1948 නිදහසින් පසු දිගම විදුලි කප්පාදුව අද (31)

1948 නිදහසින් පසු දිගම විදුලි කප්පාදුව අද (31)

*********************************************

1948 නිදහසින් පසු දිගම විදුලි කප්පාදුව අද (31)

(31.03.2022 – 09:03 +0530 – hirunews.lk/sinhala)

අද (31) පැය 13 ක කාලයක් දිවයිනටම බලපාන පරිදි විදුලිය කප්පාදු කිරීම සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා.

නිදහසින් පසු දිගම විදුලි කප්පාදුව අද (31) ක්‍රියාත්මක යි.

මෙම පැය දහතුනේ (13) විදුලි කප්පාදුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිටම ආරම්භ වුණා.

ඒ අනුව G H I J K L T U V i හා W කලාපවලට ඊයේ (30) මධ්‍යම රාත්‍රී 12 සිට අද (31) අලු‍යම 3 දක්වාත්, අද (31) පෙරවරු 8 සිට මධ්‍යාහ්න 12 දක්වාත්, පස්වරු 4 සිට රාත්‍රී 10 දක්වා විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

A B C D E F P Q R හා S කලාප සඳහා අද (31) අලු‍යම 3 සිට පෙරවරු 6 දක්වාත්, මධ්‍යාහ්න 12 සිට පස්වරු 4 දක්වාත්, පස්වරු 6 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වාත් පැය 13 ක කාලයක් විදුලි විසන්ධි කෙරෙනවා.

M N O X Y හා Z යන කලාප සඳහා අද (31) දිනයේ විදුලිය කප්පාදු කෙරෙන්නේ, අලු‍යම 05:30 සිට පෙරවරු 9 දක්වාත් පස්වරු 4 සිට පස්වරු 6 දක්වා කාලයේයි.

පෙරවරු 6 සිට පෙරවරු 09:30 දක්වා කාලයේ කොළඹ නගරයට විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

මේ අතර, දීර්ඝ වේලාවක් විදුලිය විසන්ධි වීම සහ විදුලි ජනන යන්ත්‍ර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අන්තර්ජාල සේවා සැපයුම් සඳහා බාධා එල්ල වී ඇති බව දුරකතන සේවා සපයන ආයතන පවසනවා. එමෙන්ම විනිමය අර්බුදය හේතුවෙන් ක්‍රීඩා නාලිකා කිහිපයක සම්ප්‍රේෂණ කටයුතු ද අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.

වෙළඳපොලේ මේ දිනවල ඉටිපන්දම්වල දැඩි හිඟයක් පවතින බව වාර්තා වනවා. වෙළඳපොල වාර්තා පෙන්වා දෙන්නේ විදුලිය කප්පාදු කිරීම හමුවේ ඉල්ලුම ඉහළ යෑම නිසා මෙම ඉටිපන්දම් හිඟය නිර්මාණය වී ඇති බවයි. එසේම, පවතින ඉටිපන්දම්වල මිල ගණන්ද මේ වනවිට සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

+++++++

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් අද (31) දිවයිනට

(31.03.2022 – 09:07 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලැබෙන තවත් මෙට්‍රික් ටොන් 40,000 ක ඩීසල් තොගයක් රැගත් නෞකාවක් අද (31) රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතයි.

එමෙන්ම, ලබන මස 05 වනදා සහ 08 වනදා ද ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 බැගින් රැගත් නෞකා දෙකක් (2) දිවයිනට පැමිණෙනු ඇති.

එම නෞකාද ඉන්දීය ණය ආධාර යටතේයී මෙරටට පැමිණෙන්නේ.

මේ අතර, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ, දැනට මෙරටට පැමිණ ඇති ඉන්ධන නෞකාවට මුදල් ගෙවීමට මේ වනවිට කටයුතු සූදානම් කරමින් පවතින බවයි.

මේ අතර, දිවයිනේ ඉන්ධන පිරවුම්හල් අසල තවදුරටත් දිගු පෝලිම් දක්නට ලැබුණා ෴

++++++++

විදුලි, තෙල්, ගෑස් නිසා රටපුරා විරෝධතා

(31.03.2022 – 13:46 +0530 – hirunews.lk/sinhala)

විදුලි, ඉන්ධන, සහ ගෑස් අර්බුදවලට විසඳුම් ඉල්ලා අදත් (31) ප්‍රදේශ රැසක ජනතාව විරෝධතාවල නිරත වුණා.

හිරු වාර්තාකරුවන් සඳහන් කළේ විරෝධතා හේතුවෙන් ඇතැම් මාර්ගවල රථ වාහන ගමනාගමනයට ද බාධා එල්ල වූ බවයි.

මේ අතර, ගෑස් නොමැතිවීම සහ විදුලි කප්පාදුව හේතුවෙන් මහනුවර ඇතුළු තවත් නගර රැසක කඩ සාප්පු වසා දමා තිබෙන ආකාරයක් දක්නට ලැබුණා.

දීර්ඝ කාලයක් විදුලි කප්පාදු කිරීම, ඉන්ධන නොමැතිවීම සහ ගෑස් අර්බුදය හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා එල්ල වීමත් සමග ඔවුන් සිටින්නේ දැඩි පීඩනයකයි.

එම පීඩනවලට විසඳුම් ඉල්ලමිනුයි ප්‍රදේශ රැසක ජනතාව මහමඟට බැස විරෝධතාවල නිරත වන්නේ.

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය බලපිටිය ප්‍රදේශයෙන් අවහිර කරමින් අද (31) පෙරවරුවේ විරෝධතාවයක ජනතාව නිරත වූයේ දින කිහිපයක සිට ප්‍රදේශයට ගෑස් නොමැති බවට පවසමින්.

එමෙන්ම, තවත් ප්‍රදේශ කිහිපයක ඊයේ (30) රාත්‍රියේ පන්දම් රැගෙන විරෝධතාවල නිරත වූයේ පවතින විදුලි අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.

මහනුවර, අම්බලන්ගොඩ, උඩවලව, හොරණ, තඹුත්තේගම, කොල්ලුපිටිය, ආදී ප්‍රදේශ කිහිපයක ජනතාව විරෝධතා පැවැත්වූයේ විදුලි, ඉන්ධන සහ ගෑස් අර්බුදවලට විසඳුම් ඉල්ලමින්.

රට තුල පවතින ඉන්ධන හිඟය හේතුවෙන් තවමත් ජනතාව දිගු පෝලිම්වල රැදී සිටින බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් අද (31) පස්වරුවේ මෙරටට ළගා වීමට නියමිත බවයි.

කෙසේ වෙතත්, මෙවන් පසුබිමක මුතුරාජවෙල ඛනිජ තෙල් පර්යන්තයේ මේ වනවිට ඉන්ධන රැගෙන යාම සඳහා බවුසර් රථ පැමිණීම හේතුවෙන් එහි තදබදයක් හටගෙන ඇතැයි වාර්තා වනවා.

මේ අතර, ඉන්ධන නොමැතිවීම නිසා පාසල් ළමයින් ප්‍රවාහනය කරන වෑන් රථ සහ බස් රථ රියදුරන් මෙන්ම, ඒවායේ ගමන් ගන්නා සිසුන් ද දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

++++++

විදුලි කප්පාදුවට හේතුව විදුලිබල ඇමතිනී පහදයි

(31.03.2022 – 13:51 +0530 – hirunews.lk/sinhala)

විදුලි කප්පාදුවට මූලික වශයෙන් බලපා ඇත්තේ ජල විදුලි නිෂ්පාදනය අඩුවීම බව විදුලිබල ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනෑන්ඩු සඳහන් කළේ ලබන මස 02 වනදා ඩීසල් නෞකාවක් මෙරටට පැමිණෙන අතර එසේ වුවහොත් පවතින විදුලි කප්පාදුව පැය 04 දක්වා අඩු කළ හැකි බවයි.

මොවුන් මෙම අදහස් දක්වනු ලැබුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (31) කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එමෙන්ම, ඉදිරියේදී ගල් අගුරු ආනයනයට අවශ්‍ය කටයුතු ද මේ වන විට සැලසුම් කර ඇති බවයි ඇය කියා සිටියේ.

කෙසේ වෙතත්, මාස 3 ක් වසා දමා තිබූ කැනියොන් බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු අද (31) ආරම්භ කර තිබෙනවා.

එම බලාගාරය වසා දමා තිබුණේ මාවුස්සාකැළේ ජලාශයේ සිට කැනියොන් ජල විදුලි බලාගාරය දක්වා ජලය රැගෙන යන භූ ගත උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව කැනියොන් බලාගාරයෙන් මෙගාවොට් 60 ක විදුලි ධාරිතාවක් අද (31) සිට ජාතික විදුලිබල පද්ධතියට එක්වනු ඇති.

මේ අතර, අද (31) පැය 13 ක කාලයක් දිවයිනටම බලපාන පරිදි විදුලිය කප්පාදුවක් සිදුකෙරෙනවා.

විදුලි කප්පාදුව මෙරට සියළු ක්ෂේත්‍රවලට බලපෑම් එල්ල කරන අතර ඒ හේතුවෙන් සංචාරකයින්ද දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

++++++++

සමනලවැව සහ කාසල්රී විදුලි බලාගාරවල ජනන කටයුතු අත්හිටුවයි

(31.03.2022 – 15:13 +0530 – hirunews.lk/sinhala)

ජල මට්ටම් විදුලිය නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් නොවන බැවින් සමනල වැව සහ කාසල්රි විදුලි බලාගාරවල ජනන කටයුතු අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව ඒවායෙහි ජනන කටයුතු අත්හිටුවන බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ෴

+++++++++

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය යළිත් අවහිර වෙයි

(31.03.2022 – 15:17 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය හික්කඩුව – කහව මංසන්ධියෙන් ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

ඒ ප්‍රදේශවාසීන් විසින් ගෑස් ඉල්ලා සිදු කරන විරෝධතාවයක් හේතුවෙන්.

එමෙන්ම, ගෑස් ඉල්ලා සිදුකළ විරෝධතාවක් හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය ද බලපිටිය නගරයෙන් අද (31) දහවල් අවහිර වුණා ෴

+++++++++

විදුලි අර්බුදයෙන් තැපෑලත් අතරමග ඇනහිටියි ?

(31.03.2022 – 15:49 +0530 – hirunews.lk/sinhala)

පවතින ඉන්ධන හා විදුලි අර්බුදය හේතුවෙන් තැපැල් සේවාවල ප්‍රමාදයක් සිදුවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මේ වන විට රට පුරා ම දැඩි තෙල් සහ විදුලි අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, මේ හේතුවෙන් සියලු ම දෛනික රාජකාරී කටයුතුවලට මෙන්ම පෞද්ගලික ජීවිතවලට ද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්.

ඩොලර් හිඟවීම හේතුවෙන් රට තුළට පැමිණෙන ඉන්ධන පිරවූ නෞකා භාරගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා.

මේ හේතුවෙනුයි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ද දෛනික ක්‍රියාවලියට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා ෴

+++++++++

විදුලි කප්පාදුව වෙනසක් වන ලකුණු අන්තිම ඩීසල් විදුලි බලාගාරයක් අද (31) සවස පහට (5) වැඩ නවතී

(31.03.2022 – 16:05 +0530 – hirunews.lk/sinhala)

අද (31) දිනට ක්‍රියාත්මක කිරීමට නියමිත පැය 13 ක් වන විදුලිය අත්හිටවීම පැය 15 ක් දක්වා දීර්ඝ කිරීමට සිදු වීමේ අවධානමක් මතුව ඇති බවට විදුලිබල මණ්ඩල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

අප සමග අදහස් දැක්වූ විදුලිබල මණ්ඩල ප්‍රකාශකයා සඳහන් කළේ මෙම විදුලිය අත්හිටුවීමට අදාල වන සංශෝධන අදාල ඉංජිනේරුවන් විසින් මේ වන විට සිදු කරමින් සිටින බවයි.

මීට හේතු වී ඇත්තේ අද (31) සවස 5 වන විට කැළණිතිස්ස විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු අත්හිටුවීමට සිදුවීම නිසාවෙන්.

කැළණිතිස්ස ඩීසල් විදුලි බලාගාරය මගින් මෙගා වොට් 165 ක බලයක් ජාතික පද්ධතියට එක් කරනවා.

මෙම විදුලි බලාගාරයේ වැඩ කටයුතු අත්හිටුවීම හේතුවෙන් එම ඒකක ප්‍රමානය ජාතික පද්ධතියට අහිමිව යනවා.

අප සමග අදහස් දැක්වූ විදුලිබල මන්ඩල ප්‍රකාශකයෙකු වැඩිදුරටත් කියා සිටියේ මේ වන විට මෙරට විදුලිය බල සැපයුම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය මත බවයි.

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් මෙගාවොට් 800 ක විදුලි බලයක් ජනනය කෙ‍රෙන අතර තවත් මෙගාවොට් 300 කට ආසන්න ප්‍රමාණයක් උත්පාදනය කරනු ලබන්නේ මෙරට ජල විදුලියබල බලාගාර ආශ්‍රිත ව ඇති ටර්බයින් යන්ත්‍ර මගින්.

කෙසේ වෙතත් මේ වන විටත් මෙගා වොට් දහසක් (1000) පමණ නිෂ්පාදනය කෙරෙන ජල විදුලි උත්පාදනය ද බරපතල ලෙස බිඳ වැටී ඇත්තේ එම විදුලි බල උත්පාදනය ට භාවිත කරන ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන්.

ඉදිරි පුරෝකථනයන් ට අනුව ලබන මස පස්වන දා (05) දක්වා ඩීසල් තොග සංචිත මෙරටට ළඟා වීමේ අවස්ථාවක් නොමැති අතර මේ වන විටත් කොළඹ වරායේ නැංගුරම් ලා ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් නෞකාවටත් අවශ්‍ය කරන ගෙවීම් සිදු කිරීමට ඩොලර් සොයා ගැනීමට නොහැකි තත්ත්වයකුයි උද්ගත වී ඇත්තේ.

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට සපයනු ලබන පළමු (1) ඩීසල් තොගය රැගත් නෞකාව මෙරටට ළඟා වීමට නියමිතව ඇත්තේ ලබන 05 වන දායි.

මේ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තවදුරටත් විසල් සංචිත නොමැති අතර ඔවුන් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත් කරන ඩීසල් රඳවාගෙන තිබෙනවා.

අප සමග අදහස් දැක්වූ විදුලිබල මණ්ඩල ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ මේ පවතින තත්ත්වය අනුව ඉදිරි දින දෙක-තුන (2-3) තුළ දී විදුලිය ලබාදීමේ කාලසීමාව දිනකට පැය හය-හතකට (6-7) සීමා වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

ඒ අනුව දවසේ පැය 24 න් හතරෙන් තුනක (¾) පමණ කාලයක් මෙරට ජනතාවට සිදු වනු ඇත්තේ විදුලිබලය නොමැතිව ගත කරන්නටයි ෴

+++++++++

නිවසේ සිට වැඩ කරන්න – අගමැතිගෙන් උපදෙස්

(31.03.2022 – 16:10 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන පිරිමසා ගැනීමේ පියවරක් ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ සිය අමාත්‍යාංශවල නිලධාරින්ට නිවසේ සිට රාජකාරි කටයුතුවල නිරතවන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැනුම්දී තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ අඛණ්ඩ විදුලි සැපයුමක් නොමැති පසුබිමක වුව ද, නිලධාරින් සිය රාජකාරිය උපරිම ආකාරයෙන් ඉටු කරමින් සිටින බවයි.

මෙම අර්බුදය නිසා ජනතාව පත්ව ඇති දුෂ්කරතාවය පිළිබඳ අප රජයක් ලෙස සංවේදී අතර එම සීමා ජය ගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි අග්‍රාමාත්‍යවරයා එමගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ ෴

***************************************

වත්මන් අර්බුද පිළිබඳ ජවිපෙන් හදිසි නිවේදනයක්

(31.03.2022 – 12:29 +0530 – hirunews.lk/sinhala)

රට පත්ව ඇත්තේ දරුණු අර්බුදකාරී තත්වයකට බව අපි දනිමු.

හැම මොහොතකම සමාජය වඩ වඩාත් අර්බුදය දෙසට ගමන් කරමින් ඇති අතර සමාජයේ සෑම ජන ස්ථරයක්ම ඒ හේතුවෙන් පීඩාවට පත් වී ඇත.

එවැනි මොහොතක සවිඥානිකව හා සංවිධානාත්මකව දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ආදී කොටස් මෙම ජන පීඩනයට එරෙහිව සිය විරෝධය දක්වමින් සිටිති.

සංවිධානගත ව්‍යාපාරවලට මෙන්ම සාමාන්‍ය ජනතාවටත් මෙම අර්බුදයට එරෙහිව විරෝධය පෑමට අයිතියක් ඇති අතර එසේ විරෝධය පළ කළ යුතුවද තිබේ.

එහෙත්, වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වන පිරිස්වලින් අවධානයෙන් සිටින ලෙස සහ පරෙස්සම් සහගත වන ලෙස අපි ඉල්ලා සිටිමු.

මන්ද එවැනි වගකීමක් නොමැති අවංක මහජන විරෝධයන් පිටුපස පවා අනතුරක් තිබිය හැකි බැවිනි.

එසේම ස්වයංව පැන නඟින ඕනෑම ආකාරයක මහජන විරෝධයන්හි අයිතිය ලාබ ලෙස ලබාගැනීම වෙනුවෙන් රබර් මුද්‍රා තැබීමට ක්‍රියා නොකරන බවද අවධාරණය කරමු.

ජනතා විමුක්ති පෙරමුණ

+

@@@ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය වීම @@@

පුටින්, ප්‍රංශ ජනාධිපති සමඟ දුරකතන සංවාදයක

(31.03.2022 – 09:21 +0530 – hirunews.lk/sinhala)

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්ක්‍රොන් අතර පැයක දුරකතන සංවාදයක් සිදුව තිබෙනවා.

එම සාකච්ඡා සම්බන්ධයෙන් ක්‍රෙම්ලිනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ යුද්ධය නතර කිරීමට අවශ්‍ය නම් මරියපෝල් නගරයේ සිටින යුක්රේන හමුදා ආයුධ බිම තැබිය යුතු බවට එහිදී ජනපති පුටින් ප්‍රකාශ කර ඇති බවයි.

කෙසේ වෙතත් මරියපෝල් නගරයේ සිටින සිවිල් වැසියන්ට ඉවත් වීමට තවදුරටත් අවස්ථාව ලබාදෙන බවයි පුටින් කියා සිටියේ.

මේ අතර රුසියානු ජනාධිපතිවරයා සහ එරට හමුදා අතර මේ වනවිට විරසකයක් මතුව ඇති බවට ඇමරිකාව අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *