තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රකාශයක්

තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රකාශයක්

*********************************************

තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රකාශයක්

(12.10.2022 – 17:52 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කාර්යාලයක් පවත්වාගෙන යමින් කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු සමාජයේ ප්‍රභූ පන්තියේ ධනවතුන් රවටමින් දැවැන්ත මූල්‍ය වංචාවක නිරත වූ තිළිණි ප්‍රියමාලි නැමැත්තිය ට එරෙහිව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි අටක් (8) ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා.

එම පැමිණිලිවලට අනුව ඇය විසින් මේ දක්වා වංචා සහගත ලෙස ලබාගෙන ඇති මුදල රුපියල් කෝටි 250 කට ආසන්නයි.

මීට අමතරව ඇය විසින් රජයට සහ ඉන්ධන මිළ දී ගැනීමට බව පවසා ඉහළ පෙළේ ව්‍යාපාරිකයින්ගෙන් සහ වෙනත් පුද්ගලයින්ගෙන් ඇමරිකානු ඩොලර් ද එක්රැස් කර ඇති බව මේ වන විට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණයය වී තිබෙනවා.

මෙම කාන්තාව සම්බන්ධයෙන් ඇති මුදල් වංචා පිළිබඳව පැමිණිලි ආසන්නම පොලිස් ස්ථානයට යොමු කරන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරු සියල්ල සත්‍ය නොවන බවයි.

කෙසේ වෙතත් ත් මෙම බරපතල මූල්‍ය වංචාව පිළිබඳව වැඩිදුර විමර්ශන අඛණ්ඩව සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවනන තිළිණි ප්‍රියමාලි බන්ධනාගාර නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග අද (12) ලෝක වෙළඳ මධ්‍යස්ථානය වෙත රැගෙන ආවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඇයව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ 34 වෙනි මහලේ පිහිටා ඇති ඇයගේ කාර්යාලය වෙත රැගෙන ගියේ සාමාන්‍යයෙන් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් හට පලඳන මාංචු නොමැතිව වීම ද විශේෂත්වයක්.

ඒ මෙම විමර්ශනයට අදාළව වැඩිදුර පරීක්ෂණ සහ කාර්යාල පරිශ්‍රයේ ඇති ලිපි ලේඛන පරික්ෂා පරීක්ෂාකර විමර්ශනයට අදාළ ලිපි ලේඛන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීම් සඳහායි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ලබාගත් විශේෂ නියෝගයක් මත මූල්‍ය වංචා චෝදනා එල්ල වූ තිළිණි ප්‍රියමාලි ස්ථානය පරීක්ෂා කිරීම් හතරක් (4) සඳහා අද (12) දිනයේ මෙලෙස රැගෙන ගිය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

++++++++++++

++++++++++++

+++++++++++

12-10-2022

++++++++++++++

ප‍්‍රියමාලිට මුල්ම ගල ගැසූ කෝටිපතියා මාධ්‍ය හමුවක.. ශිරන්ති රාජපක්‍ෂ ගැනත් කියයි..

(12.10.2022 – 22:02 +0530 – lankacnews.com)

මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින තිළිණි ප්‍රියමාලි නම් තැනැත්තිය සහ ඉසුරු බණ්ඩාර නම් පුද්ගලයාට එරෙහිව මුල් වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනුකළ කෝටිපති ව්‍යාපාරිකයෙකු වන කමල් හසන් අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සංවාදයකට එක්ව තිබේ.

එහිදී ඔහු ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිකර ඇති අතර හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ද සම්බන්ධ යයි පවසමින් තිලිණි ප්‍රියමාලි නම් තැනැත්තිය විසින් මෙරටට ඉන්ධන ආනයනය කිරීම සඳහා අදාළ ව්‍යපාරිකයා ගෙන් රුපියල් කෝටි 10 කට වැඩි මුදලක් ලබාගත් ආකාරයද හෙළිකර ඇත.

එහිදී ඔහු පවසා ඇත්තේ එක අවස්ථාවක තිලිණි ප්‍රියමාලි විසින් ශිරන්ති රාජපක්ෂට බව පවසමින් තමන් ඉදිරියේදී දුරකථන ඇමතුමක් ලබාදුන් බවය.

තිලිණි ප්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත්කළ අවස්ථාවේ ව්‍යාපාරික කමල් හසන්ට විත්තියේ නීතීඥවරයෙකු විසින් යම් බලපෑමක් සිදුකිරීමට දැරූ උත්සාහයක් පිළිබඳවද ඔහු හෙළිකරයි.

ගැටළු ඇතිවූ මුල් අවස්ථාවේ දී එවක කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් චුදිතයින් ආරක්ෂා කරමින් හැසිරුණු බවට චෝදනාවක් ද කමල් හසන් විසින් සිදු කරයි.

++++++++++

12-10-2022

++++++++++++

12-10-2022

+++++++++++

ප‍්‍රියමාලිගේ සමස්ථ වංචාව රුපියල් කෝටි 1000 ක්.. ගණිකා ව්‍යාපාරයකුත් මෙහෙවලා..

(13.10.2022 – 03:21 +0530 – lankacnews.com)

කොළඹ කොටුව ලෝක වෙ‍ෙළඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන ගිය තිළිණි ප්‍රියමාලි නමැත්තියගේ වංචාවන්ට හසු වූ බවට දැනට හඳුනාගෙන ඇති පිරිස විසින් සැබෑ ලෙස අහිමි කර ගෙන ඇති මුදල රුපියල් කෝටි 500 ඉක්මවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.

ඇයගේ වංචාවට හසු වී ඇති මෙතෙක් පැමිණිලි නොකළ පිරිසකගේ ද මුදල් සමඟ ඇය සිදු කර ඇති සමස්ත මූල්‍ය වංචාව රුපියල් කෝටි 1000 කට ආසන්න වනු ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව මෙරට ජනප්‍රිය නළු නිළියන් ගායකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වැයකර ඇති බවට ද ඇතැම් කලාකරුවන්ගේ උපන්දින සාද පවා ඇය ලෝක වෙ‍ෙළඳ මධ්‍යස්ථානයේ 34 වෙනි මහලේදී සමරා ඇති බව ද ඒ සඳහා ද ඇය විසින් මිලියන ගණනක මුදල් වැයකර ඇති බව ද පෙනී ගොස් ඇත. ඊට අමතරව තරු පංතියේ හෝටල්වලද ඇය ඇතැම් කලාකරුවන් වෙනුවෙන් සාද සංවිධානය කර ඇති බව ද සඳහන්ය. ඇය එම අවස්ථා ඡායාරූප සහ වීඩියෝගත කර ළඟ තබාගෙන සිටින බවත් එම කලාකරුවන්ව ඇය සිය වංචාව ප්‍රවර්ධනයට යොදා ගෙන තිබෙන බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

ඒ අනුව දැනට හඳුනාගෙන ඇති නළු නිළියන් ඇතුළු කලාකරුවන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත. ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් ලැබී ඇත්තේ මුල් පැමිණිලි 08 පමණි. ඊට අනුව ඇය විසින් වංචාකර ඇති මුදල රුපියල් කෝටි 251 කි. ඇයට හසුවී රුපියල් කෝටි 75 ක වංචාවකට ලක්වූ වෛද්‍යවරයෙක් ද පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වූවත් ඔහු ඊයේ (12) දිනයේත් එම පැමිණිල්ල ඉදිරිපත්කර නොතිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමත් සමඟ බොහෝ පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමතමින් සහ විවිධ පර්ශ්ව ඔස්සේ පණිවුඩ දෙමින් තමන් ද ඇගේ වංචාවට හසුවී ඇති බව පවසා තිබුණි. ඒ අය පොලිසියට පැමිණ පැමිණිලි කරන බවද කියා තිබුණි. එහෙත් ඒ අය දැන් පැමිණිලි කිරීමට පස්ස ගසන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එසේම දේශපාලනයට සම්බන්ධ කලාකරුවෙක් ද ව්‍යාපාර කටයුතුවල නිරතව සිටින නිළියන් දෙදෙනෙකුද හිටපු ආණ්ඩුකාරවරයෙකු ද මෙම කාන්තාවගේ වංචාවට හසුවී ඇති බව අනාවරණය වූවත් ඒ අය ද මෙතෙක් ඒ ගැන පැමිණිලි කර නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය. එසේ දැනට හඳුනාගෙන සිටින අය තමන් සැබෑ ලෙසම වංචාවට හසුවී අහිමිකරගත් මුදල් ප්‍රමාණය ගැන හෙළි කරන්නේ නම් වංචාවේ ප්‍රමාණය රුපියල් කෝටි 500 ඉක්මවනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

ඊට අමතරව මෙතෙක් හෙළි නොවූ විශාල පිරිසක් මෙම කාන්තාවගේ වංචාවට හසුවී ඇති අය අතර සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අය ඇයට එරෙහිව පැමිණිලි කිරීමට මැලිකමක් දක්වන්නේ ඔවුන් ඇයට ආයෝජන සඳහා යැයි කියා ලබාදී ඇති මුදල් ඒ අයට නීත්‍යනුකූල ආකාරයට උපයා ගත් අයුරු හෙළිකර ගැනීමට නොහැකි ඒවා නිසා විය හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි. “එයාල පැමිණිලි නොකර සිටීම නිසාම ඉදිරියේදී අමාරුවේ වැටෙන්න පුළුවන්. තිළිණි ප්‍රියමාලි එයාට මුදල් දුන්නු අයගේ විස්තර ඇතුළු බොහෝ දේවල් එයාගේ ජංගම දුරකතනයෙයි පරිගණකවලයි සටහන් තියාගෙන ඉඳල තියෙන බවයි අපිට දැනගන්න ලැබිල තියෙන්නේ. ඇගේ ජංගම දුරකතන සහ පරිගණක දැන් තියෙන්නේ අපේ ගාව. පරිගණක වෝහාරික පරීක්ෂණාගාරයට ඒවා යොමු කරල තියෙනවා. එම අංශයේ අය එම පරිගණකවල තියෙන සැඟවුණු දත්ත ඉදිරියේදී එළියට ගනීවි. එතකොට බලා ගන්න පුළුවන් ඇයට මුදල් දුන්නේ කවුද? මුදල් නොදුන්නේ කවුද? කියල. ඒ විතරක් නෙමෙයි ඇගේ ව්‍යාපාර නම්වලින් සහ ඇගේ පෞද්ගලික නම්වලින් ඇති සියලු බැංකු ගිණුම් පවා අපි මේ වන විට පරීක්ෂාවට ලක්කරමිනුයි ඉන්නේ. කාට කොහොම ඇය වියදම් කළාද කියල අපිට එහිදී අනාවරණය කරගන්න පුළුවන් වේවි. පැමිණිලි නොදාපු අය එතකොට තමයි අමාරුවේ වැටෙන්නේ. ඒ නිසා තාමත් ඒ අය ප්‍රමාද නැහැ” යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

තිළිණි ප්‍රියමාලි නමැති මෙම කාන්තාව විවාහ තුනක් (3) කරගෙන සිටින්නියක් බවද සඳහන්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ විවාහ තුනක් යැයි සඳහන් වූවත් ඇයගේ දෙවැනි සැමියා යැයි කියමින් සිටි තැනැත්තාව ඇය විවාහ කරගෙන නොසිටි බවය. ඇය එම සැමියාවද මෙම වංචාවට යොදාගෙන සිට ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. එම සැමියා ඇයට ආරක්ෂාව සපයන ලද ආරක්ෂක සමාගමේ ඇගේ පුද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කළ තැනැත්තාය. ඇය අත්අඩංගුවට ගැනීමට පෙර දිනයේ ඇය සිය නීත්‍යනුකූල දෙවැනි විවාහය කරගෙන ඇත්තේ එතෙක් කාලයක් ඇය සිය සැමියා යැයි සමාජය හමුවේ පෙන්වා දුන් තැනැත්තාගේ ගෝලයා බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

මෙම කාන්තාව දරුවන් තිදෙනෙකුගේ (3) මවකි. එම දරුවන් තිදෙනාම ඇගේ පළමු සැමියාගේ දරුවන්ය. වැඩිමහල් දරුවා වයස අවුරුදු 20 ක තරුණයෙකි. ඔහු ද 34 වෙනි මහලේ ඇගේ කාර්යාලයේ සේවයේ නිරතව සිට ඇති බව අනාවරණය වී තිබේ. දෙවැනි දරුවා දියණියකි. වත්තල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක ඇය අටේ පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටී. බාලයා වැලිමඩ ප්‍රදේශයේ රජයේ පාසලක හතේ පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

මෙම කාන්තාව කලක් මැදපෙරදිග රටක සේවය කර ඇති බවත් එහිදී ඇය මෙරට කතුන් ලිංගික ජාවාරම් සඳහා යොදවාගෙන ඇති බවටත් විවිධ තොරතුරු පාර්ශ්වවලින් කියැවෙයි. එසේම ඇයගේ පියා වඩු කාර්මිකයෙක් බවටත් ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ අටේ පංතියට පමණක් බවටත් තොරතුරු කියැවෙති. ඇය කළුතරදී උපත ලැබූ තැනැත්තියකි. එසේම ඇය කාලයක් හෝකන්දර පදිංචිව සිට ඇති බවද කියති. ඇය කාලයක් මෙරට කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවා ඇති බවට තොරතුරු ද තිබේ.

මේවායේ ඇත්ත නැත්ත ගැන ඇගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව ඉදිරියේදී අධිකරණ නියෝගයක් ගෙන බන්ධනාගාරයට ගොස් ඇගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට බලා පොරොත්තු වන බවත් එහිදී බොහෝ තොරතුරු හෙළි කර ගැනීමට හැකිවනු ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙම කාන්තාවට හින්දි භාෂාව චතුර ලෙස කථා කිරීමට හැකියාවක් ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඇයව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා ඇත්තේ ලෙබනනය ඇතුළු රටවල් රැසක ඇගේ ව්‍යාපාර ඇති බවය. ඒ ගැන කෙරුණු විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ එවැනි ව්‍යාපාරයක් ඇයට ලෝකයේ වෙනත් රටක තබා ශ්‍රී ලංකාවේ ද නැති බවය. ඇය බන්ධනාගාරගතවී දෙවැනි දිනයේදී බන්ධනාගාර නිලධාරීන් විසින් කළ සෝදිසියකදී සොයාගත් ජංගම දුරකතනය මුද්‍රා තබා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බන්ධනාගාර බලධාරීන් විසින් භාරදී ඇත. එම ජංගම දුරකතනය ද වෝහාරික විමර්ශනයකට ලක් කරමින් ඇය බන්ධනාගාරයේ රැඳී සිටිමින් එම දුරකතනයෙන් ඇමතුම් ගත් අය කවුරුන් දැයි හඳුනා ගැනීමට විමර්ශන පවත්වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කළ අයගේ යැයි කියා පුද්ගල ලැයිස්තුවක් ද හුවමාරු විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම පුද්ගල ලැයිස්තුවේ සිටින අය පෙරේදා (11) සිට පැමිණිලි ඉදිරිපත් කරන්නට වූයේ තමන් ඇගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කර නැති බවත් එම ව්‍යාජ ලැයිස්තුව සමාජ මාධ්‍ය වෙත යොමු කළ පුද්ගලයින් සොයා විමර්ශනයක් ආරම්භ කරන ලෙසය. එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (12) වන විට ලැබී තිබුණු පැමිණිලි ගණන 06 කි.

ගයාන් කුමාර වීරසිංහ

++++++++++++

13-10-2022

+++++++++++++

13-10-2022

++++++++++++++

13-10-2022

+++++++++++++

13-10-2022

+++++++++++++

තිලිණි ප්‍රියමාලි බදු දැලෙනුත් රිංගා ඇති බවට හෙළිදරවුවක්

(14.10.2022 – 07:39 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලි නැමැත්තිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බදු ගෙවීමක් සිදු කර නොමැති බව එහි කොමසාරිස්වරුන්ගේ සංගමයේ සභාපති, ජ්‍යේෂ්ඨ කොමසාරිස් සරත් අබේරත්න පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු මෙම කරුණු අනාවරණය කළා ෴

+

***************************************

12-10-2022

***************************************

සමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් කෝටියකට අධික මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

(12.10.2022 – 07:42 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් කෝටියකට (10,000,000) අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට ත්‍යාග ලබාදෙන බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ රුපියල් 11,627,175 ක මුදලක් අදාළ සැකකරු විසින් සිය බැංකු ගිණුම් වෙත තැන්පත් කරගෙන ඇති බවයි පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ (11) අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි අංගොඩ, හිඹුටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *