ඩොලරය, රුපියල් 300 ට ආසන්න වේ

ඩොලරය, රුපියල් 300 ට ආසන්න වේ

*********************************************

ඩොලරය, රුපියල් 300 ට ආසන්න වේ

(28.03.2022 – 13:02 +0530 – hirunews.lk/sinhala)

මහ බැංකුව විසින් අද (28) දිනයේ දී නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 300 ට ආසන්නත ම අගයකට පැමිණ තිබෙනවා.

ඒ අනුව අමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 288.74 ක් ලෙස සටහන් වන අතර, විකුණුම් මිල ලෙස දැක්වුණේ රුපියල් 298.99 ක් ලෙසයි.

යුරෝ ගැනුම් මිල රුපියල් රුපියල් 319.50 ක් ලෙසත්, එහි විකුණුම් මිල රුපියල් 330.75 ක් ලෙසත් සටහන් වුණා.

බ්‍රිතාන්‍ය පවුමක අගය ගැනුම් මිලෙහි දැක්වුණේ රුපියල් 380.66 ක් ලෙසයි. එහි විකුණුම් මිල රුපියල් 395.07 ක් ලෙසත් සටහන් වුණා.

යෙන් ගැනුම් මිල රුපියල් 2.35 ක් වුණා. රුපියල් 2.45 කටයි යෙන් විකුණුම් මිල ලෙස සටහන් වූයේ ෴

***************************************

ශ්‍රී ලංකා – ඉන්දියා නාවික හමුදා විශේෂ පුහුණු අභ්‍යාසය හෙටින් අවසන්

(28.03.2022 – 11:06 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා සහ ඉන්දීය නාවික හමුදාව ඒකාබද්ධව මෙරට බටහිර මුහුදු සීමාවේ ආරම්භ කළ විශේෂ නාවික හමුදා පුහුණු අභ්‍යාසය හෙටින් (29) අවසන් වනවා.

විවිධ වේග සීමාවන්හි දි නෞකා මතට හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීම, නැවත ගුවන්ගත කිරීම සහ සාගරික ගුවන් මෙහෙයුම් සිදුකිරීමේ දි ගුවන් යානා නෞකා අතර පණිවුඩ හුවමාරු කරගැනීම යන ප්‍රායෝගීක අභ්‍යාසයන් මෙහිදී සිදු කෙරෙන බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඉන්දීය සාගර කලාපයේ මුදාගැනීමේ මෙහෙයුම්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධි කටයුතු මැඩපැවත්වීම මෙන්ම ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීම ද මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේ අරමුණ වනවා ෴

***************************************

බලපත්‍ර රහිත ව ගිනි අවියක් ළඟ තබාගත් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

(28.03.2022 – 11:44 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී බලපත්‍ර රහිතව නීතිවිරෝධීව ළඟ තබාගෙන සිටි ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

අදාළ සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ, ඊයේ (27) රාත්‍රියේ දී තිරුක්කෝවිල් ප්‍රදේශයේ දී යි.

සැකකරු සන්තකයේ තිබී සොයාගත් ගිනි අවිය මෙරට නිෂ්පාදිත ගිනි අවියක් බවයි සිදු කරන ලද මූලික විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

ගිනි අවිය බෝර 12 වර්ගයේ ගිනි අවියක් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි එම ප්‍රදේශයේ ම පදිංචිකරුවෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබන්නේ තිරුක්කෝවිල් පොලීසිය විසිනුයි ෴

***************************************

ඉන්දීය විදේශ ඇමති ජනාධිපති හමුවෙයි

(28.03.2022 – 12:11 +0530 – hirunews.lk/sinhala)

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් (S. Jaishankar) අද (28) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වුණා.

අද (28) කොළඹ දී ඇරඹෙන පස්වන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහා ජෙයිශංකර් මහතා දිවයිනට පැමිණියා.

ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ පැමිණීම පිළිබඳ සතුට පළ කළ ජනාධිපතිවරයා ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ප්‍රදාන ලබාදීම පිළිබඳ සිය ස්තුතිය ද පළ කළා.

මේ වසරේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 75 වසරක් සැපිරීම නිමිත්තෙන් සමරු කාසියක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීම ඇතුළු සැමරීමේ උත්සව ගණනාවක් සංවිධානය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

***************************************

රටේ එක් නීතියක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධ ගැටලු රැසක් ජනාධිපති කාර්යය සාධන බලකාය වෙත

(28.03.2022 – 12:32 +0530 – hirunews.lk/sinhala)

‘එක රටක් එක නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය උතුරු මැද පළාතේ මහජන අදහස් විමසීම ඊයේ (27) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ දී පැවැත්වුණා.

එම දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි ජනතාව මෙහිදී අදහස් දැක්වූවා.

අනීතිකව සිදුවන අයථා අන්‍යාගම්කරණය මෙම පළාතේ සීඝ්‍රයෙන් ක්‍රියාත්මක වන බවටත්, එය වහා නැවැත්වීමට නීති සම්පාදනය කළ යුතු බවත් පූජ්‍ය කන්තලේ රාහුල, මැදිරිගිරියේ සීවලී, අලුත්වැවේ පේමරතන, දොම්පේ ශාන්ති විහාරී, දිඹුලාගල රාහුල හිමිවරු සහ ඥානරත්නම් කුරුක්කල්තුමා ඇතුළු හින්දු භක්තිකයන් නියෝජනය කරන පිරිසක් අදහස් පළ කරමින් කියා සිටියා.

පොළොන්නරුව ජල ගැලුම් නිම්නය වනෝද්‍යානය ඇතුළු රටේ සියලු ජාතික වනෝද්‍යාන ආරක්ෂා විය යුතු බවත් වන සංහාරයට එරෙහිව සියල්ලන්ටම සමානව නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් පූජ්‍ය නිකපිටියේ චන්දිම හිමියෝ පෙන්වා දුන්නා.

වැලි ජාවාරම්වල නිරත වන පුද්ගලයන්ට හා ඔවුන්ගෙන් අයතා ලෙස මුදල් ලබා ගන්නා රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක විය යුතු බව නිරෝෂණී සුනේත්‍රා කුමාරි පැවසුවා.

වැලිමංකඩ බෙදා දීමේදී අදාළ ප්‍රදේශයේ ජනතාවට ප්‍රමුඛතාව ලැබිය යුතු බවත්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මුදලට යටවීම වැළක්විය යුතු බවත් ඇය ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ෴

***************************************

කොළඹ සහ මොස්කව් අතර ගුවන් ගමන් නවතියි

(28.03.2022 – 12:43 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ රුසියාවේ මොස්කව් නුවර අතර සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.

අද (28) සිට මෙම තීරණය ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කළේ.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු යළි ගුවන් ගමන් කොළඹ සිට මොස්කව් වෙත ආරම්භ නොවනු ඇති.

ලෝක යුද අර්බුදයක් රුසියාව සහ යුක්‍රේනය අතර ක්‍රියාත්මක වන මොහොතක දී යි මෙම ජාත්‍යන්තරව දෙරටම බලපානු ලබන ගුවන් ගමන් නැවැත්වීම සිදු කර ඇත්තේ ෴

***************************************

සංවර්ධන නිලධාරීන් පොළොන්නරුව ප්‍රදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණයේ

(28.03.2022 – 13:02 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට ආර්ථික සංවර්ධන නිලධාරීන් උද්ඝෝෂණයක නිරතවනවා.

ඒ, රාජකාරි කටයුතු සිදු කිරීමේ දී දිගින් දිගට ම දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය දේශපාලනඥයින් බලපෑම් සිදු කරන බවට පවසමින්.

හරිත දැයක් රජයේ නව ව්‍යාපෘතියට අදාළ ව ග්‍රාම නිලධාරී වසම් භාර ආර්ථික සංවර්ධන නිලධාරීන් විසින් අදාළ නිර්ණායක අනුව ගෙවතු තෝරාගැනීමේ දී මෙලෙස ප්‍රදේශීය දේශපාලනඥයින්ගේ බලපෑම් සිදු වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ ෴

***************************************

ගොවීන් යළිත් ගැටලුවක

(28.03.2022 – 13:22 +0530 – hirunews.lk/sinhala)

පොහොර මිල ඉහළ යාම, ඉන්ධන හිඟය හේතුවෙන් තම වෘත්තීය කරගෙන යාමට නො හැකි තත්ත්වයක් මතු ව ඇති බවට ගොවීන් චෝදනා කරනවා.

වැලිමඩ දී ඌව පරණගම ගොවී එකමුතුව මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ, සිය ගැටලුවලට විසදුම් ලබාදීමට රජය කිසිදු අයුරකින් මැදිහත් නොවන බවයි.

රසායනික පොහොර මිටියක් මේ වන විට රුපියල් 17,000 දක්වා ඉහළ ගොස් ඇති බව මාධ්‍ය හමුවට එක්වෙමින් ඌව පරණගම ගොවි එකමුතුවේ ලේකම් එස්.එම්. කරුණාරත්න සහ එහි කැඳවුම්කරු ඩබ්ලිව්.එම්. ගුණවර්ධන කියා සිටියා.

***************************************

පාසල් දරුවෙකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝව ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් විමර්ශනයක්

(28.03.2022 – 13:29 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍යයේ සැරිසරන පාසල් දරුවෙකුට පහරදීමට සූදානම් වන දර්ශනය ඇතුළත් වීඩියෝව සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කරුණු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ වීඩියෝවේ ඇතුළත් පාසල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර, එය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කළ බවයි ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ ප්‍රකාශ කළේ.

දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරීම නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් අදාළ ආයතන සමඟ එක්ව ආරම්භ කරන බවද සභාපතිවරයා සඳහන් කළා ෴

***************************************

මාර්තු මාසයේ සංචාරකයින් 95,377 ක් දිවයිනට

(28.03.2022 – 13:36 +0530 – hirunews.lk/sinhala)

මෙම මාසයේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 95,377 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

ඉන් වැඩි ම සංඛ්‍යාව වන 20,965 දෙනෙකු ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, බ්‍රිතාන්‍යයෙන් 10,555 දෙනෙකු ජර්මනියෙන් 8,590 දෙනෙකු රුසියාවෙන් සංචාරකයින් 8,537 දෙනෙකු මෙරටට පැමිණි බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණියේ පසුගිය මාසයේ වන අතර, එම සංඛ්‍යාව 96,507 ක් ෴

***************************************

රට ඉඳි ආනයන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කරයි

(28.03.2022 – 14:07 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේ දී ආරම්භ වන රාමසාන් උපවාස කාලයේ දී මුස්ලිම් ජනතාවට සහන සැළසීම සඳහා රටඉඳිවලට ක්‍රියාත්මක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩුකර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑමයට රුපියල් 200 ක් වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් කිලෝග්‍රෑමයට රුපියලක් (1) පමණක් අයවන ලෙස එම බද්ද රුපියල් 199 කින් අඩු කළ බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.

ආනයන බලපත්‍ර පාලන ක්‍රමවේදය යටතේ රට ඉඳි ආනයනය තහනම් කර ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව ද අදාළ නිවේදනයේ සඳහන්.

***************************************

6 සිට 10 දක්වා දහම් පාසල් ශ්‍රේණි විභාගය අප්‍රේල් 03 දා

(28.03.2022 – 15:12 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරට අදාළව දහම් පාසල් ශ්‍රේණි විභාගය එළඹෙන අප්‍රේල් මස 03 වන දා පැවැත්වෙන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 6 ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා මෙම විභාගය පැවැත්වෙනු ඇති.

දහම් පාසල් 10,320 ක දරු දැරියන් දස ලක්ෂ පනස් දහසක් (10,50,000) පමණ මෙම විභාගය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා ෴

***************************************

තොවිලයේ අපලය ඉන්ධන පිරවුම්හලේ දී පිට වූ හැටි

(28.03.2022 – 15:33 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරගම නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් තෙල් ලබා ගැනීමට පැමිණ සිටි අවස්ථාවේ දී එහි නවතා තිබූ ත්‍රීරෝද රථයක් හදිසි ගිනි ගැනීමකට ලක් වූ පුවතක් වාර්තා වනවා.

ඒ අද (28) පස්වරුවේ දී යි.

අදාළ ත්‍රී රෝද රථය ඉන්ධන පිරවුම්හලේ තෙල් ලබා ගැනීමට තෙල් පොම්පය අසල නවතා තිබූ අවස්ථාවේ දී රථයේ පසුපස කොටසෙහි මෙම ගිනි ජාලාව එකවර ඇති වී තිබෙනවා.

ගින්නෙන් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු වුණා.

ගින්න පාලනය කොට, නිවා දැමීමට එම පිරවුම්හලේ රැඳී සිටි සේවකයින් වහාම කටයුතු කළ අතර, එම පරිශ්‍රමයෙන් අනතුරුව ත්‍රීරෝද රථයෙහි ගින්න නිවා දැමීමට ඔවුන්ට හැකි වී තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කළ ඉන්ධන පිරවුම් හලේ සේවකයින් සඳහන් කළේ, මීට දින කිහිපයකට පෙර තම සේවකයින් හට හදිසි ගින්නක් ඇති වූ අවස්ථාවේ දී එය වහාම නිවා දමා පාලනය කරගන්නා ආකාරය පිළිබඳ ව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැති අතර, එහි ලද අත්දැකීමෙන් සහ දැනුමෙන් කිසිදු පරිබාහිර උපකාරයකින් තොරව ත්‍රීරෝද රථයෙහි හටගත් ගින්න නිවා දැමීමට සිය කණ්ඩායමට හැකි වූ බවයි.

ගිනි ගැනීමට ලක් වූ ත්‍රීරෝද රථය ඊයේ (27) දිනයේ දී වෙනත් ප්‍රදේශයක පැවති තොවිලයකට සහභාගී වී, එයට සහභාගී වූ පිරිස ද රැගෙන යමින් තිබූ රියක් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

***************************************

ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියනයක්

(28.03.2022 – 16:18 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක ණයක් ඉල්ලා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

මූලාශ්‍ර 02 ක් උපුටා දක්වමිනුයි ඔවුන් මේ බව වාර්තා කර ඇත්තේ.

2020 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත 70% කින් පහත වැටී ඇති අතර අත්‍යාවශ්‍ය ඉන්ධන සහ ආහාර ආනයනය සඳහා මුදල් ගෙවා ගත නොහැකි තත්ත්වයකට ශ්‍රී ලංකාව පත් වී ඇතැයි රොයිටර් පුවත් සේවය පවසනවා.

මේ හේතුවෙන් රුපියලේ අගයද පහත වැටී ඇතැයි රොයිටර් වාර්තාවේ වැඩදුරටත් සඳහන් වනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *