අරගලයට පහරදුන් තවත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට, දැන් තුනයි (3)

අරගලයට පහරදුන් තවත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට, දැන් තුනයි (3)

*********************************************

අරගලයට පහරදුන් තවත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට, දැන් තුනයි (3)

(17.05.2022 – 14:06 +0530 – hirunews.lk/sinhala)

ගාලු මුවදොර පැවති අරගලය සාමකාමී විරෝධතා ව්‍යාපාරයට පහර දුන් බවට සැකපිට බස්නාහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා සහ දෙහිවල – ගල්කිස්ස නගර සභාවේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

මේ අනුව අරගලය විරෝධතා ව්‍යාපාරයට පහර දුන් බවට සැකපිට මේ දක්වා පුද්ගලයින් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ අතර මෙම සිද්ධියත් සමග රට පුරා ඇවිලී ගිය ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකුගේ නිවාස සහ දේපළ වලට හානි සිදු කෙරුණා.

මැති ඇමැතිවරුන් ගණනාවකගේ නිවාස ගිනි තබා විනාශ කිරීමටත් මෙම කලහාකාරී පිරිස් විසින් කටයුතු කර තිබුණා.

එම සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පිරිස 397 ක් ෴

***************************************

විරෝධතාවක් හේතුවෙන් වැසුණු මාතර – අකුරැස්ස මාර්ගය යළි විවෘතයි

(17.05.2022 – 15:06 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන ඉල්ලා ප්‍රදේශවාසීන් සිදු කළ විරෝධතාවක් හේතුවෙන් මාතර – අකුරැස්ස ප්‍රධාන මාර්ගය පරදූව ප්‍රදේශයෙන් අවහිර වුණා.

ඒ ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හල වෙත පැමිණි ජනතාව මෙලෙස ඉන්ධන නොමැතිවීමත් සමග මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ අතර පසුව එම ස්ථානයට පොලීසිය පැමිණියා.

එහි දී පොලීසිය විරෝධතාකරුවන්ට කරුණු පැහැදිලි කරදීමත් සමග යලි මාර්ගය විවෘත කිරීමට පියවර ගැණුනා ෴

***************************************

හෙටත් (18) පැය තුනයි (3) මිනිත්තු හතලිහක (40) විදුලි කප්පාදුවක්

(17.05.2022 – 15:17 +0530 – hirunews.lk/sinhala)

හෙට (18) දිනයේ පැය 3 යි මිනිත්තු 40 ක කාලයක් විදුලිය කප්පාදු කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂම ප්‍රකාශ කරනවා.

ඒ A සිට W යන කලාප සඳහා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ පැය 2 ක් සහ පස්වරු 5 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ පැය 1 යි මිනිත්තු 40 ක කාලයක්.

එමෙන් ම CC කලාප සඳහා පෙරවරු 6 සිට පෙරවරු 9 දක්වා පැය 3 ක කාලයක් ද, M N O X Y Z යන කලාප සඳහා පෙරවරු 5 සිට පෙරවරු 8 දක්වා කාලය තුළ පැය 3 ක කාලයක් ද විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

***************************************

රෝහල්වල දැඩි සත්කාර ඒකක (ICU) සහ අධි සත්කාර ඒකක (HDU) වැසෙන ලකුණු

(17.05.2022 – 15:39 +0530 – hirunews.lk/sinhala)

සියළුම රෝහල්වල දැඩි සත්කාර සහ අධි සත්කාර ඒකක පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය රුධිර වායු විශ්ලේශක යන්ත්‍ර සදහා අවශ්‍ය ප්‍රතික්‍රීයක නොලැබී යෑමෙන් ඉදිරියේ දී එම ඒකක පවත්වා ගැනීමට නොහැකි දැඩි අර්බුධයක් මතුව තිබෙන බව වාර්තා වනවා.

මේ හේතුවෙන් දැඩි සත්කාර සහ අධිසත්කාර ඒකකවල වායු සැපයුම් යන්ත්‍ර මත ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි අවධානමකට ලක්වන අතර, රුධිර වායු විශ්ලේෂක යන්ත්‍ර නොමැතිව එම ඒකක පවාත්වා ගැනීම පවා නිශ්පල විය හැකි ‍යි.

එම යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය ප්‍රතික්‍රීයක සදහා සැපයුම්කරුවන් වෙත ගෙවියයුතු රුපියල් මිලියන තුන්සීයක (300) පමණ මුදලක් ගෙවීම, මාස 4 කට වඩා වැඩි කාලයක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැර හැරීම නිසා තවදුරටත් අදාල ප්‍රතික්‍රියක ලබා දීම කල නොහැකි බව අදාල සමාගම් විසින් දන්වා තිබීම මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක්.

මෙවැනි ගැටලු සදහා තාවකාලික පිළියමක් හෝ යෙදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන් කටයුතු නො කිරීම හේතුවෙන් සැපයුම්කරුවන් ඉතා අසීරු තත්වයකට පත්ව තිබෙනවා.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයට ණය දීම හේතුවෙන් ඇතැම් සමාගම් බංකොලොත් වී ඇති බවත්, ඇතැම් සමාගම් ජාත්‍යන්තර වශයෙන් අසාධුගත වී ඇති බවත් වාර්තා වනවා.

වර්ථමාන අගමැතිවරයා විසින් සෞඛ්‍ය සේවාව පිළිබඳ සොයා බැලීමේ වගකීම රුවන් විජේවර්ධන ව පත්කර ඇතත්, ගැටලුවට අවශ්‍ය සාකච්චාවක් අදාළ පාර්ශව සමග තවම සිදු වී නොමැති බව යි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය වෙනුවෙන් රවී කුමුදේශ් අවධාරණය කළේ ෴

***************************************

‘අන්තිමට අයියා-මලෝ ශේප් වෙයි. ඔයාටයි අමාරුවේ වැටෙන්න වෙන්නෙ’ – මහජන ආරක්ෂක ලේකම් දේශබන්දුට දුන් උපදෙස

(17.05.2022 – 16:32 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් 09 වන දා ගාලු මුවදොර අරගලයට පහර දීම සහ ඉන් අනතුරුව රටේ ඇති වූ කලහකාරී තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ, ගාලු මුවදොර අරගල භූමියට ප්‍රහාරයක් එල්ල කිරීමට අරලියගහ මන්දිරයේ සිට පැමිණි පිරිස නතර කිරීමට ජනාධිපතිවරයා නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට උපදෙස් දී තිබුණත් පොලිස්පතිවරයා හා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා එය වැලක්වීමට කටයුතු කළ බවයි.

එය තමාට මානව හිමිකම් කොමිෂමේ ආරංචි මාර්ග මගින් දැනගන්නට ලැබුණු බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින්, කලහකාරී අයුරින් ගාලු මුවදොරට ඇතුළු වීමට උත්සහ දරන පිරිස් නැවත්වීම සඳහා අවශ්‍ය විදි විධාන යොදා තිබුණත්, පොලිස්පතිවරයා එය නවත්වන ලෙස උපදෙස් දුන් බවත්, වැඩිදුර විස්තර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයා අමතා දැනගන්නා ලෙස දේශබන්දු තෙන්නකෝන්ට දන්වා ඇති බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට හෙළිදරව් කළා.

මෙහි දී පොලිස්පතිවරයා විසින්, “ඕවා කරන්න එපා ! අමාත්‍යංශ ලේකම්ට කතා කරන්න”යනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයාට කියා ඇති අතර අමාත්‍යංශ ලේකම් කියා ඇත්තේ, “ඕවා කරන්න එපා! ඔතන ඉන්නෙ මහින්ද අගමැතිතුමාගෙ ගෝලයෝ. අන්තිමට අයියා-මලෝ ශේප් වෙයි. ඔයාටයි අමාරුවේ වැටෙන්න වෙන්නෙ” යනුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා ෴

***************************************

දේශබන්දුගෙන් සී.අයි.ඩීය ප්‍රශ්න කරයි – අතුකෝරාළ වෙනුවට ජගත් සමරවික්‍රම

(17.05.2022 – 16:52 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙමින් සිටිනවා.

ඒ ගාලු‍ මුවදොර සහ අරලියගහ මන්දිරය අසල සාමකාමී අරගලයේ නිරතවු විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත යන හිටපු අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු විසි දෙදෙනෙකු (22) ප්‍රමාණවත් සාක්ෂි පවතී නම්, අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් මීට පෙර පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණා.

මේ අතර, පසුගිය දා ඇති වූ කලහකාරි සිදුවීම් අතරතුර ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ජගත් සමරවික්‍රම නම් කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වනවිට නිකුත් කර ඇති අතර, ඔහු පසුගිය මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ඡන්ද සංඛ්‍යාව අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පස්වැනියා (5) බවට පත්වුණා.

මේ අතර, අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

22 හැවිරිදි සැකකරුවන් දෙදෙනා නිට්ටඹුව – නම්බාදළුව සහ ජුනයිඩ් මාවතේදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සිද්ධිය වන අවස්ථාවේදී සැකකරුවන් ඇඳ සිටි ඇඳුම් කට්ටල දෙකක් (2) සහ පිහියක් නිලධාරින් විසින් සොයා ගෙන ඇති අතර, මේ වනවිට මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, පසුගිය මාර්තු මස 31 වනදා මිරිහානේ පැවති විරෝධතාවයේදී ප්‍රචන්ඩකාරි ලෙස හැසිරෙමින් බස් රථයක් ඇතුළු රජයේ දේපල ගිනි තබා විනාශ කිරීමට අදාළ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය අපේක්ෂා කරනවා.

ඒ අනුව, සිද්ධියට අදාළව වීඩියෝ දර්ශන කිහිපයක් සහ ඡායාරූප කිහිපයක් ඔවුන් ප්‍රසිද්ධියට පත් කර ඇති අතර ඒ සම්බන්ධ තොරතුරු 071 859 4922, 011 244 1379 හෝ 011 242 2176 යන දුරකථන අංකවලට ලබාදිය හැකියි ෴

***************************************

බෙදුම්වාදී අරගලයෙන් මිය ගිය දමිළ ජනතාව සැමරුමක් වෙල්ල මුල්ල වයික්කාල්හි දී

(17.05.2022 – 17:37 +0530 – hirunews.lk/sinhala)

හෙටට (18) යෙදී ඇති 13 වන යුධ සැමරුම වෙනුවෙන් මුලතිව් වෙල්ල මුල්ලි වයික්කාල ප්‍රදේශය සහ යාපනේ තවත් ස්ථාන කිහිපයකම සැමරුම් උත්සව පැවත්වෙන බව වාර්තා වෙනවා.

යුධයෙන් මියගිය දමිළ ජනතාව සිහිපත්කරමින් ඉකුත් 12 වැනි දා ආරම්භ වූ මෙම සැමරුම්වල ප්‍රධාන සැමරුමක් යාපනේ විශ්වව්ද්‍යාලයේ දී පවත්වා තිබෙනවා.

මේ අතර දෙමළ ජාතික ජනතා පෙරමුණ පක්ෂය විසින් මියගිය දමිළ ජනතාව වෙනුවෙන් සැකසු විශේෂ ස්මාරකයක් සහිත රථයක් උතුරු පලාතේ බොහෝ ප්‍රදේශවල සංචාරය කරමින් සිටින බව ද වාර්ථා වෙනවා.

මෙම රථය හෙට 18 මුලතිව් වෙල්ල මුල්ලි වයික්කාල ප්‍රදේශයේ යුද සැමරුම් ස්ථානය වෙත පැමිණීමට නියමිත යි.

සිදු වූ අපරාධයන්ට සාධාරණය ඉටු කරනු ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාත්මක කරණු, ආදී වූ වැකි අඩංගු පුවරු එම රථය වටා එල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

හෙට (18) පෙරවරුවේ පැවැත්වෙන ප්‍රධාන සැමරුමට සහභාගී වීම සඳහා වෙල්ල මුල්ලි වයික්කාල වලට උතුරේ වැසියන්ට පැමිණෙන ලෙස ද දැනුම් දීම සිදු වෙන බව උතුරේ දේශපාලන ආරංචි මාර්ග පවසනවා ෴

***************************************

හිටපු පළාත් සභා මන්ත්‍රී සහ සගයා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

(17.05.2022 – 17:47 +0530 – hirunews.lk/sinhala)

ඉකුත් 09 වන දා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර විරෝධතාකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ මොරටුව මහ නගර සභාවේ සේවකයා ලබන බදාදා (19) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴

***************************************

ගෑස් නැව් දෙකකට (2) මුදල් ගෙවූ බවට ලිට්‍රෝ වෙතින් ප්‍රකාශයක්

(17.05.2022 – 18:00 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දින 3 න් පසු බාධාවකින් තොරව ප්‍රමාණවත් පරිදි අඛණ්ඩව පෙට්‍රල් ලබා දීමේ කටයුතු සිදුකල හැකි බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ක්‍රිෂාන්ත වික්‍රමසිංහ කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඉදිරි දින කිහිපය සඳහා ප්‍රමාණවත් ඩීසල් තොග ද මේ වනවිට රට තුල පවතින බවයි.

මේ අතර, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සිට දිවයින පුරා පිරවුම් හල් වලට ඇනවුම් කර ඇති ඩීසල් තොග බෙදාහැරීමේ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදු කෙරෙන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ශාන්ත සිල්වා කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඒ අනුව ඩීසල් පෝලිම් ඉදිරි දින කිහිපය තුල අඩුවී යනු ඇති බවයි.

කෙසේ වෙතත්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක් අදත් වසා තැබුණු අතර බොහෝමයක් පිරවුම් හල් වල අද (17) ඉන්ධන තොග නොලැබීම හේතුවෙන් පිරවුම් හල වසා ඇත යනුවෙන් සටහන් කල පුවරු දක්නට ලැබුණා.

විවෘතව පැවති ඉන්ධන හල් වල මෙන්ම වසා තිබුණු ඉන්ධන හල් ඉදිරි පිටද අදත් (17) ඉතා දිගු වාහන පෝලිම් පැවති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම ඉන්ධන නිකුත් නොකිරීම, පෝලිම් පැනීමේ සිද්ධීන් සහ පෝලිම් වලට පිටතින් පැමිණි පිරිස් වලට ඉන්ධන නිකුත් කිරීම යන කරුණු මුල් කර ගනිමින් ඇතැම් ඉන්ධන හල් වල උණුසුම් තත්වයන්ද වාර්තා වුණා.

එමෙන්ම, ගෑස් ලබා ගැනීම සඳහා ද අදත් (17) දිවයින පුරා ගෑස් අලෙවි මධ්‍යස්ථාන ඉදිරිපිට දිගු පෝලිම් පැවතුණා. මේ අතර, ගෑස් නෞකා දෙකක් (2) සඳහා ගෙවීම් සිදුකර ඇති බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.

එම සමාගම සඳහන් කළේ ඒ අනුව, ගෑස් මෙට්‍රික් ටොන් 2800 ක් අන්තර්ගත නෞකාවකින් ගෑස් ගොඩබෑමේ කටයුතු අද (17) රාත්‍රියේ සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර, ඉන්ධන ඇතුළු සම්පත් හිඟය මත රාජ්‍ය වියදම් අවම ගැනීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන රාජ්‍ය නිලධාරින් කාර්යාලවලට කැඳවීම සීමා කරන්නැයි අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.

දුරබැහැර සිට සේවයට වාර්තා කරන නිලධාරින් ඔවුන් පදිංචිව සිටින ස්ථානයට ආසන්න සේවා ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කිරීමට අවශ්‍ය බලතල ප්‍රධානීන් වෙත පැවරීම ඇතුළු යෝජනා කිහිපයක් ඔහු ඊට අදාළ ලිපියේ ඉදිරිපත් කර තිබුණා ෴

***************************************

හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත සහ මන්ත්‍රී මිලාන් අත්අඩංගුවට

(17.05.2022 – 18:25 +0530 – hirunews.lk/sinhala)

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය අසල පසුගිය 09 වනදා ඇති වූ සිදුවීම්වලට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේදී මොවුන් දෙදෙනා (2) අත්අඩංගුවට ගත් බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් ද ප්‍රකාශයක් ලබා ගනිමින් සිටිනවා.

ඒ ගාලු‍ මුවදොර සහ අරලියගහ මන්දිරය අසල සාමකාමී අරගලයේ නිරතවු විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළවයි.

අද (17) පස්වරු 03 ට පමණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත යන හිටපු අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු විසි දෙදෙනෙකු (22) ප්‍රමාණවත් සාක්ෂි පවතී නම්, අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් මීට පෙර පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබුණා.

එසේම, ගාලු‍ මුවදොර සහ අරලියගහ මන්දිරය අසළ අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ සේවකයා හෙට (18) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මේ අතර, පසුගිය දා ඇති වූ කලහකාරි සිදුවීම් අතරතුර ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරලගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එම දිස්ත්‍රික්කයෙන් පස්වැනි (5) ස්ථානයට මනාප ලබා ගත් ජගත් සමරවික්‍රම නම් කර තිබෙනවා.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙකු (2) අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණේ නිට්ටඹුව – නම්බාදළුව සහ ජුනයිඩ් මාවතේදීයි.

සිද්ධිය වන අවස්ථාවේදී සැකකරුවන් ඇද සිටි ඇඳුම් කට්ටල දෙකක් (2) සහ පිහියක් නිලධාරින් විසින් සොයා ගෙන ඇති අතර, මේ වනවිට මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, දිවයින පුරා සිදු වූ කළහකාරී සහ ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 258 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ.

එසේම, ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ සිදුවූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ නියෝජිතයා ලෙස ජනාධිපති නිතීඥ ටිරන්ත වළලියද්ද පත් කර ඇති බව වාර්තා වුණා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු රෝහිණී මාරසිංහ සඳහන් කළේ ඔහු හෙට (18) දිනයේ සිට කොමිසමේ විමර්ෂණ ආරම්භ කරන බවයි.

එම විමර්ෂණ ලබන 23 වැනි දා දක්වා දෛනිකව සිදු කරනු ඇති බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, ගාලු මුවදොර විරෝධතාව අද (17), 39 වැනි දිනටත් ක්‍රියාත්මක අතර, කලාකරුවන් පිරිසක් අද (17) පස්වරුවේ අරලියගහ මන්දිරයේ අසල පිහිටි විරෝධතා භුමියේ සිට සිට ගාලුමුවදොර විරෝධතා භුමිය දක්වා පාගමනින් පැමිණියා.

තව ද ගාලුමුවදොර ප්‍රහාරයට අත් අඩංගුවට ගත් හිටපු බස්නාහිර පලාත් සබා මන්ත්‍රී අමල් සිල්වා සහ නගර සබා සේවකයා හෙට (18) දක්වා රිමාන්ඩ් කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *