2022 වසරේ මුල් මාස දෙකේ රුපියල් බිලියන 11 ක සහල් ආනයනය කෙරේ

2022 වසරේ මුල් මාස දෙකේ රුපියල් බිලියන 11 ක සහල් ආනයනය කෙරේ

*********************************************

2022 වසරේ මුල් මාස දෙකේ රුපියල් බිලියන 11 ක සහල් ආනයනය කෙරේ

(28.03.2022 – 20:08 +0530 – hirunews.lk/sinhala)

විදේශ විනිමය සපයා ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක 2022 වසරේ මුල් මාස දෙක තුළ දී සහල් ආනයනය සඳහා රජය රුපියල් බිලියන 11 කට අධික මුදලක් වැය කර තිබෙනවා.

රේගු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව එලෙස ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1,22,217 ක්.

පසුගිය වසරේදී රුපියල් බිලියන 7.5 ක් සහල් ආනයනය සදහා වැය කර තිබූ අතර ඒ අනුව එම වසරටම ආනයනය කළ සහල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මෙම වසරේ (2022) මුල් මාස දෙක (2) තුළ දී පමණක් මෙරටට ගෙන්වා ඇති බවයි වෙළදපළ දත්ත පිරික්සීමේදී තහවුරු වන්නේ.

සහල් මෙලෙස ආනයනය කිරීමට රජය තීරණය කරනු ලැබුවේ රසායනික පොහොර තහනමත් සමග මහ කන්නයේ වී අස්වනු අඩුවීම හේතුවෙන්.

ඒ අනුව මෙම වසරේ මුල් මාස දෙක (2) තුළ දී වැඩිම සහල් ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ ඉන්දියාවෙන්.

එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1,17,471 ක් වනවා.

එමෙන්ම, පාකිස්තානයෙන් සහල් මෙට්‍රික් ටොන් 3490 ක් ද, මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 1125 ක් ද ආනයනය කර තිබෙනවා.

ඊට අමතරව චීනය, ඉතාලිය, වියට්නාමය, තායිවානය, ජපානය සහ සිංගප්පූරුවෙන් ද මුල් මාස දෙක (2) තුළදී සහල් ආනයනය කර ඇති බව රේගු දත්ත පරීක්ෂා කිරීමේදී තහවුරු වන කරුණක්.

සහල් ආනයනය කළ ද මේ වන විට වෙළදපළේ දේශීය සහල්වලට අමතරව ආනයනික සහල් මිල පවතින්නේ ඉහළ අගයකයි.

අස්වනු අඩුවීමෙන් ගොවියාගේ ආදායම අඩු වුවද සහල් ආනයනයෙන් ඇතැම් කූඨ වෙළදුන් මේ අවස්ථාවේ විශාල ලාභයක් උපයමින් සිටින බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ ප්‍රකාශ කළේ.

මෑතකදී අනුගමනය කළ වැරදි කෘෂිකාර්මික ප්‍රතිපත්තිය මෙම ගැටළුවලට හේතු වී ඇති බවයි රජරට විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය එල්.පී. රූපසේන සදහන් කළේ ෴

***************************************

රනිල්ට අගමැතිකම දෙන්න අපිට මොලේ අමාරුවක් නැහැ – රෝහිත අබේගුණවර්ධන

(28.03.2022 – 16:54 +0530 – hirunews.lk/sinhala)

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරය ලබා දීමේ කිසිදු සූදානමක් නැතැයි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවධාරණය කරනවා.

එම පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් කියා සිටියේ අගමැති ධුරය සඳහා සුදුසුම පුද්ගලයා මේ වන විට එම තනතුර දරන බවයි.

අගමැති ධූරය සහ ජාතික ආණ්ඩුවක් පිළිබඳව පළ වන වාර්තා පිළිබඳව අද (28) පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙම අදහස් පළ කළා.

මෙහිදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පැවසුවේ, රනිල් වික්‍රමසිංහ අගමැතිකම ලබා දීමට තරම් මොලේ අමාරුවක් සිය පක්ෂයේ කිසිවෙකුට ඇතැයි, තමන් නොසිතන බවයි.

***************************************

ඉන්දීය විදේශ ඇමති හදිසියේම කොළඹ පිහිටි ඉන්ධන පිරවුම්හලකට

(28.03.2022 – 17:17 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජායිශංකර් අද (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවුණා.

එසේම ඔහු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂද හමුවී සාකච්ඡා කර තිබෙනවා.

මීට අමතරව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අද (28) පස්වරුවේ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් ද කොළඹ දී හමුවී ඇති බවටයි වාර්තා වන්නේ.

ඊයේ (28) රාත්‍රියේ දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා පිලිගනු ලැබුවේ අමාත්‍යවරුන් වන ගාමිණි ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිසක් විසින්.

දිවයිනට පැමිණ සිටින විදේශ අමාත්‍යවරයා අද (28) දින අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලක් වෙත ගොස් නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා.

මේ අතර, ණය ප්‍රතිපාදන යටතේ ඉන්දියාවෙන් තවත් ඇමරිකානු ඩොලර් බිලියනයක් ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා අද (28) මේ බව අනාවරණ කළේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරට සංචාරය කරන අතරතුරයි.

***************************************

අලුත් අවුරුදු මගී ප්‍රවාහන සේවාවේ පළමු (1) අදියර 2022 අප්‍රේල් 08 සිට 15 දක්වා

(28.03.2022 – 17:26 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල සිට අපහසුතාවකින් තොරව සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ගම්බිම් බලායන ජනතාවගේ පහසුව පිණිස පොදු බස් රථ සේවාවක් යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සැලසුම් කර තිබෙනවා.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කළේ දවසේ පැය 24 පුරාම විශේෂ මෙහෙයුම් මැදිරියක් ද මෙම කාලය තුළ ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව, අලුත් අවුරුදු මගී ප්‍රවාහන සේවාව අදියර දෙකකින් (2) ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එහි පළමු අදියර 2022 අප්‍රේල් 08 සිට 15 දක්වා පැවැත්වෙනවා.

කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් පර්යන්තයේ බස් සේවා සඳහා ඉල්ලුම වැඩි වුවහොත්, බස් හිමියන් වෙත නොමිලයේ තාවකාලික මගී සේවා අවසරපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බවද එම නිවේදනයේ සඳහන් වැඩි දුරටත් සඳහන්වනවා ෴

***************************************

2021 උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්

(28.03.2022 – 18:22 +0530 – hirunews.lk/sinhala)

2021 උසස් පෙළ විභාගයේ සංගීත සහ නර්තන ප්‍රායෝගික පරීක්ෂණ හෙට (29) සිට අප්‍රේල් 08 දක්වා පවත්වනු ලබනවා.

එමෙන්ම අනෙකුත් විෂයන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා ෴

***************************************

ඇමති ජොන්ස්ටන්, වසන්ත සමරසිංහ ගෙන් රුපියල් බිලියනය වන්දියක් ඉල්ලයි

(28.03.2022 – 19:32 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන (3) අදියර සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා එල්ල කළ බව බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහට එරෙහිව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් රුපියල් බිලියනයක (1) වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබෙනවා.

***************************************

අයි.එම්.එෆ්. යෑම ගැන ඇමරිකාව සතුටින්

(28.03.2022 – 20:18 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේදී ඇමරිකා එක්සත් ජනපදයේ සහය අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (28) පැවති සාකච්ඡාවකදියි.

පසුගිය කාලයේදී මෙරට ආර්ථිකයේ බිද වැටීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට රජය ගත් තීරණය පැසසීමට ලක් කළ ඇමරිකානු තානාපතිවරිය එය මෙරටට දිගුකාලීනව ඉතා වැදගත් වන බවයි සදහන් කර ඇත්තේ.

මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය මගින් ණය පහසුකම් ලබාදීමට කටයුතු කරන බව ද ඇමරිකානු තානාපතිනිය මෙහිදී කියා සිටියා.

කුමන ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකළ ද අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

***************************************

දුම්රිය ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

(28.03.2022 – 21:32 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අද (28) පැවති කැබිනට් රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි.

ඒ අනුව නව ගාස්තු ක්‍රියාත්මක වන දිනය පසුව දැනුම් දෙන බව, ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

++++++

අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 ක්

(28.03.2022 – 21:36 +0530 – hirunews.lk/sinhala)

සිංහල අලුත් අවුරුද්දට අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 බැගින් මාස දෙකක (2) කාලයක් ලබාදීමට අද (28) පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මේ බව සඳහන් කළා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ලක්ෂ 31 කට ආසන්න පිරිසකට ඒ අනුව අදාළ රුපියල් 5000 දීමනාව හිමිවන බවයි.

***************************************

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 7,947 ක් – වැඩිම රෝගීන් කොළඹින්

(28.03.2022 – 09:12 +0530 – hirunews.lk/sinhala)

වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 7,947 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ගතවූ මාස 3 ක කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ ජනවාරි මාසයේ වන අතර, එම සංඛ්‍යාව 5,397 ක්.

පෙබරවාරි මාසයේ රෝගීන් 1,826 දෙනෙකුත්, මාර්තු මාසයේ රෝගීන් 725 දෙනෙකුත් වාර්තාවී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ දක්වා වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 1,433 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයන් 903 දෙනෙකු වාර්තා වී ඇති අතර, යාපනය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 803 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

කුරුණෑගලින් 761 දෙනෙකු, පුත්තලමෙන් 538 දෙනෙකු, කළුතරින් 499 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 456 දෙනෙකු ලෙස වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

***************************************

ඉහළ පෙළේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවස බින්ඳ සොරා අත්අඩංගුවට

(28.03.2022 – 16:31 +0530 – hirunews.lk/sinhala)

ඉහළ පෙළේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ කොල්ලුපිටිය සිරිකොත මාවත නිවස බිඳ රුපියල් කෝටියක් පමණ වටිනා රොලෙක්ස් වර්ගයේ අත් ඔරලෝසුවක් රුපියල් 5000 කට විකුණු පුද්ගලයෙකු සහ ඔහුගේ මිතුරකු කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූවෙක් වන ප්‍රධාන සැකකරු 1994 වර්ෂයේ දී එම විද්‍යාලයේන් ඉහලම උසස් පෙළ ප්‍රතිඵල ලැබූවෙක් බව පොලිසිය සඳහන් කළා.

ප්‍රධාන සැකකරු වන එම පුද්ගලයාට ඉංග්‍රීසි, දෙමළ ,සිංහල අරාබි එමෙන්ම හින්දි භාෂාව ලිවීමට මෙන්ම කතා කිරීමට සහජ දක්ෂතාවයක් ඇත්තෙක් බව පොලීසිය පැවසුවා.

මෙම කෝටිපති ව්‍යාපාරිකයා පවුලේ සාමාජිකයන් සමඟ ඉකුත් ජනවාරි 27 දින නිවස වසා බේරුවල නිවස කරා ගොස් සිටියදී ප්‍රධාන සැකකරු විසින් මෙම නිවස බිඳ රුපියල් කෝටියක් පමණ වටිනා අත්ඔරලෝසුව පවුම් දෙක (2) බැගින් බර වළලු හතරක් (4), ඇපල් වර්ගයේ අයිපෑඩ් එකක් (1) සොරාගෙන ගොස් තිබුනා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) ග්‍රෑන්ඩ්පාස් ඉස්ටේට් පුර පදිංචි වයස අවුරුදු 34 හා 39 වයස් වල පසුවන්නන්.

මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා ෴

+

@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@

තවත් කොරෝනා මරණ 6 ක්

(28.03.2022 – 19:03 +0530 – hirunews.lk/sinhala)

මෙරට තවත් කොරෝනා මරණ 6 ක් සිදුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ ගණන 16,465 ක් දක්වා ඉහළ යනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *