ස්වාධීන මන්ත්‍රීවරුන් අද (03) සමඟි ජන බලවේගය හමුවෙයි

ස්වාධීන මන්ත්‍රීවරුන් අද (03) සමඟි ජන බලවේගය හමුවෙයි

*********************************************

ස්වාධීන මන්ත්‍රීවරුන් අද (03) සමඟි ජන බලවේගය හමුවෙයි

(03.05.2022 – 07:17 +0530 – hirunews.lk/sinhala)

ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව පිළිබද සාකච්ඡා කිරීම සදහා ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම හා සමගි ජන බලවේගය අතර හමුවක් අද (03) පෙරවරුවේ කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර, ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීම සදහා වූ පක්ෂ එකොළහේ (11) යෝජනාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ (02) එකඟතාව පළ කර තිබුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව යි.

එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ, අග්‍රාමාත්‍යවරයා ඉවත් වීමක් සිදු වුවහොත් පත්වන ආණ්ඩුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අගමැති අපේක්ෂකයෙකු ඉදිරිපත් නො කරන බවයි.

***************************************

නියෝජ්‍ය කථානායක ධුරයත් අර්බුදයක

(03.05.2022 – 07:40 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට පුරප්පාඩුව පවතින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සදහා මන්ත්‍රීවරයෙකු පත් කිරීම අර්බුදයක් බවට පත්ව තිබෙනවා.

ඒ, හිටපු නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් මෙතෙක් පිළිගෙන නො තිබීම හේතුවෙන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වීමත් සමග ඔහු පසුගිය 05 වන දා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වුණා.

එහෙත් නිදහස් පක්ෂය, ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවෙන් පසු ඔහු යළි එම ධුරය භාර ගත්තා.

පසුව පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් හිටපු නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය සදහන් කළේ, අප්‍රේල් මස 30 වන දා දක්වා පමණක් තමන් එම ධුරයේ කටයුතු කරන බවයි.

එම කාලසීමාව මේවනවිට අවසන් වී ඇති අතර එම තනතුර තවදුරටත් පුරප්පාඩුව පවතිනවා.

නියෝජ්‍ය කථානායක තනතුර සඳහා යෝජනා වී ඇති මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නම් මාධ්‍ය මගින් ද අනාවරණ කර තිබුණා.

හිරු ප්‍රවෘත්ති අංශය සමග සංවාදයට එක්වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පසුගිය දා සදහන් කළේ හෙට (04) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේ දී නියෝජ්‍ය කථානායක ධුරය සදහා සමගි ජන බලවේගය ද මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කරන බවයි.

අප මේ පිළිබඳ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දුගෙන් ද විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ, නව නියෝජ්‍ය කථානායකවරයෙකු පත් කර ගැනීමට නම් හිටපු නියෝජ්‍ය කථානායකවරයාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගත යුතු බවයි.

ජනාධිපතිවරයා, හිටපු නියෝජ්‍ය කාතානායක රංජිත් සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම පිළිගත් බවට පාර්ලිමේන්තුවට මෙතෙක් දැනුම්වත් කර නො මැති බව ඔහු කියා සිටියා ෴

***************************************

මාස 3 ක් සඳහා අඩු ආදායම්ලාභී සහ සමෘද්ධි දීමනාව ඉහළට

(03.05.2022 – 13:39 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින හඳුනාගත් පවුල් ඒකක මිලියන 3.34 කට මැයි සිට මාස 3 ක කාලයක් සඳහා අමතර දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් වෙළද හා සමෘද්ධි අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේ ඒ සදහා රුපියල් මිලියන 13,364 ක මුදලක් වැය වන අතර ලෝක බංකුව එම ආධාර සැපයීමට එකඟතාව පළ කර ඇති බවයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ගෙන් ප්‍රශ්න කර සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා නවත්වා චීනය සමග පමණක් මූල්‍ය ගනුදෙනු සිදු කිරීමට සූදානමක් පවතින්නේ ද යන්නයි.

මේ අතර, ජීවන වියදම ස්ථාවරව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ ප්‍රායෝගික විසදුම් ලබා දීම සදහා අනුකාරක සභාවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එම කමිටුව ජනාධිපතිවරයාගේ සහභාගීත්වය යටතේ අග්‍රාමාත්‍යවරයාගේ සහ අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් යුක්තයි.

එමෙන්ම, දැනට පවතින විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස කඩිනම් විදේශ ආයෝජන ලබා ගැනීම සදහා එම අවස්ථාවන් හදුනා ගැනීමට අමාත්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයින්ට රුපියල් 3000 ක අමතර දීමනාවක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් 2500 ක අමතර දීමනාවක්, මෙම කාලය තුල ලබාදෙනු ඇති.

ඊට අමතරව, ආබාධිත සහ වකුගඩු රෝගීන්ට දැනට ලබාදෙන මුදලට අමතරව, රුපියල් 2500 ක දීමනාවක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර, සීමාසහිත ඉන්දියන් ඔයිල් කෝපරේෂන් වෙතින් පිරිපහදු කළ පෙට්‍රෝලියම් නිෂ්පාදන මිල දී ගැනීමේ කොන්ත්‍රාත්තුවක් ඉන්දියානු එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක කෙටි කාලීන ණයක් හරහා ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඩොලර් බිලියනයක ඉන්දීය ණය ආධාර යටතේ වානේ ඇතුළු කාර්මික අමුද්‍රව්‍ය ආනයනය සඳහා වෙන් කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 260 ක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රකාශ කළා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද (03) එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ, ඉන්දියානු ණය ආධාර යටතේ මෙරටට ආනයනය කරන භාණ්ඩ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ෴

+

***************************************

කැබිනට් මණ්ඩලයේ අනාගතය ගැන මේ සතියේ තීරණයක්

(03.05.2022 – 13:36 +0530 – hirunews.lk/sinhala)

ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමට අදාළව පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් සහ සමගි ජන බලවේගයේ නියෝජිතයින් අතර අද (03) සාකච්ඡාවක් පැවැත්වුණා.

මේ අතර, අද (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා කියා සිටියේ වත්මන් කැබිනට් මණ්ඩලයේ අනාගතය මේ සතියේදී තීරණය වනු ඇති බවයි.

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ සමගි ජන බලවේගයේ නියෝජිතයින් අතර අද (03) සාකච්ඡාව පැවැත්වුණේ සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරගේ නිවසේදියි.

ඊට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, නිමල් ලංසා ඇතුළු පිරිසක් එක්වුණා.

සමගි ජන බලවේගය වෙනුවෙන් එම සාකච්ඡාවට සහභාගි වුණේ රංජිත් මද්දුම බණ්ඩාර, ආචාර්ය හර්ෂ ද සිල්වා, රාජිත සේනාරත්න සහ ගයන්ත කරුණාතිලක යන මන්ත්‍රීවරුන්.

ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමට අදාළව ස්වාධීන මන්ත්‍රීවරුන් ඊයේ (02) ජනාධිපතිවරයා මුණ ගැසුණු අතර, එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ, අග්‍රාමාත්‍යවරයා ඉවත් වීමක් සිදු වුවහොත් පත්වන ආණ්ඩුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අගමැති අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බවයි.

ඉන් අනතුරුවයි ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් අද (03) සමගි ජන බලවේගයේ නියෝජිතයින් හමුවුණේ.

මේ අතර, ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ අද (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීම අද (03) පෙරවරුවේ දී විපක්ෂ නායක කාර්යාලයේ දී ආරම්භ වුණා.

එහි දී හෙට (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව, පුරප්පාඩුව පවතින නියෝජ්‍ය කතානායක ධූරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ.

මේ අතර, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සදහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඇතුලු නීති ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් ඇතුළත් කමිටුවක් විසින් සකස් කළ වාර්තාවේ ඇතුළත් කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා අමාත්‍ය මහාචාර් ජී.එල්. පීරිස්ගේ සභභාපතීත්වයෙන් යුත් පංච (5) පුද්ගල අමාත්‍ය අනුකාරක සභාවක් පත් කර තිබෙනවා.

ඊට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා, රමේෂ් පතිරණ මෙන්ම ජනාධිපති නීතිඥ අලි සබ්රි ඇතුළත් ෴

***************************************

විශ්වාසභංග යෝජනා 2 ක් කතානායකට

(03.05.2022 – 16:25 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයට එරෙහිව විශ්වාසභංග දෙකක් (2) අද (03) දිනයේ කථානායකවරයාට භාරදීමට විපක්ෂය කටයුතු කර තිබෙනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද (03) පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් පැමිණි අවසන් එකඟතාවන් මත විශ්වාසභංග දෙක (2) කථානායකවරයාට භාරදුන් බවයි ෴

***************************************

බහුතරය පෙන්වන ඕනෑම කෙනෙකුට අගමැතිකම දෙන්න සූදානම් – අගමැති මහින්ද

(03.05.2022 – 21:50 +0530 – hirunews.lk/sinhala)

අගමැති මහින්ද රාජපක්ෂ හෙට (04) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් කිරිමට නියමිතයි.

බහුතරය පෙන්වන ඕනෑම කෙනෙකුට අගමැතිකම දෙන්න සූදානම් බව මෙහුදී ඔහු ප්‍රකාශ කරනු බවයි පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයකු පැවසුවේ.

එලෙස නව අගමැතවරයකු ඉදිරිපත් වෙනතුරු තමා අගමැතිධූරයේ ඉන්නා බව ද ඔහු පැවසීමට නියමිත බවයි වාර්තා වන්නේ.

නව අගමැතවරයකු ඉදිරි පත්වීමට පෙර තමා ඉල්ලා අස්නොවන්නේ රට තව දුරටත් ප්‍රපාතයට වැටීම වලක්වා ලීමට බවද මහින්ද රාජපක්ෂ බොහෝ දුරට හෙට (04) පර්ලිමේන්තුවේ දී පැවැසීමට ඉඩ ඇති බව වාර්තා වෙනවා ෴

***************************************

‘වැඩ වර්ජනවල අරමුණ ආර්ථික අර්බුදය උග්‍ර කිරීමයි’ – ජනපති

(03.05.2022 – 22:15 +0530 – hirunews.lk/sinhala)

පටු දේශපාලන වුවමනා මත ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ලබන 06 වැනිදා සිදු කිරීමට අපේක්ෂිත වැඩ වර්ජනයට කිසිඳු සහායක් ලබා නොදෙන බව අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතන රැසක වෘත්තිය සමිති නියෝජිතයෝ පවසනවා.

තම සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ඔවුන් සඳහන් කළා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග අද (03) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේ දී වෘත්තිය සමිති නියෝජිතයෝ මේ බව පැවසුවා.

අපේක්ෂිත වැඩ වර්ජනය, සේවක අයිතීන් වෙනුවෙන් නොව දේශපාලන පක්ෂ කිහිපයක වුවමනාවක් මත සිදු කෙරෙන්නක් බව වෘත්තිය සමිති නියෝජිතයන් විසින් පෙන්වා දෙනු ලැබුවා.

පවතින ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරවීම සහ මහජනතාව පීඩාවට පත් කිරීම මෙම වැඩ වර්ජනයේ අපේක්ෂාව බවයි ඔවුන් සඳහන් කළේ.

එම නිසා තත්ත්වය නිසිලෙස තේරුම් ගෙන ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට කටයුතු කිරීම සියලු සේවකයන්ගේ යුතුකම සහ වගකීම බව වෘත්තිය සමිති නියෝජිතයෝ සඳහන් කළා.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නව ක්‍රමවේදයන්ට යොමුවීමේ සහ දේශපාලන භේදවලින් ඉවත්වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබුවා.

වැඩ වර්ජන හේතුවෙන් ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරවීම මේ පිටුපස ඇති දේශපාලන අරමුණ ඇති බැවින් එය වටහා ගෙන ආයතන බිඳ වැටීමට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළා.

පසුගිය 28 වැනිදා පැවති වැඩ වර්ජනය නොතකා රාජකාරිය ඉටු කළ සේවකයින්ට සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා පවතින තත්ත්වය වටහා ගෙන ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස සියලුම වෘත්තිය සමිතිවලින් ඉල්ලා සිටියා.

***************************************

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

(03.05.2022 – 20:37 +0530 – hirunews.lk/sinhala)

පරිගණක පද්ධතියේ බිඳවැටීමක් පවතින බැවින් අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා හෙට (මැයි 04) ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම එක්දින සේවාවල ද ප්‍රමාදයන් සිදුවිය හැකි බව දෙපාර්තමේන්තුව පවසනවා ෴

***************************************

ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයට ඩිජිටල් පහසුකම්

(03.05.2022 – 13:43 +0530 – hirunews.lk/sinhala)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිටවීමේ පර්යන්තයෙන් ඇතුළුවන මගීන්ගේ අනන්‍යතාව සහතික කර ගැනීමට ඩිජිටල් පහසුකම් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

‘එක් හැදුනුම්පතක්’ සංකල්පය යටතේ පිටත්වන මගීන් සදහා ඩිජිටල් පිවිසුමක් හදුන්වා දීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වනු ඇති.

ඒ අනුව පිටත්වීමේ පර්යන්තයට ඇතුළු වන ස්ථානයේ මුහුණු පරීක්ෂා කිරීම සදහා විද්‍යුත් යන්ත්‍ර ස්ථාපනය කර මගීන් සතුව වලංගු විද්‍යුත් ප්‍රවේශ පත්‍රයක් තිබෙන බවට සනාථ කර ගැනීමට සැලසුම් කර තිබෙනවා ෴

***************************************

නැඳුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය

(03.05.2022 – 10:30 +0530 – hirunews.lk/sinhala)

නැඳුන්ගමුවේ හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

නැඳුන්ගමුවේ හස්තියා දිවයිනේ ප්‍රධාන සිද්ධස්ථාන රාශියක විවිධ පෙරහර මංගල්‍යයන් සඳහා සහ 2005 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා අවස්ථා 13 ක දී දළදා කරඬුව වැඩම වීමට වාසනාවන්ත වුණා.

ඒ අනුව, නැඳුන්ගමුවේ හස්තියා ව ‘ජාතික වස්තුවක්’ ලෙස නම් කිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනවට යි කැබිනට් අනුමැතිය ලැබුණේ ෴

***************************************

සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

(03.05.2022 – 07:53 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (02) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සුදු සහ රතු නාඩු කිලෝග්‍රෑමයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 220 ක්.

මීට අමතරව සුදු සහ රතු සම්බා කිලෝග්‍රෑමයක් අලෙවි කළ යුතු වන්නේ රුපියල් 230 කට යි.

එමෙන්ම කීරි සම්බා කිලෝග්‍රෑමයක් සඳහා ද රුපියල් 260 ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

කෙසේ වෙතත්, වී අලෙවි මණ්ඩලය විසින් සහන මිලට වෙළදපොළ වෙත නිකුත් කරනු ලබන සහල් සදහා මෙම නියෝගය අදාළ වන්නේ නැහැ ෴

***************************************

ඉන්ධන ගැටලුව ඩෙංගු ධුමායනයටත් හරස් වෙයි

(03.05.2022 – 07:43 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු පාලනයේ දී ධූමායන කටයුතු සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය සහ ඩීසල් නො මැති වීම හේතුවෙන් රටපුරා එම කටයුතු මුළුමනින්ම ඇණහිට ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඩොලර් අර්බුදයත් සමග අදාළ රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම නතර වී ඇති බවයි එහි සභාපති උපුල් රෝහණ සඳහන් කළේ ෴

***************************************

රිය අනතුරු හේතුවෙන් තිදෙනෙකු (3) මරුට

(03.05.2022 – 10:09 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පැය 24 තුළ දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ රිය අනතුරු වලින් පුද්ගලයින් තුන්දෙනෙකු (3) ජීවිතක්ෂයට පත්වී තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මහියංගනය – පොළොන්නරුව මාර්ගයේ සදුන්පුර ප්‍රදේශයේදී ඊයේ (02) සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු (1) ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

තුවාලකරුවන් ගමන් ගත් වෑන් රථය මාර්ගය අසල නතර කර තිබූ බස් රථයක පිටුපස ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මේ අතර මරදන්කඩවල – කැකිරාව මාර්ගයේ ඊයේ (02) සිදුවූ අනතුරකින් 63 හැවිරිදි අයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර යාපනය – කොඩිකාමම් මාර්ගයේ කැබ් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් 31 හැවිරිදි තරුණයෙකු මිය ගියා ෴

***************************************

මාරක අනතුරකින් වයස අවුරුදු 17 ක සහ 8 ක දැරියන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට

(03.05.2022 – 18:19 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – හෙට්ටිපොල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ මාරක අනතුරකින් වයස අවුරුදු 17 ක සහ 8 ක දැරියන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම අනතුරින් තවත් තිදෙනෙකු (3) තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *