මෙරටින් පළමු ‘වඳුරු උණ’ (මන්කි පොක්ස්) රෝගියා වාර්තා වෙයි

මෙරටින් පළමු ‘වඳුරු උණ’ (මන්කි පොක්ස්) රෝගියා වාර්තා වෙයි

*********************************************

මෙරටින් පළමු ‘වඳුරු උණ’ (මන්කි පොක්ස්) රෝගියා වාර්තා වෙයි

(04.11.2022 – 07:48 +0530 – hirunews.lk/sinhala)

පළමු වරට ශ්‍රී ලංකාවෙන් වඳුරු උණ (මන්කි පොක්ස්) ආසාදිතයකු හමු වී තිබෙනවා.

ආසාදිතයා ඩුබායි සිට පැමිණි 20 හැවිරිදි තරුණයකු වන අතර, ඔහු නොවැම්බර් 01 වැනි දා මෙරටට පැමිණි අයෙක්.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව තහවුරු කළා.

ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණායතනය විසින් ඊයේ (03) දිනයේ දී සිදු කරන ලද වෛරස් පරීක්ෂාවකින් අනතුරුවයි මේ බව තහවුරු කර ඇත්තේ.

අදාළ පුද්ගලයාට පෙරේදා (02) දිනයේ දී උණ සහ සමේ බිබිලි සහිත ජාතික ලිංගාශ්‍රිත රෝග සායනයට හෙතෙම පැමිණ තිබෙනවා.

ඉන් අනතුරුව මෙම රෝගියාගේ වසා ගැටිති ඉදිමී ඇති අතර පසුවයි ඔහුගේ සාම්පල වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කර ඇත්තේ ෴

++++++++++

++++++++

වඳුරු උණ ගැන බය වෙන්න එපා – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

(04.11.2022 – 19:50 +0530 – hirunews.lk/sinhala)

මන්කිපොක්ස් හෙවත් වඳුරුඋණ වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් බැවින් ඒ පිළිබඳ අනියත බියක් ඇති කර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙනවා.

මෙරටින් මන්කිපොක්ස් හෙවත් වඳුරුඋණ වැළඳුණු පළමු රෝගියා හඳුනා ගැනීම සම්බන්ධයෙන්, මාධ්‍ය වාර්තා කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යංශයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන අද (04) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි මේ බව කියා සිටියේ.

ඩුබායි සිට මෙරටට පැමිණි කැළණිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු මන්කිපොක්ස් හෙවත් වඳුරුඋණ වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමෙන් පසු පෙරේදා රෝහල් ගතකර තිබුණා.

මෙම රෝගියා සම්බන්ධයෙන් මාධ්‍යට ලබා දුන් විශේෂ ප්‍රකාශයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ අදාළ රෝගියාගේ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධායනයට ලක්කර ඇති බවයි.

එහිදී වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ද මාධ්‍ය වෙත අදහස් පල කළා. ඔහු කියා සිටියේ අදාළ රෝගියා මෙරටට පැමිණ පැය විසි හතරක් (24) වැනි කෙටි කාලයක් තුළ සෞඛ්‍ය අංශ වෙත වාර්තා කර ඇති බවයි.

මේ අතර, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් අද (04) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන් වෛරසයට පහසුවෙන් ගොදුරු විය හැකි අවධානමක පසුවන බැවින් ඔවුන්ට ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දිය යුතු බවයි.

මන්කිපොක්ස් හෙවත් වඳුරුඋණ වෛරසය ආසාදනය වූවන් 73,437 දෙනෙකු මේවන විට ලොව පුරා රටවල් සහ පරිපාලන කළාප 106 කින් හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වෛරසය ආසාදනයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 29 ක්.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (04) නිවේදනය කළා ෴

+++++++++

++++++++++

මන්කිපොක්ස් ආසාදිතයාගේ ආශ්‍රිතයින් කිසිවෙකුට මෙතෙක් වෛරසය ආසාදනය වී නැහැ

(05.11.2022 – 13:21 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් හඳුනාගත් මන්කිපොක්ස් ආසාදිතයාගේ ආශ්‍රිතයින් කිසිවෙකුටත් මේ දක්වා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ සිදුකළ පරීක්ෂණවලින් මේ බව අනාවරණ වී ඇති බවයි.

එසේ ම ආසාදිත පුද්ගලයාට ප්‍රතිකාර කිරීමේදී සෞඛ්‍ය කාර්යමණ්ඩලය ආරක්ෂිතව කටයුතු කරන බැවින් වෛසරය පැතිරීමේ අවදානමක් නොමැති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

මන්කිපොක්ස් හෙවත් වඳුරුඋණ වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් බැවින් ඒ පිළිබඳ අනියත බියක් ඇති කර නොගන්නා ලෙසද ඔවුන් සඳහන් කළා.

පසුගියදා ඩුබායි සිට මෙරටට පැමිණි කැළණිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකු පළමු වරට මන්කිපොක්ස් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුනු අතර, ඔහු මේ වනවිට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් පසුවනවා ෴

+

***************************************

ගත වූ මාස තුනේ (3) බස්නාහිරින් ලාදුරු රෝගීන් 364 ක්

(04.11.2022 – 07:33 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මාස 03 ඇතුළත බස්නාහිර පළාතෙන් ලාදුරු රෝගීන් 364 දෙනෙකු සොයාගෙන තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 168 ක් ගම්පහින් 114 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 82 ක් මෙලෙස රෝගීන් හමු වී ඇති බව යි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරය සඳහන් කළේ.

එසේම මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 126 ක් වාර්තා වී තිබෙනවා.

මෙරට ලාදුරු රෝගීන් හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවළක් ක්‍රියාත්මක කරන බව යි සෞඛ්‍ය අමාත්‍යංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර කියා සිටියේ.

ඉදිරි මාස 06 තුළ 2017 වසරේ දී ලාදුරු රෝගය ආසාදනය වූවන්ගේ ඥාතීන් පරීක්ෂා කිරීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා සිදු කිරීමට ද නියමිත යි ෴

***************************************

ක්‍රීඩා ඇමතිගේ ප්‍රමාදවීමෙන් මෙරට ක්‍රීඩකයින්ට ලෝක කායවර්ධන ශූරතාවලිය අහිමි වෙයි

(03.11.2022 – 22:11 +0530 – sinhala.adaderana.lk)

ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලෝක කායවර්ධන ශූරතාවලියට සහභාගීවීමට සුදුසුකම් ලැබු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඊට සහභාගීවීමට අවශ්‍ය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවීම ප්‍රමාදවීම නිසා ඒ අවස්ථාව අහිමිවී ගිය පුවතක් ‘අද දෙරණ’ට වාර්තා විය.‍

ලෝක කායවර්ධන ශූරතාවලිය නොවැම්බර් 02 වනදා සිට 07 වනදා දක්වා ස්පාඤ්ඤයේදී පැවැත්වෙයි.

මෙම තරගාවලිය නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් තිදෙනෙකු (3) සුදුසුකම් ලබාගෙන තිබේ.

එම තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලැබුවත්, ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතපසුවීමක් නිසා මෙම ක්‍රීඩකයින්ට ලෝක කායවර්ධන ශූරතාවලිය නියෝජනය කිරීමට අවස්ථාව අහිමිවී ගිය බවට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය චෝදනා කරයි.

***************************************

ජනතා ගැටලුවලට සවන් නොදෙන අයට ඡන්දය දෙන්න එපා – කාදිනල් හිමි

(04.11.2022 – 08:01 +0530 – sinhala.adaderana.lk)

රටේ ජනතාවගේ ගැටලු හමුවේ සංවේදී නොවන මහජන නියෝජිතයින් වෙත යළි කිසිදු දිනක ඡන්දය භාවිත නොකරන ලෙස කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඉල්ලීමක් කරයි.

උන්වහන්සේ පෙන්වාදෙන්නේ ස්ථාවර වැඩපිළිවෙලක් සහිත දිළිඳු සමාජය වෙනුවෙන් පෙනී සිටිය හැකි නීතිගරුක නායකත්වයකට පමණක් රටේ අර්බුද විසඳිය හැකි බවය.

“ඉස්සර තිබුණා කොට්ඨාස ක්‍රමයක්. ඒ ක්‍රමයට අපි මන්ත්‍රීවරයෙක්ව පත් කළාම ඔහු බලනවා පුළුවන් තරම් ඔහුගේ ප්‍රදේශයේ ජනතාව ගැන. දැන් එහෙම එකක් නෑ. මුළු දිස්ත්‍රික්කයේම ඡන්ද හොයන්න යන්න ඕනේ. ඡන්දෙ දීපු මිනිස්සු ආපුවාම එළවගන්නවා.”

“ආදරණීය ජනතාවනී.. දෙන්න එපා මේ අයට ඡන්දය. ඡන්දය දෙන්න ඕනේ මේ රටේ ජනතාව ගැන සංවේදී තත්ත්වයකින් කටයුතු කරන්න පුළුවන් නායකත්වයකට පමණයි.”

+++++++

***************************************

සිසුන්ට විෂ දුම් පෙව් සිවුදෙනා (4) ගේ තීන්දුව

(03.11.2022 – aruna.lk)

විෂ වායුවක් පානදුර රාජකීය ප්‍රාථමික විදුහලේ සිසුන් 40 කට අධික පිරිසකට ආග්‍රහනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පානදුර දකුණ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කල පුද්ගලයින් සිව්දෙනා (4) ගෙන් තිදෙනකු ලබන 14 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක ඊයේ (03) නියම කලේය.

පානදුර , නල්ලුරුව ප්‍රදේශයේ පදිංචි ලිඳමොලගේ ඉන්දික සිල්වා, චමිල කුමාර පීරිස් සහ තුසෙව් වඩුගේ සුරංග සමන්සිරි යන තිදෙනෙකු (3) මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි

ඉකුත් 02 දා පානදුර රාජකීය ප්‍රාථමික විදුහල පිටුපස නිවසක් ඉදිරිපිට කසළ ගොඩක දමා වයර් තොගයක් පිලිස්සීමෙන් සිසුන් 40 කට වැඩි පිරිසකට විෂ වායුවක් ආග්‍රහණය වී රෝහල් ගතකල බවත්, මේ වනවිටත් අට දෙනෙකු (8) නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් සැරයන් එච්.ඒ.යූ. ආනන්ද අධිකරණය හමුවේ කියා සිටියේය.

දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති හයක් යටතේ මිනී මැරීමට තැත්කිරීම, තුවාල සිදුකිරීම , නොසැලකිලිමත් ක්‍රියාවකින් මහජන සෞඛ්‍යට හා ආරක්ෂාවට හානි සිදුකිරීම සහ රජයේ නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය යන චෝදනා සැකකරුවන්ට එරෙහිව නගා ඇති බව අධිකරණයේදී කරුණු අණාවරණය විය.

1, 2 සහ 3 වන විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ම.දො. විජයපාල සදහන් කලේ සිය සේවාදායකයන් තිදෙනා (3) දුප්පත් අහිංසක මිනිසුන් බවත්, කම්බි අලෙවිකිරීම ඔවුන් කාලයක් මුළුල්ලේ රැකියාව ලෙසින් සිදුකරන බවත් කිසිවෙකුටත් හිරිහැරයක් හෝ මරණීය චේතනාවෙන් සිදුකල ක්‍රියාවක් නොවන බැවින් ඇප ලබාදෙන ලෙසයි.

පෙර සැකකරුවන් විසින් රැගෙන ආ තඹ කම්බි කිලෝ 01 යි ග්‍රැම් 300 ක් රුපියල් 1350 ක මුදලකට මිලදීගත් තම සේවාදායකයා වන 4 වන සැකකරු මෙම සිද්ධියට සම්බන්ධයක් නොමැති බැවින් ඇප ලබාදෙන ලෙස නීතිඥ දිලූක එම් සිල්වා මහේස්ත්‍රාත්වරයා හමුවේ ඉල්ලා සිටියේය.

ඒ අනුව 4 වන සැකකරු වන පානදුර ජයතිලක මාවතේ පදිංචි ජයසිංහගේ බුද්ධික අශෝක කුමාර යන අය රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී වැඩිදුරටත් නියම කලේය.

1, 2 සහ 3 වන විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ ම.දො. විජයපාල මහතා ද, 4 වන සැකකරු වෙනුවෙන් නීතිඥ දිලූක එම් සිල්වා මහතා පෙනීසිටි අතර , සැරයන් එච්.ඒ.යූ. ආනන්ද (13660) සහ කොස්තාපල් පී.ඩී. ලක්මාල් (79726) පොලිසිය වෙනුවෙන් අධ්කරණයට කරුණු වාර්තා කලහ.

නඩුව ලබන නොවැම්බර් 14 දා යළි කැඳවීමට නියමිතයි ෴

***************************************

03-11-2022

++++++++

02-11-2022

++++++++++

ජානකී සිරිවර්ධන අත්අඩංගුවට

(04.11.2022 – 12:41 +0530 – sinhala.adaderana.lk)

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංවාවලට සම්බන්ධ බව කියන ජානකී සිරිවර්ධනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඇයව කොටුව ක්‍රිස් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයකදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ජානකී සිරිවර්ධන ක්‍රිස් සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන අතර ඒ අනුව ඇයව එහිදී අත්අඩංගුවට ගෙන තිබේ ෴

ජානකී සිරිවර්ධන – Photo from colomboxnews.com

+++++++++++

තිලිණි ප්‍රියමාලිගේ සහ ජානකී සිරිවර්ධනගේ හඬ පටයක් එළියට

(04.11.2022 – 21:46 +0530 – hirunews.lk/sinhala)

තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන අතර සිදුවූ බවට පැවසෙන දුරකථන සංවාදයක හඬපටයක් හිරු ප්‍රවෘත්ති වෙත ලැබි තිබෙනවා.

මේ අතර තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාවන්ට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගත් ක්‍රිෂ් කාල්ටන් සමාගමේ විධායක අධ්‍යක්ෂකවරියක වන ජානකී සිරිවර්ධන ගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ ප්‍රකාශ සටහන් කරගැනීම රාත්‍රිය වනතෙක්ම සිදුවුවහොත් සැකකාර ජානකී සිරිවර්ධන අද (04) දිනයේදී අධිකරණයට ඉදිරිපත් නොකරනු ඇති බවයි.

බරපතල මූල්‍ය වංචා චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිනි ප්‍රියමාලිගේ මුදල් ගනුදෙනුවලට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ ව්‍යාපාරික කාන්තාවක් වන ජානකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තා.

ඒ කොළඹ කොටුවේ පිහිටි රිට්ස් කාල්ටන් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසූවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකාර ජානකී සිරිවර්ධනගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවයි.

ඇයගෙන්ල තිළිණි ප්‍රියමාලි සිදු කරන ලද මූල්‍ය වංචාවන්ට අදාලව ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කරන අතර මීට පෙර ජානකී සිරිවර්ධන ලබාදුන් ප්‍රකාශ සම්බන්ධයෙන්ද නැවත ප්‍රශ්න කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මීට පෙර ස්ථානීය පරීක්ෂා කිරිම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක් අවස්ථාවකදී තිළිණි ප්‍රියමාලි රිට්ස් කාල්ටන් ප්‍රධාන කාර්යාලට රැගෙන ආ අවස්ථාවේදීදල සැකකාර ජානකී සිරිවර්ධනවද එම ස්ථානයට කැඳවා තිබුණා.

නමුත් එම අවස්ථාවේදී ජානකි සිරිවර්ධන අත්අඩංගුවට ගත්තේ නැහැ.

++++++++++++

ජානකී සිරිවර්ධන රිමාන්ඩ්

(05.11.2022 – 14:46 +0530 – hirunews.lk/sinhala)

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිදුවීම්වලට අදාළව අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, අද (05) ඇය අලුත්කඩේ අංක 3 අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී ජානකී සිරිවර්ධනගේ නීතීඥයන් විසින් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ වැඩබලන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා, ඇය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (04) දහවල් ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගනු ලැබුවේ තිලිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිදුවීම්වලට ආධාර අනුබල ලබාදීමේ චෝදනාවට අදාළවයි ෴

++++++++++++++

තිලිණි – සිරිසුමන ඩබල

සුදු සාදු නිතරම ජානකීගේ ඔෆිස් එකේ

***************************************

ශ්‍රී ලංකාව ප්‍රංශයට නිපද වූ නෞකාව

(04.11.2022 – 13:48 +0530 – hirunews.lk/sinhala)

මෙරට නෞකා තැනීමේ කර්මාන්තයේ තවත් පරිච්ඡේදයක් සනිටුහන් කරමින් කොළඹ නැව් තටාකාංගන සමාගම ප්‍රංශය සඳහා ද නෞකාවක් නිපදවා තිබෙනවා.

එම නෞකාව උත්සවාකාරයෙන් දියත් කෙරුණේ ජපානයේ සහ ප්‍රංශයේ තානාපති කාර්යාල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන්.

කොළඹ නැව් තටාකාංගන සමාගම මෙම නෞකාව නිපදවා ඇත්තේ ප්‍රංශ සමාගමක් සඳහායි.

දියඹේ රැහැන් ඇදීමේ සහ පිළිසකර කටයුතු යොදා ගැනෙන මෙම නෞකාව දිගින් මීටර 100 ක්.

නෞකාව දියත් කිරීමේ උත්සවය පැවැත්වුණේ කොළඹ නැව් තටාකාංගන පරිශ්‍රයේදියි.

ප්‍රංශයේ ‘ඔරේන්ජ් මැරින්’ සමාගම සඳහා නිම වූ මෙම නෞකාව ඉතා ඉහළ ප්‍රමිතියෙන් ඉදිකර දීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා සිය ප්‍රශංසාව පළ කළා.

කොළඹ නැව් තටාකාංගන සමාගමේ සභාපති හිදෙකි ටනාකා පැවසුවේ කොවිඩ් වසංගතය සහ ආර්ථීක අර්බුදය මධ්‍යයේ වුවද ශක්තිමත්ව නැගී සිටිමට ඇති හැකියාව මෙමගින් ඔප්පු වන බවයි.

ජපානයේ පෞද්ගලික සමාගමක් සමග ඒකාබද්ධව මෙරට රාජ්‍ය ආයතනවල 35% ක කොටස් හිමිකාරීත්වයක් ඇති ‘කොළඹ නැව් තටාකාංගන සමාගම’ දශක 5 කට අධික කාලයක් තිස්සේ මෙරට නාවික ඉදිකිරීම් කර්මාන්තය ජාත්‍යන්තරයට ගෙන යාම වෙනුවෙන් දායකත්වය සපයනවා.

***************************************

CID ගිය CIA අනාවරණය

(04.11.2022 – 22:31 +0530 – hirunews.lk/sinhala)

මිරිස් වගාවක් මුවාවෙන් මුතූර් – සාෆි නගර්හි සිදුකළ වැලි ජාවාරම හරහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ සභාපතිවරයා රුපියල් මිලියන තුන්දාස් හත්සිය අසුවක (3780) මුදල් වංචාවක් සිදු කර ඇති බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා.

උන්වහන්සේ අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව පැමිණිල්ලක් ද ඉදිරිපත් කළා.

මිරිස් වගාවක් මුවාවෙන් ඉඩම් වෙන්කර ගෙන මුතූර් සාෆි නගර් හි සිදුකර ඇති මහා පරිමාන වැලි ජාවාරම සම්බන්ධයෙන් ‘හිරු සී.අයි.ඒ.’ පසුගිය දින දෙකේදී හෙළි කළා.

මෙම වැලි ජාවාරම හරහා සිදුව ඇති මහා පරිමාන මුල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අද (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

https://www.youtube.com/watch?v=f8FAWk55DCI#t=6

***************************************

https://www.youtube.com/watch?v=uyv5Wn7xJZM

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *