විජේදාසගේ කුමන්ත්‍රණ වලට හසුවී 21 වන ව්‍යයවස්ථා සංශෝධනය ගෙන එන්න එපා! – වෛද්‍යය වසන්ත බණ්ඩාර

විජේදාසගේ කුමන්ත්‍රණ වලට හසුවී 21 වන ව්‍යයවස්ථා සංශෝධනය ගෙන එන්න එපා! – වෛද්‍යය වසන්ත බණ්ඩාර

*********************************************

විජේදාසගේ කුමන්ත්‍රණ වලට හසුවී 21 වන ව්‍යයවස්ථා සංශෝධනය ගෙන එන්න එපා! – වෛද්‍යය වසන්ත බණ්ඩාර

(26.04.2022 – 22:27 +0530 – lankaleadnews.com)

21 වැනි සංශෝධනය නමින් පැමිණෙන කුමන්ත්‍රණයට මේ රටේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් ගොදුරු නොවිය යුතු බවත් එසේ වුවහොත් පාර්ලිමේන්තුවට ‘කුරියර් සර්විස්’ හරහා කඹ ටිකක් එවීමට සිදුවන බවත් ඊට හේතුව මේ සංශෝධනය හරහා පැමිණෙන බෙදුම්වාදී යෝජනාවලට අත ඔසවා ඔවුන්ට නැවත දේශපාලනය කිරීමට ඉඩක් නොලැබෙන නිසා යැයිද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසීය :

“21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අපි විරුද්ධ වෙන්නේ මූලික හේතු දෙකක් (2) මත. පළමු (1) එක තමයි මේ බරපතළ ආර්ථික අර්බුදයත් ඒ තුලින් පැනනගින දේශපාලන අර්බුදයක් මතුවෙලා තිබෙන මේ අවස්ථාවේදි පාරේ ඉන්න උද්ඝෝෂකයන් හෝ වෙනත් රටේ ජනතාව හෝ වෙන කවුරුන් හෝ මේ වෙලාවේ ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලාලා නැහැ. ඔවුන් ඉල්ලා සිටින්නේ මේ අර්බූදය පියමං කරන විදියේ සහ එය ජයගන්න විදියේ යෝජනා ඉදිරිපත් කරන්න කියලා. එතකොට දැන් විජේදාසෙ රාජපක්ෂ මහත්තයා ඒ විදියට මේ ප්‍රශ්නය විසදන්නේ කොහොමද කියලා පාර්ලිමේන්තුවට යෝජන ඉදිරිපත් කරනවා වෙනුවට මහජනයා ඉල්ලුපු නැති ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කරනවා.
මේ අර්බුදය ඇතුලේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ අවශ්‍යතාවයක් නැහැ. විශේෂයෙන්ම ජනාධිපති තුමාගේ සෞභාග්‍ය‌ දැක්මෙත් සඳහන් වෙනවා මේ කැලි කැලි සංශෝධනය කරලා විනාශ කරලා තියෙන ව්‍යවස්ථාව නැවත නව ව්‍යවස්ථාවක් මගින් දෙපයින් සිටුවන්න ඕන කියලා. ඒ විතරක් නෙවෙයි ඒ පොරොන්නදුව එතුමා දෙවැනි (2) වතාවටත් 20 වැනි සංශෝධනය සම්මත කරන අවස්ථාවේදී දුන්නා. එහෙම නම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිස ඉල්ලන අය ඇයි ඒතුමාට බලකරන්නේ නැත්තේ ඔබ ගේනවා කිව්ව නව ව්‍යවස්ථාව ගෙන්න කියලා. එහෙම අභියෝග කරනවා වෙනුවට මේ අය නැවත වටයකින් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් ගේනවා ජනතාව ඉල්ලෙන්නේ නැතුව.

එහෙමනම් කවුද මේ ව්‍යවසථා සංශෝධන ඉල්ලන්නේ? අපි දන්නවා ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා ලංකාවේදිත්, මෝඩි අගමැතිවරයා ඉන්දියාවේදීත් ප්‍රකාශ කළා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන්න කියලා. ජගත් මානව හිමිකම් සමුළුවේදි ඉන්දියාවේ නිත්‍ය නියෝජිතයා ප්‍රකාශ කලා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන්න ඕන කියලා. මේ අතර පහුගිය කාලේ මේ රටේ බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට න්‍යායාත්මකව සහයෝගය දක්වපු පිරිසක් හිටියා. ජෙහාන් පෙරේරාලා, දයාන් ජයතිලකලා, ජයම්පති වික්‍රමරත්නලා – ඒ අය මේ මාධ්‍ය වලට කරන ප්‍රකාශ තුළ කියවෙනවා ‘මේ වෙලාව හොඳ වෙලාව මේ ව්‍යවස්ථා සංශෝධනය ගේන්න’ කියලා. අපේ අමරසේකර මහත්තයා කිව්වා වගේ ‘රැවුල පත්තුවෙලා තියෙන මේ වෙලාවේ තමයි මේ සුරුට්ටුව පත්තු කරගන්න’ හදන්නේ. අපි මේ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන දෙවැනි (2) හේතුව තමයි ඉහත ප්‍රකාශ කල කාරණය.

එදා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමා ඉන්දියාවේ බලහත්කාරයට යට වුවත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මේ රට බෙදී වෙන්වීම නතර කරන්න බාධක දෙකක් (2) දැම්මා. පළමු (1) බාධකය තමයි ප්‍රඥප්ති සම්මත කරන එක ආණ්ඩුකාරයා මගින් වැළැක්වීම. දෙවෙනි (2) බාධකය තමයි සමගාමී ලයිස්තුව. දයාන් ජයතිලක කියනවා මෙන්න මේ සුළු සංශෝධන දෙක (2) කළොත් 13 ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට මේ දැන් දෙමළ ඩයස්පොරාවේ වුවමනාවට මේ වෙලාවේ ජාත්‍යන්තර සහාය ගන්න ඕන කියා මතයකුත් හදනවා. එතකොට ආණ්ඩුව ඩයස්පෝරාව සමඟ එකඟ වෙනවා අර්බුද විසඳන්න සයෝගය දුන්නොත්, මේ යෝජනා ක්‍රියාත්මක කරන්න කැමතියි කියා. ඩයස්පෝරාව ඉදිරිපත් කරන ප්‍රධාන යෝජනාව තමයි මේ දෙන්න හදන්නේ. ඒතකොට ඒවැනි තත්වයක් යටතේ තමයි විජේදාස රාජපක්ෂ මහතා මේ සංශෝධනය ගේන්නේ . ඔහු බෝලේ උස්සලා දුන්නම ආණ්ඩුව බෝලේට ඩෑෂ් පහරක් ගහනවා. ආණ්ඩුව කියනවා අපිත් ලැස්තියි විජේදාස රාජපක්ෂ මහත්තයාගේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය මත පදනම් වෙලා ඒ සංශෝධනය ගේන්න කියලා.”

මෙම මාධ්‍ය හමුව සඳහා ආචාර්ය ගුණදාස අමරසේකර, ජනාධිපති නිතිඥ කල්‍යානන්ද තිරාණගම, ගෝලීය සංසදයේ සාමාජික ප්‍රීමාල් ප්‍රනාන්දු යන මහත්වරුද ඒක්ව සිටියහ.

***************************************

අලුත්ම දේශපාලන අභියෝගය ගැන කියන දයාසිරි ජයසේකර (26.04.2022)

https://www.youtube.com/watch?v=wtXe31-TmTo

***************************************

ගොඩගේවාට රමේෂ්ට හා කංචනට අලුත් පුටු

(26.04.2022 – 06:40 +0530 – hirunews.lk/sinhala)

20 වන සහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවල සාධනීය ලක්ෂණ මත පදනම්ව 21 වන ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර නව සංශෝධනය සඳහා ඉදිරි කටයුතු සකස් කිරිමට අනු කම්ටුවක් ද පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ආණ්ඩුවේ සම කැබිනට් ප්‍රකාශකවරුන් ලෙස ආචාර්ය නාලක ගොඩහේවා, කංචන විජේසේකර සහ වෛද්‍ය රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන් පත් කර තිබෙනවා.

නව අමාත්‍ය මණ්ඩලය පත් වීමෙන් අනතුරුව ඊයේ (25) පස්වරුවේ පළමු කැබිනට් මණ්ඩල හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා.

එහි දී මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දැනට සිදු කර ඇති සාකච්ඡා සම්බන්ධයෙන් පැහැදිලි කර තිබෙනවා.

රට තුළ ආර්ථිකමය වශයෙන් ඇති කර ගත යුතු ප්‍රගතිය පිළිබදව ද එහිදී මුදල් අමාත්‍යවරයා සූම් තාක්ෂණය ඔස්සේ නව අමාත්‍ය මණ්ඩයට කරුණු පැහැදිලි කර ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම ආණ්ඩුවේ ව්‍යූහයන් වෙනස් වන්නේ, ආණ්ඩුව හා සමස්ත රාජ්‍ය යන්ත්‍රණය ම බරපතළ අර්බුද රාශියකට මුහුණ පා ඇති මොහොතක දි යි.

ඊයේ (25) හිටපු අමාත්‍ය උදය ගමන්පිල මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ, විශ්වාසභංගයට සහාය දැක්වීම සඳහා 113 ක් කෙසේ වෙතත් 120 ක් ම සූදානමින් සිටින බව යි.

ගාලුමුවදොර භූමිය ඇතුළු වෙනත් බොහෝ ප්‍රදේශවල පුරවැසි විරෝධතා තවමත් පැවැත්වෙන අතර, ඔවුන් පවසන්නේ, ජනාධිපතිවරයා ඇතුළු සමස්ත නියෝජිත මණ්ඩලයට ම ගෙදර යන ලෙස යි ෴

***************************************

විශ්වාසභංගයට නිදහස් පක්ෂයේ සහාය

(26.04.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් රජයට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ (25) එම පක්ෂ මූලස්ථානයේදී එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි.

එමෙන්ම රාජ්‍ය අමාත්‍ය ධුර ලබා ගත් සුරේන් රාඝවන්ගේ සහ ශාන්ත බණ්ඩාරගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමද මෙහි දී තීරණය කෙරුණා ෴

***************************************

ණය අර්බුදයෙන් මිදීමේ මඟක් ගැන අයි.එම්.එෆ්. වෙතින් දැනුම්වත් කිරීමක්

(26.04.2022 – 08:33 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ණය අර්බුදයෙන් මිදීම සඳහා තවදුරටත් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එහි ආසියා – පැසිෆික් කලාපයේ වැඩබලන අධ්‍යක්ෂිකා ඈන් මාරි සදහන් කළේ මෙරට ණය අර්බුදය පිළිබදව මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් සමග පසුගිය දා ඵලදායී සාකච්ඡාවක නිරත වූ බවයි.

මෙරට බදු ප්‍රතිශතය ඉහළ දැමීම, නිදහස් විදේශ විනිමය ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සහ මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම තුලින් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ණය අර්බුදයෙන් මිදීමට හැකි බව විදෙස් මාධ්‍ය වෙත ඇය ඊයේ (25) ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, එම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේදී උද්ධමන අනුපාතය පිළිබදව සැලකිලිමත් විය යුතු බව ද ඇය අවධාරණය කර තිබෙනවා.

මෙහි දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ලබාදෙන මූල්‍ය වැඩසටහනේ ප්‍රමාණය සහ එය ලැබීමට ගත වන කාලය පිළිබඳ ද අධ්‍යක්ෂවරියගෙන් විමසා සිටි නමුත් ඇය ඊට නිසි පිළිතුරක් ලබාදී නැහැ ෴

***************************************

විසිඑක් (21) වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා කෙටුම්පත සකස් කෙරෙයි

(26.04.2022 – 10:29 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින වාතාවරණය යටතේ දැනට උද්ගත වී ඇති ආර්ථික අර්බුද විසඳීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාව පිළිබඳ පාර්ශව රැසකගේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව දහනව (19) වැනි ව්‍යවස්ථාවේ පැවති සාධනීය කරුණු පදනම් කරගෙන පාර්ලිමේන්තුව වෙත වැඩි බලතල පැවරෙන අයුරිනු යි මෙම සංශෝධනය සිදු කිරීමට නියමිත ව ඇත්තේ.

මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට නියමි ත යි.

ඉහත පරිදි සකස් කරනු ලබන මූලික පනත් කෙටුම්පත සහ දැනටමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධන පිළිබඳ ඉදිරිපත් වී ඇති යෝජනා ද ඉදිරියේ දී සංවාදයට ගනු ඇති ෴

***************************************

චීන අත්වැල සැබෑවක් ද?

(26.04.2022 – 13:48 +0530 – hirunews.lk/sinhala)

නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයට ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දෙමින් සිටිනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවට අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය මාර්තු මාසයේ සියයට 21.5 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 29.5 ක්. රට තුළ උග්‍ර භාණ්ඩ හිඟයක් නිර්මාණය වී තිබෙනවා.

කිරිපිටි, සහල්, පරිප්පු වැනි ආහාර ද්‍රව්‍ය මෙන්ම ගෑස් සහ ඛනිජ තෙල් හිඟය ඉතා බරපතලයි.

දෛනිකව පැය 3 කට වැඩි කාලයක් විදුලිය විසන්ධි කෙරෙනවා.

එමෙන්ම ඖෂධ හිඟය ජනතාවගේ ජීවත් වීමේ අයිතියට අභියෝගයකි.

මේ සියල්ලටම හේතු වී තිබෙන්නේ රටේ විදේශ සංචිත පහළ යෑම හේතුවෙන් එම භාණ්ඩ ආනයනයට විදේශ විනිමය නොමැති වීමයි.

2022 මාර්තු මාසය අවසානයේ දී ඩොලර් මිලියන 1,723.60 ක විදේශ විනිමය සංචිතයක් ශ්‍රී ලංකාව සතුව පැවතිය ද එයින් භාවිතයට ගත හැකි ප්‍රමාණය වන්නේ චීන විනිමය හුවමාරුවෙන් (ස්වැප් පහසුකම) ලද යුවාන් බිලියන 10 ක් හෙවත් ඩොලර් බිලියන 1.5 ක ප්‍රමාණය අඩු කළ පසු ලැබෙන අගයයි.

එනම් ඩොලර් මිලියන 223 කි.

අද (26) වන විට එය ඊටත් වඩා පහළ බැස ඇති බවට සැක නැහැ.

2021 වසරේ සිව්වන (4) කාර්තුව වන විට ශ්‍රී ලංකාවේ මුලු ණය ප්‍රමාණය රුපියල් බිලියන 17,589.37 ක් වනවා.

ඉන් විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 6,492.15 (ඇමෙරිකානු ඩොලර් බිලියන 51) ක්.

2021 දී රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 119% ක් දක්වා ශීඝ්‍රයෙන් වැඩිවී තිබෙනවා.

ශ්‍රී ලංකාව විදේශ ණය වාරික හා පොලී ආපසු ගෙවීම තාවකාලිකව අත්හිටුවා සාකච්ඡා මාර්ගයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට යොමු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ පසුගිය 12 වැනිදායි.

ආචාර්ය නන්දලාල් වීරසිංහ එහිදී පවසා සිටියේ මේ අවස්ථාවේදී විදේශ ණය ආපසු ගෙවීමට වඩා අත්‍යාවශ්‍ය භාණ්ඩ අනයනයට ප්‍රමුඛතාව දෙන බවයි. ඉන්ධන, ගෑස්, ඖෂධ හා ආහාර ද්‍රව්‍ය ආනයනයට එම මුදල් යොදවන බව ඔහු පැවසුවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා වර්ධනය වෙමින් තිබූ මුල් කාලයේදී මෙරට සිව්වැනි විශාලතම ණයහිමියා වන චීනයෙන් ලබා ගත් සමස්ත ණය කළඹෙන් සියයට 10 ක කොටස සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ චිනයෙන් සහනයක් ඉල්ලා සිටියේ පසුගිය ජනවාරි මාසයේදී.

ඒ චීන විදේශ අමාත්‍ය ‘වැන් යී’ සමග කොළඹදී පැවැති හමුවෙදීයි.

අදාල ඉල්ලීම සිදුකර මාස 4 ක් ගත වී ඇතැත් චීනය තවමත් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැහැ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොංග් කොළඹ දී ජනමාධ්‍යවේදීන් පිරිසක් සමග පැවැත්වූ විවෘත සංවාදයකදී පැවසුවේ ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදල වෙත යොමු වීම හේතුවෙන් අදාල සාකච්ඡා මන්දගාමී වූ බවයි.

මාස 4 ක් තිස්සේ කිසිවක් නොකර සිටි චීනය පවසන්නේ ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම අත්හිටුවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑම පිළිබඳ කනගාටු වන බවයි.

එය ද්විපාර්ශ්වික ණය සඳහා බලපෑමක් වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිබඳ සමීපව අධ්‍යයනය කරමින් සිටින බවත් චීන තානාපතිවරයා මෙහිදී සඳහන් කළා.

වසර 500 ක් ඉතිහාසයට යන චීන තානාපතිවරයා ශ්‍රී ලංකාව යටත්විජිතයක් කරගෙන සිටි රටවල් මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට උපකාර කිරීමට ඉදිරිපත් විය යුතු බව පවසනවා.

නමුත් ආර්ථික වශයෙන් සඵලදායී නොවන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා ඉහළ පොලී අනුපාත යටතේ ණය ලබා දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙම තත්ත්වයට ඇද දැමූ චීනය පිළිබඳ ඔහු සිතා මතා අමතක කර දමන්නේ ලැජ්ජාසහගත ලෙසයි.

ශ්‍රී ලංකාව චීනයෙන් දැනට ලබා ගෙන ඇති ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5 කට අධිකයි.

ඒ ණය යොදාගෙන සිදුකල ඉදිකිරීම් අතාර්ථික කිසිදු මූල්‍යමය වාසියක් නොමැති ආයෝජන පමණක් වීම විශේෂත්වයක්.

චීන ණය ආධාර මත ඉදිකළ හම්බන්තොට වරාය ණය වාරිකය ගෙවීමට තරම්වත් ආදායමක් නොමැති වීම හේතුවෙන් 99 අවුරුදු බදු පදනම යටතේ චීනයටම ලබා දෙනු ලැබුවා.

ඒ සම්බන්ධයෙන් අදහස් පල කරමින් චීන තානාපති චී චෙන්හොංග් පැවසුවේ කිසිදු රටක් ඉදිරිපත් නොවූ අවස්ථාවක හම්බන්තොට වරාය ඉදිකිරීමට ණය ලබා දුන් බවයි.

එය බදු පදනම යටතේ චීනයට ලබා දීමේ දී ගෙවනු ලැබූ බදු මුදලින් චීන ණය නොපියවූ ශ්‍රී ලංකාව එම මුදල් වෙනත් විදේශ වගකීම් පියවීමට භාවිත කිරීම අසාධරණ බව තානාපතිවරයා සඳහන් කළා.

සැඟවුණු කොන්දේසි මත අධික පොලියට ණය ලබා දී එමගින් සිදු කෙරන ආයෝජන හරහා උපදින වත්කම් බදු දීමේදී ලැබෙන ආදයම පවා එම රටට අවශ්‍ය ලෙස වියදම් කළ යුත්තේ ශ්‍රී ලංකාව චීන කොලනියක් නිසාදැයි අපට ප්‍රශ්න කිරීමට සිදුවනවා.

චීනය හැම විටම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ සංවර්ධන ආයෝජන රටට සහ ජනතාවට ආර්ථික හා සමාජයීය වාසි උත්පාදනය කළ බව චීන තානාපතිවරයා පැවසුවේ නොරච්චෝලේ බලාගාරය, දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ග නිදසුන් ලෙස දක්වමින්.

නමුත් නොරොච්චෝලේ බලාගාරය කොපමණ අවස්ථා ගණනකදී බිඳ වැටුණාද යන්න අවම තරමින් විදුලි බල මණ්ඩලය හෝ නිශ්චිත වශයෙන් නොදන්නවා විය හැකියි.

එමෙන්ම හම්බන්තොට සිදු කර ඇති විවිධ ඉදිකිරීම් මෙන්ම නෙලුම් කුලුණ ද උත්පාදනය කරන ආර්ථික හා සමාජයීය වාසි අපිට නම් නොපෙනේ.

එවැනි පසුබිමක විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අප්‍රේල් 21 වැනිදා විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී චීන තානාපති චී චෙන්හොංග් හමුවුණා.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ ආර්ථිකයට අහිතකර ලෙස බලපා ඇති බලශක්ති හිඟය පිළිබඳව තානාපතිවරයා දැනුම්වත් කළ විදේශ කටයුතු අමාත්‍යවරයා විශේෂයෙන්ම මෙම දුෂ්කර වාතාවරණය හමුවේ පැන නැගී ඇති මූල්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් චීනයේ වැඩිදුර සහය ඉල්ලා සිටියා.

චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනය (CIDCA) සහල් ටොන් 5000 ක් (මින් පෙර ප්‍රකාශයට පත් කරන ලද ටොන් 2000 ක ප්‍රමාණය ද සමඟ), ඖෂධ, නිෂ්පාදන ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළුව යුවාන් මිලියන 200 ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 30.76) හදිසි මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.

ඊට අමතරව, යුනාන් පළාත ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 1.5 ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 0.23) ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරන බව නිවේදනය කෙරුණා.

මේ අතර අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ සමග පසුගිය සිකුරාදා පැවති දුරකතන සංවාදයකදී ආර්ථික හා සමාජයීය සංවර්ධනයේ ස්ථාවරත්වය සඳහා චීනයේ සහය ශ්‍රී ලංකාවට ලබා දෙන බව චීන අග්‍රමාත්‍ය ‘ලී කෙකියැන්ග්’ පවසා තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින හදිසි මූල්‍ය ගැටලු කිහිපයක් විසඳීමට චීනය ශ්‍රී ලංකා රජය සමග එක්ව කටයුතු කරන බවයි.

එමෙන්ම එරට පෙර පාසලක සිසු සිසුවියන් ශ්‍රී ලංකාවට එවීම සඳහා කැටයකට ආධාර එකතු කරන ආකාරය මෙරට චීන තානාපති කාර්යාලය සිය නිල ට්විටර් ගිණුමේ දක්වා තිබුණා.

චීනය තම රට තුල ශ්‍රී ලංකාව නැමති ස්වෛරී රාජ්‍යයට, ඔවුන් පවසන ආකාරයට වසර 65 ක් ඈතට දිවෙන කලණ මිතුරුකමට ලබා දී ඇති වටිනාකම එයයි.

කැටයකට සල්ලි එකතු කීරීමට තරම් ශ්‍රී ලංකාව පහත වැටී ඇති බව රටට සහ ලෝකයට කියා පෑමෙන් කරන්නේ සිය කලණ මිතුරාගේ අභිමානය හැකි තරම් පහතට ඇද දැමීමක් නොවේ නම් අන් කවරක්ද?

මේ අතර චීනය ශ්‍රී ලංකාවට ලබා දෙන ණය හා ආධාර සම්බන්ධයෙන් ANI ප්‍රවෘත්ති සේවය වෙත අදහස් දක්වමින් භූ දේශපාලනික විශ්ලේෂකයෙක් වන අසංග අබේගුණසේකර පැවසුවේ ශ්‍රී ලංකාවට ලබා දී ඇති චීන ණය අපැහැදිලි බවයි.

අවම තරමින් එහි පොලී අනුපාතය හෝ කිසිවෙක් නොදන්නා බව ඔහු පවසනවා.

“ආර්ථික අර්බුදයට ඇති එකම හේතුව චීනය නොවේ. නමුත් එය සැලකිය යුතු එකක්. තමන්ගේම ණය පියවීම සඳහා චීනය ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක් ලබා දීමට නියමිතයි. තමන්ගේම ණය පියවා ගැනීමට තමන් ණය ලබා දීමක් ගැන මම ඇසුවේ පළමුවරට” බව අසංග අබේගුණසේකර පවසනවා.

එසේ නම් චීනයේ අපේක්ෂාව මානුෂීය ආධාර ලේබලය යටතේ සොච්චමක් ලොවට පෙන්වා ශ්‍රී ලංකාව තව තවත් ණය උගුලේ සිර කිරීම ද? ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *