ජනපති හදිසියේ පැනවූ ‘හදිසි නීතිය’ යනු සැබවින් ම කුමක්ද ?

ජනපති හදිසියේ පැනවූ ‘හදිසි නීතිය’ යනු සැබවින් ම කුමක්ද ?

*********************************************

ජනපති හදිසියේ පැනවූ ‘හදිසි නීතිය’ යනු සැබවින් ම කුමක්ද ?

(02.04.2022 – 06:53 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය පනවන බව ප්‍රකාශ කිරීමත් සමඟ, ඒ ගැන කතා බහක් සමාජය තුළ මේ වනවිට ඇති වී තිබෙනවා.

Extraordinary Gazette :
2273/86 – 2022-04-01 – Presidential Secretariat – Public Security Ordinance (Chapter 40)

නමුත් බොහෝ දෙනෙකුට හදිසි නීතිය යනු කුමක්දැයි යම් අදහසක් ඇතත්, ඒ පිළිබඳව විග්‍රහයක් කිරීමට තරම් අවබෝධයක් නැති තරම් ය.

සැබවින්ම හදිසි නීතිය කියා වෙනමම නීතියක් පවතිනවා ද ?

නැත්නම් ඒ හදිසියේ පනවන නීතියක් ද?

මේ ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන විග්‍රහයක්…,

අපරාධ නඩු විධාන සංග්‍රහය, සාක්ෂි ආඥා පනත, දණ්ඩ නීති සංග්‍රහය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක්ව ගත් කළ ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති පසිඳලීමේ ක්‍රමයේ කොඳු නාරටිය ලෙස මෙම අංශ හඳුන්වනවා.

හදිසි අවස්ථාවකදී හදිසි අවස්ථා බලතල යොදා ගැනීමට සහ යම් යම් අයිතිවාසිකම් සීමා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් විධිවිධාන සලසා ඇති ආකාරය සියලුම දෙනා දන්නා කාරණයක්.

නිදහස ලැබීමට පෙර පනවන ලද මහජන ආරක්ෂක ආඥා පනත මගින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමට සහ එහි 5 වන වගන්තිය යටතේ මහජන ආරක්ෂාව වෙනුවෙන් හෝ මහජන සාමය පවත්වාගෙන යාම සහ කැරැල්ලක් මැඩපැවැත්වීම හෝ ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන සැපයුම් සහ සේවාවන් පවත්වාගෙන යෑම සඳහා හදිසි අවස්ථා රෙගුලාසි පැනවීමට ජනාධිපතිවරයාට (එවකට අග්‍රාණ්ඩුකාරවරයාට 1948 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මෙම ධුරය අවසන් වරට මෙරට තුළ ක්‍රියාත්මක විය.) බලය පැවරුණා.

මහජන ආරක්ෂක පනතේ 5 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් පනවනු ලබන හදිසි නීති රෙගුලාසි වලංගු වන්නේ මාසයක (1) කාලයක් සඳහා පමණක් වන අතර, ඒවා වලංගුව තබා ගැනීම සඳහා මාසයකට (1) වරක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුයි.

මහජන ආරක්ෂක පනත යටතේ තවත් විශේෂ බලතල සමූහයක් ද ජනාධිපතිවරයාට පැවරී තිබෙනවා.

ඒ අතර පැවරී ඇති බලතල ප්‍රකාරව අතර, 12 වන වගන්තිය මගින් සන්නද්ධ හමුදා රාජකාරි සඳහා කැඳවීමේ බලය ද, 16 වන වගන්තිය යටතේ ඇඳිරිනීතිය පැනවීමේ බලය ද, 17 වන වගන්තිය යටතේ යම් යම් සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කිරීමේ බලය ද ජනාධිපතිවරයා සතුවනවා.

හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබුණ ද නොතිබුණ ද මෙම විශේෂ බලතල ක්‍රියාත්මක කළ හැකිවීම ද 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලබා දී ඇති බලයක්.

මීළඟට අප සලකා බැලිය යුත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත පිළිබඳවයි.

එය සෘජු ලෙස හදිසි නීතියක් නොවුණත් එය හදිසි නීතියට ගැනෙන්නක්.

වර්ෂ 1979 දී මෙම පනත පනවන ලද්දේ උතුරු පළාතේ ඇති වූ ප්‍රචණ්ඩත්වය මර්දනය කිරීමට වන අතර, මෙම පනතෙහි ආරක්ෂාවට අදාළව පුළුල් වැරදි රැසක් ඇතුළත් කොට ඇති අතර එමගින් සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම සඳහා ද පුළුල් බලතල ලබා දී තිබෙනවා.

ඒ අනුව හදිසි අවස්ථාවක් යනුවෙන් අර්ථකථනය කරන්නේ අනතුරක් සම්බන්ධයෙන් කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයන්හි දී ලබානොදෙන අයුරින්, එකී බලතල; රජයට ලබාදෙමින්, තර්ජනයක් අනතුරක් හෝ ව්‍යසනයක් පැහැදිලි ලෙස ම පවතින තත්ත්වයක් තුළ දී එය පාලනයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනරජයේ සේනාධිනායකයාට නොහොත් සත්‍ය විධායකයට පැවරී ඇති උපරිම බලයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

මෙවැනි තත්ත්වයක දී ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම සහතික කිරීම පිණිස හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතලයයි.

මෙම අවස්ථාව මහජන ආරක්ෂක පනතේ ද විස්තර කෙරෙන්නේ ඒ අයුරිනි.

එමෙන්ම නිවේදනයක් මගින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ තනි කරවූ අභිමතානුසාරී බලය ජනාධිපතිවරයා සතුව පවතිනවා.

එය 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වගන්තිය යටතේ පැවරෙන අතර එම නිවේදනයන් පාර්ලිමේන්තුව වෙත සන්නිවේදනය කළ යුතු වනවා.

ඒ සඳහා ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව කැඳවිය යුතු වනවා.

හදිසි අවස්ථා තත්ත්වයන් ප්‍රකාශයට පත් කිරීම අධිකරණයක දී අභියෝගයට ලක් කළ නොහැකියි බවයි ව්‍යවස්ථා නීතියේ දැක්වෙන්නේ.

හදිසි අවස්ථා තත්ත්වයක් මාසයක (1) කාලයක් සඳහා ජනාධිපතිවරයාට නිකුත් කිරීමට බලය පැවරී තිබෙනවා.

මාසයක් ගතවීමට පෙර එය අවලංගු කිරීමට ද අවස්ථාව ඇත්තේ ජනාධිපතිවරයාටය.

දින 14 ක් ඇතුළත එම නිවේදනය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුයි.

එය එසේ සිදු නොවුනහොත් නිවේදනය අවලංගු වනවා.

සෑම දින 30 කටම වරක් හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කළ හැකියි.

නමුත් එයට ද පාර්ලිමේන්තුවේ අනුමැතිය ද හිමි විය යුතු වනවා.

මෙම හදිසි නීතිය පැනවීම පුරවැසි අයිතිවාසිකම් කෙරෙහි දැඩි බලපෑම් එල්ල කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කරන ලද ඇතැම් මූලික අයිතිවාසිකම් සහ අනෙක් නීතීන්වලින් පැන නගින අයිතීන් ගණනාවක් වෙත හදිසි අවස්ථා රෙගුලාසි මගින් සීමා කිරීම පැනවෙනවා.

එමෙන්ම හදිසි නීතිය සහ ඇඳිරිනීතිය යනු විෂයයන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වන්නක්.

ඇඳිරිනීතිය පැනවීමට පොලිස්පතිවරයාට ද බලය හිමිව ඇති අතර, එහෙත් හදිසි නීතිය හෙවත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ හැක්කේ එකී ජනරජයේ සේනාධිනායකයාට හෙවත් විධායක බලතල හිමි එකී රජයේ ජනාධිපතිවරයාට හෝ අග්‍රාමාත්‍යවරයාටයි.

ඒ අනුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (01) සිට බලපැවැත්වෙන පරිදි මහජන ආරක්ෂාව තහවුරු කිරීම පිණිස පනවනු ලැබුවේ හදිසි නීතිය හෙවත් හදිසි අවස්ථා තත්ත්වය වන අතර, එම තත්ත්වය අප්‍රේල් මාසය තුළ ම ක්‍රියාත්මක වනු ඇති.

ශ්‍රී ලංකා ජනරජය ඒකීය ව්‍යවස්ථාවකට හිමිකම් කියනු ලබන රාජ්‍යයක් වන අතර, එහි විධායක බලතල හිමිව ඇත්තේ ජනාධිපතිවරයා වෙතය.

නමුත් මෙරට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රංශයේ මෙන් ඩිගෝල් ව්‍යවස්ථාවට අනුකූලව සකසමින් දෙමුහුන් ආණ්ඩුක්‍රමයක් ගොඩනැගීමට උත්සාහ කළ නිසා මෙහි ව්‍යවස්ථාදායක වගකියනු ලබන්නේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩයටයි.

ඒ සාමූහික වගකීමේ ප්‍රතිපත්තිය යටතේ යි.

ඒ අනුව මෙවන් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමේ දී දේශපාලන විධායකයේ ඇතැම් බලතල සමානව හිමිව ඇති කැබිනට් මණ්ඩලයට ද ඒ සඳහා අතපෙවීමේ අවස්ථාව එමටය.

ශ්‍රී ලංකාව තුළ නිදහසින් පසුව විවිධ අත්‍යවශ්‍ය අවස්ථාවන්හි දී හදිසි අවස්ථාව ක්‍රියාත්මක කෙරුණා.

ඒ අතර කුරිරු යුද්ධයක් පැවැති එල්.ටී.ටී.ඊ. යුද සමය, 1982 හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාසගේ පාලන සමයේ දී පැවති ජනමත විචාරණ අවස්ථාවේ දී ඇති වූ කලහකාරී මැතිවරණ සිදුවීම මෙන්ම, පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ දී හදිසි අවස්ථාවන් ප්‍රකාශයට පත් කෙරුණා.

ශ්‍රී ලංකාවේ පමණක් නොව, ලෝකයේ බොහෝ රාජ්‍යයන්වල යම් යම් අවස්ථාවල දී හදිසි නීතිය ක්‍රියාත්මක කර ඇති අයුරු මතක් කළ හැකියි.

ඒ අතර, මෙම වසරේ පෙබරවාරි මස දී ඇරඹුණු යුක්‍රේන – රුසියානු යුද අර්බුදයේ දී යුක්‍රේනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ජනාධිපති වොලොඩ්මීර් සෙලෙන්ස්කි පියවර ගත්තා.

එමෙන්ම කොවිඩ්-19 වසංගතයේ පළමු (1) රැල්ල තුළ දී නවසීලන්තය, චීනය ද රට සම්පූර්ණයෙන් ම වසා දමමින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ මහජන සුරක්ෂිතතාව ප්‍රමුඛ වන නිසයි.

1915-18 සහ 1939-1945 තෙක් අවස්ථා දෙකක (2) දී ඇවිළුණු පළමුවන (1) ලෝක යුද්ධය සහ දෙවැනි (2) ලෝක යුද්ධය පවතින අවස්ථාවලදී ද මිත්‍ර රාජ්‍යයන් සහ, මධ්‍යම බලවතුන්ගේ පිලට අයත් රාජ්‍යයන් ද තමන්ගේ රාජ්‍යයන් තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කළ අවස්ථා ඕනෑ තරම් පෙන්වා දිය හැකියි.

***************************************

ලාංකිකයින්ට සාමකාමී විරෝධතා කිරීමට අයිතියක් තියෙනවා – ශ්‍රී ලංකාවේ අමරිකානු තානාපතිනිය

(02.04.2022 – 11:22 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී ලෙස විරෝධතාවල නිරතවීමේ අයිතියක් පවතින අතර, එය, ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ප්‍රකාශ කිරීමේ අත්‍යවශ්‍ය අංගයක් බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චුන් පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වාතාවරණය පිළිබඳව තමන් පරීක්ෂාවෙන් පසුවන අතර, ඉදිරි දිනවලදී සියලු පාර්ශවයන් වෙතින් සාමකාමී පාලනය වූ තත්වයක් අපේක්ෂා කරන බවයි.

එමෙන්ම මෙරට ආර්ථික ස්ථාවර භාවය සහ පීඩාවට ලක්ව සිටින ජනතාවට සහනයක් හිමිවීම තම අපේක්ෂාව බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වන හැනා සිංගර් හම්ඩි ද මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණා.

එහිදී ඇය සඳහන් කළේ මෙරට වර්ධනයන් පිළිබඳව තමන් අධීක්ෂණයෙන් පසුවන අතර, ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් කණස්සල්ලට පත්වූ බවයි.

එමෙන්ම සියලු පාර්ශ්වයන් වෙතින් සියලු කණ්ඩායම් වෙතින් සංයමයක් අපේක්ෂා කරන බව ඇය සඳහන් කළා ෴

***************************************

මහජන හදිසි අවස්ථා තත්ත්වය ගැන ගැසට් නිවේදනය මසක් ඇතුළත පාර්ලිමේන්තුවට

(02.04.2022 – 13:32 +0530 – hirunews.lk/sinhala)

අද (02) සිට ක්‍රියාත්මක වන දිවයින පුරා මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මසක් (1) ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කළ යුතුයි. එසේ සිදු නොවුනහොත් එම නිවේදනය අවංලගු වනු ඇති.

රට තුළ මේ වනවිට ඇතිවී තිබෙන තත්ත්වය අනුව, ජාතික ආරක්ෂාව, මහජන සාමය, සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම සහතික කිරීම පිණිස මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයාට බලය පැවරී තිබෙනවා.

මෙම මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර අනෙක් ඕනෑම නීතීයක් අක්‍රීය කිරීමට ද හැකියාව පවතිනවා.

හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම, අධිකරණයේ දී අභියෝගයට ලක් කළ නොහැකි වීමද විශේෂත්වයක්.

මෙවැනි මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම මගින් රට තුළ නීතිය හා සාමය පවත්වා ගෙන යාමේ බලය පොලිසිය සහ හමුදාවන්ට පැවරෙන අතර, අවශ්‍ය අවස්ථාවල දී පොලිස් ඇඳිරි නීතිය පැනවීමට හැකියාව පවතිනවා.

එමෙන්ම, වරෙන්තු නොමැතිව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියට බලය ද හිමි වන බවයි ෴

***************************************

හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කිරීම අවලංගු කරන ලෙස ඉල්ලා නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

(02.04.2022 – 13:59 +0530 – hirunews.lk/sinhala)

හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රකාශය අවලංගු කරන ලෙසත්, ජනතා පරමාධිපත්‍යයේ අංගයන් වන මූලික අයිතිවාසිකම් වලට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම සහ රාජ්‍ය හෝ එහි නියෝජිතයින් විසින් උල්ලංඝනය නොකිරීම සහතික කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම ලිපිය : [පිටුව 1][පිටුව 2]

***************************************

ආණ්ඩු පක්ෂයේ රැස්වීමක්

(02.04.2022 – 08:06 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් අතර හමුවක් ඊයේ (01) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද එක්ව සිටි අතර රටේ පවතින ආර්ථික අර්බුදය සහ පෙරේදා මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට සිදු වූ විරෝධතාවය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.

පස්වරු 4:30 ට ආරම්භ වුණු සාකච්ඡාව රාත්‍රී 8:30 වන තෙක් පැවැත්වුණා ෴

***************************************

සන්සුන්ව කටයුතු කරන්නැයි ආගමික නායකයන්ගෙන් ඉල්ලීමක්

(02.04.2022 – 08:10 +0530 – hirunews.lk/sinhala)

සන්සුන්ව බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහ නායක දොඩම්පහළ චන්ද්‍රසිරි මහනාහිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පවතින තත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ දේශපාලනඥයන් කතාවෙන් නොව ක්‍රියාවෙන් ජන දුක නිවීමට මැදිහත්විය යුතු බවයි.

කළහකාරීව හැසිරීම රටේ කීර්ති නාමයට සුදුසු නොවන බවද මහ නා හිමියන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණා.

මේ අතර අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ද ඊයේ මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළා ෴

***************************************

දුම්රිය මැදිරි ආනයනයේදී වංචාවක් – දුම්රිය වෘත්තිය සමිති සන්ධානය කියයි

(02.04.2022 – 08:07 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් තාක්ෂණික අඩුපාඩු සහිත දුම්රිය මැදිරි ආනයනය කිරීම තුළ දැවැන්ත වංචාවක් සිදුව ඇති බවට දුම්රිය වෘත්තිය සමිති සන්ධානය චෝදනා නගනවා.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඇණවුම් කර අති දුම්රිය මැදිරි 160 න් 120 ක් මීට පෙර ආනයනය කෙරුණු අතර, එහි ඉතිරි මැදිරි 40 මේ වනවිට කොළඹ වරායට පැමිණ ඇති බවයි ඔවුන් අනාවරණ කළේ.

මෙම දුම්රිය මැදිරි නිදහස් කරගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව අපොහොසත්වී ඇති අතර, සෑම දිනයක් සඳහාම රුපියල් ලක්ෂ 39 ක මුදලක් රඳවා තැබීමේ ගාස්තුව ලෙස ගෙවීමට සිදුව ඇතැයි ද දුම්රිය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළා.

එහි සම කැඳවුම්කරු එස්.පී. විතානගේ වැඩිදුරටත් කියා සිටියේ මෙම මැදිරි ආනයනය කිරීම සිදුකර ඇත්තේ මෙරටට දුම්රිය මැදිරිවල අවශ්‍යතාවක් නොමැති පසුබිමක බවයි.

දුම්රිය වෘත්තිය සමිති මතුකරන මෙම කාරණය සම්බන්ධයෙන් අප දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් විමසීමක් කළා.

එහිදි ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් ගැටළු පවතින අතර, අමාත්‍යාංශයේ උපදෙස් අනුව කටයුතු කරන බවයි. කෙසේ වෙතත්, අදාළ දුම්රිය මැදිරි වගකීමේ කාලසීමාවේ පවතින බවද එම නිලධාරියා සඳහන් කළා ෴

***************************************

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මන්දගාමියි – මහ බැංකුව කියයි

(02.04.2022 – 08:35 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ජනවාරි මාසයේ අපනයන ආදායම නැවතත් ඩොලර් බිලියනය ඉක්මවුවද ආනයන වියදම් අඛන්ඩව ඉහළ යාම හේතුවෙන් වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල් වූ බව මහ බැංකුව පවසනවා.

සංචාරක ආගමනය ජනවාරි මාසයේදී ඉහළ ගිය අතර, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල මන්දගාමී බවක් දක්නට ලැබුණු බවයි එමඟින් වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදී පසුගිය වසරේ ජනවාරි මාසයේ වාර්තාවූ ඩොලර් මිලියන 655 ක වෙළඳ ගිණුමේ හිඟය මේ වසරේ ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 859 ක් දක්වා පුළුල් වී තිබෙනවා ෴

***************************************

ලක්ෂ ගණනක දුම්වැටි සමඟ පස්දෙනෙකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට

(02.04.2022 – 10:11 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 39 ලක්ෂයක් පමණ වටිනා දුම්වැටි තොගයක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා (5) පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (01) රාත්‍රි පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආසන්නයේදි ව්‍යාජ අංක තහඩු සහිත ලොරි රථ දෙකක් (2) පරීක්ෂා කිරීමේදී මෙම දුම්වැටි සහ සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

සැකකරුවන් වත්තල, කළුබෝවිල, කොළඹ 8, බේරුවල සහ මග්ගොන ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *