රථවාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක්

රථවාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක්

*********************************************

රථවාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක්

(20.04.2022 – 16:23 +0530 – hirunews.lk/sinhala)

රථවාහන දඩ මුදල් තැපැල් කාර්යාල වෙත ගෙවීම සඳහා අප්‍රේල් 23 වනදා දක්වා සහන කාලයක් ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කර ඇති, එහෙත් 2022-04-11 සහ 12 දෙදින (2) රජයේ නිවාඩු දින ලෙසට ප්‍රකාශයට පත් කිරීම නිසා ගෙවීමට නොහැකි වූ රථවාහන දඩ පත්‍රිකා අතිරේක දඩ මුදල් රහිතව ගෙවීම සඳහා මෙලෙස ලබන 23 වනදා දක්වා සහන කාලයක් හිමිවනු ඇති.

මුදල් අමාත්‍යංශ ලේකම්ගේ ආවරණ අනුමැතියට යටත්ව මෝටර් වාහන පනතේ 215 (අ) වගන්තිය අනුව දඩ මුදල් දෙගුණයක් වීමේ කාලය නොසලකා මෙම දඩ මුදල් ගෙවීමට සහන කාලය ලබාදී ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න කියාසිටියේ.

මේ අනුව මාර්තු මස 29 වනදා සිට අප්‍රේල් මස 10 වන දින දක්වා (එම දින දෙක ද ඇතුලත්ව) නිකුත් කර ඇති දඩ පත්‍රිකා අතිරේක ගාස්තු රහිතව ලබන 23 වනදා දක්වා ඕනෑම තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් ගෙවිය හැකි බව තැපැල්පතිවරයා ප්‍රකාශ කළා ෴

***************************************

අදාළ ආයතන සම්බන්ධ කරමින් පරිගණක දත්ත පද්ධතියක් සැකසීම කඩිනමින් කරන්න – කෝපා කමිටුවෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට නිර්දේශ

(20.04.2022 – 16:55 +0530 – hirunews.lk/sinhala)

සුරාබදු දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකිනෙකට සම්බන්ධ කරමින් සුරාබදු ආදයම් ගණනය කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීම සදහා වන පරිගණක දත්ත පද්ධතිය සකස් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නිර්දේශ කර තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ 2020 වර්ෂය සදහා වූ විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව විමසීම සඳහා මහාචාර්ය තිස්ස විතාරණගේ සභාපතීත්වයෙන් ඊයේ (19) පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී යි මෙම නිර්දේශය ලබා දී ඇත්තේ.

මේ වන විට මෙම පරිගණක පද්ධතිය සැකසීමේ මූලික කටයුතු ආරම්භ වී ඇති අතර 2023 ජනවාරි වන විට මෙම කටයුතු අවසන් කිරීමට හැකිවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මෙහිදී කමිටුවට ප්‍රකාශ කර තිබෙනවා.

මොරටුව විශ්වවිද්‍යාලයෙන් සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ‍අදාළ මිල ගණන් කැදවා සුදුසු පරිදි මෙම කටයුතු සිදු කරන ලෙසටයි මෙහිදී කමිටුව විසින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දෙනු ලැබුවේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මෙම වැඩපිළිවෙළ අගය කළ කමිටුව පෙන්වා දුන්නේ මේ හරහා රටට ආදායම් ලැබෙන ප්‍රධානතම ආයතනයක් වන සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමටත් ඒ හරහා ලැබෙන ආදායම විශාල වශයෙන් වැඩිකර ගැනීමටත් හැකියාව ලැබෙනු ඇති බවයි.

එසේම ඇතැම් රාජ්‍ය ආයතනවලට මෙලෙස පරිගණක පද්ධතියක් සකස්කරගෙන කටයුතු විධිමත් කරන ලෙස වසර ගණනාවක් මුළුල්ලේ දැනුම් දුන්නද තවමත් සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම කනගාටුවට කරුණක් බවද කමිටුවේ සාමාජික මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දී තිබෙනවා.

එසේම රජයේ ආදායම වර්ධනය කිරීම සදහා වූ මත්පැන් බෝතල් හා මත්පැන් බෝතල් ආශ්‍රිත නිෂ්පාදන සදහා ආරක්ෂිත ස්ටිකර් කළමණාකරණ පද්ධතිය පවත්වාගෙන යාමේ ප්‍රගතිය පිළිබදවද කමිටුවේ අවධානය යොමු කෙරුණා.

මෙහිදී අනාවරණය වූයේ මෙම ස්ටිකර් කළමණාකරණ පද්ධතිය හදුන්වා දීම හේතුවෙන් පසුගිය වසරේ මුල් මාස තුන (3) තුළ පමණක් සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම 17% කින් වැඩිවී ඇති බවයි.

එසේම මත්පැන් අපනයනය මත සුරාබදු අවකරණය කිරීම සම්බන්ධ තොරතුරු ආදායම් අංශයේ හා ගිණුම් අංශයේ ලේඛනගතකර පවත්වාගෙන නොයාම ඇතුළු කළමනාකරණ දුර්වලතා පිළිබඳවද කමිටුවේ අවධානය යොමු වූ අතර හැකි ඉක්මනින් ඒවා නිවැරදි කරගන්නා ලෙස අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, ලසන්ත අලගියවන්න, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රසන්න රණවීර, මොහොමඩ් මුසම්මිල්, වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ වීරසුමන වීරසිංහ සහභාගී වුණා ෴

***************************************

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාප උප සභාපති මුදල් ඇමති සහ මහ බැංකු අධිපති හමුවෙයි

(20.04.2022 – 17:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට, ආර්ථික ස්ථාවරත්වයට සහ ප්‍රකෘතියට සහය දැක්වීම පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය අලි සබ්රි සහ මහ බැංකු අධිපති නන්දන වීරසිංහ සමඟ පැවැත්වූ බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති හාර්ට්වින්ග් ෂාෆර් (Hartwing Schafer) පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හාර්ට්වින්ග් ෂාෆර් පවසන්නේ මෙම හමුවේදී ආර්ථික පීඩනය හමුවේ අවදානමට ලක්ව සිටින ශ්‍රී ලාංකික ජනතාවට සහාය වීම සහ ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව ද ඵලදායී සාකච්ඡාවක නිරත වූ බවයි ෴

***************************************

රජයේ භාණ්ඩාගාර බිල්පත් සඳහා වන ඉල්ලුමේ කැපී පෙනෙන වර්ධනයක්

(20.04.2022 – 17:53 +0530 – hirunews.lk/sinhala)

රජයේ භාණ්ඩාගාර බිල්පත් සඳහා අද (20) පැවති වෙන්දේසියේදී භාණ්ඩාගාර බිල්පත් වෙත වන ඉල්ලුම 24.36% කින් ඉහල ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන්.

අද (20) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 97.5 ක් වටිනා රජයේ භාණ්ඩාගාර බිල්පත් සඳහා මිළ ගනන් කැඳවුනු අතර ඒ වෙනුවෙන් රුපියල් බිලියන 162 ක ලංසු තැබීමක් සිදුකර තිබෙනවා.

ඒ අතරින් තෝරා ගත් ලංසු වෙනුවෙන් රුපියල් බිලියන 48 ක් පිළිගත් අතර එම බිල්පත් වෙනුවෙන් දින 91 සඳහා 23.21% ක පොලියක් ද , දින 182 සඳහා 24.77% ක පොලියක් ද, දින 364 භාණ්ඩාගාර බිල්පත් සඳහා 24.36% ක පොලියක් ද නියම කෙරුණු බවයි ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

***************************************

රට අර්බුදයෙන් ගොඩගත හැකිද? – විශේෂ දේශනය – ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ – කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේ සිට… (20.04.2022)

***************************************

නිරායුද විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට පොලිසියට කිසිඳු බලයක් නැහැ – නීතිවේදී චානක අබේවික්‍රම (21.04.2022)

***************************************

අපි ලෑස්තියි මෛත්‍රීපාල, වීරවංශ, අනුර යාපා ඇතුළු කණ්ඩායම එක්ක ආණ්ඩුවක් හදන්න – සමගි බලවේගය තීරණය කියයි (20.04.2022)

https://www.youtube.com/watch?v=_GjAxvCjIjE

***************************************

ගම්මන්පිල 11 වතාවක් ලිඛිතව කැබිනෙට්ටුවට කී බියකරු කතාව රටටම කියයි….

(21.04.2022 – 22:02 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකාව විදේශ විනිමය අර්බුදයක් කරා ගමන් කරමින් තිබෙන බවත් එම විදේශ විනිමය අර්බුදය බලශක්ති අර්බුදයක්, ආර්ථික අර්බුදයක් සහ අවසානයේ දේශපාලන අර්බුදයක් කරා ගමන් කරන බවත් තමන් අමාත්‍ය මණ්ඩලයට වරක් දෙවරක් නොව එකොළොස් (11) වතාවක් ලිඛිතව දැනුම් දුන් බව නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ (2022.04.21) පාර්ලිමේන්තුව අමතමිනි. නීතිඥ උදය ගම්මන්පිල මහතා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය :

“අද ගෑස් නැති තෙල් නැති බෙහෙත් නැති කිරි පිටි නැති ඩොලර් නැති සංචාරකයෝ නැති ඒ වගේම නීතිය හා සාමය නැති වෙන්න ඔන්න මෙන්න තියන පසුබිමක තමයි මේ ගරු සභාව අමතන්න මම නැගී සිටින්නේ. ඒ නැතිවුණු ගෑස්ටිකෙන්, කිරිපිටි ඉල්ලලා හඬන දරුවන්ගේ වේදනාව දරා ගන්න බැරි වුණු දෙමව්පියන් , ආදරණීය අම්මා බෙහෙත් නැතුව මියැදෙනවා බලාගෙන ඉන්න බැරි දරුවන් , තමන්ගේ ජන ජීවිතය කඩා වැටිල අනාගතය විනාශ වෙලා කියලා විශ්වාස භංගත්වයට පත් වෙච්ච තරුණයන් තමන්ගේ පීඩනය වේදනාව පිටකරන්න මහ පාරට බැහැලා උද්ඝෝෂණ කරද්දි ඒ ජනතාවට ලබා දෙන උත්තරය ටී-56 උණ්ඩය නම් ඒ ගැන අද අපිට බරපතළ ලෙස හිතන්න සිද්ධ වෙනවා.

මේ ආණ්ඩුව ඉවසල ඉවසල බැරිම තැන තවත් ඉවසන්න ඕනේ. ඇයි අද මේ රටේ ජනතාව දුක් විඳින්නේ මේ ආණ්ඩුව නිසි තීන්දු නිසි වෙලාවට ගන්න අසමත් වුණේ හින්දා. මේක සිතා මතා ඇති කරගත්ත අර්බුදයක් නිසා. ඒ සිතා මතා මේ අර්බුදය ඇති කරගන්නවා දකිමින් මෙවැනි අර්බුදයක් ඇති කරගන්න බවට අමාත්‍ය මණ්ඩලයට අනතුරු අඟවද්දි ඒවා නොසලකා අපිට කඩා පැන්න, අපිට බුරා පැන්න මුදල් ඇමතිවරයෙක් යටතේ අන් අය නිහඬව බලා හිටිය හින්දා.

මම අමාත්‍ය ධූරය දරපු කෙටි කාලයේදී ශ්‍රී ලංකාව විදේශ විනිමය අර්බුදයක් කරා ගමන් කරමින් තිබෙනවා, මේ විදේශ විනිමය අර්බුදය තුළින් බලශක්ති අර්බුදයක් හදනවා බලශක්ති අර්බුදය විසින් ආර්ථික අර්බුදයක් හදනවා ආර්ථික අර්බුදය අවසානයේදී දේශපාලන අර්බුදයක් කරා ගමන් කරනවා යැයි කියන කාරණය අමාත්‍ය මණ්ඩලයට වරක් දෙවරක් නෙවෙයි එකොළොස් (11) වතාවක් ලිඛිතව දැනුම් දුන්නා.

බුරා පැන්න මුදල් ඇමති

මොකක්ද මට ලැබුණු ප්‍රතිචාරය මේවා කතා කරන්නවත් ඉඩ දුන්නේ නැහැ. මුදල් ඇමැතිවරයා මගේ ඇඟට බුරා පැන්නා. ඉතාම අසීලාචාර විදිහට මට කතා කළා. මුදල් ඇමැතිවරයා නිහඬ කරන්න ජනාධිපතිතුමා වත් අගමැතිතුමා වත් ඉදිරිපත් වුනේ නැහැ. කෘතවේදීව සිහිපත් කරන්න ඕනේ මගේ කතා කිරීමේ අයිතිය ගැන මා දක්වන කරුණුවල භයානකත්වය ගැන ඇමති මණ්ඩලයේ අදහස් දැක්වුවේ ඇමතිවරු තුන් දෙනෙකු (3) පමණයි. විමල් වීරවංශ ඇමතිතුමාත්, වාසුදේව නානායක්කාර ඇමතිතුමාත්, බන්දුල ගුණවර්ධන ඇමති තුමත් විතරයි. එදා අපේ අමාත්‍ය මණ්ඩලයේදී අපිත් එක්ක හිටිය අමාත්‍යවරු සාතිශය බහුතරය නිකම්ම නිකම් පසුපෙල මන්ත්‍රීවරුන් බවට පත් පත්වෙලා පසු පෙළට වෙලා වාඩිවෙලා ඉන්න සිද්ධ වුණේ එදා අමාත්‍ය මණ්ඩලයේදී තමන්ගේ යුතුකම ඉටු නොකළ නිසයි.

අමාත්‍යවරුන් විදිහට අපි ඇමති මණ්ඩලයේ වාඩිවෙන්නේ ‘yes sir three back full sir’ කියලා ජනාධිපතිට අගමැතිට මුදල් ඇමතිට කියන්න නෙමෙයි. signal කනු වගේ ඉහළින් එන යෝජනාවට අත උස්සන්න නෙමෙයි. රාජ්‍ය පාලනයේ මහා වගකීම පැවරිලා තියෙන්නෙ අමාත්‍ය මණ්ඩලයට. හැබැයි අපේ අමාත්‍ය මණ්ඩලයෙන් ඒ යුතුකම ඒ වගකීම ඉටු වුණාද ?

සර් මේ වැඩේම ඇති සර්ට නිවන් දකින්න – ජනපතිට එහෙම කිව්වේ කවුද ?

මේ අර්බුදය මේ ආණ්ඩුවේ පිරිහීම ආරම්භ වෙච්ච අවස්ථාව තමයි ‘රසායනික පෝර තහනම’. 2021 අප්‍රේල් මාසේ මේ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් උනහම මං, නම් වශයෙන් කියන්නම් මේ යෝජනාවට විරුද්ධ වුණේ ඇමතිවරු හතර දෙනෙකු (4) පමණයි. පැයක් පුරාවට සාකච්ඡාව තිබුණා. රමේෂ් පතිරණ ඇමතිතුමා විරුද්ධ වුණා, බන්දුල ගුණවර්ධන ඇමතුමත් වාසුදේව නානායක්කාර ඇමතිතුමාත් මමත් විරුද්ධ වුණා. ඇමතිතුමෙකු කිව්වා ‘ජනාධිපති තුමනි ඔබ මේ යෝජනාව ක්‍රියාත්මක කළොත් ලෝක ඉතිහාසයට එකතු වෙනවා’ කියලා . තව ඇමතිවරයෙක් කිව්වා ‘සර් මේ වැඩේම ඇති සර්ට නිවන් දකින්න’ කියලා. වර්ණනාව විතරයි තිබුණේ. සාතිශය බහුතරය නිහඬව බලන් හිටියා. ඉතින් තමාටත් නිවන් දකින්න ‘shortcut’ එකක් හම්බෙලා කියලා හිතලා වෙන්න ඇති ජනාධිපතිතුමා මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න තීරණය කළා.

2021 ඔක්තෝම්බර් මාසේ ජනාධිපතිතුමා ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිහිල්ලා ලංකාවට ආපු ගමන් හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවලා කිව්වා ‘ආණ්ඩුවේ ජනප්‍රියතාවය අතිශය බරපතළ ලෙස පිරිහිලා තියෙනවා; මං මේ ඇමති මණ්ඩලයෙන් දැනගන්න කැමතියි එහෙම වුණේ ඇයි? මේකෙන් ගොඩ යන්න තියෙන පිළියම් මොනවද කියලා අපි සාකච්ඡා කරමු’ කිව්වා. මුලින්ම කතා කළේ විමල් වීරවංශ ඇමතිතුමා. එතුමා කිව්වා මේ ආණ්ඩුවේ පිරිහීමට ආරම්භක හේතුව තමයි ‘රසායනික පොහොර තහනම’ බව. ‘අපට හැමදාම පොහොට්ටුවේ බලකොටු වෙච්ච ගමත් නැති කළේ – ගමට බහින්න බැරි කළේ මේ රසායනික පෝර තහනම; ඒ නිසා මේක වහාම ආපස්සට හැරෙව්වේ නැත්නම් අපිට ඉදිරියට යන්න බැරිවෙනවා’ කියලා. මේ යෝජනාව ඉදිරිපත් කළා විතරයි මට මතකයි අලි සබ්‍රි ඇමතිතුමා, රමේෂ් පතිරණ ඇමතිතුමා, කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමා, චමල් රාජපක්ෂ ඇමතිතුමා මේකට පක්ෂව කරුණු දැක්වුවා. ඔන්න එතකොට ‘ගොවි රජෙක්’ කියන ඇමතිවරයෙක් ඉදිරිපත් වෙලා කියනවා ‘සර් දැන්නම් මේක ආපස්ස ගහන්න එපා; සර්ගෙ ප්‍රතිරූපෙට මොකද වෙන්නේ; සර්ගෙ ආත්ම ගරුත්වයට මොකද වෙන්නේ; දැන් අපේ ගොවියන්ගෙ බිම් මට්ටමෙන් කොම්පෝස්ට් පොහොර හදන වැඩේ යසට කෙරීගෙන යනවා; ඒ නිසා මේක නම් ආපස්සට හරවන්න එපා’ කියලා. කොළඹ ඇමතිවරු කියනවා ‘රසායනික පොහොර තහනම ගොවිතැනට බාධාවක්’ කියලා; ගමේ ඇමති කියනවා ‘නෑ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ’ කියලා, ඒ යෝජනාවත් එතනින් ලොප් වුණා.

මට ඔය ඇමතිවරුන්ගේ නම් හොඳටම මතකයි. ඒ ඇමතිවරුන්ගේ නම් මම මෙතන සඳහන් කළොත් අද රෑට ජනතාව ගිහින් ගෙවල් වටලනවා. අද මන්ත්‍රී ධූරයට පත්වෙලා ඉන්න එතුමන්ලාගේ ජීවිත ආරක්ෂාව තකා තමයි මම එතුමන්ලගේ නම් සඳහන් නොකර ඉන්නේ. නමුත් මං මේ කාරණා කිව්වේ කිසිම ඇමතිවරයෙකු මන්ත්‍රීවරයෙකු අපහසුතාවයට ලක්කරන්න නෙමෙයි.

අද අලුතෙන් ඇමතිවරු පත් වෙලා ඉන්නවා. අපේ හිත මිත්‍ර දිලුම් අමුණුගම ඇමතිතුමා මෙතන ඉන්නවා. ගරු ඇමතිතුමනි අමාත්‍ය මණ්ඩලයේදී නිහඬ වෙන්න එපා. නායකයන් කියන දේයි එතුමන්ලාගේ තීරණවලයි හරි-වැරදි කියන්න තමයි ඇමති මණ්ඩලයක් ඉන්නේ. ඒ ඇමතිවරු විදියට අපේ යුතුකම වගකීම ඉටු නොකර, තමුන්නාන්සේලා නිහඬව හිටියොත් ජනතාව අද පාරට බැහැලා ප්‍රචණ්ඩකාරී ව හැසිරෙද්දි ඔවුන්ගේ ගොදුරු බවට පත්වීම කිසිසේත්ම වලක්ව ගන්න බැහැ. අපේ වගකීම අපි ඉටු කළොත් විතරයි අපිට ජනතාව ඉදිරියේ නිර්භයව ගිහිල්ලා ‘මම මගේ යුතුකම ඉටුකළා’ කියලා කියන්න පුළුවන් වෙන්නේ.

අන්තර්කාලීන ආණ්ඩුවක් ?

අද ඉවසල, ඉවසල බැරිම තැන ජනතාව රාජ්‍ය පාලනය අතට අරන් තියෙනවා. නායකයන් පිළිබඳ විශ්වාසය නැතිවෙලා තියෙනවා. ඒ නිසා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජනතාවගේ විශ්වාසය නැතිවෙලා. මේ 225ම එළවලා දාලා වෙනත් ක්‍රම ගැන අත්හදා බලන්න කලින් අද දුකින් ඉන්න ජනතාවගේ ප්‍රශ්නෙට අපි ජනතාවට උත්තර දෙන්න ඕන. ඒ සඳහා අපි ඉදිරිපත් කරලා තියනවා ‘අන්තර්කාලීන ආණ්ඩුවක්’ පිළිබඳ යෝජනාවලියක්. මහා සංඝරත්නය, කාදිනල්තුමා, ව්‍යාපාරික ප්‍රජාව, වෘත්තීය සංවිධාන, වෘත්තීය සමිති – මේ සියලු දෙනාම මේක අගය කරලා තියෙනවා. අද අපේ රටේ ජනතාව සමගි වෙලා ඉවරයි. රටේ ජනතාව සමගි වෙලා ‘අපේ දුකට උත්තරයක් දීපල්ලා’ කියලා දේශපාලකයන්ට හඬනගනවා.

පාර්ලිමේන්තුවේ අපි මොකද කරන්නේ ? තාමත් පක්ෂ අනුව බෙදිලා . ‘Blame game’ එක. කවුද මේ වැරැද්දට හේතුව කියලා එකිනෙකාට ඇඟිල්ල දික් කරමින් ඉන්නවා. අතිශයින්ම ලැජ්ජයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, අපි අපි ගැන ලැජ්ජ වෙන්න ඕනෙ. අපි අපි ගැන කලකිරෙන්න ඕන. අපි අද පක්ෂ භේද පැත්තක තියලා මේ අර්බුදයෙන් ‘අපේ ගොඩ වැඩි කර ගන්නේ කොහොමද’ කියන පටු චේතනාවට යන්නේ නැතිව, සමස්ත පාර්ලිමේන්තුවම එකතුවෙලා පක්ෂ නායකයන් ගෙන් සමන්විත ජාතික සභාවක් හදලා සියලු දෙනාගේම දක්ෂයන් එකතු කරල හොඳ ඇමති මණ්ඩලයක් හදලා අපි මේ අර්බුදයෙන් මේ රට ගොඩගන්න එකට ප්‍රමුඛතාවය දෙන්න ඕන.

මං හිතනවා ඒ සඳහා අවස්ථාව සලසමින් අපේ ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉවත් වෙලා මේකට පාර කපාවි කියලා. අග්‍රාමාත්‍යතුමා මේ ජාතියට සැහෙන්න සේවයක් කරපු නායකයෙක්. එතුමාගේ සේවය අපි අගය කරනවා. හැබැයි ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබතුමාගේ නික්ම යාමේ අවස්ථාව දැන් එළැඹිලා තියෙනවා. මේ අර්බුදයට උත්තර සොයන්න ජනතාව අලුත් නායකත්වයක් ඉල්ලනවා. ඒ හඬට අපි සවන් දෙන්නෙ නැතුව සාමූහික උත්සාහයන් තියෙන අවස්ථාව අහිමි කළොත් මේ රට අඳුරෙන් අඳුරට ගොස් මහා ගිනි ගොඩක් බවට, මිනී කඳු මැදින් ලේ ගංගාවක් ගලන මූසල දේශයක් බවට පත්වෙන එක නතර කරන්න අපි කාටවත් හැකි වෙන්නේ නෑ කියන එක සිහිපත් කරමින් මම නිහඬ වෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *