උෂ්ණාධික කාලගුණය හමුවේ දරුවන් විජලනයට ලක්වීමේ අවදානමක්

උෂ්ණාධික කාලගුණය හමුවේ දරුවන් විජලනයට ලක්වීමේ අවදානමක්

*********************************************

උෂ්ණාධික කාලගුණය හමුවේ දරුවන් විජලනයට ලක්වීමේ අවදානමක්

(27.03.2022 – 19:25 +0530 – hirunews.lk/sinhala)

පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

සෑම වසරකම මාර්තු අග සහ අප්‍රේල් මුල් කාලයේ හිරු මුදුන් වීම හේතුවෙන් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 32 ත් 33 ත් දක්වා වැඩි විය හැකියි.

උෂ්ණාධික තත්ත්වය හේතුවෙන් දරුවන් විජලනයට ලක්වීමේ හැකියාව පවතින බැවින් මෙම තත්වය මඟහරවා ගැනීමට වැඩි වතුර ප්‍රමාණයක් පානය කරන ලෙසත් දිනකට දෙවරක් (2) ස්නානය කරන ලෙසත් වෛද්‍යවරයා ඉල්ලීමක් කළා.

අද (27) දිනයේ වැඩිම උෂ්ණත්වය යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එය දැක්වුණේ සෙල්සියස් අංශක 33.8 ක් ලෙසයි.

ඊට අමතරව අනුරාධපුරයට සෙල්සියස් අංශක 33.5 කත් පුත්තලමට සෙල්සියස් අංශක 32.5 කත් කොළඹට සෙල්සියස් අංශක 32.4 කත් උෂ්ණත්වයක් අද (27) වාර්තා වුණා.

ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය දැක්වුණේ සෙල්සියස් අංශක 31.4 ක් ලෙසයි.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ රත්නපුර, අනුරාධපුරය, යාපනය, මන්නාරම, මහනුවර සහ කොළඹ යන නගරවල සෙල්සියස් අංශක 30 ඉක්ම වූ උෂ්ණත්වයක් හෙට (28) දිනයේ අපේක්ෂා කරන බවයි ෴

***************************************

මෙරට ඇමරිකානු තානාපති සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

(27.03.2022 – 16:04 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඇමරිකානු තානාපති ජූලි චන්ග් සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඇමරිකාවේ සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර සබදතා සහ භාෂා අධ්‍යයන අවස්ථා, තොරතුරු තාක්ෂණික සහය ලබාදීම මෙන්ම පුහුණු සහාය ලබාදීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා සිදුකළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

දැනට මෙරට පවතින අධ්‍යාපන අවස්ථා වැඩි දියුණු කරමින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට තවත් ප්‍රතිලාභ ලබාදීම පිළිබදව ද එහිදී අවධානය යොමු කර තිබෙනවා ෴

***************************************

සෝමාවතියේ කැලෑ කැපූ 53 කට ඇප

(27.03.2022 – 17:28 +0530 – hirunews.lk/sinhala)

සෝමාවතී ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී දර කැඩූ 53 දෙනෙකුට, කන්තලේ වැඩබලන මහේස්ත්‍රාත් ශානිකා පෙරේරා විසින් රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ 53 ක ශරීර ඇප නියම කර තිබෙනවා.

අග්බෝපුර පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී රක්ෂිතය තුළ යාන්ත්‍රික කියත් උපයෝගී කර ගනිමින් දර කපමින් සිටි මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ දිනයේයි.

එහිදී ට්‍රැක්ටර් රථ 8 ක් ද පොලීසිය භාරයට ගෙන තිබුණා.

සැකකරුවන් කන්තලේ – පේරාරු ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

***************************************

හෙට්ටිවීදියේ රන් මිල තවත් ඉහලට – කැරට් විසිදෙක (22) එක්ලක්ෂ හැටදහස (1,60,000) ඉක්මවයි

(27.03.2022 – 19:30 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන යුද්ධය, බලශක්ති අර්බුදය ඇතුලු කරුණු හේතුවෙන් සුරක්ෂිත ආයෝජනයක් ලෙස ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.

රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,958 ක් ලෙසයි.

සති අන්තයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබුණද ගතවූ දින 30 ක කාලය සැළකූ විට රන් මිල සියයට 3 කින් පමණ එනම්, ඩොලර් 56 කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කොළඹ හෙට්ටිවීදියේ කැරට් විසිහතරේ (24) රන් පවුමක මිල මේ වනවිට රුපියල් එක්ලක්ෂ අසූ දහස (1,80,000) දක්වා ඉහළ ගොස් තිබුණා.

කැරට් විසිදෙකේ (22) රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් එක්ලක්ෂ හැටදහසක් (1,60,000) ලෙසයි.

ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් සඳහන් කළේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සීග්‍ර ලෙස පහත වැටීමද මෙලෙස දේශීය වශයෙන් රන් මිල ඉහළ යාමට බලපා ඇති බවයි ෴

***************************************

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට

(27.03.2022 – 19:56 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මෙලෙස පදවා ඇත්තේ සිය නිල රථය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළා ෴

***************************************

ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට

(27.03.2022 – 21:38 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් දෙදින (2) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අද (27) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

***************************************

පුංචි ඩෝරාගේ ජීවිතය අනතුරේ

(27.03.2022 – 22:27 +0530 – hirunews.lk/sinhala)

දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉමහත් ආකර්ශනයක් දිනාගත් රිදියගම සෆාරි උද්‍යානයේ පුංචි ඩෝරාගේ ජීවිතයට වගේම තවත් සතුන් රැසකගේ ජීවිතවලට නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා නිසා මේ වනවිට ජීවිත තර්ජන එල්ල වී තිබෙනවා.

මේ විශේෂ අනාවරණය රිදියගම සෆාරි උද්‍යානයේ ප්‍රාණ ඇපයට ලක්ව සිටින අහිංසක සත්ත්වයන් පිළිබඳවයි.

නිදහස් සත්වෝද්‍යානයක් වන රිදියගම සෆාරි උද්‍යානයේ පක්ෂීන්, ක්ෂීරපායින් සහ උරග විශේෂ ඇතුළු සතුන් 700 කට වැඩි සංඛ්‍යාවක් රැකවරණය ලබනවා.

දෙස් විදෙස් සංචාරකයන් අතර රිදියගම සෆාරි උද්‍යානය ඉමහත් ප්‍රසිද්ධියට පත් වන්නේ ඩෝරා නම් මෙම සිංහ පැටවා, සෆාරි උද්‍යානයට හිමිවීමත් සමඟයි.

කෙසේවෙතත්, මේ වනවිට රිදියගම සෆාරි උද්‍යානයට ‘කනකොකා හඬමින්’ ඇත්තේ එහි අරක් ගෙන සිටින ඇතැම් සේවකයන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන්.

මේ රිදියගම සෆාරි උද්‍යානයේ සේවකයෙකු හිරු ප්‍රවෘත්ති වෙත ඒ පිළිබඳ කළ අනාවරණයක්.

***************************************

රනිල් වික්‍රමසිංහට කරුණු 12 කින් සමන්විත චෝදනා පත්‍රයක්

(27.03.2022 – 14:02 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජයේ දූෂණ මර්දන කමිටු සහ එහි ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් සොයා බැලූ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත කරුණු 12 කින් සමන්විත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තිබෙනවා.

එයින් චෝදනා 3 ක් ඉදිරිපත් කර ඇත්තේ ජාතික විධායක සභාව, දූෂණ මර්දන කමිටුව සහ දූෂණ මර්දන ලේකම් කාර්යාලය ස්ථාපිත කිරීමට අදාළවයි.

එම කමිටු ස්ථාපිත කිරීම සඳහා ආධාර අනුබලදීමෙන් හිටපු අග්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවටයි ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව චෝදනා කරන්නේ.

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවේ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීමේ අරමුණින්.

එහිදී අදාළ දූෂණ මර්දන කමිටු සහ එහි ලේකම් කාර්යාලය තොරතුරු එක්රැස් කිරීම, පරීක්ෂණ පැවැත්වීම සහ වාර්තා කිරීම සම්බන්ධයෙන් මෙම කොමිසම මගින් විමර්ශනය කර තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත එල්ල වන හතරවන (4) චෝදනාවට පදනම් වී ඇත්තේ මූල්‍ය අපරාධ කොට්ඨාසය ස්ථාපිත කිරීමයි.

එමඟින් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ වගන්ති උල්ලංඝනය වන බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වහා විවාදයක් පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉල්ලීමක් කර තිබෙනවා.

වාර්තාව සම්බන්ධයෙන් රජය තම සැළසුම් ඉදිරිපත් කිරීම අතිශය වැදගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ ෴

+

@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@

බූස්ටර් එන්නත ගැන දැනුම්දීමක් – කාඩ්පත අනිවාර්යය කෙරෙන ස්ථාන ලැයිස්තුවත් ඉදිරියේදී

(27.03.2022 – 08:58 +0530 – hirunews.lk/sinhala)

ලබන අප්‍රේල් 30 වනදා සිට පූර්ණ එන්නත්කරණයට ලක් වූ බව සහතික කළ කාඩ්පත අනිවාර්යය වන පොදු ස්ථාන ලයිස්තුව ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මේ වනවිට මෙරට මිලියන 14.4 ක් ජනතාව කොරෝනා එන්නත් මාත්‍රා දෙකම (2) ලබා සිටින නමුදු බූස්ටර් හෙවත් වර්ධක මාත්‍රාව ලබා සිටින්නේ මිලියන 7.7 ක් පමණයි.

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ එළඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුද්දට පෙර ඉදිරි සති 2 තුළ බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙසටයි.

තවත් කොරෝනා ආසාදිතයන් 164 ක් ඊයේ (26) වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6,60,797 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,454 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (26) වාර්තා වූ කොරෝනා මරණ 2 ත් සමගයි ෴

++++++++++++

තවත් කොරෝනා මරණ 05 ක්

(27.03.2022 – 20:03 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 05 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 16,456 ක් වනවා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 93 දෙනෙකු මෙරටින් හමුවී තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 6,60,890 ක් ෴

+

@@@@@@@@@@@@@

හනුමගේ වල්ගෙට ගිනි තියලා දැන් නටනවා – නාගානන්දගෙන් අනුර කුමාරටයි සමගියටයි අභියෝගයක් (27.03.2022)

***************************************

කැබිනට් එකේ පඹයෝ ටික රෙදි ඇඳන්ද ගමට යන්නේ. හොර හැත්ත ගෙදර අරිනකන් අත්අරින්නේ නෑ (24.03.2022)

***************************************

රට යන මිනිස්සුන් ගෙන් බිලියනයක් හොරා කෑ මහා වංචාව. තලතාට ඕන උනේ හොරු අල්ලන්න නෙවෙයි. මගේ කට වහන්න (26.03.2022)

***************************************

සමාගම් ලියාපදිංචිය දැන් තනිකරම වංචාවක්. හොර බිස්නස්කාරයෝ ඇතිකරන පළවෙනි තැන මේක (20.03.2022)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *