CID පිරිසක් ඇතුළු කල්ලියක් ‘දෙමටගොඩ රුවන්’ට ඇප ගන්න රුපියල් කෝටි 1½ ක් අල්ලස් අරන් – කල්ලිය අල්ලන්න විමර්ශන

CID පිරිසක් ඇතුළු කල්ලියක් ‘දෙමටගොඩ රුවන්’ට ඇප ගන්න රුපියල් කෝටි 1½ ක් අල්ලස් අරන් – කල්ලිය අල්ලන්න විමර්ශන

*********************************************

CID පිරිසක් ඇතුළු කල්ලියක් ‘දෙමටගොඩ රුවන්’ට ඇප ගන්න රුපියල් කෝටි 1½ ක් අල්ලස් අරන් – කල්ලිය අල්ලන්න විමර්ශන

(28.03.2022 – divaina.lk)

බන්ධනාගාර ගත කර සිටි ‘දෙමටගොඩ රුවන්’ නමැති ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ඇප ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 150 ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් යොදවා වහාම විමර්ශනයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

දෙමටගොඩ රුවන් (කුඩු රුවන්)

මෙම අල්ලස් මුදල ලබාගත් සංවිධානාත්මක කණ්ඩායමේ ප‍්‍රධානියා රජයේ ප‍්‍රධාන පෙළේ අමාත්‍යවරයකුගේ සමීපතමයකු වන අතර එම පුද්ගලයා අමාත්‍යවරයා සමග පසුගියදා විදේශ සංචාරයක පවා නිරතවී ඇති බව වාර්තා වෙයි.

ආරංචි මාර්ග පවසන්නේ එම සංචාරයේදී අමාත්‍යවරයාට විනෝදවීම සඳහා අත දිගහැර වියදම් කර ඇත්තේ ‘කුඩු රුවන්’ගේ පුත‍්‍රයා ගෙන් ලබාගත් අල්ලස් මුදල්වලින් කොටසක් බවයි.

‘දෙමටගොඩ රුවන්’ගේ පුත‍්‍රයා ඉකුත් දා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේදී ලබා දුන් ප‍්‍රකාශයකදී මෙම අල්ලස් මුදල් ලබාදීම සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් වී තිබිණි.

මේ අතර අදාළ අල්ලස් මුදල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් වෙත ලබා දෙන ලෙස ‘කුඩු රුවන්’ගේ පුත‍්‍රයාට උපදෙස් ලබාදී ඇත්තේ රාජ්‍ය ආයතනයක සභාපතිවරයකු ලෙස මෑතකදී පත් කෙරුණු ආන්දෝලනාත්මක සිදුවීමකට මුල්වූ පුද්ගලයකු විසින් බව ද වාර්තාවේ.

‘කුඩු රුවන්’ගේ පුත‍්‍රයා ලබාදුන් කටඋත්තරයේ මෙම ආන්දෝලනාත්මක චරිතය පිළිබඳව හැඳින්වීමක් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

බත්තරමුල්ල ප‍්‍රදේශයේ සුපිරි හෝටලයකදී සහ කොළඹ ගාලූ මුවදොර ප‍්‍රදේශයේ අවන්හලකදී මෙම රුපියල් කෝටි එකහමාරක (1½) මුදල කොටස් වශයෙන් ලබාදී ඇති බව ද අනාවරණය වී ඇත.

මෙම මුදල් ලබාදී ඇත්තේ ‘කුඩු රුවන්’ගේ පුත‍්‍රයා විසින්ය.

භාරත ලක්ෂ්මන් මහතා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් වැරදිකරුවී මරණ දඬුවම ලබාදී සිටින ‘දෙමටගොඩ චමින්ද’ නමැති පාතාල සාමාජිකයාගේ වැඩිමහල් සොහොයුරු වන වන ‘කුඩු රුවන්’ කොළඹ ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පොලිසිය පවසයි.

මීට මාස කිහිපයකට උඩදී ‘කුඩු රුවන්’ගේ දෙමටගොඩ පිහිටි නිවස වැටලූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එහි තිබී රුපියල් කෝටි ගණනක් වටිනා වාහන, රන් ආභරණ ඇතුළු දේපොළ සොයාගෙන තිබිණි.

හේමන්ත රන්දුණු

***************************************

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ඇප

(28.03.2022 – 07:55 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බීමතින් රිය පැදවීමේ චෝදනා මතයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සිය නිල රථයෙන් තලවකැළේ නගරයේ දී ඊයේ (27) අත්අඩංගුවට ගෙන ඇත්තේ, තලවකැළේ පොලීසියට ලද පැමිණිල්ලකට අනුවයි.

නගරයේ සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු සමග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා බහින්බස්වීමක් ද සිදු කරගෙන ඇති බවට යි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඊයේ (27) රාත්‍රියේ ම පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා ෴

***************************************

ඉන්දීය විදේශ ඇමති දිවයිනට

(28.03.2022 – 08:13 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජායිශංකර් තුන්දින (3) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා.

ඒ, ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින්.

ඊයේ (27) රාත්‍රි 09:18 ට පමණ කටුනායක ගුවන් තොටුපළට පැමිණි එම ගුවන් යානයෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග තවත් 3 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් පැමිණ තිබෙනවා.

ඔවුන් පිළිගැනීම සදහා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක සහ ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ද ගුවන් තොටුපළට පැමිණි බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙරටට පැමිණ ඇත්තේ මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුවයි.

මොහු ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුලු රජයේ ප්‍රධානීන් කිහිපදෙනෙකු හමුවනු ඇති.

මෙම නිල සංචාරය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ඉන්දීය සංචාරයන්හි පසුවිපරම් චාරිකාවක් ලෙසයි හඳුන්වා දී ඇත්තේ.

ආචාර්ය එස්. ජායිශංකර්ගේ ශ්‍රී ලංකා සංචාරයේදී සිදු කෙරෙන සාකච්ඡාවල දී ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් අපේක්ෂා කරන ප්‍රමුඛ කරුණු පිළිබඳව අවධානය යොමුවන බව ද ඉන්දීය විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

ඊයේ (27) දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා අද (28) දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ඇතුළු පිරිසක් හමුවීමට නියමිතයි.

එමෙන්ම ඔහු හෙට (28), බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල හමුවට ද සහභාගි වනු ඇති ෴

***************************************

ආර්ථිකය ගැන ප්‍රශ්න කරන්න මහබැංකු අධිපතිට මුදල් කාරක සභාවෙන් කැඳවීමක්

(28.03.2022 – 08:19 +0530 – hirunews.lk/sinhala)

මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අප්‍රේල් මස 01 වනදා රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවට කැඳවා ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළා.

රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වයට අදාළව කරුණු විමසීම සඳහා මහබැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් මෙලෙස කැඳවා ඇති බවයි ඔහු කියා සිටියේ ෴

***************************************

අවුරුදු සමයේ ගමන් බිමන් සමාජ මාධ්‍යයට එපා – පොලීසියෙන් ඉල්ලීමක්

(28.03.2022 – 08:22 +0530 – hirunews.lk/sinhala)

සිංහල – දෙමළ අලුත් අවුරුදු සමය තුළ දී තමන් සිදු කරන චාරිකා පිළිබදව තොරතුරු සමාජ මාධ්‍යයේ පළ කිරීමෙන් වලකින ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එසේ පළ කරන තොරතුරු අපරාධකරුවන් විසින් ලබාගෙන එම අවස්ථාවලින් ප්‍රයෝජන ලබාගෙන කටයුතු කිරීමට ඉඩකඩ ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ෴

***************************************

පාසල්වල පෝෂණ වේලත් නවතින ලකුණු

(28.03.2022 – 08:30 +0530 – hirunews.lk/sinhala)

මිල ඉහළ යාම් හමුවේ ළමයින් 200 ට අඩු පාසල්වලට පෝෂණ ආහාර වේල අඛණ්ඩව ලබාදීම ගැටලුවක් වී ඇති බව එම ආහාර සපයනු ලබන සමෘද්ධිලාභී පවුල් පවසනවා.

සමෘද්ධිලාභීන්ට ආදායමක් උපයා ගත හැකි පරිදි එම පෝෂණ ආහාර වේල සඳහා ආහාර ලබාදීමට අවස්ථාව සලසා දී ඇති අතර මේ වන විට එක් ආහාර පාර්සලයකට ඔවුන්ට ලබාදෙන්නේ රුපියල් 30 ක මුදලක්.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සතියකට දෙවරක් (2) බිත්තර ලබාදීම මෙන්ම සෑම ආහාර වේලක් සදහාම පළතුරු ලබාදීම ද එම ආහාර වට්ටෝරුව තුළ අනිවාර්ය කර තිබෙනවා.

කෙසේ වෙතත්, පවතින මිල වැඩිවීම් හමුවේ දැනටමත් කෑම පාර්සලයකට බිත්තරයක් ලබාදීම වෙනුවට ඇතැම් සැපයුම්කරුවන් පෙළඹී ඇත්තේ බිත්තර බාගයක් ලබාදීමටයි.

එමෙන්ම, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් ද මෙම පෝෂණ ආහාරවේල අපේක්ෂාවෙන් පාසල් පැමිණෙන අවස්ථා පිළිබදව බොහෝ ප්‍රදේශවලින් වාර්තා වනවා.

එවන් පසුබිමක් තුළ එම දරුවන්ට ලබාදෙන පෝෂණ ආහාර වේල අඛණ්ඩව ලබාදීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබදව සැපයුම්කාර සමෘද්ධිලාභීන් කිහිප දෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පල කළා.

මේ අතර, ළමයින් 200 ට අඩු පාසල්වලට පෝෂණ ආහාර වේලෙහි වට්ටෝරුව වෙනස් කිරීම සදහා මීට මාස කිහිපයකට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා තිබුණා.

ඒ, දැනට රුපියල් 30 ක් වැය වන ආහාර වේලක් සඳහා රුපියල් 15 ක මුදලක් වැය වන පරිදියි.

කෙසේ වෙතත්, පාසල් ළමයින් සඳහා ලබාදෙන පෝෂණ ආහාර වේලේ වැදගත්කම සම්න්ධයෙන් වයඹ විශ්වවිද්‍යාලයේ පෝෂණය පිළිබඳ මහාචාර්ය රේණුක සිල්වා අදහස් පළ කළා ෴

***************************************

උඩරට සහ උතුරු දුම්රිය මාර්ගයේ ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය අද (28)

(28.03.2022 – 08:32 +0530 – hirunews.lk/sinhala)

උඩරට සහ උතුරු මාර්ගයේ නගරාන්තර සහ විශේෂ දුම්රියවල ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අද (28) තීරණයක් ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

පසුගිය විසි හතරවනදා (24) දුම්රිය දෙපාර්තමේන්තුව මෙම දුම්රියවල ආසන වෙන් කිරීමේ ගාස්තු සංශෝධනය කරනු ලැබූ අතර, පසුව ප්‍රවාහන අමාත්‍යවරයා එය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටවනු ලැබුවා ෴

***************************************

උත්සව සමයේ පොල් සහ පොල්තෙල් සහන මිලට

(28.03.2022 – 08:35 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන උත්සව සමයේ පාරිභෝගිකයන්ට අවශ්‍ය පොල් සහ පොල්තෙල් සහන මිලකට ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇති බව පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ පොල් සංවර්ධන මණ්ඩලයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් හලාවත – කරවිටාගාරය ප්‍රදේශයේ ඊයේ (27) පැවති උත්සවයකට එක්වෙමින් ෴

***************************************

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොළහේ (11) නායකයන් අද (28) රාමඤ්ඤ නිකායේ මහ නාහිමියන් බැහැ දකියි

(28.03.2022 – 08:38 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නායකයන් අද (28) රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් බැහැදැකීමට නියමිතයි.

ඒ, පෙරවරු 9 ට මීරිගම – මිනිඔලුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේදියි.

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය සහ එය විසඳීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් එහිදී මහනාහිමියන් දැනුවත් කරන බවයි එම පක්ෂ සඳහන් කළේ.

ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ එකොළහේ (11) නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතයි ෴

***************************************

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට හෙද හෙදියන් විරෝධතාවක

(28.03.2022 – 10:06 +0530 – hirunews.lk/sinhala)

පවුල් සෞඛ්‍ය සේවිකාවකට හෙද තනතුරක් ලබාදීමට විරෝධය පළ කරමින් හෙද හෙදියන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක නිරතවනවා.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් සිදු කරන මෙම විරෝධතාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ද සහාය හිමිව ඇති බවයි ෴

***************************************

විදෙස්ගත අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සබඳතා පැවැත්වූ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(28.03.2022 – 10:07 +0530 – hirunews.lk/sinhala)

විදේශ රටවලට පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ සමීප සබඳතා පැවැත්වූ සැකකරුවන් දෙදෙනෙකු (2) මීගමුව කොට්ඨාස අපරාධ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ ඊයේ (27) අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 22 සහ 34 වන වියේ පසුවන මෙම සැකකරුවන් සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක්, අත්බෝම්බයක් සහ මත්ද්‍රව්‍ය තොගයක් ද සොයාගත් බවයි.

මුදල් කොල්ලකෑම් සහ කප්පම් ලබාගැනීම් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බව ද සඳහන් ෴

***************************************

සූර්ය බලය මගින් ක්‍රියාත්මක වන ජල පොම්පාගාරයක්

(28.03.2022 – 10:21 +0530 – hirunews.lk/sinhala)

සූර්ය බලය මගින් ක්‍රියාත්මක වන ජල පොම්පාගාරයක් භාවිතයෙන් රාජාංගනය උස්සානයේ ගොවීන් වෙත ජලය ලබා දීමේ වැඩසටහන යටතේ සෝලා පද්ධති ස්ථාපිත කිරීමේ උත්සවයකට පුනර්ජනනීය රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක සහභාගි වුණා.

ගොවියාගේ නිෂ්පාදන වියදම අවම කිරීමේ අරමුණිනු යි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ.

රුපියල් ලක්ෂ 65 ක වියදමින්, මෙම සූර්ය පැනල පද්ධතිය හා නවීන තාක්ෂණයෙන් යුතු ජල පොම්පය ස්ථාපිත කිරීමට නියමිත යි.

විදුලි බලය මඟින් මේ වන විට එහි පොම්ප ක්‍රියාත්මක වන වන අතර, විදුලි බිල හා නඩත්තු කටයුතු සඳහා ගොවි මහතෙකුගෙන් පැයක් ජල සම්පාදනය සඳහා රුපියල් 500 කට ආසන්න මුදලක් අය කරණු ලබනවා.

ගොවීන්ගෙන් ලබා ගන්නා එම පිරිවැය මුදල අඩු කිරීමේ අරමුණින් මෙම සූර්ය පැනල පද්ධතියෙන් ක්‍රියාත්මක වන ජල පොම්පය ස්ථාපිත කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ ෴

***************************************

සුපතල ෆාමසි කඩන්නෙක් පොලිස් දැලට

(28.03.2022 – 10:57 +0530 – hirunews.lk/sinhala)

කොට්ටාව මහල්වරාව ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසැලකින් රුපියල් ලක්ෂ දාහතක් (17) වටිනා මුදල් හා භාණ්ඩ තොගයක් සොරාගත් පුද්ගලයකු කොට්ටාව පොලිසිය මඟින් ඊයේ (27) වැනි දා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු 57 හැවිරිදි වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, කොට්ටාව මහල්වරාව ප්‍රදේශයේ පෞද්ගලික ඔසු සළකින් සස්ටජන්, අධික මිල ගණන් යටතේ අලෙවි වන විටමින් වර්ග සහ ආලේපන වර්ග තොගයක් මෙසේ සොරා ගෙන තිබුණා.

පසුව සැකකරු කොට්ටාව නගර මධ්‍යයේ දී අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු සන්තකයේ තිබී රුපියල් 2,74,000 මුදලක් හා ලක්ෂ තුන හමාරක් (3½) වටිනා භාණ්ඩ තොගයක් සොයාගත් බව යි පොලිසිය පවසන්නේ.

මොහු කුලියාපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසල් 36 බිඳ කෝටි හතරකට (4) ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධින් රැසක් සම්බන්ධයෙන් වරදකරු වී වසර 15 බන්ධනාගාරගත ව සිට නිදහස්ව ආ අයෙක්.

එසේම 2006 වසරේ දී වත්තල ප්‍රදේශයේ දුම්වැටි ඒජන්සියකින් දුම්වැටි සොරා ගැනීමට ගිය අවස්ථාවේ දී එහි ආරක්ෂක නිලධාරියාට පොල්ලකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හා 2021 දෙසැම්බර් මාසයේ දී සිය අනියම් බිරිඳ තියුණු ආයුධයකින් කපා කොටා තුවාල සිදු කිරීමේ සිද්ධියකට සම්බන්ධ අයකු බවටත් වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි ‘ක්‍රිෂ්ටි නිහාල්’ නමැති (57) හැවිරිදි සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

කොට්ටාව පොලිසිය විසින් වැඩ්දුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *