අයි.එම්.එෆ්. සමග සාකච්ඡා අද (08) රාත්‍රියේ සිට කඩිනම් කෙරේ

අයි.එම්.එෆ්. සමග සාකච්ඡා අද (08) රාත්‍රියේ සිට කඩිනම් කෙරේ

*********************************************

අයි.එම්.එෆ්. සමග සාකච්ඡා අද (08) රාත්‍රියේ සිට කඩිනම් කෙරේ

(08.04.2022 – 19:29 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තාක්ෂණික සාකච්ඡා ආරම්භ කර ඇති අතර, එය අද (08) රාත්‍රියේ සිට ම එහි ක්‍රියාවලිය කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව අද (08) රාත්‍රියේ සිට මෙරට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයන්ට විසඳුම් සොයා අයි.එම්.එෆ්. තාක්ෂණික සහාය ලබා ගැනෙනු ඇති.

මේ අතර, ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු ප්‍රමාණවත් ලෙස සිදු වී නොමැති බැවින් ඊට අදාළ කටයුතු සඳහා කඩිනමින් මැදිහත් වන බව මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කරනවා.

***************************************

විය යුත්තේ කුමක්ද? – මහ බැංකු අධිපති කෙලින්ම කියයි

(08.04.2022 – 22:42 +0530 – sinhala.adaderana.lk)

රටක ආර්ථිකයක් එසැනින් හැරවීමක් සිදු කිරීමට කිසිඳු පුද්ගලයෙකුට නොහැකි බව නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

අද (08) මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා පෙන්වා දුන්නේ ජනතාවට තවත් කාලයක් ඉවසීමෙන් සිටීමට සිදුවන බවය.

“ආර්ථිකයක් එකපාර හරවන්න කිසිම පුද්ගලයෙක්ට මොනවා කළත් බෑ. අපේ ආර්ථිකය තියෙන්නේ ප්‍රපාතයකට යන වාහනයක් වගේ.”

මුලින්ම කරන්න ඕනේ මේක පල්ලමට යන එක නවත්වන්න ඕනේ. ඒක පල්ලමට ගියොත් විනාශයක් වෙන්නේ. එහෙම නැතුව ඒක එකපාරම අනෙක් පැත්ත හරවන්න බෑ.”

“ඒක මුලින්න කියන්න ඕනේ. එහෙම නැතුව අනවශ්‍ය බලාපොරොත්තු ඇති කරන්න කැමති නෑ මම.”

“කරන්න බැරි දේවල් කියලා කරන්න පුළුවන් දේවල් විතරයි කතා කරන්නේ.”

“ජනතාවට තවත් කාලයක් ඉවසීමෙන් ඉන්න වෙනවා. මට ලොකු විශ්වාසයක් තියෙනවා මේක අනෙක් පැත්තට හරවන්න පුළුවන් කියලා. මේක ඉක්මණින්ම උඩට ගේන්න දේශපාලන ස්ථාවරත්වය අත්‍යවශ්‍යයි. සමාජ ස්ථාවරත්වය අත්‍යවශ්‍යයි. නමුත් දැනට පවතින්නේ මේ දෙකේම අස්ථාවරබවක්.”

“ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජනාධිපතිතුමා මීට මාසෙකට කලින් අනුමැතිය දීලා තිබුණට ඒ සම්බන්ධයෙන් කටයුතු කෙරිලා තිබුණේ නෑ මෙතෙක්.”

“මුදල් ප්‍රතිපත්තිය සහ මහ බැංකුවේ අරමුණ ක්‍රියාත්මක කරද්දි මුළු රටෙන්ම නොම්බර එකේ ඉන්නේ මහ බැංකුවේ අධිපති. කොහොම වුණත් මට කැබිනට් වරප්‍රසාද අවශ්‍ය නැහැ. ඒක මට අදාළ දෙයකුත් නෙමෙයි.”

***************************************

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අවුල නොසඟවා ජනතාවට පැහැදිලි කළ යුතුයි – මහබැංකු අධිපති

(08.04.2022 – 23:00 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වනවිට පවතින්නේ දැඩි අභියෝගාත්මක සහ දුෂ්කර අවස්ථාවක බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

අද (08) රාත්‍රියේ සියලුම මාධ්‍ය නාලිකා ආවරණය කරමින් නව මහබැංකු අධිපතිවරයා ප්‍රමුඛ මහබැංකුවේ මුදල් මණ්ඩල කමිටුවේ ප්‍රධානත්වයෙන් පැවති ‘ආර්ථික අර්බුදයේ හදිසි අවස්ථාව’ යන මැයෙන් පැවති සංවාදයට එක්වෙමිනුයි මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ.

රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට නම් විවිධ අවස්ථාවලදී අසීරු මෙන් ම දැඩි තීරණ ගැනීමට මහබැංකුවට මෙන් ම මුදල් අමාත්‍යාංශයට සිදු වන බව මහබැංකු අධිපතිවරයා අවධාරණය කළා.

ආර්ථික අවපාතයක් තුළ ජනතාව දැවැන්ත පීඩාවලට මුහුණදෙමින් සිටින අතර, මේ මොහොතේ සිදු කළ යුතු පළමු කාර්යය වන්නේ රටේ වත්මන් තත්ත්වය ඇති සැටියෙන් යථාර්ථයෙන් ජනතාවට නොසඟවා හෙළි කිරීම බවයි ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ.

කිසිම විටෙක ගැටලුවක් නොමැති බව පවසමින්, අර්බුදයට ඇඳ වැටුණු විට අර්බුදයක් පවති යැයි ජනතාවට පැවසීමෙන් තේරුමක් නැති බව ද හෙතෙම සඳහන් කළා.

ශ්‍රී ලංකාව තුළ හටගෙන ඇති පීඩාකාරී උද්ධමනය අවම කිරීමට සහ වැටුණු ආර්ථිකය සවිමත් කරමින් ගොඩගැනීමට හැකියාවක් ඇති බව තමන්ට විශ්වාසයක් පවතින බවයි මහබැංකු අධිපතිවරයා සජීවී සංවාදයට එක්වෙමින් කියා සිටියේ.

එමෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තාක්ෂණික සහාය ලබා ගන්නා ආකාරය සහ ඊට දීර්ඝ කාලයක් ගතවන ආකාරය පිළිබඳ පැහැදිලි අර්ථ දැක්වීමකට ගිය ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙරට ණය ප්‍රතිව්‍යූහගත කරන ආකාරය ද සමාජයේ ප්‍රායෝගික උදාහරණ දෙමින් විස්තර කළා.

මේ අතර, රටේ ආර්ථික වියවුල පහසුවෙන් ලිහා ගැනීමට මේ මොහොතේ ගත හැකි සහ ගත යුතු වඩාත් සුදුසු ම සහ යෝග්‍යතම විසඳුම වන්නේ අපනයන නිෂ්පාදන ආර්ථිකය දියුණු කිරීමට වඩා වියදම අවම කර ගැනීම බවයි.

එනම්, ආර්ථික උපායමාර්ගික විශේෂඥ මහාචාර්ය එම්. තිලකසිරි සඳහන් කළේ, කෙටි කාලීන විසඳුමක් ලෙස මේ මොහොතේ රටේ අනවශ්‍ය වියදම් අවම කරමින්, වියදම් තුලනය කොට, රටේ ආර්ථික වියදම අවම මට්ටමකට ගෙන ඒම ආර්ථිකය යම් තරමකට පණගසා ගොඩගැනීමට කළ යුතු කදිම උපාය මාර්ගයක් බවයි.

මන්ද රටක ආර්ථිකය ගොඩගැනීමට දායක වන නිෂ්පාදන නැංවීම කෙටි කලකදී සිදු කළ හැක්කක් නොවන අතර, ආදායම වැඩි කර ගැනීම දිගු කාලීන ව්‍යාපෘතියක ප්‍රතිඵල නෙලා ගැනීමක් බව ද හෙතෙම පැවසුවා.

මෙරට ආදායමට වැඩි වියදමක් පැවතීම හේතුවෙන් තවමත් අයවැයෙහි හිඟයක් පවතින බව මෙම සංවාදයට එක්වෙමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එම්. සිරිවර්ධන සඳහන් කළා.

ආයෝජන සිදු කිරීමේ දී රටේ ප්‍රාග්ධනයට මුදලක් එක්වන ආයෝජන පමණක් සිදු කිරීමට තෝරාබේරාගෙන කටයුතු කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළා.

***************************************

මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදීවත් අන්තර්කාලීන පාලනතන්ත්‍රයක් පිහිටුවා අයාලේ යන රට පාලිත තත්වයට ගෙන ඒමට අපට බැරිනම් මහජන නියෝජිතයන් ලෙස අප 225 දෙනා පාර්ලිමේන්තුව තුළ ඉන්නේ ඇයි ? – ජානිපෙ නායක විමල් වීරවංශ

(08.04.2022 – 15:02 +0530 – lankaleadnews.com)

මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදීවත් අන්තර්කාලීන පාලනතන්ත්‍රයක් පිහිටුවා දිනෙන් දින අස්ථාවර වෙමින් පවතින රට පාලිත තත්ත්වයට රැගෙන ඒමට නොහැකි නම් මහජන නියෝජිතයන් 225 දෙනා පාර්ලිමේන්තුව තුළ සිටින්නේ කුමකටදැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා :

“මේ දවස් දෙකක විවාදය අවසානයේ ලැබෙන පිළිතුර කුමක් ද, කියන ප්‍රශ්නය ජනතාවගේ හදවත් තුළ තිබෙනවා. කාටවත් අයිතියක් නැහැ ‘තැටිය රත් වුණු වෙලාවෙ රොටිය පුච්චා ගන්න’. නමුත් අඩුවැඩි වශයෙන් බොහෝදෙනකු බලන්නේ අර්බුදය තමන්ගේ අවස්ථාවක් බවට පරිවර්තනය කර ගන්න. අර්බුදය අවස්ථාවක් බවට පරිවර්තනය කර ගන්න ඕනේ ජනතාවට ජයග්‍රහණ ලැබෙන පරිදියි.

අවලස්සන ඇමරිකානුවාගේ දේශපාලන මැච් එක

අමාත්‍ය ධුර දරන අවස්ථාවේදී අපි දිගින්දිගටම පෙන්වා දුන්නා මෙවැනි අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව. කල්තියා අවශ්‍ය පියවර ගත්තා නම් අර්බුදය මේ තත්ත්වයට මෝරන එක සමනය කරගත හැකිව තිබුණා. නමුත් ද්විත්ව පුරවැසියා, ඒ අවලස්සන ඇමරිකානුවා අප ඉදිරිපත් කළ කිසිම කරුණක් සැලකිල්ලට ගත්තේ නැහැ. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට සූදානම් වෙනවා. නමුත් මේ අවලස්සන ඇමරිකානුවා එදා කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයා යුත්තේ ඇයි?’ කියා පැහැදිලි කිරීමට. කැබිනට් මණ්ඩලයේ ඇතැම් අමාත්‍යවරුන් මූල්‍ය අරමුදලට යායුතු බවට යෝජනා කළාට පසුවයි ඔහු මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ. ඔහුට ඕනෑ වුණා මේ අර්බුදය උත්සන්න කරලා ඒක ඇතුලේ එයාගේ ‘දේශපාලන මැච් එක’ ගහන්න. එයාගේ දේශපාලන මැච් එක තමයි, ‘ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එපා වෙලා මේක දාලා ගියාම, මහින්ද රාජපක්ෂ මැතිතුමා අතේ තිබෙන අගමැතිකමත් අරගෙන එයා ජනාධිපති වීම, මුළු බලයම එයා අතට ගැනීම. එසේ ආත්මාර්ථකාමී පරමාර්ථයෙන් මේ අර්බුදය දිහා බලපු නිසා තමයි මෙවැනි තත්ත්වයකට රට අද දැමුණේ.

නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි,

විදුලිය කපා හැරීම් නිසා, අමුද්‍රව්‍ය ආනයනය කිරීමට නොහැකි නිසා දැනටමත් කර්මාන්ත ශාලා වැසෙමින් තිබෙනවා. රැකියා දහස් ගණනින් අහිමි වෙමින් තිබෙනවා. මේකයි අපේ ඉතිහාසයේ කතාව තුළ අපේ රටවැසියාට ඉතාමත් අවාසනාවන්ත කොන්දේසි යටතේ මුහුණදීමට සිදුව ඇති සිංහල – හින්දු අලුත් අවුරුද්ද. ‘අර්බුදය උත්සන්න වන එකේ වාසිය අපටයි. ගෙඩිය වැටෙන්නේ අපේ මඩිස්සලේටයි. අර්බුදය තවතවත් උත්සන්න වේවා!’ කියා ප්‍රාර්ථනා කරමු ද? එහෙම නැතිව මේ අර්බුදය පියමන් කිරීමේ අතරමැදි වැඩපිළිවෙළකට අපි කවුරුත් එකඟ විය යුතු නැද්ද? අරාජිකත්වයෙන් වාසි සැලසෙන්නේ අන්තවාදී කල්ලි කණ්ඩායම්වලට මිසක් ප්‍රබුද්ධ සමාජ බලවේගවලට නොවෙයි. ඒ නිසා අරාජිකත්වයට වැටෙන්න නොදී මේ රට ආරක්ෂා කර ගැනීමේ වගකීමෙන් අපි කාටත් මිදෙන්න බැහැ.

කෙටිකාලීන උත්තරයක්

මට පෙර අදහස් දැක්වූ රවුෆ් හකීම් හිටපු ඇමැතිවරයා පැවසුවා, ‘දැන් ඇමති මණ්ඩලයක් නැහැ’ කියා. ජනාධිපතිවරයා ඇමති මණ්ඩලයක් පත් නොකර ඉන්නේ මේ පාර්ලිමේන්තුවෙන් සුදුසු විසඳුමක් අපි, තමුන්නාන්සේලා ඉදිරිපත් කරයි, කියා හිතලා වෙන්නත් පුළුවන්. එසේ හිතුවත්, නැතත් අපට වගකීමක් තිබෙනවා සුදුසු විසඳුමක් ඉදිරිපත් කිරීමට. අපට පුළුවන්කම තිබෙන්න ඕනේ අපේ මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරලා අපේ විදේශ වත්කම් සංචිතයට ඩොලර් බිලියන 04 – 05 ක් එකතු කරගන්න. මේ අර්බුදයෙන් එළියට එන්න ඒ වගේ කෙටිකාලීන උත්තරයක් තමයි තිබෙන්නේ. තිබුණු ආණ්ඩුවට ඒ සඳහා හැකියාවක් තිබුණේ නැහැ. ඒ ආණ්ඩුවට ජාත්‍යන්තර විශ්වාසය තිබුණේ නැහැ. අපේ රටට කැමැත්තෙන් සිටි ජපානය, චීනය වැනි රටවලුත් තරහ වුණා.

පළමු කොන්දේසිය

ඒ නිසා විසඳුමකට යාමේදී පළමු කොන්දේසිය වන්නේ අග්‍රාමාත්‍යවරයාගේ සිට හිටපු අමාත්‍ය මණ්ඩලය ඉවත් වීමයි. ඉන්පසු අපි නව අන්තර්කාලීන පාලනතන්ත්‍රයක් පිහිටුවිය යුතුයි. ඒ අන්තර්කාලීන පාලනතන්ත්‍රය සියලු පක්ෂ නියෝජනය කරන එකක් විය යුතුයි; එම පාලනතන්ත්‍රය කඩිනමින් අපේ විදේශ වත්කම් සංචිතයට මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කොට ඩොලර් බිලියන 04 – 05 ක් එකතු කළ යුතුයි. විදේශ වත්කම් සංචිතය ශක්තිමත් වුවහොත් ශ්‍රී ලංකාවට ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට එන්න පුළුවන්. ශ්‍රේණිගත කිරීම්වලින් අපි ඉහළට ආවම ලෝකයේ අනෙකුත් මූල්‍ය ආයතන අපේ රටත් සමග ගනුදෙනු කිරීමට දැන් වගේ බිය වන්නේ නැහැ. දැන් අපේ රටේ රාජ්‍ය බැංකුවකට වෙනත් රටක බැංකුවකින් ණය ගන්න බැහැ. ඩොලර් හිඟයක් ආවාම වෙනදා පිටරට බැංකු මගින් ණය ගන්නවා. දැන් ණය දෙන්නේ නැහැ. එනිසා මුලින්ම කළ යුත්තේ අපේ රටේ විදේශ විනිමය සංචිතය ශක්තිමත් කිරීම.

දැන් ඒ පරිච්ඡේදය අවසන්

හරීන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යතුමන් මේ හා සම්බන්ධ අදහසක් ඊයේ පවසලා තිබුණා. මම මෙහිදී කනගාටු වෙනවා, අවලස්සන ඇමරිකානුවා විසින් ඔහුගේ සහෝදරයා මහින්ද රාජපක්ෂ මැතිතුමන්, මෙවැනි තත්ත්වයකට ඇද දැමීම පිළිබඳව. දැන් ඒ පරිච්ඡේදය අවසන්. ඒක අපි පිළිගන්න ඕනේ. මහජන විශ්වාසය හදන්න බැහැ තවදුරටත් ඒවා එල්ලාගෙන. පක්ෂ විපක්ෂ කාටත් අද මේ අවස්ථාවේ කර හරින්න බැහැ. රට තුළ මෙවැනි ආපදා තත්වයක් ඇතිවුණාම එයින් වාසි ගන්නේ වෙනත් රටවල්, වෙනත් බලවේග.

අද පාරට බැහැලා ඉන්නා දරුවන් අතර බොහෝදෙනෙකු ඉන්නවා ජාත්‍යන්තර පාසල්වල ඉගෙනගත්තු අය. අද අභියෝගය එල්ල වෙලා තිබෙන්නේ ඒ අයගේ මධ්‍යම පාන්තික ජීවිතවලට; ඔවුන්ගේ ජීවන රටාවට. ඒක තමයි ඔවුන් අද බෝඩ් එකක් අරන් පාරට ඇවිල්ලා පෙන්වන්නෙ. ඒ නිසා ඒ හැමකෙනාටම එකඟවිය හැකි විසඳුමක් තමයි අපි ඉදිරිපත් කළ යුතුව තිබෙන්නේ. මම හිතනවා මේ ගැන ප්‍රබුද්ධව හිතන ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා මා සමග එකඟවෙයි, කියා. අපි මෙතැනදී දේශපාලන තීන්දු ගන්න ගියොත් තීන්දු ගන්න නොවෙයි කිසිවක් කරගන්න අපට රටක් ඉතිරි වන්නේ නැහැ. එහෙම වුණොත් මේ අර්බුදය ව්‍යසනයක් දක්වා ගිහින් කොතැනින් කෙළවර වෙයිද කියා අපි කාටවත් කියන්න බැහැ. කවුරුහරි හිතනවානම් මේ අර්බුදය, ව්‍යසනයක් දක්වා ගිහින් තමන්ට ‘පාර කැපෙයි’ කියා එය මුලාවක්. නුඹලාට පාර කැපෙන්නේ දේශපාලන කනත්තට බව තරයේ සිහියේ තබා ගන්න.

නිකම්මු

මේ වෙලාව මුළුමහත් ජනීජනයා අප දිහා බලා ඉන්න වෙලාවක්. ‘ඇයි මේක ගොඩදාගන්න බැරිද, ගොඩදාගන්න පුළුවන් ටිකක් ඔතැන නැද්ද, මුන් ටිකට එකතු වෙන්න බැරිද?’ කියන ප්‍රශ්න ටිකයි අද මහජනතාවගේ හදවතේ ඇවිලෙන්නේ. මේ ප්‍රශ්නවලට උත්තර නොදී මග හැර යන සියලුදෙනා මේ අර්බුදය වර්ධනය වීමට ඉඩහැරලා බලන් ඉන්න ‘නිකම්මු’ කියලයි මට කියන්න තිබෙන්නේ. මේ වගේ අර්බුදකාරී අවස්ථාවකවත් අපට බැරිනම් අන්තර්කාලීන පාලනතන්ත්‍රයක් පිහිටුවලා මේ අයාලේ යන රට, පාලිත තත්වයකට රැගෙන එන්න ඇයි අපි 225 මෙතැන ඉන්නේ?

ජාතික වගකීම : යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?

මහජනතාව, මහජන නියෝජිතයන් ලෙස අපි මෙතැනට එව්වේ මෙවැනි ව්‍යසනයක් සිදුවන විට කතා පවත්වමින් ආතල් දෙන්න ද? මම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්නේ නැහැ. නමුත් අපට ජාතික වගකීමක් තිබෙනවා දේශපාලන මතභේද, ප්‍රතිපත්තිමය වෙනස්කම් අපි අතර තිබුණත් කවර දේශපාලනයක් හෝ කරන්න අපට මේ රට ඉතිරිව තිබිය යුතුයි. මේ අර්බුදය, ව්‍යසනයක් දක්වා වැඩුණාම පාලන සුක්කානම අපි අතින් ගිලිහෙනවා. එය නතර වන්නේ අපි කවුරුත් හිතන තැනකින් නොවෙයි.

අද රටේ හැමතැනම සටන්. අද යළිත් සංචාරකයෝ එන එක නතර වෙලා. බ්‍රිතාන්‍යය – ඇමරිකාව ‘යන්න එපා! ශ්‍රී ලංකාව අනතුරුදායකයි’ කියන නිවේදනය නිකුත් කර අවසන්. රටට ඩොලර් පොඩ්ඩක් හරි එන මාර්ගයත් වහලා අපිට කාලකන්නි සන්තෝෂයක් ලබන්න පුළුවන්ද? වැඩපිළිවෙළක් සකසා, එය ක්‍රියාත්මක කිරීමට අප සියලුදෙනා එකතුවෙලා අන්තර්කාලීන පාලනතන්ත්‍රයක් හදමු. ආණ්ඩුව එයයි කළ යුත්තේ. විපක්ෂය වෙනත් ‘වැල් බයිලා’ නොකියා එය දිරිගැන්වීමයි කළ යුත්තේ. ‘අපි ප්‍රායෝගික වෙමු! අර්බුදයකදී ඉන් ඵල ප්‍රයෝජන ගන්නා අවස්ථාවාදීන් නොවෙමු! අපි හැමෝම මෙම අර්බුදයට විසඳුම් සෙවීමට එකතු වෙමු! කියන ඇරයුම කරමින් මා නිහඩ වෙනවා.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ,
2022/04/07

***************************************

අර්බුදය විසදීම සඳහා නිශ්චිත යෝජනා මහජනයාට ඉදිරිපත් නොකරන්නේනම් සර්වපාක්ෂික හෝ අන්තර්කාලීන ආණ්ඩු වැඩක් නැහැ – ජාතික සංවිධාන කියයි

(08.04.2022 – 18:34 +0530 – lankaleadnews.com)

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදීම සඳහා යෝජනා මාලාවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ පාර්ශව ක්‍රියාකරමින් සිටින බවට ලැබෙන ආරංචි පිළිබඳව ‘ලංකා ලීඩ්’ ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්.

“සර්ව පාක්ෂික ආණ්ඩු හදන්න කාටවත් ජනවරමක් ලැබී නැහැ. පළමුව කළයුත්තේ ආණ්ඩුවේ පාර්ශව එක්ව අර්බුදය විසඳන ආකාරය පිළිබඳව නිශ්චිත යෝජනා රටට ඉදිරිපත් කිරීමයි. එම යෝජනාවලට විපක්ෂය කැමතිනම් ඊට සහයදීම ඔවුන්ගේ යුතුකමක්. එසේ නැතිනම් ඔවුන්ගේ විකල්ප යෝජනා රටට ඉදිරිපත් කළ යුතුයි. එසේ නොමැතිව ඔළුගොඩි මාරු කිරීමෙන් හෝ ඊනියා විද්වත් මණ්ඩල පත් කිරීමෙන් මහජනයා ගොනාට අන්දවන්න ලැබෙන්නේ නැහැ. ‘වැඩ පිළිවෙලක් රටට ඉදිරිපත් නොකරන්නේනම් අන්තර්කාලීන ආණ්ඩුවකින් ප්‍රශ්නය විසදන්න බැහැ’ කියන මතයේ අප සිටින්නේ.

ඒ සියල්ලටම වඩා මේ වෙලාවේ ජනපතිගේ බලතල කාප්පාදු කිරීමේ නාමයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට එකඟ වීම මාරාන්තික වරදක් විය හැකියි. ඒක අස්සට 13 බලාත්මක කරන යෝජනා 2-3 ඇතුල් කිරීමට ඉඩ තියෙනවා. එහොම වුණොත් ඒක මහා පාවාදිමක්.”

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *