පක්ෂ 11 ක එකමුතුවේ නායකත්වය, ‘මුළු රටම හරිමගට’ ජාතික වැඩපිළිවෙළ අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහනාහිමිට පිළිගන්වති !

පක්ෂ 11 ක එකමුතුවේ නායකත්වය, ‘මුළු රටම හරිමගට’ ජාතික වැඩපිළිවෙළ අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහනාහිමිට පිළිගන්වති !

*********************************************

පක්ෂ 11 ක එකමුතුවේ නායකත්වය, ‘මුළු රටම හරිමගට’ ජාතික වැඩපිළිවෙළ අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහනාහිමිට පිළිගන්වති !

(26.03.2022 – facebook.com/UdayaGammanpilaFanPage)

තම පක්ෂ එකමුතුව විසින් පසුගිය මාර්තු මස 02 දින රට හමුවේ තබන ලද ‘මුළු රටම හරිමගට’ ජාතික වැඩපිළිවෙළ ගරුතර මහානායක හිමිවරුන්ට පිළිගැන්වීමත් ඒ පිළිබඳව උන්වහන්සේලාගේ අනුශාසනා ලබාගැනීමත් සඳහා එම පක්ෂ 11 හි නායකයන් කටයුතු යොදා තිබේ. ඒ අනුව අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමිපාණන් බැහැදැකීම අද (26) රාජගිරිය, කළපළුවාව තපෝවනයේ දී සිදුවිය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල යන හිටපු අමාත්‍යවරු ද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා ද විජය ධරණී ජාතික සභාව නියෝජනය කරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමි, යුතුකම සංවාද කවය වෙනුවෙන් ගෙවිඳු කුමාරතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ඇතුළු පක්ෂ 11 ක එකමුතුවේ (11 Parties Alliance) නායකත්වය ‘මුළු රටම හරිමගට’ ජාතික වැඩපිළිවෙළ අමරපුර මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමිපාණන් වෙත පිළිගැන්වූ අයුරු :

***************************************

ජනාධිපතිට කියන්නේ දැන්වත් බැසිල් එලවන්න, මේවා සැර ඇති – වැඩියෙන්ම කඩේ ගිය මැදගොඩ හිමි ආණ්ඩුව කුඩු කරයි (25.03.2022)

***************************************

චෞර රාජපක්ෂලා දැන් ඇති පලයව් – ආණ්ඩුවට එරෙහිව මහා රෑ පාරට බැහැපු මිනිස්සු රාජගිරිය දෙවනත් කරමින් කියයි (26.03.2022)

***************************************

ආණ්ඩුව ගෙදර යවන්න විශ්වාසභංගයක්

(27.03.2022 – divaina.lk)

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඉන් ආණ්ඩුව පරාජයට පත් කොට වහාම මහ මැතිවරණයක් සඳහා යොමුවීමට විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු හවුල්කාර පක්ෂ 11 කණ්ඩායම සූදානමින් සිටින බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට අනාවරණය කර සිටියි.

ඒ අනුව එම විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව පරාජය කිරීමට අවශ්‍ය ඡන්ද ප‍්‍රමාණය සොයා ගැනීමේ මෙහෙයුමක ද මේ වන විට නිරතව සිටින විමල්, උදය ඇතුළු පාර්ශ්වය එම ප‍්‍රයත්නය මේ වන විට සාර්ථක කර ගෙන ඇතැයි පැවසෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ දී වැඩිම ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගෙන තිබුණේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමටය. එහිදී ආණ්ඩුව මන්තී‍්‍ර ඡන්ද 156 ක් ලබා ගෙන තිබුණි.

එම ඡන්ද ප‍්‍රමාණය ඉලක්කය කර ගනිමින් විමල්, උදය ඇතුළු හවුල්කාර පාර්ශ්වය මේ වන විට එම ඡන්ද ප‍්‍රමාණයෙන් ඡන්ද 30 ක් හවුල්කාර පක්ෂ 11 ක නියෝජිතයන් විසින් ඉවත් කරගෙන ඇත. ඒ අනුව එසේ බැලුවහොත් ආණ්ඩුවට ඇත්තේ පාර්ලිමේන්තුවේ ඡන්ද 126 ක් වුවද එයින් ද ආණ්ඩුව සමග විරසක වී හෝ කලකිරී සිටින තවත් මන්තී‍්‍රවරුන් 11 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්වීමට මේ වන විටත් කැමැත්ත පළ කර ඇත.

එහිදී ආණ්ඩුවේ බහුතර බලයට අභියෝග වන පරිදි තවත් කැබිනට් ඇමැතිවරුන් කිහිපදෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වීමට මේ වන විට තීරණය කර අවසන් බව ආණ්ඩුවේ ආරංචි මාර්ග තහවුරු කරයි.

වත්මන් ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව, ජනතාවට සහන ලබා දීමට නොහැකිවීම, ආර්ථික අර්බුදය, විවිධ පෝලිම් නිර්මාණය වීම් ඇතුළු අනෙකුත් ආණ්ඩුවේ නොහැකියාවන් සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරී සිටින තවත් මන්තී‍්‍රවරුන් 25 දෙනකු පමණ දැනටමත් විමල්, උදය ඇතුළු ආණ්ඩු විරෝධී පිළ වෙත එකතුවෙමින් පවතියි.

ඊට අමතරව ඔවුනගේ උත්සාහය තවත් මන්තී‍්‍රවරුන් 08 දෙනෙකු විපක්ෂයෙන් හෝ දිනා ගැනීම වන අතර එම වැඩපිළිවෙළ සාර්ථක වුවහොත් වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 113 ක සරල බහුතර බලය අහිමි වී යනු ඇත.

එම බහුතර බලය අහිමි වූ සැණින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් ඉන් පරාජයට පත් කොට ආණ්ඩුව ගෙදර යැවීමට හවුල්කාර පක්ෂ නායකයන් සූදානමින් සිටින අතර ඒ සඳහා විපක්ෂයේ ද සහාය ලබා ගැනීමට නියමිතය.

මීට පෙර අවස්ථාවක දී විපක්ෂයේ පිරිසක් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සූදානම් වුවද විමල් ඇතුළු පිරිස එහිදී කියා ඇත්තේ පුද්ගලයකු ඉලක්ක කර ගෙන නොව සමස්ත ආණ්ඩුව ඉලක්ක කර ගනිමින් විශ්වාස භංග යෝජනාවක් ගෙනැවිත් පරාජය කිරීම කළ යුතු බවය.

අකිත පෙරේරා, හේමන්ත රන්දුණු

***************************************

බැසිල් ඉන්දියාවට යන්න කලින් කැබිනට් අනුමැතියකින් තොරව අත්සන් කළ ගිවිසුම් හතර (4)

(26.03.2022 – mawbima.lk)

ඉන්දු – ලංකා ආණ්ඩු අස්සන් කර ඇති ගිවිසුම් තුනක් (3) හා අත්සන් කිරීමට නියමිත තවත් ගිවිසුමක් (1) හේතුවෙන් ශ්‍රී ලංකාව රාජ්‍යයක් හැටියට දැවැන්ත ස්වෛරීත්ව අර්බුදයකට තල්ලු කර තිබේ.

රාජ්‍යයක අත්‍යවශ්‍ය කොන්දේසි හැටියට සැලකෙන භූමියත් ජනතාවත් ආණ්ඩුවත් ස්වාධිපත්‍යයත් යන ක්ෂේත්‍ර හතරම (4) අනතුරේ හෙළන අවාසිදායක ද්විපාර්ශ්වික ගිවිසුම් හතරක් (4) වන මේවා කැබිනට් මණ්ඩලය රූකඩයක් බවට පත්කරමින් අස්සන් කර ඇති බව ඒවාට අදාළ අමාත්‍ය මණ්ඩල සන්දේශ හා අතුරු ලේඛන පරිශීලනය කරද්දී පැහැදිලි වේ.

ගිවිසුම් හතරෙන් (4) තුනක් (3) මේ වනවිටත් කැබිනට්ටුව නොසලකා හැර අස්සන් කොට අවසන් අතර ආවරණ අනුමැතිය ලබා ගැනීම හෙවත් අස්සන් කිරීමෙන් පසුව අනුමැතිය ලබා ගැනීම යන විහිළු සහගත යෙදුමකින් එහි බිහිසුණු බව ආවරණය කරගැනීමට උත්සාහ දරා තිබේ.

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පසුගියදා කළ ඉන්දීය සංචාරයට පෙර මෙම ගිවිසුම් අස්සන් කළ යුතු වූ බැවින් එවැනි තීන්දුවක් ගැනීමට සිදු වී යැයි පසුගිය කැබිනට් මණ්ඩලයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සන්දේශයෙහි ‘විස්තරය හා සාධාරණීකරණය’ යන තේමාවෙන් කරුණු පැහැදිලි කර ඇත.

ඩෝනියර් යානා

පළමු (1) කැබිනට් සන්දේශය ඉන්දීය රජය මගින් ශ්‍රී ලංකා රජය වෙත DO-228 ඩෝනියර් නිරීක්ෂණ යානා සැපයීම යන හිසින් ඉදිරිපත් කර ඇත. නාවික හමුදාවෙහි පවතින සමුද්‍රීය ආවේක්ෂණ ශක්‍යතාව වැඩිදියුණු කරගැනීම සඳහා ඉන්දියාව වෙතින් ඩෝනියර් නිරීක්ෂණ යානා දෙකක් (2) ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳ විමසීමක් 2018 ජනවාරි 09 වන දින නවදිල්ලියේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති ආරක්ෂක සමුළුවේදී ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද විමසීමක් ඊට මුල් වී යැයි එහි සඳහන් වේ. කෙසේ වෙතත් යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු පැවැසුවේ ඊට එවක කැබිනෙට්ටුවෙන් අවසර නොලැබුණු බවයි.

කෙසේ වෙතත් මෙම යානා දෙකෙන් (2) එකක් (1) නාවික හමුදාවේ සමුද්‍රීය ආවේක්ෂණ කටයුතු හා ශ්‍රී ලංකාව තුළ හා ඉන් පිටත පිරික්සුම් හා බේරා ගැනීමේ කටයුතු සඳහාත්, ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයෙහි නිරීක්ෂණ කටයුතු සඳහාත් යොදා ගැනීමට අපේක්ෂා කරන බව එම කැබිනට් සන්දේශයේ සඳහන් කර ඇත. කෙසේ වෙතත් මෙම යෝජනාවට සංශෝධිත යෝජනාවක් ඉන්දියාව පාර්ශ්වයෙන් ඉදිරිපත්ව තිබේ. ඊට අනුව යානා දෙකෙන් (2) එකක් (1) වසර දෙකකට (2) පසු ප්‍රදානයක් ලෙස ලබාදීමටත් එතෙක් ඉන්දීය නාවික හමුදා යානා සමූහයේ සේවයේ නියුතු යානයක් ලබාදීමටත් අනෙක් යානය ඉන්දියාවෙන් ණය යෝජනා ක්‍රමයක් හරහා මිල දී ගැනීමටත් ඉන්දීය රජය යෝජනා කර ඇත.

ඉන්දියාවේ මෙම යෝජනාවට ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය මාර්තු 03 වන දා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට එකඟතාව පළ කර තිබේ. මෙසේ ලබා දෙන පළමු (1) ඩෝනියර් යානාවේ නඩත්තුව හා ශ්‍රී ලාංකික ගුවන් හා නාවික හමුදා නිලධාරීන්ට පුහුණු කිරීම සඳහා පස් දෙනකු (5) ගෙන් සමන්විත ඉන්දීය තාක්ෂණික නිලධාරීන් කණ්ඩායමක් මෙරටට එවන බවත් ඔවුන්ගේ වෛද්‍ය, නවාතැන්, දුරකතන, අන්තර්ජාල, ප්‍රවාහන ඇතුළු සෙසු වියදම් ශ්‍රී ලංකා රජය දැරිය යුතු ය.

මෙහි බරපතළ ම කරුණ නම් ඩෝනියර් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් දෙරට අතර හුවමාරු ලිපියට අත්සන් තැබීම සඳහා කැබිනට්ටුවේ අනුමැතිය ලබා නොගෙන මෙම ගනුදෙනුවට අදාළව ඉන්දීය මහ කොමසාරිස්වරයා ඉදිරිපත් කළ ප්‍රදාන ලිපියට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න පසුගිය 15 වන දා අත්සන යොදා තිබීමයි. 2022 මාර්තු 18 දාතමයෙන් ආරක්ෂක ඇමති හැටියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අස්සනින් ඉදිරිපත් කළ මෙම අමාත්‍ය මණ්ඩල සන්දේශයේ ඊට නිදහසට හේතු හැටියට දක්වා තිබෙන්නේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පසුගිය දා කළ ඉන්දීය සංචාරයට පෙර ලිපි හුවමාරුව කළ යුතු වූ බැවින් එවැනි තීන්දුවක් ගැනීමට සිදු වූ බව ය. ඒ අනුව මෙම ඩෝනියර් යානා ගනුදෙනුව සිදුව ඇත්තේ මුළුමනින් ම කැබිනට් මණ්ඩලය මගහැර අත්තනෝමතික ලෙස බව පැහැදිලි ය.

ටොන් 4000 ක පාවෙන තටාකාංගණය

ආරක්ෂක ඇමති හැටියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අස්සනින් 2022 මාර්තු 18 දාතමයෙන් ‘ඉන්දියානු රජයේ මූල්‍ය අනුග්‍රහය මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා ටොන් 4,000 ක පාවෙන තටාකාංගණයක් අත් කර ගැනීම’ හිසින් ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සන්දේශය ද එබඳුම තවත් ගිවිසුමක් සම්බන්ධයෙනි. ශ්‍රී ලංකා නාවික හමුදාවට කොළඹ නැව් තටාකාංගණ සමාගම මත යැපීමට සිදුවීම උපායමාර්ගිකව අවාසිදායක බව කියමින් පාවෙන නැව් තටාකාංගණයක් ඉදිකර ශ්‍රී ලංකා රජය වෙත ප්‍රදානයක් ලෙස ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සමග ගිවිසුම්ගත වීමකට අදාළ කරුණු එහි සඳහන් වේ. ඊට අනුව අදාළ නැව් තටාකාංගණය ඉදිකිරීමේ කොන්ත්‍රාත් ගිවිසුම ශ්‍රී ලංකා රජය ඉන්දියානු ගෝවා නැව් තටාකාංගණ සමාගම සමඟ 2022 මාර්තු 22 වන දා අස්සන් කිරීමට නියමිතව තිබිය ද ඊට පෙර මාර්තු 15 වන දා ඊට අදාළ ගිවිසුමට කල්තබාම දෙරටේ බලධාරීහු අස්සන් තබා ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ ඊට අස්සන් තබා ඇත.

මෙම අස්සන් තැබීම සිදුකර ඇත්තේ ද කැබිනට් මණ්ඩලයේ ආවරණ අනුමැතිය යටතේ යන වචන හරඹයට මුවාවෙමිනි. ඉන්දියාව සමග එවැනි ගිවිසුම්ගත වීමක් වුවත් 2020 පෙබරවාරි 19 වන දා කැබිනට් තීරණයක් ගෙන තිබුණේ පාවෙන තටාකාංගණය ජාත්‍යන්තර තරගකාරී ලංසු තැබීමේ ක්‍රමයට පාවෙන තටාකාංගණයක් ලබා ගැනීමටය. එසේ සියලු එකඟතාවලට පැමිණීමෙන් පසුව මාර්තු 18 දාතමයෙන් ඉදිරිපත් කළ මෙම අමාත්‍ය මණ්ඩල සන්දේශයෙන් ඉල්ලා ඇත්තේ කොන්ත්‍රාත් ගිවිසුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් අස්සන් තැබීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්නට බලය පවරන හැටියට ය. මෙම ගිවිසුම සමග ලංකාවේ නාවික හමුදා යාත්‍රා ඇතුළු නාවික ආරක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් බරපතළ මැදිහත්වීමක් කිරීමට ඉන්දියාවට හැකිවනු ඇතැයි විද්වත්හු පවසති.

සමුද්‍රීය මුදා ගැනීම් මධ්‍යස්ථානය

සමුද්‍රීය මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සපයා දීම, ස්ථාපනය හා අධිකාරිගත කිරීම මැයෙන් ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සන්දේශය තෙවන (3) සන්දේශයයි. ශ්‍රී ලංකාව තුළ සමුද්‍රීය මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටු වීමට 2017 වසරේ අප්‍රේල් 26 දිනැති කැබිනට් මණ්ඩල තීරණය ක්‍රියාත්මක නොවීම උපුටා දක්වමින් මෙම ගිවිසුමට පසුබිම එහි විස්තර කර ඇත. ඊට අනුව ඉන්දියානු රජය ලබාදෙන අමෙරිකානු ඩොලර් මිලියන හයක (6) අරමුදල් භාවිත කර මෙම මධ්‍යස්ථානය පිහිටුවීමට නියමිත අතර 2019 ඔක්තෝබර් 09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ඊට අනුමැතිය දී ඇත.

මෙම මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා තෝරාගෙන ඇති භාරත් ඉලෙක්ට්‍රොනික් ලිමිටඩ් යනු ඉන්දියානු ත්‍රිවිධ හමුදා සඳහා ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන හා පද්ධති නිපදවන ඉන්දියානු ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින සමාගමකි. කල්තියා අස්සන් කර ඇති මෙම ගිවිසුම අතිදීර්ඝ එකකි. සෞභාග්‍යයේ දැක්මේ ජාතික ආරක්ෂාව පිළිබඳ විෂය අනුව මෙම මධ්‍යස්ථානය පිහිටුවන බව පැවැසුවද දේශපාලන විචාරකයන් චෝදනා කරන්නේ චීනයේ මැදිහත් වීම නිසා ලංකාවේ සාගර කලාපය සම්බන්ධයෙන් ඉන්දියාවට තිබූ භූ දේශපාලනික භීතිය මෙම මධ්‍යස්ථානය පිහිටුවීමේ යෝජනාවට පදනම වී ඇති බවයි.

ඩිජිටල් අනන්‍යතා රාමුව

සිවුවන (4) ගිවිසුම ගැන සඳහන් වන්නේ තාක්ෂණ අමාත්‍යංශයේ ඉදිරිපත් කළ ‘ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජයේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම’ හිසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සන්දේශයයි. 2019 දෙසැම්බරයේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හා නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා අතර වූ සාකච්ඡා පදනම් කරගෙන 2021 දෙසැම්බරයේ ඉන්දීය මහකොමසාරිස් සහතික කළ මූල්‍ය ප්‍රදානයක් මීට ලැබෙන බව සඳහන් වේ.

මීට අදාළ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ජනාධිපතිවරයා පසුගිය ජනවාරි 28 ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට පෙබරවාරි 07 වන දා කැබිනට් අනුමැතිය හිමි වූ බව එහි සඳහන් වේ. මෙම ඩිජිටල් පද්ධතියේදී ලේ වර්ගය, ඇඟිලි සලකුණු, මුහුණේ අනන්‍ය සලකුණු ආදී දත්ත ඒකරාශි කිරීමක් මෙමගින් සිදුවන අතර එහි හොඳ නරක දෙක ම පවතින බව විචාරකයෝ පවසති. ඔවුන් වැඩිදුරට ත් පෙන්වා දෙන්නේ යහපත් අරමුණක් පෙන්වා අරඹන මෙම වැඩපිළිවෙළ මගින් ජාතියේ ම දත්ත පද්ධතිය ඉන්දීය ආරක්ෂක බුද්ධි සේවයට පහසුවෙන් අත්පත් කර ගැනීමේ අවදානම පවතින බව ය. කෙසේ වෙතත් මෙම ගිවිසුම මෙතෙක් අස්සන් කර නැති අතර ඊට අදාළ කෙටුම්පත සකසා තිබේ ෴

***************************************

රෝල්ස්රෝයි ලැම්බොගිනි කවුද ගෙන්නුවේ? මේවා තමයි මරු සෙල්ලම් – ‌වසන්ත සමරසිංහ (27.03.2022)

***************************************

මේ ආණ්ඩුව හැදුවේ පෝලිම්වල ඉන්න නෙමෙයි – කළකිරුණු අභයාරාමාධිපති හිමියන් (27.03.2022)

***************************************

හිතක් පපුවක් නැති ගෝඨාභය – කරන්න බෑනේ – දැන් ගෙදර පලයන් – ඉරාන් වික්‍රමරත්න (27.03.2022)

***************************************

පොත්ත සුදු කතාවේ වියත් මගේ ශ්‍යාමිලා වෙනුවෙන් ජවිපෙ පෙනී සිටලා – නිරෝෂන් පාදුක්ක සියල්ල හෙළිකරයි (27.03.2022)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *