පොලිස් පිස්තෝලය ක්‍රියාත්මක වී පාසල් සිසුවෙකුට වෙඩිවදී

පොලිස් පිස්තෝලය ක්‍රියාත්මක වී පාසල් සිසුවෙකුට වෙඩිවදී

*********************************************

පොලිස් පිස්තෝලය ක්‍රියාත්මක වී පාසල් සිසුවෙකුට වෙඩිවදී

(28.10.2022 – 20:01 +0530 – sinhala.adaderana.lk)

පාසල් සිසුවෙකුට වෙඩිවැදීමේ සිද්ධියක් සමග මාතර තිහගොඩ පොලිස් ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

මෙලෙස වෙඩිවැදී ඇත්තේ වයස අවුරුදු 15 ක පාසල් සිසුවෙකුටය.

පාසල් සිසුන් පිරිසක් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී එය නවතා පරීක්ෂා කිරීමට යෑමේදී තිහගොඩ පොලීසියේ නිලධාරියෙකුගේ පිස්තෝල අවිය ක්‍රියාත්මකවීමෙන් සිසුවාගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබේ.

සිද්ධිය සිදුවී ඇත්තේ මිදෙල්ලවල කන්දපොල මාර්ගයේ ස්ථානයකදීය.

සිසුවා මේ වනවිට කරාපිටිය රෝහලේ දැඩි සත්තාක ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

එම සිද්ධියත් සමග ගම්වාසීන් තිහගොඩ පොලීසිය අසලට රැස්වීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථානවලින් නිලධාරීන් කැඳවා ඇති බවද වාර්තා විය.

එහිදී කඹුරුපිටිය පොලීසියේ ජීප් රථයකට පහරදීමක් ද සිදුවී ඇති බව අප වාර්තාකරු පැවසීය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වෙයි.

කෙසේවෙතත් සිද්ධියට මුහුණ දුන් සිසුවෙකු පවසා ඇත්තේ ත්‍රිරෝද රථය නතර කිරීමට පොලීසිය අණ නොකළ බවය.

+++++++++

(28.10.2022 – 21:32 +0530 – hirunews.lk/sinhala)

මාතර තිහගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 14 ක දරුවෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ සිවිල් ඇඳුමින් පැමිණි පොලිස් නිලධාරියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි.

මාතර තිහගොඩ, නායිම්බල ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ අද (28) පස්වරු 04:30 ට පමණ.

ළමුන් පස් දෙනෙකු (5) ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ සිසුවා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවුණා.

මෙලෙස වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබුයේ මාතර නායිම්බල මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන හරේෂ් හංසක දේශාන් නම් සිසුවෙක්.

කෙසේ වෙතත් සිද්ධිය සිදු වූ අවස්ථාවේදී අදාළ ත්‍රිරෝද රථයේ සිටි සිසුවෙකු චෝදනා කළේ සිවිල් ඇඳුමින් සැරසී පැමිණි පොලිස් නිලධාරියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ ‘වැටලීමක් අතරතුර සිදු වූ පොර බැඳීමකදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති’ බවයි.

මෙහි දී ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බවද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව කුපිත වූ ප්‍රදේශවාසීන් මාතර පොලිසිය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වුණා.

+++++++++++

තිහගොඩ වෙඩි වැදුණු සිසුවාට සැත්කම් දෙකක්

(29.10.2022 – 19:44 +0530 – hirunews.lk/sinhala)

මාතර – තිහගොඩ – නායිම්බල ප්‍රදේශයේ පොලිසිය සිදුකළ වැටලීමක් අතරතුර එල්ල වූ වෙඩි වැදීමකින් තුවාල ලැබූ 15 හැවිරිදි ළමයාට මේ වනවිට ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේදී ශල්‍ය කර්ම දෙකක් (2) සිදුකර තිබෙනවා.

ඔහුගේ හිසට වෙඩි වැදී තිබූ අතර, ඊයේ (28) දිනයේදී හිසේ ශල්‍යකර්මය සිදුකිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ පසුවීම හේතුවෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අනතුරුව යළිත් වතාවක් අද (29) දිනයේදී පළමු සැත්කමෙන් අනතුරුව, මොළයේ අභ්‍යන්තර රුධිර වහනයක් නිරීක්ෂණය වීම නිසා තවත් සැත්කමක් සිදුකර තිබෙනවා.

මේ වනවිට ළමයා තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ළමයින් 6 දෙනෙකු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි ත්‍රිරෝද රථයක සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරියෙකු මෙම වෙඩි තැබීම සිදුකළ බවයි සිද්ධිය ඇසින් දුටූවන් සඳහන් කළේ.

එහිදී තුවාල ලැබුවේ මාතර – නායිම්බල මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ හරේෂ් හංසක දේශාන් සිසුවායි.

පසුව, ප්‍රදේශවාසීන් විසින් තිහගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතවූ අතර, එහි නවතා තිබූ පොලිස් ජිප් රථයකට ද ගල් ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබුණා.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උප පොලිස් පරික්ෂකවරයා නොවැම්බර් මස 04 වන දා දක්වා රක්ෂිත බන්ධනගාර ගත කර තිබෙනවා.

ඒ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ උප පොලිස් පරික්ෂකවරයා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනාව එහි දී පිළිගෙන තිබෙනවා.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ අධීක්ෂණයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මුලිකත්වයෙන් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

එසේම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද සිද්ධිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එම කොමිසම් සභාවේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානය වෙත අද (29) පෙරවරුවේ පිටත්ව ගොස් තිබුණා.

+++++++++++

***************************************

ටී.එන්.ඒ පක්ෂය කුරුන්දි විහාරය අයෝද්‍යාවක් බවට පත්කරන්න හදනවා – ඇමැති මානසික බාධක පනවගෙන බලාගෙන ඉන්නවා – ජාතික සංවිධාන කියයි

(28.10.2022 – 20:33 +0530 – lankaleadnews.com)

කුරුන්දි විහාරයේ සංරක්ෂණ කටයුතුවලට බාධා කරමින් ඒ මගින් ආගම්වාදී, ජාතිවාදී ගැටුම් ඇවිළවීමට ටී.එන්.ඒ පක්ෂය ක්‍රියා කරන බව ජාතික සංවිධාන කියයි.

ඒ පිළිබද අදහස් දක්වන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කරන්නේ දෙමළ සන්ධානයට සහ ඩයස්පෝරාවට බයේ මානසික බාධක පනවගෙන ඇමැති උඩ බලාගෙන සිටින බවත්, ඇමැති අඩියක් පස්සට තබන විට පුරාවිද්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අඩි දෙකක් පස්සට තබන බවත් ය.

ඔවුන්ට පිටකොන්ද තිබේ නම් ජාතික උරුමයන් පාවා නොදී වහාම ඉල්ලා අස්විය යුතු බවද ඔහු සදහන් කරයි.

++++++++

යුද්ධයෙන් රට බේරාගත් ලෙසටම බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමටත් කැපවනවා – ජනරාල් ජගත් ඩයස්

(28.10.2022 – 21:45 +0530 – lankaleadnews.com)

උතුර හා නැගෙනහිර දෙපළාතේ ඉපැරැණි බෞද්ධ උරුමය විනාශ කිරීමේ දැවැන්ත ජාත්‍යන්තර හා ජාතික කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ජනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කළේ කුරුන්දි විහාරය හා උතුරු හා නැගෙනහිර දෙපළාතේ ඇති බෞද්ධ උරුමයන් රැකගැනීම උදෙසා ජාතික සංවිධාන විසින් පිහිට වූ ‘ජාතික උරුමයන් සුරැකීම සදහා වන සංවිධාන එකමුතුව’ විසින් සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

තමන් ක්‍රියාන්විත රාජකාරියේ නිරත වී සිටි වසර 35 ක පමණ කාලය පුරාවට උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල තිබූ බෞද්ධ උරුමයන් දැක ඇති බවත්, වර්තමානයේ මෙම උරුමය විනාශ කිරීම සදහා සතුරු බලවේග විසින් ක්‍රියාකරමින් සිටින බවත් ඔහු පවසයි.

යුද්ධයක් තිබුණු කාලයටත් වඩා යුද්ධයක් නොමැතිව රට පුරා විවිධ සතුරු කණ්ඩායම් දේශපාලයට, සංස්කෘතියට හා අගමට පහර දීමට පටන්ගෙන ඇති බවත්, එයට එරෙහිව පෙළගැසිය යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

යුද්ධයෙන් රට බේරාගත් ලෙසටම මේ රටේ බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට ද කැපවන බව ජනරාල් ජගත් ඩයස් මහතා වැඩිදුරටත් සදහන් කරයි.

++++++++++

මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

***************************************

ලිංගික උත්තේජන ඖෂධ භාවිතය නිසා සිදුවන මරණ ඉහළ ට

(29.10.2022 – 11:04 +0530 – sinhala.adaderana.lk)

ලිංගික උත්තේජන ඖෂධ භාවිත කිරීමෙන් සිදුවන මරණවල ඉහළයෑමක් නිරීක්ෂණය වී ඇති බව කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක ඉරේෂා දේශානි සමරවීර පවසයි.

ඇය පෙන්වා දෙන්නේ ඊට ප්‍රධාන හේතු කිහිපයක් බලපාන බවය.

“හිතුමතේ ලිංගික උත්තේජන ඖෂධ භාවිත කිරීම හේතුවෙන් සිදුවන පුද්ගල මරණවල වැඩිවීමක් අපි දකිනවා. මේ මරණවලට ප්‍රධාන හේතුවෙලා තිබුණේ, ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාගැනීම, මාත්‍රාව නොදැන ලබාගැනීම සහ වෛද්‍ය උපදෙස්වලින් තොරව මෙවැනි ඖෂධ භාවිත කිරීම.”

“මේ තත්ත්වයට යොමුවෙලා තිබුණේ වයස අවුරුදු 20-25 කාණ්ඩවල අයත් වයස අවුරුදු 40-45 කාණ්ඩවල අයත් තමයි.”

“බොහෝ තරුණයින් මෙම ලිංගික උත්තේජන ඖෂධ භාවිත කරලා තිබුණේ අත්හදාබැලීම් සඳහා.”

“මාසෙකට සිද්ධි දෙකක් තුනක් වගේ වාර්තා වුණා. එය ඇත්තටම ඉහළ අගයක්. ඒ නිසා මේ ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න වෙනවා.”

***************************************

සංගීත ශිල්පියා එල්ලකළ පිහිපහරින් පුංචි සදෙව්ට දිවි අහිමිවෙයි

(28.10.2022 – 18:15 +0530 – sinhala.adaderana.lk)

කොස්මෝදර පොලිස් වසමේ වරල්ල ඉලුක්කැටිය ප්‍රදේශයේ අඹු සැමි යුවළක් අතර ඊයේ (27) රාත්‍රීයේ ඇතිවූ බහින්බස්වීමක් අතරතුර සිදුකළ පිහි ප්‍රහාරයකින් කුඩා පිරිමි දරුවෙක් මරණයට පත්වී තිබේ.

එම ගැටුම ඇතිවී තිබුණේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක සාමාජිකයෙකු සහ ඔහු විවාහ වී සිටින දෙදරු මවක් අතරය.

පසුව එය ආරවුලක් දක්වා දුරදිග ගොස් නිවසට පිවිසෙන මාර්ගයේදී දෙදෙනා අතර ගැටුමක් හටගෙන තිබූ බව පොලීසිය පැවසීය.

එහිදී සංගීත ශිල්පියා බිරිඳට පිහි පහරක් එල්ල කර තිබුණි.

නමුත්, එම පිහි පහර වැදී ඇත්තේ කාන්තාවගේ දස (10) හැවිරිදි පුංචි පුතුගේ හිසටය.

ඉන් දරුවාගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇති අතර පසුව දරුවා මොරවක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබුණි.

කෙසේවෙතත්, අවාසනාවන්ත ලෙස දරුවා අද (28) උදෑසන ජීවිතක්ෂයට පත්විය.

මෙලෙස ජීවිතයෙන් සමුගත්තේ මොරවක, වැලිව, බෞද්ධ විද්‍යාලයේ පස්වන වසරේ ඉගෙනුම ලැබු සදෙව් මෙත්සර නම් සිසුවා ය.

පොලිසිය පැවසුවේ, පිහිපාර එල්ල කළ බවට සැකකෙරෙන දිවයිනේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක නිත්‍ය ගායන හා වාදන ශිල්පියා අදාළ කාන්තාව වන දෙදරු මව සමග මෑතකදී විවාහ වී ඇති බවය.

අද (28) උදැසන මොරවක පොලිසිය ඔහු ව අත්අඩංගුවට ගනු ලැබීය.

***************************************

එල්.ටී.ටී.ඊ. සැකකරුවකුටත් රාජ්‍ය සාහිත්‍ය සම්මානයක්

(28.10.2022 – 21:21 +0530 – lankadeepa.lk)

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2022 උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (28) පැවැති අතර, එහිදී හොඳම ස්වතන්ත්‍ර දෙමළ නවකතාවට හිමි සම්මානය බන්ධනාගාරගතව සිටින සැකකරුවකු විසින් හිමිකරගැනීම විශේෂත්වයක් විය.

මෙම සම්මානය සිවලිංගම් ආරූලන් මහතා රචනා කළ ‘ආදුරු සාලෙයි’ කෘතියට හිමි වූ අතර, ඔහු කොළඹ පිත්තල හන්දියේ දී 2006 වසරේ එවක ආරක්‍ෂක ලේකම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරුවකු ලෙස මැගසීන් බන්ධනාගාරයේ රඳවා සිටී.

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියකු වන ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පශ්චාද් උපාධිය හදාරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු මැගසීන් බන්ධනාගාරයේ සිටිමින් දෙමළ භාෂා කෘතීන් 7 ක් සහ ඉංග්‍රීසි භාෂා කෘතියක් (1) රචනා කර ඇති අතර, එම කෘතීන් අටම (8) සියල්ල රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ වී ඇත.

2016 දීද හොඳම දෙමළ නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකරගෙන ඇත්තේ ඔහු විසිනි.

සම්මාන උළෙල සඳහා මැගසීන් බන්ධනාගාරයේ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී ජගත් වීරසිංහ මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව මධ්‍යයේ ඔහු රැගෙන එනු ලැබ තිබූ අතර, ඔහු බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතින් සම්මානය ලබාගත්තේය.

ඔහුගේ දෙමාපියන් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔහුගේ පියාද ගුවන් යානා ඉංජිනේරුවරයෙකි.

***************************************

ප්‍රියමාලි තොවිලයකට ගෙන ගිය රුපියල් ලක්ෂ 8 ක රන් මාලයක් ගැනත් තොරතුරු

(29.10.2022 – 20:03 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාව මත දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි, තොවිල් ශාන්තිකර්මයකට බව පවසමින් වංචා කර ලබා ගත් රන් මාලයක් ව්‍යාපාරිකයෙකු විසින් මිලට ගැනීමක් සම්බන්ධව කොටුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

රුපියල් ලක්ෂ 8 ක් පමණ වටිනාකමකින් යුත් අදාළ රන්මාලය ශාන්ති කර්මයක් සඳහා යැයි පවසමිනුයි තිළිණි ප්‍රියමාලි විසින් රන් භාණ්ඩ අලෙවි සැලෙන් ලබාගෙ ඇත්තේ.

එහෙත් ඊට අදාළ මුදල් ලබා දීමක් සිදු කර නොමැති අතර පසුව එම මාලය ඇය විසින් විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන සිටින කසුන් පෙරේරා නමැත්තාට ලබා දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පසුව මෙම මාලයත්, ජා-ඇල ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවි සැලකට විකුණා ඇති බවද සිදුකළ විමර්ශන වලදී අනාවරණ වී තිබෙනවා.

තිලිණි ප්‍රියමාලිගේ රන් මාල වංචා සම්බන්ධයෙන් ලැබු පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල වැඩිදුර විමර්ශනයක් ලෙසයි පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන්නේ ෴

++++++++++++

24-10-2022

++++++++++

16-10-2022

***************************************

ගැහැණු ළමයින් අතර අයිස් මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවෙයි – රූපලාවන්‍යාගාර ගැනත් අනාවරණයක්

(29.10.2022 – 19:51 +0530 – hirunews.lk/sinhala)

ගැහුණු ළමයින් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාමේ නව ප්‍රවණතාවක් ඇති බව අන්තරායකර ඖෂධ නියාමන කොමිෂන් සභාව පවසනවා. එහි සහකාර මාර්ගෝපදේශක ලක්මි නිලංකා සඳහන් කළේ බොහෝ ගැහැණු ළමයින් රූපලාවන්‍යාගාර හරහා මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹී ඇති බවයි.

පාසල් ශිෂ්‍ය ප්‍රජාව මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවීම වැළැක්වීම වෙනුවෙන් කුලියාපිටිය සුරාබදු ස්ථානය මගින් සංවිධාන කර තිබූ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අන්තරායකර ඖෂධ නියාමන කොමිෂන් සභාවේ සහකාර මාර්ගෝපදේශක ලක්මි නිලංකා මේ බව කියා සිටියා.

***************************************

නකල්ස් රක්ෂිතයට අභියෝග කරමින් ගොඩනැගෙන හෝටලය

(29.10.2022 – 20:26 +0530 – sinhala.adaderana.lk)

පරිසර නීති උල්ලංඝණය කරමින් ලෝක උරුම නකල්ස් රක්ෂිතය තුළ හෝටලයක් ඉදිකිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සිරිපාල අමරසිංහ මහතාගේ පුත්‍රයා පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා චෝදනා කරයි.

ලෝක උරුම නකල්ස් සංරක්ෂණ වනාන්තරයට අයත් මාතලේ පිටවල ප්‍රදේශයේ තෙල්ගමුව ඔයට යාබදව මෙම හෝටලය ඉදිකර ඇති බවට මධ්‍යම පරිසර සංරක්ෂණ එකමුතුව පසුගියදා චෝදනා කළේය.

කෙසේ වෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සිරිපාල අමරසිංහ මහතා පවසන්නේ අදාළ ඉදිකිරීම සිදුකර ඇත්තේ රක්ෂිතයට අයත් නොවන පෞද්ගලික ඉඩමක බවය.

එම නිසා මෙම අදාළ ඉදිරිකිරීම් ඉදිරියටත් සිදුකරන බවත්, එම අදාළ ඉඩමට අවශ්‍ය නීත්‍යානූකුල ලිපි ලේඛන තමා සතු බවත් මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සිරිපාල අමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව අදාළ ප්‍රදේශයේ වත්මන් (29) තත්ත්වය සොයාබැලීම සඳහා ‘අද දෙරණ’ කණ්ඩායම එම ඉදිකිරීම් සිදුකළ ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත විය.

එහිදී දක්නට ලැබුණේ එම හෝටලයේ ඉදිකිරීම් බොහෝදුරට අවසන් කර ඇති බවය.

මෙම හෝටලයේ සිට සංචාරකයින්ට තෙල්ගමුව ඔයට පිවිසීම සඳහා ගල්ඇතිරූ පඩිපෙළක්ද සකස් කර ඇත.

කෙසේවෙතත් එල්ල වූ චෝදනා මත සිරිපාල අමරසිංහ මහතා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් කර එහි නව සභාපතිවරයා ලෙස සුපුන් පතිරගේ මහතා පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *