ජාතික සභාව හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවකට විකල්පයක් නෙවේ.. වීදි බසින විපක්‍ෂයටද උත්තරයක් නෑ…

ජාතික සභාව හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවකට විකල්පයක් නෙවේ.. වීදි බසින විපක්‍ෂයටද උත්තරයක් නෑ…

*********************************************

ජාතික සභාව හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවකට විකල්පයක් නෙවේ.. වීදි බසින විපක්‍ෂයටද උත්තරයක් නෑ…

(01.10.2022 – 08:40 +0530 – lankacnews.com)

‘ජාතික සභාව සර්ව පාක්ෂික ආණ්ඩුවකට විකල්පයක් නෙවෙයි.. අර්බුදය විසඳීමට නම් නිශ්චිත වැඩපිළිවෙලක් සමග මැතිවරණයකට යන දින වකවානු ප්‍රකාශයට පත්කළ යුතුයි’ යන මැයෙන් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් පක්ෂ නායකයින් වෙත ලිපියක් යොමුවී ඇත.

එම සම්පූර්ණ ලිපිය මෙසේය :

සියලුම පක්ෂ නායකයින් වෙත,
ගරු මැතිතුමනි,

ජාතික සභාව අර්බුදයට විසඳුමක්ද?
කළ යුත්තේ කුමක්ද?

ආර්ථික අර්බුදය දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වීමේ ක්‍රියාවලිය ආරම්භ වී මේ වන විට මාස 6 කට වැඩි කාලයක් ගතවී ඇත. දේශපාලන අර්බුදය වියුක්තව විසදීම සඳහා බලය අතහැරීමේ සිට බලය අත්පත් කර ගැනීම දක්වා විවිධ අත්හදා බැලීම් සිදුකර ඇත. එහෙත් මේ වනතෙක් මූල හේතුව වූ ආර්ථික අර්බුදය විසදීම සඳහා සංයුක්ත උපායමාර්ගික යෝජනාවක් ආණ්ඩුව විසින් රටට ඉදිරිපත් කර නැත. ඒ නිසා අර්බුදය විසදීමට ආණ්ඩුවට උවමනාවක් සහ හැකියාවක් තිබෙන බවට මහජන විශ්වාසය තහවුරු කිරීමට ද නොහැකි වී ඇත.

එවැනි තත්වයක් තුළ ශ්‍රී ලංකාවේ රාජ්‍යය අස්ථාවරකර ජාත්‍යන්තර මැදිහත්වීමකට දැනුම්වත්ව සහ එසේ නොමැතිව පාර කපන ඊනියා අරගලකරුවන්ට දේශපාලන අවකාශයක් නිර්මාණය වී ඇත. වෙනත් වචනවලින් කියන්නේනම් අරගලකරුවන්ගේ දේශපාලන අවි උඳුරාගැනීමට හෙවත් ඔවුන් නිරායුද කිරීමට ආණ්ඩුව අසමත් වී ඇත. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ආර්ථික අර්බුදය තවදුරටත් උත්සන්න වීම තුළ දාරිද්‍රතාවට ගොදුරු වන අතිබහුතරයක් පොදු මහ ජනතාව ප්‍රචණ්ඩ දේශපාලන අරගලවලට යොමුවීමය. ඒ මගින් අර්බුදය තවදුරටත් උත්සන්න වන අතර ඉහත සඳහන් කළ ‘ආපදා අධිරාජ්‍යවාදී’ මෙහෙයුම්වලට අවස්ථාව නිර්මාණය වේ.

එවැනි තත්වයක් තුළ පවා වීදි බසින සටන්කරුවන් විසින් හෝ පාර්ලිමේන්තුව තුළ ඝෝෂා කරන විපක්ෂ බලවේග විසින් වහාම අර්බුදය විසදීම සඳහා නිශ්චිත උපායමාර්ගික වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කළ යුතු බවට ආණ්ඩුවට බලකිරීමක් සිදු නොකිරීම පුදුම සහගතය. අඩු තරමින් එවැනි වැඩපිළිවෙළක අඩංගු විය යුතු නිශ්චිත යෝජනා පිළිබිඹු වන ආකාරයට සටන් පාඨ ඉදිරිපත් කිරීමට ඔවුන් අසමත් වී ඇත. ඒ වෙනුවට ‘වීදි බසිනු! ආණ්ඩුව පලවා හරිනු!’ යන සටන් පාඨය පමණක් පුනරුච්චාරණය කිරීමෙන් අර්බුදය විසදිය හැකිද?

යම් නායකයින් ස්වෙච්ඡාවෙන් බලය අතහැර පලාගිය ද ආණ්ඩුවක් පලවා හැරීමේ නීත්‍යනුකූල සහ ප්‍රායෝගික ක්‍රමවේදය වන්නේ මැතිවරණයකදී ආණ්ඩුව පරාජය කිරීමය. එහෙත් මෙවැනි අර්බුදකාරී තත්වයක් තුළ මැතිවරණ පැවැත්වීම දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව විසින් ඉල්ලා සිටින විසඳුමක්නම් නොවේ.

එක් පැත්තකින් කුසගින්නෙන් පෙළෙන ජනතාව අතට ආහාර සලාකයක් වෙනුවට ඡන්ද පත්‍රිකාවක් ලබාදීම සාධාරණ ද? අනෙක් පැත්තෙන් නොසන්සුන්කාරී වාතාවරණයක් තුළ පවත්වන මැතිවරණයකින් සැබෑ ජනමතය පිළිබිඹු වන බවට විශ්වාසය තැබිය හැකි ද?

ඒ නිසා ‘ජාතික සංවිධාන’ ලෙස අපගේ මතය වන්නේ අර්බුදය විසදීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් සමඟ මැතිවරණය පැවැත්වීමට නියමිත කාලවකවානු ප්‍රකාශයට පත්කළ යුතු බවය. නමුත් ‘පය බරවායට පිටිකර බෙහෙත් බඳින’ ආණ්ඩුව සියල්ලට විසඳුම් ලෙස ‘ජාතික සභාවක්’ පත්කර ඇත. එය කිසිසේත්ම සර්වපාක්ෂික වැඩපිළිවෙළක් පදනම් කරගෙන පිහිටුවනු ලබන සර්වපාක්ෂික ආණ්ඩුවකට විකල්පයක් ලෙස සැලකිය නොහැක.

ඒ ආකාරයට මෙතෙක් ජනතාවට අසමත්භාවය ප්‍රදර්ශනය කර ඇති දේශපාලන නායකයින්ගේ පුටු හෝ නාම පුවරු වෙනස් කිරීමෙන් අර්බුදයට විසඳුම් ලබා දිය නොහැකි බව ඉතා පැහැදිලිය. කෙසේ වෙතත් විපක්ෂයේ යම් දේශපාලන පක්ෂ ඉතා නිවැරදි ලෙස ඊට විරෝධය පළ කර ඇති බව සහ තවත් පක්ෂ දෙගිඩියාවකින් පසුවන බව දැන් පැහැදිලි වේ.

කෙසේ වෙතත් දෙගිඩියාවක් ඇති වන්නේ නිශ්චිත දාර්ශනික සහ න්‍යායාත්මක පදනමක් මෙන්ම උපායමාර්ගික ප්‍රවේශයක් නොමැති කම නිසා බව ද සඳහන් කළ යුතුය. ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ විසින් අර්බුදය විසඳීම සඳහා මාර්තු මාසයේදී ඉදිරිපත් කළ වැඩපිළිවෙළ ඉහළට එසවීමට එම පාර්ශව විසින් කටයුතු නොකිරීම ද ප්‍රහේලිකාවකි.

ඒ නිසා ජාතික සංවිධාන නියෝජනය කරමින් සියලුම දේශපාලන නායකයින් වෙත පහත සඳහන් යෝජනා ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

  1. ජාතික සභාවක් වෙනුවට වහාම ‘සර්වපාක්ෂික සමුළුවක්’ කැඳවීම සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලට ඒ සඳහා ආරාධනා කිරීම.
  2. ජාතික සංවිධාන සහ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ නියෝජිතයින්ට නිරීක්ෂකයින් ලෙස ඊට සහභාගි වීමට අවස්ථාව සැලසීම.
  3. පළමු වටයේදීම මේ වන විට අර්බුදය විසඳීම සඳහා දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති උපායමාර්ගික ප්‍රවේශයන් සහිත වැඩපිළිවෙළවල් එම සමුළුවට ඉදිරිපත් කිරීම සහ දෙවනුව සෙසු පක්ෂවලට තම යෝජනා සහ ප්‍රතියෝජනා ඉදිරිපත් කිරීමට කාලරාමුවක් ලබාදීම මෙන්ම එම සියලු යෝජනා ප්‍රසිද්ධියට පත් කිරීම.
  4. යම් නිශ්චිත කාල රාමුවක් තුළ සර්වපාක්ෂික ජාතික වැඩපිළිවෙළට එකඟතාව ලබා ගැනීම සහ එය මහජන සංවාදයට ලක් කරන අතර වෙනස්කම් සඳහා ඉඩකඩ සහිතව ඒ මත පදනම්ව හෙවත් එය ක්‍රියාත්මක කිරීම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම.
  5. උපායමාර්ගික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම. අධීක්ෂණය කිරීම සඳහා ජාතික සභාවක් හෝ මහජන සභාවක් හෝ අධීක්ෂණ සභාවක් පත් කිරීම සහ ඒ තුළ ජාතික සංවිධාන සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් මෙන්ම ස්වාධීන විද්වතුන්ට ද නියෝජනයක් ලබා දීම.

මේ වගට,

ආචාර්ය ගුණදාස අමරසේකර
කැඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව

***************************************

30-09-2022

***************************************

29-09-2022

***************************************

26-09-2022

***************************************

01-10-2022

***************************************

30-09-2022

***************************************

26-09-2022

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *