ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අයි.එම්.එෆ්. වෙතින් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අයි.එම්.එෆ්. වෙතින් පැහැදිලි කිරීමක්

*********************************************

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අයි.එම්.එෆ්. වෙතින් පැහැදිලි කිරීමක්

(27.04.2022 – 07:38 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2021 දී 3.6% සිට මේ වසරේ 2.6% කින් පහත වැටෙනු ඇති බවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පුරෝකථනය කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා තවම නිමා වී නො මැති අතර, ඒ සඳහා මුදල් අමාත්‍ය අලි සබ්‍රි මේ වනවිටත් පිට ව ගොස් තිබෙනවා.

ඩොලර් අර්බුදය මේ වනවිට සමස්ත ශ්‍රී ලංකා රාජ්‍යය ම වෙලාගෙන ඇති අතර, රජය ගෙන එන බොහෝ විසඳුම් තුළ ඇත්තේ, ‘එදා වේල ටුවර්ස්’ පන්නයේ වැඩපිළිවෙළවල් වීම විශේෂත්වයක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල‍ට යාම හරහාවත් මෙම අර්බුදවලට පැලැස්තර නැති විසඳුමක් හිමි වනු ඇති ද? ෴

***************************************

‘ෆිච් රේටිංග්ස්’ තුළින් ශ්‍රී ලංකාව තවත් පහළට

(27.04.2022 – 08:20 +0530 – hirunews.lk/sinhala)

‘ෆිච් රේටිංග්ස්’ විසින් ශ්‍රී ලංකාවේ බැංකු නො වන මූල්‍ය ආයතන 12 ක (NBFIs) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් තවදුරටත් පහත හෙළා තිබෙනවා.

ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම ‘වොච් නෙගටිව්’ (RWN) මත තබා ඇති බව යි වාර්තා වන්නේ.

මේ අතර, ඊයේ (26) ‘ස්ටෑන්ඩර්ඩ්ස් ඇන්ඩ් පුවර්ස්’ ශ්‍රේණිගත කිරීම්වල ද ශ්‍රී ලංකාව තවදුරටත් පහත හෙළා තිබුණා.

අනුව ‘සිලෙක්ටිව් ඩිෆෝල්ට්’ ලෙසට යි එහි ණය ගෙවීමේ හැකියාව පිළිබඳ සටහන් වී තිබුණේ ෴

***************************************

ආහාරපාන මිල යළි ඉහළට

(27.04.2022 – 08:50 +0530 – hirunews.lk/sinhala)

ගෑස් මිල වැඩිවීම හමුවේ ආපනශාලාවල විකිණීමට තබා ඇති ආහාරවල මිල තීරණය කිරීමේ වගකීම එහි හිමිකරුවන්ට ලබාදෙන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

ඔහු කියා සිටියේ ගෑස් මිල වැඩිවීම හේතුවෙන් තේ, කිරි තේ, බත් ,කොත්තු, ආප්ප, පරාටා, රොටී සහ ක්ෂණික ආහාර ඇතුලු සියලු ආහාරවල මිල ඉහළ යනු ඇති බවයි.

ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ නංවනු ලැබූවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2,185 කින් ඉහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 4,860 ක්.

කිලෝග්‍රෑම් 5 හේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,945 ක් දක්වා රුපියල් 874 කින් ඉහළ දැමුණා.

කිලෝග්‍රෑම් 2.3 නේ කුඩා ගෑස් සිලින්ඩරයක් රුපියල් 404 කින් ඉහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 910 ක්.

මේ අතර පෙරේදා මෙරටට පැමිණි මෙට්‍රික් ටොන් 3,900 ක නෞකාවෙන් ගොඩබාන ලද ගෑස් බෙදාහැරීමේ කටයුතු අද (27) ආරම්භ කරන බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.

එමෙන්ම ගෑස් මෙට්‍රික් ටොන් 3,700 කින් සමන්විත තවත් නෞකාවක් අද (27) බොහෝදුරට මෙරටට ලඟා වනු ඇති බවයි ඔවුන් කියා සිටියේ ෴

***************************************

රුපියල තවත් බාල්දු වෙයි

(27.04.2022 – 10:11 +0530 – hirunews.lk/sinhala)

රුපියලේ අගය අවප්‍රමාණ වීමත් සමග බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල අද (27) රුපියල් 355 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

එහි ගැනුම් මිල රුපියල් 340 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ස්ටර්ලින් පවුමක විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 448 ක් ලෙසයි.

වත්මන් ආර්ථික අර්බුද හමුවේ මෙලෙස දිනපතා රුපියල අවප්‍රමාණ වන ආකාරය දැකගත හැකි යි.

ඊයේ (27) මහ බැංකුව නිවේදනය කළ පරිදි ඇමරිකානු ඩොලරයේ විකිණුම් මිල පැවතුලේ රුපියල් 333.88 ක් ලෙස යි ෴

රුපියල 350 සීමාව පසුකරයි

(27.04.2022 – 20:23 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 350 සීමාව අද (27) ඉක්මවා ගියා.

මහබැංකුව අද (27) දහවල් නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව එය රුපියල් 350.49 ක් ලෙස දැක්වුණු අතර ගැණුම් මිල සටහන් වුණේ රුපියල් 337.82 ක් ලෙසයි.

කෙසේ වෙතත්, බලපත්‍රලාභී වාණිජ බැංකු, ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 355 ක් දක්වා ඉහළ දමා තිබුණා ෴

***************************************

මෙරට බැංකු නො වන මූල්‍ය සමාගම් 12 ක් ඍණාත්මක අධීක්ෂණ මට්ටමක

(27.04.2022 – 12:52 +0530 – hirunews.lk/sinhala)

මෙරට බැංකු නො වන මූල්‍ය සමාගම් 12 ක් ‘ෆිච් රේටින්ස්’ ජාත්‍යන්තර විගණන ආයතනය මගින් ඍණාත්මක අධීක්ෂණ මට්ටමේ පවතින බවට ප්‍රකාශ කර තිබෙනවා.

දැනට රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙලෙස මූල්‍ය සමාගම් එම අධීක්ෂණ මට්ටමේ පවතින බවටයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

මේ අතර, මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 2.6 ක් විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ඔවුන් කියා සිටියේ, ලබන වසරේ මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 2.7 දක්වා ඉහළ යා හැකි බවට අනුමාන කරන බවයි.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ණය අර්බුදයෙන් මිදීම සඳහා තවදුරටත් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ ආයතනයන් මෙසේ යි :

Bimputh Finance PLC (Bimputh)
CBC Finance LTD (CBCF)
Central Finance Company PLC (CF)
Fintrex Finance Limited (Fintrex)
HNB Finance PLC (HNBF)
LB Finance PLC (LB)
Mercantile Investments and Finance PLC (MIF)
People’s Leasing & Finance PLC (PLC)
Sarvodaya Development Finance Limited (SDF)
Senkadagala Finance PLC (Senka)
Siyapatha Finance PLC (Siyapatha)
Asia Securities (Pvt) Ltd (ASPL)

***************************************

රාජ්‍ය ආයතන උපයන ආදායම් භාණ්ඩාගාරයට – මහාචාර්ය චරිත හේරත්

(27.04.2022 – 14:40 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ආයතන විසින් වාර්ෂිකව උපයන ආදායම් නිසි පරිදි රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු බව කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් පවසනවා.

රාජ්‍ය දැව සංස්ථාවේ 2019 – 2020 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා පරීක්ෂාව සහ කාර්යසාධනය ඇගයීම සඳහා එහි නිලධාරීන් කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේ සභාපතිවරයා මේ බව සඳහන් කර තිබුණා.

රාජ්‍ය දැව සංස්ථාව 2021 වර්ෂය සඳහා මෙහෙයුම් ලාභය ලෙස රුපියල් බිලියන 1.4 ක් ලබා ඇති නමුත් ඉන් රාජ්‍ය භාණ්ඩාගාරය වෙත සම්ප්‍රේෂණය කර ඇත්තේ රුපියල් මිලියන 100 ක් පමණක් බවට කෝප් කමිටුවේදී අනාවරණය වී ඇති බව සඳහන්.

මේ අතර රුපියල් මිලියන 14.4 ක් වටිනා ණයගැතියන් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව සංස්ථාව විසින් කපාහැරීම පිළිබඳව ද කෝප් කමිටුව නිලධාරීන්ගෙන් කරුණු විමසා තිබෙනවා.

එහිදී නිලධාරීන් සඳහන් කර ඇත්තේ, ආයතනික විගණන හා කළමනාකරණ කමිටුවේ අනුමැතිය මත 2007 වසරේදී එවකට ක්‍රියාත්මක වූ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇති බවයි.

කෙසේවෙතත් රාජ්‍ය ණය පිළිබඳ ඒකාබද්ධ අරමුදල භාරව කටයුතු කරනු ලබන්නේ මහා භාණ්ඩාගාර ලේකම්වරයා බැවින් ණයගැතියන් කපා හරින්නේ නම් ඒ පිළිබඳ භාණ්ඩාගාර ‍ලේකම්වරයාගේ අවසර ලබාගත යුතු බව කෝප් කමිටු සභාපතිවරයා පෙන්වාදී තිබෙනවා ෴

***************************************

දූෂිත ක්‍රියාකලාපය හේතුවෙන් වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රාණි ජයවර්ධන වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවතට

(27.04.2022 – 15:52 +0530 – hirunews.lk/sinhala)

අකාර්යක්ෂ්මතාවය හා දූෂිත ක්‍රියාකලාපය හේතුවෙන් වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කළ භද්‍රාණි ජයවර්ධන, වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා.

පසුගිය වසර දෙකක (2) පමණ කාල සීමාව තුළ වෙළෙඳ අමාත්‍යාංශය විසින් දියත් කරන ලද වැඩසටහන් නිසි ලෙස කළමණාකරණය කිරීමට හෝ කාර්ය මණ්ඩලයට මඟ පෙන්වීමට නොහැකි වීම තුළ ජනතාවගේ අප්‍රසාදය මෙන්ම කාර්ය මණ්ඩලයේ හා ආයතන වල අප්‍රසාදයට ලක් වීම තුළ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.

භද්‍රාණි ජයවර්ධන විසින් වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ධූරයට අමතරව ආයතන ගණනාවක සභාපති ධූරය ද, තවත් ආයතන රැසක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ද දරමින් සිටයා.

මහපොළ නෙට්වෙල්ත් සමාගම, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව යන ආයතන වල සභාපති ධූරයන් ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, මහජන බැංකුව, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, මහපොළ අරමුදල් මණ්ඩලය යන ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ද මෙම ලේකම්වරිය විසින් දරා තිබෙනවා.

ඒ අනුව, මෙරට වැදගත්ම අමාත්‍යාංශයක් වන වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාට පැවරී ඇති රාජකාරී පැහැර හැරීම තුළ, අවම වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට හෝ නොහැකිව දිගින් දිගටම මහජනතාව පත් වූ අපහසුතා සඳහා මෙම ලේකම්වරිය ඍජුවම වගකිව යුතු බව එම ආයතන වල කාර්ය මණ්ඩලය පෙන්වා දෙනවා.

හිටපු වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ද අවස්ථා ගණනාවක දී මෙම ලේකම්වරියගේ ක්‍රියාකලාපය පිළීබඳව ජනාධිපතිවරයා දැනුවත් කරමින්, කාර්යක්ෂ්ම ලේකම්වරයෙකු පත් කර දෙන මෙන් ඉල්ලා ඇතත්, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් මෙම ලේකම්වරිය ඉවත් කිරීමට තරයේ විරුද්ධ වී ඇති බව ද වාර්තා වනවා.

අමාත්‍යාංශ ලේකම් ධූරයට හිමි වාහනයට අමතරව, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති වශයෙන් පත්වීමෙන් පසුව සභාපතිවරයාට නිල බලයෙන් හිමි වන මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයද භද්‍රාණි ජයවර්ධන විසින් භාවිතා කර ඇති බව සඳහන් වනවා.

එම ජීප් රථය සඳහා පසුගිය මාසය තුළදී පමණක් ඉන්ධන ලීටර් 435 ක් ලබා ගෙන ඇති බවට මෙම දූෂිත නිලධාරිණිය විසින් බිල්පත් ඉදිරිපත් කොට ඇති අතර, සතොස අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම බිල්පත් සඳහා මුදල් ගෙවීම තරයේ ප්‍රතික්ෂේප කර, ගෙවීම් අත්හිටුවා ඇති අතර මෙම ඉන්ධන භාවිතය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට ද ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා ෴

***************************************

සල්ලි දුන්නෙ නැත්නම් අල්ලස් ගත් මාර්ග සංවර්ධන අධිකාරියේ සියල්ලන්ගේම නම් ගම් හෙළි කරනවා – ඉදිකිරීම් සංගමයේ සභාපති

(27.04.2022 – 19:02 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාමීය මාර්ග කිලෝමීටර ලක්ෂයක ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා සම්බන්ධ වූ කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් බිලියන 56 කට අධික මුදලක් ගෙවා දැමීම මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පැහැර හැර ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පවසනවා.

මෙම ව්‍යාපෘතියෙහි සියලු ඉදිකිරීම් සුළු හා මධ්‍යම පරිමාණ ඉදිකිරීම් කරුවන් වෙත ලබාදීමට රජය විසින් තීරණය කර තිබුණු බවත් එම ව්‍යාපෘති ලබා දීමේදී එම ඉදිකිරීම් කරුවන් ගේ සුදුසුකම් කිසිවක් පරීක්ෂාකර නොබලා ටෙන්ඩර් කැඳවීමකින් ද තොරව එම ව්‍යාපෘති භාර දුන් බවත් ඔහු සඳහන් කරනවා.

මේ ආකාරයට ලබාගත් ව්‍යාපෘති ආරම්භ කිරීමේදී ලබාදිය යුතු අත්තිකාරම් මුදල පවා රජය විසින් ගෙවා හැරීම පැහැර හැර ඇති බව ඔහු සඳහන් කළා.

මීට අමතරව පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය ගෙවීම් කටයුතු ද පැහැර හැර ඇති බව ඔහු අවධාරණය කරනවා.

එම මුදල් පිළිබඳව සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශයට තමා ගිය විටදී එම ව්‍යාපෘතිය කළමනාකරණය කළ කාර්යාලය පවා ඉවත් කරගෙන තිබූ බවයි ඔහු සඳහන් කළේ.

මේ සඳහා මූලික වශයෙන්ම හේතු වී ඇත්තේ ක්‍රියාත්මක කෙරුණු ජාතික ප්‍රසම්පාදන කොමිසමේ ක්‍රියාකාරීත්වය අත්හිටුවා හිතුමතයට එම ව්‍යාපෘති භාරදීම බවයි.

ඊට අමතරව මෙම ව්‍යාපෘති ලබාදීම සඳහා අති විශාල අල්ලස් මුදල් ප්‍රමාණයක්ද රජයේ නිලධාරීන්ට ලබා දීමට සිදු වූ බවත් ඔහු සඳහන් කරනවා.

යම් හෙයකින් අදාළ මුදල් ගෙවීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු නොකරන්නේ නම් එලෙස මිලියන ගණනින් මුදල් ලබාගත් සෑම සියලු රජයේ නිලධාරියෙකු ගේම නම් ගම් ඇතිව සියල්ල හෙළි කරන බවත් ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පවසනවා ෴

***************************************

පාරිභෝගික අධිකාරියෙන් නියෝගයක්

(27.04.2022 – 22:32 +0530 – hirunews.lk/sinhala)

අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම භාණ්ඩ නිෂ්පාදකයින්, ගබඩා හිමිකරුවන් සහ ව්‍යාපාරිකයන් තමන් සතුව ඇති භාණ්ඩවල තොරතුරු පැහැදිලිව ළඟ තබාගත යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම්දී තිබෙනවා.

ඒ අනුව සැපයුම්කරුවන්ගේ නම්, ලිපිනය, මිලදී ගත් දිනය, මිල, භාණ්ඩ වර්ගය, ප්‍රමාණය, කාණ්ඩ අංක ඇතුළත් රිසිට්පත් හෝ බිල්පත් එලෙස ළඟ තබාගත යුතු වනවා.

***************************************

වරාය අධිකාරියට ඩොලර්

(27.04.2022 – 07:04 +0530 – hirunews.lk/sinhala)

නැව් සමාගම් මඟින් වරාය අධිකාරියට කරන සියලුම ගෙවීම් ජූනි මස 01 වනදා සිට ඩොලර්වලින් පමණක් සිදු කරන ලෙස වරාය හා නාවික අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් උපදෙස් ලබා දී තිබෙනවා.

කොළඹ වරායේ සී.අයි.සී.ටී. සහ සී.ඒ.ජී.ටී. පර්යන්තයන්වල අයකිරීම් ඩොලර් වලින් පමණක් සිදු වුවත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු එකම පර්යන්තය නව ජේ.සී.ටී පර්යන්තයේ පමණක් ඩොලර් හා රුපියල් යවන මුදල් ඒකක දෙකෙන්ම අයකිරීම් සිදුවන බවයි ඔහු කියා සිටියේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *