IMF වාර්තාව ගැන රනිල්ගෙන් අභියෝගාත්මක විවාදයක් ?

IMF වාර්තාව ගැන රනිල්ගෙන් අභියෝගාත්මක විවාදයක් ?

*********************************************

IMF වාර්තාව ගැන රනිල්ගෙන් අභියෝගාත්මක විවාදයක් ?

(27.03.2022 – 10:51 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී වහාම විවාදයක් පවත්වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිම්නේතු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටිනවා.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් වත්මන් රජය තම සැලැස්ම ඉදිරිපත් කිරීම අතිශය වැදගත් වන බවයි හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මූල්‍ය ආධාර සඳහා අයි.එම්.එෆ්. සම්බන්ධ කර ගැනීමට වත්මන් රජය තෝරාගෙන ඇති බැවින් පාර්ලිමේන්තුව වාර්තාව පිළිබඳව සාකච්ඡා කරන බවත් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන සිය කාර්යය මණ්ඩල වාර්තාව ඊයේ (26) ප්‍රකාශයට පත් කළා.

එහි විධායක අධ්‍යක්ෂවරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රකාශය ද ඊට ඇතුළත්.

මෙරට සාර්ව ආර්ථික ස්ථාවරභාවය සහ ණයවල තිරසරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විශ්වසනීයත්වයෙන් යුත් පැහැදිලි ක්‍රමෝපායක් ලක් රජය විසින් ක්‍රියාවට නැංවීම කඩිනම් අවශ්‍යතාවක් බවයි එහි සඳහන් වන්නේ.

එහිදී අවදානම් කණ්ඩායම් සුරකිමින් දුප්පත්කම අවම කිරීම සඳහා සමාජ සුරක්ෂිත ක්‍රියාමාර්ග ද ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරනවා.

එමෙන්ම ආදායම් තත්ත්වය ඉහළ නැංවීම සඳහා බදු ඉහළ නැංවිය යුතු බව ද අයි.එම්.එෆ්. වාර්තාවේ නිර්දේශවලට ඇතුළත්.

අදාළ අයි.එම්.එෆ්. වාර්තාව මගින් මෙරට මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක් සිදු කර තිබෙනවා.

එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ, ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල වශයෙන් හානි සිදු වී ඇති බවයි.

කොවිඩ් ආර්ථිකය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එය දැඩි ලෙස බලපෑ අතර, සංචාරක ලැබීම් අහිමි වීම සහ රට අගුලු දැමීම හේතුවෙන් එය වඩාත් විස්තීර්ණ මට්ටමකට පැමිණි බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා.

කොවිඩ් බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2020 සහ 2021 වනවිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 ට වඩා විශාල මූල්‍ය හිඟයකට ඇඳවැටී ඇති අතර, 2021 දී රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 119 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද එම වාර්තාවේ සඳහන්.

ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළට ශ්‍රී ලංකාවට ඇති ප්‍රවේශය අහිමි වූ අතර, 2020 දී, ජාත්‍යන්තර සංචිත තීරණාත්මක ලෙස බරපතළ මට්ටමකට පහත වැටීමට සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් රජයට මහා පරිමාණ සෘජු ණය ලබා දීමට පෙළඹුණු බවයි වාර්තාව හෙළි කරන්නේ.

විදේශ ණය ආපසු ගෙවීම සහ ජංගම ගිණුමේ හිඟය පුළුල් වීම, විදේශ විනිමය (FX) හිඟයට හේතු වී ඇති අතර, නිල විනිමය අනුපාතිකය 2021 අප්‍රේල් සිට තත්‍යානුකූලව ස්ථාවර කෙරුණා.

ආනයනික උද්ධමනය පිළිබිඹු කරමින් උද්ධමනය 2021 දෙසැම්බරයේ ඉලක්කම් ද්විත්වයට ළඟා වෙමින් ඉහළ යමින් පවතින අතර, මේ හේතුවෙන් ආර්ථික උද්ධමනය තනි අගයක රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සැපයුම් නිෂ්පාදනය සහ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය මධ්‍යයේ දේශීය ඉල්ලුම ඉහළ යාම ද මූල්‍ය හිඟයට හේතු වී ඇති බවයි එම නිවේදනයේ සාරාංශය වන්නේ ෴

++++++++

රනිල්ගේ ඉල්ලීමට ආණ්ඩුව හා කියයි

(27.03.2022 – 15:04 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලැබූ කාර්යය මණ්ඩල වාර්තාව සම්බන්ධව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදු කළ ඉල්ලීම ආණ්ඩු පක්ෂය පිළිගෙන තිබෙනවා.

අද (27) පෙරවරුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටියේ, අදාළ වාර්තාව සම්බන්ධව වහාම පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට කටයුතු කළ යුතු බවයි.

එම යෝජනාවට සහ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, මීළඟ පාර්ලිමේන්තු සැසි වාරයේ දී ඒ සඳහා අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බවයි.

++++++++

මෙරට ණය බර දරා ගත නොහැකියි – මූල්‍ය අරමුදල කියයි

(27.03.2022 – 19:06 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ ‘ආටිකල් ෆෝ’ උපදේශන සහ කාර්ය මණ්ඩල වාර්තාව පිළිබද පාර්ලිමේන්තු විවාදයක් සදහා ලබන සතියේ දී දින ලබාදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.

මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම වාර්තාව පිළිබද පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා තිබුණා.

ඒ අනුවයි ආණ්ඩු පක්ෂය විසින් ඒ පිළිබදව අවදානය යොමු කර ඇත්තේ. බොහෝදුරට ලබන සතියේදී පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබද තීරණයක් ගන්නා බව ආණ්ඩු පක්ෂයේ ආරංචි මාර්ග සදහන් කළා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ පක්ෂ නායක රැස්වීමක් කැදවීම සදහා දැනටමත් කථානායකවරයා ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බවයි.

මේ අතර, මෙරට ණය බර ආර්ථිකමය හා දේශපාලනමය වශයෙන් දරාගත නොහැකි මට්ටමක පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ ආටිකල් ෆෝ උපදේශන සහ කාර්ය මණ්ඩල වාර්තාවෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ඉදිරි වසර කිහිපය තුළ ණය පාලනය කළ හැකි සුරක්ෂිත මට්ටමක් කරා ගෙන ඒමට අවශ්‍ය මූල්‍යමය තත්වය ශක්තිමත් කර ගැනීමේ ප්‍රයත්නයන් ආර්ථික හා දේශපාලනික වශයෙන් කළ නොහැකි තරම් විශාල වනු ඇති බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

විශාල මූල්‍යමය වගකීම් සහ බාහිර මූල්‍ය පහසුකම්වල පරතරය හේතුවෙන් මෙම ණය තිරසාරව පවත්වා ගෙන යෑමේ ඉතා ඉහළ අවදානමක් පවතිනවා.

හිතකර මූල්‍ය උපකල්පනයන් යටතේ වුවද, මෙම මූලික ණය මට්ටම දිගින් දිගටම වැඩි වනු ඇති අතර මෙම තත්වය තවත් තීව්‍ර වීමේ අවාසිදායක තත්වයන් සහ අවදානම සැළකිය යුතු තත්වයක ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආටිකල් ෆෝ උපදේශන සහ කාර්ය මණ්ඩල වාර්තාවෙන් ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ද එම වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

“බදු ප්‍රතිසංස්කරණය, රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය සහ විදේශ සංචිත ශක්තිමත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර ලබාදී තිබූ නිර්දේශ වනවා. නිර්දේශිත බදු නිදහස් කිරීම් ඉවත් කිරීම, නව ආදායම් බදු නීතියක් සකස් කිරීම, බදු පරිපාලනය විධිමත් කිරීම මෙන්ම මූල්‍ය නීතිය විධිමත් කර මූල්‍ය හිගය අවම කිරීම සදහා බදු ප්‍රතිසංස්කරණ යටතේ ඔවුන් නිර්දේශ කර තිබුණා. එමෙන්ම රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංස්කරණය යටතේ බලශක්ති මිල ප්‍රතිශෝධනය, අයවැයෙන් බැහැරව ඇති ඉන්ධන හා විදුලි සහනාධාර රජයේ වියදමක් ලෙස පිළිගෙන මධ්‍යම රජයට දැරීමට සිදුවන අවිනිශ්චිත වගකීම් වැළැක්වීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කලා. තවද විදේශ සංචිත ශක්තිමත් කිරීමට ඔවුන් නිර්දේශ කර තිබුණේ විදේශ සංචිත මිලදී ගැනීම සහ නම්‍යශීලී විනිමය අනුපාතයක් පවත්වා ගැනීමයි.”

++++++++

රජයේ ක්‍රියා කලාපය ගැන සජබෙ ජාතික සංවිධායකගේ අප්‍රසාදය

(27.03.2022 – 15:43 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඊයේ (26) දින ප්‍රකාශයට පත් කරනු ලැබූ ශ්‍රී ලංකාව පිළිබඳ කාර්යය සාධන වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අදහස් පළ කළා.

ඊයේ (26) හෝමාගම විහාරස්ථාන කිහිපයක සිදු කළ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, අදාළ වාර්තාව සම්බන්ධයෙන් නිසි හෙළි කිරීමක් පාර්ලිමේන්තුවට මෙන් ම ජනතාවට සිදු කිරීම වත්මන් ආණ්ඩුවේ පළමු වගකීම වන බවයි.

එමෙන්ම පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්ව පාක්ෂික සමුළුවට සමගි ජන බලවේගය සහභාගී නොවීම සමබන්ධයෙන් මෙන්ම රට තුළ දෛනිකව අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් මෙන්ම ඉන්ධන මිල ගණන් ද ඉහළ යාම සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් සහ රජයේ ක්‍රියාකලපාය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර සිටියා ෴

***************************************

මාවනැල්ලේ සුසාන භූමියකට ගැසූ අකුණකින් 25 ක් රෝහලේ

(27.03.2022 – 09:16 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල – බැමිණිවත්ත ප්‍රදේශයේ සුසාන භූමියක ඊයේ (26) පැවති අවමංගල අවස්ථාවක දී අකුණු සැරයක් වැදීමෙන් පුද්ගලයින් 25 දෙනෙකු මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඒ අතර ළමුන් 7 දෙනෙකු ද සිටින බවයි.

සුළු තුවාල සහ කම්පන තත්ත්වයන් හේතුවෙන් ඔවුන් රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර සෝමාවතී රක්ෂිතයට අයත් කැළෑ ප්‍රදේශයක දර කැපීමට යාම හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකරු 53 දෙනා අද (27) කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලීසිය සඳහන් කළේ සැකකරුවන් සමග දර ප්‍රවාහනයට යොදා ගත් ට්‍රැක්ටර් රථ 8 ක්ද මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මුස්ලිම් උපවාස සමයේ සාම්ප්‍රදායිකව සිදු කරන කැඳ සෑදීම සඳහා අදාල පිරිස විසින් එලෙස රක්ෂිතයේ දර කපා ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

***************************************

පෞද්ගලික බස් රථ සේවකයන් හැඳුනුම්පතක් ඉල්ලයි

(27.03.2022 – 10:35 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික බස් රථ රියදුරන් සහ සහායකයන් සඳහා රජය මගින් හැඳුනුම්පතක් ලබා දිය යුතු බව සමස්ථ ලංකා පෞද්ගලික බස් රථ වෘත්තිකයන්ගේ පොදු ජන සේවක සංගමය පවසනවා.

එහි ලේකම් කුමාර රත්න රේණුක හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ පවතින තත්වයන් හමුවේ සිය වෘත්තීය අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකිව පෞද්ගලික බස් රථ සේවකයන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි ෴

***************************************

උණවටුනේ දී රුසියානුවෙකුට පහර දුන් හයදෙනෙකු (6) අත්අඩංගුවට

(27.03.2022 – 11:23 +0530 – hirunews.lk/sinhala)

උණවටුන ප්‍රදේශයේ දී රුසියානු ජාතිකයෙකුට සහ අවන්හල් හිමියෙකුට පහර දුන් පුද්ගලයන් හයදෙනෙකු (6) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බූස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම තරුණයන් ඔවුන්ගේ වාහනය මෙම අවන්හලේ පිවිසුම අවහිර වන පරිදි නතර කර තිබුණා.

එහිදී එම තරුණයන් සහ අවන්හලේ හිමිකරු අතර ගැටුමක් ඇති වී ඇති අතර, එය බේරීම සඳහා අවන්හලේ සිටි රුසියානු ජාතිකයෙකු ද ඉදිරිපත් වී තිබෙනවා.

එහිදී ඔවුන් එම විදේශිකයාට ද පහර දී ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා (6) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කෙරෙන බවයි හබරාදූව පොලිසිය සඳහන් කළේ ෴

***************************************

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබා සිටි අයෙකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට

(27.03.2022 – 11:49 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකා මෙහෙයුම් අංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දී නීතිවිරෝධී දුම්වැටි සහ මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි අයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (26) පස්වරුවේ සිදු කෙරුණු අදාළ මෙහෙයුමේ දී අත් අඩංගුවට ගැනුණු සැකකරු සන්තකයේ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ලෙස තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 200 ක් සහ මාවා මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 ක් ද සොයා ගැනුණා.

සැකකරු මීතොටමුල්ල – වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු 63 හැවිරිදි අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴

***************************************

54 වසරකට පසු ඇරඹි රත්මලාන ගුවන්තොටේ කලාපීය ගුවන් මෙහෙයුම්

(27.03.2022 – 13:31 +0530 – hirunews.lk/sinhala)

දශක පහක (5) විරාමයකින් අනතුරුව රත්මලාන ගුවන් තොටුපල අද (27) නැවතත් කාලසටහනකට අනුව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත කෙරුණා.

ඒ, මාලදිවයිනේ ජාතික ගුවන් සේවය වන ‘මෝල්ඩිවියන්’ ගුවන් සේවාවට අයත් යානයක් මාලේ නුවර සිට පැමිණීමත් සමඟයි.

කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස හඳුන්වන රත්මලාන ගුවන් තොටුපල මෙරට පළමු ජාත්‍යන්තර ගුවන් තොටුපලයි.

1938 වර්ෂයේ විවෘත කෙරුණු රත්මලාන පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිවිල් ගුවන් මෙහෙයුම් 1968 වසරේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත රැගෙන යනු ලැබුවා.

ඉන් අනතුරුව එය ක්‍රියාත්මක වූයේ අභ්‍යන්තර ගුවන් සේවා මධ්‍යස්ථානයක් ලෙසයි.

කලාපීය සංචාරකයින් ගෙන්වා ගැනීම අරමුණු කර ගනිමින් ගුවන්තොටුපළ හා ගුවන් සමාගම විසින් එහි සංවර්ධන කටයුතු සිදු කරනු ලැබුවා.

‘මෝල්ඩිවියන්’ ගුවන් සේවාව සතියකට ගුවන් ගමන් වාර 3 ක් රත්මලාන පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ සඳහා ආසන 50 ක ධාරිතාවකින් යුත් ‘ඩී.එච්.සී. ඩෑෂ් 8’ වර්ගයේ ගුවන් යානා යොදාගැනෙනු ඇති.

***************************************

රටින් පලාගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 132 කුට ‘රතු නිවේදන’

(27.03.2022 – 13:35 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් පලාගිය මත්ද්‍රව්‍ය චෝදනා එල්ලවූ සැකකරුවන් 132 කුට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන ලබාගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

මෙරටට මත්ද්‍රව්‍ය සපයන සහ ඊට සම්බන්ධ ජාවාරම්කරුවන් බහුතරයක් මේ වනවිට ජීවත් වන්නේ ඩුබායි රාජ්‍යයේ බවට තොරතුරු අනාවරණ වී ඇති බව ද ඔහු සඳහන් කළා.

එමෙන්ම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය පසුගිය වසරේ සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වල දී සැකකරුවන් 95,000 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 1,630 ක්, ගංජා කිලෝග්‍රෑම් 15,000 ක් සහ කෘත්‍රිම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 377 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

+++++

23 හැවිරිදි තරුණයා ගංජා සමග දැලේ

(27.03.2022 – 11:54 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – ග්‍රෑන්ඩ්පාස් ෆර්ගියුසන් පාරේ පිහිටි නිවසක සූක්ෂ්ම ලෙස සඟවා තිබූ කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 200 ක් සොයා ගැනුණා.

අදාළ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 3,00,000 කට අධිකයි.

සැකකරු 23 හැවිරිදි වියෙහි පසුවන අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *