පැය 10 ක් විදුලිය කැපේ

පැය 10 ක් විදුලිය කැපේ

*********************************************

පැය 10 ක් විදුලිය කැපේ

(30.03.2022 – 07:58 +0530 – hirunews.lk/sinhala)

දෛනික විදුලි කප්පාදු සිදු කරන කාලය තවදුරටත් දීර්ඝ කරමින් දිවයිනම ආවරණය වන පරිදි අද (30) උදෑසන 8 ත් රාත්‍රී 12 ත් අතර කාලසීමාවේ දී පැය 10 ක කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව අවසර ලබාදී තිබෙනවා.

ඒ, ඔවුන් විසින් කරන ලද ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින්.

ජල විදුලි උත්පාදනය සීමාසහිත වීම මෙන්ම බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මෙලෙස විදුලිය කප්පාදු කිරීම සඳහා විදුලිබල මණ්ඩලය අවසර ඉල්ලා තිබුණා.

ඒ අනුව කලාප වශයෙන් අද (30) දිනයේත් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

G, H, I, J, K, L, T, U, V සහ W කලාප සඳහා පෙරවරු 8 සිට පස්වරු 2 දක්වාත්, සවස 6 සිට රාත්‍රී 10 දක්වා පැය 10 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.

A, B, C, D, E, F, P, Q, R සහ S යන කලාප සඳහා පස්වරු 2 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා විදුලි කප්පාදුව අඛණ්ඩව පැය 10 ක් වන පරිදි ක්‍රියාත්මක වනවා.

අලුතින් නම් කරන ලද M, N, O, X, Y සහ Z යන කලාප සඳහා විදුලි කප්පාදුව ක්‍රියාත්මක වන්නේ පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා අඛන්ඩ පැය 10 ක කාලයකට යි.

රාජ්‍ය ආයතනවලට අද (30) සහ හෙට (31) දිනවල නිවසේ සිට වැඩ කිරීම සඳහා කටයුතු සළස්වන්නැයි මහජන උපයෝගීතා කොමිසම යෝජනාවක් ඉදිරිපත් කළ බවද මෙහි දී සභාපතිවරයා කියා සිටියා.

එසේම නැවත වැසි ලැබෙන තෙක් අඛන්ඩව විදුලිය ලබාදීමට නො හැකි වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර අද (30) සහ හෙට (31) ඩීසල් ලබා ගැනීම සඳහා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පොල්ම්වල රැදී නොසිටින ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ ඊයේ (29) පස්වරුවේ ගොඩබෑමට නියමිතව තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් සහිත නෞකාවේ තොග ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන්.

එහෙත් අත්‍යවශ්‍ය සේවා සඳහා ඩීසල් සැපයුම අඛන්ඩව සිදු කෙරෙන බවද ඔවුන් දැනුම් දෙනවා.

කෙසේවෙතත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ කියා සිටියේ තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් හෙට (31) දිවයිනට ළඟාවීමට නියමිත බවයි.

ලබන මස 05 වනදා සහ 08 වනදා තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 බැගින් රැගත් නැව් දෙකක් (2) දිවයිනට ළඟාවීමට නියමිත බවද ඔහු කියා සිටියා.

මේ අතර විදුලිය නොමැති අවස්ථාවකදී නිවස තිබූ ජෙනරේටරය ක්‍රියාත්මක කිරීමට යාමේදී ඒ ආසන්නයේ තිබූ පෙට්‍රල් බෝතලයකට ගිනි ඇවිලීමෙන් ඇති වූ ගින්නකින් ළමයින් දෙදෙනෙකු (2) ඇතුළු කාන්තාවක් තුවාල ලබා වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ වැලිමඩ, කැප්පෙටිපොළ ජාතික නිවාස සංකීර්ණයේ නිවසක ඊයේ (29) රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති බවයි.

එමෙන්ම ඊයේ (29) රාත්‍රියේ පෑලියගොඩ – දරමඩුවත්ත ප්‍රදේශයේ පිහිටි තාවකාලික නිවාස කිහිපයක ඇතිවූ ගින්නකින් කුඩා ගැහැණු දරුවෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

සිද්ධියෙන් නිවාස තුනක් (3) විනාශ වී තිබෙනවා ෴

+ https://cebcare.ceb.lk/Incognito/DemandMgmtSchedule

+++++++++++

ඉන්ධන නිකුත් කිරීමේ වංචාව ගැන පැමිණිලි

(30.03.2022 – 07:45 +0530 – hirunews.lk/sinhala)

ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේ දී වංචා සහ අක්‍රමිකතා සිදු වන බවට ජනතාවගෙන් මේ දිනවල පැමිණිලි වැඩි වශයෙන් ලැබෙමින් පවතින බව මිනුම් ඒකක, ප්‍රමිති සහ සේවා දෙපාර්තමේන්තුව පවසනවා.

එබැවින් ඉන්ධන මිල දී ගැනීමේ දී නිසි අවධානයෙන් කටයුතු කරන ලෙසයි හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයට එක්වෙමින් කිරුම් හා මිණුම් පරික්ෂක වෘත්තිය සංගමයේ සභාපති ඩබ්ලිව්.සී. සරෝජා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ෴

+++++++++++

තෙල් ප්‍රශ්න තියෙනවා නම් කෝල් එකක් දෙන්න – බලශක්ති ඇමති

(30.03.2022 – 08:20 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හැරීම පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳ තමා දැනුවත් කරන ලෙස බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

ඒ පිළිබඳ තමා ව පෞද්ගලිකව දැනුවත් කරන ලෙස කියමින් අමාත්‍යවරයා තම දුරකථන අංකය ද මාධ්‍යයට ඉදිරිපත් කළා.

ඒ අනුව 077 741 4241 යන දුරකථන අංකය මඟින් අදාළ ප්‍රශ්නය ගැන තමාව දැනුවත් කරන ලෙසත් ඒ අනුව එම ගැටලු විසඳීම වෙනුවෙන් තමා මැදිහත් වන බවත් ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

ලබන සතිය වනවිට ඉන්ධන හිඟයට විසඳුම් ලැබෙන බව යි ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ලොකුගේ අමාත්‍යවරයා මේ බව පැවසුවා ෴

+++++++++++

රජයට ඉන්දීය ඔයිල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 6000 ක්

(30.03.2022 – 09:04 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් ඉන්දීය ඔයිල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 6000 ක් මිල දී ගැනීමට තීරණය කර තිබෙනවා.

හෙට (31) දිනයේ දී ඉන්දීය ප්‍රතිපාදන යටතේ මෙරටට ලැබීමට නියමිත ඩීසල් රැගත් ඉන්ධන නෞකාව පැමිණෙන තුරු අදාළ ඩීසල් මිල දී ගැනීමට කටයුතු කරන බවයි බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

අදාළ ඩීසල් තොගය විදුලි උත්පාදනය ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා යොදා ගැනීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියා ෴

+++++++++++

ජනාධිපති නිල නිවස හා මන්ත්‍රී නිවාස විදුලි‍ය කප්පාදුවෙන් නිදහස් කෙරෙයි

(30.03.2022 – 10:27 +0530 – hirunews.lk/sinhala)

අද (30) දිවයින පුරා පැය 10 ක් පුරාවට විදුලි කප්පාදුවක් සිදු වීමට නියමිත යි.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා විදුලිය කප්පාදුවක් සිදු නො කරන බව යි මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර, එසේ විදුලිය කප්පාදු සිදු නො කරන ප්‍රදේශවලට ජනාධිපති නිල නිවස, පාර්ලිමේන්තුව හා මාදිවෙල මන්ත්‍රී නිවාස ද ඇතුළත් ෴

+++++++++++

සංචාරක හෝටල් සඳහා ගෑස් ලබාදීමේ වැඩපිළිවෙලක්

(30.03.2022 – 14:43 +0530 – hirunews.lk/sinhala)

බලශක්ති අර්බුදය හමුවේ සංචාරක ක්ෂේත්‍රය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා හෝටල් සඳහා ගෑස් සිලින්ඩර් කඩිනමින් ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇති අතර ඊට විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ආරක්ෂක අංශ සහ සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන් රැසක් එක්ව සිටියා.

එහිදී තීරණය වී ඇත්තේ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සඳහා ගෑස් සමාගම් නියෝජිතයින් හරහා ප්‍රමුඛතාව ලබාදෙමින් ගෑස් සිලින්ඩර් ලබාදීමටයි.

එමෙන්ම, සංචාරක බස් රථ සඳහා ආසන්නයේම පිහිටි ශ්‍රී ලංගම ඩිපෝ මගින් අවශ්‍ය ඉන්ධන ලබාදීමටත් එහිදී සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම සංචාරකයින් ප්‍රවාහනය කරනු ලබන අනෙකුත් වාහන සඳහා විශේෂ කාඩ්පත් හදුන්වා දෙමින් ඉන්ධන ලබාදීමටත් එහිදී තීරණය කර ඇති බවයි සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ෴

+++++++++++

ලිප්ටන් වටරවුම අසළ බස් රථ හරස් කරමින් සිදුකළ විරෝධතාව අවසන්

(30.03.2022 – 14:56 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන නොමැතිවීමට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවුම අසළින් බස් රථ හරස් කර බස් සේවකයින් සිදුකළ විරෝධතාව මේ වන විට අවසන් කර තිබෙනවා.

ඒ, කුරුඳුවත්ත පොලීසිය මැදිහත්වී විරෝධතාකරුවන්ට නිසි පරිදි ඉන්ධන ලබා දීමට කටයුතු කිරීමත් සමග ඔවුන් එම ස්ථානයෙන් ඉවත් වී තිබෙනවා.

කොළඹ පුරහල අසල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලෙන් ඩීසල් ලබා ගැනීමට දිගු පෝලිම්වල රැදී සිටි පෞද්ගලික බස් රථ සහ පාසල් සේවා බස් රථවල රියදුරන් පුරහල සිට නෙළුම් පොකුණ දක්වා ඇති ප්‍රධාන මාර්ගයේ එක් මං තීරුවක් අවහිර කරමින් අද (30) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.

ඔවුන් ඉල්ලා සිටියේ කඩිනමින් තම රථ වාහන සඳහා ඩීසල් ලබාදීමට කටයුතු කරන ලෙසයි ෴

+++++++++++

අවුරුදු සමයේ පැය 15 ක් විදුලිය කැපීමේ අවදානමක් – ඉංජිනේරුවන් හෙළි කරයි

(30.03.2022 – 15:10 +0530 – hirunews.lk/sinhala)

පවතින ඉන්ධන අර්බුදය සහ වියලි කාලගුණයත් සමඟ දෛනික විදුලි කප්පාදුව පැය 15 ක් පමණ දක්වා දීර්ඝ විය හැකි බව විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවනවා.

ඇතැම් විට ඉදිරියේදී විදුලි කප්පාදු කරන වේලාවට වඩා විදුලි සැපයුම ලබාදෙන වේලාව නිවේදනය කිරීම පහසු වනු ඇති බවයි කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති අනිල් රංජිත් ඉදුවර ප්‍රකාශ කළේ.

අද (30) දිනයේත් පැය 10 ක කාලසීමාවක් විදුලිය කප්පාදු කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම ඊයේ (29) නිවේදනය කළා.

මේ අතර බස් සංගම් පෙන්වා දෙන්නේ පෞද්ගලික බස් රථ ධාවනය කිරීම සඳහා ඉන්ධන පවතින්නේ තවත් දින දෙකක් (2) සඳහා පමණක් බවයි.

මේ වනවිටත් පෞද්ගලික බස් රථ 10,000 ක් ධාවනයෙන් ඉවත් වී ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළේ.

පවතින ඉන්ධන සහ විදුලි අර්බුදය සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් මේ වනවිට පැවැත්වෙනවා.

ඒ මුදල් අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය සහ විදුලිබල අමාත්‍යාංශය අතරයි.

උසස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ සාකච්ජාවේදී පවතින තත්ත්වය කළමණාකරණය කළ හැකි ආකාරයන් පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඊයේ (29) පස්වරුවේ ගොඩබෑමට නියමිතව තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් සහිත නෞකාවේ ඩීසල් තොග ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් මේ වනවිට ඩීසල් හිඟයක් උද්ගතව තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ ඩීසල් සැපයුම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් සීමා කිරීමට සිදුවන බව ඛනිජ තෙල් සංස්ථාව ඊයේ (29) නිවේදනය කළා.

එමෙන්ම දින තුනක (3) පමණ කාලසීමාවක් මෙම තත්ත්වය පැවතිය හැකි බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ණය පහසුකම යටතේ හෙට (31) දිනයේ ඩීසල් රැගත් නෞකාවක් මෙරටට ලඟා වීමට නියමිත අතර එහි තොග බෙදා හැරීමට සිදුවන්නේ අනිද්දා (01) දිනයේදීයි.

පවතින තත්ත්වයට තාවකාලික විසඳුමක් ලෙස ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 6000 ක් කඩිනමින් මිලදී ගැනීමට රජය අද (30) තීරණය කළා.

කෙසේ වෙතත් අප වාර්තාකරුවන් සඳහන් කළේ අදත් (30) ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම් දක්නට ලැබුණු බවයි.

මේ අතර, ඉන්ධන නොමැතිවීමට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවුම අසළින් බස් රථ හරස් කර පෞද්ගලික බස් රථ සේවකයින් විරෝධතාවක නිරත වනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ කර්මාන්තය පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන ලබාදීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි.

+++++++++++

අද (30) මධ්‍යම රාත්‍රියෙන් පසුවත් විදුලිය කප්පාදු කෙරෙන ලකුණු – හෙට (31) පැය 13 ක විදුලි කප්පාදුවකට අවසර ඉල්ලයි

(30.03.2022 – 20:06 +0530 – hirunews.lk/sinhala)

අද (30) මධ්‍යම රාත්‍රියෙන් පසුවත් විදුලි කප්පාදුව දිගටම ක්‍රියාත්මක විය හැකි බව ආරංචි මාර්ග පවසනවා.

එසේම, හෙට (31) දිනයේ පැය 13 ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර, දෛනික විදුලි කප්පාදුව ඉදිරියේදී පැය 15 ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවටද අද (30) දහවල් විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවනු ලැබුවා.

ඔවුන් කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ එහි සභාපති අනිල් රංජිත් ඉඳුවර අවධාරණය කළේ, බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබුණහොත්, අලුත් අවුරුදු සමයේද ජනතාවට අඳුරේ සිටීමට සිදුවනු ඇති බවයි.

මේ අතර, දෛනික විදුලි කප්පාදුව තවදුරටත් දීර්ඝ කරමින් පෙරවරු 8 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 10 ක කාලයක් විදුලි කප්පාදු කිරීම අද (30) සිට ක්‍රියාත්මකයි.

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල සංචිත අද (30) වන විට සමස්තයක් වශයෙන් 27% දක්වා පහළ බැස තිබෙනවා.

මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතිය සඳහා ජල විදුලි නිෂ්පාදන දායකත්ව පවතින්නේ 13% ත් 14% ත් අතර අගයකයි.

ඒ අනුව සාමාන්‍යයෙන් 35% ක් වන මෙරට ජලවිදුලි උත්පාදනය මේ වනවිට හරි අඩකටත් වඩා වැඩි අගයකින් පහත බැස තිබෙනවා.

මේ හේතුවෙන් තාපවිදුලි බලාගාරවලින් සපුරාගත යුතු විදුලි ධාරිතාව ඉහළ ගියා.

නමුත් බලාගාර රැසකට ඞීසල්, දැවිතෙල් හා නැප්තා, සපයාගැනීමේ අර්බුදය හේතුවෙන් අද (30) ජාතික පද්ධතියට අහිමිවන විදුලි ධාරිතාවය මෙගාවොට් 800 කට ආසන්නයි.

මෙවන් පසුබිමක ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට අනුව අද (30) පැය 10 ක විදුලි කප්පාදුවක් සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම ඊයේ (29) අවසර ලබාදුන්නා.

ජනාධිපති නිල නිවස සහ පාර්ලිමේන්තුව යන ස්ථානවල විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

කෙසේ වෙතත්, මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ විදුලිය කප්පාදුව කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබාදී තිබෙනවා.

ඔවුන් සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති රෝහල් අතුළු සේවාවන් කීපයකට සහ ආයෝජන ප්‍රවර්ධන කලාපවලට විදුලි විසන්ධි නොකරන බවයි.

මේ අතර වස්කඩුව – මානන්ව ප්‍රදේශයේ නිවසක විදුලිය විසන්දි වූ අවස්ථාවේ දැල් වූ ඉටිපන්දමක් පෙරලීයාමෙන් ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නෙන් වයෝවෘද්ධ කාන්තාවක්, ඇගේ පුත්‍රයා, ඔහුගේ බිරිඳ සහ ලේලිය ද පිලිස්සුම් තුවාල ලබා තිබෙනවා.

ගින්නෙන් නිවසේ තිබූ විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ ඇතුළු උපකරණ රැසක් විනාශ වී තිබුණා.

මේ අතර, අද (30) සහ හෙට (31) ඩීසල් ලබා ගැනීම සඳහා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කළා.

ඒ, ඊයේ (29) පස්වරුවේ ගොඩබෑමට නියමිතව තිබූ ඩීසල් මෙටි‍්‍රක් ටොන් 37,500 ක් නෞකාවෙන් ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන්.

එහෙත් අත්‍යවශ්‍ය සේවා සඳහා ඞීසල් සැපයුම අඛණ්ඩව සිදු කරන බවයි ඛනිජ තෙල් සංස්ථාව දැනුම් දෙන්නේ.

දින තුනක (3) පමණ කාලයක් මෙම තත්ත්වය පැවතිය හැකි බවද වාර්තා වනවා.

කෙසේ වෙතත්, පෙට්‍රල් සැපයුමට බාධාවක් සිදු වී නොමැති බව එම සංස්ථාව දැනුම් දෙනවා.

මෙම තත්ත්වය යටතේ පසුගිය දිනවල එතරම් ඉන්ධන ඉල්ලුමක් නොපැවති අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට අද (30) දිගු පෝලිම් දැකගත හැකි වුණා. සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිටද අද (30) දිනයේත් පෝලිම් පැවතියා.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල්වල උණුසුම් තත්ත්ව දැකගත හැකිවුණු අතර ඇතැම් ස්ථානවල මාර්ග අවහිර කරමින් ජනතාව විරෝධතාවල ද නිරත වුණා.

ඉන්ධන නොමැතිවීමට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවුම අසළින් බස් රථ හරස් කර බස් සේවකයින් සිදුකළ විරෝධතාව අද (30) පස්වරුවේ අවසන් කළා. කුරුඳුවත්ත පොලීසිය ගැටලුවලට විසඳුම් ලබාදීමට මැදිහත්වීමත් සමග ඔවුන් එම ස්ථානයෙන් ඉවත් වුණා.

බදුල්ල නගර මධ්‍යයේ මාර්ගයේ වාඩි වී ජනතාව ඉන්ධන ඉල්ලා විරෝධතාවක නිරත වුණා.

ඉන්ධන නොමැතිවීමත් සමඟ බහුදින ධීවර යාත්‍රා දහසක් (1000) පමණ මේ වනවිට ධීවර වරායන්වල නැංගුරම් ලා ඇති බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ අයිස් ලබාගැනීමද විදුලි කප්පාදුවත් සමඟ ගැටළුවක් වී ඇති බවයි.

මේ අතර රජය විසින් ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඞීසල් මෙටි‍්‍රක් ටොන් 6000 ක් මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා.

ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් මෙටි‍්‍රක් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් හෙට (31) පැමිණීමට නියමිත අතර එය පැමිණෙන තුරු මෙම ඩීසල් තොගය මිලදී ගැනීමට නියමිත බවයි බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී සඳහන් කළේ.

අදාළ ඩීසල් තොගය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් භාවිත කිරීමට නියමිතයි.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඉන්ධන සඳහා පවතින ඉල්ලුම 30% කින් පමණ ඉහළ ගොස් ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළා.

මුතුරාජවෙල ඉන්ධන පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කිරීම නැවැත්වීම හේතුවෙන් ඒ අසල දිගු බවුසර් පෝලිම් පැවතියා.

මේ අතර, ඕමාන ආධාර යටතේ මෙරටට ළඟාවූ ගෑස් මෙටි‍්‍රක් ටොන් 3700 ක් රැගත් නෞකාවෙන් ගෑස් ගොඩබෑම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්, ගෑස් මිලදී ගැනීම සඳහා ද තවදුරටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටිනවා.

බලශක්ති අර්බුදය හමුවේ සංචාරක ක්ෂේත්‍රය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා හෝටල් සඳහා ගෑස් සිලින්ඩර් කඩිනමින් ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇත්තේ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සඳහා ගෑස් සමාගම් නියෝජිතයින් හරහා ප්‍රමුඛතාව ලබාදෙමින් ගෑස් සිලින්ඩර් ලබාදීමටයි.

එමෙන්ම, සංචාරක බස් රථ සඳහා ආසන්නයේම පිහිටි ශ්‍රී ලංගම ඩිපෝ මගින් අවශ්‍ය ඉන්ධන ලබාදීමටත් එහිදී සැලසුම් කර තිබෙනවා.

මේ අතර, ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට අදාළ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ ප්‍රකාශ කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *