අද (27) වැඩියෙන් අමතර පැයක් (1) විදුලිය කැපේ

අද (27) වැඩියෙන් අමතර පැයක් (1) විදුලිය කැපේ

*********************************************

අද (27) වැඩියෙන් අමතර පැයක් (1) විදුලිය කැපේ

(27.03.2022 – 08:41 +0530 – hirunews.lk/sinhala)

සති අන්තයේ විදුලි ඉල්ලුම ඉහළ යාම හේතුවෙන්, අද (27) උදෑසන 10 සිට සවස 02 අතර කාලයේ දී විදුලි කප්පාදුවක් සිදු කෙරෙන අතර, එම කාලයට අමතරව අතිරේක පැයක් (1) ද විදුලි සැපයීම නතර කෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කරනවා.

ඒ අනුව අද (27) දිනයේ දී මෙලෙස අතිරේක පැයක් (1) විදුලිය කැපෙන කාණ්ඩ ලෙස පී, ක්‍යු, ආර්, එස්, ටී, යූ, වී සහ ඩබ්ලිව් (P-W) යන ප්‍රදේශ දක්වා තිබෙනවා.

රට තුළ පවතින දැඩි ඩොලර් හිඟය හේතුවෙන් දිවයිනට පැමිණෙන තෙල් නෞකාවලට මුහුද මැද නැංගූරම් ලෑමට සිදුව ඇත්තේ, තවදුරටත් විදුලි අර්බුදය වර්ධනය කරමින්.

ඩීසල් සහ නැප්තා නොමැති වීම හේතුවෙන් රටේ පිහිටි ප්‍රධාන පෙළේ විදුලි බලාගාරවල කටයුතු අක්‍රීය වී ඇති මොහොතක මෙවන් අර්බුදයක් සමනයටයි විදුලිබල මණ්ඩලය විසින් විදුලි කප්පාදුවකට අවතීර්ණ වන්නේ.

රට තුළ මේ වනවිට ඉන්ධන මෙන්ම ගෑස් අර්බුදයක් හටගෙන ඇති අතර, නිමා නොවන අවසන් නොවන පෝලිම් ක්‍රමයක් ද ඉන්ධන සහ ගෑස් සේවා ලබාගැනීමට රැස් වී තිබෙන අයුරු ද දක්නට ලැබෙනවා.

+++++++

තවත් ඉන්ධන නෞකාවක් හෙට (28) දිවයිනට

(27.03.2022 – 09:24 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නෞකාවක් හෙට (28) දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා.

එසේම, තවත් ඉන්ධන නෞකාවක් අප්‍රේල් මුල් සතියේ දිවයිනට ළගා වීමට නියමිත බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

මීට අමතරව පසුගිය සිකුරාදා මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන තොගයක් රැගෙන පැමිණි නෞකාවකට මුදල් ගෙවූ අතර, එම ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ද මේ වනවිට සිදුවනවා.

කෙසේ වෙතත්, තවදුරටත් දිවයිනේ විවිධ ප්‍රදේශවල පිරවුම්හල් ආශ්‍රිතව පෝලිම් දැකගත හැකියි.

මේ අතර, ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලබා ගැනීමට පැමිණෙන ජනතාව ද ප්‍රමාණවත් තරම් ගෑස් නොමැතිවීම හේතුවෙන් පෝලිම්වල තවදුරටත් සිටින ආකාරය දැකගත හැකියි.

ලිට්රෝ සමාගම දිනකට ගෑස් සිලින්ඩර ලක්ෂයත්, 1,20,000 ත් අතර ප්‍රමාණයක් වෙළඳපොලට මේ දිනවල නිකුත් කරනු ලබනවා.

මේ අතර, අද (27) දිනයේත් කාණ්ඩගත කලාපවලට උදෑසන 08:30 ත් පස්වරු 05:30 ත් අතර පැය 2 යි මිනිත්තු 15 ක්, පස්වරු 05:30 ත් රාත්‍රී 10:30 ත් අතර පැයයි (1) මිනිත්තු 15 ක කාලයක් ද විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසන් සභාව අවසර ලබා දී තිබෙනවා.

එමෙන්ම, සෙසු කලාපවලට සවස 3 ත් රාත්‍රී 11 ත් අතර පැය 2 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

+++++++++++

බොරතෙල් මිල යළි ඉහළට

(27.03.2022 – 10:12 +0530 – hirunews.lk/sinhala)

රුසියානු තෙල් සහ ගෑස් සඳහා පැනවුණු බටහිර සම්බාධක මෙන්ම සෞදි අරාබියේ තෙල් ගබඩාවක් ප්‍රහාරයකට ලක්වීම ආදී කරුණු හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල නැවතත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතල් බැරලයක් ඩොලර් 120.70 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 114 ක් ලෙසයි ෴

+++++++++++

අඛණ්ඩ විදුලි සැපයුම සහතික කරන තුරු, විදුලි බිල ඉහළ නොදැමීමේ තීරණයක

(27.03.2022 – 14:00 +0530 – hirunews.lk/sinhala)

අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කරන තුරු යෝජිත විදුලි ගාස්තු ඉහළ නැංවීම සිදු නොකිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දි දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තාවන්නේ.

වර්තමානය වනවිට විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 40 කට ආසන්න පිරිවැයක් වැයවන අතර, පාරිභෝගිකයන්ට අලෙවි කරනු ලබන්නේ අඩකටත් වඩා අඩු මිලකටයි.

මෙම තත්වය හමුවේ තවදුරටත් විදුලි නිෂ්පාදනය පවත්වාගෙන යෑමට පිරිවැයට සාපේක්ෂව මිල ඉහළ නැංවීමක් සිදුකළ යුතු බවට යෝජනා ඉදිරිපත් වුණා.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විදුලිබල මණ්ඩලයෙන් මිල ඉහළ නැංවීමේ යෝජනා කැඳවූ අතර, එය මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් එම යෝජනා සම්බන්ධයෙන් තවදුරටත් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වෙමින් පවතින අතර, අවසන් ප්‍රතිශතයන් පිළිබඳව තීරණය කර නැහැ.

එමෙන්ම ජල ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවක් ද ජල සම්පාදන මණ්ඩලය විසින් ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරි සති කිහිපයේදී ඒ පිළිබඳ තීරණයක් ගනු ඇති බව සඳහන්.

මේ අතර දුරකථන ඇමතුම් සහ දත්ත පරිහරණ ගාස්තු ඉහළ නැංවීමට දුරකථන සමාගම්වලින් විදුලි සංදේශ නියාමන කොමිසම වෙත ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වුණා ෴

+++++++++++

ගෑස්, භූමිතෙල් තවමත් නැහැ

(27.03.2022 – 14:15 +0530 – hirunews.lk/sinhala)

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණා.

මේ අතර ප්‍රමාණවත් තරම් ගෑස් නොමැතිවීමෙන් ජනතාව ඊයේ (26) සහ අදත් (27) පෝලිම්වල රැඳී සිටින අයුරු නිරීක්ෂණය කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

සාමාන්‍යයෙන් ඉරිදා දිනයන්හිදී කෙරවලපිටිය ලිට්රෝ ගෑස් පර්යන්තය වසා දැමෙන අතර, රට තුළ පවතින ගෑස් හිඟය අවම කිරීම සඳහා අදත් එම පර්යන්තයෙන් ගෑස් බෙදාහැරීමේ කටයුතු සිදු කෙරෙනවා.

මේ අතර ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නෞකාවක් හෙට (28) දිවයිනට ළඟාවීමට නියමිත අතර, පසුගිය සිකුරාදා (25) පැමිණි ඉන්ධන නෞකාවෙන් ගොඩබෑ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

+++++++++++

ඉන්ධන, විදුලි, ගෑස්, අර්බුදයෙන් සංචාරක ක්‍ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම ගැන විශේෂ සාකච්ඡාවක්

(27.03.2022 – 14:20 +0530 – hirunews.lk/sinhala)

පවතින විදුලි ඉන්ධන සහ ගෑස් අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය බාධාවකින් තොරව පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අනිද්දා (29) පැවැත්වීමට නියමිතයි.

එම සාකච්ඡාව සඳහා වෙළඳ, විදුලිබල, බලශක්ති හා ප්‍රවාහන අමාත්‍යාංශවල අමාත්‍යවරුන් සහ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගිවීමට නියමිත බවයි වාර්තාවන්නේ.

මෙහිදී සංචාරක බස්රථ සහ වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමේ දී ප්‍රමුඛතාව ලබාදීම, විදුලි සහ ගෑස් සපයා ගැනීමට නොහැකිවීමෙන් මතුවන දුෂ්කරතා මගහැරවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇති ෴

+++++++++++

ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදාහැරීම යථා තත්ත්වයට පත් කිරීමට කඩිනම් පියවර

(27.03.2022 – 15:46 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදාහැරීම යථා තත්තත්වයට පත් කිරීමට කඩිනම් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඉදිරි දින කීපය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්ධන පිරවුම්හල්වලට ඩීසල් ඇතුළු සියළු ඉන්ධන අවශ්‍ය තරම් ලැබෙනු ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග සඳහන් කළේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ සිපෙට්කෝ ඉන්ධන අලෙවිසල් 138 ක් පවතින බවත්, දෛනිකව ඩීසල් ලීටර් 6600 ක් බැගින් වූ බවුසර් 02 බැගින් එම ඉන්ධන පිරවුම්හල්වලට ලබා දෙන ලෙසත් ඇමතිවරයා ඛනිජ තෙල් සංස්ථා නිළධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදාහැරීම යථා තත්ත්වයට පත් කිරීම පිළිබදව විශේෂ සාකච්ඡාවක් පසුගිය සිකුරාදා (25) ඇමති ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් සංචාරක අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ උපදෙස් පරිදියි.

ඒ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා ඉන්ධන පිරවුම්හල් හිමියන් හා බෙදාහරින්නන් සංගම් නියෝජිතයෝ ද සහභාගී වුණා ෴

+++++++++++

හෙටත් (28) පැය 05 ක් කළුවරේ

(27.03.2022 – 18:24 +0530 – hirunews.lk/sinhala)

හෙට (28) දිනයේදීත් ඇතැම් ප්‍රදේශවලට පැය 05 ක විදුලිය කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව A සිට L දක්වා කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි මිනිත්තු 20 ක් බැගින්ද පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැයයි (1) මිනිත්තු 40 ක් බැගින්ද විදුලිය කපා හැරීමට නියමිතයි.

P සිට W දක්වා කලාප 08 ට පෙරවරු 08:30 සිට පස්වරු 05:30 දක්වා පැය 02 යි මිනිත්තු 15 ක් බැගින්ද පස්වරු 05:30 සිට රාත්‍රී 11 දක්වා පැයයි (1) මිනිත්තු 50 ක් බැගින්ද විදුලිය කප්පාදු කරනු ලබනවා.

+++++++++++

ගෑස් සිලින්ඩර් ලක්ෂ 7 ක් වෙළඳපොළට

(27.03.2022 – 19:15 +0530 – hirunews.lk/sinhala)

හෙටින් (28) ආරම්භ වන සතිය තුළ ගෑස් සිලින්ඩර් ලක්ෂ 7 ක ප්‍රමාණයක් වෙළදපොළට නිකුත් කිරීමට කටයුතු කරන බව ලිට්රෝ සමාගම පවසනවා.

දැනට වෙළදපොළේ මතුව ඇති ගෑස් හිගය කඩිනමින් මග හරවා ගැනීම සඳහා කටයුතු සිදුකරන බවයි එම සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

කෙසේ වෙතත්, ගෑස් හිගය පිළිබදව පාරිභෝගික ජනතාව තවමත් චෝදනා එල්ල කරනවා.

එමෙන්ම බලධාරින් කොතෙකුත් ප්‍රකාශ කළ ද දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල තවමත් පෝලිම් පවතින බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, විදුලි අර්බුදයට වහා විසදුම් ලබා දී, හැකි ඉක්මනින් ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, අරලියගහ මන්දිරයේ දී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදියි. කෙසේ වෙතත්, සති අන්තයේ විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බවට පවසමින් අමතර පැයක (1) කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අද අවසර ලබාදුන්නා.

විදුලි බලය කප්පාදු කිරීම සෑම ක්ෂේත්‍රයකටම බලපෑම් එල්ල කරන කරුණක් වී ඇති අතර, ක්‍රීඩා තරඟ පැවැත්වීමට ද එමගින් බාධා එල්ල වී තිබෙනවා.

46 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාය වර්ධන අංශයේ කළුතර දිස්ත්‍රික් අවසන් මහා තරඟය බණ්ඩාරගම මෛත්‍රී නගර ශාලාවේදී පැවති අතර එහිදී විදුලිය විසන්ධිවීම නිසා ක්‍රීඩකයින් දැඩි අපහසුතාවට පත්ව සිටියා.

කිලෝග්‍රෑම් 70 බර පන්තිය සඳහා ක්‍රීඩකයන් වේදිකාවට කැදවන අවස්ථාවේදී එක්වරම විදුලිය විසන්ධි වූ අතර ක්‍රීඩකයන් අඳුරේදීම තරඟය පැවැත්වීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූ බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

ප්‍රදේශයට පෙරවරු 11 ට විදුලිය විසන්ධි කරන බවට දැනුවත් කර තිබියදී බලධාරීන් ඒ පිළිබදව නිසි අවධානයක් යොමු නොකිරීම විමතියට කරුණක් බවයි ක්‍රීඩකයන් ප්‍රකාශ කළේ.

+

@@@ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය වීම @@@

පුටින්ට බලයේ සිටිය නොහැකියි – ඇමරිකානු ජනපති බයිඩ්න් කියයි

(27.03.2022 – 09:38 +0530 – hirunews.lk/sinhala)

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට බලයේ සිටීමට අයිතියක් නොමැති බවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සිදුකළ ප්‍රකාශයක් මේ වනවිට ඉමහත් සංවාදයට ලක් වී තිබෙනවා.

පෝලන්තයේ වෝර්සෝ නුවරදී ඔහු මෙම ප්‍රකාශය සිදුකළේ රුසියාවේ යුක්රේන ආක්‍රමණය පදනම් කරගනිමින්.

කෙසේ නමුත් ඊට කඩිනමින් ප්‍රතිචාර දැක්වූ ක්‍රෙම්ලින් මන්දිරය කියා සිටියේ රුසියානු ජනාධිපතිවරයා තෝරාගැනීම ජෝ බයිඩ්න්ගේ කාර්ය භාරයක් නොවන අතර, රුසියානු ජනතාව විසින් සිදුකරන්නක් බවයි.

පසුව ධවල මන්දිරය මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ ප්‍රකාශයක් නිකුත් කළා.

එමඟින් කියා සිටියේ ජනපති පුටින්ට බලයේ සිටිය නොහැකි බවට ජනපති ජෝ බයිඩ්න් සිදුකළ ප්‍රකාශයෙන් රුසියාවේ ආණ්ඩු වෙනසක් සිදුවිය යුතු බවක් අදහස් නොකළ බවයි.

අසල්වැසි රටවලට එරෙහිව බලය පැතිරවීමට ඔහුට අයිතියක් නොමැති බව එමඟින් අදහස් වී යැයි ධවල මන්දිරය කියා සිටියා.

මේ අතර සම්බාධකවලට මුහුණදෙන රුසියානු තෙල් ධන කුවේරයන්ගේ සුපිරි යාත්‍රාවලට තවදුරටත් තම රට විවෘත බව තුර්කිය ප්‍රකාශ කළා.

ප්‍රංශය, ඉතාලිය ඇතුලු රටවල් රැසක එවැනි යාත්‍රා රජය භාරයට ගෙන ඇත්තේ රුසියානුවන්ට එරෙහිව පැනවූ සම්බාධක හේතුවෙන්.

කෙසේ නමුත් යුරෝපා සංගමයේ සාමාජිකයෙකු වන තුර්කිය ප්‍රකාශ කළේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය නොකරන තාක් රුසියානුවන්ගේ යාත්‍රාවලට තම රටේ වරාය විවෘත වන බවයි.

මේ අතර, ඊයේ (26) පස්වරුවේ බයිඩ්න් විසින් යුක්‍රේනයෙන් පෝලන්තයට ආ සරණගාතයින් බැලීමට එහි ගොස් තිබෙනවා.

සිය ට්විටර් නිල ගිණුමෙහි පණිවිඩයක් තබමින් අමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, යුක්‍රේන – රුසියානු යුද ගැටුමෙන් පීඩාවට පත් ව සිටින යුක්‍රේන අසරණ මිනිසුන්ගේ සැබෑ වේදනාව එහිදී තමන් දුටු බවයි.

දරුවන්ගේ ද වැඩිහිටියන්ගේ ද ඇස්වල පිරි කඳුලුවලින් පවසනුයේ අන් කිසිවක් නොව, යුද්ධය කිසිවෙක් පිළිනොගන්නා බවත්, එය පිළිකුල් කරන බවත් බව බයිඩ්න් සඳහන් කරනවා.

එම වේදනාව දැනීමට කිසිදු ලෙසකින් යුක්‍රේන බස කතා කිරීමට හැකියාක් ඇති නොවිය යුතු බව පෙන්වා දෙන බයිඩ්න් යුක්‍රේන වැසියන්ට උදව් කිරීමට අත දිගු කළ සියලු දෙනාටමත්, පෝලන්තයේ – වෝර්සෝ වැසියන්ටත් සිය උත්තමාචරය ද පළ කර තිබෙනවා ෴

++++++++++++

යුක්රේනයේ තවත් නගරයකට රුසියානු රොකට් ප්‍රහාර

(27.03.2022 – 11:14 +0530 – hirunews.lk/sinhala)

සිය මෙහෙයුම් නැගෙනහිර යුක්රේනය වෙත යොමුකරන බවට ප්‍රකාශ කළද, රුසියානු හමුදා බටහිර යුක්රේනයේ ලිවීව් නගරයට දැවැන්ත රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

නගරයෙන් පිපිරුම් හඬ අඛන්ඩව අසන්නට ලැබුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙලෙස ලිවීව් නගරය වෙත ප්‍රහාර එල්ල කිරීමට රුසියාව පෙළඹී ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ පෝලන්ත සංචාරය ඉලක්ක කරගෙන බව නගරාධිපතිවරයා සඳහන් කළා.

ලිවීව් පිහිටා ඇත්තේ පෝලන්ත දේශසීමාවට කිලෝමීටර 70 ක් තරම් සමීපයෙන්.

ඊට ප්‍රහාර එල්ල කිරීම මගින් රුසියාව ඇමරිකානු ජනාධිපතිවරයා වෙත කිසියම් පණිවුඩයක් ලබාදීමට උත්සාහ කරන බවයි ලිවීව් නගරාධිපති ඇන්ඩ්‍රි සැඩෝවි සඳහන් කළේ.

පෝලන්තයේදී ජනපති බයිඩ්න් රුසියානු ජනාධිපති පුටින් දැඩි ලෙස විවේචනය කළ අතර, එම ප්‍රකාශ දැඩි සංවාදයට බදුන් වුණා.

මේ අතර යුක්රේනයේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව උදෙසා ඩොලර් මිලියන 100 ක මූල්‍යාධාර සපයන බව ජනපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළා ෴

+++++++++++

රුසියාවෙන් ඇමරිකානු ජනපතිට ප්‍රහාරත්මක පණිවුඩයක්

(27.03.2022 – 14:17 +0530 – hirunews.lk/sinhala)

සිය මෙහෙයුම් නැගෙනහිර යුක්රේනය වෙත යොමුකරන බවට ප්‍රකාශ කළ ද, රුසියානු හමුදා බටහිර යුක්රේනයේ ලිවීව් නගරයට දැවැන්ත රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

නගරයෙන් පිපිරුම් හඬ අඛණ්ඩ ව අසන්නට ලැබුණු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙලෙස ලිවීව් නගරය වෙත ප්‍රහාර එල්ල කිරීමට රුසියාව පෙළඹී ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ පෝලන්ත සංචාරය ඉලක්ක කරගෙන බව නගරාධිපතිවරයා සඳහන් කළා.

ලිවීව් පිහිටා ඇත්තේ පෝලන්ත දේශසීමාවට කිලෝමීටර 70 ක් තරම් සමීපයෙන්.

ඊට ප්‍රහාර එල්ල කිරීම මගින් රුසියාව ඇමරිකානු ජනාධිපතිවරයා වෙත කිසියම් පණිවුඩයක් ලබාදීමට උත්සාහ කරන බවයි ලිවීව් නගරාධිපති ඇන්ඩ්‍රි සැඩෝවි කියා සිටියේ.

පෝලන්තයේ දී ජනපති බයිඩ්න් රුසියානු ජනාධිපති පුටින් දැඩි ලෙස විවේචනය කළ අතර, එම ප්‍රකාශ දැඩි සංවාදයට බදුන් වුණා.

මේ අතර යුක්රේනයේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව උදෙසා ඩොලර් මිලියන 100 ක මූල්‍යාධාර සපයන බව ජනපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *