සමගි ජන බලවේගයේ විශේෂ මාධ්‍ය හමුව 12.07.2022

සමගි ජන බලවේගයේ විශේෂ මාධ්‍ය හමුව 12.07.2022

*********************************************

සමගි ජන බලවේගයේ විශේෂ මාධ්‍ය හමුව 12.07.2022

***************************************

07-07-2022

***************************************

අහසින් පැන යන්නට බැරි වූ ජනපති මුහුදෙන් යෑමේ උත්සාහයක් පිළිබඳ AFP පුවත් සේවය කියයි

(12.07.2022 – 16:17 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා මුහුදු මාර්ග ඔස්සේ රටින් පිට වීමට උත්සාහ දරමින් සිටින සිටි බව AFP පුවත් සේවය පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙවැනි විකල්ප ක්‍රියාමාර්ගයක් කරා යොමු වීමට තීරණය කර ඇත්තේ ගුවන් තොටුපළ හරහා මේ වන විට රටින් බැහැරව යෑමේ අවස්ථා සීමා වෙමින් පවතින නිසාවෙන් බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබූ පසු රටේ උද්ගත වූ දරුණුතම ආර්ථික අර්බුදයට මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින අතර එයට සෘජුව ම චෝදනා එල්ල කෙරෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතටයි.

මිලියන 22 ක ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත් කරමින් අත්‍යාවශ්‍ය ආනයන සඳහා පවා මුදල් සපයා ගැනීමට විදේශ විනිමය හිඟ වන තැනට ආර්ථිකය වැරදි ලෙස කළමනාකරණය කළ බවට රාජපක්ෂට චෝදනා එල්ල කරමින් ජනාධිපතිවරයාට වහාම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් රට පුරා බරපතල විරෝධතා ක්‍රියාත්මක කෙරුණා.

ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ 13 වන බදාදා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට භාර දෙන බවයි.

73 හැවිරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සෙනසුරාදා දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් කොළඹ පිහිටි ඔහුගේ නිල නිවස අත්පත් කර ගැනීමට මොහොතකට පෙර ඉන් පලා ගියා.

නාවික හමුදා යාත්‍රාවක නැගී ත්‍රීකුණාමලය නාවික හමුදා කදවුර වෙත පිටත්ව ගිය ජනාධිපති වරයා ඉන්පසු ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාම සඳහා නැවතත් ගුවන් මගින් කටුනායක ගුවන් හමුදා කදවුර වෙත පැමිණියේ ඊයේ සවස් කාලයේ යි.

කෙසේ වෙතත් ගුවන් තොටුපළ හරහා දිවයිනෙන් පිටත්ව යාමේ උත්සාහ අසාර්ථක වූයේ ඒ සඳහා ගුවන්තොටුපල සහ ගුවන් මගීන්ගේ දැඩි විරෝධතාවක් එල්ල වීම හේතුවෙන්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති වරයා වශයෙන් මුක්තිය භුක්ති විඳින අතර, අත් අඩංගුවට ගැනීමෙන් පසු රඳවා තබා ගැනීමේ හැකියාව වළක්වා ගැනීම සඳහා ඉල්ලා අස්වීමට පෙර ඔහුට විදේශගත වීමට අවශ්‍ය බව විශ්වාස කෙරෙන බවයි AFP පුවත් සේවය පවසන්නේ.

නමුත් ආගමන විගමන නිලධාරීන් ජනාධිපතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය මුද්‍රා තැබීමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රභූ මගීන්ගේ පර්යන්තයට යෑම ‍ප්‍රතික්ෂේප කළ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් මතු වූ ගැටලුවක් හේතුවෙන් ජනාධිපති වරයා ගුවන් තොටුපලේ සාමාන්‍ය මගී පර්යන්තය භාවිත කිරීමෙන් වැළකී සිටි බවයි වාර්ත වන්නේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යා හැකිව තිබූ ගුවන් යානා හතරක් ම මගහැරුණු පසු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල පිහිටි ගුවන් හමුදා කඳවුරේ රාත්‍රිය ගත කළ බවයි ඒ එෆ් පී පුවත් සේවය සඳහන් කරන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේදී මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ජනාධිපතිවරයාගේ බාල සොහොයුරා වන බැසිල් රාජපක්ෂ ද ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය සමඟ ඇති වූ එවැනිම ගැටුමකින් පසු අඟහරුවාදා අලුයම ඩුබායි බලා යාමට සිටි ඔහුගේ එමිරේට්ස් ගුවන් යානය මඟ හැරී ගියා.

ශ්‍රී ලාංකික පුරවැසිභාවය ට අමතරව එක්සත් ජනපද පුරවැසිභාවය ද සහිත බැසිල් රාජපක්ෂ ඉන් අනතුරුව ව්‍යාපාරික සංචාරකයින් සඳහා මුදල් ගෙවා ලබා ගත හැකි විශේෂ සේවාව භාවිතා කිරීමට උත්සාහ කළ නමුත් ගුවන් තොටුපල සහ ආගමන විගමන කාර්ය මණ්ඩලය කියා සිටියේ ඔවුන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම සේවාවන්ගෙන් ද ඉවත් ව ඇති බවයි.

බැසිල් ඔවුන්ගේ ගුවන් යානයට ගොඩවීමට එරෙහිව තවත් මගීන් කිහිප දෙනෙක් විරෝධතා දැක්වූ බව ගුවන් තොටුපල නිලධාරියෙක් AFP වෙත පවසා තිබෙනවා.

“එය නොසන්සුන් තත්වයක්, එබැවින් ඔහු ඉක්මනින් ගුවන් තොටුපළෙන් පිටව ගියා.” අදාළ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ට නව ඇමරිකානු එක්සත් ජනපද ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට සිදුවී ඇති බවත් එම වාර්තාවේ සඳහන්.

එහි දැක්වෙන්නේ අරගලකරුවන් ජනපති මැදුර අත්පත් කර ගැනීමට පැමිණෙන අතර වාරයේ කඩිමුඩියේ ඉන් ඉවත් වීමේදී බැසිල් රාජපක්ෂ සතුව තිබු විදෙස් ගමන් බලපත්‍රය කොටුව ජනාධිපති මන්දිරයේ දමා ගොස් ඇති බවයි.

මීට අමතරව ලිපි ලේඛන පිර වූ ගමන් මල්ලක් සහ රුපියල් මිලියන 17.85 ක මුදල් තොගයක් ද ජනපති මන්දිරයේ දමා ගොස් ඇති බවත්, ඒවා දැන් කොළඹ අධිකරණය භාරයේ ඇති බවත් ඒ එෆ් පී වාර්තාවේ දැක්වෙනවා.

ඉහළ ආරක්ෂක මූලාශ්‍රයක් පැවසුවේ මේ වන විට ජනාධිපතිවරයාගේ සමීපත ම හමුදා සහායකයින් ජනාධිපතිවරයා සහ ඔහුගේ පිරිවර නාවික හමුදා මුර යාත්‍රාවකින් විදේශගත කිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවයි.

“දැන් හොඳම විකල්පය වන්නේ මුහුදෙන් පිටවීමයි,” තොරතුරු දුන් එම ආරක්ෂක නිලධාරියා පවසා සිටියා. “ඔහුට මාලදිවයිනට හෝ ඉන්දියාවට ගොස් ඩුබායි වෙත ගුවන් යානයක් ලබා ගත හැකිය.” ඔහු වැඩි වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම තවත් විකල්පයක් වනුයේ 2013 දී විවෘත කර ජනාධිපතිගේ වැඩිමහල් සොහොයුරා වන මහින්ද රාජපක්ෂ ගේ නමින් ම නම් කරන ලද මත්තල පිහිටි රටේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් කුලී ගුවන් යානයක් හරහා ජනාධිපතිවරයාව රටින් පිටමං කිරීමයි.

සැලසුම් ගත ජාත්‍යන්තර ගුවන් ගමන් නොමැති සුදු අලියෙකු ලෙස පුළුල් ලෙස සලකනු ලබන ලොව අවම වශයෙන් භාවිතා කරන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස ද සැලකෙන්නේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළයි.

කෙසේ වෙතත් පොරොන්දු වූ පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තනතුරෙන් ඉවත් වුවහොත්, 2024 නොවැම්බර් මාසයේදී අවසන් වන ජනාධිපති ධුර කාලය සඳහා වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තෝරා පත් කර ගන්නා තෙක් අගමැති රනිල් වික්‍රමසිංහ ස්වයංක්‍රීයව වැඩ බලන ජනාධිපති බවට පත්වනවා ෴

***************************************

***************************************

රට නවතින ලකුණු! – රහස් ප්‍රකාශකයෙකුගෙන් විශේෂ හෙළිදරව්වක්

(12.07.2022 – 16:00 +0530 – hirunews.lk/sinhala)

කැබිනට් මණ්ඩලය රැස් නොවීම නිසා ඉන්ධන ඇතුළු හදිසි මිලදී ගැනීම් කිසිවක් වෙනුවෙන් මුදල් වෙන් කිරීමට නොහැකිව ආර්ථික කටයුතු ඇණහිට ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

ජනාධිපතිවරයා සහභාගී නො වීම නිසා සඳුදා (11) දින පැවැත්වීමට නියමිතව තිබූ අමාත්‍ය මණ්ඩල රැස්වීම දින නියමයක් නැතිව කල් යාමෙනුයි මෙම අර්බුදය උද්ගත වී තිබෙන්නේ.

මෙම තත්වය යටතේ පක්ෂ නායක රැස්වීම හරහා ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය මිලදී ගැනීම් සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට බලය පැවරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව ද ප්‍රතික්ෂේප වී තිබෙනවා.

අදාළ යෝජනාවට, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම් සහ එම්.ඒ.සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් විරෝධය පළ කර ඇත්තේ, කැබිනට් අනුමැතියකින් තොරව කිසිදු සහතිකයක් ලබාදිය නො හැකි බව සඳහන් කරමින් යනුවෙනුයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම තත්ත්වය නිසා අත්‍යවශ්‍ය සේවා සියල්ල දින නියමයක් නැතිව ඇණ හිටීමෙන්, ජනතාව ඉදිරියේ දී අර්බුද රැසකට මුහුණ දීමේ අවදානමක් මතුව ඇතැයි අදාළ රජයේ ප්‍රකාශකයා කියා සිටියා.

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර දේශීය බැංකු විසින් ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 128 ක් ලබා ගැනීමට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණා.

එසේ ම, ජූලි මස 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා කාලයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ඔටෝ ඩීසල්, ඉන්ධන තෙල් සහ බොරතෙල් තොග තුනක් සඳහා මෙම ගෙවීම් වෙන්කර තිබු බවයි රජයේ ප්‍රකාශකයා කියා සිටියේ.

එම නෞකා තුන සඳහා ජූලි මස 12 දින ඩොලර් මිලියන 61.72 ක් (රුපියල් බිලියන 22,650 ක්) ද, එදින ම තවත් ඩොලර් මිලියන 28.26 ක් (රුපියල් බිලියන 10,371 ක්) ද සහ ජූලි මස 17 දින ඩොලර් මිලයන 89.04 ක් (රුපියල් බිලියන 32,678 ක්) ගෙවීමටයි නියමිතව තිබුණේ.

අදාළ ගෙවීම් කිරීමට නොහැකි වුවහොත් තෙල් නැව් සඳහා ඉදිරිපත් කළ ඇණවුම් අවලංගු වන අතර තෙල් සැපයුම ද තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි ද, මීට අමතරව නොරොච්චෝලේ බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු ලබා ගැනීමට කැබිනට් අනුමැතිය අවශ්‍යව තිබෙන බව ද එම රජයේ ප්‍රකාශකයා සඳහන් කර සිටියා.

එමෙන් ම දැනටමත් පවත්නා පැය තුනක (3) විදුලිය කපා හැරීම, දිර්ඝ කිරීමකින් තොරව එලෙස ම පවත්වා ගැනීම සඳහා මෙම තෙල් තොගය ලබා ගැනීම ද අත්‍යවශය බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ ෴

***************************************

විදේශවල සැඟවූ ධනය ගෙන්වන ක‍්‍රමයක් විමල් කියයි….

(12.07.2022 – 18:20 +0530 – lankacnews.com)

අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුව මගින් ක්‍රියාත්මක කළ යුතු කාර්යයන් සම්බන්ධව ජාතික නිදහස් පෙරමුණ විසින් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.

අද වන විට අපගේ ආදරණීය මාතෘභූමිය මෑත ඉතිහාසයේ අප මුහුණ දුන් දරුණුතම ආර්ථික හා දේශපාලන අර්බුදයට ගොදුරු වී හමාරය.

දේශපාලන ව්‍යාපාරයක් ලෙස අප කල් තියාම මේ අනතුර මැනවින් හඳුනාගත් අතර, එයින් නොනැවතී ඒ තත්ත්වය වළක්වා ගැනීම සඳහා ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් ලෙස අවශ්‍ය මැදිහත්වීම සිදුකළෙමු.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය රැකගැනීම වෙනුවෙන් මැදිහත් වීමේ සිට, අමාත්‍ය මණ්ඩලයේ සිටියදීම එල්.එන්.ජී බලාගාර ගනුදෙනුවට එරෙහිව නඩු මඟට යාම ආදී බොහෝ ක්‍රියාමාර්ග ඊට අදාළය.

එසේ වුවද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ආරම්භයේ සිටම මේ සම්බන්ධව කටයුතු කරන ලද්දේ අතිශය වගකීම් විරහිත ආකාරයෙනි. ඒ අතර බැසිල් රාජපක්ෂ වැනි අය හිතාමතාම අර්බුදය විසඳීම වෙනුවට උත්සන්න කෙරෙන ආකාරයට කටයුතු කළේ කුමන අරමුණකින්ද යන්න අපි එදා සිටම පෙන්වා දුන්නෙමු.

ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ දොළහ විසින් පසුගිය මාර්තු දෙවැනිදා ‘මුළු රටම හරි මඟට‘ වැඩපිළිවෙළ ඉදිරිපත් කළේ ද රට ඉදිරියේ ඇති බිහිසුණු අනතුර කුමක්දැයි රටට, ආණ්ඩුවට පෙන්වා දෙමින් එය නිසි මගට ගැනීමේ අරමුණෙනි. එහෙත් ඊට ආණ්ඩුවේ ප්‍රතිචාරය වූයේ අපේ අමාත්‍ය ධුර අහිමි කිරීම පමණක් වූ අතර, එතැන් සිට රටේ දේශපාලන ගමන තීරණය කරන ලද්දේ ඒ ආසන්නයේම නොසිතූ විරූ ලෙස නැගි ජනතා විරෝධය විසිනි.

අප්‍රේල් 8 වැනිදා එකොළොස් වැදෑරුම් වැඩපිළිවෙළක් යෝජනා කරමින් අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ද අප පක්ෂයක් ලෙස මැදිහත් වන ලද්දේ ජනතා විරෝධය ඔස්සේ පැන නැගුණු දේශපාලන අර්බුදය අරාජිකත්වයකින් කෙළවර විය නොවිය යුතු නිසාය. එහෙත් ආණ්ඩුවේ ඇතැම් පිරිස් මැයි 9 වැනිදා අතිශය අඥාන ලෙස අරගල භූමියට පහර දෙමින් මුළු රටම අතිශය භීෂණකාරී තත්ත්වයකට ඇද දැමීමෙන් පසුව අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීමේ ප්‍රයත්නය අසාර්ථකත්වයට පත්වූ අතර, කිසිදු ජනවරමක් නොමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වශයෙන් පත්කිරීම සිදුවූයේ ඉන් පසුවය.

රනිල් වික්‍රමසිංහගේ පත්වීමෙන් පසු රට යථා තත්ත්වයට පත්වේ යැයි ඇතැම් පිරිස් තුළ කිසියම් අපේක්ෂාවක් තිබුණ ද ගෙවී ගිය කාලය තුළ පෙනී ගියේ ඒ සියලු බලාපොරොත්තු සුන්වී ඇති බවය. නැවතත් ජූලි 9 වැනිදා විශාල ජනතා විරෝධයක් ලෙස පුපුරා ගියේ ඒ අපේක්ෂාභංගත්වයේ වේදනාව බව අප අමතක කළ යුතු නොවේ.

මේ ආකාරයට උද්ගත වී ඇති තත්ත්වය තුළ රට මේ ඉරණමින් ගලවා ගැනීමේ එකම විසඳුම වනුයේ පක්ෂ සියල්ලේ දායකත්වයෙන් ජාතික එකඟතා ආණ්ඩුවක් වහාම පිහිටුවීමය. එය මේ මොහොතේ පාර්ලිමේන්තුව තුළ සිටින සියලුම පක්ෂ විපක්ෂ බලවේගවලට අතහැරිය නොහැකි වගකීමක් වන අතර, අර්බුදය හා අරාජිකත්වය ඔස්සේ රටට සතුරු බලවේග මේ රට අත්පත් කරගැනීමත්, මේ රට තවත් ලිබියාවක තත්ත්වයට ඇද වැටීමත් වළක්වා ගත හැක්කේ එවැනි සම්මුතියකින් පමණක් බව අප තරයේ විශ්වාස කරමු.

  1. අන්තර්කාලීන සර්වපාෂික ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩකඩ සලසමින් ජනාධිපතිවරයාට සමාන්තරව අග්‍රාමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතුය. එහිදී ජනවරමක් හෝ පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තකින් තොර වර්තමාන අග්‍රාමාත්‍යවරයා යම් හෙයකින් ඉල්ලා අස්නොවන්නේ නම් විශ්වාසභංගයක් මගින් ඉවත් කළ යුතුය.
  2. නව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, අරගලකරුවන්ගේ නියෝජනයක් ද සහිතව සර්වපාක්ෂික සමුළුවක් කැඳවිය යුතුය. එහිදී කෙටිකාලීනව රටේ අර්බුදය සමනය කිරීමේ අවම පොදු වැඩපිළිවෙළක් හා මාර්ග සිතියමක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යුතු වන අතර, ඒ සම්බන්ධව මහා සංඝරත්නය, අරගලකරුවන්, ජාතික සංවිධාන, සිවිල් සංවිධාන, ආදී පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන අදහස්, යෝජනා සැලකිල්ලට ගත යුතුය. අනතුරුව අදාළ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම සඳහා ඊට එකඟ වන පක්ෂ සමඟ ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවිය යුතුය.
  3. මහජන වගවීම සහතික කිරීම සඳහා අරගලයේ යෙදී සිටින පාර්ශ්ව නියෝජනය වන ජාතික මහජන සභාවක් පිහිටුවිය යුතු අතර එම සභාව සහ ජාතික විධායක සභාව එක්ව ජාතික ආවේක්ෂණ සභාවක් පිහිටුවිය යුතුය. එම සභාව මගින් ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය ආවේක්ෂණය කළ යුතුය. එම සභා රැස්වීම් ජනමාධ්‍යයට විවෘත කළ යුතුය.
  4. ජාතික එකඟතා ආණ්ඩුවේ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවිය යුතුය. එම සභාව විසින් අග්‍රාමාත්‍යවරයා සදහා නාම යෝජනාවක් ද සීමිත අමාත්‍ය මණ්ඩලයේ ඒ ඒ අමාත්‍ය වගකිම් සදහා නාම යෝජනාවන් ද ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් ඇතුළත් වන ආකාරයට අමාත්‍යාංශ කාරක සභා පිහිටුවිය යුතුය.
  5. ජාතික එකඟතා ආණ්ඩුව විසින් ඉදිරි මාස පහක කාලය සඳහා නව අයවැයක් ඉදිරිපත් කළ යුතු අතර ඒ මගින් අත්‍යවශ්‍ය නොවන සියලු සංවර්ධන ව්‍යාපෘති අත්හිටුවීම, ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තු කටයුතු සඳහා වැය වන පිරිවැය 50%කින් කප්පාදු කිරීම සහ රාජ්‍ය ආයතනවල අතිරේක දීමනා සීමා කිරීම කළ යුතුය. අමාත්‍යවරුන්ට මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද පමණක් හිමිවිය යුතුය.
  6. නව අයවැයේ අභිලාෂයන් ඉටුකරගැනීම සඳහා 2017 විදේශ විනිමය පනත, සියලුම බදු පනත්, ආනයන අපනයන පනත් ආදිය වහා සංශෝධනය කළ යුතුය. මහ බැංකුව මගින් යථාර්ථවාදී මට්ටමක පවතින ලෙස විනිමය අනුපාතය පාලනය කිරීම සහ ඊට සමගාමීව විදේශ නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වර්ධනය කිරීම සඳහා අවශ්‍ය දිරිගැන්වීම් ක්‍රියාත්මක කළ යුතුය. අභ්‍යන්තර මූල්‍ය ස්ථාවරත්වය ගොඩනැගීම තුළින් මුදල් අච්චු ගැසීම සීමා කිරීම හරහා උද්ධමනය පාලනයට පියවර ගත යුතුය.
  7. ඉදිරි වසර 02ක කාලය සඳහා විදේශ ණය ප්‍රතිව්‍යහගත කිරීම සහ යම් ණය වාරික හෝ පොලිය ආපසු ගෙවීම සහ අත්‍යවශ්‍ය ආනයන සඳහා අවශ්‍ය වන විදේශ විනිමය ප්‍රමාණය සහ එම ප්‍රමාණය සපුරා ගන්නා ආකාරය පිළිබඳව සියලු තොරතුරු සහිත මාර්ග සිතියමක් මහජනයාට ඉදිරිපත් කළ යුතුය. එම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම පාර්ලිමේන්තු මුදල් කාරක සභාවකට පැවරිය යුතු අතර, සමස්ත ක්‍රියාවලියේ විනිවිදභාවය තහවුරු කිරීමට සහ මහජනයාට තොරතුරු ලබාදීමට විශේෂ යාන්ත්‍රණයක් සකස් කළ යුතුය.
  8. ඛනිජ තෙල්, ගෑස්, ඖෂධ, පොහොර, කර්මාන්ත අමුද්‍රව්‍ය ආදී අත්‍යාවශ්‍ය ආනයන අඛණ්ඩව සැපයීමට අදාළ ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට වහා නැංවිය යුතුය. එහිදී ඉන්දියාවට අමතරව චීනය, රුසියාව සහ ජපානය යන රටවල් සමඟ සාකච්ඡා කිරීම හරහා ඊට අදාළව ණය පහසුකම් සහ ආනයන ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කළ යුතුය. අනවශ්‍ය ආනයන අධෛර්යවත් කිරීම සඳහා බදු පැනවිය යුතුය.
  9. කොවිඞ් වසංගත සමයේ සිට බිඳවැටී පවතින පාසල්, විශ්වවිද්‍යාල, තාක්ෂණික ආයතන ඇතුළු අධ්‍යාපන පද්ධතිය විධිමත්ව යථාවත් කිරිම සදහා වහා පියවර ගත යුතුය. එසේම විදේශ විශ්වවිද්‍යාලවල හා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ලාංකීය සිසුන්ගේ අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත් කිරිමට පියවර ගත යුතුය.
  10. සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදුව අත්‍යවශ්‍ය අලුත්වැඩියාවන් කර ක්‍රියාත්මක කළ යුතුය. දීර්ඝකාලීනව තරගකාරී මිලට බොර තෙල් සැපයිය හැකි රටවලින් ටෙන්ඩර් කැඳවීම සහ බොරතෙල් සැපයීමේ හැකියාව සහ මිල අනුව ටෙන්ඩරය ලබාදීම මෙන්ම එම කටයුතු ජාතික ප්‍රමුඛතාව සහිත ව්‍යාපෘතියක් ලෙස කෙටිකාලීනව අවසන් කිරීම සඳහා මාර්ග සිතියමක් රටට ඉදිරිපත් කළ යුතුය.
  11. විදේශ විනිමයෙන් ගෙවීම් ලැබිය හැකි සියලු ආකාරයේ අපනයන හා තොරතුරු තාක්ෂණ සේවා ඇතුළු සේවා සැපයීමට අදාළ ව්‍යවසායකයන් බිහිකිරීමත්, විදේශ රැකියා වෙළෙඳපොළ සඳහා පුහුණු වෘත්තීය ශ්‍රමිකයන් සැපයීමත් තුළින් දැනට උපයන විදේශ විනිමය ඉහළ දැමිය යුතුය.
  12. අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවට අයත් සියලු ඖෂධ ආනයනය සහ තොග පවත්වාගෙන යාමේ වගකීම රාජ්‍ය ඖෂධ සංස්ථාවට පැවරිය යුතුය. අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ සඳහා මිල පාලනය නැවත පැනවිය යුතු වන අතර විශේෂඥ උපදෙස් මත නිවැරදි ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවිය යුතුය.
  13. දේශීය කෘෂිකාර්මික පද්ධතිය ආරක්ෂා කරමින්, රටේ ආහාර සුරක්ෂිතතාව ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා ජාතික එකඟතා ආණ්ඩුව සිය ප්‍රමුඛ අවධානය යොමු කළ යුතුය. ආරක්ෂක හමුදා, පළාත් පාලන ආයතන, ස්වේච්ඡා මහජන සංවිධාන ආදිය යොදා ගනිමින් ජාතික වගා සංග්‍රාමයක් ප්‍රකාශයට පත්කළ යුතුය. ඊට අදාළ කෘෂි යෙදවුම් රජය මගින් ලබා දිය යුතුය. රට පුරා පවතින 35000ක පමණ වන කුඩා වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම, පොහොර ආනයනය කර පාලන මිලක් යටතේ බෙදා හැරීම, පොහොර සහනාධාරය ගොවියා අතට මුදලින් ගෙවීම, ගොවිජන බැංකුව නැවත පිහිටුවා ගොවි ණය ව්‍යාපෘති නැවත ආරම්භ කළ යුතුය.
  14. ධීවරයන් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට ධීවර වරාය ආශ්‍රිතව විශේෂ වැඩපිළිවෙළක් සකස් කොට ක්‍රියාත්මක කිරිම, මාළු ටින් කිරීමේ කර්මාන්තශාලා ජාලයක් හඳුන්වාදීම, මාළු මිල ස්ථාවර කිරීම මුල්කරගෙන රාජ්‍ය සහ පුද්ගලික අංශය දිරිමත් කිරීම සඳහා සහන පැකේජයක් හඳුන්වාදීම දිම.
  15. බිඳ වැටී ඇති දේශීය කර්මාන්ත පද්ධතිය නැවත ගොඩගැනීම සඳහා දේශීය නිෂ්පාදනවලට විකල්ප ලෙස ආනයනය කරනු ලබන නිෂ්පාදන සඳහා විශේෂ පරිභෝජන බදු පැනවීම කළ යුතුය. කර්මාන්තකරුවන් සහ සංචාරක ක්ෂත්‍රයේ නියලෙන කර්මාන්තකරුවන්ගේ කල්බදු පහසුකම් සහ බංකු ණය පහසුකම්, ආර්ථික කාර්යයන් සදහා ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යහුගත කිරීම, පොලී සහනාධාරයක් ලබාදීම, දේපළ වෙන්දේසිය සහ දණ්ඩන පොලී අය කිරීම වසර දෙකක කාලයකට අත්හිටුවීම කළ යුතුය. එසේම රාජ්‍ය මිලදී ගැනිම්වලදී දේශීය නිෂ්පාදන සහ සේවා සඳහා ප්‍රමුඛතාව ලබාදීම අනිවාර්ය කළ යුතුය.
  16. ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතනවල පීඩනයෙන් ගොවියා සහ සුළු පරිමාණ නිෂ්පාදකයින් නිදහස් කර ගැනීම පිණිස ක්ෂුද්‍ර මූල්‍ය ණය වෙළෙඳපළ තුළ උපරිම පොලී අනුපාතය නියම කිරිම, එසේම දිළිදු ජනතාවගේ පෝෂණ තත්වය ඉහළ නැන්වීම පිණිස නොමිලේ වියලි ආහාර සලාකයක් ලබා දිමට කටයුතු කළ යුතූය.
  17. ද්විත්ව පුරවැසියන්ට රජයේ වගකිවයුතු තනතුරු දැරීම වැළැක්වීම සහ විධායක බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම පිණිස ගෙන ඒමට යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මසක් තුළ සම්මත කළ යුතුය.
  18. රට තුළ පවතින ආපදාව යොදාගනිමින් සතුරු බලවේග විසින් දියත් කරනු ලබන ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුම්වලට ගොදුරු නොවීම සඳහා නව වෙළෙඳ, ආරක්ෂක හෝ ආයෝජන ගිවිසුම් අත්සන් කිරීමේදී බෙහෙවින් සුපරික්ෂාකාරී විය යුතුය. එහිදී සාකච්ඡා ක්‍රියාවලීන්ට සහභාගි වන පාර්ශ්ව රටට එළිදරව් කිරීම, එම ගිවිසුම්වලට අදාළ වාසි සහ අවාසි පිළිබඳව විස්තීරණ වාර්තාවක් සහිතව අදාළ ගිවිසුම් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම, අත්සන් කිරීම කල් දමා ඇති එම්සීසී, සෝෆා ආදී ගිවිසුම් සහ වෙනත් වෙළඳ ගිවිසුම් අත්සන් නොකිරීම ආදිය අතිශය වැදගත්ය. එසේම රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම හෝ රාජ්‍ය පුද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති පිළිබඳ යෝජනා පළමුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු වන අතර, තරගකාරී නොවන ආකාරයට ව්‍යාපෘති අනුමත කිරීම වහාම අත්හිටුවිය යුතුය.
  19. දූෂණ වංචාවලට එරෙහිව ජාතික එකඟතා ආණ්ඩුව ඉහළ ප්‍රමුඛතාවයෙන් යුතුව කටයුතු කළ යුතුය. බැඳුම්කර වංචාවට අදාළව සංශෝධිත අල්ලස් සහ දූෂණ පනත යටතේ නැවත නඩු පැවරීම, පොල් තෙල්, සීනි ආදී මහා පරිමාණ බදු වංචා සහ විදේශීය ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමට අදාළ අක්‍රමිකතා විමර්ශනය කිරීම
  20. පසුගිය පාලකයන් අයථා ලෙස ඉපයූ ධනය විදේශ රටවල සඟවා තිබේ නම් ඒවා ලෝක බැංකුවේ වංචනික ලෙස ඉපයූ දේපළ නැවත අත්පත් කර ගැනිමේ යාන්ත්‍රණයේ (Stolen Assets Recovery Initiative – The World Bank) සහාය ලබා ගෙන නැවත අත්පත් කරගැනීම සඳහා ජාත්‍යන්තර සංවිධානවල සහයෝගය ද සහිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය ෴

***************************************

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ඇමරිකානු වීසා ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

(12.07.2022 – 20:46 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවට යාම සඳහා ඉල්ලුම් කරන ලද වීසා බලපත්‍රය ඇමරිකා එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කරනවා.

ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත් වන බවට පොරොන්දු වීමෙන් පසු රටින් ‘පලා යාමට උත්සාහ කිරීම’ පිළිබඳ දිනෙන් දින වැඩෙන සැක සංකා මධ්‍යයේ, අදාල ප්‍රතික්ෂේප කිරීම සිදුකර ඇති බවටයි ද හින්දු පුවත්පත ඇමරිකානු තනානාපති කාර්යාල ඉහළ නිලධාරීයකු උපුටා දක්වමින් වාර්තා කරන්නේ.

“මෑත සිදුවීම් වලින් පසු ඔහු එක්සත් ජනපදයට ආරක්ෂිත මාර්ගයක් සෙවූ නමුත් එය ප්‍රතික්ෂේප විය,” කොළඹ සිටින ඇමරිකානු තනානාපති කාර්යාල ඉහළ නිලධාරීයා වැඩි දුරටත් කියා සිටියා.

ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසියෙකු වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, 2019 මැතිවරණයට පෙර ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය අත්හැරියේ වෙනත් රටක පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට තරග කිරීමට පවතින නීතිමය බාධාවන් හේතුවෙන්.

එම ජනාධිපතිවරණයෙන් අති විශාල බහුතරයක් ලබාගනිමින් ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ වසර දෙකහමාරකට පමණ පසුව මේ වන විට රටේ වඩාත් අප්‍රසාදයට ලක් වූ නායකයා බවට පත් වී තිබෙනවා.

පුරවැසි විරෝධතාවක් හේතුවෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණයෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් පිටව යාමට ගත් ආන්දෝලනාත්මක උත්සාහයක් සෙනසුරාදා වාර්තා වුනා.

දිවයින පුරා පවතින පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයට ජනපතිවරයාගේ අසාර්ථක ප්‍රතිචාරයන්ට එරෙහි වෙමින් විරෝධතා රැල්ලක් ජනාධිපති ලේකම් කාර්යාලයට සහ කොටුව ජනාධිපති නිළ නිවසට කඩා වැදුනේ ජනාධිපති ගෝඨාභය ට “වහාම ගෙදර යන්න” යැයි බල කරමින්.

මේ අතර අද (12) ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද මෝසමකින් පසු දෙවරක් ජනාධිපති වූ මහින්ද රාජපක්ෂට සහ හිටපු ඇමති බැසිල් රාජපක්ෂටත් පලා යාමේ විකල්පය වඩාත් දුෂ්කර වී ඇති බවක් පෙනේ.

එම මෝසම හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ‘වගකිව යුතු’ යැයි පවසමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඇතුළු වග උත්තරකරුවන් අටදෙනෙකු ට සංචාරක තහනමක් පැනවීමට පෙත්සම්කරුවන් ඉල්ලා තිබෙනවා ෴

***************************************

අනුර කුමාර දිසානායකගෙන් විශේෂ ප්‍රකාශයක්

(12.07.2022 – 21:43 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධූරයට පත්වීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

එම නිසා අප කියන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස් වීමට ප්‍රථමව ජනාධිපතිවරයා වෙත යා රනිල් වික්‍රමසිංහ ඔහුගේ ඉල්ලා අස්වීම භාර දිය යුතු බවයි.

රට තුළ මතුව ඇති අර්බුදකාරී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අද (12) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *