කඩිනම් සහ වේගවත් මූල්‍ය සම්පාදනයක් ශ්‍රී ලංකාවට ලබාදීම ගැන සලකා බලන බව IMF කියයි

කඩිනම් සහ වේගවත් මූල්‍ය සම්පාදනයක් ශ්‍රී ලංකාවට ලබාදීම ගැන සලකා බලන බව IMF කියයි

*********************************************

කඩිනම් සහ වේගවත් මූල්‍ය සම්පාදනයක් ශ්‍රී ලංකාවට ලබාදීම ගැන සලකා බලන බව IMF කියයි

(19.04.2022 – 07:16 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටර්ලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) හා මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි අතර හමුවක් ඊයේ (18) පැවැත්වුණා.

ඒ අමරිකාවේ වොෂින්ටන් ඩී.සී අයි.එම්.එෆ්. මූලස්ථාන පරිශ්‍රයේ දී යි.

ශ්‍රී ලංකාව තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් දැනටමත් ගෙන ඇති පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවට හා ඇගයීමට ලක් වුණා.

එමෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකය නඟා සිටුවීමට අයි.එම්.එෆ්. වෙතින් ලැබෙන සහාය පිළිබඳ සඳහන් කර සිටි එහි කළමනාකාර අධ්‍යක්ෂවරිය පැවසුවේ ශ්‍රී ලංකාවට සහාය අඛණ්ඩව ලබාදීමට එකඟතාවක් ඇති බවයි.

මෙහිදී මුදල් අමාත්‍යවරයා විසින් කඩිනම් මූල්‍ය සහායක් (RFI) සඳහා ඉල්ලීමක් සිදු කරන ලද අතර, ඒ සඳහා ඇප පාර්ශ්වයන් වශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය රජය පෙනී සිටින බවයි මුදල් අමාත්‍යවරයා පැවසුවේ.

කෙසේවෙතත්, RFI නිකුත් කිරීම මූල්‍ය සම්පාදනය ක්‍රියාවලියේ සම්මත තත්ත්වයෙන් බැහැර වුව ද එය සලකා බලන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) සම්බන්ධයෙන් ද සාකච්ඡා සිදු කෙරුණු අතර, එහිදී අවධාරණය කෙරුණේ, ශ්‍රී ලංකාවේ තිරසාර විසඳුමක් සාක්ෂාත් කර ගැනීම සඳහා අයි.එම්.එෆ්. වෙතින් සහාය ලැබෙන ආකාරය ධනාත්මක පසුබිමක තිබෙන බවයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත සැසි වාරය සඳහා සහභාගිවීමට වොෂින්ටනය බලා ගොස් සිටින ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් සහ මුදල් අමාත්‍ය අලි සබ්රි අතර හමුවක් ඊයේ (18) සිදු වී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේ පැවති මෙම සාකච්ඡාවේ දී ඉන්දීය මුදල් අමාත්‍යවරිය සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා ඉන්දියාවේ පූර්ණ සහාය ලබාදෙන බවයි.

මෙරට ආර්ථිකය සංවර්ධනය උදෙසා ඉන්දියාවේ කැපවීම සහතික කළ ඇය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සමීප සබදතාව සිහිපත් කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දිගු කළ අරමුදල් පහසුකම යටතේ ණය මුදලක් ලබා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සදහා පැවැත්වෙන සාකච්ඡාවල දී ඉන්දියාවේ පූර්ණ සහාය ලබාදීමට ද ඉන්දීය මුදල් අමාත්‍යවරිය ප්‍රතිඥාවක් ලබා දී ඇති බව සඳහන්.

***************************************

ශ්‍රී ලංකාවට සහාය වීම ගැන ඉන්දියාවට අයි.එම්.එෆ්. ප්‍රධානියාගේ ප්‍රසාදය

(19.04.2022 – 13:33 +0530 – hirunews.lk/sinhala)

නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙන ශ්‍රී ලංකාවට එම අර්බුදය සමනය කිරීම සඳහා සහාය දැක්වීම පිළිබඳ ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජියොජියේවා ඉන්දියාවට ප්‍රසාදය පළ කර තිබෙනවා.

ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් වොෂින්ටනයේදී හමු වූ අවස්ථාවේ ඇය මේ බව ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඉන්දීය නියෝජිත පිරිස වොෂින්ටනයට ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසන්ත සැසි වාරය සඳහා සහභාගිවීමටයි.

මුදල් අමාත්‍ය අලි සබ්රි ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම ද මේ වන විට වොෂින්ටනයට ගොස් ඇති අතර ඔවුන් ඊයේ (18) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජියොජියේවා ද මුණ ගැසුණා.

මුදල් අමාත්‍යවරයා සහ ඉන්දීය මුදල් අමාත්‍යවරිය අතර ද ඊයේ (17) සාකච්ඡාවක් පැවති අතර එහිදී ඇය ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහාය ලබාදීමට ද ප්‍රතිඥාවක් ලබා දුන්නා.

***************************************

ඩොලරයේ විකුණුම් මිල රුපියල් 340 ක් වෙයි

(19.04.2022 – 13:38 +0530 – hirunews.lk/sinhala)

මහබැංකුව මගින් අද (19) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 340 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැණුම් මිල සටහන් වන්නේ රුපියල 327.50 ක් ලෙසයි ෴

***************************************

මූඩි ආයෝජන සේවාව ශ්‍රී ලංකාවේ ක්‍රය ශක්ති වර්ගීකරණය පහත හෙළයි

(19.04.2022 – 09:41 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූඩීස් ආයෝජන සේවාව මගින් ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව හෙවත් ක්‍රයශක්ති වර්ගීකරණය පහත හෙලා තිබෙනවා.

ඒ, විදේශ ණය මුදල් පියවීම අත්හිටුවීමට රජය ගනු ලැබූ තීරණයත් සමගයි.

මූඩීස් ආයෝජන සේවාව මගින් මෙතෙක් ‘සී.ඒ.ඒ. ටූ’ ලෙස ලබාදී තිබූ මෙරට ණය ශක්ති වර්ගීකරණය පහත හෙළා ඇත්තේ ‘සී.ඒ.’ ලෙසින්.

මෙරට විදේශ ණය වාරික පියවීම් පළමු පැහැර හැරීමට ලක්වීමට නියමිතව තිබුණේ ඊයේ (18) දිනයේදියි.

මූඩීස් අයෝජන සේවාව සඳහන් කළේ පෞද්ගලික අංශයේ ණය දායකයන්ට මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පාඩු සිදුවීමේ අවදානම ඉහළ මට්ටමක පවතින බවයි.

විදේශ සංචිතය පිරිහීම, ගෙවුම් ශේෂ හිගය ඉහළ යාම, ආහාර සහ ඉන්ධන මිල ඉහළ මට්ටමක පැවතීම මෙන්ම සංචාරක ක්ෂේත්‍රය සහ ඍජු විදේශ ආයෝජන ප්‍රකෘතිමත්වීම මන්දගාමී වීම ද මෙරට ආර්ථිකයේ ඍණාත්මක ප්‍රවනතාවන් ලෙස මූඩීස් ආයෝජන සේවාව හඳුන්වනු ලැබුවා ෴

***************************************

ශ්‍රී ලංකන් ගුවන් සේවා පාලනාධිකාරිය හෙට (20) කෝප් කමිටුව හමුවට

(19.04.2022 – 11:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව ගුවන් යානා විසි එකක් (21) කුලියට ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකන් කළමනාකාරිත්වය හෙට (20) කෝප් කමිටුවට කැඳවීමට තීරණය කර ඇති බව කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවය හදිසියේ ගුවන් යානා කුලියට ගැනීමට දරන උත්සාහය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ මොහොතේ සිදු කළ යුතුව ඇත්තේ නව ගුවන් යානා කුලියට ගැනීම නොව මේ වන විට ඔවුන් යම් කිසි ලාභයක් උපයා ඇත්නම් ඒ මුදලින් දේශීය බැංකු වෙතින් ලබාගෙන ඇති ණය මුදල් ගෙවා දැමීම බවයි.

මෙයට ප්‍රතිචාර දැක්වූ කෝප් සභාපති වරයා සඳහන් කළේ මීට පෙර අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුව හමුවට කැඳවා ඔවුන්ගේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් දැඩි ලෙස ප්‍රශ්න කළ බවයි.

මෙම කාරණය සම්බන්ධයෙන් ද හෙට (20) දිනයේ දීර්ඝ කරුණු විමසීමක් සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාලනාධිකාරියට කෝප් කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බවත් ඔහු පාර්ලිමේන්තුවට ප්‍රකාශ කර සිටියා.

***************************************

සහරාන්ගේ සුපිරි රියක් පදින හිටපු පොලිස් ඇමති

(19.04.2022 – 12:11 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධානම සැකකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් භාවිත කළ සුඛෝපභෝගී ජීප් රථය හිටපු මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර භාවිතයට ගෙන ඇති බව ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු වන රංග ශ්‍රී ලාල් ඔහුගේ ට්විටර් ගිණුමේ ඡායාරූපයක් ද පළ කරමින් සඳහන් කර තිබුණා.

එය උපුටා ගනිමින් අද (19) පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් හිටපු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.

එවිට එම ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු සැපයූ හිටපු අමාත්‍ය සරත් වීරසේකර කියා සිටියේ, එම සුඛෝපභෝගී රථය රාජ සන්තක කරගැනීමෙන් අනතුරුව විශේෂ කාර්යය බලකායට පවරා ඇති රථයක් බවයි.

එය තමන් භාවිතා නොකළ බවත් ඔහු අවධාරණය කළා.

කෙසේවෙතත් නැවතත් ප්‍රශ්න කළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විමසා සිටියේ, සහරාන් හෂීම්ට එරෙහිව නඩු කටයුතු රාශියක් ක්‍රියාත්මක වෙද්දී ඔහු විසින් භාවිත කළ චංචල, නිශ්චල දේපොළ නඩු භාණ්ඩ බවට පත් ව තිබිය දී, අමාත්‍යවරයෙකු නඩු භාණ්ඩයක් වන වාහනයක් භාවිත කරන්නේ කෙලෙස ද ? යන්නයි.

***************************************

සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක්

(19.04.2022 – 14:13 +0530 – hirunews.lk/sinhala)

සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් මේ වන විට දක්නට ලැබෙන බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පසුගිය කාලයේ සංචාරකයින්ගේ පැමිණීම 4000 ත්, 5000 ත් අතර මට්ටමේ පැවති බවයි.

එහෙත් රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් දිනකට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව 1000 ත්, 2000 ත් අතර මට්ටම දක්වා පහත වැටී ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළා.

මේ වසරේ ආරම්භයේ සිට මාර්තු 18 දක්වා සංචාරකයින් 3,29,095 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා ෴

***************************************

ඇතැම් රෝහල්වල හදිසි නොවන සැත්කම් කල් දැමේ

(19.04.2022 – 15:09 +0530 – hirunews.lk/sinhala)

ඇතැම් රෝහල්වල දින නියම කරන හදිසි නොවන සැත්කම් සිදු කිරීම කල් දැමීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා කියා සිටියේ ඖෂධ ලබාගැනීමේ ගැටලුවත් සමඟ පවතින තත්වය කළමනාකරණය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.

එසේම රෝහල් පද්ධතිය තුළ මේ වනවිට නොමැති ඖෂධ සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යවරයා අද (19) පාර්ලිමේන්තුවේදී පැහැදිළි කිරීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ අත්‍යවශ්‍ය ඖෂධ 646 න් 37 ක් මේ වනවිට නොමැති බවයි ෴

***************************************

නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළට

(19.04.2022 – 10:35 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මාර්තු මාසයේ මෙරට නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පෙර මාසයට සාපේක්ෂව 57.8 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.

උත්සව සමයේ ඉල්ලුම ඉහළ යාම සමඟ නිෂ්පාදන, නව ඇණවුම් සහ සේවා නියුක්තිය ඉහළ යාම ඊට හේතු වී තිබෙනවා.

විශේෂයෙන් රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයේ නව ඇණවුම් සහ නිෂ්පාදනය ඉහළ යාම කැපී පෙනෙන අතර, අලුත් අවුරුදු සමයේ ඉල්ලුමට සරිල සේ ආහාරපාන නිෂ්පාදන අංශයේ ඇණවුම් ද ඉහළ ගොස් ඇති බව සඳහන්.

කෙසේ නමුත් සැපයුම් අංශයේ සීමා ඊට බලපා ඇති අතර, මාර්තු මාසයේ නිෂ්පාදන අංශයේ ක්‍රියාකාරකම් වර්ධනය වී ඇත්තේ සාපේක්ෂව අඩු වේගයකින් ෴

***************************************

ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය හේතුවෙන් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට කෙරුණු ලූණු අපනයනය පහත වැටේ

(19.04.2022 – 13:01 +0530 – hirunews.lk/sinhala)

මෙරට මූල්‍ය අර්බුදය හේතුවෙන් ඉන්දියාවේ ලූණු අපනයනය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බව එරට අපනයනකරුවන් පවසනවා.

‘ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස්’ නමැති ඉන්දීය ව්‍යාපාරික පුවත්පත පෙන්වා දෙන පරිදි සතියකට ටොන් 5000 ක් පමණ වන ලූණු අපනයනය දැන් සටහන් වන්නේ ටොන් 1500 ක් ලෙසයි.

එමෙන්ම පසුගිය දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට සිදු කරන ලද ලූණු අපනයනයන්ට අදාළ ගෙවීම් මෙතෙක් නොලැබී ඇති බවද ඉන්දීය අපනයනකරුවන් පෙන්වා දෙන කරුණක්.

බංග්ලාදේශයේ දේශීය ලූණු වගාව දිරි ගැන්වීම ද මෙලෙස ඉන්දියාවේ ලූණු අපනයනය පහත වැටීමට තවත් හේතුවක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *