ආපනශාලාවල ආහාර ඉල්ලුම සියයට 50 කින් පහළට

ආපනශාලාවල ආහාර ඉල්ලුම සියයට 50 කින් පහළට

*********************************************

ආපනශාලාවල ආහාර ඉල්ලුම සියයට 50 කින් පහළට

(31.03.2022 – 09:11 +0530 – hirunews.lk/sinhala)

ආහාර මිල ඉහළ යෑම හේතුවෙන් ආපනශාලාවල ආහාර ලබා ගැනීම සඳහා පැවති ඉල්ලුම 50% කින් පමණ අඩු වී ඇති බව ආපනශාලාහිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ විදුලි කප්පාදුවද මෙම තත්ත්වයට බලපෑම් එල්ල කර ඇති බවයි.

මේ අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාළුම් 600 ක් පමණ තවදුරටත් වරාය තුළ සිරව ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සහල්, සීනි සහ පරිප්පු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙම බහාළුම් තුළ පවතින බවයි.

පරිප්පු සහ සීනි වැනි ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පවතින බවද ඔහු සඳහන් කළා.

ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සහ නැව් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමට වැඩි මුදලක් වැයවීමයි.

එමෙන්ම කිරිපිටි මිල ඉහළ දැමුවද වෙළඳපොලේ තවදුරටත් කිරිපිටිවල හිඟයක් පවතිනවා.

කිරිපිටි ආනයනකරුවන් සඳහන් කළේ, ඩොලර් නොමැතිවීම හේතුවෙන් මෙලෙස තවදුරටත් කිරිපිටි වෙළඳපොලට නිකුත් කිරීමට නොහැකි වී ඇති බවයි.

මේ අතර, අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව වාහන අළුත්වැඩියා කරන ස්ථානවල සේවකයින් ප්‍රකාශ කළා ෴

***************************************

මුදල් ඇමති සහ ඔසුසැල් හිමියන් අතර හමුවක්

(31.03.2022 – 09:14 +0530 – hirunews.lk/sinhala)

පවතින ඩොලර් අර්බුදය හමුවේ ඖෂධ ආනයනය සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එකඟතාවය පළ කළ බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන මේ බව ප්‍රකාශ කළේ, ඖෂධ හිඟය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමග ඊයේ (30) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් පසු අදහස් දක්වමින්.

පවතින ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ හිඟය සමග රජයේ රෝහල් රැසක ප්‍රතිකාර මෙන්ම රෝග පරීක්ෂණ කටයුතු වලට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.

ඇතැම් රෝගීන් සඳහන් කලේ ඔවුන්ට පෞද්ගලික ඔසුසැල්වලින් ඖෂධ මිල දී ගැනීමට සිදුව ඇති බවයි ෴

***************************************

පවුල් සෞඛ්‍ය සේවිකාවන් අද (31) සිට වර්ජනයක

(31.03.2022 – 09:16 +0530 – hirunews.lk/sinhala)

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයට අයත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් දිවයින පුරා අඛණ්ඩ වර්ජනයක් සහ මාරාන්තික උපවාසයක් අද (31) ආරම්භ කරනවා.

ඒ වසර 30 ක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද පවුල් සෞඛ්‍ය සේවිකාවන් විශේෂ ශ්‍රේණිය සඳහා උසස් කිරීම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇති බව පවසමින්.

මේ අතර, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය කොළඹ ජාතික රෝහල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල තුළ ඊයේ (30) ආරම්භ කළ වර්ජනය අද (31) දෙවන (2) දිනටත් ක්‍රියාත්මකයි.

ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ විකිරණ ආරක්ෂණය පිළිබඳ සේවා වෙනත් වෘත්තියකට පැවරීමට විරෝධය පළ කරමින් ෴

***************************************

ධුරයෙන් ඉවත් වුණා – සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ

(31.03.2022 – 09:19 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව තමන් ධුරයෙන් ඉවත් වූ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, පසුගිය සඳුදා තමා ධුරයෙන් ඉවත් කිරීමට අමාත්‍ය සී.බී. රත්නායක ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවයි.

ශර්මිලා රාජපක්ෂ පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 28 වන දා අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ භාර ගත් අතර අනතුරුව දෙහිවල සත්වෝද්‍යානයේ වෘත්තීය සමිති ඇයගේ රාජකාරීවලට දිගින් දිගටම බාධා එල්ල කර තිබුණා.

එමෙන්ම, දෙහිවල සත්වෝද්‍යානයේ කඩා කප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබද විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා අධ්‍යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව පසුගිය දා සිය ධූරයෙන් ඉවත් වූ අතර පසුව යළි එම ධුරයේ වැඩ කටයුතු ආරම්භ කළා.

කෙසේ වෙතත් මාධ්‍ය වෙත සදහන් කළේ ඇතැම් සේවකයන්ගෙන් තමන්ට තවදුරටත් බලපෑම් එල්ල වන බවටයි.

දෙහිවල සත්වෝද්‍යානයේ උද්ගත වූ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ස්වාධීන කමිටුවක් මගින් විමර්ශනයක් සිදුකළ අතර එම විමර්ශන වාර්තාව පසුගිය සදුදා (28) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරුණා.

එම වාර්තාවේ මතුව ඇති තත්ත්වයන්ට ගත යුතු ක්ෂණික විසදුම් පිළිබද නිර්දේශ ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුවයි මෙලෙස ඇයව එම ධුරයෙන් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත්තේ.

එමෙන්ම, ධුරයෙන් ඉවත් වූ ශර්මිලා රාජපක්ෂ සිය මුහුණු පොතේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ තමන්ට සිය ප්‍රතිපත්ති, සතුන්ට ඇති ආදරේ තරමටම වටිනා බවයි.

රට අගාධයට ගෙන යන තව එක දේශපාලන එහෙයියෙකු නොවෙන්න නම් කැප කිරීම් කරන්න සිදුවන බව ඇය එම සටහනේ වැඩිදුරටත් සදහන් කර තිබුණා ෴

ශර්මිලා වෙනුවට තිලක් ප්‍රේමකාන්ත පත් කෙරෙයි

(31.03.2022 – 11:14 +0530 – hirunews.lk/sinhala)

ඔහු මීට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර තිබුණා.

ඒ අනුව අද (31) උදෑසන සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බවයි වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක සඳහන් කළේ.

මේ අතර, අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව තමන් ධුරයෙන් ඉවත් වූ බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ අද (31) උදෑසන හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා ෴

+++++

***************************************

රන් මිල තවත් ඉහළට

(31.03.2022 – 09:24 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඉතිහාසයේ පළමු වතාවට කැරට් 24 රන් පවුමක මිල රුපියල් දෙලක්ෂය (2,00,000) ඉක්මවා තිබෙනවා.

කොළඹ හෙට්ටිවීථියේ රන් ආභරණ වෙළඳසැල්වල මෙම මිල ගණන් වාර්තා වන අතර, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 1,90,000 ඉක්මවා තිබීමද විශේෂත්වයක්.

එසේම, හෙට්ටිවීථියේ රන් ආභරණ වෙළඳසැල් ආශ්‍රිතව රන් හිඟයක්ද වාර්තා වනවා.

වෙළඳසැල් හිමියන් පෙන්වා දෙන්නේ පාරිභෝගිකයින් තමන්ගේ පැරණි රන් භාණ්ඩ ලබාදී එම භාණ්ඩවලින් අලුත් රන් ආභරණ නිමවා ගන්නා බවයි ෴

***************************************

ප්‍රේමලාල් ජයසේකර නිදොස් කොට නිදහස් කෙරෙයි

(31.03.2022 – 10:38 +0530 – hirunews.lk/sinhala)

මරණීය දණ්ඩනය නියම වී සිටින පොදුජන එක්සත් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු (3) නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

රත්නපුර මහාධිකරණය විසින් තමන්ට නියම කළ මරණීය දණ්ඩනය අහෝසි කොට තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකු (3) ඉදිරිපත් කළ අභියාචනා පිළිගැනීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අය මෙසේ නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරුණා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සඳහන් කළේ මෙම සිද්ධිය වූ අවස්ථාවේ දී විත්තිකරුවන් අත ගිනි අවි තිබූ බවට සහ ඔවුන් විසින් වෙඩි තැබූ බවට සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවයි.

ඒ අනුව විත්තිකරුවන් අදාල චෝදනාවන් රත්නපුර මහාධිකරණය හමුවේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවද විනිසුරුවරයා පැවසුවා.

ඒ අනුව විත්තිකරුවන් වරදකරුවන් කරමින් රත්නපුර මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට යෙදුණු තීන්දුව බල රහිත කරන බව සඳහන් කළ විනිසුරුවරුන් ඒ අනුව විත්තිකරුවන් තුන්දෙනා (3) නිදොස් කොට නිදහස් කළ ලෙසත් නියෝග කළා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක විපක්ෂයේ පොදු අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේනගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි තබා පුද්ගලයකු (1) මරා දමා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට (2) තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් රත්නපුර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වරදකරු කළ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට (3) 2020 වසරේ ජූලි මස 31 වනදා රත්නපුර මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කළා.

රත්නපුර මහාධිකරණ විනිසුරුවරයා තමන්ට එරෙහිව මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එම තීන්දුව අවලංගු කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාම (3) සිය අභියාචනා තුළින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණා.

***************************************

ප්‍රධාන විභාග පැවැත්වීමේ ගැටලුවක් නැති බව අධ්‍යාපන ඇමති කියයි

(31.03.2022 – 10:55 +0530 – hirunews.lk/sinhala)

සැලසුම් කළ පරිදි ප්‍රධාන විභාග පැවැත්වීම සඳහා අවශ්‍ය කඩදාසි හිඟයකින් තොරව පවතින බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අස්ගිරි මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ඊයේ (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

***************************************

ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමෙහි බලපත්‍රය අහෝසි කෙරෙයි

(31.03.2022 – 13:34 +0530 – hirunews.lk/sinhala)

ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවෙහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) දින ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමෙහි ස්ථානීය පරීක්ෂණයක් සිදු කර තිබෙනවා.

එකී විමර්ශනයට අනුව, ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම විසින් ඔවුන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත තම ගනුදෙනුකරුවන් වෙත ලබා දී විදේශ මුදල් මිල දී ගන්නා බවත්, එමගින්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ බලයලත් මුදල් හුවමාරු කරන්නන් වෙත නිකුත් කරන ලද විධානයන් කඩ කරන බවත් නිරීක්ෂණය වී ඇති බව යි වාර්තා වන්නේ.

ඒ අනුව, විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමට නිකුත් කර ඇති බලපත්‍රය 2022.03.31 දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලිකව අත්හිටවූ බව යි මහ බැංකුව පවසන්නේ ෴

***************************************

රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළත් ‘සුදු අලියෙක්’ වෙයි ද?

(31.03.2022 – 13:35 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 27 වන දා ලොවට හඬනගා විවෘත කෙරුණු රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළට මංගල ගමන පැමිණි මාලදිවයින් ජාතික ගුවන් සේවාවේ ආසන 54 කින් සමන්විත යානයේ ආපසු ගමනට කිසිදු මගියෙක් එක් වී නොමැති බව වාර්තා වනවා.

මෙම ගුවන් යානය රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බස්වා දින හතරක් (4) ගත වී ඇති අතර මේ දක්වා මෙම ගමනාන්තයෙන් මාලදිවයින බලා යාමට කිසිදු මගියෙක් ගුවන් ටිකට්පත් වෙන්කර ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27 වන ඉරිදා වනදා මහත් වූ උත්සවාකාරයෙන් විවෘත වූ රත්මලාන ගුවන් තොටුපලේ එම උත්සවය සඳහා පමනක් රුපියල් මිලියන 6 කට ආසන්න මුදලක් වැය කර ඇති බවයි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් දින හතරක් (4) පුරා රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නවතා තිබූ මෝල්ඩිවියන් (maldivian) ගුවන් සේවාවට අයත් මෙම යානය නැවත හිස් අතින්ම පිටත්ව ගොස් ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙම ගුවන් තොටුපළ විවෘත කරමින් මාලදිවයින සමග පළමුව සතියකට දින තුනක් (3) ගුවන් ගමන් පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර එය පසුව සතියකට ගුවන් ගමන් පහක් (5) දක්වා දීර්ඝ කිරීමට ද සැලසුම් කර තිබුණා.

කෙසේ වෙතත් මෙම ගමනාන්තයේ ඇති ආකර්ෂණය පිළිබඳව පැහැදිලි තක්සේරුවකින් තොරව මෙම කටයුත්ත සැලසුම් කර තිබීම හේතුවෙන් මේ දක්වා රත්මලාන ගුවන් තොටුපළින් මාලදිවයින බලා පිටත්ව යාමට කිසිදු සංචාරකයෙක් පැමිණ නැහැ.

පසුගිය ඉරිදා මාලේ නුවර සිට මෙරටට පැමිණි පලමු (1) ගුවන් යානයට උත්සවාකාර ජල ප්‍රහාරක ආචාරයක් පිරිනමා මහා උත්සවයක් ද පවත්වා එහි පැමිණි මගින්ද ඉතා උණුසුම් ලෙස පිළිගෙන ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් පිරිනමන ලද සමරු තිළිණයක් ද ඔවුන්ට පිරිනැමීම්ට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් නිසි සැලැස්මකින් හා හරිහැටි සිදු කරන ලද ව්‍යාපාර අධ්‍යයනයකින් තොරව සිදුකළ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මෙම ගුවන්තොටුපළත් මත්තල ගුවන් ගුවන්තොටුපල මෙන් තවත් සුදු අලියෙක් විය හැකි බවටයි ගුවන්තොටුපල සේවකයින් පවසා සිටින්නේ.

මේ අතර, රත්මලාන ගුවන් තොටුපළ තුල මාර්තු 25 වන දින සිට ගුවන්තොටුපල සහ ගුවන් සේවා අධිකාරිය විසින් තමන්ගේම බිම් හැසිරවීමේ සේවා අංශයක් ද දියත් කර තිබෙනවා.

එයට ගොඩබිම් හැසිරවීමේ සේවාවට අමතරව ජාත්‍යන්තර හෝ පුද්ගලික ජෙට් යානා විසින් රැගෙන එන මගීන් කළමනාකරණය කිරීමේ ජාත්‍යන්තර සේවාව ද අයත්.

කුඩා පරිමාණයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළකට අවශ්‍ය කරන සියලු සම්පත් සමඟ රත්මලාන ගුවන් තොටුපළ හැඩ කෙරුණද ගුවන්තොටුපලක් පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය කරණ ගුවන් ගමන් සම්බන්ධයෙන් නිසි ප්‍රචාරණයක් සහ සම්බන්ධීකරණයක් සිදු නොවීම හේතුවෙන් අද වන විට රත්මලාන ගුවන් තොටුපළ තවත් හුදෙකලාවූ ගුවන් තොටුපළක් ලෙස පවතින බවයි එහි සේවකයින් පවසන්නේ ෴

***************************************

යළි ඖෂධ මිල ඉහළ දැමීමේ සූදානමක්

(31.03.2022 – 13:55 +0530 – hirunews.lk/sinhala)

ඖෂධ මිල යළි ඉහළ දැමීමට රජයේ අවදානය යොමුවී ඇති අතර එම තීරණය අද (31) හෝ හෙට (01) ප්‍රකාශයට පත් කිරීමට හැකි වනු ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කළා.

එසේම ඩොලර් හිගය හේතුවෙන් සැපයුම්කරුවන් මුහුණ දී ඇති ගැටළු නිසා රජයේ රසායනාගාර තුළ සිදුකෙරෙන පරීක්ෂණ සීමා කිරීමට සිදුව ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශය සමග සංවාදයකට එක්වෙමින් ඔහු සදහන් කළේ.

මෙහිදී සැත්කම් කිරීමේදී නිර්වින්දනයට යොදා ගන්නා සහ හෘද රෝගීන්ට ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ දෙකක් (2) රජයේ රෝහල් තුළ හිඟවීම සම්බන්ධයෙන් අප ප්‍රශ්න කළා.

එහිදී ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක කියා සිටියේ නිර්වින්දනය කිරීමට උපයෝගී කර ගන්නා එන්නත් 90,000 ක් ඊයේ (30) ලැබුණු බවයි.

මේ අතර, පවුල් සෞඛ්‍ය සේවා සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද (31) මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.

ඒ, පවුල් සෞඛ්‍ය සේවිකාවන් 5 දෙනෙකුට විශේෂ ශ්‍රේණියේ පත්වීමක් ලැබී තිබියදී එය අත්හිටුවීමට බලධාරින් කටයුතු කිරීමට එරෙහිවයි.

එමෙන්ම, ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ආරම්භ කර ඇති විරෝධතාවය හේතුවෙන් කොළඹ – ලිප්ටන් වටරවුමේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *