පෝලිමක සිදු වූ පස්වැනි (5) මරණයත් වාර්තා වෙයි

පෝලිමක සිදු වූ පස්වැනි (5) මරණයත් වාර්තා වෙයි

*********************************************

පෝලිමක සිදු වූ පස්වැනි (5) මරණයත් වාර්තා වෙයි

(28.03.2022 – 11:31 +0530 – hirunews.lk/sinhala)

තෙල් පෝලිමේ සිටියදී සිදු වූ තවත් මරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක ඉන්ධන ලබා ගැනීම සඳහා පැය ගණනාවක් රැඳී සිටි පුද්ගලයෙක්.

පසුගිය සෙනසුරාදා (26) මෙම පුද්ගලයා ඉන්ධන පෝලිමේ රැඳී සිටියදී හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් ඔහු රෝහල්ගත කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉන් අනතුරුව ඔහු මිය ගොස් ඇති අතර මරණයට හේතුව හෘදයාබාධයක් බවයි හදිසි මරණ පරීක්ෂණ යෙදී හෙළි වී ඇත්තේ .

පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙලෙස ඉන්ධන පෝලිමේ දී මියගිය පුද්ගලයා 85 වැනි වියේ පසු වන්නෙක්.

ඔහු අතුරුගිරිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++++++

අවුරුදු සමයේ ජනතාවට බලශක්ති ඇමතිගෙන් බලාපොරොත්තුවක්

(28.03.2022 – 08:31 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුදු සමයෙන් පසු ඉන්ධන ගැටළුව මග හැරෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

ඔහු කියා සිටියේ අද (28) දිනයේ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බවයි.

කෙසේ වෙතත්, දිවයිනේ තවදුරටත් ඇතැම් ප්‍රදේශවලට නිසි පරිදි ඉන්ධන තොග ලැබී නොමැති බවටයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.

කොළඹින් පිට පළාත්වල පවතින ඇතැම් ඉන්ධනහල් තවමත් වසා දමා ඇත්තේ ඉන්ධන තොග නොලැබීම හේතුවෙන්.

මේ අතර, ගෑස් සිලින්ඩර් ලක්ෂ 7 ක් වෙළදපොළට අද (28) සිට බෙදා හැරීම ආරම්භ කරන බවයි ලිට්රෝ සමාගම කියා සිටියේ.

එමෙන්ම, අද (28) දිනයේදී ද ඒ සිට එල් දක්වා (A-L) පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැය 3 යි මිනිත්තු 20 බැගින් ද පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා පැයයි (1) මිනිත්තු 40 ක් බැගින් ද විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබෙනවා.

එමෙන්ම පී සිට ඩබ්ලිව් දක්වා (P-W) කලාප වලට පෙරවරු 8:30 සිට පස්වරු 5:30 දක්වා පැය දෙකයි (2) මිනිත්තු 15 බැගින් සහ පස්වරු 5:30 සිට රාත්‍රී 11 දක්වා පැයයි (1) මිනිත්තු 50 බැගින් විදුලිය කප්පාදු කිරීමට අවසර ලබාදුන් බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ.

+++++++

තෙල් ඉල්ලා මහමග විරෝධතා – ගමනාගමනයටත් බාධා

(28.03.2022 – 10:41 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණි පිරිසකගේ විරෝධතාවක් හේතුවෙන් මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගය කපුවත්ත මංසන්ධියෙන් අවහිර වුණා.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයටද දැඩි බාධා එල්ලවූ බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

කපුවත්ත මංසන්ධිය අසළ පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් දින කිහිපයක සිට ඉන්ධන ලබාදීම ප්‍රමාද කළ බවට පවසමිනුයි අදාළ පිරිස මෙලෙස මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණේ.

රට පුරා ඩොලර් අර්බුදය සමග පැන නැගී ඇති ආර්ථික ගැටලු හේතුවෙන් මේ වනවිට දැඩි ආර්ථික කලහකාරී තත්ත්වයක් ජනතාව අතර හටගෙන තිබෙනවා.

ඉන්ධන, ගෑස් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙනුයි, මෙම අර්බුදයන් නිර්මාණය වී ඇත්තේ.

ඉන්ධන නිසි පරිදි පිරවුම්හල්වල නොමැති බව පවසන ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් පවසන්නේ, ජනතාව පැමිණ මේ අයුරින් ඉන්ධන අහිමි වීම හේතුවෙන් තමන්ට දෝෂාරෝපණය කරන බවයි.

+++++++

ඉන්ධන හා ගෑස් අර්බුදය තවදුරටත්

(28.03.2022 – 13:33 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණි පිරිසකගේ විරෝධතාවක් හේතුවෙන් මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගය කපුවත්ත මංසන්ධියෙන් අද (28) උදෑසන අවහිර වුණා.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයටද දැඩි බාධා එල්ලවූ බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

කපුවත්ත මංසන්ධිය අසළ පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් දින කිහිපයක සිට ඉන්ධන ලබාදීම ප්‍රමාද කළ බවට පවසමිනුයි අදාළ පිරිස මෙලෙස මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණේ.

ඉන්ධන බෙදාහැරීම ප්‍රමාණවත් පරිදි සිදු කරන බව බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළද මේ වනවිටත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් දක්නට ලැබෙනවා.

කොළඹින් බැහැර ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නොමැතිකමින් වසා දමා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ අද (28) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් චෝදනා කළේ, මේ වනවිට උද්ගතව ඇති ඉන්ධන අර්බුදයට හේතුව පසුගිය කාලසීමාව තුළ බොරතෙල් මෙරටට ගෙන්වීම නවතා දැමීම බවයි.

ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් රැගත් නෞකාවක් ඊයේ (27) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

එම නෞකාවේ අඩංගු ගෑස් තොග ගොඩබෑම අද (28) රාත්‍රි කාලයේ දී සිදු වන බවයි ලිට්රෝ සමාගමේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදු කළ විමසීමකදී සඳහන් කළේ.

කෙසේ වෙතත් තවදුරටත් දිවයින පුරා ජනතාව ගෑස් නොමැතිවීමෙන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව තිබෙනවා.

වර්තමානය වනවිට මෙරටට ගෙන්වනු ලබන ඉන්ධන, ගෑස් මෙන්ම පාරිභෝගික භාණ්ඩවල ප්‍රමිතිය පරීක්ෂා කරන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන කිහිපයක් අද (28) ප්‍රමිති ආයතනය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

++++++

++++++++++++

පැය හතාමාරක් (7½) හෙට (29) අඳුරේ

(28.03.2022 – 18:36 +0530 – hirunews.lk/sinhala)

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට (29) ‘ඒ’ සිට ‘එල්’ දක්වා (A-L) කලාප 12 ට පැය 7 යි මිනිත්තු 30 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා (P-W) කලාප අටකට (8) හෙට (29) පැය 7 යි මිනිත්තු 15 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළා.

‘ඒ’ සිට ‘එල්’ (A-L) දක්වා කලාප 12 කට පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා දහවල් කාලයේ පැය 5 ක් ද, පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා පස්වරුවේ පැය 2 යි මිනිත්තු 30 ක් ද, විදුලිය කප්පාදුව කෙරෙනවා.

‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා (P-W) කලාප අටට (8) පෙරවරු 8:30 සිට පස්වරු 6:30 දක්වා දහවල් කාලයේ පැය 5 ක් ද, පස්වරු 6:30 සිට රාත්‍රී 11:00 දක්වා පස්වරු කාලයේ පැය 2 යි මිනිත්තු 15 ක් ද, විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළා.

+++++++++++

දිවයින පුරා සැඟවූ ගෑස් අල්ලන්න, විශේෂ මෙහෙයුමක්

(28.03.2022 – 20:13 +0530 – hirunews.lk/sinhala)

වෙළදපොළේ මතුව ඇති ගෑස් අර්බුදයත් සමග සැගවූ ගෑස් තොග සහ වැඩි මිලට ගෑස් අලෙවි කරන ස්ථාන සොයා පාරිභෝගික අධිකාරිය විසින් මේ වන විට දිවයින පුරා විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවල ගෑස් අලෙවි නියෝජිතයින් ගෑස් තොග සගවා වැඩි මිලට අලෙවි කරන බවටයි පාරිභෝගිකයින්ගෙන් පැමිණිලි ලැබී ඇත්තේ.

එමෙන්ම ඇතැම් ගෑස් නියෝජිතයින් ගෑස් සිලින්ඩරයක් රුපියල් 4500 කට වඩා වැඩි මිලකට අලෙවි කරන බවට ද තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුවයි පාරිභෝගික සේවා අධිකාරිය විසින් දිවයින පුරා ඊට අදාළව විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත්තේ.

ඇතැම් ගෑස් අලෙවි නියෝජිතයින්ගේ අලෙවි නියෝජිත බලපත්‍රය පවා තාවකාලිකව අත්හිටුවීමට ගෑස් සමාගම් පියවර ගෙන ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළා.

එමෙන්ම, ගෑස් වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ අඹු-සැමි යුවළක් ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ පුවතක් ද පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සැකකරුවන් සමග කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර් 20 ක් හා කිලෝග්‍රෑම් 5 හේ ගෑස් සිලින්ඩරයක් (1) පොලිස් භාරයට ගෙන ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, ලිට්රෝ සමාගම සදහන් කළේ අද (28) දිනයේදී ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක නෞකාවක් මෙරටට පැමිණ ඇති බැවින් එහි ගොඩබෑමේ කටයුතු සිදුකරන බවයි.

කෙසේ වෙතත් තවමත් පාරිභෝගිකයින් චෝදනා කරන්නේ තමන්ට ප්‍රමාණවත් පරිදි ගෑස් නොලැබෙන බවටයි.

++++++++++++

ඩීසල් සහ භූමි තෙල් ඉල්ලා අදත් (28) ප්‍රදේශ කිහිපයක විරෝධතා

(28.03.2022 – 20:25 +0530 – hirunews.lk/sinhala)

ඩීසල් සහ භූමිතෙල් නිකුත් නොකිරීමට එරෙහිව අද (28) දිනයේදීත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවත්වුණා.

එහිදි ඇතැම් ස්ථානවල උණුසුම් තත්ත්වයන්ද හටගත් බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මේ අනුව, ඉන්ධන ඉල්ලා පැවති විරෝධතාවක් හේතුවෙන් නුවරඑළිය – ධර්මපාල වටරවුම අසළ මාර්ගයේ ගමනාගමන කටයුතුවලට අද (28) දහවල් බාධා එල්ලවුණා.

කෙසේ වෙතත්, පොලිසියේ මැදිහත්වීමෙන් පසු ඉන්ධන නිකුත් කිරීමට පිරවුම්හලේ සේවකයින් කටයුතු කිරීමත් සමඟ විරෝධතාව අවසන් කිරීමටයි ඊට එක්ව සිටි පිරිස් කටයුතු කරනු ලැබුවේ.

එසේම, ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණි පිරිසකගේ විරෝධතාවක් හේතුවෙන් මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගය කපුවත්ත මංසන්ධියෙන් අද (28) උදෑසන අවහිර වුණා.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයටද දැඩි බාධා එල්ල වූ බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

කපුවත්ත මංසන්ධිය අසළ පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් දින කිහිපයක සිට ඉන්ධන ලබාදීම ප්‍රමාද කළ බවට පවසමිනුයි අදාළ පිරිස මෙලෙස මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණේ.

කොළඹ දි අද (28) මාධ්‍යවෙත අදහස් පලකරමින් බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ කියා සිටියේ පවතින ඉන්ධන අර්බුදය මේ වන විට ක්‍රමයෙන් විසදාගෙන යන බවයි.

කෙසේ වෙතත්, ඉන්ධන පිරවුම්හල් ආශ්‍රීතව තවදුරටත් දිගු පොලීම් පවතිනවා.

ඇතැම් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන නොමැතිකමින් වසා දමා ඇති අතර තවත් ඉන්ධන පිරවුම්හල්වල එක් ඉන්ධන වර්ගයක් පමණක් පවතින තත්ත්වයන්ද දක්නට ලැබුනා.

++++++

ඉන්ධනවල ප්‍රමිතිය ගැන සැකයක්

(28.03.2022 – 20:31 +0530 – hirunews.lk/sinhala)

ඩීසල් සහ පෙට්‍රල් ප්‍රමිතිය සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව තුල යම් සැකයක් නිර්මාණය වී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

ඒ සම්බන්ධයෙන් ඔවුන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිලි කිරීමෙන් අනතුරුව අද (28) ඉන්ධන පිරවුම්හල් කිහිපයක් පරීක්ෂාවට ලක් කළා.

ලංකා ස්වයං රැකියා ත්‍රීරෝද රථ වෘතිකයන්ගේ ජාතික සංගමයේ සභාපති මහින්ද කුමාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වෙනදා පෙට්‍රල් ලීටරයකින් මීට පෙර ගමන් කළ දුර වර්තමානය වන විට ගමන් කළ නොහැකි තත්වයක් උද්ගතව ඇති බවයි.

මේ අතර, ඩීසල් හා පෙට්‍රල් තොරතුරු ලබා ගැනීම සඳහා වෘත්තීය සමිති කිහිපයක් අද (28) පෙරවරුවේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ගිය අතර එහි දී කිසිදු බලධාරියෙකු නොපැමිණිම සහ ගේට්ටු වසා තැබීම හේතුවෙන් උණුසුම් තත්වයක් හටගත්තා.

ඉන්ධනවල ප්‍රමිතිය බාල වී ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ගෙන් මීරිගම දී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ ප්‍රමිති ආයතනය මෙරට අවම ප්‍රමිතිය ලෙස ඔක්ටේන්-90 දක්වා තිබීම මෙම මතභේදාත්මක තත්වයට හේතු වී ඇති බවයි.

අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ඉංජිනේරු සුසන්ත ප්‍රනාන්දු ගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ පෙට්‍රල් සඳහා අවම ප්‍රමිතිය ලෙස පැවති ඔක්ටේන්-90 මේ වන විට ඉවත් කර ඔක්ටේන්-91 සහ ඔක්ටේන්-95 ලෙස එය දක්වා ඇති බවයි.

දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ගෙන්වන පෙට්‍රල්වල ප්‍රමිතිය ඔක්ටේන්-92 සහ ඔක්ටේන්-95 තත්වයේ පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

++++++++++++

විදුලි ගාස්තු, ගෑස් මිල සහ ඉන්ධන මිල ගැන බැසිල් ගත් තීරණය

(28.03.2022 – 22:06 +0530 – hirunews.lk/sinhala)

විදුලි ගාස්තු, ගෑස් මිල සහ ඉන්ධන මිල මේ මොහොතේ වැඩි නොකරන බව, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී සඳහන් කර තිබෙනවා ෴

***************************************

රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යවරායට පහර දීම නීතිවිරෝධී ප්‍රචණ්ඩ ක්‍රියාවක් – ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමය

(28.03.2022 – 11:03 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් ස්වාධීන කමිටුවක් මගින් සිදු කළ විමර්ශනයේ වාර්තාව අද (28) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

සත්වෝද්‍යානයේ වෘත්තිය සමිති සහ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ අතර හටගෙන ඇති මතබේදාත්මක තත්වය සම්බන්ධයෙන්ද අදාළ කමිටුවෙන් කරුණු සොයා බලා ඇති බවයි වාර්තාවන්නේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ සඳහන් කළේ එම කමිටු වාර්තාවෙන් උද්ගතව ඇති තත්වයට අදාළව ගත යුතු නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි.

අමාත්‍ය මණ්ඩලයට අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළා.

එමඟින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කළ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියේ දී සිදුවූ මූල්‍ය වංචාව සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණ කර ඇති බව සඳහන්.

ෂර්මිලා රාජපක්ෂ පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 28 වනදා අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩභාරගත් අතර, අනතුරුව දෙහිවල සත්වෝද්‍යානයේ වෘත්තිය සමිති මෙහෙයවනු ලබන ක්‍ෂේත්‍ර සහයකයෙකු වන ක්‍රිශාන්ත ක්‍රිස්ටෝපර් ඇතුලු පිරිසක් ඇයගේ රාජකාරිවලට දිගින් දිගටම බාධා කිරීම් සිදු කළා.

අදාළ කමිටුව මගින් ක්‍රිෂාන්ත ක්‍රිස්ටෝපර් නැමැත්තා වහාම ක්‍රියාත්මක වන පරිදි සත්වෝද්‍යානයෙන් පිටතට මාරු කරන ලෙසට නිර්දේශ කර ඇති බවයි වාර්තාවන්නේ.

දෙහිවල සත්වෝද්‍යානයේ කඩා කප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබද විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා අධ්‍යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව සිය ධුරයෙන් ඉවත්වූ අතර, පසුගිය දා ඇය යළි එම ධුරයේ වැඩ ආරම්භ කළා.

කෙසේ වෙතත් රාජකාරි කිරීමේ දී දෙහිවල සත්වෝද්‍යානයේ ඇතැම් සේවකයින්ගෙන් තවදුරටත් බාධා එල්ලවන බවයි ඇය කියා සිටියේ.

මේ අතර රිදීගම සෆාරි උද්‍යායනයේ වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ ට සිදු කළ පහරදීමට එරෙහිව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වනවිට කොළඹ – කොටුවේදී විරෝධතාවක නිරතවනවා.

අනතුරුව ජනාධිපතිවරයා වෙත සන්දේශයක් ද භාරදීමට කටයුතු කරන බවයි එම සංගමයේ ලේකම් එන්.ටී. හේවාගමගේ සඳහන් කළේ.

ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමයද නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ, පශු වෛද්‍යවරයාට පහරදීම සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් පොලිසියද විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අභ්‍යන්තර විමර්ශනයක් මගින්ද ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහි ව ක්‍රියාමාර්ග ගන්නා බවයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ සඳහන් කළේ.

රිදියගම සෆාරි උද්‍යානයේ පක්ෂීන්, ක්‍ෂිරපායීන් සහ උරග විශේෂ ඇතුලු සතුන් 700 කට වැඩි සංඛ්‍යාවක් රැකවරණය ලබන අතර, එය දෙස් විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත්වන්නේ ඩෝරා නම් සිංහ පැටවා සෆාරි උද්‍යානයට හිමිවීමත් සමඟයි.

කෙසේ වෙතත් සත්වෝද්‍යාන නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් මේ වනවිට සෆාරි උද්‍යානයේ රැකවරණය ලබන සතුන් රැසකගේ ජීවිත තර්ජනයට ලක්ව ඇති බවයි වාර්තාවන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *