22 මගින් 13 බලාත්මක කිරීම සඳහා කාරක සභා අවස්ථාවේදී කළ හැකි මගෝඩි

22 මගින් 13 බලාත්මක කිරීම සඳහා කාරක සභා අවස්ථාවේදී කළ හැකි මගෝඩි

*********************************************

22 මගින් 13 බලාත්මක කිරීම සඳහා කාරක සභා අවස්ථාවේදී කළ හැකි මගෝඩි

(20.10.2022 – 10:03 +0530 – lankaleadnews.com)

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා ඉන්දියානු රජය සහ දෙමළ ඩයස්පෝරාව පමණක් නොව පළාත් සභා තනතුරු රස වැටුණු සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දේශපාලනඥයින් විසින් බලපෑම් කරනු ලබන්නේ එම සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවන නිසාය. ඊට හේතුව පොලිස් සහ ඉඩම් බලතල ඇතුළු පළාත් සභාවලට ලබා දී ඇති ෆෙඩරල් බලතල ක්‍රියාත්මක කිරීමට එරෙහිව යම් ව්‍යවස්තා බාධක පනවා තිබීම ය. එසේනම් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම හෙවත් පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බිහි කිරීම සඳහා එම ව්‍යවස්ථාමය බාධක ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඉවත් කළ යුතුය.

නමුත් එවැනි සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත වුවත් නැතත් ප්‍රකාශිතව ගෙන ඒමට ශ්‍රී ලංකාවේ කිසිදු දේශපාලනඥයකුට පිටකොන්දක් නැත. ඊට හේතුව 13 වැනි සංශෝධනයට එරෙහිව 1987 දී මහජනයා ජීවිත පූජා කරමින් දැක්වූ ප්‍රචණ්ඩ විරෝධය නිසා බවට කිසිදු සැකයක් නැත. ඒ නිසා එවැනි සංශෝධන සම්මත කළ යුත්තේ මහජනයා අඳුරේ තබා මන්ත්‍රීවරුන් ගොනාට ඇන්දවීම සහ බිලිබාගැනීම මගිනි. ඒ සඳහා හොඳම ක්‍රමවේදය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ නාමයෙන් ව්‍යවස්ථා “පිට කවරයක්” පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කාරක සභා අවස්ථාවේදී 13 බලාත්මක කරන සංශෝධන කූඨ ආකාරයට ඇතුල් කිරීමය. ඒ මගින් මහජනයා පමණක් නොව අධිකරණය ද නොමඟ යැවීමට අවස්ථාව ලැබේ. එවැනි කූඨ ක්‍රියාවක් සිදු කරන ආකාරය පිළිබඳව 19 වැනි සංශෝධනය සම්මත කිරීමේදී වත්මන් අධිකරණ ඇමති එදා අධිකරණ ඇමතිව සිටියදී ගිනස් පොතට ඇතුල් කළ හැකි ආකාරයට කුප්‍රකට ආදර්ශයක් ලබා දෙමින් පෙරහුරුවක් පවත්වා ඇත.

මෙවර 22 වැනි සංශෝධනය සම්මත කිරීමේදී ඊට එරෙහිව පවතින ප්‍රධාන බාධකය වන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය සමනය කර ගැනීමට ආණ්ඩුව සමත් වුවහොත් 19 වැනි සංශෝධනයේ පෙරහුරුව යථාර්තයක් බවට පත් කිරීමට අවස්ථාව ලැබේ. ඒ සඳහා කළ යුත්තේ ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීවරයෙකු වීමට බාධා පමුණුවන වගන්තිය කාරක සභා අවස්ථාවේදී ඉවත් කරගන්නා බවට පොරොන්දුවක් ලබා දීම පමණි. අවශ්‍ය වුවහොත් මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීමට සිදුවිය හැක. ඒ සඳහා ඉන්දියාව පමණක් නොව දෙමළ ඩයස්පෝරාව ද නිර්ලෝභී ව ඉදිරිපත් වනු ඇත. ජාතියේ අවාසනාවට එවැනි තත්ත්වයක් නිර්මාණය වුවහොත් විජේදාස රාජපක්ෂ මහතා විසින් කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කිරීමට ඉඩ තිබෙන 13 බලාත්මක කිරීමට අදාළ සංශෝධන කිහිපයක් මෙසේ දැක්විය හැක ඒ සියල්ල 154 වගන්තියට අයත් වේ.

  1. පළමුවැන්න 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවීමට ප්‍රධාන වශයෙන් හේතුවන ආණ්ඩුකාරවරයා ගේ බලය මහ ඇමතිට යටත් කිරීමය. පවතින ප්‍රතිපාදන අනුව ඒ සඳහා සුදුසුම ක්‍රමවේදය වන්නේ මහ ඇමතිවරයාගේන් විමසා ආණ්ඩුකාරවරයා පත් කිරීම සඳහා ප්‍රතිපාදන පැනවීමය. එසේ නම් කළ යුත්තේ 154B(2) වගන්තිය ට “මහ ඇමැති විමසා” යන වචන දෙකක් එකතු කිරීමය.
  2. දෙවැන්න ආණ්ඩුකාරවරයාගේ විධායක බලය ක්‍රියාත්මක කිරීම පළාත් අමාත්‍ය මණ්ඩලයේ බලයට යටත් කිරීමය. ඒ සඳහා කළ යුත්තේ 154(C) වගන්තියේ “සෘජුව හෝ හරහා” යන වචන දෙක ඉවත් කර ඒ වෙනුවට “උපදෙස් මත” යන වචන දෙක ඇතුළු කිරීමය. එවිට ආණ්ඩුකාරවරයා විසින් තම විධායක බලය ක්‍රියාත්මක කළ යුත්තේ පළාත් අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් අනුවය.
  3. තුන්වන සංශෝධනයක් මගින් ආණ්ඩුකාරවරයාගේ බලතල තවදුරටත් කප්පාදු කළ හැක. එනම් ආණ්ඩුකාරවරයා සතු අභිමතානුසාරී බලය සහ පළාත් සභාවක් විසුරුවා හැරීමේ හෝ කල් දැමීමේ හෝ කැඳවීමේ බලය අහෝසි කිරීමය. ඒ සඳහා කළ යුත්තේ 154(B)8 සහ 154(F)2 යන වගන්ති දෙක සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ 21 වැනි සංශෝධනයට එම සංශෝධන ඇතුළු කර තිබුණි.
  4. හතරවැන්න පළාත් ප්‍රඥප්තියක් ආපසු හරවා යැවීම සඳහා ආණ්ඩුකාරවරයා සතු බලය අහෝසි කිරීමය. ඒ සඳහා කළ යුත්තේ 154(H)3 වගන්තියේ අවසානයට “ආණ්ඩුකාරවරයා විසින් ප්‍රඥප්තිය පිළිගණු ඇත” යන වචන කිහිපය ඇතුළු කිරීම සහ 154(H)4 වගන්තිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමය.
  5. පස්වැන්න සමගාමී ලැයිස්තුව ඉවත් කිරීමය. එහි අරමුණ ජාත්‍යන්තර අධිකරණය දක්වා බෙදුම්වාදී ගැටුම රැගෙන යන අවස්ථාවේදී පරමාධිපත්‍ය බලය පළාතක ජනතාවට බෙදී ගොස් තිබෙන බව ඔප්පු කිරීමය. පළාත් ආණ්ඩුවකට වෙන්ව යාමේ අයිතිය ලැබෙන්නේ පරමාධිපත්‍ය බලය බෙදී ගොස් ඇති තත්ත්වයක් යටතේ එම බලය ක්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය ඉඩ නොදෙන තත්ත්වයක් යටතේය. නැගෙනහිර ටිමෝරය බෙදා වෙන් කිරීමට අදාළ ‘ඔස්ට්‍රේලියාව එදිරිව පෘතුගාලය’ යන නඩු තීන්දුව ඊට සාක්ෂි දරයි. නමුත් සමගාමී ලැයිස්තුව ඉවත් කිරීම යනු බරපතළ සංශෝධනයකි. ඒ නිසා සිදුවිය හැක්කේ 154(G)3 වගන්තියට පළාත් ලැයිස්තුවට අමතරව “සමගාමී ලැයිස්තුව” යන වචන දෙක ඇතුළු කිරීමය. ඊට අමතරව එය තවදුරටත් තහවුරු කිරීම සඳහා අවශ්‍ය වන්නේ සමගාමී ලැයිස්තුවට අදාලව නීති පැනවීම සඳහා පාර්ලිමේන්තුවට අභිමතානුසාරී බලය පවරන 154(G)5(a) වගන්තියේ අඩංගු වචන කිහිපයක් ඉවත් කිරීම ය.

අවසාන වශයෙන් කිව යුත්තේ මෙම සංශෝධන කිහිපය ගෙන ඒම සඳහා අධිකරණ අමාත්‍යවරයාගේ අතීත අත්දැකීම් අනුව ගතවනු ඇත්තේ විනාඩි පහළොවක පමණ කාලයකි. ඉවත් කළ යුතු වගන්ති සියල්ල එක් වගන්තියක් ලෙස ඉදිරිපත් කළ හැක. කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන සංශෝධන විවාදයට පෙර මන්ත්‍රීවරුන්ට ලබාදෙන බවට අධිකරණ අමාත්‍යවරයා විසින් පොරොන්දුවක් ලබාදී ඇත. එහෙත් එය ඉටු නොකරන්නේ කුමන හෝ යටි අරමුණක් නිසා බව උපකල්පනය කළ හැක. ඒ ආකාරයට ව්‍යවස්ථා මගෝඩියක් සිදුකළහොත් ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ අවසානය ආරම්භ වනු ඇත. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කළහොත් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඉන්දියාවෙන් බලපෑම් එල්ලවනු ඇත. ඉන්පසු පොලිස් ප්‍රඥාප්ති, ඉඩම් ප්‍රඥාප්ති, මහ ඇමති අරමුදල් ප්‍රඥාප්ති ආදිය සම්මත කරමින් මධ්‍යම රජය සහ උතුරු සහ නැගෙනහිර පළාත් සභා අතර ගැටුම ආරම්භ කෙරෙනු ඇත. එම ක්‍රියාවලිය තුළ ජාත්‍යන්තර මැදිහත්වීමකට පාර කැපෙන අතර ප්‍රශ්නය ජාත්‍යන්තර අධිකරණය දක්වා රැගෙන යනු ඇත. රටට ආදරය කරන මන්ත්‍රිවරුන් 75 දෙනෙකු සංවිධානාත්මකව ක්‍රියාකළහොත් මෙම අනතුර වළක්වාගත හැක.

දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය
2022.10.20

++++++++++++++

“22 සම්මත කලොත් ඡන්දය කල්දමා දෙන්නම්…”- ජනාධිපති පොහොට්ටු මන්ත‍්‍රින්ට කියලා..

(20.10.2022 – 22:22 +0530 – lankacnews.com)

කාරක සභා අවස්ථාවේ දී රටට අහිතකර සංශෝධන ඇතුළත් නොකළහොත් ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තුවට, අගමැති – ජනපති පුටුවට යෑමේ ඉඩකඩ අහිමි කෙරෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජාතික නිදහස් පෙරමුණ ප්‍රමුඛ උත්තර ලංකා සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සහයෝගය හිමි වන බව ජානිපෙ ජාතික සංවිධායක, උත්තර ලංකා සභාගයේ විධායක සභික, හිටපු රාජ්‍ය අමාත්‍ය, පාලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකවරයා මෙසේ ද සඳහන් කළේය :

සම්මත වුණොත් බැසිල්ට බැහැ

“අදත් හෙටත් විවාදයට ගැනෙන, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය විවාද කොට සම්මත කිරීමට නියමිතව තිබුණේ පසුගිය පාර්ලිමේන්තු සතියේදීයි. ආණ්ඩු පාර්ශ්වය තුළ පැවති මත ගැටුමක් හේතුවෙන් එය කල් දැමීමක් සිදුව තිබෙනවා. ලැබුණු ආරංචි මාර්ග අනුව අපට සැකයක් තිබෙනවා, අද සහ හෙට විවාද කළත් ඡන්ද විමසීමක් නොතියා මෙම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම තවදුරටත් කල් දමාවි, කියා. මීට හේතුව තමයි මෙම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ තිබෙන ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තුවට පිවිසීමට තිබෙන හැකියාව අහිමි කෙරෙන ප්‍රතිපාදනය. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට යළි පාර්ලිමේන්තුවට පැමිණීමට බැහැ. බැසිල් රාජපක්ෂට යළි පාර්ලිමේන්තුවට පැමිණීමේ ඉඩකඩ අහිමි කෙරෙන නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උත්සාහ කරනවා කෙසේ හෝ 22 වැනි ආණ්ඩුකුම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම වැළැක්වීමට.

බැසිල්ගේ මෙහෙයුම

අපට තිබෙන ආරංචි මාර්ග අනුව මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ පදිංචිව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ දුරකථනයෙන්, සූම් තාක්ෂණය ඔස්සේ තමන්ට පක්ෂපාතී මන්ත්‍රීවරුන් සාකච්ඡාවට කැඳවලා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම කෙසේ හෝ වැළැක්වීමට ඔවුන් මෙහෙයවන බව. ඒ අනුව තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තම මන්ත්‍රී කණ්ඩායමේ සහයෝගය නොලැබෙන බව.

මැතිවරණ කල් දැමීමේ සූදානමක් !

(19) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබඳව තියුණු විවාදයක් ඇතිව තිබෙනවා. මෙහිදී බැසිල් රාජපක්ෂට පක්ෂපාතී මන්ත්‍රීවරුන් 22 වැනි සංශෝධනය සම්මත වීම වැළැක්වීම සඳහා තර්ක විතර්ක ගෙන එද්දී ජනාධිපතිවරයාත් අපූරු තර්කයක් ඉදිරිපත් කර තිබෙනවා. ‘ඔබට ඕනෑ මැතිවරණ කල්දමා ගන්න ද? නමුත් මැතිවරණ කොමිසමේ වත්මන් සභාපතිවරයා සිටින තාක් පළාත් පාලන මැතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය හෝ කල්දමා ගැනීමට හැකියාවක් නැහැ.(නිමල් පුංචිහේවා මැතිතුමා ඇතුළු මේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිටින තාක් අපට මැතිවරණ කල් දමා ගැනීමට බැහැ.) ඒ නිසා මේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරලා දෙන්න. එවිට අපට පුළුවන් නව මැතිවරණ කොමිසමක් පත් කරන්න’ යන තර්කයයි ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇත්තේ.

දැන් බලන්න, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට වුවමනා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම ‘බකල්’ කරන්න. ඒ අස්සෙ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලනවා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගෙන, ව්‍යවස්ථාදායක සභාවේ තමන්ට තිබෙන බල පංගුව පාවිච්චි කරලා කොමිෂන් සභාවලට තමන්ට අභිමත පිරිස් පත් කරන්න. එහිදී මැතිවරණ කොමිසමට පත්කරන තම හිතවතුන් යොදාගෙන මැතිවරණ කල් දමන්න. දැන් මේ ආණ්ඩුව තිබෙන්නේ එකිනෙකට පරස්පර කූඨ උවමනාවන් දෙකක් බව පෙනෙනවා.

පෙර සූදානම

ආණ්ඩුව නියෝජනය කරන එම පාර්ශ්වවල ඉහත කී කූඨ උවමනාවන් එසේ තිබියදී වුවත් අපි උත්තර ලංකා සභාගය සහ ජාතික නිදහස් පෙරමුණ ලෙස විශ්වාස කරනවා, ‘මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම හරහා ද්විත්ව පුරවැසියන්ට, ඇමරිකානු හෝ කවරාකාරයේ විජාතික පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඇමතිවරු, අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා ලෙස පත් වීමේ ඉඩකඩ අහිමි කළ යුතුයි. එය ජාතික වගකීමක්’ කියා. ඒ වගේම අපි අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට යෝජනා කළා, ’22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සංශෝධන හැර වෙන කිසිදු සංශෝධනයක් කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් නොකොට එය සම්මත කළ යුතුයි. එසේම ආණ්ඩු පක්ෂය, විපක්ෂය ඉදිරිපත් කරන වෙනත් සංශෝධන ඇත්නම් ඒවා සියල්ල අද සවස විවාදය සම්පූර්ණ වීමට කලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ටම දිය යුතුයි’ කියා. එය එම උපදේශක කාරක සභාවේදී සම්මත වුණා. ඒ අනුව අද සවස ඒ සියලු සංශෝධන මන්ත්‍රීවරුන් 225 ටම ලැබීමට නියමිතයි. ඒවා අධ්‍යයනය කරලා අපට අවසන් තීරණයකට එළැඹිය හැකියි.

ජාතික සංවිධාන විසින් ජනාධිපතිවරයා, අගමැතිවරයා, කථානායකවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විවිධ මාර්ගයෙන් දැනුම්වත් කර තිබෙනවා, ’22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී බෙදුම්වාදයට දිරිදෙන, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමේ සංශෝධන ඇතුළු කිරීමට පුළුවන්. ඒවා වැළැක්වීමට පියවර ගන්න.’ කියා. ඒ අනුවයි අපි ඉතාම අවධානයෙන් ඉහත කී පෙර සූදානම්වලට පවා ගියේ. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වෙනත් යටිකූට්ටු සංශෝධන ඇතුළත් කරලා ජාතික සමගියට හානි වන, බෙදුම්වාදය හෝ වෙනත් අන්තවාදයන් පෝෂණය වන ඒකීයභාවයට හානි වන සංශෝධන ගෙන ඒමට අපි ඉඩ තියන්නේ නැහැ.”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

20-10-2022

+++++++++++++

මැතිවරණ සිතියම හැකිළීමේ ආණ්ඩුවේ උත්සාහයට එරෙහිව විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි

(20.10.2022 – 16:42 +0530 – lankaleadnews.com)

මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්නේ යැයි පවසමින් පළාත් පාලන මැතිවරණය කල්දමමින් මැතිවරණ සිතියම හැකිලීමට රජය දරන උත්සාහය පරාජය කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සංවිධාන ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබීය.

අද (20) පාර්ලිමේන්තුවේ දී මෙම ප්‍රකාශයට අත්සන් තැබීම සිදු කෙරුණු අතර ඒ සදහා විපක්ෂයේ පක්ෂ බහුතරයක සාමාජිකයන් අත්සන් තැබීම විශේෂත්වයකි.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතාන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ, 43 සේනාංකය, දෙමළ ජාතික සංධානය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා කොමිනියුස්ට් පක්ෂය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, නව ලංකා නිදහස් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, විජයධරණී ජනතා සභාව හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන පක්ෂ මෙම අත්සන් තැබීමට එක් විය.

විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නායකයින් සහ නියෝජිතයින්ගේ හමුවක් පසුගිය දා පැවැති අතර, එයට සහභාගි වූ පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ ඒකමතික තීරණයට අනුව මෙම ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කර ඇති බව වාර්තා වේ ෴

+++++++++++

ආණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන වූ මන්ත්‍රීවරු 22 ට සහාය වෙති

(20.10.2022 – 15:34 +0530 – sinhala.adaderana.lk)

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ආණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවිමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

“මේ 22 සංශෝධනය ගැන අපේ මතය ප්‍රකාශ කරනවානම් අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ 22 සංශෝධනයෙන් මොනම ආකාරයකින් ජනාධිපතිවරයාගේ බලතල අඩුවෙලා නැහැ. මොකද මෙතෙනට එන්න කලින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යම් යම් අදහස් ආපු නිසා අද මේ ඇවිල්ලා තියෙන එකෙන් ජනාධිපතිවරයාගේ බලතල සියල්ලම තියෙනවා. මොනවද අපිට ජනාධිපතිවරයාගෙන් ඉවත්කර ගන්න අවශ්‍ය වුණ බලතල…

අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී අද ජනාධිපතිවරයාට කැමති කෙනෙක් පත්කරන්න පුළුවන්. අගමැතිවරයාගේ අදහස් විමසන්න විතරයි තියෙන්නේ. ජනාධිපතිවරයාට අවශ්‍ය කැබිනට් මණ්ඩලයත් පත්කරන්නත් පුළුවන් ඒ කැබිනට් මණ්ඩලය අස්කරන්නත් පුළුවන්. එපමණක් නෙමෙයි ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාශය විතරක් නෙමෙයි ඕනෑම අමාත්‍යාංශයක් මේ 22 සංශෝධනය යටතේ තියාගන්න පුළුවන්. එපමණක් නෙවෙයි අගමැතිවරයාත් ඉවත් කරන්න පුළුවන්. එහෙනම් පැහැදිලිවම ජනාධිපතිවරයාගේ බලතල කිසිවක් මෙතනින් ඉවත්වෙලා නැහැ.

ඒ නිසා ඇත්තම කියනවානම් අරගලයට ආපු ජනතාවට අවශ්‍ය වුණේ වෙනසක් නම් ‘සිස්ටම් චේන්ජ්’ එකක්නම් ඒ ‘සිස්ටම් චේන්ජ්’ එක කීයටවත් මෙතනින් වෙන්නේ නැහැ. හැබැයි 22 සංශෝධනයේ එක සාධනීය කරුණක් අපි දකිනවා.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා නැවත ගෙන්නලා තියෙනවා. හැබැයි මෙතෙනත් අපිට ගැටලුවක් තිබුණා. මේ 22 සංශෝධනය ගැසට්කළ වෙලාවේ අපි බැලුවා මේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාවේ සංයුතිය දිහා. මේ සංයුතිය වෙනස් කරලා තිබුණා සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට පක්ෂව. මේකේ 10 දෙනෙක් ඉන්නවා නම් 10 දෙනොගෙන් 7 දෙනෙක් ම ආණ්ඩු පක්ෂයේ. ඒ ගැන අපි කථා කළා විවිධ අවස්ථාවල. දැන් අපිට සතුටුයි දීලා තියෙනවා පොඩි පත්‍රකාවක් මේ සංශෝධනය කරලා. සංයුතිය යම් ආකාරයකට සාධාරණ මට්ටමකට ගෙනල්ලා තිබෙනවා. ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන්නට” ෴

+++++++++++++

ආර්ථිකයේ කඩා වැටීමට මහබැංකු අධිපතිවරු දෙදෙනෙක් වගකිව යුතුයි! – අධිකරණ ඇමති

(20.10.2022 – 13:36 +0530 – hirunews.lk/sinhala)

දශක කිහිපයක් තුළ ඇති වූ මෙරට ආර්ථිකයේ කඩාවැටීමට මහබැංකු අධිපතිවරු දෙදෙනෙකු වගකිවයුතු බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ, අද (20) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත විවාදයේ දී අදහස් දක්වමින්.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපතිවරයා විසින් තනියම ක්‍රියාත්මක කරන බලය, යම් අධික්ෂණයකින් හා සුපරික්ෂාකාරිත්වයකින් යුතුව කටයුතු කිරීමට ව්‍යවස්ස්ථා දායක සභාවක් පාර්ලිමේන්තුවේ පත් කරන බවත්, ජනාධිපතිවරයාගේ බලතලවලින් කොටසක් කතානායකවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුවට බෙදා දෙන බවත් පැවසූ අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, කතානායකවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා, අගමැතිවරයා නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රීවරයෙක්, විපක්ෂ නායකවරයා පත් කරන මන්ත්‍රීවරයෙක් කුඩා දේශපාලන පක්ෂ නියෝජන කරන මන්ත්‍රීවරයෙක් සහ සිවිල් සමාජයෙන් දේශපාලන පක්ෂග්‍රාහිත්වයෙන් තොරව තෝරා ගන්නා තිදෙනෙකු ගෙන් යුතු ව්‍යවස්ස්ථා දායක සභාවක් මගින් ඉහළ අධිකරණවලට විනිසුරුවරුන් පත් කිරීම, රජයේ ඉහළ තනතුරුවලට නිලධාරින් පත් කිරීම, කොමිසම්වලට කොමසාරිස්වරු පත් කිරීම නව ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදු කෙරෙන බවයි.

හිතවත්කමට දේශපාලන පක්ෂග්‍රාහිත්වය මත ශ්‍රී ලංකාවේ මහබැංකුවට අධිපතිවරයෙක් පත් කිරීම නොකළ යුතු බවත්, ගණකාධිකාරීවරයෙක් පත් නොකර ආර්ථික විශේෂඥයෙකු පත් කළ යුතු බවත්, එබැවින් එවැනි පත් කිරීම් මෙම ව්‍යවස්ථාදායක සභා පිහිටු වීමෙන් පසු සීමා වන බවත් අමාත්‍යවරයා කියා සිටියා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *