තැපැල් වර්ජනයෙන් ලිපි සහ පාර්සල් ලක්ෂ 15 ක් ගොඩ ගැසේ – වර්ජනය තවදුරටත්
තැපැල් වර්ජනයෙන් ලිපි සහ පාර්සල් ලක්ෂ 15 ක් ගොඩ ගැසේ – වර්ජනය තවදුරටත්
(19.08.2025 – hirunews.lk)
සිය ඉල්ලීම්වලට අවසන් විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩ වර්ජනයේ නිරත වන බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.
මේ හේතුවෙන් ලිපි සහ පාර්සල් ලක්ෂ 15 කට ආසන්න ප්‍රමාණයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ සිරවී ඇති බවයි ඔවුන් කියා සිටියේ.
අතිකාල ගෙවීම සම්බන්ධයෙන් ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කිරීමට සිදුවීම, සියලුම පාලන කාර්යාල හා ගිනුම් කාර්යාලවල නිලධාරීන් ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීම හා පිටවීම සටහන් කළ යුතු වීම ඇතුළු කරුණු 19 ක් මුල් කරගනිමින් තැපැල් සේවකයින් මෙම වර්ජනය ආරම්භ කළේ පෙරේදා (17) දිනයේයි.
වර්ජනය හේතුවෙන් තැපැල් කාර්යාල රැසක සේවා කටයුතු අඩපණ වුණා.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බන්ඩාර කියා සිටියේ සිය ගැටලු සම්බන්ධයෙන් මේ වන තෙක් සාකච්ඡාවක් ලබා දී නොමැති බවයි.
+++
+++
ඉන්න බැරිනම් අයින් වෙලා යන එකයි ඇත්තේ… ඇමති නලින්දට නහුතෙටම මලපනී (19.08.2025)
+++
කොළඹ උණුසුම් – තැපෑල පාරට එයි – ඇමතිට තැපැල් සේවකයෝ රතු එළි දල්වති (19.08.2025)
+
ඉපැරණි ආරාම සහ සෙල්ලිපි සහිත ගල් ලෙන් සංකීර්ණයක් වැල්ලවායෙන් හමුවෙයි
(19.08.2025 – hirunews.lk)
ශ්‍රී ලංකාවේ මුල් ඓතිහාසික යුගයට අයත් ඉපැරැණි ආරම සංකීර්ණයක් සහ ගල් ලෙන් සහිත විශාල භූමි ප්‍රදේශයක පැතිරුණු ආරාම සංකීර්ණයක් වැල්ලවාය ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අලුගල්ගේ සහ සිරිපුරගම ගම්මාන වලට මැදිව පිහිටා ඇති විශාල ගල් පර්වත සහිත කඳු ප්‍රදේශයක මෙම ලෙන් ආරාම සංකීර්ණය පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ඓතිහාසික වටිනාකමකින් යුතු භූමිය තුළ කටාරම් සහිත ලෙන්, සෙල්ලිපි සහිත ලෙන්, විවිධ කාලවකවානුවන්ට අදාල සෙල් ලිපි, ගල් පොකුණු, ඉපැරණි ගඩොල් තාක්ෂණය සහ තවත් පුරාවිද්‍යා වටිනාකමකින් යුතු තොරතුරු රැසක් හමු වී තිබෙනවා.
මුල් ඓතිහාසික යුගයේ සිටි ප්‍රාදේශීය නායකයින් වන ‘පරුමකවරුන්’ විසින් මෙම ලෙන් ආරාම සකස් කර භික්ෂූන් වහන්සේලාට පූජා කර ඇති බවටද මෙම සෙල්ලිපි වල ඇති කරුණු තුලින් අනාවරණය වනවා ෴
පෑලියගොඩ වෙඩි තැබීමක්
(19.08.2025 – hirunews.lk)
පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ වෙඩි වැදුණු පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.
එම පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නැහැ.
මෙම වෙඩි තැබීමෙන් එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි පදිකයෙකු ද තුවාල ලබා රෝගල්ගතකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.
+++
+++
පෑලියගොඩ – ඥානරතන මාවතේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා (45) මියගොස් තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.
මෙම වෙඩි තැබීම අද (19) පෙරෙවරුවේ සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ ෴
අගමැති – ඇමතිලා ඇතුළු ප්‍රබලයෝ ළඟ තියන් හිමිවරු ආණ්ඩුවට දැනෙන්න කියයි (19.08.2025)
+
උතුම් අරමුණක් පෙරටුකොට ගත් කිරිල්ලවල අපූරු අවන්හල
(19.08.2025 – hirunews.lk)
අපි හැමෝටම එක හා සමාන කායික මානසික තත්ත්වයන් නැහැ.
නමුත් එවැනි විශේෂ අවශ්‍යතා සහිත කණ්ඩායම්වලට සමාජයෙන් ප්‍රතික්ෂේප නොවී මානව ගරුත්වයෙන් ජීවත්වීමේ පරිසරය සකස් කිරීම අපි හැමෝගේම වගකීමක්.
එවැනි උදාර සංකල්පයක් මත බිහි වූ අපූරු අවන්හලක් ගැනයි මේ කථාව.
කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පිහිටි මේ අවන්හල වෙනත් අවන්හල්වලට වඩා සුවිශේෂියී.
නමුත් ඊටත් වඩා සුවිශේෂී වන්නේ මේ අවන්හලේ කාර්ය මණ්ඩලයයි.
අපි හැමෝටම එක හා සමාන කායික මානසික තත්ත්වයන් නැති වුණත්, එවැනි විශේෂ අවශ්‍යතා සහිත කණ්ඩායම්වලට සමාජයෙන් ප්‍රතික්ෂේප නොවී මානව ගරුත්වයෙන් ජීවත්වෙන්න ජීවන මාර්ගයක් සැලසූ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි මෙය හැඳින්විය හැක්කේ.
විශේෂ අවශ්‍යතා සහිත මේ තරුණ තරුණියන් අවන්හලට පැමිණෙන පාරිභෝගිකයින්ට උපරිම සේවයක් සපයන්න කැපවෙනවා.
රැකියාවක නිරත වෙමින්, සිය ජීවන මාර්ගය සරි කරගන්නා මේ දූදරුවන් ගැන මව්පියන්ට ඇත්තේ අප්‍රමාණ සතුටක්.
මේ තරුණ තරුණියන්ට මේ අගනා ජීවන මාර්ගය සලසා දී ඇත්තේ තරුණියන් දෙදෙනෙකුගේ උදාර සංකල්පයකට අනුවයි.
මේ විශේෂ අවශ්‍යතා තරුණ තරුණියන් පිරිස සිය ශ්‍රමය අවන්හලට ලබාදෙන්නේ මිනිස් බල සහ රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ වීමත් සුවිශේෂී කරුණක්.
+
පොලිස් නිලධාරියෙකු හප්පා පලාගිය බාලවයස්කරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(19.08.2025 – hirunews.lk)
මාර්ග රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු (1) අනතුරට ලක්කර පලාගිය බාලවයස්කරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එප්පාවල පොලිස් රථවාහන අංශයේ පොලිස් සැරයන්වරයකු (1) මෙසේ අනතුරට ලක්කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
එප්පාවල, කටියාව මංසන්ධිය ආසන්නයේ අද (19) පෙරවරුවේ රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු (2) ඉදිරියෙන් අංක තහඩු හා හිස් ආවරණ නොමැතිව යතුරු පැදියක තරුණයින් දෙදෙනකු (2) ගමන් කර තිබෙනවා.
පොලිස් නිලධාරියකු අත දමා යතුරුපැදිය නවතන ලෙසට සංඥා කර ඇතත් එම තරුණයින් දෙදෙනා (2) පොලිස් අණ නොතකා පොලිස් නිලධාරියකු (1) ද අනතුරට ලක් කර පලා යාමේදී යතුරු පැදිය පෙරළී තිබෙනවා.
ප්‍රදේවාසීන් එක්ව අනතුරට පත් පොලිස් නිලධාරියා එප්පාවල රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ අතකට හා කකුලට දැඩි ලෙස තුවාල සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
එමෙන්ම ඔහු වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශීක්ෂණ රෝහල වෙත මාරු කර යැවූ බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
අනතුරුව එප්පාවල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් අනතුර සිදුකළ යතුරුපැදිය සහ එම යතුරුපැදිය පැදවූ බාලවයස්කරු හා පසුපැදිකරුද සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී අනාවරණය වී ඇත්තේ යතුරුපැදියට රක්ෂණ සහතික, ආදායම් බලපත්‍ර නොමැති බවත් රියදුරු බලපත්‍රයක්ද නොමැති බාලවයස්කරුවකු විසින් හිස් ආවරණද නොමැතිව යතුරුපැදිය ධාවනය කර ඇති බවයි.
එම බාලවයස්කරුවන්ද සුළු තුවාල ලබා ඇති බැවින් ඔවුන්ද එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රක්ෂණ සහතික, ආදායම් බලපත්‍ර හා රියදුරු බලපත්‍ර නොමැතිව, හිස් වැසුම් නොමැතිව යතුරුපැදියක් පදවා,පොලිස් අණ නොතකා ධාවනය, රාජකාරියේ නියතු පොලිස් නිලධාරියකු අනතුරට පත් කිරීම ඇතුළු චෝදනා රැසක් ඔවුන්ට විරුද්ධව ඇති බවයි පොලිසිය පවසන්නේ ෴
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින පොලිසියේ නිලධාරීන්ට වැඩ වරදී
(19.08.2025 – hirunews.lk)
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින පොලිසියේ නිලධාරීන් කඩිනමින් හඳුනාගෙන පොලිසියෙන් නෙරපා හැරීමට පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අවධානය යොමුවතිබෙනවා.
ඒ සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද මේ වන විට සැළසුම්කර සකස් කරමින් පවතින බවයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ.
දැනට සිදුවන්නේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බවට සැකයට ලක්වන නිලධාරීන් පොලිස් රෝහලටත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයටත් යොමුකර පරීක්ෂාවන් සිදු කිරීමයි.
ඉදිරියේදී පොලිස් ස්ථාන මට්ටමින් පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක්කර මත්ද්‍රව්‍ය භාවිතා කරන නිලධාරීන් හඳුනා ගැනීම සැළසුම වී තිබෙනවා.
ලැබී ඇති දත්ත අනුව මේ වන විට පොලිසිය තුළ සැළකිය යුතු නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බවයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ.
මෑත කාලයේදී 100 ක පමණ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම් සම්බන්ධයෙන් පොලිසියටම කොටුවී සිටිනවා.
පොලිස් නිලධාරීන් සිව් දෙනකුගේ (4) ගමන් මලුවල තිබුණු රුපියල් 12,200 ක මුදලක් සොරාගත් තලෙයිමන්නාරම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙක් මන්නාරම පොලිසිය ඊයේ (18) අත්අඩංගුවට ගත්තා.
එම සැකකාර පොලිස් නිලධාරියා මුදල් සොරකම් කරගෙන ඇත්තේ මත්කුඩු භාවිතා කිරීමට බවට හෙළිව තිබෙනවා.
මෙම කොස්තාපවල්රයා මඩු දේවස්ථානයේ පැවති උත්සවයේ විශේෂ රාජකාරි සඳහා යොදවා සිටියදී මෙසේ සිය සහෝදර පොලිස් නිලධාරීන්ගේ මුදල් සොරාගෙන ඇතැයි වාර්තා වුණා ෴
මෙරට ඇඟලුම් නිෂ්පාදකයින්ට බ්‍රිතාන්‍ය රජයෙන් ගජ වාසියක්
(19.08.2025 – hirunews.lk)
ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ අවසාන නිෂ්පාදනය සඳහා මෙරට නිෂ්පාදකයින් විසින් කරනු ලබන යෙදවුම්වලින් 100% ක් දක්වා ඕනෑම රටකින් ලබා ගැනීමට, නිදහස් කරන ලද වෙළෙඳ නීති ඔස්සේ හැකියාව ලැබෙන බව බ්‍රිතාන්‍ය රජය පවසනවා.
මෙම පහසුකම ඇඳුම් අයිතමය මත රඳා පවතින බවයි මෙරට පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ශ්‍රී ලාංකික ඇඟලුම් නිෂ්පාදකයින්ට එක්සත් රාජධානියේ වෙළඳපොළට පෙර නොවූ විරූ ප්‍රවේශයක් ලබාදෙන, නිදහස් කරන ලද වෙළඳ නීති පිළිබඳ විස්තර බ්‍රිතාන්‍ය රජය විසින් නිකුත් කර තිබෙනවා.
ලිහිල් කරන ලද නීති යටතේ වන මෙම නව පහසුකම් ක්‍රියාත්මක වන්නේ 2026 මුල් භාගයේ සිටයි.
සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) වැඩිදියුණු කිරීම මඟින් නව රෙගුලාසි ලිහිල් කළ බවයි බ්‍රිතාන්‍ය රජය පෙන්වා දෙන්නේ.
මේ අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඇඟලුම් දැන් එක්සත් රාජධානියට තීරුබදු රහිතව ඇතුළු වීමට තවදුරටත් ඉඩ සැලසෙනවා.
මේ යටතේ ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදනයේදී සැකසුම් අවශ්‍යතා අදාළ වන්නේ අවම මට්ටමකින්. එමඟින් සැලකිය යුතු නිෂ්පාදන ක්‍රියාවලීන් දෙකක් (2) (උදා: රෙදි මෙන්ම ඇඟලුම් නිෂ්පාදනය) ශ්‍රී ලංකාවේ සිදු විය යුතු බවට වන රීතිය ඉවත් කෙරෙන බවයි බ්‍රිතාන්‍ය රජය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළඳ යෝජනා ක්‍රමය (DCTS) යටතේ ශ්‍රී ලංකාවට මෙම පහසුකම් සැලසෙනවා.
ආර්ථික සංවර්ධනයට සහාය වීම සඳහා පුළුල් පරාසයක භාණ්ඩ සඳහා අඩු හෝ ශුන්‍ය තීරු බදු ඇතුළුව නිදහස් වෙළඳ කොන්දේසි ලබාදිය යුතු රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවද ඇතුළු වී තිබුණා.
වත්මන් නීතිරීති මඟින් දකුණු ආසියානු කලාපයෙන් යෙදවුම් ලබාගන්නේ නම් සහ ඇඟලුම් හෝ රෙදිපිළි නිෂ්පාදනයේදී ඇති සීමාවන් සමඟ ශ්‍රී ලංකා ඇඟලුම් සඳහා තීරුබදු රහිත ප්‍රවේශය ලබා දෙනවා.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මෙසේ පැවසීය. “මෙම වෙනස්කම් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අංශයට සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කිරීමට ඉඩක් ලබාදෙනවා වගේම එක්සත් රාජධානියේ ප්‍රධාන වෙළඳපොළේ ඇඟලුම් මිල අඩු කිරීමටත් උපකාරී වේවි”
බ්‍රිතාන්‍ය ව්‍යාපාර කවුන්සිලයේ සභාපති මාර්ක් සර්ජෙනෝර් මෙසේ පැවසීය : “DCTS සඳහා ඉදිරියේදී සිදුවන වෙනස්කම් එක්සත් රාජධානියට ශ්‍රී ලංකාවේ අපනයන තවදුරටත් ශක්තිමත් කරාවි. මෙය ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට සුවිශේෂී සාර්ථක මඟක්. නව වෙනස්කම් මඟින් එක්සත් රාජධානියට ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනයෙන් වැඩි ප්‍රමාණයක් ශුන්‍ය තීරුබදු සඳහා සුදුසුකම් ලැබිය හැකියි. බ්‍රිතාන්‍ය සමඟ ව්‍යාපාර සඳහා වන කවුන්සිලය මෙම වෙනස්කම් සඳහා බෙහෙවින් සහාය වන අතර එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යාපාර සමඟ අපගේ කටයුතු දිගටම කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා” ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴