අශුද්ධ අන්තර් ආණ්ඩුවලට නොඑන බව සජිත් කියයි

අශුද්ධ අන්තර් ආණ්ඩුවලට නොඑන බව සජිත් කියයි

*********************************************

අශුද්ධ අන්තර් ආණ්ඩුවලට නොඑන බව සජිත් කියයි

(25.04.2022 – 23:40 +0530 – hirunews.lk/sinhala)

තමන් සමගි ජන බලවේගය නායකත්වයේ සිටින තුරු අශුද්ධ අන්තර් ආණ්ඩුවල සාමාජිකත්වය නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ කොළඹ නව නගර ශාලාවේ දී අද (25) පැවති දේශපාලන පළිගැනීමට ලක්වුවන්ගේ සම්මේලනයට එක්වෙමින්.

***************************************

ගුරු – විදුහල්පතිවරුන් අද ලෙඩ වෙයි

(25.04.2022 – 07:17 +0530 – hirunews.lk/sinhala)

ගුරු, විදුහල්පතිවරු සහ ගුරු උපදේශකවරුන් අද (25) අසනීප නිවාඩු වාර්තා කොට වර්ජනයක නිරත වන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඉන්ධන නොමැතිකමින් සහ ඉන්ධන මිල ඉහළ යාමෙන් සිසුන්ට, ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට පාසලට පැමිණීමේ දී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි එම වෘත්තීය සමිති සන්ධානය සදහන් කළේ.

ඒ අනුව සිසුන් ඔවුන්ගේ නිවෙස්වලට ආසන්න පාසල්වලට යොමු කරන ලෙසත් ගුරුවරු ආසන්න පාසල වෙත යොමු කරන ලෙසත් නැතහොත් ඊට විකල්ප විසදුම් ලබාදෙන ලෙසත් මීට පෙර ගුරු, විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිඛිතව ඉල්ලීමක් කර තිබුණා.

එහෙත් එය ප්‍රතික්ෂේප කර ඇති අතර, එම කරුණු සහ වර්තමාන ආර්ථික, දේශපාලන අර්බුද නිර්මාණය කර ඇති ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බවයි එම සන්ධානයේ නියෝජිත ජෝෂෆ් ස්ටාලින් කියා සිටියේ ෴

+++++++++++

ගුරු – විදුහල්පති වර්ජනයෙන් පාසල් කටයුතුවලට බාධා

(25.04.2022 – 10:26 +0530 – hirunews.lk/sinhala)

ගුරු, විදුහල්පතිවරු සහ ගුරු උපදේශකවරුන් අසනීප නිවාඩු වාර්තා කර ආරම්භ කළ සංකේත වර්ජනය හේතුවෙන් පාසල්වල අධ්‍යයන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. වර්ජනය හේතුවෙන් සිසුන් බොහොමයක් පාසල් වෙත පැමිණ නොමැති අතර, ගුරුවරුන් නොමැතිවීම හේතුවෙන් පැමිණි සිසුන්ටද යළි නිවෙස් කරා යෑමට සිදුවුණා.

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය, මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දියත් කර ඇත්තේ ඉන්ධන මිල ඉහළ දැමීම ඇතුලු පවතින ආර්ථික අපහසුතා නිසා ගුරු විදුහල්පතිවරුන්ට පාසල්වලට පැමිණීමේදී දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව ඇති බව පවසමින්.

කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශවල ගුරුවරුන් කිහිපදෙනෙකු පමණක් පාසල් වෙත පැමිණ තිබෙනවා.

මේ අතර සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එම්.එම්.කේ. හරිස්චන්ද්‍ර කියා සිටියේ ඉන්ධන මිල ඉහළ යාම මෙන්ම ඉන්ධන ලබාගැනීමේ අපහසුතාව හේතුවෙන් සිය වෘත්තිය සිදුකරගෙන යාමේ ගැටළු මතුව ඇති බවයි.

අද (25) ක්‍රියාත්මක සංකේත වැඩ වර්ජනය සියයට 99 ක් සාර්ථක බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ. එමෙන්ම ලබන 28 වනදා ගුරු – විදුහල්පති, වරාය, දුම්රිය, රාජ්‍ය, අර්ධරාජ්‍ය, ඇතුලු සියලු ක්‍ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිය සමිති දීපව්‍යාප්ත වැඩවර්ජනයකට අවතීර්ණ වන බව කොළඹ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම වැඩවර්ජනයට දිවයින පුරා වෙළඳ කලාප 14 ක සේවකයන්ද එක්වන බවයි අද (25) පැවති මාධ්‍ය හමුවකදී වෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ගාමිණී රත්නායක කියා සිටියේ.

මේ අතර අද (25) දිනයේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් වසා තැබුණු අතර, විවෘතව පැවති ඉන්ධනහල්වල දිගු පෝලිම් පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම අලුත්ගම නගරයේ සිපෙට්කෝ ඉන්ධනහලකට භූමිතෙල් මිල දී ගැනීමට පැමිණ දිගු වේලාවක් පෝලිමේ රැඳී සිටි සංචාරක බෝට්ටු සේවකයන් පිරිසක් සහ පෞද්ගලික බස් රථ සේවකයන් පිරිසක් අතර අද (25) උදෑසන ගැටුමක් හටගත්තා.

අප වාර්තාකරු සඳහන් කළේ, බෝට්ටු සේවකයන්ගේ භූමිතෙල්වලට ඔයිල් මිශ්‍රකර ලබාදීමත්, බස්රථ සේවකයන්ගේ භූමිතෙල්වලට එලෙස නො කිරීමත් හේතුවෙන් එම ආරවුල හටගත් බවයි.

කෙසේ වෙතත් පොලිසිය මැදිහත්වීමෙන් තත්වය සමථයකට පත් කර තිබෙනවා.

***************************************

උද්ධමනය තව තවත් ඉහළට

(25.04.2022 – 10:38 +0530 – hirunews.lk/sinhala)

මෙම සතියේ උද්ධමන වගුව තුළ ශ්‍රී ලංකාව නැවතත් අවධානයට ලක් වී තිබෙනවා.

අප්‍රේල් 21 දිනට එය දැක්වෙන්නේ, 119% ක් ලෙස යි.

ගණනය කිරීම්වලට අනුව, 2022 ජනවාරි 01 වන දා සිට, ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව 48% කින් අවප්‍රමාණය වුණා.

***************************************

කොළඹ කොටස් වෙළඳපොලේ ගණුදෙනු තාවකාලිකව අත්හිටුවයි

(25.04.2022 – 11:14 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටස් හුවමාරුවේ ගණුදෙනු මිනිත්තු 30 කට අත්හිටුවා තිබෙනවා.

ඒ, ප්‍රධාන පෙළේ සමාගම් නියෝජනය කරන එස්. ඇන්ඩ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සියයට පහකින් (5%) පහත වැටීමත් සමඟයි ෴

***************************************

ඩොලරය තවත් ඉහළට

(25.04.2022 – 11:27 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 342.49 දක්වා තවදුරටත් අවප්‍රමාණ වී තිබෙනවා.

මහ බැංකුව අද (25) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව එහි ගැනුම් මිල දැක්වුනේ රුපියල් 330 ක් ලෙසයි.

එමෙන්ම වානිජ බැංකු ඩොලරයේ අගය රුපියල් 345 දක්වා ඉහළ නංවා තිබුණා.

මීට අමතර ව ශ්‍රී ලංකාවේ උද්ධමනය ද ඉතා ඉහළ මට්ටමක පවතිනවා.

ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයය සිදු කළ පරීක්ෂණ වාර්තාවකට අනුව ශ්‍රී ලංකාව උද්ධමනය අතින් දෙවැනි වන්නේ, සිම්බාබ්වේට හා ලෙබනනයට පමණ යි ෴

***************************************

අයි.එම්.එෆ්. පිළිබඳ චීන තානාපතිගෙන් ප්‍රකාශයක්

(25.04.2022 – 12:29 +0530 – hirunews.lk/sinhala)

චීනය විසින් ශ්‍රී ලකාවට ලබාදෙන සහය එක් නිශ්චිත පක්ෂයක් හෝ රජයක් පදනම් කරගෙන සිදු නොකරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං ප්‍රකාශ කළා.

බලයේ සිටින රජය කුමක් වුවත්, චීනය ශ්‍රී ලංකා ජනතාවට නිරන්තරයෙන් සහය පළ කරන බව ඔහු අවධාරණය කළා.

චීන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මෙරට මාධ්‍යවේදීන් පිරිසක් සමඟ අද (25) පැවැත්වූ සාකච්ඡාවකදියි.

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක මූල්‍ය සහය ලබාදීම සඳහා වූ සාකච්ඡා මන්දගාමී වූයේ ලක් රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පැතීම නිසා බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං කියා සිටියේ.

විදේශ ණය පියවීම් තාවකාලිකව අත්හිටවූ ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් සකස් කිරීමට අපේක්ෂා කරනවා.

එහෙත් එවැනි ණය ප්‍රතිව්‍යුහගතකරණයක් ද්විපාර්ශවික ණය වැඩසටහන සඳහා ඉදිරියේ දී බලපෑම් ඇති කරන බව චීනයේ අදහසයි.

මේ අතර චීනය, පසුගිය වසරේ ජූලි සිට 2022 ජනවාරි දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක වටිනාකමකින් යුත් ඉන්ධන මෙට්‍රික් ටොන් 7,30,000 ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වෙත ලබා දී ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාව දැනටමත් ගෙවා ඇත්තේ, නැව් 7 කට අදාළ මුදල් පමණක් වන අතර, ගෙවීමට නියමිත නැව් 12 ක් සඳහා ඩොලර් මිලියන 390 ක් ද ගෙවා ඇති බව යි සඳහන් වන්නේ.

***************************************

රාජපක්ෂ පාලනය ශ්‍රී ලංකාව ඇද දැමූ තැන ගැන අර්ථ ශාස්ත්‍රඥයකුගෙන් විග්‍රහයක්

(25.04.2022 – 15:56 +0530 – hirunews.lk/sinhala)

ලොව ඉහළ ම උද්ධමන අනුපාතයක් වාර්තා කරන රටවල් ලැයිස්තුවේ තුන්වන (3) ස්ථානයට පැමිණෙන්නට ශ්‍රී ලංකාව සමත්වී ඇති බව ප්‍රවීණ අර්ථ ශාස්ත්‍රඥ මහාචාර්ය ස්ටීව් හෑන්ක් පවසනවා.

ඇමරිකාවේ බැල්ටිමෝර්හි ජෝන් හොප්කින්ස් (Johns Hopkins) විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හෑන්ක් 2022 මාර්තු මාසය වෙනුවෙන් නිකුත් කළ උද්ධමන ප්‍රතිශතය ඇතුළත් නවතම වාර්තාව අනුවයි ශ්‍රී ලංකාව මෙම ස්ථානයට පත්ව ඇත්තේ.

මහාචාර්ය ස්ටීව් හෑන්ක් විසින් පසුගිය පෙබරවාරි මාසයේදී නිකුත් කළ මෙම වාර්තාවේ ශ්‍රී ලංකාව අත්කරගෙන සිටියේ 6 වන ස්ථානයයි.

නමුත් මාර්තු මාසය වන විට ශ්‍රී ලංකාව තවත් ස්ථාන 3 කින් ඉහළට පැමිණෙන්නට සමත් වී තිබෙනව.

මෙම නවතම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමන අනුපාතය දැක්වෙන්නේ 119% වශයෙන්.

මෙම ලැයිස්තුවේ පළමු (1) ස්ථානයේ පසුවන සිම්බාබ්වේ රාජ්‍යයේ වාර්ෂික උද්ධමන අනුපාත දැක්වෙන්නේ 207% ක් වශයෙන්.

එමෙන්ම දෙවැනි (2) ස්ථානයේ පසුවන ලෙබනනය 150% ක වාර්ෂික උද්ධමන අනුපාතයක් වාර්තා කරනවා.

ශ්‍රී ලංකාව හැරුණු විට මෙම ලැයිස්තුවේ සිටින අනෙක් එකම ආසියාතික රට වන පාකිස්තානය පසුවන්නේ එකොළොස් (11) වන ස්ථානයේයි.

පාකිස්තානය පෙබරවාරි මාසයේ නිකුත් කළ වාර්තාවේ ද එකොළොස් (11) වන ස්ථානයේම රැඳී සිටියා.

මේ අතර ශ්‍රී ලංකාවේ රොකට්ටු වේගයෙන් ඉහළ නගින උද්ධමන අනුපාතය සම්බන්ධයෙන්ද දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරන අර්ථ ශාස්ත්‍රඥ මහාචාර්ය ස්ටීව් හෑන්ක් වැඩි දුරටත් පවසා සිටින්නේ මෙම උද්ධමන වේගය ඉහළ යෑම නව රජය පත්වීමෙන් අනතුරුව ගන්නා ලද ඇතැම් තීන්දු තීරණ හේතුවෙන් බරපතළ තත්ත්වයකට පත්වූ බවයි.

මේ තත්ත්වයට ශ්‍රී ලංකාව ගොදුරු වීමට හේතු වූ දේශපාලනික සහ ආර්ථික හේතු කාරණා පැහැදිලි කරන මහාචාර්යවරයා පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් අනතුරුව ඔහු පවුලේ සාමාජිකයන් ආණ්ඩු පාලනයට එක් කර ගැනීම මෙම අර්බුදයට මුල් වූ බවයි.

මේ හේතුවෙන් මිලියන 22 ක ජනගහණනයක් සිටින ශ්‍රී ලංකාව අද වන විට බරපතල ආර්ථික කඩා වැටීමකට ලක් වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව පැවැති මහ මැතිවරණයෙන් තුනෙන් දෙකකට (2/3) වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගෙන අත්පත් කර ගත් විශිෂ්ට ජයග්‍රහණයත් සමග ඔහු ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව විසින් සිදු කළ ව්‍යවස්ථා සංශෝධන, ආර්ථිකය සහ මහ බැංකුව දැඩි ලෙස දේශපාලනීකරණයට ලක් කිරීම අද පවතින ආර්ථික ගැටලු තීව්‍ර කිරීමට හේතු වී ඇති බවයි මහාචාර්ය ස්ටීව් හෑන්ක් පෙන්වා දෙන්නේ.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් අනතුරුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 44% කින් අව ප්‍රමාණය වී ඇති අතර වාර්ෂික උද්ධමන අනුපාතය විශ්මයජනක ලෙස 74.5% ක අගයක් ගන්නා බවත් ඔහු සඳහන් කරනවා.

මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ රට තුල උද්ගත වී ඇති බරපතළ ආර්ථික අවපාතය හමුවේ පසුගිය සතියේ දී ශ්‍රී ලංකාව නිල වශයෙන් සිය ණය ගෙවීම් අත්හිටුවන බව සියලුම ණය ලැබීම් කරුවන්ට දන්වා සිටි අතර ම මේ වන විට ශ්‍රී ලංකාව තුළ මහජනතාව වීථි බැස සිදුකරන විරෝධතා සහ උද්ඝෝෂණ මෙම අර්බුදය තවදුරටත් ගැඹුරු කිරීමට සමත් වී ඇති බවටයි.

මෙම තත්ත්වය වහාම කළමනාකරණය නොගතහොත් ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජීය තත්ත්වය තවත් අවුලෙන් අවුලට පත් වන බවට මෙම ආර්ථික විශේෂඥයා අනතුරු අඟවනවා.

ශ්‍රී ලංකාවේ උද්ධමනයට හේතුව තීරණය කිරීම සඳහා, මෙම විශේෂඥයා සිදු කළ ගණනය කිරීම්වලදී පසුගිය වසරක පමණ කාලය තුළ මෙරට ආර්ථිකයට දැඩි ලෙස ප්‍රේෂණය වූ දේශීය මුදල් ප්‍රමාණය ඉහළ යාම තීරණාත්මක කාර්ය භාරයක් සිදු කර ඇති බව පැහැදිලියි වන්නේ යැයි ඔහු ගේ වාර්තාවේ සඳහන්.

එහිදී ඔහු 2010-2019 කාලය සඳහා මුදල් සැපයුම ගණනය කර ඇති අතර එම කාලය තුළ දී දේශීය ආර්ථිකයට ප්‍රේෂණය වූ ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය සහ ඉන්පසු කාලසීමාවේ දී ආර්ථිකයට ප්‍රේෂණය වූ ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය අතර ඇදහිය නො හැකි වෙනසක් ඇති බවත් ඔහු සඳහන් කරනවා.

ඔහුගේ ගණන් බැලීම් අනුව 2010-2019 සඳහා, 15.5% ක් වූ මුදල් සැපයුමේ සාමාන්‍ය වර්ධන වේගය, 15.8% ක් වූ රන් වර්ධන අනුපාතයට ගැලපුනු බවත් මෙහි ප්‍රතිඵලයක් ලෙස එම කාලසීමාව සඳහා වසරකට සාමාන්‍යයෙන් 5.2% ක උද්ධමන අනුපාතයක් තිබූ බවත් මහාචාර්ය ස්ටීව් හෑන්ක් පවසනවා.

නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුක රාජපක්ෂ පාලනය බලයට පත් වීමෙන් පසු, මුදල් සැපයුමේ වර්ධන වේගය අහස උසට නැඟෙන්නට පටන් ගත් අතර එය 2021 පෙබරවාරි මාසයේදී වසරකට සියයට 23.8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය අවසන් කර ගැනීමට සිදු කළ හැකි හොඳම ක්‍රියා මාර්ගය ලෙස ඔහු නැවත නැවතත් අවධාරණය කරන්නේ වර්ෂ 1884 සිට 1950 දක්වා මෙරට ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලය නැවත බලාත්මක කිරීම බවයි.

ඒ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සිදු කරන මෙම මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ 1884 මැයි මස තුන් වැනි (03) දින ඔරියන්ටල් බැංකු පද්ධතිය අසාර්ථක වීමත් සමග ඊට ප්‍රතිචාර වශයෙන් ලංකා මුදල් මණ්ඩලය පිහිටුවනු ලැබූ බවයි.

ඒ අනුව ලංකාවේ කඩදාසි මුදල් ආඥාපනත (1884 අංක 32), 1884 දෙසැම්බර් 10 දින සම්මත කරන ලද අතර, ඒ සමඟ මුදල් මණ්ඩලය ද පිහිටුවනු ලැබුවා.

මෙම මුදල් මන් මණ්ඩලය කොමසාරිස්වරුන් තිදෙනෙක් (3) – එවකට ජනපද ලේකම්, භාණ්ඩාගාරික සහ විගණක – මණ්ඩලයක අධීක්ෂණයට ද යටත් වුණා.

ඔහු සඳහන් කරන්නේ හිතුමතයට මුදල් මුද්‍රණය කිරීමේ අධිකාරීමය බලයක් නොමැති මෙවැනි මණ්ඩලයක් හරහා ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික සැලසුම් සහ බැංකු පද්ධතිය පරිපාලනය කළ යුතු බවටයි ෴

***************************************

චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට ඉහළ ප්‍රතිලාභ

(25.04.2022 – 16:06 +0530 – hirunews.lk/sinhala)

ධනාත්මක ආකාරයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – චීන නිදහස් වෙළද ගිවිසුම පිළිබද සාකච්ඡා වට 6 ක් මේ වන විට අවසන් වී තිබෙනවා.

නිදහස් වෙළද ගිවිසුමෙන් වැඩි වාසි ලැබීම චීනයේ අපේක්ෂාව නොවන අතර එමගින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් හිමි වන බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොං ප්‍රකාශ කළේ.

චීනයෙන් පමණක් නොව ලොව අන් සෑම දෙසකින්ම ඉහළ අයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව වඩාත් විනිවිදභාවයෙන් යුක්තව සාධාරණ අන්දමින් කටයුතු කරනු දැකීම චීනයේ අපේක්ෂාවයි.

චීන තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය වසරේ ජූලි මාසයේ සිට මේ වසරේ ජනවාරි මාසය දක්වා චීනය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 500 ක් වටිනා ඉන්ධන මෙට්‍රික් ටොන් 7,30,000 ක් සපයා ඇති බවයි.

ශ්‍රී ලංකාව මෙතෙක් ගෙවීම් සිදුකර ඇත්තේ ඉන්ධන නෞකා හතකට (7) පමණක් වන අතර, තවත් ඉන්ධන නෞකා 12 ක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 390 ක් ගෙවිය යුතු බවයි චීන තානාපතිවරයා පෙන්වා දුන්නේ ෴

***************************************

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 400 කින් ඉහළට

(25.04.2022 – 20:04 +0530 – hirunews.lk/sinhala)

සිමෙන්ති සමාගම් සිමෙන්ති කොට්ටයක (කිලෝ 50) මිල රුපියල් 400 කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඇතැම් සිමෙන්ති සමාගම් සිමෙන්ති කොට්ටයක් රුපියල් 2,750 ක් දක්වා ද, ඇතැම් සමාගම් රුපියල් 2850 දක්වා ද, මිල ඉහළ දමා තිබෙනවා ෴

***************************************

තැපැල් සේවකයෝත් අරගලයට සහාය දක්වා සේවය අත්හරිති

(25.04.2022 – 23:25 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින දැඩි වියවුල්කාරී දේශපාලන වාතාවරණය හේතුවෙන් මේ වනවිට විශාල ආර්ථික අවපාතයකට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති බව ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරින්ගේ සංගමය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, ආර්ථික උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක තම වෘත්තිය ද දැඩි අපහසුතාවක පත්ව ඇති බවයි.

මේ හේතුවෙන් රට පවතින අර්බුද තුළින් යළි ගොඩගැනීමට අද වනවිට අඛණ්ඩව ගාලුමුවදොර පැවැත්වෙන නිර්පාක්ෂික අරගලයට සහාය දැක්වීමට එළඹෙන 28 වැනි දින ඇරඹෙන එක් දින රාජ්‍ය සහ පෞද්ගලික අංශ වෘත්තීය වැඩ වර්ජනයට තම සංගමය ද සියලු ජය්ෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරින් හා එක්වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම ඉදිරියේ දී ද ක්‍රියාත්මක වන ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයකට තැපැල් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික සහ විධායක නිලධාරින්ගේ සහාය ලබාදෙන බව ද ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චම්පික පෙරේරා පවසනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *