හෙට (30) පැය 10 ක් විදුලිය කැපෙයි

හෙට (30) පැය 10 ක් විදුලිය කැපෙයි

*********************************************

හෙට (30) පැය 10 ක් විදුලිය කැපෙයි

(29.03.2022 – 20:49 +0530 – hirunews.lk/sinhala)

හෙට (30) දිනයේදී පැය 10 ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

අද (29) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළා.

ඒ අනුව හෙට (30) උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා පැය 10 ක කාලයක් එලෙස දිවයින පුරා විවිධ කාලපරාසයන් හිදී එම විදුලි කප්පාදුව සිදුවනවා.

A සිට L දක්වා වූ කලාපවල උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා කාලය අතරතුර පැය 10 ක විදුලි කප්පාදුව ක්‍රියාමක් අතර P සිට W දක්වා කලාප සඳහා ද පැය 10 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.

ඊට අමතරව M,N,O,X,Y,Z ලෙස අලුත් කලාප කිහිපයක් ද එකතු වී තිබෙනවා.

එම කලාපවල උදෑසන 8 සිට සවස 6 දක්වා කාලය අතරතුර අදාළ විදුලි කප්පාදුව සිදුවනවා.

++++++++++++

විදුලියට ජලය තවත් දින හතයි (7)

(29.03.2022 – 20:44 +0530 – hirunews.lk/sinhala)

වියළි කාලගුණය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම සිඝ්‍ර ලෙස අඩුවීම නිසා ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි වන්නේ තවත් සතියක කාලයක් පමණක් බව විදුලි බල මණ්ඩලය පවසනවා.

අවශ්‍ය ප්‍රමාණයට ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන ලබා නොදීම නිසා තවදුරටත් විදුලි උත්පාදනයට බාධා මතුවනු ඇතැයි විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

මේ වනවිට කාසල්රි ජලාශයේ ජල මට්ටම සියයට 7.7 ක් වන අතර, සමනළ වැව ජලාශයේ ජල මට්ටම පවතින්නේ 11.4 ක්. කොත්මලේ සහ වික්ටෝරියා ජලාශවල ජල මට්ටම ද සියයට 30 ටත් වඩා අඩුවී තිබෙනවා.

එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙසයි විදුලිබල අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර මධ්‍යම කදුකරය ආශ්‍රිතව පවතින වියළි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සීඝ්‍ර ලෙස අඩුවීම නිසා පැරණි තෙල්දෙණිය නගරයේ නටබුන් ඊයේ (28) දිනයේ දැක ගැනීමට හැකි වු බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

එසේම, ඇතැම් ප්‍රදේශවල දුරකථන කුළුණුවල විදුලිජනනය සඳහා අවශ්‍ය ඩිසල් තොග නොලැබීම නිසා සහ විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් ආරක්ෂිත බැටරි පද්ධතිය නිසි පරිදි බලගැන්වීමට නොහැකිවීමෙන් විදුලි කප්පාදුව සිදු වනවිට 3G සහ 4G සංඥා පද්ධතිය අක්‍රිය වන බව වාර්තා වනවා.

කෙසේ නමුත් එය සාමාන්‍ය ඇමතුම් සහ කෙටි පණිවිඩ සේවා සඳහා අදාළ නොවන බව සඳහන්.

මේ අතර , ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශ සඳහා ප්‍රමාණවත් වර්ෂාපතනයක් මැයි මාසය දක්වා නොලැබෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ.

***************************************

Swarnavahini TV – IRA – 28.03.2022 – Wimal Weerawansa

***************************************

Hiru TV – Salakuna – EP 330 – 28.03.2022 – Udaya Gammanpila

***************************************

Siyatha TV – Turning Point – 29-03-2022 – Prof. Rohana Luxman Piyadasa

***************************************

කතානායකට වැරදි උපදෙසක්.. පාර්ලිමේන්තුව විසුරුවන ක‍්‍රමය මෙන්න… – උදය ගම්මන්පිල

(29.03.2022 – 15:00 +0530 – lankacnews.com)

මේ ආණ්ඩුව අවසන් වන දා රාජපක්ෂවරුන්ගේ දේශපාලනය පමණක් නොව වසර 80 ක් පුරාවට තිබු පවුල් පාලනය ද අවසන් වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (29) දින පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍යහමුවක් හා එක්වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා :

බැසිල් ‘කෝසම් සුල්තානා’ වගේ

රාජපක්ෂවරුන් ගෙන් ගිලිහෙන ඡන්ද, කෙමනක් අටවලා එකතු කරලා මීලඟ ජනපතිවරණයේ දී ඒ ඡන්ද නාමල් රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ගිණුමකට ඒකතුකිරීමේ කුමන්ත්‍රණයක අපි යෙදී සිටින බවට විපක්ෂයේ සමහරු චෝදනා කරනවා. නාමල් ඇමතිතුමාගේ අවාසනාවට මේ ආණ්ඩුව අවසන් වන දාට රාජපක්ෂවරුන්ගේ දේශපාලනය විතරක් නොවේ වසර 80 ක් පුරාවට තිබුණු පවුල් පාලනය ද අවසන් වෙනවා. අපිට නැවත රාජපක්ෂවරයෙකු රජ කිරීමේ උවමනාවක් නෑ. මොන රාජපක්ෂ රජ වුණත් අවසානයේ රට පාලනය කරන්නේ බැසිල් රාජපක්ෂ. බැසිල්ගේ කල් ක්‍රියාව දුටු විට අපට සිහිපත් වෙන්නේ ඔටෝමාන් අධිරාජ්‍යයේ සිටි ‘කෝසම් සුල්තානා’.

මහද්විප තුනක් (3) පුරා පැතිරුණු දැවැන්ත ඔටෝමාන් අධිරාජ්‍යයේ 17 වන සියවසේ සිටි අහ්මත් සුල්තාන්ගේ සුරූපි බිරිඳ තමයි ‘කෝසම් සුල්තානා’. අධිරජුගේ පිටුපස සිට රට පාලනය කලේ කෝසම්. ඔහු මිය ගියාට පස්සේ සිය පුතු මුරාද් සිහසුනේ තබාගෙන ඇය රට පාලනය කලා. මවගේ ඇඟිලි ගැසීම් වලට මුරාද් විරුද්ධ වුණාම ඔහු මරා දමා බාල පුතු ඊබ්‍රහිම් රජ පුටුවේ තබා රූකඩ නැටවීම ඉදිරියට ගෙන ගියා. අවසානයේ සිය මවගේ රූකඩ නැටවීමට ඊබ්‍රහිම් විරුද්ධ වුණාම සිය පුතු මරා දමා සිය මුණුබුරු මෙහෙමද් රජ කිරීමට කෝසම් කටයුතු කළා. ඒදා තුර්කියේ කවුරුන් රජ වුණත් රට පාලනය කරන්නේ කෝසම් වගේ ලංකාවේ මොන රාජපක්ෂ රජ වුණත් අන්තිමට රට පාලනය කරන්නේ බැසිල්.

ද්විත්ව පුරවැසියන්ට තනතුරු අහිමි කරන විසිදෙවන (22) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්

බැසිල් රාජපක්ෂ රජ වුණේ 20 වන සංශෝධනය නිසා කියලා මිත්‍යාවක් අද සමහරු පතුරනවා. 20 වන සංශෝධනය නිසා සිදු වුණේ බැසිල්ට මුදල් ඇමති ධූරය ලැබුණු එක විතරයි. මුදල් ඇමතිට රට පාලනය කරන්න බලයක් කොහෙන් ද? ජේ.ආර්. ආණ්ඩුවේ රට පාලනය කලේ රොනී ද මැල් ද? ප්‍රේමදාස ආණ්ඩුවේ රට පාලනය කලේ කේ.එන්. චොක්සි ද? සිරිසේන ආණ්ඩුවේ රට පාලනය කලේ මංගල සමරවීර ද? නෑ. අද බැසිල් රාජපක්ෂ රට පාලනය කරන්නේ 20 වන සංශෝධනය හරහා පත් වූ මුදල් ඇමති විධියට නොවේ. පාර්ලිමේන්තු බහුතරය තිබෙන පොහොට්ටු පක්ෂයේ නායකයා විධියටයි ඔහු අද රට පාලනය කරමින් සිටින්නේ; හරියටම කියනවනම් රට විනාශ කරමින් සිටින්නේ. ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රන්ට මහ බැංකු අධිපති වෙන්න පුළුවන් වුණෙත් 19 වන සංශෝධනයේ හිලකින් රිංගලා. 19 වන සංශෝධනය යටපත් කරගෙන 20 වන සංශෝධනය නාවත් බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ ආකාරයෙන්ම රට පාලනය කරණවා. ඒසේ නම් 19 වන සංශෝධනයෙන් වැසුවේ නැති හිල් ටිකක් දැන් වැසිය යුතුයි.

මේ අර්බූදයට විසඳුම විධියට ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රි ධූර, ජනාධිපති ධූරය පමණක් නොවේ රාජ්‍යයේ කිසිම වැදගත් තනතුරක් දරන්න බැරි කරන විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අප්‍රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ද්විත්ව පුරවැසියන්ට කිසිම මහජන නියෝජිත තනතුරක්, ආණ්ඩුවේ තනතුරක් වගේම අධිකරණයේ විනිසුරු තනතුරක් ද දරන්න බැරි වෙනවා.

ප්‍රශ්නය :

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ඔබතුමා මොකද හිතන්නේ ?

පිළිතුර :

අද වෙබ් අඩවිවල වාර්තා කරලා තිබුණා කතානායකතුමා කිව්වා කියල පාර්ලිමේන්තුව වසර දෙකහමාරක් (2½) යන තුරු විසුරුවා හරින්න බැහැ කියලා. ඇත්තෙන්ම ගරු කතානායකතුමාට වැරදි උපදෙසක් දීලා තියෙන්නේ. මම අදාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ වගන්තිය කියවන්නම් රටටම දැන ගන්න.

අපි මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තමන් පාලනය කලයුතු ආණ්ඩුව තීරණය කිරීමේ අවස්ථාව නැවත ජනතාවට ලබාදීමේ වෑයමක කටයුතු කරනවා. ඒ නිසා ගරු කතානායකතුමාට කවුරුහරි ලබාදුන්නු වැරදි උපදෙසක් නිසා එතුමා කියලා තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් වසර දෙක හමාරක් (2½) ගත විය යුතුයි කියලා. එහෙම අවශ්‍ය වෙන්නේ ජනාධිපතිතුමාගේ කැමැත්ත මත පාර්ලිමේන්තුව විසුරුවා හරින්න.

නමුත් පාර්ලිමේන්තුවේ උවමනාවෙන් පාර්ලිමේන්තුව ඕනෑම අවස්ථාවක විසුරුවා හරින්න පුළුවන්. ඒ බව සඳහන් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 /1 (අ) වගන්තියෙ. එම වගන්තිය කියවන්නම්.

(ඈ) වන ඡේදයේ විධිවිධාන වලට යටත් ව පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියොත් මිස ඒ පාර්ලිමේන්තුව පළමු වරට රැස්වීමට නියමිත දින සිට අවුරුදු දෙකකුත් (2) මාස 6 කට නොඅඩු කාලසීමාවක් ඉකුත් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා නොහැරිය යුත්තේ ය.

පාර්ලිමේන්තුවට පුලුවන් ඕනම වෙලාවක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්න පාර්ලිමේන්තුව විසුරවා හරින්න. එතකොට ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න සිද්ධ වෙනවා. එහෙම ඉල්ලීමක් නැතුව ජනාධිපතිවරයාට විසුරුවාහරින්න නම් පාර්ලිමේන්තුවේ පළවෙනි රැස්වීමේ ඉදන් අවුරුදු දෙකහමාරක් (2½) ගත වෙනවා. එතකොට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් 2023 මාර්තු 03 දක්වා බලා සිටීමට සිදුවිය යුතුයි. නමුත් පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් සම්මත කරලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඕනෑම වෙලාවක පුළුවන් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70/1 (අ) වගන්තියෙන් ඉතාම පැහැදිලියි.

ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියන ව්‍යාපෘතිය අපි කරන්යද්දි ජනතාව ඉදිරියට යාගන්න බැරි, පහුගිය කාලේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ දේශද්‍රෝහී දූෂිත වැඩපිළිවෙළට සහය දක්වපු මන්ත්‍රීවරුන්ගේ බඩ පපුව දන්න පටන් අරගෙන තියෙනවා. ඒ අයගේ සිත සැනසීමට තමයි මෙවැනි බොරුවක් ආණ්ඩුවෙන් ප්‍රචාරය කර තියෙන්නෙ. ඒක සම්පූර්ණයෙන් වැරදියි . ඇත්තම කියනවා නම් පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය විස්සයි (20). විස්සක් (20) වාඩිවෙලා එකොළහක් (11) කැමති වුණත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන්.

ප්‍රශ්නය :

ඔබතුමන්ලා කිව්වා පාර්ලිමේන්තුවේ බහුතරය ඔබතුමන්ලා පෙන්නනවා කියලා. ඒ බහුතරය පෙන්නන්නෙ සිංහල අවුරුද්දට කලින් ද නැත්නම් තව පෝය කීයක් යයිද?

පිළිතුර :

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයකින් ආණ්ඩුව පරාජය කිරීම අතිශයින්ම දුෂ්කර වැඩක්. ඒක කරන්න නම් සමාජයේ ජනතාවගේ ලොකු පෙළඹවීමක් තියෙන්න අවශ්‍යයි මේ ආණ්ඩුවට ‘ගෙදර පල’ කියලා . අප්‍රේල් මාසේ ඉන්දියානු ණය පහසුකමෙන් හම්බවෙන ඩොලර් බිලියන එකහමාර (1½) නිසා මේ දුෂ්කර තත්වයේ යම් සහනයක් ඇති වෙයි. ‘අපායට ඉන්ටවල්ටවල්’ ලැබෙනවා. ‘අපායේ ඉන්ටවල්’ එකේදී ඕක කරගන්න බැරිවෙනවා. එතකොට මේ ණය පහසුකමෙන් ලැබිච්ච සහනය අවසන් වෙලා ජනතාවගේ දුෂ්කර කාලය යළි උදා වුණහම ජනතාව පාරට බැහැලා අරගල කරනවා. ඒවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව අපිට පොළඹවා ගන්න පුළුවන් ‘ආණ්ඩුවට යන්න බෑ; ඉදිරියට පාර්ලිමේන්තුව විසුරුවා හැරලා පාර්ලිමේන්තු මැතිවරණයකින් ජනතාවට නැවත තීන්දු ගැනීමේ අයිතිය ලබාදීමට අපි කටයුතු කළ යුතුයි’ කියන තැනට. 113 ක් ම එකඟ වෙන්න අවශ්‍යයි. එහෙම පොළඹවා ගන්න නම් රටේ ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් වෙන්න ඕන. තත්ත්වය හරි කියලා තේරුණ ගමන් 113 හැදුන ගමන් අපි යෝජනාව ගේනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ පරිපාලන ලේකම් තිලින පීරිස් කොළඹ දිසා සංවිධායක හා මධ්‍යම කාරක සභික ශිරන්ත ජයලත් යන මහත්වරුන්ද සහභාගී විය ෴

***************************************

‘පාත් ෆයින්ඩර්’ කල්ලිය රට කැලේ අරගෙන යනවා – බැසිල් හදන්නේ දාස රාජ්‍යයක ආණ්ඩුකාරයා වීමටයි – ජාතික සංවිධාන කියයි

(29.03.2022 – 16:22 +0530 – lankaleadnews.com)

සූම් තාක්ෂනය ඔස්සේ පැවැත්වූ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ ආණ්ඩුවේ අභ්‍යයන්තරයේ සිටින පිරිසක් ශ්‍රී ලංකා රාජ්‍යය දණ ගැස්සවීමට ක්‍රියා කරන බවයි. එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයට එරෙහිව පංච (5) විධ වට ලෑමක් තිබෙන බවයි. එම පෙරමුණු පහෙන් (5) එකක් (1) එනම් අභ්‍යයන්තරයේ සිට රාජ්‍යය දණ ගැස්වීමේ ක්‍රියාවලිය දියත් කරණ පෙරමුණට බැසිල් රාජපක්ෂ නායකත්වය ලබා දෙන බව සහ එම ක්‍රියාවලිය පිටුපස ‘පාත් ෆයින්ඩර් සංවිධානය’ සිටින බවට ඔහු චෝදනා ඉදිරිපත් කළේය.

***************************************

ආයතන අධ්‍යයක්ෂක චන්දන කුලතුංග වෛද්‍යය සාෆිගෙන් පගාව අරගෙන නීතිය නවන බවට චෝදනා

(29.03.2022 – 15:34 +0530 – lankaleadnews.com)

මූලික විනය පරීක්ෂණයකින් පසුව විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව චූදිතයෙකු පිළිබඳව ගනු ලැබූ තීන්දුවක් වෙනස් කළ නොහැකි බව ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි. තිරාණගම මහතා එසේ පැවසුවේ වෛද්‍යය සාෆි විසින් අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුවකට අදාලව නීතිපතිවරයා මාර්ගයෙන් ඔහුගේ හිඟ වැටුප් ගෙවීම සඳහා කටයුතු කරන බවට ආයතන අධ්‍යයක්ෂක චන්දන කුලතුංග විසින් තීරණය කර ඇති බවට අධිකරණයට කරුණු දක්වා ඇති බවට පළවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් කරුණු විමසීමේදීයි.

ඒ පිළිබඳව මීට පෙර වෛද්‍යයවරු රාශියක් අදහස් දක්වමින් සඳහන් කළේ වෛද්‍යය සාෆිගේ විනය පරීක්ෂණ අවුල් කිරීම සඳහා සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ නීති නිලධාරිනිය සහ රාජ්‍යය සේවා කොමිශන් සභාවේ සෞඛ්‍යය කමිටුවේ ප්‍රධානියා කටයුතු කරන බව ප්‍රසිද්ධ කරුණක් වුවත් කිසිවෙකු ඊට එරෙහිව පියවර නොගන්නා බවයි. ඒ අතර වෛද්‍ය සාෆිට එරෙහිව නඩු විභාගය පවතින කුරුණෑගල අධිකරණයේදී එම පරීක්ෂණ සිදුවන ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවට විනිසුරුවරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශයක් සිදු කළ බවටද වාර්තා විය ෴

***************************************

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කල ගිවිසුම් 6 මෙන්න

(29.03.2022 – 15:01 +0530 – lankaleadnews.com)

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්ගේ ශ්‍රි ලංකා සංචාරය අතරතුර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් 06 කට විදේශ කටයුතු අමාත්‍යංශයේදී අදාළ ගිවිසුම් අත්සන් තබා ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසනවා.

ඒ අනුව ඉන්දීය රජයේ සහය ඇතිව ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍යතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, සමුද්‍ර ගළවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ඇති කිරීම, යාපනයට ඔබ්බෙන් වූ දූපත් 03 ක දෙමුහුන් බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇත.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය කිරීම, ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200 ක නවීකරණ පරිගණක විද්‍යාගාර පිහිටුවීම, සුෂ්මා සුරාජ් විදේශ සේවා ආයතනය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජතාන්ත්‍රික පුහුණු ආයතනය අතර ද අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇත ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *