රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලිගෙන් සොයාගත් ජංගම දුරකථනය ලැබුණු ආකාරය ගැනත් හෙළිවේ

රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලිගෙන් සොයාගත් ජංගම දුරකථනය ලැබුණු ආකාරය ගැනත් හෙළිවේ

*********************************************

රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලිගෙන් සොයාගත් ජංගම දුරකථනය ලැබුණු ආකාරය ගැනත් හෙළිවේ

(10.10.2022 – 19:41 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සතුව තිබී සොයා ගැණුනු ජංගම දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ප්‍රකාශ කළා.

ඇය රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ ඊයේ (09) පස්වරුවේ සිදුකළ හදිසි සෝදිසියකදී මෙම ජංගම දුරකථනය සොයා ගත් අතර එය ඇයට ලැබුණු ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

දැනට සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණ වී ඇත්තේ සැකකාරියට, වෙනත් කාන්තා රැදවියෙකු විසින් අදාළ ජංගම දුරකතනය ලබා දී ඇති බවටයි.

ඊට අදාළව බන්ධනාගාරයේ කාන්තා අංශයේ නිලධාරීණියන්ගෙන් සහ රැදවියන්ගෙන් මේ වන විට ප්‍රකාශ ලබා ගනිමින් පවතින බව බන්ධනාගාර කොමසාරිස් පාලන හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කළා.

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ 34 වන මහලේ සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වාගෙන ගිය මෙම කාන්තාව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් මිලියන 226 කට අධික මුදලක් ලබාගෙන ඒවා ආපසු ගෙවීම සඳහා ලබාදුන් චෙක්පත් අගරු වීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුවයි.

මේ වනවිට ඇය සමඟ ගණුදෙනු කළ බව කියන පුද්ගලයින් රැසකගේ නම් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

එහි තමාගේ නමද ඇතුළත් වීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එවැනිම පැමිණිල්ලක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ආචාර්ය නාලක ගොඩහේවා කියා සිටියේ සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාවේ හිටපු සභාපතිවරයෙකු ලෙසත්, ගණකාධීකරන උපාධි දෙකක් හා ආර්ථික විද්‍යාව පිළිබඳ ද ආචාර්ය උපාධියක් හිමි අයෙකු ලෙසත්, එවැනි නීත්‍යානුකූල නොවන ආකාරයේ මුදල් තැන්පත් කිරීම් කිසිදු අවස්ථාවක සිදු නොකරන බවයි.

මේ අතර ‘සිංහලේ ජාතික සංවිධානයේ’ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගියේ තිලිණි ප්‍රියමාලි සමඟ ගණුදෙනු කළ බවට සමාජ මාධ්‍ය සංසරණය වන ලැයිස්තුවේ උන්වහන්සේගේ ද නම සඳහන් වීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමටයි.

සමාජ මාධ්‍ය ප්‍රචාරයන්ට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලද ඊයේ (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එවැනිම පැමිණිල්ලක් සිදුකළා.

කලාකරුවන් රැසකගේ නම් ද තිළිණි ප්‍රියමාලි සමඟ සම්බන්ධ බවට සමාජ මාධ්‍යයේ වාර්තා පළ වී ඇති අතර, ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සිය නිල ෆේස්බුක් පිටුවට සටහනක් එක්කර තිබුණේ ඊට ප්‍රතිචාර දක්වමින්.

මෙම තොරතුරු දේශපාලනිකව පළ කරන අසත්‍ය තොරතුරු බවත්, තමන්ට ඇය සමඟ හෝ ඇයගේ ව්‍යාපාර සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් දමිතා අබේරත්න එමගින් අවධාරණය කර තිබුණා.

තමන් සහභාගී වූ උපන් දින සාදයක දී ගර්භනී මව්වරුන් වෙනුවෙන් කළ පරිත්‍යාගයක ඡායාරූප යොදා ගනිමින් ව්‍යාජ ඡායාරූප සකස්කර ඇති බවත් ඊට එරෙහිව නිතිමය පියවර ගන්නා බවත් ඇය සඳහන් කළා.

මේ අතර තිලිණි ප්‍රියමාලිගේ සමාගමේ මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හෙට (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.

අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 80 ක මුදලක් තමන් එම කාන්තාවට ලබාදුන් බවයි.

වෙනත් ආයතනයක් පවත්වාගෙන යන කාන්තාවක් හරහා තමන් එම මුදල් සැකකාරියට ලබාදුන් බවද හිටපු ආණ්ඩුකාරවරයා සඳහන් කළා.

++++++++++++

10-10-2022

++++++++++++

10-10-2022

+++++++++++

https://www.youtube.com/watch?v=BAEFjz9dtyE
09-10-2022

+++++++++++

10-10-2022

++++++++++++

10-10-2022
09-10-2022

++++++++++++

10-10-2022

++++++++++++

10-10-2022

++++++++++++

10-10-2022
10-10-2022

+++++++++++

ප්‍රියමාලි විදපු මුළු ගාණ කෝටි 250 ක්; පෙම්වතා පැටිකිරිය වමාරයි

(11.10.2022 – 08:57 +0530 – mawbima.lk)

කොළඹ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ මූල්‍ය සමාගමක් පවත්වාගෙන යන බව කියමින් විවිධ පුද්ගලයන් රවටා සැකකාර කාන්තාව ලබාගත මුදල රුපියල් 2,510,500,500 (රුපියල් කෝටි 251) බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගත් නවතම වාර්තාවල සඳහන් වේ.

මෙලෙස කෝටි 251 ක මුදලක් විවිධ පුද්ගලයන් හරහා ලබාගෙන ඇති ඇය එම මුදල්වලට කළ කී දේ සෙවීම සඳහා, වසර ගණනාවක් ඇය සමඟ සමීපව ඇසුරු කළ ඇගේ තරුණ පෙම්වතෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත.

මෙම තරුණ පෙම්වතා 2019 වසරේ සිට ඇය සමග සමීපව කටයුතු කර ඇති අතර මොහු ඇගේ සැමියා ලෙස පෙනී සිටිමින් ඇය සමග උත්සවවලට ප්‍රිය සම්භාෂණවලට නළු නිළියන් දේශපාලනඥයන් හමුවට ගොස් ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේ ය.

එමෙන් ම මොහු හිටපු ප්‍රබල ඇමතිවරයෙකුගේ ද සමීපතමයෙකු වන අතර ප්‍රශ්න කිරීමේදී ඔහු රහස් පොලිසියට පවසා ඇත්තේ සැකකාරිය අත්අඩංගුවට ගැනීමට දින කිහිපයකට පෙර ඇය තමාම හඳුන්වාදුන් වෙනත් ආරක්ෂයෙකු සමග විවාහ වී ඇති බව ය. එම විවාහයේදී ලබාගත් පින්තූරයක් ද ඔහු රහස් පොලිස් නිලධාරීන්ට පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් රහස් පොලිසියේ විමර්ශන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සැකකාරිය විසින් ලබාගෙන ඇති රුපියල් කෝටි 251 ක මුදලට සිදු වූ දේ මෙම පෙම්වතාගෙන් විමසා ඇතත් ඔහු නිලධාරියාට පවසා ඇත්තේ තමා ඒ ගැන නොදන්නා බවකි. එහිදී නිලධාරියා ඔහුට තරයේ අවවාද කර ඇති බව ද කියයි.

එමෙන් ම ඔහු ප්‍රශ්න කිරීමේදී නිලධාරීන්ට පවසා ඇත්තේ, ඇය දැන හඳුනාගත් මුල් කාලයේ තමා ද ඇයට ලක්ෂ ගණනක් දුන් බවත් පසුව ඇය තමාට ඒ මුදල වැඩියෙන් පියවා නැවතත් එම සියලු මුදල ඇය ලබාගත් බවත් ය.

පසුව තමා එම මුදල් ගැන විමසීමේදී තමාට රත්රන් යැයි පවසමින් පොලු දහයක් ලබාදුන් බවත්, එම ‘රත්රන් පොලු’ නිවසේ සඟවා තිබූ බවත් ඔහු පොලිසිය හමුවේ පවසා ඇත.

හදිසි මුදල් අවශ්‍යතාවක් සඳහා ඉන් එක් ‘රත්රන් පොල්ලක්’ විකිණීමට තැත් කිරීමේදී එම පොලු පිත්තල බවට අනාවරණය වූ බවත් ඔහු නිලධාරීන් හමුවේ පවසා තිබිණි.

කෙසේ වෙතත්, සැකකාරිය ගුරුකම් අතේ වැඩවලට ලක්ෂ ගණනකින් වියදම් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය කියයි.

ගාල්ල ප්‍රදේශයේ ජනප්‍රිය කපුවෙකුට ඒ සඳහා රුපියල් මිලියන 70 ක් වියදම් කර ඇති බවත් ඇය පදිංචි වත්තල නිවසේ ස්ථාපනය කර ඇති බුදු පිළිමයකට සතියට සැරයක් රුපියල් ලක්ෂ 3 ක පමණ නෙළුම් මල් පූජාවක් පවත්වන බවට තොරතුරු රහස් පොලිසියට ලැබී තිබේ.

මේ අතර, ඇය මේ වන විට ගිණුම් හරහා ලබාගෙන ඇති රුපියල් කෝටි 251 ට අමතරව තවත් සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙකුගෙන් ද ලක්ෂ 7,500 ක් ලබාගෙන ඇති අතර ඔහු ද ඊයේ (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට නියමිතව තිබිණි.

දැනගන්නට ඇති ආකාරයට ඔහුට ද රත්රන් යැයි කියමින් පොලු විස්සකට (20) වැඩි සංඛ්‍යාවක් ලබා දී ඇතැයි වාර්තා වේ ෴

+++++++++++++

(10.10.2022 – gossiplankanews.com)

++++++++++++++

https://www.youtube.com/watch?v=RYL8N0vtkss
11-10-2022

++++++++++++

11-10-2022

++++++++++

11-10-2022
11-10-2022

++++++++++++

11-10-2022

+

***************************************

වෛද්‍ය හසංජයගේ වැරදුණු තවත් සැත්කමකින් ගුරුවරියක් එක්තැන් වෙයි

(10.10.2022 – 12:58 +0530 – hirunews.lk/sinhala)

සැත්කමකින් පසු තරුණියක මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින රාගම ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය හසංජය ගුණවර්ධන සිදු කළ සැත්කමකින් එක්තැන් වී සිටින උපාධිධාරි ගුරිවරියක් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වුණා.

මේ පිළිබඳ නිසි විමර්ශනයක් පවත්වන ලෙස තමන් රාගම ශික්ෂණ රෝහලේ පාලනාධිකාරියෙන් ඉල්ලීම් කළ ද මේ දක්වා ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි ඇගේ දෙමාපියන් පෙන්වා දෙන්නේ.

මෙලෙස එක්තැන්ව සිටින්නේ එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ආර්. ඒ කළණි ඉරෝෂා පෙරේරා නැමති කොළඹ ප්‍රසිද්ධ පාසලක සෞඛ්‍ය හා ශාරිරික අධ්‍යාපනය ඉගැන්වීම් සිදු කළ ගුරුවරියක්.

ඇය දීර්ඝ කලක් තිස්සේ ගැස්ට්‍රයිටීස් රෝගයෙන් පීඩා විඳ ඇති අතර එම තත්වය උග්‍ර වීම හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා පසුගිය වසරේ ඔක්තෝබර් 27 වන දින රාගම ශික්ෂණ රෝහලේ 38 වාට්ටුවේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් වී තිබෙනවා.

එහිදී සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වූ කරුණු මත විශේෂඥ ශල්‍ය වෛද්‍ය හසංජය ගුණවර්ධන ඇතුලු වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ ඇයගේ පිත්තාශයේ සහ පිත්තනාලයේ ගල් ඇති බවටයි.

අනතුරුව පිත්තනාලයේ ගල් ඉවත් කිරීම සඳහා පසුගිය වසරේ නොවැම්බර් 05 වනදා ඇයව සැත්කමකට භාජනය කළ බව ඇගේ මව වන කේ. චන්ද්‍රානි නානායක්කාර ප්‍රකාශ කළා.

කෙසේ නමුත් එම සැත්කමෙන් අනතුරුව ඇයට සංකූලතා මතුවීම හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

එහි ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පසුගිය ජනවාරි 25 වනදා රෝහලේ ස්නායු ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව යොමු කෙරුණේ රාගම පුනරුත්ථාපන රෝහලටයි.

කෙසේ වෙතත් මේ වනවිට ඇයව නිවසට රැගෙනවිත් ඇති අතර, ඇවිදීමට පවා නොහැකි කළණි ඉරෝෂාගේ, මව වැඩිදුරටත් සඳහන් කළේ සිය දියණියගේ ප්‍රතිකාර සඳහා විශාල මුදලක් දැරීමට තමන්ට සිදුව ඇති බවයි.

තම දියණිය මෙම වසරේ ජනවාරි මාසයේ සිය උපාධි ප්‍රධානෝස්වයට සහභාගි වීමට සහ මැයි මාසයේ සිය විවාහ මංගල්‍ය වෙනුවෙන් සූදානම්ව සිටි බවද ඇයගේ මව හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

සිය දියණියට සිදුවූ අසාධාරණය වෙනුවෙන් කඩිනම් පියවර ගන්නා ලෙසයි කළණි ඉරෝෂාගේ මව බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

මෙම වෛද්‍යවරයා වත්තල පෞද්ගලික රෝහලකදී සිදුකළ ශල්‍යකර්මයක් අසාර්ථක වීමෙන් තරුණියක රාගම ශික්ෂණ රෝහලේ දී මිය යාමේ පුවතක් ද මීට පෙර වාර්තාවුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *