අර්බුද හමුවේ සෞඛ්‍ය සේවාට ඇති විය හැකි තර්ජනයක් ගැන GMOA වෙතින් ඉඟියක්

අර්බුද හමුවේ සෞඛ්‍ය සේවාට ඇති විය හැකි තර්ජනයක් ගැන GMOA වෙතින් ඉඟියක්

*********************************************

අර්බුද හමුවේ සෞඛ්‍ය සේවාට ඇති විය හැකි තර්ජනයක් ගැන GMOA වෙතින් ඉඟියක්

(17.05.2022 – 19:54 +0530 – hirunews.lk/sinhala)

ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සහ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම සඳහා ඇති අයිතිය තහවුරු කිරීම ඕනෑම රජයකට අත්හළ නොහැකි වගකීමක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

විවිධ ගැටුම් හා මිලේච්ඡත්වය හේතු කොටගෙන ඇඳිරිනීතිය පැනවූ අවස්ථාවන්වල දී මෙන්ම ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන, විදුලිය, ප්‍රවාහන පහසුකම් නොමැති විටදීත් ඕනෑම ජාතික ආපදා අවස්ථාවකදීත් සෞඛ්‍ය සේවාවන් අඛණ්ඩ ව පැවති බව ඔවුන් අවධාරණය කරනවා.

ඉතිහාසය පුරාම ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවය අඛණ්ඩව ඉහල ගුණාත්මක තත්වයෙන් සහ සමානාත්මතාවයෙන් පවත්වාගෙන යාමට සියලු සෞඛ්‍ය සේවකයන් අප්‍රමාණ කැපවීමෙන් කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ සඳහන්.

සෞඛ්‍ය සේවාව සැලසුම්සහගත ලෙස තවදුරටත් අර්බුදයකට තල්ලුකිරීම තුළින් නිදහස් සෞඛ්‍‍ය් පෞද්ගලීකරණය කිරීමේ දැවැන්ත උත්සාහයක දේශපාලන අධිකාරිය කටයුතු කරමින් සිටින බව ද නිරීක්ෂණය වන බව යි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් :

= නිදහස් සෞඛ්‍ය පෞද්ගලීකරණය කිරීමේ කුමන්ත්‍රණය පරදවමු =

ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සහ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම සඳහා ඇති අයිතිය තහවුරු කිරීම ඕනෑම රජයකට අත්හළ නොහැකි වගකීමකි.

ත්‍රස්තවාදී යුධ සමයේදී, කොවිඩ් ඇතුලු වසංගත සමයන්හිදී, විවිධ ගැටුම් හා මිලේච්ඡත්වය හේතුකොටගෙන ඇඳිරිනීතිය පැනවූ අවස්ථාවන් වලදී මෙන්ම ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන, විදුලිය, ප්‍රවාහන පහසුකම් නොමැති විටදීත්, ඕනෑම ජාතික ආපදා අවස්ථාවකදීත් ඉතිහාසය පුරාම ශ්‍රී ලාංකීය නිදහස් සෞඛ්‍ය සේවය අඛණ්ඩව ඉහල ගුණාත්මක තත්වයෙන් සහ සමානාත්මතාවයෙන් පවත්වාගෙන යාමට සියලු සෞඛ්‍ය සේවකයන් අප්‍රමාණ කැපවීමෙන් කටයුතු කර ඇත. වර්තමාන ආර්ථික හා දේශපාලනික අර්බුදය හමුවේ මෙන්ම පවතින ඖෂධ හා උපකරණ හිඟය තුලදී, දැඩි බාධක සහ අසීරුතා මධ්‍යයේ වුවද උපරිම සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීමට මෙරට සෞඛ්‍ය සේවකයින් කටයුතු කරමින් සිටියි.

මෙම අර්බුද හමුවේ ජනතාව ඉන්ධන සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට පෝලිම් වල සිටියද, මරණය හමුවේ හෝ හදිසි ප්‍රතිකාර අවශ්‍ය මොහොතකදී පෝලිම් වල කල්ගත කරමින් සිටිය නොහැකි බව ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුලු සමස්ත දේශපාලන අධිකාරිය දැඩිව වටහාගත යුතුය. ඖෂධ අර්බුදය සහ සෞඛ්‍ය සේවාව පවත්වාගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වල හිඟය වහාම විසඳාලීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් අප දිගින් දිගටම පෙන්වා දුන්නද අද වන තෙක් අත්‍යවශ්‍ය සේවාවක් වන සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා හිමිවිය යුතු ප්‍රමුඛතාවය ලබා දෙන බවක් නිරීක්ෂණය නොවේ.

පවතින අර්බුදකාරී තත්වය මත රටේ ස්ථාවරත්වය තහවුරු කර ගැනීම උදෙසා රාජ්‍ය සේවය අඛණ්ඩව සහ ප්‍රශස්තව පවත්වාගැනීම අත්‍යවශ්‍ය වේ. එහිදී වර්තමාන අග්‍රාමාත්‍යතුමන් සහ මහ බැංකු අධිපතිතුමන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුවකින් තොරව ලබාදීමට කටයුතු කරන බව සඳහන් කර තිබියදීත්, මුදල් අමාත්‍යංශයේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන මුල්‍ය නිලධාරීන් සහ ඇතැම් පිරිස්, සියලු අසීරුතා නොතකමින් අඛණ්ඩව සේවයේ යෙදී සිටින සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් අසාධාරණ ලෙස කප්පාදු කිරීමට මේ මොහොතේ ගන්නා උත්සාහය තුලින් පෙනී යන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයෙකුද නොමැති මොහොතක තවදුරටත් සෞඛ්‍ය සේවකයින් පීඩාවකට සහ අසහනයට පත්කර ඒ තුළින් අනවශ්‍ය අර්බුදයක් සහ නොසන්සුන්තාවයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල නිර්මාණය කිරීමේ කූඨ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

සෞඛ්‍ය සේවාව සැලසුම්සහගත ලෙස තවදුරටත් අර්බුදයකට තල්ලුකිරීම තුල නිදහස් සෞඛ්‍ය පෞද්ගලීකරණය කිරීමේ දැවැන්ත උත්සාහයක දේශපාලන අධිකාරිය කටයුතු කරමින් සිටින බව නිරීක්ෂණය වේ. සෞඛ්‍ය සේවාව සඳහා ප්‍රතිපාදන ලබාදීම, සෞඛ්‍ය අමාත්‍යවරයකු පත් කිරීම, ඖෂධ අර්බුදයට විසඳුම් සෙවීම ආදිය සම්බන්ධයෙන් දක්වන උදාසීන ආකල්පය සහ සෞඛ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට ගන්නා උත්සාහයන්ගෙන් පැහැදිලි වනුයේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය හා සෞඛ්‍ය සඳහා ඇති අයිතිය තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදෙනවා වෙනුවට නිදහස් සෞඛ්‍ය පෞද්ගලීකරණය කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියලුම ශාඛා සංගම් අද (17) දිනයේ හදිසි ශාඛා සමිති රැස්වීම් පවත්වන අතර ඒ සම්බන්ධ සාකච්ඡා කර අවශ්‍ය තීරණ ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (18) දින උදෑසන පැවැත්වීමට නියමිතය. එහිදී නිදහස් සෞඛ්‍ය සහ සෞඛ්‍ය ප්‍රමුඛත්වය ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ඕනෑම ආකාරයේ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එළැඹීම සඳහා තීරණ ගැනීමට අපගේ මධ්‍යම කාරක සභාව පසුබට නොවන බව දන්වා සිටිමු ෴

***************************************

සිපෙට්කෝ වෙතින් ඉල්ලීමක්

(17.05.2022 – 20:49 +0530 – hirunews.lk/sinhala)

හෙට (18) පෙට්‍රල් සැපයීම සීමා කෙරෙන බැවින් අත්‍යවශ්‍ය නම් මිස පෙට්‍රල් සඳහා පෝලිම්වල නොසිටින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සාමාන්‍ය තෙල් බෙදා හැරීම බ්‍රහස්පතින්දා (19) නැවත ආරම්භ කෙරෙන බව යි වාර්තා වන්නේ.

එමෙන්ම, ගෑස් ලබා ගැනීම සඳහා ද අදත් (17) දිවයින පුරා ගෑස් අලෙවි මධ්‍යස්ථාන ඉදිරිපිට දිගු පෝලිම් පැවතුණා.

මේ අතර, ගෑස් නෞකා දෙකක් (2) සඳහා ගෙවීම් සිදු කර ඇති බවත් ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.

එම සමාගම සඳහන් කළේ, ඒ අනුව ගෑස් මෙට්‍රික් ටොන් 2800 ක් අන්තර්ගත නෞකාවකින් ගෑස් ගොඩබෑමේ කටයුතු අද (17) රාත්‍රියේ සිදු කිරීමට අපේක්ෂා කරන බවයි ෴

***************************************

අග්‍රාමාත්‍ය කාර්‍යාලයයේ වියදම් සියයට පනහකින් (50%) කපා හැරෙයි

(17.05.2022 – 21:43 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් ජුනි මස සිට සියයට පනහකින් (50%) කපා හැරිමට තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක විසින් මෙම පියවර ගෙන ඇති බව යි සඳහන් වන්නේ.

මීට අමතර ව අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය සඳහා වෙනත් රජයේ ආයතනවලින් අනුයුක්ත කර සිටි සේවකයින් 26 දෙනෙකු ආපසු මුල් ආයතනවලට යවා ඇති බවත් වාර්තා වනවා.

මේ අතර, වෙනත් රජයේ ආයතනවලින් ලබා ගෙන තිබූ වාහන 16 ක් ද ආපසු බාර දී ඇති බව සඳහන්.

කුඩා සේවක මණ්ඩලයක් සහ සීමිත සම්පත් මගින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ රාජකාරී කටයුතු සිදු කර වියදම් කපා හැරිමට යි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇත්තේ.

අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ ජනවාරි මාසයට අදාළ වියදම මිලියන 96 යි; පෙබරවාරි 96 යි; මාර්තු 126 යි

මෙම ක්‍රියාව ආදර්ශයට ගෙන අනෙකුත් රාජ්‍ය ආයතන හා අමාත්‍යාංශ වියදම් අඩු කිරීමට පියවර ගත යුතු බවත් ඒ සඳහා ක්‍රියාමාර්ග සොයා බැලීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක අවසාන වශයෙන් අවධාරණය කරනවා ෴

***************************************

විදේශ ප්‍රේෂණ පිළිබඳ සජිත් ප්‍රේමදාසගෙන් ප්‍රකාශයක්

(17.05.2022 – 22:02 +0530 – hirunews.lk/sinhala)

විදේශයන්හි වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින් ප්‍රේෂණ සඳහා විධිමත් බැංකු මාර්ග භාවිතා කිරීම යුගයේ අවශ්‍යතාවක් බව සමඟි ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ නිල ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

මේ මොහොතේ රට වෙනුවෙන් කරන සහයෝගය එය බව යි ඔහු අවධාරණය කරන්නේ.

යමෙකුට එවැනි දැනුම්වත් කිරීමක් හෝ සිදු කිරීමට හැකි නම්, එය මේ මොහොතේ ඉතා ම වටිනා ක්‍රියාවක් බවත් ඔහු සඳහන් කරනවා ෴

***************************************

නියෝජ්‍ය කථානායක ධූරය තවම හිස්

(17.05.2022 – 10:24 +0530 – hirunews.lk/sinhala)

නියෝජ්‍ය කථානායක ධූරය සඳහා නැවතත් පාර්ලිමේන්තුවේ දී නම් දෙකක් (2) යෝජනා වුණා.

එහිදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් රෝහිණී කවිරත්නව නියෝජ්‍ය කථානායක ධූරයට යෝජනා කළ අතර එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විසින් එම යෝජනාව ස්ථීර කළා.

මේ අතර ජී.එල්. පීරිස් විසින් අජිත් රාජපක්ෂගේ නම යෝජනා කළ අතර, බණ්ඩාර විසින් එම යෝජනාව ස්ථීර කළා.

කෙසේවෙතත් එම අවස්ථාවේ දී නියෝජ්‍ය කථානායක ධූරය වෙනුවෙන් ඡන්ද විමසීමට විරෝධය දක්වමින් විමල් වීරවංශ පවසා සිටියේ, ජනතාවගේ මුදල් නාස්ති නොකර කථාකර එකඟත්වයකට පැමිණෙන ලෙසයි.

ඡන්දයක් පැවැත්වීමට රුපියල් මිලියන 9 ක පමණ මුදලක් වැයවෙන බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් තවම නියෝජ්‍ය කථානායකවරයෙක් පත් කර නැහැ.

***************************************

අජිත් රාජපක්ෂ නව නියෝජ්‍ය කථානායක ධූරයට

(17.05.2022 – 11:47 +0530 – hirunews.lk/sinhala)

මේ සඳහා දැඩි වාද විවාද මධ්‍යයේ අද (17) පාර්ලිමේන්තුවේ දී පැවැති ඡන්ද විමසීමේ දී ඡන්ද 109 ක් ලබා ගනිමින් නව නියෝජ්‍ය කථානායකවරයා ලෙස අජිත් රාජපක්ෂ තේරී පත්වුණා.

අද (17) දින පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව නැවත වතාවක් නියෝජ්‍ය කථානායකවරයා තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීමක් සිදු කරනු ලැබුවා.

ඒ මීට පෙර පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් තෝරාගත් නියෝජ්‍ය කථානායක කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය එම තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්.

අද (17) දින මෙම ධුරය සඳහා ඡන්ද විමසීමක් නොකර එක් අයෙකුගේ නම පමණක් යෝජනා කර නියෝජ්‍ය කථානායක ධුරය තෝරා ගැනීමට කලින් තීරණය කර තිබුණ ද පාර්ලිමේන්තුව කැඳවා නියෝජ්‍ය කථානායක ධූරය සඳහා නාමයෝජනා කැඳවීමේ දී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නාමයෝජනා ඉදිරිපත් වුණා.

විපක්ෂයේ නාම යෝජනාව වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඉදිරිපත් කරනු ලැබූ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න ගේ නාම යෝජනාවයි.

එය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් ස්ථිර කරනු ලැබුවා.

මේ අවස්ථාවේදී නැගී සිටී මහාචාර්ය ජී. එල්. පීරිස් විසින් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂගේ නම් යෝජනා කරනු ලැබුවා.

එම නාම යෝජනාව ස්ථිර කරනු ලැබුවේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර විසින්.

මේ අවස්ථාවේදී නැගී සිටි විපක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා පවා නියෝජ්‍ය කථානායක ධූරය සඳහා කාන්තාවකගේ නම යෝජනා කළ යුතු බවට පවසා තිබියදී ප්‍රති පාර්ශවය විසින් මේ සඳහා කෙනෙකු යෝජනා කර ඡන්දයකට යෑම නිශ්ඵල ක්‍රියාවක් බවයි.

මීට පෙරත් පසුගිය වාරයේ මෙලෙසින්ම ඡන්ද විමසා පත් කරගත් කථානායකවරයා පසුදිනම සිය ධූරයෙන් ඉල්ලා අස් වූ බවත් තවදුරටත් ජනතාවට විහිළු සැපයීම මේ පාර්ලිමේන්තුව විසින් සිදු නොකළ යුත්තක් බවත් ඔවුන් පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් ඔවුන් මෙහිදී කථානායකවරයාට බල කරමින් කියා සිටියේ පාර්ලිමේන්තුව තාවකාලිකව කල් දමා පක්ෂ නායක රැස්වීමක් කැඳවා මෙම ප්‍රශ්නය නිරාකරණය කර නැවත පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි.

කෙසේ වෙතත් රීති ප්‍රකාරව කටයුතු කළ කථානායකවරයා නම් දෙකක් යෝජනා වී ඇති අවස්ථාවක තමන්ට සිදුකළ හැක්කේ ඒ සඳහා ඡන්දයක් පැවැත්වීම පමණක් බව ප්‍රකාශ කළා.

ඒ අනුව නව නියෝජ්‍ය කථානායක වරයා තෝරා ගැනීම සඳහා ඡන්දයක් කැඳවනු ලැබුවා.

***************************************

නව නියෝජ්‍ය කථානායක ජනතාවගෙන් සමාව ඉල්ලයි

(17.05.2022 – 12:04 +0530 – hirunews.lk/sinhala)

අද (17) දින පාර්ලිමේන්තුව තුළ දී පැවැති ඡන්ද විමසීමෙන් නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස තේරී පත් වූ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ කථානායක ධූරය සඳහා ඡන්ද විමසීමක් කරා යොමු වීමෙන් පාර්ලිමේන්තුවේ කාලය සහ රටේ මහජන මුදල් නිකරුණේ වැය කිරීමට සිදුවීම සම්බන්ධයෙන් තමන් මෙරට සමස්ථ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවයි.

කෙසේ වෙතත් අද (17) පාර්ලිමේන්තු සභාගර්භය තුළ ක්‍රියාත්මක වූයේ මේ රටේ නීතිය බවත් එය මගහැර යා නොහැකි බවත් ඔහු සඳහන් කළා.

තමන් පක්ෂ විපක්ෂ දෙපාර්ශවය සමඟම ඉතා සමීපව කටයුතු කරන පුද්ගලයකු මෙන්ම නියෝජ්‍ය කථානායක ධුරයේ කටයුතු ද දෙපාර්ශ්වයටම සම ලෙස සාධාරණව ඉටු කරන බවත් ඔහු අවධාරණය කළා.

අද (17) පැවති ඡන්ද විමසීමේ දී ආණ්ඩු පක්ෂයෙන් නාමයෝජනා ඉදිරිපත් කළ අජිත් රාජපක්ෂ ට ඡන්ද 109 ක් හිමිවූ අතර විපක්ෂයෙන් තරග කළ රෝහිණී කවිරත්න ට ඡන්ද 78 ක් හිමි වුනා.

අද (17) දින නියෝජ්‍ය කථානායක ධුරය සඳහා සිදු කළ ඡන්ද විමසීමේ දී ඡන්ද 23 ප්‍රතික්ෂේපිත ඡන්ද වශයෙන් ප්‍රකාශ කිරීම විශේෂ සිදුවීමක් ෴

***************************************

කැබිනට් මණ්ඩලයේ ඉතිරි ඇමතිවරු අද (17) පස්වරුවේ දිවුරුම් දෙයි?

(17.05.2022 – 15:56 +0530 – hirunews.lk/sinhala)

කැබිනට් මණ්ඩලයේ ඉතිරි ඇමතිවරුන් අද පස්වරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ,සමගි ජන බලවේගය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ස්වාධින වූ මන්ත්‍රීවරුන් අතරින් කිහිපදෙනෙකු ද මෙලෙස ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව රජයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සංයුතිය බොහෝදුරට 18 දෙනෙකුට සිමා කිරීමට නියමිත බව යි සඳහන් වන්නේ.

ඊට සාපේක්ෂව රාජ්‍ය අමාත්‍යවරු 18 දෙනෙකුද පත්කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

මහාචාර්ය ජි එල් පිරිස් ,දිනේෂ් ගුණවර්ධන ,ප්‍රසන්න රණතුංග ,කාංචන විජේසේකර යන අය මිට පෙර කැබිනට ඇමතිවරු ලෙස දිවුරුම් දුන්නා.

ඒ අනුව අද දවසේ බොහෝවිට ඇමතිවරු 14 දෙනෙකු දිවුරුම් දීමට ඉඩ තිබෙනවා ෴

***************************************

Sparsha (ස්පර්ශ) With Ishak Baig (13 May 2022)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *