‘කෙහෙල්බද්දර පද්මේ’ගේ දුරකථනයක තිබූ දෙයක් ගැන CIDය ‘පියුම් හංසමාලි’ගෙන් ප්‍රශ්න කරයි

‘කෙහෙල්බද්දර පද්මේ’ගේ දුරකථනයක තිබූ දෙයක් ගැන CIDය ‘පියුම් හංසමාලි’ගෙන් ප්‍රශ්න කරයි


‘කෙහෙල්බද්දර පද්මේ’ගේ දුරකථනයක තිබූ දෙයක් ගැන CIDය ‘පියුම් හංසමාලි’ගෙන් ප්‍රශ්න කරයි

(22.10.2025 – 18:36 +0530 – sinhala.adaderana.lk)

ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී ‘පියුම් හංසමාලි’ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (21) පැය දෙකක (2) පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

ඒ ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ ජංගම දුරකථනයක තිබූ ඡායාරූපයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.

එම ඡායාරූපයේ ‘පද්මේ’ සමග ‘පියුමි හංසමාලි’ ඇතුළු මෙරට තවත් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන් කිහිපදෙනෙකු සිටින බව වාර්තා වේ.

එමෙන්ම ‘පද්මේ’ ‘පියුමි හංසමාලි’ සමග පැවැත්වූ දුරකථන සංවාද කිහිපයක් ද ඔහුගේ ජංගම දුරකථනයේ තිබී හමුවී ඇති බව පැවසේ.

එම ඡායාරූපයේ සිටින සෙසු රංගන ශිල්පිනියන් ද ඉදිරියේදී ගෙන්වා ප්‍රකාශ ලබාගන්නා බව පොලීසිය පැවසුවේය ෴


වැලිගම සභාපති ලසන්ත වික්‍රමසේකර ගේ ඝාතනය පිටුපස පාතාල ක්‍රියාකාරකම් ?

(22.10.2025 – 17:59 +0530 – sinhala.adaderana.lk)

වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනයත් සමඟ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් යළි කතා බහක් මතුව තිබේ.

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර අද (22) උදෑසන 10:20 ට පමණ වැලිගම ප්‍රාදේශීය සභාවේ ඔහුගේ කාමරය තුළදී ඝාතනයට ලක් විය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) ගෙන් එක් (1) අයෙකු ලිපියක් අත්සන් කරගැනීමට යන මුවාවෙන් කාමරය තුළට ගොස් වෙඩි තබා පලාගොස් තිබුණි.

එහිදී බරපතළ තුවාල තැබු සභාපතිවරයා මාතර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකය තුළදී ජීවිතක්ෂයට පත්විය.

මෙම ඝාතනයත් සමග සමාජය තුළ යළිත් වරක් පාතාල කල්ලි අතර ඝාතනයන් සම්බන්ධයෙන් කතාබහක් මතුව තිබේ.

ඊට හේතු වී ඇත්තේ මොහු ‘ශන්ෂයින් සුද්දා’ නැමැති අපරාධ කල්ලි සමාජිකයා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට පත්ව තිබීමය.

මොහුට විරුද්ධව අධිකරණය තුළ නඩු 06 ක් පවතින අතර මොහු අත්හිටවූ සිරදඬුවම් මත සිට ඇති බවද පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම, මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පැවසෙන, මේවන විට බන්ධනාගාර ගතව සිටින ‘නඳුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ සමග සමීප සබඳතාවක් ‘ලසන්ත වික්‍රමසේකර’ පවත්වා ඇති බවට ද අනාවරණය වී ඇත.

‘හරක් කටා’ගේ කල්ලියේ ප්‍රධානීන් වන ‘මිදිගම චූටි’ හා ‘මිදිගම රුවන්’ සමග ද ඔහු සමීප ඇසුරක් පවත්වා ඇතැයි විමර්ශනවලදී හෙළිවී තිබේ.

පසු කලෙක ‘මිදිගම රුවන්’ එම කණ්ඩායමෙන් වෙන් වී ඇති අතර අනතුරුව ඔහුගෙන් ‘වික්‍රමසේකර’ ට මරණ තර්ජන එල්ලවී ඇති බව පොලීසිය පැවසීය.

බන්ධනාගාරගතව සිටින ‘මිදිගම රුවන්’ එහි සිට ෆේස්බුක්හි පෝස්ටුවක් පළකළ තිබුණි.

“ගරු සභාපතිතුමෝ, ඔයා දැන් සුදු ඇන්දට අමතක කරන්න එපා ඔයා කළු අඳින කාලේ අපි ඔක්කොම එකගොඩේ හිටිය වග. බොරු කියලා නාට්ටි දාලා මගේ එක කොල්ලෙක් හරි හිරකරන්න හැදුවොත් මම ඇත්ත කියලා ඔයාගේ සුදු රෙද්ද ඔළුවෙන් ගලවලා දාන්න දෙපාරක් හිතන්නේ නැහැ. අනික උඹට මම ගහන්න ඉන්නවා කියකියා එක එකාට කියන්න එපා. මම ප්‍රතිපත්තියක් වශයෙන් හරක් මරන්නේ නෑ.” යනුවෙන් එහි සටහන් කර තිබිණි.

එලෙස එල්ල වූ තර්ජන හමුවේ ‘ලසන්න වික්‍රමසේකර’ පසුගිය අගෝස්තු මස 29 වනදා තම ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ලිපියක් යොමුකර ඇත.

එහි දැක්වෙන්නේ තමන්ට විවිධ පාර්ශ්වයන්ගෙන් මරණ තර්ජන එල්ලවී ඇති බවය.

“මා අධිකරණයට පැමිණෙන අවස්ථාවකදී හෝ ප්‍රාදේශීය සභාවට පිටත්ව යන අවස්ථාවකදී මා ඝාතනය කිරීමට ඔවුන් උත්සාහ දරන බවට මා හට විශ්වාසයක් පවතින බව සැළකර සිටිමි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන පාතාල කල්ලි ගණනාවක් මා හට තර්ජන එල්ලකර ඇත. ඔවුන් මා ඝාතනය කරන බවට පවසා ඇති බවට මා හට, විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව සැළකර සිටිමි. සමාජ මාධ්‍යයන් ඔස්සේ මාගේ ජීවිතයට තර්ජනයක් වන ආකාරයෙන් මිදිගම රුවන් හෙවත් රුවන් ජයසේකර නැමැති පුද්ගලයා විසින් මුහුණුපොත හරහා පෝස්ටුවක් පළකර ඇති ආකාරයක් මාහට දැනගැනීමට හැකියාව ලැබුණා. මෙම සියලු තත්ත්වයන් හේතුවෙන් මාගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවට මා හට දැනෙන බැවින්ද, ඒ බවට දැන් දැන් සිදුවන තර්ජන ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති බැවින්ද මාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමර්ගයෙක් ගැනීමට කටයුතු කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.”

කෙසේ වෙතත් ඔහුගේ ජීවිතය පිළිබඳව එම වකවානුවේදී තර්ජනයක් එල්ල වී නොතිබූ බව පොලීසිය සඳහන් කළේය.

නමුත් සභාපතිවරයා විවිධ ස්ථානවල සැඟවී සිටිමින් සිට ඇති අතර සභාවාරයන් සඳහා පමණක් වැලිගම ප්‍රාදේශීය සභාවට පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ ‘ජාතික ජනබලවේගයේ’ සභික නීතීඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට ඉකුත් ජූලි මස 16 වනදා වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේද ලසන්න වික්‍රමසේකර ටය.

එයද ‘මිදිගම රුවන්’ගේ පාර්ශ්වය විසින් සිදුකර එහි චෝදනා ඔහු වෙත එල්ලකීරීමට උත්සාහ දරා ඇති බව පොලීසිය සිදුකළ දීර්ඝ විමර්ශනයේදී හෙළිවී ඇත.

ඒ අනුව පොලීසිය සැක පළකරන්නේ ‘ලසන්න වික්‍රමසේකර’ව ‘මිදිගම රුවන්’ගේ පාර්ශ්වය විසින් ඝාතනය වී ඇති බවය.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ සෘජු අධික්ෂණය යටතේ කණ්ඩායම් 04 ක් විසින් සිදු කරනු ලබයි.

මේ අතර ‘ලසන්ත වික්‍රමසේකර’ පසුගිය පළාත් පාලන ඡන්දයේදී ‘සමගි ජනබලවේගයෙන්’ තරග වැද ජයග්‍රහණය කළ අතර ඔහු එහි සභාපති ධූරයට පත්වූයේ ඒ සඳහා පාර්ශ්ව දෙකක් (2) අතර පැවති මතභේදාත්මක තත්ත්වයකින් පසුව වීමද විශේෂත්වයකි.

+


කොරියානු භාෂා විභාගයට නව මධ්‍යස්ථානයක්

(22.10.2025 – 20:20 +0530 – sinhala.adaderana.lk)

දකුණු කොරියාවේ රැකියා සඳහා අවශ්‍ය භාෂා ප්‍රවිණතාවය උදෙසා, ටැබ්ලට් වැනි ස්මාර්ට් උපාංග භාවිතා කරමින් පවත්වන විභාග සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානය අද (22) විවෘත කළේය.

‘Korean Language Examination Center Ubiquitous-based Test (UBT)’ ලෙසින් නම්කර ඇති මෙම මධ්‍යස්ථානය විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.

නව විභාග මධ්‍යස්ථානනය ‘553/1, නව නුවර පාර, තලාහේන’ යන ලිපිනයේ පිහිටා තිබේ.

කොරියානු භාෂා පරීක්ෂණ කටයුතු ටැබ් භාවිතා කරමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට කොරියානු රජයේ මානව සම්පත් සංවර්ධන ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව එම ආයතනයේ ඉල්ලීම මත 2025 වර්ෂයේ සිට පරික්ෂණ කටයුතු සිදුකිරීම සඳහා වැඩි පහසුකම් ඇති, වරකට රැකියා අපේක්ෂකයින් වැඩි ප්‍රමාණයක් සඳහා විභාග පැවැත්වීම අරමුණු කරගෙන මෙම නව මධ්‍යස්ථානය ආරම්භ කර ඇත.

පරීක්ෂණ සඳහා අවශ්‍ය ටැබ් පහසුකම් කොරියානු රජය විසින් ලබා දී තිබේ.

නව ගොඩනැඟිල්ලේ පරීක්ෂණ කටයුතු සිදු කිරීමේදී එක් සැසියක් සඳහා රැකියා අපේක්ෂකයින් 100 දෙනෙකුට පෙනී සිටීමට හැකි අතර, දිනකට රැකියා අපේක්ෂකයින් 400 ක ප්‍රමාණයකට විභාගය සඳහා පෙනී සිටිය හැකිය.

E-9 වීසා කාණ්ඩය යටතේ කොරියානු රාජ්‍යයේ රැකියා ලබාදීම සඳහා කොරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර 2004 වර්ෂයේදී අත්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම අනුව කොරියානු රැකියා වැඩසටහන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබයි.

දකුණු කොරියාවේ රැකියා අවස්ථා ලබා ගැනීමේදී කොරියානු භාෂා පරීක්ෂණයකට පෙනී සිටීම අනිවාර්යය වන අතර, 2014 වර්ෂය වනවිට පරිගණක මාධ්‍ය භාවිතා කරමින් මාර්ගගත ක්‍රමවේදය මගින් භාෂා පරික්ෂණය පැවැත්වීම ලංකාවේ ආරම්භ කළේය.

පන්නිපිටිය නගරයේ ගොඩනැඟිල්ලක එම විභාග මධ්‍යස්ථානය පවත්වාගෙන යන ලදී.

2025 වර්ෂයේ කොරියානු භාෂා පරික්ෂණය සඳහා රැකියා අපේක්ෂකයින් 36,745 ක ප්‍රමාණයක් පෙනී සිටීමට නියමිත අතර, එම විභාගය හෙට (23) දින සිට 2026 මාර්තු මස දක්වා මෙම නව මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිතය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *