22 සංශෝධන ඇතුලේ 13 සම්පූර්ණයෙන් බලාත්මක කරන්න යයි.. ඩයස්පෝරාවේ ඩොලර් ගේන්නලු..

22 සංශෝධන ඇතුලේ 13 සම්පූර්ණයෙන් බලාත්මක කරන්න යයි.. ඩයස්පෝරාවේ ඩොලර් ගේන්නලු..

*********************************************

22 සංශෝධන ඇතුලේ 13 සම්පූර්ණයෙන් බලාත්මක කරන්න යයි.. ඩයස්පෝරාවේ ඩොලර් ගේන්නලු..

(03.10.2022 – 17:30 +0530 – lankacnews.com)

ජනාධිපති, අගමැති, කථානායක ඇතුළු සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි :

ගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, ගරු කථානායකතුමා,
ගරු අධිකරණ අමාත්‍යතුමා සහ සෙසු සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා වෙත.

ගරු මැතිඳුනි,

22 වැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය තුළ 13 වැනි ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම බලාත්මක කිරීම සඳහා වන බෙදුම්වාදී සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී කූඨ ලෙස ඇතුළත් කිරීම වැළැක්වීම

ඔබතුමන්ලා ඉතා හොඳින් දන්නා පරිදි මෙම මස 06 සහ 07 දිනවල දී කඩිනමින් සම්මත කිරීමට යෝජිත 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ව මහජනයා අතර පරස්පර මතවාද මෙන් ම අවිශ්වාසයක් සහ විරෝධයක් පවතින බව අප විසින් නිරීක්ෂණය කර ඇත. මහා සංඝරත්නය සහ මේ රටේ විද්වතුන් මෙන් ම බහුතරයක් පොදු ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවලට විරෝධයක් නැතත් ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුත්තේ ආර්ථික අර්බුදය යම් පමණකට හෝ සමනය කිරීමෙන් පසු ව බවට පොදු මතවාදයක් දරන බව ද කිව යුතු ය. එහෙත් යම් පාර්ශ්ව ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය එකට බැඳී ඇති බැවින් පළමු ව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බවට අදහස් ඉදිරිපත් කරන බව ද අප වෙත දැනගැනීමට ලැබී ඇත.

ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පොදු මහජනයාගේ දැනුම්වත් භාවය සහ එකගතාය සහිත ව සිදු කළ යුතු අතර එම ක්‍රියාවලිය තුළ විවෘත භාවය සහ සද්භාවය පෙන්වීම තුළින් මහජන විශ්වාසය තහවුරු කළ යුතු ය. නමුත් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාවලිය තුළ එම මූලික ප්‍රතිපත්තයට ගරු කිරීමක් නොමැති බව දක්නට ලැබේ. උදාහරණයක් ලෙස කෙටුම්පතට ඇතුළු කිරීම සඳහා විවිධ දේශපාලන පක්ෂ විසින් ලබාදුන් යෝජනා කිසිවක් කෙටුම්පතට ඇතුළු කර නොමැති අතර ඒවා කාරක සභා අවස්ථාවේ දී පසු ව ඇතුළු කරන බව අප වෙත වාර්තා වී ඇත. එසේ ම මේ වන විට දෙමළ ඩයස්පෝරාව විසින් සිදුකරන ප්‍රකාශ අනුව රටට ඩොලර් එවීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් මගින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කළ යුතු බවට කොන්දේසියක් පනවා ඇත. ඊට අමතර ව ජාත්‍යන්තර මානව හිමිකම් කොමසාරිස්වරිය සහ ඉන්දියාවේ ජිනීවා තානාපතිවරයා එසේ කළ යුතු බවට දැඩි බලපෑමක් එල්ල කර ඇත. ඒ නිසා මේ වන විට ආණ්ඩුවේ යම් පාර්ශ්ව විසින් ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු නොවන යම් බෙදුම්වාදී සංශෝධන එනම් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම බලාත්මක කිරීමට අදාළ සංශෝධන කිහිපයක් විවාදයේ කාරක සභා අවස්ථාවේදී කෙටුම්පතට ඇතුළු කිරීමට ඉඩ තිබෙන බවට මහජනයා අතර බරපතල සැකයක් ඇති වී ඇත.

හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතාට අනුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම බලාත්මක කිරීම වළක්වා ඇත්තේ 154 වගන්තියට අන්තර්ගත කර ඇති ව්‍යවස්ථාමය බාධක කිහිපයක් මගිනි. ඒ අනුව ඒවා ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඉවත් කළහොත් ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් වේ. එම ක්‍රියාවලිය ජාත්‍යන්තර මැදිහත් වීමක් යටතේ අවසන් වනු ඇත්තේ රට බෙදා වෙන් කිරීමෙන් බවට කිසිදු සැකයක් නැත. ඔබතුමන්ලා ඊට ඉඩ සැලසුව හොත් ශ්‍රී ලංකාවේ ඉතිහාසය අවසන් වනු ඇත. සිංහල, දෙමළ, මුස්ලිම් සමගිය ද අවසන් වන අතර සුඩානයේ මෙන් දේශ සීමාවක දෙපස මරාගන්නා අවාසනාවන්ත ජාතියක් බිහි වනු ඇත.

එනිසා එවැනි තත්ත්වයක් වැළැක්වීම තිස් දහසක් ජීවිත පරිත්‍යාග කළ සහ තවත් තිස් දහසක් අතපය, දන්දුන් රණවිරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු පරම වගකීමකි. ඔබ ඊට අසමත් වුව හොත් හෝ දැනුම්වත් ව ඊට දායක වුව හොත් එය ඔබ විසින් කරන ලද මහා පාවා දීමක් ලෙස ඉතිහාසය සනිටුහන් කරනු ඇත. එම නිසා කවර වූ හෝ ආකාරයකින් 22 වැනි සංශෝධනයට බෙදුම්වාදී සංශෝධන ඇතුළු කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

ඒ සඳහා පහත සඳහන් යෝජනා ඉදිරිපත් කිරීමට ද කැමැත්තෙමු.

  1. අධිකරණයේ දී නීතිපතිවරයා විසින් එකඟ වන සංශෝධන සහ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන අතුරින් ආණ්ඩුව එකඟවන සංශෝධන සියල්ල නිශ්චිත වගන්ති ලෙස භාෂා ත්‍රිත්වයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මහජනයා වෙත වහා ම ප්‍රකාශයට පත් කිරීම.
  2. දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන යෝජනා කුමන පක්ෂ විසින් ඉදිරිපත් කළේ ද යන්න මහජනයාට අනාවරණය කිරීම.
  3. එසේ කාරක සභා අවස්ථාවේදී කෙටුම්පතට ඇතුළු කරන බවට ප්‍රකාශයට පත් කළ සංශෝධන හැර වෙනත් කිසිදු සංශෝධනයක් විශේෂයෙන් ම 154 වගන්තියේ අඩංගු ව්‍යවස්ථාමය බාධක ඉවත් කිරීම සඳහා වන වගන්ති කෙටුම්පතට ඇතුළු නොකරන බවට උපදේශක කාරක සභාවේ දී සහ කථානායකවරයා, අගමැතිවරයා සහ සභානායකවරයාගෙන් සහතිකයක් ලබාගැනීම.
  4. එවැනි සහතිකයක් ලබා නොදෙන තත්ත්වයක් යටතේ විවාදය සහ ඡන්දය වර්ජනය කිරීම මගින් ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කෙරෙන ඒ මහා ඓතිහාසික පාපකර්මයට දායක නොවී සිටීම. (ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමට ඉඩ හැර ඡන්දය නොදී සිටීමෙන් පමණක් එම පාපකර්මයෙන් ඔබ නිදහස් නොවන බව සලකන්න.)

මේ වගට,

අත්සන් කළේ,

  • ජාතික මහජන සභාව – මහාචාර්ය පූජ්‍යය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
  • ජාතික විද්වද් භික්ෂු සංසදය – ආචාර්ය පූජ්‍යය මාදුරුඔයේ ධම්මිස්සර හිමි
  • ශ්‍රී ලංකා – චීන සහයෝගිතා සංගමය – මහාචාර්ය පූජ්‍යය මල්වානේ චන්දරතන හිමි
  • ථේරවාද විමර්ශන සභාව – ශාස්ත්‍රපති හෑගොඩ විපස්සී හිමි
  • ජාතික සංවිධාන එකමුතුව – අචාර්ය ගුණදාස අමරසේකර
  • දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය – වෛද්‍යය වසන්ත බණ්ඩාර
  • ජාතික ඒකාබද්ධතා කමිටුව – කර්නල් අනිල් අමරසේකර
  • ගෝලීය ශ්‍රී ලාංකික සංසදය – යසස් ධර්මදාස
  • ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ රුසියානු ශාඛාවේ නියෝජිත – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
  • ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය – ජනක බෝධීනන්ද
  • මහජන රාජ්‍යය සභාව – විශේෂඥ වෛද්‍යය ඉන්ද්‍රජිත් කමලදාස
  • මහජන යුතුකම් කේන්ද්‍රය – විශේෂඥ වෛද්‍යය හැරිස් පතිරගේ
  • වෛද්‍යය පීඨ ශිෂ්‍යය දෙමව්පිය සංගමය – වසන්ත අල්විස්
  • ජාතික ගොවිජන එකමුතුව – ඉංජිනේරු රජරට අනුරාධ තෙන්නකෝන්
  • දේශප්‍රේමී විද්වත් සංසදය – ඉංජිනේරු නිමල් විජේතුංග
  • සුපිරිසිදු රටක් -රටට හෙටක් සංවිධානය – අජිත් සෙනෙවිරත්න
  • ඉංජීනේරු වෘතීයවේදීන්ගේ සංගමය – ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න
  • 56 දරුවෝ සංවිධානය – සේනාරත්න ද සිල්වා
  • ලක්දිරිය කාන්තා පදනම – ප්‍රියංගා කොතලාවල
  • යුක්තිය සහ පරමාධිපත්‍යය උදෙසා ජනතා හඬ – නීතිඥ මධුමාලි අල්විස්
  • සම්ප්‍රදයානුකූල පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය – බුද්ධික ද සිල්වා
  • විජයග්‍රාහි ජාතික සංවිධානය – වසන්ත පුංචිහේවා
  • ධර්මපාල පරපුර – සාලිය හෙට්ටිආරච්චි
  • මව්බිම ලංකා පදනම – වෛද්‍යය සුමිත් වන්නිආරච්චි
  • ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම
  • ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා

***************************************

02-10-2022

***************************************

මේ රට ගොඩනැගිය හැක්කේ බිඳවැටෙමින් පවතින “බටහිර බලය” වෙනුවට ශීඝ්‍රයෙන් වැඩෙමින් පවතින “ආසියාතික බලය” කෙරෙහි විශ්වාසය තබා ගමනක් යාමට සූදානම් පාලනයකට පමණයි! – ජානිපෙ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස

(02-10-2022 – facebook.com/WimalWeerawansa.sl)

කවුරුන් කැමැති වුවත්, අකමැති වුවත් ශ්‍රී ලංකාව යළි ගොඩනැගිය හැක්කේ බිඳවැටෙමින් පවතින බටහිර බලය වෙනුවට ශීඝ්‍රයෙන් වැඩෙමින් පවතින ආසියාතික බලය කෙරෙහි විශ්වාසය තබා ගමනක් යෑමට සූදානම් පාලනයකට පමණක් බවත් එහෙත් වත්මන් පාලකයන් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලවතුන්ගේ උවමනාව අනුව යමින්, චීනය සහ රුසියාව ප්‍රමුඛ ආසියාතික රටවල් මතින් ගොඩනැගෙන එම බල කේන්ද්‍රයට පිටුපාමින්, එම රටවල් සමග රාජ්‍යතාන්ත්‍රික ගැටලු පවා ඇති කරගන්නා තත්ත්වයකට පත්ව ඇති බවත් එරෝප්ලොට් ගුවන් යානය පිළිබඳ ගැටලුව සහ චීන සන්නිවේදන තාක්ෂණ නෞකාව පිළිබඳ ගැටලුව ඊට නිදසුන් බවත් ජානිපෙ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පෙන්වා දෙයි.

අද (02) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය :

ඩීසල් මිල අඩු නොකිරීම

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සියයට 40 කින් පමණ අඩු වී තිබෙනවා. ඒ වාසිය පරිපූර්ණව රටේ ජනතාවට ලබාදීමට මේ ආණ්ඩුවට හැකියාවක්, උවමනාවක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. මේ ආකාරයට හෝ පෙට්‍රල් මිල අඩු කිරීම හොඳයි. නමුත් මේ ආණ්ඩුව පරිණත එකක් නම් කළ යුතුව තිබුණේ කෘෂිකර්මාන්තයේ, ධීවර කර්මාන්තයේ හා සෙසු කර්මාන්තවල යෙදෙන පිරිසට මෙන්ම පොදු ප්‍රවාහනයට ද බරපතළ ලෙස බලපාන ඩීසල් මිල අඩු කිරීමට පියවර ගැනීමයි. ආණ්ඩුව ‘එදා වේල ටුවර්ස්’ ගමනක් යනවා විනා ප්‍රමුඛතා ලේඛනයකට අනුව වැඩ නොකරන බව මෙමඟින් තවදුරටත් තහවුරු වෙනවා.

යළි ඇරඹුණු ‘ගැසට් රිවස්’

ගෝඨාභය රාජපක්ෂ පාලනය තුළ දිගින් දිගටම දක්නට ලැබුණු දෙයක් තමයි නිකුත් කරනු ලබන ගැසට් නිවේදන යළි හකුළා ගැනීම. මෙරට මූලික නීතියට හා සෙසු අණපනත්වලට අනුකූලව, බුද්ධිමත් සංවාදයකින් පසුව ගැසට් නිකුත් කළාම එවැනි ගැසට් රිවස් කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් එම කාලයේ දී ‘ගැසට් ගහනවා – රිවස් කරනවා’ බලමින් ඉන්නයි ජනතාවට සිදු වුණේ. ඒ දෙය දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද පටන්ගෙන තිබෙනවා. එයාටත් අධිආරක්ෂිත කලාප සම්බන්ධයෙන් ගහපු කැසට් එක රිවස් කිරීමට සිදුව තිබෙනවා. රටත් ජනතාවත් සුරැකෙන පරිදි, කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට වැට බැඳෙන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. පවතින නීති රාමුව යටතේ එසේ නොකොට මේ අර්බුදකාරි අවස්ථාවේදී යළි ගැසට් රිවසි කිරීමේ තැනකට තල්ලු වීම කනගාටුවට කරුණක්.

සජිත් – දමිතා නාටකය

අපි දැක්කා තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවීමට දත – කට මැදගෙන ඉන්න, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ වේදිකාවට, ‘මම නිර්පාක්ෂිකයි’ කියමින් ‘අරගල භූමියේ’ සැරිසරපු, ඩොලර්වලට මේ රට අරාජික කිරීමේ බලමුළුවේ ප්‍රබල සාමාජිකාවක් වුණු දමිතා නෝනා නගිනවා. හොරෙන්, හොරෙන් වෙස් බැන්දත් කවදා හෝ එළියෙ නටන බව, අපි නම් දැනගෙන හිටියා. ඒකයි අපි දිගින් දිගටම මේ ‘නිර්පාක්ෂික අරගලකරුවන්ගේ, ඔවුන්ට සහයෝගය දැක්වූවන්ගේ පැටිකිරිය’ ජනතාව ඉදිරියේ තැබුවේ.

සජිත් මහත්තයාට දමිතා නෝනාගෙන් චරිත සහතික එහෙම ලැබෙන ආකාරයත් අපි දුටුවා. ඒ නිසා විගණකාධිපතිතුමන් සිය නවතම විගණන විමසුමකින් සජිත් ප්‍රේමදාස මහත්තයාට ලබාදී ඇති චරිත සහතිකයත් අපි මේ රටේ සබුද්ධික ජනතාව ඉදිරියේ කියවීමට සූදානම්. විගණකාධිපතිතුමන් පෙන්වා දී තිබෙනවා, සජිත් ප්‍රේමදාස සංස්කෘතික කටයුතු අමාත්‍ය ධුරය දැරූ සමයේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් බිලියන ගණනින් අවභාවිතා කළ ආකාරය. රජයේ මුදල් කෝටි, ප්‍රකෝටි ගණනින් පිල්ලි ගැසූ අයෙකුට කියන්නේ ‘කම්බා හොරෙක්’ කියලා. හොරු ගැන කතා කරන්න ඕනේ. නමුත් සජිත් කියන්නේ ‘හොරු ගැන කතා කරන කම්බ හොරෙක්’ බව ජනතාව දැන්වත් වටහාගත යුතුයි.

ගෝල්ෆේස් බයිස්කෝප්

ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන් නිෂ්පාදනය කළ බයිස්කෝප් එකක් තමයි ‘ගෝල්ෆේස් අරගලය’ කියන්නේ. සරත් ෆොන්සේකා, දමිතා අබේරත්න, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු අනෙක් පක්ෂ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සියලුදෙනා මේ බයිස්කෝප් එකේ විවිධ චරිත රඟපෑවා. මේක මේ රටට එරෙහිව රඟ දක්වපු බයිස්කෝප් එකක්. මෙහි සම නිෂ්පාදකවරු ද සිටියා. දෙමළ ඩයස්පෝරාව, මේ රටේ කිලකස්ථානයක් හදන්න උවමනා අන්තවාදී සංවිධාන, ඒ අතර වෙනවා. ඒ නිෂ්පාදකයෝ, සම නිෂ්පාදකයෝ මෙහි චරිත රඟපාලා, ජනතාව ඇන්දූ තරමට හොඳට ගෙව්වා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, ‘මේ රාජ්‍යය බිඳවට්ටලා, මේ රට තවත් හයිටියක් බවට පත් කරන්න බලාගෙන ඉන්න පිරිස්වලට තවදුරටත් රැවටෙන්න එපා! තමන් ඉදිරියේ තිබෙන අනතුර හොඳින් වටහා ගන්න’ කියලා.

සාගත කැරලි සහ ඇමති කටු සූප්පුව

මුළුමහත් ලෝකයම ආහාර අහේනියකට මුහුණපෑමේ අවදානමක් මතුව තිබෙනවා. මේ ආර්ථික අර්බුදය දෙගුණ, තෙගුණ කරමින් ඒකත් අපට බලපාවි. මේ තත්ත්වයෙන් ගැලවීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට ජාතික සැලසුමක් තිබෙනවා ද? ඒ බවක් පෙනෙන්නේ නැහැ. ‘ජනතාව වෙනුවෙන්’ කියමින් ඇමැතිකම් ගත්තු අය අද මොකද කරන්නේ? ඔවුන් තමන්ට ලැබුණු ‘ඇමති කට්ට සූප්පු කරනවා’ මිසක් වෙන දෙයක් කරන්නේ නැහැ. ඒ නිසා ඉදිරියේදී සාගත කැරලි හරහා රටම අරාජික කරන ‘දෙවන අරගලයක්’ ඇතිවීමේ අවදානමක් ද මතුව තිබෙනවා. ඒ නිසා වත්මන් පාලකයන් අඩුම වශයෙන් ඒ කෙරෙහිවත් අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

ශ්‍රී ලංකාව සමාගමක් වෙයිද?

කවුරුන් කෙසේ කීවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රටට ලැබෙන දෙයක් නැහැ. රාජ්‍ය සේවයට මුද්‍රා තබලා, රාජ්‍ය ව්‍යවසායන් විකුණා දමලා, ‘ශ්‍රී ලංකා රාජ්‍යය’ වෙනුවට ‘ශ්‍රී ලංකාව නැමැති පෞද්ගලික සමාගමක්’ හදලා, ඒ සමාගමේ කොටස් ටික ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලවතුන්ට විකුණා දමන්නයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට උවමනා. ඒකයි ඔවුන්ට පැවරී ඇති වගකීම. මේ සියල්ලටම එරෙහිව යන ගමනක්, ආසියාතික බලය සමඟ සිටගන්නා පාලනයක් මේ රටට අවශ්‍යයි. ඒ වෙනුවෙන්ම පිහිටුවා ඇති ‘උත්තර ලංකා සභාගය’ සමඟ අත්වැල් බැඳගන්නා ලෙස රටට හිතැති සියලු ජන බලවේග වෙතින් ඉල්ලා සිටිනවා.”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2022-10-02

***************************************

03-10-2022

***************************************

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ මතයට අනුකූලව පමණක් සංශෝධනය විය යුතුයි – යටිකූට්ටු වැඩ කළොත් සහාය දෙන්නේ නැහැ – විමල් වීරවංශ

(04.10.2022 – 18:02 +0530 – lankaleadnews.com)

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව හා එහි සංශෝධන කවර ආකාරයකින් සිදුවේ ද යන්න පිළිබඳව කරුණු දැක්වීම සඳහා හදිසි මාධ්‍ය සාකච්ඡාවක් උත්තර ලංකා සභාගය අද (04) කැඳවා තිබිණි.

උත්තර ලංකා සභාගය නියෝජනය කරමින් එහි සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා එහිදී සඳහන් කර සිටියේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණ මතයට අනුකූලව පමණක් සංශෝධනය කරන්නේ නම් ඒ සඳහා තම පාර්ශ්වයේ සහයෝගය ලබා දෙන බවත්, එසේ නොකර එහි කාරක සභා අවස්ථාවේදී කූඨ ලෙස වෙනත් සංශෝධන ඇතුළත් කිරීමට ආණ්ඩුව උත්සාහ දරන්නේ නම් ඊට කිසිඳු සහායක් ලබා නොදෙන බවය.

එසේ වුවහොත් තම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ වෙනමම රැස්වී ඒ සඳහා ගතයුතු අවසන් පියවර ඒ අවස්ථාවේදීම ගැනීමට තීරණය කර ඇති බව විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු සඳහන් කරන විමල් වීරවංශ මහතා :

“22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල තියෙනවා. ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතයත් ඉදිරිපත් කරල තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබෙන මතය අනුව පමණක් කටයුතු කරනවා නම් 22 වැනි සංශෝධනයට අපි සහයෝගය ලබා දෙනවා.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබෙන සංශෝධන හැර කාරක සභා අවස්ථාවේ දි වෙන වෙන සංශෝධන ඇතුළත් කරන්න යනව නම් හොඳ වුනත්, නරක වුනත් අපිට මේ ගැන හිතාබලන්න සිද්ධ වෙනවා, ඒ වෙනුවෙන් ගතහැකි පියවර කුමක් ද කියලා.

අපි මේ දේ කියන්නෙ හේතුවක් ඇතුව. රනිල් වික්‍රමසිංහ අගමැතිවෙලා හිටිය රනිල් – මෛත්‍රී යහපාලන කාලයේ දි ආණ්ඩුව සමහර පනත් කෙටුම්පත් ගෙනාවා. ඒවා සංශෝධනයේ දී කූඨ සංශෝධන ඇතුළත් කළා. මේ 22 වැනි සංශෝධනයේදීත් එවැනි කූඨ සංශෝධන කිරීමේ අවධානම අපි ඉස්සරහ තියෙනවා. ඒ නිසා තමයි ජාතික සංවිධාන කියන්නෙ කාරක සභා අවස්ථාවේ දි වෙන වෙන සංශෝධන ඇතුළත් කරන්න ඉඩ තියෙනවා කියලා.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙනා අවස්ථාවේදීත් හුඟක් අය ඒක වර්ණනා කළා, ජනාධිපති ඉවත් වුනොත් හරි මියගියොත් හරි ඒ බලය යන්නෙ කථානායකවරයාට කියලා. හැබැයි එහි කාරක සභා අවස්ථාවේ දි වෙන වෙන සංශෝධන ඇතුළත් කරල අන්තිමට බලනකොට ජනපතිට අරහෙම වුනොත් බලේ යන්නෙ අගමැතිට.

මූලික කෙටුම්පත එන්නෙ එකක්, කාරක සභා අවස්ථාවේදි වැඩේ දෙන්නෙ වෙන විදිහට. මේ අතීත භාවිතාව නිසා අපි දැඩි කොන්දේසියක් පනවනවා ආණ්ඩුවට 22 වැනි සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබෙන සංශෝධන පමණක් සහිතව සම්මත කරනව නම් අපි ඒකට පක්ෂ වෙනවා. හැබැයි ඒ සංශෝධනවලට අමතරව වෙන වෙන යටිකූට්ටු සංශෝධන ගෙන ඒමට උස්සාහ කළොත් අපේ සහයෝගය ලබාදීම ගැන අපිට සලකා බලන්න සිද්ධ වෙනවා.

එහෙම තත්ත්වයක් ඇති වුනොත් අපි තීරණය කරල තියෙන්නෙ අපේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේදි වෙනමම රැස්වෙලා ගතයුතු අවසන් පියවර ඒ අවස්ථාවේදීම ගතයුතුයි කියලා.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *