටය. මේ නිලධාරියාගේ ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ පොලිසියට බැඳුණු දා සිටම ඔහුගේ කැරට්ටුව එතරම් යහපත් නොවන බවය. උප පොලිස් පරීක්ෂකවරයෙකුව සිටියදී පොලිසියේ රථවාහන අංශයේ තාවකාලික රියදුරු බලපත්‍ර පවා රුපියල් 500 ට අලෙවි කළ අයෙක් බව පොලීසියේ ප්‍රසිද්ධ රහසකි.

‘ජරා පප්පෙක්’ ලෙස පොලිසියේ කුප්‍රකට මේ නිලධාරියා තමන් ඉතා දුක් මහන්සියෙන් හරි හම්බ කර ගන්නා ‘ජරාවෙන්’ ටිකක් ලොකු මහත්වරුන්ගේ සාක්කුවලට ද දමා ඒ අයව ‘බැලන්ස්’ කර ගැනීමට ද දක්ෂයෙකි. 2012 වසරේ පෙබරවාරි 20 වෙනිදා සිදු වූ බියගම විලේජ් හෝටලයේ හිමිකරු බර්නාඩ් ජයරත්නගේ ඝාතනය යට ගසමින් සැබෑ ඝාතකයා වෙනුවට අහිංසකයෙක් අල්ලා සිරගත කිරීමක් වෙනුවෙන් ද මෙම නිලධාරියා වැඩ තහනමට ලක් වූවෙකි. ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනකුගේ ආශිර්වාදයෙන් නැවත පොලිස් සේවයට එන ඔහු බස්නාහිර පළාත් බුද්ධි කාර්යාංශයේ ස්ථානාධිපති පුටුවේ පවා අසුන් ගන්නේ ඒ කියන ලොකු මහත්වරුන්ගේ ආශිර්වාදයෙනි.

බුද්ධි අංශයේ සිට ඔහු සිදු කළේ බුද්ධිය මෙහෙයවා බුද්ධි තොරතුරු රැස් කිරීම නොව, සාක්කු පුරවා ගැනීමය. කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට ඔහු විසි වෙන්නේ ඒ ගැන පොලිස් බලධාරීන්ට දිගට හරහට පෙත්සම් මිටි ගණනින් ලැබෙන්නට වූ බැවිනි. එසේ නොවන්නට අදටත් ඔහු බස්නාහිර පළාතේ බුද්ධි අංශයේ ලොක්කාය. වංචා විමර්ශන කාර්යාංශයේද ඔහුට ලැබෙන්නේ වංචා විමර්ශන අංශයක ඕඅයිසී පුටුවය. සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ රථ ගාලට එදා පැමිණි මේ කියන ‘දූෂිත පොලිස් ලොක්කා’ වකුගඩු ලබා දුන් අයට දේශනයක් තබන්නේ වකුගඩු අලෙවි කිරීම ගැන අපේ රටේ ඇති නීතිමය තත්ත්වය ගැන පහදා දෙමිනි. ඒ තුළින් ඔහු කියාපාන්නට වූයේ වකුගඩු අලෙවි කිරීම මෙන්ම මිලදී ගැනීම ද වරදක් බවය. වකුගඩු පමණක් නොව, කුමනාකාර ශරීර ඉන්ද්‍රයක්වත් අපේ රටේ නීතියට අනුව මුදලට විකිණීම තහනම්ය.

ඒ 1981 වර්ෂයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දුන් ආචාර ධර්මවලට යටත්වය. ඒ සම්බන්ධයෙන් මෙරට නීතිය ක්‍රියාත්මක වන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ සහ 1987 අංක 48 දරන මනුෂ්‍ය පටක බද්ධ කිරීමේ පනතේ විධානයන්ට යටත්වය. ඊට අනුව වකුගඩුවක් විකිණීම හා මිලදී ගැනීම සිරදඬුවම් ලැබීම් මෙන්ම දඩ මුදලකට ද යටත් වන වරදකි. අවයව විකිණීම පනතින්ම තහනම් කර ඇති අතර වසර දෙකකට (2) නොවැඩි කාලයක් සිරදඬුවම් ලැබීමටත්, රුපියල් 1500 ට වැඩි දඩ මුදලකට යටත්වන වරදකි.

මේවා කියා මෙම පොලිස් නිලධාරියා කරන්නේ මුදල් ඉල්ලා කරදර කරන්නට වූ අහිංසකයන්ව බිය ගන්වමින් සිය කාකි ඇඳුමේ ඇති බලය පෙන්වීමය. ඔහු මේ අයට තර්ජනය කරන්නට වූයේ රෝහල සමඟ ඇති සම්බන්ධතා නතර කරන ලෙසටය.

ඒ බව සඳහන් කරමින් ලේඛනයකට අත්සන් ද ලබා ගැනීමට මේ ‘පොලිස් මෘගයා’ කටයුතු කරන්නට වූයේ ලක්ෂ 50 ක් 60 ක් ලබා දෙනවා යැයි කියා ගලවා ගත් වකුගඩුව වෙනුවෙන් ඒ අයට රුපියල් ලක්ෂ දෙක (2) බැගින් ලබාදී සියල්ල මහ පාරේම විසඳමිනි. නීතියට පිටින් යමින් වකුගඩු ජාවාරම්කරුවන්ගේ රුපියල් ශත වලට වහල් වූ මේ පොලිස් නිලධාරියා සිතන්නේ හැම දෙයක්ම එතැනින් හමාර කළා යැයි කියාය.

එහෙත් මේ කියන පොලිස් නිලධාරියාට මෙන්ම ඔහු සමඟ පැමිණි රෝහල් කාර්ය මණ්ඩලයේ යැයි කියැවෙන හැමෝටම වැඩ වරදින්නේ කැමරා කාචයේ මේ සියල්ලක්ම පටිගත වී තිබීමෙනි. තමන්ට වැඩ වැරදී ඇතැයි ඒ අයට දැනෙන්නට ගත්තේ නොවැම්බර් 21 වෙනිදා රූපවාහිනී නාළිකාවේ ප්‍රවෘත්ති විකාශයෙන් ඒ සියල්ල එළියට ඒමත් සමඟිනි.

එම දර්ශනවලට අනුව පොලිස් නිලධාරියා සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානය අසල රථගාලට එන්නේ සී.ඒ.එන්. 7808 දරන කළු පැහැයට හුරු මෝටර් රථයක නැඟීය. එදින මේ නිලධාරියා වංචා විමර්ශන කාර්යාංශයෙන් මේ කටයුත්තට එන්නේ ද සවස 01:25 ට සිය සේවා මුරය අවසන් කරමිනි. නමුත් ඔහු මෙතැනට එන්නේ රාජකාරිමය කටයුත්තකට මෙන් පොලිස් නිල ඇඳුමෙන් සැරසීය. මෙම නිලධාරියා එහිදී පෙනී සිටින්නේ තමා පැමිණි මෝටර් රථය පවා පුද්ගලික එකක් බවටය.

එහි අංකය පරීක්ෂා කිරීමේදී නම් පෙනී යන්නේ එම මෝටර් රථය ‘වෙස්ටන් රෝහලේ’ ප්‍රධානී ‘මොහොමඩ් හුසේන් රිස්වි සරිෆ්’ගේ දියණිය ‘හබීනා සරීෆ්’ ට අයත් රථයක් බවය. වකුගඩු ජාවාරමට රෝහලේ සම්බන්ධයක් නැති නම් පොලිසියට මේ ගැන පැමිණිල්ලක් ඉදිරිපත් නොකර පොලිස් නිලධාරියකුව කුලියට ගෙන විකුණූ වකුගඩුවලට මුදල් ඉල්ලා සිටි අහිසංකයන් පිරිසකට ‘පොලිස් පාට්’ දමා බිය ගැන්වූයේ ඇයි දැයි යන්න සැබවින්ම ගැටලුවකි.

මෙම වකුගඩු ජාවාරම ගැන පැමිණිලි පොලිස් පොත්වල ලියැවෙන්නට ගන්නේ පොලිස් නිලධාරියා විසින් කළ ‘කෙළිය’ රූපවාහිනී නාළිකාවෙන් මුළු රටටම කියූ පසුවය. එදා බොරැල්ල පොලීසියේ මේ ගැන ලියැවුණු පැමිණිලි ගණන 05 කි. ඒ හැමෝම සිය වකුගඩුව අලෙවි කළ අයය. ඔවුන්ගේ වකුගඩුව ගලවා ගන්නේත් එවා වෙනත් අයට බද්ධ කෙරෙන්නේත් ‘වෙස්ටන් රෝහල’ තුළදීය. එසේ නොවේ යැයි රෝහල් බලධාරීන් පවා කියන්නේ නැත.

මෙම වකුගඩු ජාවාරම ගැන බොරැල්ල පොලීසියට පැමිණිලි කළ අය අතර කොළඹ 15 ශ්‍රී පඤ්ඤානන්ද මාවතේ පිහිටි සත්හිරු සෙවණ තට්ටු නිවාස සංකිර්ණයේ ජීවත්වන කිරි දෙන දෙදරු මව ද වූවාය. ඇය පොලීසියට පවසා ඇත්තේ ඇය පදිංචි නිවාස සංකීර්ණයේ ජීවත්වන ‘සෝමා’ නැමැත්තියගේ දියණියගේ සැමියා විසින් වකුගඩුවක් ලබාදීමට කැමැත්ත තමාගෙන් විමසා සිටි බවය. ඒ ඔක්තෝබර් මාසයේ මුල් සතියේ දිනයකදීය. එහිදී ඔහු ඇයට පවසා ඇත්තේ ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 ක් ලැබෙන බවකි. වකුගඩුව විකුණා මුදල් අහිමි වී සිටින පුද්ගල ගොන්නේ වකුගඩුවක් ලබාදීමට ඇයව පොලඹවන ලද පුද්ගලයා ද සිටීම විශේෂත්වයකි.

ඇය පොලිසියට පවසා ඇත්තේ වකුගඩුව අලෙවි කරන්නට පෙර ඊට සිය සැමියාගේ අවසරය ද ලබා ගත් බවය. ඒ වන විට පැවති අගහිඟකම් ගැනද දරුවන්ගේ අනාගතය ගැනද හිතා ඇය සිය සැමියා සමඟ කතාබහ කර එකඟතාවකට එළඹෙන්නේ තමාගේ එක් වකුගඩුවක් රුපියල් ලක්ෂ 50 කට විකුණන්නටය. සෝමාගේ බෑනා විසින් එහිදී ඇයව රැගෙන ගොස් ඇත්තේ ‘වෙස්ටන් රෝහල’ටය. එහිදී ඇයව රෝහල තුළදී මුණ ගස්වන්නේ ‘ඌෂා’ නැමැති දෙමළ ජාතික කාන්තාවකට ය. ඒ මැය ද දෙමළ කතක් වූ බැවිනි. රෝහල තුළට ඇයව රැගෙන යන ‘ඌෂා’ එහිදී වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට ඇයව ලක්කර ඇත්තේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයේ ඇය සිටින්නේදැයි සැකහැර දැන ගැනීමටය. ඒ අතර වකුගඩු බද්ධ කිරීමට ‍පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන්ගෙන් ඇගේ වකුගඩුව ගැළපෙන්නේ කාටදැයි කියාත් එහිදී සොයා බලා ඇත්තේය. ඒ සියලු වෛද්‍ය පරීක්ෂණවලට පෙනී සිටි ඇයව නැවත කොළඹ 13 මට්ටක්කුලියේ පිහිටි නිවාස සංකීර්ණයට රැගෙන ගොස් නිවසටම ඇරලවන්නේද ‘ඌෂා’ විසින්මය.

අනතුරුව ‘වෙස්ටන් රෝහල’ තුළදි කෙ‌රෙන ශල්‍යකර්මයකින් මැයගේ වකුගඩුව ගලවා ගන්නේ ඔක්තෝබර් 31 වෙනිදා ය. ඊට පසුදින ඇගේ දුක සැප සොයා බැලීමට රෝහලට පැමිණෙන ‘සඳුන්’ නැමැති තැරුව්කරු ඇගේ මිට මොලවන්නේ රුපියල් 75,000 කි. එහිදී ඔහු ඇයට පවසන්නේ රුපියල් ලක්ෂ 50 ක් නොව, ලක්ෂ 60 ක්ම ලබා දෙන බවය. ඒ මුදල ඇයට ලබා දෙනවා යැයි කියන්නේ ඇය රෝහලෙන් පිටව නිවසට පැමිණි විගසය.

ඇයට නිවසට යන්නට ඉඩ ලැබෙන්නේ සැත්කමින් සිවුදිනකට පසුවය. අවාසනාවක තරම වන්නේ රුපියල් ලක්ෂ 60 වෙනුවට ඇයට මෙන්ම සෙසු සිවුදෙනාටම (4) ලැබෙන්නේ බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානය අසල රථගාලේදී ලද රුපියල් ලක්ෂ 02 පමණක් වීමය.

මේ ගැන බොරැල්ල පොලිසියේ ලියැවුණු පැමිණිලි ගැන විමර්ශන පැවැත්වීමේ වගකීම කොළඹ අපරාධ කොට්ඨාසයට පැවරෙන්නේ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝගයෙනි. ඒ මෙම ජාවාරම ගැන විධිමත් විමර්ශනයක් සිදු කිරීම සඳහාය.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කරනවාත් සමඟ සියල්ල කණපිට හරවා වකුගඩු ජාවාරම වෙනතකට යොමු කිරීමේ කූඨ සැලසුමක්ද ක්‍රිත්මක වන්නට වූයේ ‘වෘෂණ කෝෂ’ බද්ධ කිරීමක් ගැන අමුතු කතාවක් මතු කරමිනි. සායනිකව හෝ පර්යේෂණාත්මක වශයෙන් ලෝකයේ කිසිදු රටක සිදු කර නැති මෙම අමුතු බද්ධ කිරීමක් ගැන කතාවක් එළියට දමන්නේ ද ඊට ලොකු ප්‍රචාරණයක් ද ලබා දෙමිනි.

මුදලට වකුගඩුවක් ලබා දුන් අයකුගේ සහෝදරයකු විසින් කී කතාවක් පදනම් කරගෙන ලොකු ප්‍රචාරයක් ඊට ලබා දෙන්නේ වෘෂණ කෝෂ බද්ධ කිරීම් ගැන අඩුම තරමින් අන්තර්ජාලය පිරික්සා තොරතුරු සොයා බැලීමකින්ද තොරවය. වෘෂණ කෝෂ බද්ධ කිරීම් ගැන සමාජයේ ලොකු කතාබහක් ඇතිවීමට පවා පටන් ගැනෙන්නේ සැබෑ ලෙසම එවැනි බද්ධ කිරීම් සිදුවන බව සිතා ගෙනය.

“ලක්ෂ 32 ක් දෙනවා කිව්වා. ඒත් ලැබුණේ ලක්ෂ 22 යි. මල්ලිගේ සල්ලි මගේ අතටමයි දුන්නේ. හොස්පිටල් එක ඇතුළේ තුන්වැනි තට්ටුවේ කාමරයකදී. මල්ලි වකුගඩුවක් දුන්න නිසා මටත් හිතුණා දෙන්න. ණය තියෙන හින්ද ඒවත් බේරගෙන ගේ කෑල්ලක් ගන්නත් එක්ක හිතාගෙන. ටෙස්ට් වලට ගියාම කිව්වා මගේ ඇඟ බර වැඩියි කියලා. ඇඟ බස්ස ගෙන එන්න කිව්වා. ඒ වෙලාවේ ‘බායි’ මගෙන් ඇහුවා ළමයි ඉන්නවද කියල. මම කිව්වා ඉන්නවා කියල. ඒ වෙලාවේ එයා ඇහුවා කැමති ද වම් පැත්තෙ වෘෂණ කෝෂය දෙන්න කියල. රුපියල් ලක්ෂ 70 ක් දෙන්නම් කිව්වා. මම ඒකට කැමති වුණා.

එයා කිව්වා මේක දුන්නට පස්සේ ළමයි හම්බ වෙන්නේ නැහැ කියලත්. මම ඒත් කැමති වුණේ සල්ලි හම්බ වෙන නිසයි. ණය තියෙන නිසයි. මේ හයදෙනාගේ (6) ඉවර වුණාම මගේ ගන්නවා කියල කිව්වා. හැබැයි අනිත් අයට සල්ලි දුන්නේ නැති නිසා මම ඊට පස්සේ මගේ වෘෂණ කෝෂය දෙන්න ගියේ නැහැ.” වෘෂණ කෝෂ බද්ධය ගැන කතාව සමාජගතවූයේ මේ කතාවත් සමඟිනි.

රූපවාහිනී නාළිකාව ඉදිරියේ මේ කතාව මේ පුද්ගලයා කියන විට ඊට තටු ලැබෙමින් බොහෝ මාධ්‍ය මේ ගැන පුළුල් ප්‍රචාරයක් දුන්නේ ‘වෙස්ටන් රෝහලේ වෘෂණ කෝෂ ජවාරමක්’ ද සිදුවන බව කියමින් ඒ ගැන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක් ද පවත්වන බව සඳහන් කරමිනි. මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය එම මාධ්‍ය වාර්තා සියල්ලක්ම ප්‍රතික්ෂේප කළා පමණක් නොව, පොලිසියේ නිල ප්‍රකාශකවරයා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව ද එය බොරුවක් යැයි ප්‍රකාශ කළේය.

මෙම වකුගඩු ජාවාරමේ ප්‍රධාන තැරුව්කරුවා වූ ‘බායි’ ඒ වන විට සිටියේ පොලීසියට කට්ටි පනිමින් සැඟවීය. ඔහු එළියට එන්නේ දින ගණනාවකට පසුවය. ඒ නීතිඥවරයෙක් මඟින් කොළඹ අපරාධ කොට්ඨාශයට පසුගිය 05 වෙනිදා බාර වෙමිනි. එහිදී ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී පවා ‘වෘෂණ කෝෂ බද්ධ කිරීම’ ගැන වූ කතාව ප්‍රතික්ෂේප කර තිබුණේ එවැනි බද්ධ කිරීම් සඳහා තමා කිසිවෙකුත් ‘වෙස්ටන් රෝහල’ට සම්බන්ධකර දී නැති බව කියමිනි.

ප්‍රශ්න කිරීම් හමුවේ ‘බායි’ගේ කටින් බොහෝ දේවල් එළියට ආවේය. මේ ජාවාරම හා බැඳී සිටින තවත් තැරුව්කරුවන් හය හත්දෙනෙකු (6-7) ගැනද තොරතුරු ඒ අතර විය. ‘සඳුන්’ගේ නමද ඇත්තේ ඒ අය අතරය.

දැනගන්නට ඇති ආකාරයට අනුව වකුගඩු ජාවාරම ගැන විමර්ශන තාමත් ඇත්තේ ප්‍රථමික අවධියේය. කොළඹ අපරාධ කොට්ඨාශය තවමත් සිටින්නේ සාක්ෂි රැස්කරමිනි. ඒ සෞඛ්‍ය අංශයේද සහය ඇතිවය. කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශකයන්ට මෙතෙක් ඔවුන් කර ඇති විමර්ශනවලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව මෙම ජාවාරම හරහා සිදුවී ඇත්තේ ආර්ථික දුෂ්කරතා ඇති දිළිඳු පවුල් මුළා කර විශාල මුදලක් ලබාදෙන බවට රැවටීමකට ලක්කර ඒ අයගේ වකුගඩු ගලවා අතමිට සරු දෙස් විදෙස් පුද්ගලයන්ට බද්ධ කිරීමකි.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙතෙක් කර ඇති විමර්ශන වලින් පෙනී ගොස් ඇති ආකාරයට අනුව ‘වෙස්ටන් රෝහල’ තුළ ගෙවී ගිය තිස් එක් (31) වසර තුළ කර ඇති වකුගඩු බද්ධ කිරීම් ගණන 1200 කට වැඩිය. ඒ අතර විදේශිකයන්ද සැලකිය පිරිසක් සිටීමද විශේෂිතය. එසේම මේ කාලය තුළ ‘ඩයලිසිස්’ කර ඇති වකුගඩු රෝගීන් ගණන 10,000 කට වැඩිය.

අනාවරණය වී ඇති ආකාරයට අනුව මෙම වසර තුළ පමණක් මෙතෙක් කර ඇති වකුගඩු බද්ධ කිරීම් ගණන 52 කි. කොළඹ අපරාධ කොට්ඨාසය සූදානම් වන්නේ මෙම වසරේ සිදුකර ඇති මෙම වකුගඩු බද්ධ කිරීම් 52 ගැන සියුම් විමර්ශනයක් කරන්නටය. ඒ එම රෝගීන් 52 හඳුනා ගනිමින් ඒ අයට වකුගඩු පරිත්‍යාග කළ පුද්ගලයන් කවුරුන්දැයි සොයා බලන්නටය. කොළඹ අපරාධ කොට්ඨාසය විශ්වාස කරනුයේ ඒ ඔස්සේ මෙතෙක් හෙළි නොවූ බොහෝ දේවල් මතුවනු ඇති බවය.

ඒ මත රෝහල් බලධාරීන් රටින් පිටව යෑමේ අවධානමක් ද කොළඹ අපරාධ කොට්ඨාශයට මතුවන්නේ මේ නිසාය. ‘මහාචාර්ය මොහොඩ් හුසේන් රිස්වි සරීෆ්’ ඇතුළු රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 06 දෙනෙකුට රට ගමන් තහනමක් අධිකරණය හරහා පැනවීමට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වගබලා ගන්නේද එබැවිනි.

ඒ අය අතර එදා බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානය අසල රථ ගාලට පොලිස් නිලධාරියා ගමන් ගත් මෝටර් රථයේ හිමිකාරිනියද සිටින්නීය. විමර්ශන වලින් මේ වන විට අනාවරණය වී ඇත්තේ එම පොලිස් නිලධාරියා එදා සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානය අසල රථගාලට යන්නේ ‘වෙස්ටන් රෝහලේ’ සිට බවය. සියල්ල අවසන්ව ඔහු යන්නේත් ‘වෙස්ටන් රෝහල’ වෙතය.

මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාසය සිය විමර්ශන ඔස්සේ තවත් සුවිශේෂි කරුණක් ද හෙළි කර ගත්තේය. ඒ එම රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයකුගේ ද වකුගඩුවක් රුපියල් ලක්ෂ 95 ක් දෙන්නම් යැයි කියා ගලවාගෙන රුපියල් ලක්ෂ 10 ක් වත් ලබාදී නොමැති බවය. එම සාමාජිකයාගේ වකුගඩුව බද්ධ කර ඇතැයි කියැවෙන්නේ වෙන කිසිවකුටත් නොව, රෝහලේ ප්‍රධානියා වන ‘මහාචාර්ය මොහොමඩ් හුසේන් රිස්වි සරීෆ්’ටය.

මුදලට වකුගඩු විකිණීමේ ජාවාරම ගැන තමන් කිසිවක් නොදන්නා බව ‘වෙස්ටන් රෝහල්’ පරිපාලනය කියන්නේ මෙවැනි සාක්ෂි ගොන්නක්ම කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබියදීය. විද්‍යාත්මක මෙන්ම පර්යේෂණාත්මක සාක්ෂිද රැස්කරමින් සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද සහය ඇතිවය. මේ ලිපිය සටහන් තබන මොහොත වන විටත් මෙම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටියේ ‘බායි’ නැමැති ප්‍රධාන තැරැව්කරු පමණි. පොලිස් නිලධාරියාට එරෙහිවවත් නීතිය ක්‍රියාත්මක වී නොතිබුණි. ඔහු තවමත් සුවසේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ සේවයේ නිරත වෙමින් සිටින්නේ එතැනින් ඔහුව ඉවත් කරන ලෙස වංචා විමර්ශන කාර්යාංශයේ ප්‍රධානීන් පොලිස් බලධාරීන්ගෙන් ලිඛිතව ඉල්ලා සිටියදීය.

මෙයට පෙර පැවති වකුගඩු ජාවාරම් ගැන කෙරුණු විමර්ශන මෙන්ම මෙම වකුගඩු ජාවාරම ගැන විමර්ශන ද අඩපණ කිරීම සඳහා මෙහි සැඟවුණු ජාවාරම්කරුවන් දැඩි වෙහෙසක් ගනු ඇත. කුඩු ජාවාරම්කරුවන් මෙන්ම ඔවුන් ද අල්ලන්නට හැකි හැම තැනක්ම අල්ලන්නට මුදල් ද විසිකරනු ඇත. ඒ හැම බලපෑමකින්ම ගැලවී ‘කොළඹ අපරාධ කොට්ඨාසය’ මෙම ජාවාරමේ මහ මොළකරුවන් නීතියට කොටුකර ගන්නා අයුරු දකින්නට දැන් මුළු රටම බලා සිටින්නේ දෑස් අයාගෙනය.

ගයාන් කුමාර වීරසිංහ

++++++++++

Western Hospital, 218 Cotta Road, Colombo 8, (Borella,) Sri Lanka

++++++++++

In 1984, Prof Rezvi Sheriff established his own private hospital on Cotta Road to address the growing problem of kidney related diseases and the need for dialysis and kidney transplantation in Sri Lanka. This was the beginning of Western Hospital’s journey.
.
Professor Rezvi Sheriff (MBBS, MD, FRCP, FRACP, FRCPE, FCCP, FNASSL, FSLCGP), who is widely regarded to be the ‘Father of Nephrology’ by the medical community in Sri Lanka. Nephrology is the branch of medical science that deals with diseases of the kidneys. He was born on 4-11-1948.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *