විදුලියට ජල කප්පාදුවත් එක්වන ලකුණු – අද (29) පැය 7½ විදුලිය කැපේ

විදුලියට ජල කප්පාදුවත් එක්වන ලකුණු – අද (29) පැය 7½ විදුලිය කැපේ

*********************************************

විදුලියට ජල කප්පාදුවත් එක්වන ලකුණු – අද (29) පැය 7½ විදුලිය කැපේ

(29.03.2022 – 08:12 +0530 – hirunews.lk/sinhala)

විදුලිබලය විසන්ධි වූ අවස්ථාවල දී ජලය පොම්ප කිරීමේ කටයුතුවලට බාධා එල්ල වීම හේතුවෙන් කොළඹ ඇතුළු ඇතැම් ප්‍රදේශවල ජලය කප්පාදු කිරීමේ තත්ත්වයක් උදා වී තිබෙනවා.

කෙසේ වෙතත්, විදුලිජනක යන්ත්‍ර යොදාගෙන ජලය පොම්ප කිරීම හැකි තරම් දුරට සිදුකරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.

පවතින වියළි කාලගුණය හමුවේ මේ දිනවල ජල පරිභෝජනය ද උපරිම මට්ටමකට පැමිණ තිබෙනවා.

ඒ අනුව ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසටයි ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, අද (29) දිනයේදී පැය 7 කට වැඩි කාලයක් විදුලිය කප්පාදු කිරීම සදහා මහජන උපයෝගීතා කොමිසමේ අවසරය හිමිවුණා.

ඒ අනුව පී සිට ඩබ්ලිව් දක්වා (P-W) කලාපවලට පෙරවරු 8:30 ත්, සවස 6:30 ත්, අතර පැය 5 ක් සහ පස්වරු 6:30 ත්, රාත්‍රී 11 ත් අතර පැය දෙකයි (2) මිනිත්තු 30 ක් අද (29) විදුලිය කප්පාදු කිරීම සිදු කෙරෙනු ඇති.

එසේම ඒ සිට එල් දක්වා (A-L) කලාපවලට පෙරවරු 8 ත්, සවස 6 ත් අතර පැය 5 ක් සහ පස්වරු 6 ත්, රාත්‍රී 11 ත් අතර පැය දෙකයි (2) මිනිත්තු 15 ක් අද (29) විදුලිය කප්පාදු කිරීම සිදු කිරීමට නියමිතයි.

++++++

ෂැංහයි නුවර වසා දැමීමෙන් ලෝක වෙළදපොළේ තෙල් මිල පහත වැටේ

(29.03.2022 – 08:13 +0530 – hirunews.lk/sinhala)

චීනයේ වාණිජ කේන්ද්‍රය වන ෂැංහයි පුරවරය කොරෝනා වසංගතය යළි උත්සන්න වීම නිසා වසා දැමීමට චීන බලධාරීන් පියවර ගැනීමත් සමග ලෝක වෙළදපොළේ ඛනිජ තෙල් මිලෙහි කැපී පෙනෙන පහත වැටීමක් වාර්තා වනවා.

ඒ, ඉන්ධන සදහා පවතින ගෝලීය ඉල්ලුම පහත වැටීමේ අවදානම හේතුවෙන්.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 8.17 කින් එනම් සියයට 6.8 කින් පහත වැටී සටහන් වූයේ ඩොලර් 112.48 ක් ලෙසයි.

ඇමරිකානු ඩබ්ලිව් ටී.අයි. තෙල් බැරලයක මිල ද සියයට 7 කින් පමණ පහත වැටී ඩොලර් 105.96 ක් ලෙස සටහන් වුණා.

මෙලෙස තෙල් මිලෙහි පහත වැටීමක් වාර්තා වුවද ලෝක වෙළදපොළේ ඛනිජ තෙල් මිල තවදුරටත් පවතින්නේ මීට වසරකට පෙර පැවති මිලට වඩා සියයට 80 කින් ඉහළ මට්ටමකයි ෴

+++++++

සිංහල අවුරුද්දට මහජනතාවට සහන – විදුලි බිල වැඩි වෙයි ද ?

(29.03.2022 – 08:21 +0530 – hirunews.lk/sinhala)

සිංහල අලුත් අවුරුද්ද සඳහා අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5000 බැගින් මාස දෙකක් (2) ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ලක්ෂ 31 කට ආසන්න පිරිසකට ඒ අනුව අදාළ 5000 සේ දීමනාව ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

සිංහල අවුරුදු බෝනස් ලෙස අදාළ මුදල ලබාදෙන බව අමාත්‍ය මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ සදහන් කළා.

එමෙන්ම, විදුලිබිල, ගෑස් සහ ඉන්ධන මිල ඉහළ දැමීම මේ මොහොතේ කිසිසේත් සිදු නොකරන අතර, විදුලි බිල වැඩි කරන්නේ නම් එය සිදු කෙරෙන්නේ පැය 24 පුරා අඛණ්ඩව විදුලිය ලබාදීමෙන් පසුව පමණක් බවයි මුදල් අමාත්‍යවරයා ඊයේ (28) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත්, දුම්රිය ගාස්තු සංශෝධනය සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, ඊයේ (28) පැවති අමාත්‍ය මණ්ඩල හමුවට අදාළ සංශෝධනය ඉදිරිපත් කළ අවස්ථාවේ දී යි.

ඒ අනුව අදාළ සංශෝධන ගාස්තුව සහ එය ක්‍රියාත්මක කරන දිනය පසුව ප්‍රකාශයට පත් කරන බවයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් ගාස්තු ද පසුගිය දා ඉහළ නංවනු ලැබුවේ සියයට 15 ක ප්‍රතිශතයකින්.

එහිදී රුපියල් 17 ක් ලෙස පැවති අවම බස් ගාස්තුව රුපියල් 20 දක්වා ඉහළ දැමුණා.

++++++

ඉන්ධන නොමැති නිසා පිරවුම්හල් රැසක් වසා දැමේ

(29.03.2022 – 13:07 +0530 – hirunews.lk/sinhala)

නියමිත පරිදි ඉන්ධන තොග නොලැබීම හමුවේ මේ වන විට ඉන්ධන පිරිවුම්හල් රැසක් වසා දමා තිබෙනවා.

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකම ඊයේ (28) සිට දිගු ඩීසල් පෝලිම් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

ඇතැම් ප්‍රදේශ වල ඉන්ධන පෝලීම් හේතුවෙන් පිරවුම්හල් අවට මාර්ගවල රථවාහන ධාවන කටයුතුවලට ද බාධා මතුව තිබෙනවා.

පිරවුම්හල් වලින් පෙට්‍රල් ලබාදීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙනවා.

එහෙත්, ඩීසල් තොග ලබගැනීම සදහා කොලොන්නාව පර්යන්තය වෙත ගිය බවුසර් රථ රැසක් ඩීසල් තොග නොලැබීම නිසා මේ වන විටත් කොලොන්නාව ගජබාපුර අංගනයේ ගාල්කර ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පැවසුවා.

පවතින ගැටලුව සඳහා බලශක්ති අමාත්‍යවරයාගෙන් කඩිනම් විසදුමක් අපේක්ෂා කරන බවයි ඔවුන් සඳහන් කළේ.

මේ අතර, ඉන්දියානු ආධාර යටතේ තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 3500 ක් රැගත් නෞකාවක් හෙට (30) දිවයිනට පැමිණිමට නියමිත බව වාර්තා වුනා.

ඉන්ධන ඉල්ලා අද (29) පෙරවරුවේ පැවති විරෝධතාවක් හේතුවෙන් කොටුගොඩ – මිනුවන්ගොඩ මාර්ගය ඕපාත ප්‍රදේශයෙන් අවහිර වුනා.

ඉන්ධන ඇතුළු ගැටලුවලට විසදුම් ඉල්ලා ඊයේ (28) රාත්‍රීයේ ප්‍රදේශවාසීන් පිරිසක් කොට්ටාව මංසන්ධියේදීද විරෝධතාවක් නිරතවුනා.

මේ අතර, ගෑස් ලබාගැනීම සදහා ද තවදුරටත් ප්‍රදේශ රැසක දිගු පෝලිම් පවතිනවා.

පසුගිය 23 වනදා සිටි මේ දක්වා දිනකට සිලින්ඩර ලක්ෂය බැගින් වෙළදපොලට නිකුත් කිරීමට පියවර ගත් බවයි ලිට්රෝ සමාගම පැවසුවේ.

ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් අඩංගු තවත් නෞකාවක් අද (29) පෙරවරුවේ දිවයිනට පැමිණ ඇති අතර සාම්පල වාර්තා ලැබීමෙන් අනතුරුව එහි ගෑස් ගොඩබෑම හෙට (30) සිට ආරම්භ කිරීමට නියමිතයි.

+++++++++++++

බස් රථ ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන් කියයි

(29.03.2022 – 17:22 +0530 – hirunews.lk/sinhala)

පවතින ඉන්ධන අර්බුදයට කඩිනම් විසදුමක් නොලැබුණහොත් ලබන සතියේදී සියලු බස් රථ ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය අනතුරු අගවනවා.

එහි සභාපති ගැමුණු විජේරත්න අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් අනෙකුත් ප්‍රවාහන වෘත්තීය සමිති සමග ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

++++++++++++

බාල ඉන්ධන කිසිසේත් බෙදා හරින්නේ නැහැ – ගාමිණී ලොකුගේ

(29.03.2022 – 20:15 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමිතියෙන් තොර ඉන්ධන බෙදාහරින බවට ප්‍රචාර සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසනවා.

අද (29) කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ප්‍රමිතියෙන් තොර බාල ඉන්ධන කිසිසේත් ඛනිජ තෙල් සංස්ථාව විසින් බෙදා නොහරින බවයි.

එමෙන්ම ලබන 31 සහ 01 වනදායින් පසු පවතින ඩීසල් හිඟය පහව යනු ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේගෙන් මෙම ඉන්ධන ගැටළුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර, ඊට පිළිතුරු ලබාදීමේදී මාධ්‍ය හමුවට එක්වූ කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායකද මැදිහත්වුණා.

අදත් (29) කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකම දිගු ඩීසල් පෝලිම් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මේ අතර, චීනයේ වාණිජ කේන්ද්‍රය වන ෂැංහයි පුරවරය කොරෝනා වසංගතය යළි උත්සන්නවීම නිසා වසා දැමීමට චීන බලධාරීන් පියවර ගැනීමත් සමග ලෝක වෙළදපොළේ ඛනිජ තෙල් මිලෙහි පහත වැටීමක් වාර්තා වූ අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 112.48 ක් ලෙස දැක්වුණා.

මේ අතර, ගෑස් ලබාගැනීම සදහා ද තවදුරටත් ප්‍රදේශ රැසක දිගු පෝලිම් පවතිනවා.

++++++++++++

හෙට (30) සහ අනිද්දා (31) ඩීසල් ගන්න පෝලිම්වල රැඳෙන්න එපා – ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක්

(29.03.2022 – 22:54 +0530 – hirunews.lk/sinhala)

අද (29) සවස ගොඩබෑමට නියමිතව තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් සහිත නෞකාවේ ඩීසල් ගොඩබෑමට නොහැකි වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසනවා.

ඒ හේතුවෙන් හෙට (30) සහ අනිද්දා (31) දෙදින තුළ ඩීසල් ලබාගැනීම සඳහා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී නොසිටින ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

නමුත්, අත්‍යවශ්‍ය සේවා සඳහා ඩීසල් සැපයුම අඛණ්ඩව සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම පෙට්‍රල් පිළිබඳව කිසිඳු ගැටලුවක් නොමැති අතර මහජනතාවට සාමාන්‍ය පරිදි පෙට්‍රල් ලබාගත හැකි බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ සඳහන් කළා ෴

@@@@@@@@@@@@@@

නව දුම්රිය ගාස්තු අප්‍රේල් 01 වනදායින් පසු

(29.03.2022 – 19:27 +0530 – hirunews.lk/sinhala)

නව දුම්රිය ගාස්තු අප්‍රේල් පළමුවැනිදා (01) යින් පසු ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ඊයේ (28) දිනයේ අදාළ ගාස්තු සංශෝධන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් පසු අමාත්‍යවරයා මාධ්‍යයට කියා සිටියේ හෙට (30) සිට නව දුම්රිය ගාස්තු ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට දුම්රිය අතිකාල සේවාවන්ගෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කළා.

මේ අතර, සේවකයින් පිරිසක් ශ්‍රී ලංගම මුලස්ථානය ඉදිරිපිට අද (29) උද්ඝෝෂණයක නිරත වුණේ වැටුප් වර්ධක ගෙවා නොමැති බව සදහන් කරමින්.

***************************************

රෝහල් රැසක ඖෂධ හිඟ බව ඖෂධවේදීන් හෙළි කරයි

(29.03.2022 – 19:30 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා රෝහල් රැසක හෘද, වකුගඩු සහ පිළිකා රෝගීන්ට භාවිත කරන ඖෂධ විශාල ප්‍රමාණයක මේ වනවිට තොග අවසන් වී ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඉදිරි මාස දෙක (2) ඇතුළත තවත් ඖෂධ විශාල ප්‍රමාණයක තොග අවසන්වීමට නියමිත බවයි එම සංගමය අනාවරණ කළේ.

මේ අතර පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් කල්දැමීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටවූ බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න ප්‍රකාශ කළා.

වෛද්‍ය උපකරණ සහ ඖෂධ හිඟය නිසා පේරාදෙණිය රෝහලේ සැළසුම් කළ ශල්‍යකර්ම පැය කිහිපයකට අද (29) පෙරවරුවේ තාවකාලිකව නතර කෙරුණා.

කෙසේ වෙතත් වෛද්‍ය සැපයුම් අංශයෙන් සැත්කම් සඳහා අවශ්‍ය ඖෂධ සහ උපකරණ කඩිනමින් සැපයීමට කටයුතු කරන බව දැනුම්දීමෙන් පසු රෝහලේ සැත්කම් සාමාන්‍ය පරිදි සිදුකිරීම ආරම්භ කළ බවයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

ඖෂධ නිෂ්පාදනය, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ගෙන් අප මේ ගැන විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ අදාළ ඖෂධ ලබාගැනීමට අවශ්‍ය ඉල්ලීම් ඉදිරිපත් කර නොතිබූ බවයි.

මේ අතර වෛද්‍ය උපකරණ සහ ඖෂධ හිඟය නිසා පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශල්‍යකර්ම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ පුවත ප්‍රචාරය වීමත් සමඟ මෙරට රැඳී සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජායිශංකර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊට ප්‍රතිචාර දක්වා තිබුණා.

ඔහු එමඟින් සඳහන් කර තිබුණේ මේ සඳහා ඉන්දියාවට සහය විය හැකි ආකාරය සම්බන්ධයෙන් සොයාබලන ලෙස තමන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත දැනුම්දුන් බවයි.

තමන් මෙම පුවත සැළවීමෙන් කළබලයට පත්වූ බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ට්විටර් පණිවුඩයේ සඳහන්.

ඒ අනුව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්.ඩී. ළමාහේවා සහ එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා සම්බන්ධ කරගනිමින් දැනුම්දී ඇත්තේ සැළසුම් කළ ශල්‍යකර්ම සඳහා හිඟ ඖෂධ ලැයිස්තුව ලබාදෙන ලෙසයි.

මේ සම්බන්ධයෙන් අප පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඊට අදාළ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.

මේ අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ ද ඖෂධ හිඟයක් හේතුවෙන් සැත්කම් සීමා කර ඇති බව එම රෝහලේ බලධාරියෙකු සඳහන් කළා.

නිර්වින්දනය කිරීමෙන් පසු යළි සිහිය ලබාගැනීම සඳහා භාවිත කරන ‘නියෝස්ටිග්මින්’ නැමති ඖෂධයයි මෙලෙස හිඟවී ඇත්තේ.

මේ හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ සැළසුම් කළ සැත්කම්වලින් අත්‍යවශ්‍ය සැත්කම් පමණක් සිදුකරන බව රෝහල් බලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ඖෂධ මිලදී ගැනීම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට ප්‍රමුඛතාව ලබානොදීම ඖෂධ හිඟවීමේ ගැටළුවට හේතු වී ඇති බවයි.

***************************************

පානදුරේ හෝටලයක වැසිකිළි වළකින් – තරුණියකගේ සිරුරක් සොයා ගැනේ

(29.03.2022 – 20:05 +0530 – hirunews.lk/sinhala)

පානදුර – පින්වත්ත ප්‍රදේශයේ සංචාරක හෝටලයක වැසිකිළි වළක තිබී කාන්තා මළ සිරුරක් අද (29) සොයා ගත්තා.

ඒ හෝටල් හිමිකරු විසින් පොලීසිය වෙත කළ දැනුම් දීමකට අනුව සිදු කළ විමර්ශනයකදීයි.

සිද්ධියට අදාලව හෝටලයේ සේවකයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ කඩවත ප්‍රදේශයේ රාත්‍රී සමාජශාලාවක සේවිකාවක්.

අදාල හෝටලයේ සේවකයන් පිරිසක් පසුගිය 25 එම සමාජශාලාව වෙත ගිය අවස්ථාවේදී ඇය හමුවී ඇති බවත් පසුව පින්වත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලය වෙත කැඳවාගෙන පැමිණි බවටත් මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා ෴

+

@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@

තවත් කොරොනා මරණ හතරක් (4)

(29.03.2022 – 17:03 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (28) සිදුවූ කොරෝනා මරණ හතරක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (29) තහවුරු කළා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 16,469 ක් ලෙසයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *